HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දියාවේ නස්රුදින් ලෙස හැඳින්වෙන රාජ බිර්බල්ගේ කතා

ඉන්දියාවේ නස්රුදින් හැටියට සැලකෙන බිර්බල් (Birbal) හඳුන්වා දෙන්නයි, මේ සටහන ලියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1528 ඉන්දියාවේ උපන් මහේෂ් දාස්ට තමයි, බිර්බල් කියා කියන්නෙ. ඉන්දියාව පාලනය කළ මහා අක්බාර් අධිරාජයාගේ කාලයේ ඔහුගේ රාජ සභාවේ සිටි 'නව රත්න' ලෙසින් හැඳින්වුණු පඬිවරුන් නව දෙනා අතර කැපී පෙනුනු, උපහාස කතාවෙහි, තියුණු නුවණක් ඇති පුරෝහිතයෙකු වූ බිර්බල් මහා අක්බාර් අධිරාජයාගේ යුදහමුදාවෙ සේනාධිනායකයා ද වුණා. 

බිර්බල් හා අක්බාර් අධිරාජයා

අධිරාජයා විසින් 'රාජ බිර්බල්' කියා ගරු නමකින් ද හැඳින්වුණු ඔහු අධිරාජයාගේ රාජ සභාවේ සිටි මහා කවියා හා ගායකයා ද වුණා. රාජ සභාවේ දී මතු වන ගැටලු විසඳීමට අධිරාජයා බාර කළේත් ඔහුටයි. ඒ නිසා ඔහු විනිශ්චයකරුවකු ද වුණා. ඔහු මිය ගියේ 1586 පෙබරවාරි 16දායි. මේ වන විට ඔහු මිය ගොස් හරියට ම අවුරුදු 436ක්. ඔහුගේ කතා නස්රුදින්ගේ කතා මෙන් භාරත ජනයා අතර තවමත් ප්‍රචලිතයි. 

ආරම්භයක් හැටියට අද ඔහුගේ කතා දෙකක් පළ කරනවා. ඉදිරියේ දීත් වරින්වර ඔහුගේ රසකතා පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. 

1. ළිඳක් මිල දී ගත් ගොවියාගේ කතාව 

දුප්පත් ගොවියෙකු පොහොසත් මිනිසෙකුගෙන් ළිඳක් මිල දී ගත්තා. ඒ අල්ලපු ඉඩමේ එයාගෙ වගාවට වතුර ගන්න කියල හිතා ගෙන. දුප්පත් ගොවියා පොහොසත් මිනිහා ඉල්ලපු ගාන ඒ විධියට ම ගෙව්වා. ඒත් පහුවදා ගොවියා ඒ ළිඳෙන් වතුර ගන්න ගියා ම පොහොසත් මිනිසා කීවේ, "ඔහෙ ළිඳ සල්ලි දීලා ගත්තට වතුරවලට සල්ලි දුන්නෙ නෑ. ඒ හින්දා වතුර ගන්න එපා!" කියලයි. 

දුප්පත් ගොවියා කිසිවක් කර කියා ගත නොහැකිව අක්බාර් අධිරාජයාගේ රාජ සභාව හමුවට ගිහින් ඒ ගැන පැමිණිලි කළා. දුප්පත් ගොවියාගේ දුක්ගැනවිල්ල ඇසූ අධිරාජයා ඒ ප්‍රශ්නය ගැන සොයා බලා විසඳන්නැයි කියා රාජ බිර්බල්ට අණ කළා. 


ඒ අනුව බිර්බල් දුප්පත් ගොවියාට මේ ගැටලුව ඇති කළ පොහොසත් මිනිහා සොයා ගියා. පොහොසත් මිනිහා දුප්පත් ගොවියාට කී කතාව ඒ විධියට ම බිර්බල්ටත් කිව්වා. බිර්බල් ඒ කතාව පිළිගත්තා. පිළි අරන් ඒ පොහොසත් මිනිහාට මෙහෙම කිව්වා. "දැන් ඔහෙ මේ ළිඳ දුප්පත් ගොවියාට විකුණලා සල්ලි ගත්තා නේ. දැන් මේ ළිඳ අයිති දුප්පත් ගොවියාට නේ. ඒ හින්දා වතුර එයාට අයිති නෑ. වතුර ඔහේට අයිතියි කියන හින්දා ඔහේ වතුර ටික ඔක්කොම අහකට ගන්න එකයි දැන් කරන්න තියෙන්නෙ. එහෙම නැත්නම් ඔහේට සිද්ධ වෙනවා, මේ වතුර ළිඳේ තියෙනවට දුප්පත් ගොවියාට කුලියක් ගෙවන්න." බිර්බල් එයාගෙ තීන්දුව දුන්නා. 

පොහොසත් මිනිහාට තේරුම් ගියා තමන් කරන්න ගිය දේ වැරදුණු බව. ඒ හින්දා ඔහු කිව්වා, "එහෙනම් එයා වතුර ගත්තාවෙ" කියලා. 

2. වෙළෙන්දාගේ ගෙදර හොරා ඇල්ලූ හැටි 

එක දවසක් පොහොසත් වෙළෙන්දෙක් බිර්බල් හම්බ වෙන්න ආවා. ඇවිත් බිර්බල්ට කිව්වා, එයාගෙ ගෙදර හොරකමක් වෙලා තියෙනවා හොරා අල්ලල දෙන්න කියලා. 

"කාව හරි සැක කරනවද?" බිර්බල් ඇහුවා. 

"මට මගේ සේවකයන් ගෙන් කෙනෙක් ගැන තමයි සැක. ඒත් කවුද කියලා හිතා ගන්න බැහැ." වෙළෙන්දා කිව්වා. 

බිර්බල් වෙළෙන්දා එක්ක එයාගෙ ගෙදර ගියා. බිර්බල් කිව්වා සේවකයන් ඔක්කොම රැස් කරන්න කියලා. සේවකයන් හැමදෙනාම රැස් වුණාට පස්සේ බිර්බාල් කතා කළා. "මේ ගෙදර වටිනා බඩු වගයක් නැතිවෙලා කියන එක හැමෝම දන්නව නෙ. ඒ හින්ද ඒවා ගත්ත කෙනෙක් ඉන්නව නම් ඉස්සරහට එන්න අපි එයාට සමාව දෙනවා." බිර්බල් කිව්වා. 


බිර්බල් බලාපොරොත්තු වුණා වගේ ම කවුරුත් වැරැද්ද පිළිගන්න ඉදිරියට ආවෙ නෑ. "එහෙනම් අපි පුංචි ගුරුකමක් කරනවා. හැමෝම එන්න පේළියට. මං දෙනවා හැම කෙනෙකුටම කෝටු කැබැල්ලක්. හැමෝටම කරන්න තියෙන්නේ ඒක පරිස්සම් කරගෙන තියා ගෙන ඉඳලා හෙට උදේට ගේන්නයි. මේ තියෙන කෝටු කැබලි හැම එකක්ම එක සමානයි. බඩු සොරා ගත්ත කෙනාගෙ කෝටු කැබැල්ල අපේ ගුරුකම අනුව හරියටම අඟල් 2ක් කොට වෙලා තියේවි." බිර්බල් කිව්වා. එහෙම කියලා කෝටු කෑලි ටික හැමදෙනාට ම බෙදා දුන්නා. 

බිර්බල් වෙළෙන්දාට කිව්වා, "අපිට උදේට හොරා අල්ලා ගන්න පුලුවන් වෙයි" කියලා. 

පහුවදා බිර්බල් වෙළෙන්දාගේ ගෙදර ගියා. වෙළෙන්දා සේවකයන් සියලු දෙනාම එක් රැස් කළා. එක් එක් කෙනාට කෝටු කැබැල්ල අරන් බිර්බල් ඉදිරියට එන්න කිව්වා. 

බිර්බල් එකින් එක පරීක්ෂා කළා. රෑට අඟල් 2කකින් කොට වෙයි කියන බයට හොරා ඔහුගේ කෝටු කැබැල්ල අඟල් 2කින් කොට කරලා තිබුණා. ඒ අනුව හොරාව අල්ලා ගත්තා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. ඔබතුමන් ඉදිරිපත් කළ මේ කතා දැකලා සතුටක් ඇති උනා මොකද මමත් මගේ බ්ලොග් එකෙන් බිර්බල්ගේ කතා දෙකක් ඉදිරිපත් කළ නිසා. හිතාගන්න අමාරුයි නස්රුද්දින් මෙන් බිර්බල්ගේ කතා අප අතර ප්‍රචලිත උනේ නැත්තෙ ඇයි කියලා.

    ReplyDelete