රජකමින් හා වෙදකමින් ජනතාව සුවපත් කළ බුද්ධදාස රජතුමා

ලෝකයේ පැරණිම රෝහල පිහිටු වීමේ ගෞරවය හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි. මිහින්තලේ පුරාවස්තු වල නටබුන් එහි යන්නකුට අද දැකිය හැකියි. පුරාවිද්‍යාඥයන් විසින් මතුකර ගෙන ඇති ඒ රෝහල ගැන ‘මල්කැකුළු’වලින් මීට කලින් අප ඔබට කීවා මතක ඇති. මෙරට දේශීය වෙදකම ස්ථාපිත කිරීමට ලොකුම මෙහෙය කළ රජතුමා ගැනයි, අද මේ අප ලියන්නේ. එතුමා රටපුරා රෝහල් ඇති කර ඒවායේ සේවයට වෛද්‍යවරුන් පවා පත් කළ බව මහාවංශයෙහි සඳහන් වෙනවා. දැනට මිහින්තලේ, මැදිරිගිරිය, අරන්කැලේ වැනි තැන්වලින් අපේ ඒ පැරණි රෝහල්වල නටබුන් හමු වී තිබෙනවා. 
රජකමත් වෙදකමත් යොදා ගෙන ජනතාව සුවපත් කළ බුද්ධදාස රජතුමා

සිංහල රජවරුන් අතර විදේශ ආක්‍රමණවල බියක් නැතිව රජකම් කළ කැපී පෙනෙන රජතුමකු ලෙස බුද්ධදාස රජු හැඳින්විය හැකියි. සිංහල දේශය දශරාජ ධර්මයෙන් පාලනය කළ එතුමා එතෙර රටවල පවා කීර්තියට පත්ව සිටියේ අති දක්ෂ වෛද්‍යවරයෙකු ලෙසයි. ඒ රජතුමා රජකමට පත් වූයේ මීට වසර 1683කට පෙරයි. එනම් ක්‍රිස්තු වර්ෂ 337 දියි. එතුමා වසර 28ක් රජකම් කළා. ඒ කාලය තුළ එතුමා රජකමත් වෙදකමත් යන දෙකෙන් ම ජනතාව සුඛිත මුදිත කළා. ශ්‍රී ලංකාවේ පැරණිම වෛද්‍ය ග්‍රන්ථය වූ ‘සාරාර්ථ සංග්‍රහය’ එතුමාගේ කෘතියක්. එය අපේ පැරණි වෛද්‍ය ක්‍රම පිළිබඳ සියල්ල එක් රැස් කර වෛද්‍ය විද්‍යාව හදාරන්නන්ට ප්‍රයෝජනවත් වන සේ සකස් කළ ග්‍රන්ථයක්. 

මහා වංශය ඇතුළු වංශ කතාවල දැක්වෙන පරිදි බුද්ධදාස රජතුමා කළ විස්කම් වෙදකම්වලින් කීපයක් මෙසේයි. එතුමා රටපුරා සැරිසරද්දී හැමවිටම සිය වෛද්‍ය උපකරණ කට්ටලයත් බෙහෙත් හෙප්පුවත් ගෙන ගිය බව සඳහන් වෙනවා. 

1. නාගරාජයා සුවපත් කළ හැටි. 

දිනක් බුද්ධදාස රජතුමා මඟුලැතු පිටින් තිසා වැවට දිය නෑම සඳහා යද්දී පුත්තාභය විහාරය අසල තුඹසක් මත වැතිර සිට නාගයකු දුටුවා. බැලූ බැල්මට ම ඌ කිසියම් වේදනාවකින් පෙළෙන බැව් දත් එතුමා ඇතුපිටින් බැස ඌ අසලට ගොස් විමසිල්ලෙන් බැලුවා. ඌ උදර රෝගයකින් දුක් විඳින බැව් දැන ගත් රජතුමා නාගයාට ළං වී මෙසේ කීවා. ‘මහා නාගය! නුඹේ රෝගය මා හඳුනා ගත් නිසා ප්‍රතිකාර කිරීමට කැමැත්තෙන් සිටියද නුඹේ ඉක්මනින් කිපෙන ස්වභාවය නිසා ස්පර්ශ කර නුඹට ප්‍රතිකාර කිරීම අපහසු යි.’ රජුගේ බස් වටහා ගත් නාගයා උගේ පෙනය තුඹස තුළට රුවා ගෙන රජු උගේ උදරය පලා එහි වූ සැරව ගෙඩිය ඉවත් කර බෙහෙත් ගල්වා සුවපත් කරන තෙක් නිසොල්මනේ සිටියා. 

බුද්ධදාස රජතුමා නාගයකු සුවපත් කළ 
බව මහාවංශයෙහි සඳහන් වෙනවා.

තුවාලය සුව වූ පසු ඒ නාගයා රජතුමාට කළගුණ සැලකීමක් වශයෙන් සිය නාග මාණික්‍යය පිරි නැමූ අතර රජු ඒ මැණිකෙන් අභයගිරි විහාරයේ සෙල්මුවා බුදු පිලිමයෙහි නෙත් තැබීම සිදු කළ බව සඳහන් වෙනවා. ඒ නාගයාට ප්‍රතිකාර කළ ස්ථානය අනුරාධපුර ශුද්ධ නගරයට යන්නකුට එහි දී දැක ගත හැකියි. එහි නාම පුවරුවක් ද යොදා තියෙනවා. 

2. භික්ෂු නමකගේ පණු රෝගයකට පිළියම් කළ හැටි. 

එක්තරා භික්ෂු නමක් කුසවැටිගම් පිඬු සිඟා වඩිද්දී වියළි බතක් හා කිරි දනට ලැබුනෙන් ඒ වැළඳීමෙන් පසු දරුණු ආමාශ ගත රෝගයක් හට ගත්තා. භික්ෂු නම නොදැනුවත්වම වැළඳූ කිරි නිසා හට ගත් දරුණු වේදනාව නිසා උන්වහන්සේ රජතුමා හමුවට ගොස් තම අසනීපය ගැන කීවා. ප්‍රශ්න කිරීමෙන් පසු කිරි හා වියළි බත් අනුභවයෙන් අපවිත්‍ර කිරිවල සිටි ප්‍රාණීන් ආමාශයෙහි විශාල වශයෙන් සෑදී ආමාශය ඇතුළතින් සපා කන්නට වීම නිසා මේ තත්වය ඇති වූ බවට තීරණය කළ රජතුමා ඒ රෝගයට පිළියම් කිරීමට සූදානම් වුණා. ඒ අතරතුර ලේ ඉවත් කර පිළියම් කළ යුතු අශ්ව‍යකු ද එහි ගෙනැවිත් තිබුණා. 

රජතුමා කළේ අශ්වයාගේ නහරයක් විද ඉවත් කළ ලේ භික්ෂුවට නොදැනුවත්වම පානය කරන්නට සැලැස්වීමයි. ඔසුවක් ලෙස දුන් එය පානය කළ පසු රජතුමා උන්වහන්සේ පානය කළේ අශ්ව ලේ යැයි උන්වහන්සේට කීමත් සමග වමනය කරන්නට පටන් ගත්තා. ලේත් සමග පණුවන් පිටතට ඒම නිසා උන්වහන්සේ සුවපත් වුණා. රජතුමා කළ කාර්යය භික්ෂූන් වහන්සේගේ ප්‍රශංසාවට හේතු වුණා. එකම පිළියමෙන් දෙදෙනාම සුවත් කිරීමට හැකිවීම තැන රජතුමා ද සතුටු වුණා. 

3. මිනිසකුගේ කුස තුළ වූ සර්පයා එළියට ගත් හැටි. 

වරක් මිනිසෙකු වැවකින් දිය පානය කිරීමෙන් අනතුරුව දරුණු බඩේ රුජාවක් ඇති වුණා. ඇතුළතින් වරින්වර ආමාශයෙහි වේදනාව දරන්නට බැරි තැන ඔහු රජතුමා බැහැ දකින්නට ගියා. ගිහින් තමන්ට වූ ඇබැද්දිය කීවා. වැවෙන් දිය පානය කරද්දී දියබරියකුගේ බිත්තරයක් ගිලීමෙන් පසු කුස තුළ දී දියබරියා වර්ධනය වීමෙන් මේ තත්වය ඇති වී තිබෙන බව වටහා ගත් රජතුමා රෝගියා දින කීපයක් නිරාහාරව තබා පසුව නහවා සුවඳ විලවුන් ගල්වා සුවපහසු සයනයක නිදි කෙරෙව්වා. සුව පහසුකම නිසාම ඔහු මුව දල්වා ගෙන උඩු බැලි අතට නිදන්නට වුණා. ඒ අතර නූලක බැඳි මස් කැබැල්ලක් මුවට ඉහළින් එල්ලෙන්නට සැලැස්සුවා. කුස තුළ සිටි සර්පයා මස් කැබැල්ලේ ගඳ දැනී එය සොයා කුස තුළින් එළියට විත් මස් කැබැල්ල ඩැහැගෙන ආපසු කුස තුළට වදින්න හදද්දී නූලකින් බැඳ ඌ එළියට ගන්නට රජතුමා සමත් වුණා. 

4. මැඬියකු පිටතට ගත් විස්මිත සැත්කමක්! 

මැඬි බිජු සහිත ජලය කලබලෙන් පානය කරන්නට ගොස් මැඬි බිජුවක් නැහැ සිදුරෙන් ඇතුළට ගොස් හිස් මුලට වැදී බිඳී මැඬියෙකු වී එහි ගැවසෙන්නට වුණා. වැසි කාලයේ දී මේ මැඬියා නිසා ඒ මිනිසාට කිව නොහැකි තරම් වේදනා ඇති වුණා. ඔහු ඊට හේතුව නොදැන රජතුමා බැහැදැක තමන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. බුද්ධදාස රජතුමා කරුණු විමසා සැත්කමක් මගින් ඒ මිනිසාගේ ඔළු කටුව පලා මැඬියා ඉවත් කර හිස් කබල පුරුද්දා ටික කලකින්ම ඔහු සුවපත් කළා. 

5. මූඪ ගර්භ කාන්තාවකට ප්‍රතිකාර කළ හැටි 

හෙල්ලොලිය නම් ගමෙහි සත් වරක් මූඪ ගර්භ වූ සැඩෙල් ස්ත්‍රියක් යළිත් ගැබිණියක් වී ඒ දරුවාත් ගබ්සා වෙතැයි බියෙන් පසුවන්නී රජතුමා සංචාරය කරද්දී එතුමාට මුණ ගැසුණා. රජතුමා ඇය ඇස්වසා ඇයට ප්‍රතිකාර කරන්නට බාර ගත්තා විතරක් නෙවෙයි ඇයට ප්‍රතිකාර කර ඇයත් දරුවාත් සුවපත් කළා. රජතුමා ඇය සැඩොල් ස්ත්‍රියක් ලෙස පහත්කොට සැලකුවේ නැත. බුද්ධදාස රජතුමා සියලු රටවැසියනට සැලකුවේ තම දරුවන් හා සමාන කොටයි. 

6. භික්ෂුවකගේ පිට කුදය සුව කළ හැටි. 

එක්තරා භික්ෂුවක් දරුණු වාත රෝගයකින් ඔත්පල ව සිටියා. ඒ රෝගය හේතුවෙන් උන්වහන්සේ කොන්ද කුදු වී ගොනැස්සක් (වහලයක පලය කෙළවරදී වකුටු වූ පරාලයක්) මෙන් වූ නිසා අනෙක් අය විසින් උන්වහන්සේ නැගිටු වීම, තැන තැනට ගෙන යාම, සැතපවීම ආදී හැම දෙයක්ම කළ යුතු වුණා. මෙය උන්වහන්සේට පමණක් නොව අනෙක් භික්ෂූන්ටත් මහත් හිරිහැරයක් වුණා. එය දැන ගත් බුද්ධදාස රජතුමා උන්වහන්සේ සොයා ගොස් වාත රෝගයට ප්‍රතිකාර කර උන්වහන්සේ‍ සුවපත් කළා. 

බුද්ධදාස රජතුමා විසින් වසර 1690කට පෙර රචනා කළ
 ‘සරාර්ථ සංග්‍රහය’ පසු කලෙක මුද්‍රණයෙන් පළ කරනු ලැබුවා.

බුද්ධදාස රජතුමා මානසික රෝගීන් ද සුවපත් කළ බව සඳහන් වෙනවා. එතුමා හිංහලද්වීපය පුරා ගමක් පාසා වෛද්‍යවරුන් පත් කර ඒ සෑම වෛද්‍යවරුන් දස දෙ‍ෙනකුට අධිපති වෛද්‍යවරුන්ද පත්කර ඔවුන්ට වැටුප් පිණිස ගොඩමඩ ඉඩකඩම් දුන් බව සඳහන් වෙනවා. ආබාධිත අයට වෙනම සත්කාර නිවාස ඇති කළා. භික්ෂූන්ට, හමුදා භටයන්ට, පමණක් නොව සතුන්ට ද වෙන වෙනම රෝහල් ඇති කළා. මේ සියල්ල පරදවන සේවයක් එතුමා බුදුදහමටත් සම්බුදු සසුනටත් කළ බවත් සඳහන් කළ යුතු වෙනවා. 

- පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments