HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කවුරුත් දන්නා කවුඩාගේ කවුරුත් නොදන්නා විස්මිත හැසිරීමක්!

කවුඩා කවුරුත් දන්නා හඳුනන කුරුල්ලෙක්. බළලුන්ගේ ‘ඤාව්!’ යන හඬ අනුකරණය කිරීමට ඌට ඇති සුවිශේෂ හැකියාව නිසා කවුඩා කා අතරත් ජනප්‍රියයි. බළලකු දුටු විට ‘ඤාව්!’ කියා හඬ නැඟීමට පෙලඹෙන කඩුවාට වෙනත් කුරුල්ලන්ගේ හඬද අනුකරණය කරන්න පුලුවන්. බළලකු දුටු විට සරදමට මෙසේ ‘ඤාව්!’ කියා හඬ නැඟුවද ඌ මෙසේ නාද කරන්නේ සෙල්ලමට නොවෙයි. ආහාර සොයා යාමේ දී කරන උපක්‍රමයක් ලෙසයි. ඌ මේ විධියට නාද කොට ආහාර ගනිමින් සිටිනා වෙනත් කුරුල්ලන් බිය ගන්වා පලවා හැර ඒ ආහාර ඩැහැ ගැනීමට දක්ෂයයි, කුරුලු විශේෂඥයන් පෙන්වා දී තියෙනවා. ඒ වගේ ම වෙනත් විලෝපික කුරුල්ලන්ගේ හඬද මේ ආකාරයෙන් ම අනෙක් කුරුල්ලන් බිය ගැන්වීමට ඌ යොදා ගන්නවා. 

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා (Crested Drongo) ගැන මෑතදී නවතම විද්‍යාත්මක නිරීක්ෂණයක් කළ පර්යේෂණ කණ්ඩායමක්, මේ කුරුල්ලාගේ තවත් අමුතු චර්යාවක් මෑතදී වාර්තා කළා. ඒ කණ්ඩායමට අයත් වූයේ එම්. ඩී. ගිහාන් රජීව්, දුලාන් රංග විදානපතිරණ, කසුන් බෙනරගම සහ මෙන්ඩිස් වික්‍රමසිංහ යන අයයි. මේ පිළිබඳව තොරතුරු හෙළිදරවු කරමින් මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ මේ නිරීක්ෂණයට අදාළ විද්‍යාත්මක පත්‍රිකාවක් දැනටමත් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවයි. 

ඔවුන්ගේ නව සොයා ගැනීමට ලක්වුණේ මේ කුරුල්ලාගේ කූඩු සෑදීමේ චර්යාවයි. උකුස්සන් වැනි කුරුල්ලන් කැදැල්ලේ ආරක්ෂාව සඳහා, ගස්කොළන් අඩු බිමක, ඇති හුදෙකලා වූ උස ගසක කුඩු සාදන නමුත්, මේ කුරුල්ලා ඒ සඳහා තෝරා ගන්නේ තුරුවලින් ගහන වන වදුලක්. ඌ කරන්නේ කැදැල්ල සාදා ඉන්පසු ඒ ගස අනෙක් ගස්වලින් වෙන් කිරීමයි. එය කර‍න්නේ අනෙක් ගස්වලින් කැදැල්ල ඇති ගස දෙසට විහිදුණු අතුරිකිලි කඩා දැමීමෙනුයි. එවිට ඒ ගස්වලින් සතුරන්ට කැදැල්ල ඇති ගසට මාරු වෙන්න බැරි වෙනවා. 

ඒ වගේ ම ඌ කැදැල්ල ඇති ගසේ කඳෙහි බැඳී ඇති පෙඳපාසි ගලවා දමා, ගොරෝසු පොතු සහිත තැන් සුමට කර කඳ, උගේ හොටින් ‘පොළිෂ්’ කරනවා. එහෙම කරන්නේ සර්පයින් වැනි විලෝපික සතුන්ට ගහ දිගේ නැඟීමට බැරි වෙන්නයි. මෙය ඇත්තෙන්ම මෙතෙක් අසන්නට නොලැබුණු විස්මිත කුරුලු චර්යාවක්. 

කොණ්ඩ කවුඩා තනන්නේ කුඩා කැදැල්ලක්.

දැරණියගල, අත්වැල්තොට, කුඩව සහ සිංහරාජය ආදී ප්‍රදේශ රැසක කොණ්ඩ කවුඩාගේ මෙම චර්යා රටාව මේ පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තියෙනවා. මීට අදාළ විද්‍යාත්මක පර්යේෂණයේදී දක්නට ලැබුණු නිරීක්ෂණ අනුව පර්යේෂකයන් නිගමන කර තිබෙන්නේ කැදැල්ලේ ආරක්ෂාව සඳහා කොණ්ඩ කවුඩා මෙම අපූරු ක්‍රියාවේ යෙදෙන බවයි. 

කොණ්ඩ කවුඩා බිත්තර දැමීම සඳහා කැදලි තනන්නේ ජනවාරි - මැයි අතර කාලයේ දී බැවින් ඔවුන් ඒ විද්‍යාත්මක නිරීක්ෂණය සඳහා යොදා ගත්තේ ඒ කාලයයි. මේ නව පර්යේෂණයේ දී විද්‍යාත්මකව තහවුරු කර ගත් තවත් කරුණක් තියෙනවා. ඒ කොණ්ඩ කවුඩා වසර ගණනක් එක ම ගහක කැදලි සාදන බවයි. ඒ වගේ ම ඇතැම් වසරවල එක ම ගසක කැදලි සෑදීම ආරම්භ කර තිබෙන්නේ වසරේ එක ම දිනක වීමත් පර්යේෂකයන් පවා මවිතයට පත්කළ දෙයක්. 

කොණ්ඩ කවුඩා සිය හොටින් ගසේ කඳ ‘පොලිෂ්’ කරනවා.

සිංහරාජය වැනි වනාන්තරවල කුරුලු විශේෂ කිහිපයක් එකතු වී රංචුවක් ලෙස ආහාර සොයා යන සුවිශේෂී කුරුලු චර්යාවක් විද්‍යාඥයන් විසින් මීට පෙර විස්තර කර ඇති අතර එම කුරුලු රංචුවල ඉදිරියෙන් ම යන සටන්කාමී පක්ෂියෙකු ලෙසයි, ඔවුන් කොණ්ඩ කවුඩා හඳුන්වා දී ඇත්තේ. ඒ ගමන්වලදී ඉදිරියෙන් යන ඌ වෙනත් සතෙකු ලෙස හඬ නඟනවා. එවිට ආහාර බුදිමින් සිටින වෙනත් කුරුල්ලන්, විලෝපිකයෙකු පැමිණෙනු ඇතැයි සිතා අනුභව කරමින් සිටි ආහාර අතහැර දමා පලා යනවා. එවිට කොණ්ඩ කවුඩා එම ආහාරයේ රස බලන බව පක්ෂි විද්‍යාඥයින් සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී තියෙනවා. 

අතීතයේ පටන් ශ්‍රී ලංකාවට අවේණික උප විශේෂයක් ලෙස සලකනු ලැබූ කොණ්ඩ කවුඩා ශ්‍රී ලංකාවට අවේණික කුරුලු විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2005 වසරේදියි. ඒ ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනය විසින් විසින් පළ කරන ලද පැමෙලා සී. රැස්මු‍සෙන් හා ජෝන් සී. ඇන්ඩර්ටන් සකස් කළ ‘බර්ඩ්ස් ඔෆ් සවුත් ඒෂියා: ද රිප්ලි ගයිඩ්’ වෙළුම් දෙකකින් යුත් ප්‍රකාශනයෙන්. පැසේරිෆෝම්ස් ගෝත්‍රයේ ඩික්රුරිඩේ කුලයට අයත් කවුඩු විශේෂ පහක් ශ්‍රී ලංකාවේ දී හමුවෙනවා. 

ආවේණික කුරුල්ලන්ගේ මුද්දර ගොනුවට එක් වූ 
කොණ්ඩ කවුඩා

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා හොඳින් වැඩුණු විට දිගින් සෙන්ටිමීටර් 30 ක් පමණ වෙනවා. හිසෙහි කොණ්ඩයක් සේ පෙනෙන පිහාටු පොකුරක් තියෙනවා. කය දිලිසෙන කළු පැහැයෙන් යුතුයි. වල්ගය මාළුවකුගේ ‍වල්ගය මෙන් පිහිටනවා. එය හොඳින් දෙබල් වී තියෙනවා දැක ගත හැකියි. 

ශ්‍රී ලංකාවට ආවේණික කුරුලු විශේෂ 33 අතරට ඇතුළත් වන එක ම කවුඩු විශේෂය ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යි. ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන්ගේ මුද්දර ගොනුවට මේ කවුඩාත් ඇතුළත් වුණා. ඌ පොදු වහරේ හැඳින්වෙන්නේ මහ කවුඩා හෙවත් කොණ්ඩ කවුඩා කියායි. මේ මහ කවුඩා (Greater Drongo) ගේ උප විශේෂ දෙකක් තියෙනවා. එකක් පිනිපෙඳ මහ කවුඩා (Greater Racket-tailed Drongo) යි. අනෙකා සිළු මහ කවුඩා (Crested Drongo) යි. මේ කුරුල්ලා වැඩිපුර වාසය කරන්නේ වැසි වනාන්තරවලයි. ඌ රැලේ මුල් පෙළේ කුරුල්ලකු ලෙස සැලකෙනවා. 

කළු කවුුුුුුුුඩා දීප්තිමත් කළු පැහැ කයක් ඇති කුරුල්ලෙක්.

අනෙක් කවුඩන් අතර පොදු වහරේ කවුඩා ලෙසින් හැඳින්වෙන කුරුල්ලාගේ උප විශේෂ දෙකක් තියෙනවා. එකක් ළය සුදු කවුඩා (White-bellied Drongo) අනෙකා ගුද සුදු කවුඩා (White-vented Drongo) යි. 

කළු කවුුුුුුුුඩා (Black Drongo) දීප්තිමත් කළු පැහැ කයක් ඇති කුරුල්ලෙක්. පහතරට වියළි කලාපයේ වැඩිපුර දැකිය හැකියි. තනන්නේ ඉතා කුඩා කැදැල්ලකි. බිත්තර දමන කාලයට ඒ අසලට ලොකු කුරුල්ලෙකුටවත් ළංවීමට නෙ‍ාදී ආකුමණශීලී ලෙස පහරදී පන්නා දමනවා. 

අළු කවුඩා (Ashy Drongo/Grey Drongo) වැඩිපුර හමුවන්නේ පහතරට, විශේෂයෙන් නැගෙනහිර පෙදෙසේයි. අනිත් කවුඩන් මෙන් උගේ කය දිප්තිමත් නැහැ. වල්ගය ගැඹුරු ලෙස දෙබල් ව පිහිටනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments