HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මල්කැකුළු ගැන

‘සිංහලය මනරම් බසකි’ යැයි බුද්ධඝෝෂ හිමියන් කියූවේ මීට අවුරුදු 1500කට පෙරය. ඒ සිංහල අටුවා පාලි බසට නඟන්නට ඉන්දියාවේ සිට මෙරටට පැමිණ හෙළ අටුවා හදාරද්දීය. වත්මන් ලෝකයේ දියුණු භාෂා බොහොමයක් කථන භාෂාව පවතිද්දී සියවස් 15කට පමණ මෙරට ජනතාව ලිඛිත භාෂාවක් දත් බව සීගිරිය බලන්නට පැමිණ එහි අසිරිය විඳ ලියූ සීගිරි කුරුටු ගී ලොව ඉපැරණිතම ලේඛන අතරට වැටෙයි. එදා මෙදාතුර සිංහලයෙන් ලියැවුණු රස තැන් සොයා යන්නටත් බිහි වූ නව නිර්මාණ හා නිර්මාණකරුවන් හඳුන්වා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙමු.

අප ‘මල්කැකුළු’ ආරම්භ කළේ නොමිලයේ කෙරෙන ප‍්‍රජා සත්කාරයක් හැටියටයි. අපට අවශ්‍ය වූයේ ලොව පුරා සිටින සිංහල කියවන ඔබට, ලොව නන්දෙසින් අසන්නට ලැබෙන නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිර්මාණ, ආදිය පිළිබඳව සිංහලෙන් එසැණ කියවීමට සැලැස්වීමටයි. ඒ වෙනුවෙන් දිවා රෑ අන්තර් ජාලය ඔස්සේ සැරිසරමු. ඔබට ප‍්‍රයෝජනවත් දෑ සොයා විවිධ පොතපත කෙරෙහි ඇස සිත යොදවමු. එසේ සොයා ගන්නා දේ රසවත්ව, අලූත් ආරකින් ඔබ වෙත ගෙන එන්නට උත්සුක වෙමු. හැම දෙයක් දෙස ම නව ඇසකින් බලන්නට ඔබව පොලඹවන්නට හැම විට ම උත්සාහ කරමු.


පුවත්පත් කලාවේ පනස් වසරක අත්දැකීම් ඇතිව නව මාධ්‍යයක් ඔස්සේ ඔබ වෙත සමීපවන්නට අප අදහස් කළේ නවලොවට සරිලන සන්නිවේදන අත්දැකීමක් බෙදා හදා ගන්නටය. කවදත් ළමා පරපුර වෙනුවෙන් ඇප කැප වුණු අප ඉදිරියටත් ඒ මඟ ම යනු අදහසින් ආරම්භ කළ මෙම අඩවිය ලොව කොතැනක සිටියත් ළමා ඔබේ රස වින්දනය උසස් මට්ටමකට ගෙන යන්නටත් ඔබේ බුද්ධියේ නිම්වළලූ පුළුල් කරන්නටත් ඉවහල් වන අයුරින් සම්පාදනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

‘නුවණ, දැනුම හා විනෝදය’ අපේ තේමා පාඨයයි. ඒ අනුව විශේෂාංග රැසක් ද අපි පසුගිය කාලය තුළ ඉදිරිපත් කෙළෙමු. අපේ අපේක්ෂාව හුදෙක් ‘මල් කැකුළු’ වලට ඇතුළු වන ඔබ ඉන් පිට වන විට අවට ලෝකය පිළිබඳ අලූත් දැනුමෙන් පොහොසත් පිබිදුණු අයකු බවට පත් කර යවන්නටයි. ඒ මගින් ලෝකය දෙස සුබවාදීව බලා එදිනෙදා තමන් කරන කියන කටයුතු ප‍්‍රබෝධවත්ව කරන්නට උත්තේජනයක් ලබා දෙන්නටයි. ළමයින් විශේෂයෙන් ඉලක්ක කර ගත්තද මෙහි එන දැනුම සියලූ වයස්වල පාඨකයන්ට එකසේ ආස්වාදජනක ලෙස ඉදිරිපත් කිරීමට හැම විට ම අපි අපේක්ෂා කරමු.

-පර්සි ජයමාන්න



"Percy - man of many words" 
By Edwin Ariyadasa