HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙන් බොදු කතා


‘සෙන්’ (Zen) යනු මහායාන බුදුසමයට අයත් සම්ප‍්‍රදායකි. ‘සෙන්’ යන නම ජපන් බසට එක්වී ඇත්තේ චීන බසෙහි එන ‘චාන්’ (Chan) යන වදනෙනි. එම වදන චීන බසට එක් වූයේ සංස්කෘත බසෙහි එන ධ්‍යාන යන වදනෙනි. එහි සාමාන්‍ය සිංහල තේරුම ‘දැහැන’ (භාවනාව) යන්නයි.

සෙන් බුදුදහම අවධාරණය කරන්නේ සම්බෝධි ඥානය ලැබීමට මග සලසන ප‍්‍රඥා සම්පත්තියයි. එය සාක්ෂාත් කර ගත හැක්කේ භාවනාව හා ධර්මය ප‍්‍රායෝගිකව භාවිත කිරීමෙන් ලබන ආත්මාවබෝධය තුළින් මිස, සූත‍්‍ර හා ධර්ම පාඨ මත රැඳුණු න්‍යායික දැනුම ලැබීමෙන් හා ඒවා ප‍්‍රගුණ කිරීමෙන් නොවන බව ඉන් අවධාරණය කරයි.

සෙන් බෞද්ධ සම්ප‍්‍රදායට එක් වී ඇත්තේ මහායාන ධර්මයෙහි එන විවිධ ඉගැන්වීම්ය. විශේෂයෙන් ම ඊට ඇතුළත් වන්නේ මහායාන බුදුදහමෙහි එන ප‍්‍රඥාපාරමිතා සාහිත්‍යයෙහි හා යෝගාවචර මෙන් ම තථාගතගර්භ යන නිකායන්වල එන ඉගැන්වීමය. ප‍්‍රඥාපාරමිතා සාහිත්‍යයට අයත් වන්නේ ධර්ම පාඨ ඇතුළත් විවිධ සූත‍්‍රවලින් ප‍්‍රකාශිත මහායාන සම්ප‍්‍රදායේ බෞද්ධ ඉගැන්වීම්ය. සෙන් දහම වචනය ඉක්මවා යන්නක් නිසා සාම්ප‍්‍රදායික වචනවලින් එම දර්ශනය විස්තර කළ නොහැකිය.

සෙන් බොදු කතාවලට ඇතුළත් වන්නේ සෙන් බුදු දහම ඔස්සේ විමුක්තිය සොයා යන යතිවරයන් ඔවුන්ගේ සව්වන්ගේ නැණැස පෑදීමට යොදා ගත් කුඩා උපමා කතා විශේෂයකි. අන්තර්ජාලයේ විවිධ සෙන් කතා පළ වුවත් අප මෙහි පළ කරන්නේ ලොව පැරණිතම සෙන් කතා ඇතුළත් මගේ අලූත් ම පරිවර්තනය වන ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයට ඇතුළත් වන කතා කීපයකි. එය සුරස පොතක් ලෙස දැන් ෆාස්ට් පබ්ලිෂින් (ප‍්‍රයිවෙට්) ලිමිටඞ් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙම කතා කි‍්‍ර.ව. 1283 දී මූජු (Muju) නම් සෙන් යතිවරයා විසින් පළ කළ ‘වැලි සහ පබළු’ යන අරුත් දෙන ‘ෂාසෙකි-ෂූ’ (Shaseki-shu) නම් මුල් ජපන් කෘතියෙන් උපුටා ගෙන පසුව පෝල් රෙප්ස් (Paul Reps) නම් ලේඛකයා විසින් ඉංගිරිසියෙන් පළ කළ ‘සෙන් ෆ්ලෙෂ් - සෙන් බෝන්ස්’ (Zen Flesh - Zen Bones)නම් පොතට ඇතුළත් වූ කතාය.


"සෙන් බොදු කතා"
- පර්සි ජයමාන්න

Publisher: Fast Ads (Pvt) Ltd
165, Devanampiyatissa Mawatha , Colombo 10, Sri Lanka.
Telephone: +94 112682223
Email: fastads@gmail.com
මුද්‍රණය 2011.
ISBN978-955-677-085-8