HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ පොත්

සරසවි පාඨශාලීය ශබ්දකෝෂය 


පහේ ශිෂ්‍යත්වය සමත්වන සිසුන්ට තිළිණ කිරීමට සුදුසු කෘතියකි. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් ඉගෙනුම ලබන පස් වසරක කාලය තුළ ඔවුන්ගේ ‘ගමන් සගයා’ වනු පිණිස විශේෂයෙන් සැකසුණු මෙම කෘතිය ඒ කාලය තුළ ඔවුන් නිවැරදි ඉලක්කය කරා ගෙන යාමට උපකාර වනු නො අනුමානය. මෙම කෘතිය, පාසල් සිසු සිසුවියන්ට පමණක් නොව, 6-11 යන ශ්‍රේණිවලට උගන්වන ගුරුවරුනටද, 6-11 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සිටින දෙමාපියන්ටද, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වීමේදී ඔවුන්ගේ කටයුතු පහසු කරවනු ඇත. 

මූලික ශබ්දකෝෂයට සිංහල සහ ඉංග්‍රීසි වචන 15,000ක් පමණ ඇතුළත් වෙයි. ඊට අමතරව මෙම කෘතියට උප ග්‍රන්ථ පහක් ද ඇතුළත් වෙයි. 1. රූප සටහන් හා චිත්‍ර (සුනාමි තරංගයක වර්ධනය, ශාක සෛලය, සත්ව සෛලය, හෘදයේ දික්කඩක්, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, අහස් යානයක වාපත, සර්පයකු ගේ අවයව, සෞර ග්‍රහ පද්ධතිය, තාරකාවක ජීවන චක්‍රය, මොළයේ ශ්‍රම විභාජනය, ආහාර ජීර්ණ පද්ධතිය, මිනිස් සිරුරේ පේශි, ආවර්තිතා වගුව ආදිය ඇතුළත් වෙයි.) 2. ශ්‍රී ලංකාවේ තොරතුරු සැකෙවින් - ප්‍රධාන දිය ඇලි, ප්‍රධාන ගංගා මුහුදට වැටෙන තැන්, නිදහසින් පසු රාජ්‍ය නායකයෝ, ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, ශ්‍රී ලංකාවේ කඳු, දුම්රිය මාර්ගාන්ත සමඟ ඉංග්‍රීසීන්ට එරෙහිව සිදු කළ උඩරට කැරැල්ල පිළිබඳ කෙටි සටහන්ද ඇතුළත් වෙයි. 3. නිවැරදි ඉංග්‍රීසි වදන් භාවිතය - නිවැරදි ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයට ඉඟි කීපයක් සමග බොහෝ දෙනෙකුට බහුලව වරදින වදන් 260ක නිවැරදි අක්ෂර වින්‍යාසය දක්වා ඇත. 4. නිවැරදි සිංහල වදන් භාවිතය - සිංහල භාෂා භාවිතයේ දී පොදුවේ අප අතින් සිදුවන අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කර ගැනීමට අත්වැලක් වනු පිණිස නිවැරදි අක්ෂර වින්‍යාස දැක්වෙන වදන් 1260ක් මෙයට ඇතුළත් වෙයි. 5. ශබ්දකෝෂයට ඇතුළත් වන වදන් මාලාවෙහි ඉංග්‍රීසි සුචිය. 

මෙය නවතම සරසවි ප්‍රකාශනයකි. සරසවි පොත්හල් වලින් මිලදී ගත හැකිය. 

සරසවි හෙළ වදන් රුවන - සිංහල සමානාර්ථ පද කෝෂය 


ජාතියක පණ නළ වන්නේ භාෂාව යි. භාෂාවක පණ නළ වන්නේ වදන් ය. වදන් හෙවත් පද සම්භාරය ජාතියක් සතු ධනය යි. මෙවැනි කෘතියකින් කෙරෙන්නේ ඒවා එක් රැස් කර තැබීම ය. එය වත්මන් පරපුරට මෙන් ම අනාගත පරපුරට ද එකසේ ප්‍රයෝජනවත්ය. භාෂාවක් භාවිත කරන විට වංමාලාව වැඩි අයෙකු‍ට සන්නිවේදනය වඩාත් පහසු කරවයි. ඒ අනුව මෙම කෘතිය, සන්නිවේදනය සඳහා සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනාට ම මහෝපකාරී වන ග්‍රන්ථයකි. සිංහල භාෂාව හදාරන දරුදැරියන්ට වාංමාලාව නංවා ගැනීමට උපකාරී වෙයි. සිංහල භාෂාව උගන්වන ගුරුවරුනට හොඳ මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය හා සිංහලයේ පද බෙදීම පහදයි. 

එසේ ම, කවියන්ට, ගීත රචකයන්ට හා ලේඛකයන්ට ඉතා ප්‍රයෝජනවත් ය. ප්‍රහේලිකා තනන්නන්ට හා විසඳන්නන්ට අත්වැලක් සපයයි. දරුවන්ට හා ආයතනවලට නම් තැබීමේ දී උපයෝගී කර ගත හැකිය. එහිදී අවශ්‍ය වන ඉටු අනිටු ගණ පිළිබඳ පැහැදිලි කිරීමක් ද ඇත. 

සිංහල භාෂාවේ එන පර්යාය පද හෙවත් සමානාර්ථ පද අති විශාල ප්‍රමාණයක් මෙම කෘතියට ඇතුළත් කර තිබේ. ඒ සමඟ ම පදවල අර්ථය වැඩි කර ගන්නා ආකාරයත් විරුද්ධාර්ථ පද සාදාගන්නා අන්දම ගැනත් මෙහි දී පැහැදිලි කර දී ඇත. 

සිංහලයෙහි පද නිර්මාණය යටතේ නාම, ක්‍රියා, නිපාත සහ උපසර්ග ආදියත්, විවිධාර්ථ පද, යුගල පද, විරුද්ධාර්ථ පද හා ඒවා සෑදෙන ක්‍රම පිළිබද සරලව විස්තර කර තිබේ. 

මෙම කෘතියෙහි පර්යාය පද පමණක් නොව ඒ පදවල, ශීර්ෂ පදය යටතේ පද දක්වා ඇත්තේ ද සිංහල අකාරාදියට අනුවය. එයින් අවශ්‍ය වදන සොයා ගැනීම පහසුවෙයි. මෙහි වදන් පෙළ ගස්වා ඇති ආකාරයට නිදසුන් කීපයක් මෙසේ ය: 

අනංගයා = 1අටමල්, අද, අනංග, අනඟ, අසිරිරු, ඉගුදුනු, ඉගුසැවු, උක්දුනු, උගුසැවු, උගුයටසැවු, උනඟ, උවිඳු සුත, කණ්ඩාපස, කන්දර්පයා, කඳප්, කම්, කම්දෙවියා, කම්සර, කාම, කාමදේවයා, කාමේශ්වරයා, කුසුමකඩ, කුසුමචාප, කුසුමදුනු, කුසුමවි, කුසුමශර, කුසුමසර, කුසුමායුධ, කුසුම්කඩ, කුසුම්කඬ, කුසුම් දද, කුසුම්දුනු, කුසුම්හී, කොඳසැවු, තුනු අඩ, තුනුදද, තුනුයොන්, තුනුවග, තුනුහිරු, තුල්හිරු, නරඟ, නාරායණ තනය, නාරායණ තෙන, පංචශර, පඤ්චබාණ, පන්සර, පන්සැර, පසී, පස්සර, පස්හී, පියුම් තෙන, පුෂ්පචාප, පුෂ්පබාණ, පුෂ්පශර, පෙම්සර, පෙම් සැර, මකරධ්වජ, මද, මදන, මනයොන්, මනෝභව, මන්මථ, මන්මද, මන්මඳ, මන්යොන්, මර, මරු, මල’ග, මලඟ, මලදෙවි, මල’වි, මලෙවි, මල් කෙහෙලි, මල්සර, මල්සරා, මල්සැර, මල්සැවු, මල්හී, මළ’ග, මාර, මින්දද, මින්යන්, මින්යහන්, මීන කේතන, මීන කේතු, මීනධ්වජ, මුවන්, මුවර, මුවරදද, මුවරදා, රතිපති, රතිපිය, රතින්ද, රතිඳු, රතිවල්ලභ, රතිහිමි, රතීන්ද්‍ර, රා, රියහිමි, ලිය සැවු, වස්, වසම්සර, වසම්සැර, වියොවග, සමර, සරපස්, සිරිඟරයොන්, ස්මර; 2මනමාලයා, ස්ත්‍රීලෝලියා. 

මී මැස්සා = අලි, දෙහිරුන්, බිඟු, භෘග, මධුකර, මධුපා, මධුමක්ෂිකා, මධුලොල්, මියුකුරු, මියුමැසි, මිහිකර, මිහිකරු, මිහිපා, මිහිමැසි, මිහිරුන්, මිහිලොල්, මීපා. මීලොල්, මුවර, සපද, සපා, සපු, සබර, සැවු, සිලිමුව, සුපුල්. 

සතුට = අනඳ, ආනන්දය, ආහ්ලාදය, තිසුම්, තිළි, තුට, තුටු, තුරු, තුෂ්ටි, තුස්, තොස්, තෝෂය, නද, නදන්, නඳ, නඳන්, නඳුන්, පරිතෝෂය, පමෝදය, ප්‍රමෝදය, ප්‍රහර්ෂය, ප්‍රීතිය, මොද, සතොස්, සන්තුෂ්ටිය, සන්තෝෂය, සහතොස්, සොම්නස, හර්ෂය. 

සඳ = අමකිරණ, අමාකර, ඉඳු, උළිඳු, උළුනා, උළුපති, කයිරවසිය, කලානදන, කලානපති, කලානී, කාවත්, කොඳවනමිතුරු, කොඳසිය, ගහරජ, තරමැණ, තරිඳු, තරුරද, තරුපති, තාරපති, තුරුපති, තුරුරාජ, තුසරපා, දදඉඳු, දදරද, දෝනා, නිශාකර, නිශාමණි, නිසපිය, නිසයුරු, නිසාකර, නිසාපිය, නිසිඳු, නුබවත්, පිනිපා, මා, රජ, රද, රජනීකර, වසනා, ශශධර, ශශාංක, ශිශිරකර, සක්, සඳු, සලක්, සසලේ, සිරිකඩ, සිසි, සිසිරකර, සුධාකර, සේකර, සේකැන්, සේරස්, සොමි, සොමිකිරණ, සෝම, හිමකර, හිමරැස්. 

නිතර ළඟ තබාගෙන පරීශීලනය කරන්නට සුදුසු පරිද්දෙන් මුද්‍රණයෙන් නිකුත් කොට ඇති මෙය සරසවි ප්‍රකාශනයකි. සරසවි පොත්හල් වලින් මිලදී ගත හැකිය. 

ගුණසේන සමාගමෙන් නස්රුදින්ගේ කතා පොත් පෙළක් 

මීට අඩ සියවසකට පෙර ‘නවයුගය’ සඟරාවෙන් හඳුන්වා දෙන ලද නස්රුදින් දැන් සිංහල පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇත. ඒ නිසා දැන් නස්රුදින් කතා පොත් පෙළක් ම දැන් නිකුත් වී ඇත. ‘නස්රුදින්’, ‘නස්රුදින් සහ නෑදෑයෝ’, ‘නස්රුදින්ගේ අපූරු කතා’, ‘නස්රුදින්ගේ අමුතු කතා, යන කතා පොත් හතර මගින් පාඨක ඔබට කතා 400ක් ඉදිරිපත් කර ඇත. 

නස්රුදින් කතා ඉංග්‍රීසි පාඨකයන්ට හඳුන්වා දුන් එංගලන්තයේ මහාචාර්ය අයිඩ්‍රිෂ් ෂා නස්රුදින් ගැන මෙසේ කියා තිබේ. ‘නස්රුදින්ට තමන් එක්ක ඉගෙන ගත්තු ළමුන්ව කතාවලින් ඇද බැඳ තියාගන්න අපූරු ශක්තියක් පුංචි කාලෙ ඉඳලම තිබුණලු. ඒ නිසා ඒකෙන් ළමයින්ගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙන්න පටන් ගත්තලු. නස්රුදින්ගේ සිත් ඇද ගැනීමේ ශක්තිය වළකාලන්නට බැරි වුණු ගුරුවරයා (ඉතා හොඳ බුද්ධිමතකු වූ බැවින්) ඒ කතා වෙන අතකට හරවන්න හිතලා මෙන්න මෙහෙම පොඩි පහේ ‘ශාපයක්’ කළාලු. ‘අද ඉඳලා උඹ කොච්චර බුද්ධිමත් වුනත්, මිනිස්සු උඹට හිනා වේවි. අද ඉඳලා උඹ එක කතාවක් කියන හැම විටෙකම, මිනිස්සුන්ට ඒ කතා අහන්න හිතිලා, අඩු තරමින් කතා හතක්වක් කියන්න උඹට සිද්ධ වේවි.’ 

‘නස්රුදින් කතාවල හරි පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනවා. ඒ කතාවක් අහලා කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනා කරන්න පටන් ගන්නවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. කොහොම වුනත් නස්රුදින් හඳුනා ගන්න තියෙන හොඳම විදිය ඔහුගේ කතා කියවීමයි.’ කියා මුල් ම නස්රුදින් පොතේ සඳහන් වෙයි. 

ගුණසේන ප්‍රකාශන නිසා මේ නස්රුදින් පොත් හතර ගුණසේන පොත්හල් වලින් මිලදී ගත හැකිය. 

එතෙර බුදුදහම ගැන පොත්: සෙන් බොදු කතා 

සෙන් බොදු කතාවල පොදු උපමා කතාවලට වඩා වැඩි යමක් ඇතුළත් වී තිබේ. ශ්‍රාවකයාට සිය ඥාන මණ්ඩලය පුළුල් කර ගැනීමට අවශ්‍ය ‘කමටහන්’ ඒ කතාවල ගැබ්වී තිබේ. එක කතාවක් ඇසූ පමණින් ‘සත්‍යාලෝකය’ සාක්ෂාත් කර ගත හැකි ගුණයක්, ශක්තියක් මේ කතාවල අන්තර්ගත ය. 

මෙම සෙන් බොදු කතා කෘතියට ඇතුළත් වන කතා ලොව පැරණිම සෙන් කතා ලෙස සැලකේ. මේවා මීට වසර 782කට පෙර ජපානයේ කාමකුරා යුගයේ ලියැවුණු ඒවාය. පෝල් රෙප්ස් නම් ලේඛකයා විසින් ඉංග්‍රීසියෙන් පළ කරන ලද ‘සෙන් ෆ්ලෙෂ් - සෙන් බෝන්ස්’ නම් කෘතියට ද මේ කතා ඇතුළත් කර තිබුණි. මෙම ‘සෙන් බොදු කතා’ පරිවර්තනය සඳහා ඒ කතා සොයා ගත්තේ අන්තර් ජාලයෙනි. මේ කතා පොකුරට කතා 100ක් ඇතුළත් වෙයි. 

‘සෙන් බොදු කතා’ සුරස ප්‍රකාශනයක් වන නිසා සුරස පොත්හල් වලින් මිලදී ගත හැකිය. 

එතෙර බුදුදහම ගැන පොත්: බුදු දහමේ හරය 

මෙම ග්‍රන්ථයෙන් ගත වූ වසර දෙදහස් පන්සීයක් තිස්සේ බුදුදහම පිළිබඳව නැඟුණු ප්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැඳින්විමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරන උගතුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ගය දක්වන කෘතියක් ලෙස ද හැඳින්විය හැකිය. 

මෙහි භාෂාව සරල ය, විචිත්‍ර ය. කටවහරේ එන කාටත් තේරුම් ගත හැකි වදන්වලින් ඒ මගින් බුදු දහමේ ගැඹුරු තැන් පවා පහසුවෙන් අවබෝධ කර ගත හැකි අයුරින් ඉදිරිපත් කර තිබේ. මෙහිදී වඩාත් උචිත වදන් තෝරා ගැනීම නිසා යමෙකුට ශ්‍රේෂ්ඨ දර්ශනවාදියකුගේ ප්‍රාඥාව තේරුම් ගත හැකියි. එසේම පුළුල් දැනුමක් ඇති උගතකු ලෙස කතුවරයා මේ දෙස ගැඹුරෙන් හා ගෞරවයෙන් බලන්නට පෙලඹුණා පමණක් නොව සැබෑ බෞද්ධයකු ලෙස මිථ්‍යා විශ්වාසයන් හා කටකතාවලින් තොරව මෙය ඉදිරිපත් කර ඇත. 

සන්නිවේදන විශේඥයකු වූ මෙහි කතුවරයා ‍මහායාන බුදු දහමේ පමණක් නොව ථේරවාදයේ ද ඇති කරුණු විමසමින් බුදුදහමේ හරය මෙසේ ප්‍රශ්නෝත්තර මාලාවකට කැටි කොට ඉදිරිපත් කිරීම ඔහුගේ හසල දැනුම හා විචාරශීලීත්වය මැනවින් ප්‍රකට කරන්නකි. 

‘බුදු දහමේ හරය’ සුරස ප්‍රකාශනයක් වන නිසා සුරස පොත්හල් වලින් මිලදී ගත හැකිය. 

Post a Comment

2 Comments

  1. Where Can I Buy these books.
    Are those available in https://nyle.lk/ or https://www.sarasavi.lk/Stationery

    ReplyDelete
    Replies
    1. Unfortunately some books are not available online. You will need to visit physical store or call MD Gunasena or Sarasavi or Surasa Book Shops and ask them where you can buy the books.

      Below few links might help;

      Nasrudin: https://www.sarasavi.lk/Search?q=nasrudin
      https://grantha.lk/nasrudin-persi-jayamanna-mdgunasena-story.html
      https://grantha.lk/nasrudin-persi-jayamanna-mdgunasena-story.html

      Zen Bodhu Katha: http://surasa.lk/books/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-sen-bodhu-katha/

      Sinhala Samanartha Pada Koshaya: https://www.sarasavi.lk/Book/Sinhala-Samanartha-Pada-Koshaya-9553107052

      Delete