අලියා, කොටියා, වලහා, බල්ලා, බළලා, ලේනා, මීයා, හාවා, වඳුරා, ඔටුවා ආදී මේ සතුන්ට ඇති පොදු ලක්ෂණය මොකක්ද? මේ සතුන් සියලු දෙනා පොදුවේ ක්ෂීරපායීන්ය. ක්ෂීරපායී සත්ව විශේෂ 5,000 කට වැඩි ගණනක් මිහිමත ජීවත් වෙයි. මොවුන් අයත් වන්නේ ‘මැමේලියා’ (Mammalia) සත්ව වර්ගයටයි. ක්ෂීරපායී සියලු දෙනාට කොඳු ඇට පෙළක් එසේත් නැතිනම් කශේරුකාවක් පිහිටා තිබේ. ඒත්, කශේරුකාවක් ඇති අනෙක් සතුන්ගෙන් ක්ෂීරපායීන් වෙනස් වන්නේ ඔවුන්ට ආවේණික ගති ලක්ෂණ කීපයක් නිසාවෙනි.
ක්ෂීරපායීන් අචලතාපීන්ය. අචලතාපීන් යනු පරිසරයේ උෂ්ණත්වයේ වෙනස්කම්වලට අනුව තමන්ගේ සිරුරේ උෂ්ණත්වය අඩු වැඩි කර ගන්නා ජීවීන්ය. ක්ෂීරපායීන්ට මයිල්, කෙස් හෝ ලොම් ඇත. හුස්ම ගැනීම සිදුවන්නේ පෙණහලු ආධාරයෙනි. වඩා වැදගත්ම කාරණාව වන්නේ පැටවුන් කිරි බී වැඩීමයි. ක්ෂීරපායීන් යනු මිනිස් අප ද ඇතුළුව කිරි බී වැඩෙන ජීවීන්ය. පොදුවේ මෙම සමානකම් තිබුණත්, ක්ෂීරපායීන් අතරේ ද ජීව විද්‍යාත්මක වෙනස්කම් දකින්න ලැබේ. ඒ අතරින් කැපී පෙනෙන්නේ පැටවුන් බිහි කරන්නේ කෙසේ ද යන කාරණාය. ඒ අනුව ක්ෂීරපායීන් වර්ග 3 කි.
වැඩිදෙනා වැදෑමහක් (Placenta) ඇති ක්ෂීරපායීන් (Placental Mammals) ය. මනුෂ්‍ය අප, බල්ලන්, බලලුන්, ජිරාෆ් ආදිය පමණක් නොව, ලොව විශාලතම සත්වයා යන නිල් තල්මසා ද අයත් මෙම කාණ්ඩයටය. මෙම සතුන්ගේ වැදෑමහ යනු රුධිරයෙන් පිරි ඝන පටක තරලයකි. එය ගර්භාෂ බිත්තියට සම්බන්ධ වෙයි. ඒ, කළලයේ වර්ධනයට ආධාර කරමිනි. ප්‍රසූතියේ දී චූටි බබා හෝ පැටවා පණ පිටින් තබා ගැනීමට වැදෑමහ උදව් වෙයි. වැදෑමහ සෘජුව මවගේ රුධිර සැපැයුමට සම්බන්ධ වෙයි. පෙකණි වැල හරහා අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් බබාගේ හෝ පැටවාගේ සිරුරට කෙළින්ම ලැබේ. පෝෂණය සහ ඔක්සිජන් ලැබෙනවා සේම, බබාගේ හෝ පැටවාගේ සිරුරේ ඇති අපද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන්නේ ද පෙකණි වැල හරහාය.
වැදෑමහක් ඇති ක්ෂීරපායීන්ට (Placental Mammals) අනෙක් ක්ෂීරපායීන්ට වඩා වැඩි කාලයක් පැටවුන් ගර්භාෂයේ රඳවා ගෙන සිටිය හැකිය. නිල් තල්මස් පැටවුන් තල්මස් මවගේ ගර්භාෂයේ අවුරුද්දක්ම සිටී. පැටවා උපත ලබන තුරු පණ පිටින් තබා ගැනීම සිදුවන්නේ වැදෑමහය. පෙකණි වැල සමඟ සම්බන්ධය විසන්ධි වෙද්දී, අලුත උපදින බබා හෝ පැටවා එයාගේ ශ්වසන පද්ධතිය ආධාරයෙන් හුස්ම ගැනීම (ශ්වසනය) අරඹයි. රුධිර සංසරණය අරඹයි. අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය වැඩ අරඹයි. අලුත උපදින නිල තල්මස් පැටවා අඩි 23 ක් පමණ දිගය. උපන් සැණින් අම්මා මෙන් පිහිනීමට ද පැටවාට හැකියි. ඉදිරි මාස 6 ක කාලයේ පැටවා, එක් දිනකට, අම්මාගෙන් වෑහෙන උකු මේදයෙන් පිරි කිරි ලීටර් 225 ක් පමණ උරා බීම සිදු කරයි.
දෙවැනි ක්ෂීරපායීන් වර්ගය දකින්න ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවෙනි. ‘මාර්සුපියල්’(Marsupial) යන ඉංග්‍රීසි වදනින් හැඳින්වෙන්නේ මොවුන්ය. ‘මාර්සුපියල්’ උපත ලබද්දී ඉතා කුඩාය: සියුමැලිය. ඒ නිසා මේ පැටවුන්ට මවගේ කුසේ ඇති මල්ලක වැඩීමට සිදුවෙයි. ‘මාර්සුපියල්’ යන ඉංග්‍රීසි වදනේ සිංහල අරුත ‘පැසිපොව්වා’ යන්නය. එහි අර්ථය, ‘පැසක (මල්ලක) හොවා පැටවුන් ඇති දැඩි කරන්නා’ ය. පැසිපොව්වන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ සහ අසල්වැසි දූපත් ටැස්මේනියාවේත් පමණි.
කෝල් (quoll) යනු මිහිමත ජීවත් වන කුඩාම පැසිපොව්වාය. ඌ නිශාචර සතෙකි. උපත ලබද්දී, කෝල් පැටවකුගේ බර මිලි ග්‍රෑම් 18 කි. එය සීනි කැට 30 ක් පමණ ප්‍රමාණයකි. අප කවුරුත් හොඳින් දන්නා හඳුනන පැසිපොව්වා කැන්ගරුය. කැන්ගරුන් විශේෂ කීපයකි. කැන්ගරු උපත ලබා දෙන්නේ පුංචි බෝංචි ඇටයක වඩා තරමක් විශාල පැටවකුටය. කැන්ගරු අම්මා වරකට උපත ලබා දෙන්නේ එක් පැටවකු පමණි. මේ පුංචි පැටවා, මවගේ යෝනි මාර්ග තුනෙන් ප්‍රධාන මාර්ගය හරහා පිටතට පැමිණ මල්ල තුළට රිංගා ගනී. ඉදිරි මාස 6 සිට 11 තෙක් කාලයේ පැටවා ගත කරන්නේ මේ මල්ලේය. මල්ලේ ඇති තනපුඩුවලින් කිරි උරා බොයි. පැටවා ලොකු වී, මවගේ පැසෙන් නික්ම ගිය පසු, කිරි බීමට මව වෙත පැමිණෙයි. ඇතැම්විට මේ ලොකු පැටවා, කැන්ගරු අම්මාගේ පැටවුන් තිදෙනකුගෙන් කෙනෙකු විය හැකිය.
කැන්ගරු මවක, ලොකු කැන්ගරු පැටවකුට කිරි දෙද්දී, ඇගේ ගර්භාෂයේ සහ මල්ල තුළ තවත් පුංචි පැටවුන් දෙදෙනකු සිටිය හැකිය. දේශගුණික ගැටලු පවතින්නේ නම් හෝ පැටවුන් බිහි කිරීමට සුදුසු කාලවකවානුවක් නොවේ නම්, පැටවුන් බිහි කිරීම තාවකාලිකව ප්‍රමාද කර ගැනීමට පවා කැන්ගරු අම්මලාට හැකියාව තිබේ. එවැනි තත්ත්වයකදී කැන්ගරු අම්මාගේ සිරුරින් වර්ග දෙකක කිරි නිපදවෙයි. එක් කිරි වර්ගයක් අලුත උපන්, පැසෙහි සිටින පැටවාටය. අනෙක් කිරි ලොකු මහත් වී පැසෙන් එළියට පැමිණි පැටවාටය. මේ ලොකු කැන්ගරු පැටවුන් හැඳින්වෙන්නේ ‘ජෝයි’ (Joey) යනුවෙනි.
‘මැමේලියා’ යන වදනේ අර්ථය, ‘පියයුරු’ යන්නයි. එම අර්ථ ගැන්වීමේ ගැටලුවකි. කැන්ගරු අම්මලා පැසෙහි ඇති තනපුඩුවලින් කිරි නිපදවීම කළත්, ඔවුන්ට පියයුරු නැත. පියයුරු නැති අනෙක් ක්ෂීරපායීන් වර්ගය වන්නේ ‘මොනොට්‍රිම්ස්’ ය. මොවුන් ඇත්තෙන්ම හරිම අපූරු ක්ෂීරපායීන් විශේෂයකි. ‘මොනොට්‍රිම්ස්’, ‘මොනොට්‍රිමාවා’ යනුවෙන් සිංහලට නැගෙයි. අතීතයේ සිය ගණනක් ‘මොනොට්‍රිම්ස්’ විශේෂ ජීවත් වූ බවට සාක්ෂි හමුවී තිබේ. ඒත් අද ජීවත් වන්නේ ‘මොනොට්‍රිම්ස්’ විශේෂ පහක් පමණි. ඒ අතර එකිඩ්නා විශේෂ 4 කි. එකිඩ්නා යනු ඕස්ට්‍රේලියාවට ආවේණික පැසිපොව්වෙකි. අනෙකා ‘ප්ලැටිපස්’ ය. ‘තාරා හොටැති ප්ලැටිපස්’ ය. සරලව කීවොත් ‘මොනොට්‍රිම්ස්’ යනු ‘බිජුලන’ එසේත් නැතිනම් ‘බිත්තර දමන’ ක්ෂීරපායී සත්වයා යන්නයි. මොවුන්ගේ මූත්‍ර සහ මල පිටවීමත්, බිත්තර දැමීමත් සිදු කරන්නේ සිරුරේ එක් සිදුරකිනි.
කුරුල්ලන් (පක්ෂීන්), උරගයන්, මසුන්, ඩයිනසෝරයන් ආදීන් මෙන්ම ‘මොනොට්‍රිම්ස්’ සත්වයන් පැටවුන් බිහි කරන්නේ නැත. බිත්තර දැමීම සිදු කරයි. මොවුන්ගේ බිත්තරවල කටුව මෘදුය. පැටවුන් බිත්තරවලින් එළියට ආ පසු මවගේ පැසෙහි සිට කිරි උරා බී වැඩෙයි. ඒ, තනිවම ආහාර සොයා ගැනීමට හැකිවන තෙක් ය. ක්ෂීපරායීන්ගේ දකින්න නොලැබෙන, අනෙක් සත්ව විශේෂවල දකින්න ලැබෙන ලක්ෂණ බොහොමයක් ‘මොනොට්‍රිම්ස්’ සතුන්ට ඇත. ‘ප්ලැටිපස්’ට, තාරාවකුගේ මෙන් හොටකි. ‘ප්ලැටිපස්’ පිරිමි සතුන්ගේ පාදවල විස කටුවකි.
- ලුසිත ජයමාන්න
0 Comments