ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව කුමක් ද?

සාහිත්‍ය මාසය වෙනුවෙන් තවත් සාහිත්‍යයට අදාළ කරුණක් ගැන පවසන්නයි, මේ සැරසෙන්නේ. සිංහල සාහිත්‍යයේ ප්‍රථම නවකතාව කුමක් ද? සයිමන් ද සිල්වාගේ ‘මීනා’ ද? ඇල්බට් ද සිල්වාගේ ‘විමලා ද? ඇල්. අයිසෙක් ද සිල්වාගේ ‘පවුල් දෙක’ ද? පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොසලින්’ ද? 
සිංහල නවකතාවේ පුරෝගාමීන් තොම්සන් ඒ වැන්දබෝනා ලියූ කෘතිය


නවකතාව යන වචනයට ඉංග්‍රීසියෙන් යොදන novel යන වදන බිඳී ආවේ ඉතාලි බසෙහි එන novella යන වදනෙහි අග අකුරු දෙක හැළීමෙනි. එහි අරුත ‘නව’ හෙවත් ‘අලුත්’ යන්නය. ඒ යුගයේ ජනයා අතර භාවිත වූයේ ජන කතා ය. නැත්නම් ජාතක කතා ය. ජනප්‍රවාදයේ එන කටින් කට යන කතා වෙනුවට කිසිම් අයෙකු විසින් අලුතින් ම නිර්මාණය කරන ලද කතා සඳහා අවශ්‍ය වෙනස, මේ ‘නව’ යන වදනෙන් හැඳින්විණ. එහෙත් අපේ රටේ ලේඛකයන් ඒ මුල් කාලයේ දී අලුතින් සිතා ලියන ඒ කතා හැඳින්වූයේ ‘අමුතු කතා’, ‘සමය කතා’, ‘කතා වස්තු’ නැත්නම් ‘රස කතා’ කියාය. නවකතා යන ඉංග්‍රීසි වදන අනුව සන්නාමයක් යොදා අලෙ‍‍වියට ආවත් ඒවා සත්‍ය වශයෙන් ම ඒ නාමයෙන් හැඳින්විය හැකිද යන්න ඒ කාලයේ පවා විචාරකයන්ට ප්‍රශ්නයක්ව තිබුණේය. 

19 සිවයවසේ මුල්භාගයේ දී ලියවුණු නවකතා බොහෝ ආගමික ප්‍රචාරය හා සමාජ ශෝධනය අරමුණු කර ගෙන ලියූ ඒවා විය. ඒ යුගයේ ජනප්‍රිය නවකතාකරුවකු ලෙසට නමක් දිනා ගෙන සිටි පියදාස සිරිසේන ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ යන කෘතියෙහි මෙසේ දක්වා තිබේ. ‘නවකතා වශයෙන් සිරිසේන මහතාගේ රචනාවල අගයක් නැත. ඔහු කලාකරුවකු නොව සමාජ සංස්කාරකයෙක් ය’ එතුමාගේ මේ අදහසට එවකට ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා මහාචාර්යවරයා වූ ඊ. එෆ්. සී. ලුඩොවයික් එකඟ නොවූ අතර ඔහු දක්වා තිබුණේ එකල පැවති සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන් සැලකිල්ලට නොගෙන එම කෘති විචාරයට ලක් කිරීම වැරදි සහගත බව ය. 

ඉංග්‍රීසියෙන් පළ වූ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන්නේ 1719 දී ග්‍රන්ථද්වාරයෙන් නිකුත් වූ ‘රොබින්සන් කෲසෝ ය. එහි කතුවරයා ඩැනියෙල් ඩිෆෝ ය. සිංහලෙන් නවකතාවක් පළ වූයේ අවුරුදු 200කට පසුවය. 1943 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඉංග්‍රීසියෙන් පළ කරන ලද Modern Sinhalese Fiction කෘතියෙන් ද ‘මීනා’ ප්‍රථම සිංහල නවකතාව බව තහවුරු කර තිබේ. ඒ වාගේම මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ද එතුමාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කෘතියේද ‘මීනා’ ගැන ඒ ආකාරයේ සඳහනක් ඇත. මහාචාර්ය ආරිය රාජකරුණා ද ඒ මුල් යුගයේ ප්‍රබන්ධ අතර ‘මීනා’ ප්‍රථම නවකතාව ලෙස සැලකිය හැකි සාධනීය ලක්ෂණවලින් සමන්විත බව පෙන්වා දී ඇත. 
මීනා නව මුද්‍රණයක කවරය


අලුත්ගමගේ සයිමන් ද සිල්වා ‘මීනා’ නවකතාව ලියා පළ කෙළේ 1905දී ය. ඩිමයි අටෙන් එක ප්‍රමාණයෙන්, පිටු 124කින්, ඩිමයි කඩදාසියේ මුද්‍රණය කළ ඒ පොත මිල කළ තිබුණේ ශත 50කට ය. ශ්‍රී ලංකෝදය මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද එහි ප්‍රකාශක ලෙස දැක්වුණේ ඒ.ඒ.අයි. ද සිල්වා ය. 

1905 ජූලි 18 වැනිදා ‘මීනා’ ගැන විචාරයක් ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ පළ කරනු ලැබීය. එය එහිදී හඳුන්වා දී තිබුණේ ද The first Sinhalese Novel යනුවෙනි. 1905 ජූලි 18 වැනිදා ‘සරසවි සඳරැස’ පුවත්‍පතේ ද මීනා ගැන විචාරයක් පළ වී තිබේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ කෘතියෙහි කතාව කෙටියෙන් මෙසේය. හමුදාවේ සේවය කළ අබ්දුල් නමැති මැලේ ජාතික තරුණයා විවාහ වූයේ ලෙන්චිනා නම් කාන්තාවක සමගයි. ඔවුන් ලද දියණිය මීනායි. මීනා රූමත් තරුණියක බවට පත් වූ පසු මේ යුවළ ඇයත් කැටුව ගම්පොළ පදිංචියට යන අතර එහිදී ඔවුන් දිවි සරි කර ගත්තේ හොර සූදු පිටියක් පවත්වා ගෙන යමිනි. එහි සූදු ක්‍රීඩාවේ යෙදෙන්නට එන අයට සංග්‍රහ කරන්නට සිදු වන්නේ තරුණ මීනාට ය. ඇය ඒ කාරිය ඉටු කරන්නේ තම ආරක්ෂාව සඳහා මැහැලියක ලෙස වෙස්වලා ගෙනයි. දිනක් සූදු පිටියේ දී මහා කෝලාහලයක් හට ගනියි. ඒ අතර එක තරුණයෙක් මීනා ඔසවාගෙන කැළෑ වදියි. තවත් තරුණයෙක් ඒ පසුපස යයි. මුල් තරුණයා ඔහුට ඉඩ දී මීනා අත්හැර යයි. පසුව ඩැනී නැමැත්තාගේ පෙම්වතිය බවට පත් වන මීනා ඔහුගෙන් ද වෙන් වී පවුලිස් නැමැත්තකු හා විවාහ වෙයි. මෙහි කතාව ගෙතී ඇත්තේ මීනා, ඩැනී හා පවුලිස් යන තිදෙනාගේ ත්‍රිකෝණාකාර ප්‍රේම සම්බන්ධතාව මත ය. 
2000 දී සයිමන් ද සිල්වා වෙනුවෙන් නිකුත් කළ මුද්දරය

‘මීනා’ කෘතියෙන් වසරකට පසු, එනම් 1906 දී, පියදාස සිරිසේනගේ ප්‍රථම නවකතාව වූ ‘ජයතිස්ස සහ රොස්ලින්’ පොතක් වශයෙන් නිකුත් වුවද එය මුලින් ම කොටස් වශයෙන් පළ වී ඇත්තේ ඔහු කර්තෘ පදවිය දැරූ ‘සිංහල ජාතිය’ පුවත්පතෙහි ය. ඒ 1904 සිට ය. සයිමන් සිල්වාගේ දෙවන නවකතාව වූ ‘තෙරේසා’ පළමු වූයේ 1906 දී ය. 

සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යයට පදනම වැටුණේ 1866 දී ‘රුවන්මල්දම’ සඟරාවට ඇල්. අයිසෙක් ද සිල්වා ලියූ ‘වාසනාවන්ත පවුල සහ කාලකණ්ණි පවුල’ යනුවෙන් කොටස් වශයෙන් ලියන ලද නවකතාවෙනි. එය පසුව ‘පවුල් දෙක’ නමින් පොතක් වශයෙන් පළ විය. ඉන්පසු බෙන්තර ඇල්බට් සිල්වා ද අමුතු කතා හෙවත් ගද්‍ය ආඛ්‍යාන පොත් හතරක් ප්‍රසිද්ධ කර ඇත. ඒ කතා ඔහු සිංහලෙන් අමුතු කතා කියා හඳුන්වන ගමන් ඉංග්‍රීසියෙන් හඳුන්වා ඇත්තේ ‘Novel’ කියා ය. ඒත් ඒවා සත්‍ය වශයෙන් ම නවකතා කියා හැඳින්විය නොහැකි ය යනු විචාරකයන්ගේ අදහස ය. මෙයින් පසුව 1905 දී අලුත්ගමගේ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ පළ වූයේ ද ඇල්බට් සිල්වා මෙන් Meena – A Novel by A. Simon de Siva යන ඉංග්‍රීසියෙන් යෙදූ වගන්තියක් සමග ය. මීනාට පෙර මුලින් ම ඇල්බට් සිල්වාත් කන්නන්ගර නම් දේවගැතිවරයාත් ‘Novel’ කියා හඳුන්වමින් කතා ඉදිරිපත් කළ ද නවකතාවක හැඩතල වඩාත් හොඳින් ප්‍රකට වූයේ ‘මීනා’ කෘතියෙනැයි යන්න සාහිත්‍යය පිළිබඳ විශේෂඥ විචාරකයන්ගේ මතය වේ. 

අලුත්ගමගේ සයිමන් ද සිල්වා උපන්නේ 1874 නොවැම්බර් 14 වැනිදායි. ඔහු මාතර සාන්ත තෝමස් විදුහලේ අ‍ාදි ශිෂ්‍යයෙකි. එකල පැවති ක්‍රමයට අනුව ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව පිරිවෙන් ඇසුරෙන් සිංහල, පාලි ඉගෙන ගත්තේය. 1895 දී ඔහු ලිපිකරුවකු වශයෙන් රජයේ සේවයට බැඳුණේ ය. ඒ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට ය. රජයේ සේවය හොඳින් ඉටු කළ ඔහු උසස් වීම් ලබා විවිධ තනතුරු දැරූ හෙබවූවා පමණක් නොව භාණ්ඩාගාරයේ වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලේ ලේකම් තනතුරේ ද වැඩ කිරීමට සමත් විය. 

සයිමන් ද සිල්වා ගැන ඔහු ලියූ නවකතා ඇතුළු නිර්මාණ කීපය ගැන හැරෙන්ට වෙනත් විස්තර අපුකට ය. කළුතර වස්කඩුවේ සේරසිංහ මහත්මිය හා විවාහ වූ ඔහුට දියණියන් දෙදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු සිටි බව සඳහන්ය. බොරැල්ලේ කොටා පාරේ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානයේ ‘මීනා කොටේජ්’ හී පදිංචිව සිටි ඔහු වයස අවුරුදු 48ක්ව සිටියදී 1922 සැප්තැම්බර් 23 වැනිදා හෘදයාබාධයකින් මියගිය බව ඔහු පිළිබඳ ගවේෂණයක යෙදුනු අමල් යශෝමන් ජයසිංහ නම් ලේඛකයා ලියූ ලිපියක දත්වා තිබේ. ඒ අනුව ඔහු මිය ගොස් අදට හරියට ම අවුරුදු 98කි. 

- පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. https://lankacitizens.com/uncategorized/ශ්%e2%80%8dරී-ලංකාවේ-ප්%e2%80%8dරථම-සිංහ/

    ReplyDelete