අතුරුදන් වූ සුන්දර බිනරමලී නාඋ‍ලෙන් යළි මතු වූ හැටි!

සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ බොහොමයක එහි අරුත දක්වා ඇත්තේ ‘අහඹු ලෙස හමුවන වාසනාවන්ත සොයා ගැනීම’, ‘වාසනාලාභය’ කියායි. ඒ වදන බිඳී ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට අතීතයේ භාවිත කළ ‘සෙරෙන්ඩිබ්’ යන නම ඇසුරෙන්.

මේ ‘සෙරෙන්ඩිපිටි’ යන වදනින් හැඳින්වෙන විස්මිත අහඹු සොයා ගැනීම් මහත් රාශියක් තියෙනවා. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ පෙනිසිලින්, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට්, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ඇමරිකාව, පර්සි ස්පෙන්සර්ගේ මයික්‍රෝවේව් උදුන, රෝයි පලන්කිට්ගේ ටෙෆ්ලෝන්, චාල්ස් ගුඩ්ඉයර්ගේ වල්කනයිස් රබර්, ආදී සොයා ගැනීම් රාශියක් ඒ අතර වෙනවා. ඒවා ගැන වෙනම ලිපියකින් සොයා බලමු. අද කියන්න යන්නේ අපේ රටේ විද්‍යාඥයකු කළ එවැනි සොයා ගැනීමක් ගැනයි.
ලංකාව තුළ සුලබවම දැකගත හැකි බිනර 
විශේෂය වන්නේ Exacum Trinavium ය

ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රකට උද්භිද විද්‍යාඥයකු වූ මහාචාර්ය සිරිල් විජේසුන්දරයි. බොහෝ දෙනා ඔහු හඳුනන්නේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙසයි. ‘1980 දශකයේ මුල හරියෙ දවසක තවත් විද්වතකු වූ වී. ආරිය සුමනසිංහට සහය වීමේ අරමුණින් ඔහු සමග සීගිරිය ප්‍රදේශයට ගියා. එ් ගියේ ඔහු ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි පශ්චාත් උපාධියට අවශ්‍ය බිනර ශාක හඳුනා ගැනීමට ආධාර කරන්නයි.’

‘එසේ ගොස් එන අතර මග ටිකක් ගිමන් හරින්න කියල හිතාගෙන, ඒ 9 පාරෙ නාඋල හරියෙදි වාහනය නතර කළා. වාහනය නතර කරපු තැනින් ඇතුළට පොඩි අඩිපාරක් තිබුණා. මාව ඉබේම වාගේ ඒ අඩිපාර දිහාවට යැවුණා. ඒවෙලාවෙ තමයි මං මේ ලස්සනට මල් පිපුණු බිනර යාය දැක්කේ.’ ඔහු ඉන් පුදුමයට පත් වුණා. ඒ බිනර ශාකය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Exacum pedenculata කියලයි. ඒ වන විට උද්භිද විද්‍යාඥයන් සියලු දෙනාම පාහේ සිතා සිටියේ මේ බිනර ශාක විශේෂය අපේ රටෙන් තුරන් වී ගොස් කියායි. 
අප රටේ බිනර විශේෂ අතුරින් දුලබම 
විශේෂය වන්නේ Exacum Pedunchlatum ය.

සාමාන්‍ය කෙනෙකු මෙය දුටුවා නම් මේ කැළෑවට ඇරුණු මල් ගොමුව නිකම් නෙත පිනවන දසුනක් පමණක් වන්නට ඉඩ තිබුණා. එහෙත් ඔහු උද්භිද විද්‍යාඥයකු වූ නිසා ඒ වැදගත්කම, දුටු කෙණෙහිම අවබෝධ කර ගත්තා. ඒ අවස්ථාවේ දී මේ ඉසව්ව පිටවල පතන මෙන් දිය සීරාව සහිත තෙතමනයෙන් යුත් පරිසරයක් ඇති ප්‍රදේශයක්. එහි එක් කෙළවරක ගල්තලාවක් ද තිබුණා. එ අවස්ථාවේ එහි නිවාස ආදිය කිසිවක් තිබුණේ නැත. 

මේ ශාකයේ ඇති වැදගත්කම නිසා ම ඔහු තවදුරටත් පර්යේෂණ කිරීම සඳහා ඉක්මනින් ම යළිත් එහි ගියා. ඒ යන විට ඒ බොබැල්ල ගමේ බිනර ශාක ගොමුව පැවති ඉසව්ව ආසන්නයේ ම නිවසක් තනා ගෙන එහි අලුතින් පදිංචියට ආ ටී. එම්. ඉලංගරත්න හා ඊ. ඩබ්ලිව්. ජී. ලීලාවති කියල යුවළක් හිටියා, දරු දෙදෙනෙකුත් එක්ක. ඔහු ඒ පැළැටිය ගැන ඔවුන් දැනුවත් කළා.

‘මෙහෙම මල් පිපිලා තිබුණට මේ ඒ තරම් දුර්ලභ පැළෑටියක්ය කියල අපි දැනගෙන හිටියෙ නෑ. පේරාදෙණියේ මල්වත්තෙ ප්‍රධානී සිරිල් විජේසුන්දර සර් තමයි අපට මේකෙ වැදගත්කම කියලා දුන්නෙ. එදා ඉඳන් මං මේවා ආරක්ෂා කරනවා.’ ලීලාවතී අතීතය සිහිපත් කරමින් කීවා.

වසර 34කට පස්සෙත් ඇය ස්වේච්ඡාවෙන් ම ඒ ශාක විශේෂය ආරක්ෂා කරනවා. වසරකට වරක් මල් පිපී මිය යන මේ ශාකය වැහි කාලයත් එක්ක යළිත් පැළ හැදී මල් පිපෙනවා. ඇගේ කුඹුරේත් මේ බිනර ශාක පැලවී මල් පිපෙනවා. ‘මගේ කුඹුරේ ගොයම් එක්ක මේ මලුත් පැලවෙනවා. බිනර පැළවලට ගොයම් ගස්වලින් බාධාවක් නෑ. ඒ වගේ ම ගොයම් ගස්වලින් බිනර පැළවලට හානියකුත් නෑ. මේ මල් පැල මැරෙන හින්දා කුඹුරට මං වල් නාශක ගහන්නෙත් ‍නෑ. සමහර ගොයම් කපන කාලවලදිත් මේ මල් දකින්න පුලුවන්. මේ ඉපනැල්ලෙත් හැදෙනවා.’ ඇය කියනවා.

අද ඇගේ සැමියාත් මියගිහින්. දරුවනුත් බැඳලා වෙනත් තැන්වල පදිංචිවෙලා. ඇය තනිවම මේ බිමේ බිනර මල් ඉසව්ව ආරක්ෂා කර ගෙන තාමත් ඒ බිමේ ඉන්නවා.

මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල බොබැල්ලේ ගමෙන් හමුවූ මේ බිනර ශාක විශේෂය හැඳින්වෙන්නේ වැවෙන්නේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විතරයි. මෙය ලෝකයේ වෙනත් කිසිම තැනකින් වාර්තා වී නැහැ. මෙතෙක් මේ ශාකය හමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේත් බොබැල්ලේ ගමෙන් පමණයි. ඒත් පර්චස් 80ක තරම් කුඩා ප්‍රදේශයකයි. බොහෝ බිනර මල් වර්ග පෙති පහේ එ්වා වුවත් මේ බිනර විශේෂයට ඇත්තේ පෙති හතරක් විතරයි. ඒ වගේ ම අනෙක් බොහෝ බිනර මල් වගේ සැප්තැම්බර් මාසයේ (සැප්තැම්බර් මාසයට සිංහල ක්‍රමයට බිනර මාසය කියා කියන්නේ ඒ නිසයි.) නෙවෙයි, මේ විශේෂ බිනර මල පිපෙන්නේ අප්‍රේල් මාසයේ අග පටන් මැයි හා ජූනි මසවලදියි.

කලින් මෙම ශාකය යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණත් අද හමුවන්නේ නාවුල බොබැල්ල ප්‍රදේශයෙන් පමණයි. වඳ වී ගිය ශාකයක් ලෙස සලකනු ලැබූ මෙය නැවත සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ මහාචාර්ය සිරිල් විජේසුන්දරටයි.
සුදු බිනර නමින් හැඳින්වෙන Exacum Walkeri 
සුදු පැහැති පෙති පහකින් යුක්තය

උද්භිද විද්‍යාඥයන් කියන විදියට බිනර අයත් වන්නේ ජෙන්ටියන්සේ (Gentianceae) නම් ශාක කුලයටයි. බ්‍රිටෑනිකා විශ්වකෝෂයේ සඳහන් වන අන්දමට බිනර පවුලේ ගණ 102ක ශාක විශේෂ 1750ක් ලොව පුරා විසිර තියෙනවා. විවිධ වර්ණවලින් යුත් බිනර මල් ශ්‍රී ලංකාව, ඉන්දියාව හැරුණු විට අග්නිදිග ආසියාවේ රටවලත්, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව යන රටවලත් වනගතව තවමත් වැවෙනවා.

ඒ වගේ ම මේ ශ්‍රී ලංකාවේ බිනර ප්‍රභේද දෙමුහුන් කර බිහි කළ විශේෂ බිනර ශාක ද විසිතුරු පැළ ලෙස ලොව පුරා ඉතාමත් ජනප්‍රියයි. ඒවා ඇමරිකන් උද්භිද විද්‍යාඥයකුගේ නවෝත්පාදන ලෙස එරට ලියාපදිංචි කර තියෙනවා. මේ දුර්ලභ බිනර ශාක මෙරටින් ගෙන යාම තහනම් වුවත් ඒවා හොරෙන් ගෙන ගොස් ඇති බවයි, මේ සම්බන්ධව විමසිල්ලෙන් සිටින පරිසරවේදීන් කියන්නේ.
නාඋල බොබැල්ලේ බිනර ශාකය උද්භිද විද්‍යාත්මකව 
හැඳින්වෙන්නේ Exacum pedenculata කියලයි.

බිනර ශාකය ගැමියන් හඳුන්වන්නේ ගිනිහිරියා මල් කියලයි. එය ජෙන්ටියනේසියේ (Gentianaceae) කුලයට අයත් ඒක වාර්ෂික ශාකයක්. කොළ පැහැති කඳ තරමක් හතරැස් හැඩයක් ගන්නවා. බොහෝ විට නටු රහිත වන දැඩි සරල පත්‍ වල පාදයෙන් නාරටි තුනක් මතුවී ඉහළට විහිදෙනවා.. මණිය කොළ පැහැතියි. ලා නිල්, තද නිල්, සුදු හා දම් පැහැයෙන් යුත් මල්පෙති හතරක් හෝ පහකි. රේනු පහ ඒකරාශි වී මලේ මැදින් ඉහළට මතුව පවතිනවා. කීලය වෙන්ව පිහිටනවා. කොළ පැහැති ඵලයේ මලේ කීලය රැඳී තියෙනවා. පහත රට හා අතරමැදි කලාපය පුරා ව්‍යාප්තව ඇති අතර වසර පුරාම මල් දරනවා. පෙතිවල හැඩය හා පැහැය වෙනස් බිනර වර්ග කීපයක් තියෙනවා.

මේ බිනර ශාක අතරින් විශේෂ අටක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙනවා. එයින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ හය ම වඳ වී යාමේ තර්ජනයට ලක් ඇති බව 2012 අන්තර්ජාතික රතු දත්ත වාර්තාවෙන් පෙන්වා දීලා තියෙනවා. ඒ අතරින් ඉතාමත් දුර්ලභම බිනර ශාකය තමයි, ලීලාවතී තවමත් ආරක්ෂා කරන්නේ.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments