2

වනදිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන් : විශිෂ්ට චරිත


ජෝයි ඇඩම්සන් ලෝකයේ කාන්තාවන් අතර කැපී පෙනෙන විශිෂ්ට චරිතයක්. ඇය ලොව පුරා බොහෝ දෙනා අඳුනන්නේ සතුන් පිළිබඳ අනුවේදනීය තුන් ඈඳුතු කෘතියක් කළ සුප‍්‍රකට ලේඛිකාවක් ලෙසයි. එහෙත් ඇය ඊටත් එහා ගිය චරිතයක්. ඇය වන ජීවී විද්‍යාඥවරියක්. වන සතුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සුවිශේෂ කාන්තාවක්.

ෆෙඞ්රික් වික්ටෝරියා ඇඩම්ස් ලෙස 1910 වසරේ ජනවාරි 20 වැනිදා ඔස්ටි‍්‍රයාවේ ට්‍රෝපෝ ප‍්‍රදේශයේ සිලෙසියා නගරයේ (වත්මන් චෙක් ජනරජයේ) දී උපන් ඇය ලෝක ප‍්‍රකට වූයේ අපි‍්‍රකාව නිසා ඇය ලත් නව චරිතය හේතුවෙනි. ඇගේ ජීවිතය මේ නව මගට හැරුණේ තෙවැනි වරට සිදුවූ විවාහයෙන් පසුවයි. එවර ඇගේ සැමියා වූයේ බි‍්‍රතාන්‍ය වන ජීවී නිලධාරියකු වූ ජෝර්ජ් ඇඩම්සන්ය. එතැන් පටන් ජෝයි ඇඩම්සන් වූ ඇය ඔහුත් සමඟ අපි‍්‍රකාවට ගියාය. ඔවුන් පදිංචියට තෝරාගත්තේ කෙන්යාවයි. සිය සැමියා වනෝද්‍යාන භාරකරුවකු වූ නිසා ඇයට ඔහුගේ කටයුතුවලට හවුල් වීමට සිදු විය. එතැන් පටන් ඇය කෙන්යාවේ ජීවත් වෙමින් මියයනතෙක්ම අප‍්‍රිකාවේ වන සතුන්ට ආදරේ කරමින් ඔවුන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකාරී වූවාය.


එදා අද මෙන්ම අදත්, තවත් අවුරුදු ගණනාවකට අමතක නොවන පොතක් ඇය අතින් පළ වූයේ මේ කාලයේ දීය. ඇය ලොවපුරා ආදරේ දිනා ගත්තේ ඒ පොත නිසයි. මේ පොත තමයි 1960 වසරේ පළ කළ ‘බෝන් ෆී‍්‍ර’ නවකතාව. මෙය ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වී තිබේ. මෙය ‘උපන්නේ නිදැල්ලේ’ නමින් ජයන්ත විමලසේන ශූරීන් අතින් සිංහලට පරිවර්තනය වී තිබේ. මේ පොතට පාදක වී ඇත්තේ හරිම අපූරු සත්‍ය කතාවකි. පොතේ ප‍්‍රධාන චරිතය එල්සා නම් සිංහ ධේනුවයි. මෙය ජෝයි ඇඩම්සන් අපි‍්‍රකාවේ වනගතව ගෙවූ ජීවිතයේ දී ලත් අපූරු අත්දැකීමකි. එල්සා සිංහ ධේනුව ජෝයි සහ ඔහුගේ සැමියා ජෝර්ජ්ට හමුවන්නේ කුඩා පැටවකු අවදියේදීයි. එල්සා ලොකු මහත්කර ඇයව වනයට මුදා හරින තෙක්ම එයාව බලා කියා ගත්තේ ඇඩම්සන් යුවළයි. ‘බෝන් ෆී‍්‍ර’ නවකතාවට පාදක වන්නේ ඒ සිංහ ධේනුවගේ කතාවයි.


වනයට මුදා හැරියාට පස්සේ ජෝයි ඇගේ ආදරණීය සිංහ ධේනුව අමතක කළේ නැහැ. නිතරම ඇය බලන්නට ගියාය. එල්සා වනයේ ගත කළ ජීවිතය එල්සාගේ පැටවුන් තමයි, ජෝයිගේ මීළඟ නවකතා දෙකට පාදක වුණේ. ඒ නවකතා තමයි ‘ලිවිං ෆී‍්‍ර’ (දිවිසැරිය නිදැල්ලේ) සහ ෆෝ එවර් ෆී‍්‍ර (සඳහටම නිදැල්ලේ). මේ තුන්ඈඳුතු කෘතිය ඇසුරින් චිත‍්‍රපට තුනක් සහ රූපවාහිනී මාලා නාටක පෙළක් නිර්මාණය කෙරුණා පමණක් නොව ඒවා අතිශයින්ම ජනප‍්‍රිය වුණා. වෘත්තාන්ත චිත‍්‍රපට පෙළක් වුණත් ඒවා වනජීවී විද්‍යාත්මක අධ්‍යයනයන් ලෙස ලොකු වටිනාකමක් ඇති ඒවා ලෙස, විචාරකයන්ගේ පිළි ගැනීමට ලක් වී තිබේ. කෙන්යාවේ වන සතුන් හා ජන ජීවිතය අලලා ජෝයි ඇඩම්සන් විසින් තවත් පොත්පත් රැසක්ම ඇගේ ජීවිත කාලය පුරා පළ කර තිබේ.

සැමියාගේ අභාවයෙන් පසුත් ඇය එහි රැඳෙමින් වනසතුන් ආරක්ෂා කිරීමට පොත්පත් ලීවා පමණක් නොව ඇය ඒ සඳහා වනගතව ජීවත් වෙමින් අසරණ වන සතුන් අනවසර දඩයම්කරුවන්ගෙන් බේරා ගැනීමට ලොකු සටනක් කළාය. කුරිරු දඩයක්කාරයන්ට එරෙහිව නැඟී සිටි ඇය කිහිප වතාවක් ම අසරණ සතුන් ගණනාවකගේ ජීවිත බේරා ගත්තාය. ඒත් අවාසනාවකට සතුන්ට ආදරේ කළ ජෝයි ඇඩම්සන් 1980 වසරේ ජනවාරි තුන් වැනිදා කෙන්යාවේ ෂාබා වන රක්ෂිතයේදී අනවසර දඩයක්කරුවන් පිරිසක් එල්ල කළ වෙඩි පහරකින් මියගියාය. ජෝයි ඇඩම්සන් මියගියත් ඇගේ ඒ විශිෂ්ට චරිතය ඇය පළ කළ බෝන් ෆී‍්‍ර නවකතා ති‍්‍රත්වය ඔස්සේ අමරණීයත්වය පත්ව තිබේ.
5

ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි : විස්මිත සොයා ගැනීම්


”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත‍්‍රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්.

ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා පමණක් නොව එක රැයින් ලෝක ප‍්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත්, මේ සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් ඌ වසර මිලියන 60කට පෙර, එනම් ඩයිනසෝරයන්ටත් පෙර, ජීවත්වූ දැනට බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම විද්‍යාඥයන් මේ මාළුවා ගැන දැන  සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් පිරිසකට සීලාකාන්ත් මාළුවකු අසුවුණා කියන්නේ නිධානයක් ලැබුණා වගේ දෙයක් ලෙසයි පොසිල විද්‍යාඥයන් සලකන්නේ.

ආචාර්ය ස්මිත්ගේ මේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙසට නම් කෙරුණා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සතුන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප‍්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුවත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් නිගමනය කළේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප‍්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වූ එකෙක් කියලයි.

1997 වසරේ දී ඒ නිගමනයත් බොරු වුණා. ඇමෙරිකානු සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන්ට සහ ඔහුගේ අලූත් මනාලිය වූ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක දී මාළු කරත්තයක දමා සිටි සීලාකාන්ත් මාළුවකු දකින්නට ලැබුණා. ස්මිත් වසර 50ක් තිස්සේ කළා වගේ යළිත් සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගත හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයා දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වූවකු නොවන බව එයින් හෙළි වුණා.

හොඳින් වැඩුණු සීලාකාන්ත් මසකුගේ දිගින් අඩි 5ක් පමණ වන අතර බරින් රාත්තල් 200ක් පමණ වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ ම බිත්තර පුපුරා වැඩෙන මේ පැටව් මව්කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත‍්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් මිහිමත බහුලව ජීවත් වූයේ මිලියන 400ක් පමණ ඈත අතීතයේ ඩෙවෝනියානු යුගයේ දී යැයි කියවෙනවා. මේ මසුන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. සාගරයෙන් ගොඩබිමට විත් ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් කියන්නේ.

පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මාළුවකු සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ පිරිසක් සමත් වුණා. ඒ සීලාකාන්ත් මාළුවා හමුවුණේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙන්. විද්‍යාඥයන් පිරිස මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා ලොව පුරා විකාශය වූවාට පසු මේ ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් ගැඹුරු මුහුදේ. සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් සිහිපත් කරනවා. මේ රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රය රොබෝ කැමරාවකින්.

රූගත කළ වීඩියෝ දසුන්වලට අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගත් පළමු අවස්ථාව මෙයයි. මේ සත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා.

මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප‍්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවකු මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.

ඔටුවා හා ජිරාෆ් සමග බළලාට ඇති සමානකම : දැන මුතු


බළලා, ඔටුවාට හෝ ජීරාෆ්ට හෝ නෑකම් නොකීවාට ඒ දෙදෙනාට කිසියම් සිත්ගන්නාසුලූ සමානකමක් බළලාගේ ද තිබේ. අනෙක් සත්තු ගමන් කරද්දී එක් පැත්තක ඉදිරි පාදයත් අනෙක් පැත්තේ පසු පාදයත් එක විට ඉදිරියට තබති. ඒ එක්කම ඊළඟට අනෙක් පාද දෙකත් ඒ අයුරින්ම ඉදිරියට තබති.

බළලාත්, ඔටුවාත්, ජීරාෆුත් පාද තබන්නේ වෙනස් ආකාරයටය. ඔවුහූ ඔවුන්ගේ එක පසෙක ඉදිරි පාදයත් පසු පාදයත් එක විට ඉදිරියට තබා ඊළඟට අනික් පස ඉදිරි පාදයත් පසු පාදයත් එක විට ඉදිරියට තබති.
2

පී‍්‍රතිමත් චීන මිනිසා හෙවත් සිනාසෙන බුදුපිළිමය : තවත් සෙන් කතාවක්

චීනයේ විතරක් නොවේ, ඇමෙරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන  ඕනෑම කෙනකුට උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුළුවන්. චීන වෙළඳුන් මෙය හඳුන්වන්නේ ‘ප‍්‍රීතිමත් චීන මිනිසා’ හෙවත් ‘සිනාසෙන බුදු පිළිමය’ කියලයි.

මේ විදියෙ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ, ඉතා පුරාණයේ චීනයේ ටෑන් රජ කාලයේයි. ඔහුට  ඕනැකමක් තිබුණේ නෑ, තමන් සෙන් ගුරුවරයෙක් ලෙස හඳුන්වන්න. ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්න. ඒ වෙනුවට ඔහු කළේ ලොකු මල්ලක් කරේ දමාගෙන වීදි දිගේ ඇවිද්ද එකයි. ඒ ලොකු මල්ලෙ තිබුණෙ රසකැවිලි, පලතුරු වැනි දේයි. මේවා ඔහු වීථියේ දී සෙල්ලම් කරන්න තමා වටා රොක් වන ළමයින්ට බෙදා දුන්නා. ඔහු වීථි ළමයින්ගේ බාලාංශ පන්තියක් බවට පත් කළා.

ඔහුට සෙන් බැතිමතකු දුටු හැම විට ම ඔහු අතපා ”මට පැන්සයක් දෙන්න” යැයි කීවා.

වරක් ඔහු ළමයින් සමග සෙල්ලම් කරන්න යද්දී සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා: ”සෙන් දහමේ අරුත කුමක් ද?”

හොටෙයි එක්වර ම ඔහුගේ උරමල්ල බිම දැම්මා. ඒ ඔහුගේ නිහඬ පිළිතුර වුණා.

”ඊළඟට ඒක කි‍්‍රයාවට නංවන්නේ කොහොමද?” අනෙකා ඇහුවා.

ඒ පී‍්‍රතිමත් චීන මිනිසා එක්වර ම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

රජවාසල මහා ගාලගෝට්ටියක් : අන්දරේගේ කතාවක්

දිනක් රජ බිසව අන්දරේ හා කතාබහක යෙදී සිටියාය. හදිසියේ ම යමක් මතක් වූ කලෙක මෙන් ඇය අන්දරේට මෙසේ කීවාය:

‘‘ආ අන්දරේ, මට ආසයි නුඹේ බිරින්දෑ දැකල කතා බස් කරන්න. දවසක එක්ක එන්නකො බලන්න මාලිගාවට’’

අන්දරේ මොහොතක් කල්පනා කොට, මෙය බිසවට විහිළුවක් කරන්න හොඳ අවස්ථාවක් යැයි සිතා මෙසේ කීවේය:

‘‘අනේ දේවීන් වහන්ස, ඔබ වහන්සෙ කොහොමද ඈත් එක්ක කතා කරන්නෙ? ඇය ටිකක් බිහිරියි, කන් හරියට ඇහෙන්නෙ නෑ නොවැ.’’

‘‘ආ ඒකට මොකද, මං හයියෙන් කතා කරන්නම්. හෙට ම එක්ක එන්නකො’’ රජ බිසව කීවාය.

‘‘හොඳමයි, එහෙම නම් හෙට ම මං ඇයව කැටුව එන්නම්’’ කියා අන්දරේ ගෙදර ගියේය.

ගෙදර ගිය ගමන් ම අන්දරේ බිසවගේ ආසාව ගැන බිරිඳට කීවේය.

‘‘බිසවුන්නාන්සෙ නුඹව දැකල කතාබහ කරන්න ආසාවෙන් ඉන්නව. ඒ බව මට අද රජවාසලදි කිව්වා.’’

‘‘අනේ මමත් ආසාවෙන් උන්නෙ බිසවුන්නාන්සෙව දැකල කතාබහ කරන්න’’ බිරිඳ ඉතා උනන්දුවෙන් කීවාය.

‘‘ඒත් ඉතින් කොහොමද ඒක කරන්නෙ’’ අන්දරේ දුක් ස්වරයකින් කීවේය.

‘‘ඒ ඇයි අනේ?’’

‘‘අනේ උන්නාන්සෙට හරියට කන් ඇහෙන්නෙ නෑ නොවැ’’ අන්දරේ කීවේය.

‘‘ආ ඒකට කමක් නෑ. මා හයියෙන් කතා කරන්නම්’’ බිරිඳ කීවාය.

පසුවදා අන්දරේ බිරිඳත් කැටුව රජ මාලිගයට ගියේය.

රජ බිසව අන්දරේගේ බිරිඳ දුටු විගස බිහිරි බව මතක් වී මහ හඬින් කතා කළාය.

‘‘මොකද මෙච්චර කලෙකට මාලිගාවට නාවේ?’’ බිසව ඇසුවාය.

මෙච්චර හයියෙන් කතා කරන්නෙ රජ බිසව හැබෑවට ම බහිරි නිසා යැයි සිතූ අන්දරේගේ බිරිඳ ද බිසවගේ හඬට නොදෙවෙනි හඬකින් මෙසේ උත්තර දුන්නාය: ‘‘ඊට වැරදිකාරයා අන්දරේ, මට ඊයෙ නොවැ ඔබ වහන්සේ එන්න කිව් විත්තිය කීවේ’’ 

රජ සබයේ සිටි රජතුමාට මේ මහා ගාලගෝට්ටිය ඇසුණෙන් රජතුමා හනිකට ඒ දෙසට ආයේය. අන්දරේ ඒ පසෙක සිනාසෙමින් ඉන්නවා දුටු රජතුමාට කාරණය අවබෝධ විය.

‘‘දේවිය, ඔය තරම් හයියෙන් කෑගහන්න උවමනා නැහැ. උන්දෑට කන ඇහෙනවා ඔය අන්දරේගේ බොරුවක්.’’ රජතුමා කීවේය.

බිසව ලැජ්ජාවෙන් සිනාසුණාය.

‘‘මේ මිනිහා මටත් ඒ බොරුවමයි කිව්වෙ’’ අන්දරේගේ බිරිඳ නෝක්කාඩුවෙන් අන්දරේ දෙස බලමින් කීවාය.  
0

මානසික රෝගයක් නොවන භීතිකාවක් : සුව දැනුම


ඔබ දන්නවාද මානසික රෝගයක් නොවන ප‍්‍රධාන වශයෙන් කායික රෝගයක් ලෙස හැඳින්වෙන භීතිකාවක් තියෙනවා. යම් අයකුට හෝ සතකුට හෝ මෙම වයිරසයේ  ආසාදනයක් සිදු වුවහොත් එයින් හානි පැමිණෙන්නේ ස්නායු පද්ධතියටයි. ඒ අනුව යමක් ගිලීම කළ නොහැකි වෙනවා. ජලය දැකීම හෝ වැක්කෙරෙන හඬක් ඇසීම හෝ දිය බීමට යාම ආදී කි‍්‍රයාවලදී එවැනි වයිරස ආසාදිතයකු තුළ ආක්ෂේපයත් එහෙමත් නැත්නම් පේශීවල අනිච්ඡානුග ගැස්මක් ඇති වෙනවා. පැරණි ගී‍්‍රකයන් සිතුවේ මේ ගැස්ම ඇති වන්නේ ජලයට ඇති බිය නිසාවෙන් කියලයි. ඒ වැරදි අදහස අනුව ඔවුන් ගී‍්‍රක බසින් ‘ජලයට ඇති බිය’ යන අරුත් ඇති ‘හයිඩ්‍රොෆෝබියා’ වදනින් මේ රෝග තත්වය හැඳින්වුවා. අපිත් ඒ ගී‍්‍රක වදන සිංහලට පෙරළා ඊට ‘ජලභීතිකාව’ කියා අද වැරදි වදනකින් එය හඳුන්වමු.
0

කළුවරේ : නස්රුදින්ගේ කතා

නස්රුදින් යාළුවෙකුත් එක්ක කතා කර කර ඉන්න කොට කළුවර වැටුණා.

‘‘දැන් කළුවර වැටුණා නෙ. ලාම්පුවක් පත්තු කරනවකො. ඔය ඔයාගේ වම් පැත්තෙ තියෙන්නෙ.’’ යාළුවා කිව්වා.

‘‘මෝඩයා, මං කොහොමද කළුවරේ මගෙ වම දකුණ හොයන්නෙ?’’ නස්රුදින් යාළුවාගෙන් ඇහුවා.

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010)
0

සොරකම් කරනු බැරි සඳ : සෙන් කතා

රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිටි පුංචි පැලක වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක හොරෙක් ඒ පැලට රිංගුවා මොනව හරි හොරකම් කරන්න හිතා ගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.

ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා. ”ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න ඇති මාව හොයා ගෙන ආවෙ?” ඔහු හොරාට කීවා. ”ඔබ මෙච්චර දුර ඇවිල්ල හිස් අතින් යන එක හරි නෑ. ඒ හින්දා මං මේ ඇඳන් ඉන්න ඇඳුම තෑග්ගකට ගන්න.”

අන්දුන්කුන්දුන් වූ හොරා ඒ ඇඳුමත් අරගෙන එතැනින් ඉක්මනට ම මාරු වුණා.

රියෝකොන් නිරුවතින් වාඩි වී සිටියා. ඔහුට හඳ පායා ඇවිත් තිබෙනු දැකිය හැකි වුණා. ”අහිංසකයා, මට මේ ලස්සන හඳ එයාට දෙන්න පුළුවන්කමක් තිබුණා නම්” ඔහු තමාට ම කියා ගත්තා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
6

චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය : සංචාරක ඇස ගිය තැන්


ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි.

එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළකි. අනික් පැත්තේ අඩි 4000 ක මහා ප‍්‍රපාතයකි. මේ දෙක අතර ඇවිද යන නිර්භීත සංචාරකයා මරණයෙන් ගලවාගන්නා අඩි තුනක් පළල අඩි දෙකහමාරක් ගණකම ඇති සක්මන් මගකි.

ඒක ඔබ භීතියට පත් කරන්න ප‍්‍රමාණවත් මදි නම් මේ සක්මන් මග යද්දී එක් පියවරක් හෝ වැරදුනහොත් ඔබට වන දේ වඩාත් හොඳින් දැක බලා ගත හැකි වන සේ මේ චීන කඳුකරය පැත්තේ ඉදිකර ඇති කොටස තනා ඇත්තේ වීදුරුවලිනි.

ඔබට තේරුම් ගන්න පුලූවන් මේ කාන්තාව ගල්කුළට වඩාත් සමීපව හිඳිමින් සීරුවෙන් පියවර තබමින් මේ බියකරු සක්මනෙහි යෙදෙන්නේ ඇයි කියා.

මුහුදු මට්ටමෙන් අඩි 4700ක් ඉහළින් මේ සක්මන් මග ඉදිකර තියෙන්නේ චීනයේ ශැන් ජියාජීහි Zhang Jiajie  පිහිටි ටියන්මෙන් Tianmen කන්දේ පැත්තකයි.

අඩි 200ක් දිග මේ අහස් මග ඉදිකර ඇත්තේ ටියන්මෙන් කඳු මුදුනේ යුන්මෙන් ශිඛරයත් ෂැන් ජියාජීත් අතරයි.

මේ අහස් මග පවිත‍්‍ර කරන්නන්ට බියකරු වැඩි නිසා මේ හරහා යන්නට එන සංචාරකයන්ට ගමන් අරඹන්නට පළමුව සපත්තුවලට විශේෂ ආවරණ දැමීමට සිදුවේ. ඒ මේ මග පිරිසුදුව තබා ගැනීමටයි.

මෙවැනි වීදුරු අහස් මගක් මෙයට කලින් ඉදිකර තිබුණේ ඇමරිකාවේ ග්රෑන්ඞ් කැන්යන් හරහායි. එය අඩි 4000ක් ඉහළින් ඉදිකළ අඩි 70ක අහස් මගකි. අඟල් දෙකහමාරක් ගණකම ඇති විනිවිද පෙනෙන වීදුරුවලින් තැනුනක් නිසා නරඹන්නකුට පහළින් පිහිටි ග්රෑන්ඞ් කැන්යන් පතුළ හොඳින් දැක බලාගත හැකියි.

ටියන්මෙන් යන්නෙහි අරුත දෙව්ලොව දොරටුව යන්නයි. එසේ නම්කර ඇත්තේ කඳු මුදුනට ආසන්නව පිහිටි දැවැන්ත ස්වාභාවික ලෙනක් ඇති නිසයි.

චීනයේ හුනාන් පළාතේ පිහිටි උසම කන්ද වන මෙය අඩි 5000ක් පමණ උස් වෙයි. මෙය ඉතා දුර්ලභ ගණයේ ශාක වර්ග රැසකට වාසභූමිය වී තිබේ.

සැතැපුම් හතරක් දිග රැහැන් රිය මගක් ද මෙම උද්‍යානයේ ඉදිකර ඇත. එය ද මේ වර්ගයේ ලොව ඇති දිග ම මග ලෙස සැලකෙයි.

මේ වීදුරු අහස් මග කෙතරම් බියකරු එකක් වුවත් මෙය මේ පළාතේ ම තවත් උස් ශිඛරයක අහස උසට ඉදිකළ මෙවැනි ම අහස් මගක වර්ධනය කළ පියවරකි.


මෙහි සිට සැතැපුම් 82ක් දුරින් පිහිටි ෂිෆෝ කන්දෙහි අඩි දහස් ගණනක් ඉහළින් ඉදිකර ඇති එය අඩි තුනක් පළලට දැවයෙන් කළ නිමැවුමකි.

කෑම මේසයක් තරම් පළල මෙම දැවමය අහස් මග ඉදිකර නිමවූ පසු සැතැපුම් 1.8 පමණ දික් වනු ඇත. එය චීනයේ මෙතෙක් ඉදිකර ඇති දිගම අහස් නැරඹුම් මග වේවි.

Read more: http://www.dailymail.co.uk/news/article-2060023/Chinas-newest-tourist-attraction--glass-bottomed-walkway-cliff-face.html#ixzz1e14clzT4
15

විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම්


ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ.

මේ දෙකේ ඉලක්කමෙන් කළ හැකි අපූරු දෙයක්. 2කේ ඉලක්කම පස් පාරක් නැවත නැවත ලියා ඔබට පුළුවන් ද උත්තරයට මුල් ඉලක්කම් දහය එන විදියට සකසන්න. ඔන්න බලන්න ඒක කරන හැටි.

2+2-2-2/2 = 1
2+2+2-2-2  = 2
2+2-2+2/2  = 3
2×2×2-2-2  = 4
2+2+2-2/2  = 5
2+2+2+2-2  = 6
22/2-2-2    = 7
2×2×2+2-2  = 8
2×2×2+2/2  = 9
2-2/2-2/2   = 0

බ්‍රහස්පති ග‍්‍රහයා පිනූ යෝධ පිම්මක් : විස්මිත සොයා ගැනීම්


තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග‍්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග‍්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝහි වයඹ පර්යේෂණ ආයතනයේ ඬේවිඞ් නෙස්වෝනි පරිගණකය යොදා කළ සමාකෘතියක් තුළිනුයි. සංඛ්‍යාත්මකව බලන කල පෙනී යන්නේ සෞරග‍්‍රහ මණ්ඩල පටන් ගන්නට ඇත්තේ දැනට ඉන්නා මේ යෝධයන් සිවුදෙනාගෙන් පමණක් නොවන බවයි. ඔහුගේ ගණනයන්ට අනුව මෙම සෞරග‍්‍රහ මණ්ඩලය යෝධ ග‍්‍රහයන් සිවු දෙනකුගෙන් ආරම්භ වූවා යැයි යන මතය පිළිගැනීමට ඉඩකඩ ඇත්තේ සියයට 2.5ක් පමණ වන අතර තවත් අබිරහස් යෝධ ග‍්‍රහයකු මේ අතර සිටියායැයි යන මතය පිළිගැනීමට ඇති ඉඩකඩ එමෙන් දස ගුණයකටත් වැඩි බව හෙළි වී තියෙනවා.

මේ මතයට එළඹීමට පෙර නෙස්වෝනි සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත හා එහි ආරම්භක වර්ධනය පිළිබඳ පරිගණක සමාකෘතීන් 6000කට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර අධ්‍යයනය කළා.

‘‘සෞරග‍්‍රහ මණ්ඩලයට යෝධ ග‍්‍රහයන් පස් දෙනකුට වඩා සිටීමටත් ඒවා පසුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යාමට ඇති ඉඩකඩ ගැනත් විමසා බැලීමට මූලික වශයෙන් හේතු වුණේ අන්තරීක්ෂ අවකාශය තුළ නිදැල්ලේ පා වී යන ග‍්‍රහයන් විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව’’යැයි නෙස්වෝනි මේ ගැන සඳහන් කරමින් කියයි.

ඔහුගේ පැහැදිලි කිරීම් අනුව දැන් විශ්වාස කරන්නේ එක් අවස්ථාවක දී බෘහස්පතී සෞරග‍්‍රහ මණ්ඩලයේ මැද පෘථිවිය හා අඟහරු සිටිනා දෙසට භයානක ලෙස ඇදී ආ බවත් පසුව හදිසියේ ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඈත කක්ෂයකට පැන්න බවත් එසේ පනිද්දී එහි වූ අබිරහස් ග‍්‍රහයා ඈත අභ්‍යවකාශයට විසි වී ගිය බවත්ය.

සෞරග‍්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන් ගත්තේ මීට වසර බිලියන හතර හමාරකටත් පෙරදීයි. ඒ දැවැන්ත ¥ලි හා වායු වලාවක් ඝනීභවනය වීමෙන් සූර්යයා නිර්මාණය වීමත් සමගයි. ඊට ග‍්‍රහයන් එක් වූයේ තවත් මිලියන 10කට පමණ පසුවය. එහෙත් ඒවා දිගු කලක් ගමන් කරමින් තිබුණේ අස්ථාවර කක්ෂවලයි.

දැන් සූර්යයා එහි ජීවිතයෙන් අඩක් පමණ ගෙවා තියෙනවා. තවත් වසර බිලියන පහකින් පමණ එහි ඇති හයිඩ‍්‍රජන් ඉන්ධන දැවී අවසන් වන අතර ඉන් පසු එය දැවෙන හීලියම් සහිත යෝධ රතු තරුවක් බවට පත් වනු ඇති. මේ කි‍්‍රයාවලිය තුළ දී පෘථිවිය විනාශ වී යනු ඇති.

Read more: http://www.dailymail.co.uk/sciencetech/article-2060418/Jumping-Jupiter-Scientists-evidence-mystery-fifth-giant-planet-ejected-solar-system.html#ixzz1e15OBuSI
0

පංගු පේරුව : නස්රුදින් කතා

නස්රුදින් යාළුවෙක් එක්ක දුර ගමනක් යද්දී අවන් හලකට ගොඩ වැදුණේ පිපාසය දරා ගන්න බැරි තැනයි.

ඔවුන් දෙන්නා තීරණය කළා එක කිරි වීදුරුවක් අරගෙන දෙන්න ම බෙදා ගෙන බොන්න. ඒ මොකද දන්නවද? නස්රුදින්ගේ අතේ කාසි තිබුණෙ එක වීදුරුවක් ගන්න තරම් විතරයි. අනෙක් යාළුවගේ අතේ සල්ලි නෑ කිව්වා.

නස්රුදින් කිරි වීදුරුව අර ගත්තා.

‘‘තමුසෙ බොනව ඉස්සෙල්ල තමුසෙගෙ බාගෙ.’’ යාළුව නස්රුදින්ට කිව්වා. ‘‘මොකද මං ගාව සීනි ටිකක් තියෙනව. ඒත් ඒක එක් කෙනකුට විතරයි සෑහෙන්නෙ. මං මගෙ බාගෙට ඒක එකතු කරල බොනව.’’

‘‘දැම්මම දානව. මං බොන්නෙ මගෙ බාගෙ විතරයි.’’ නස්රුදින් කිව්වා.

‘‘එක නං බෑ. ඒ සීනි ටික ප‍්‍රමාණවත් වන්නෙ කිරී වීදුරුවෙන් බාගයක් රහ කරන්න විතරයි.’’ යාළුවා කිව්ව.

කිසි කතාවක් නැතුව නස්රුදින් නැඟිටල ගියා. ඔහු කෙළින් ම ගියේ අවන් හලේ අයිතිකාරයා ළඟටයි. මොනවාදෝ කතා කරල ආපහු ආවා. ඒ ආවේ ලුණු පැකට් එකක් අරගෙනයි.

‘‘හොඳ ආරංචියක් මිත‍්‍රයා’’ යළිත් සිය අසුනේ වාඩිවෙමින් නස්රුදින් කිව්වා. ‘‘තමුසෙ යෝජනා කරපු විදියට මං ඉස්සෙල්ලා බොන්න කැමති වෙනව. හැබැයි මං ඒක බොන්නෙ ලුණුත් එක්කයි.’’

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි)

වීණාවක් සහ භික්ෂු නමක් : බොදු උපමා කතා

”මම ද ආරම්භ කළ වීර්යය ඇතිව, බොහෝ කාලයක් භාවනා කරන, භාග්‍යවතුන් වහන්සේ හා පැවිදි වූ  භික්ෂු නමක්. එහෙත් කොපමණ වීර්ය කළත් මාගේ සිතෙන් කෙලෙස් පහවි යාමක් නොවීය. මාගේ නිවසෙහි ප‍්‍රමාණවත් ධනය ද තිබේ. ඒ ධනය යොදවා පින් කිරීමට හැකිය. එහෙයින් සිවුරෙන් ඉවත් වී නැවත ගිහිගෙටම යමි.”

ඉහත සඳහන් වන්නේ රජගහ නුවර සීත වනයෙහි භාවනා කරමින් සිටි සෝණ නම් භික්ෂු නමකට එම වනයෙහි හුදෙකලාව සිටිය දී පහළ වූ සිතිවිල්ලකි. උන්වහන්සේට එම සිතිවිල්ල පහළ වී සුළු වේලාවකින් බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. සෝණ තෙර වහාම අසුනක් පැන වූ අතර බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටි පසු එම භික්ෂු නම උන්වහන්සේට වැඳ පසෙක හිඳ ගත්තේය.  බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

”සෝණ, ඔබට මෙබඳු සිතිවිල්ලක් (ඉහත සඳහන්) පහළ වුණා නේද?”

”එසේ ය භාග්‍යවතුන් වහන්ස.”

”සෝණ, ඔබ ගිහි කාලයෙහි වීණා වාදනයෙහි දක්ෂයෙක් නේ ද?”

”එසේය ස්වාමීනි.”

”ඔබ එකල වීණාව වාදනය කරන විට එම වීණාවේ තත් ඉතාමත් තද කොට තිබේ නම් එයින් ඔබ කැමති ආකාරයේ නාදයක් පිට වේද?”

”නැත ස්වාමිනි.”

”එම වීණාවෙහි තත් ඉතා බුරුල් කළහොත් සුදුසු වීණා නාදයක් නැෙඟයි ද?”

නැත ස්වාමීනී.

”හොඳයි, ඔබේ වීණාවෙහි තත් ඉතා තද කොටත්, ඉතා බුරුල් කොටත් නැතිව වාදනයට අවශ්‍ය ප‍්‍රමාණයට සකස් කොට තිබුණොත් එයින් ඔබට අවශ්‍ය ආකාරයේ නාදයක් නැෙඟනවා නේද?”

”එසේය ස්වාමීනි.”

”සෝණ මෙසේම භාවනාවෙහි දී ද අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වීර්යය කිරීම නිසා සිතේ විසිර යාම වෙයි. වීර්යය ඉතා අඩු කිරීම නිසා සිත කම්මැලි බවට යයි. මේ නිසා ඔබේ භාවනා වීර්යය මධ්‍යම ප‍්‍රමාණයට හසුරුවා තබා ගන්න. ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියයන් වර්ධනය කර ගන්න.”

”එසේය ස්වාමීනී.” සෝණ තෙර පිළිගත්තේය.

ඒ අවවාදයෙහි පිහිටි සෝණ තෙරණුවෝ නොබෝ කලකින් ම රහත් වූහ.  (අංගුත්තර නිකාය - සෝණ සූත‍්‍රය)
4

මේ අපේ ආදීම නෑයෙක් ද? : විස්මිත සොයා ගැනීම්



එයාගේ මුහුණේ තියෙනවා කුතුහලයෙන් පිරුණු ලස්සන හිනාවක්. නිසැකවම එයාගේ ඇස් සහ කට මනුෂ්‍යයකුගේ වගේමයි. ඒත් එයාගේ හකු අස්ථි එහෙම නැහැ. ඒ වගේමයි ඉදිරියට නෙරා ඇවිත් තිබෙන ඇහිබැමවලින් ද පැහැදිලිව පේනවා එයා සමාන වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුට නොවෙයි වානරයකුට කියලා. හඳුනා ගන්න එයාගේ නම කරාබෝ Karabo. එයා අපේ ආදීම මානවයෙක්. පරිණාම ජීව විද්‍යාඥයන්ගේ අලූත් ම මතය මිනිසා සහ වානරයන් අතර අහිමි පුරක කරාබෝ කියලයි.

මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබුණා. ඒත් මිනිසා සහ වානරයන් අතර එක් පුරුකක් ඒ කියන්නේ ඒ දෙගොල්ලන්ගේ අතරමැදියා වුණේ කුමන ආකාරයේ ජීවියකු දැයි විද්‍යාඥයන් මෙතෙක් දැන සිටියේ නැහැ. ඒත් ඒ ‘අහිමි පුරුක’ කරාබෝ යැයි දකුණු අපි‍්‍රකාවේ ජොහැන්ස්බර්ග් නුවර විට්වෝටර්ස්?න්ඞ් විශ්ව විද්‍යාලයේ පරිණාම ජීවවිද්‍යා මහාචාර්ය ලී බර්ගර් හෙළිකර ලෙන තියෙනවා. හමුවූ පොසිල සාක්ෂි ඇසුරු කොට ගෙන පරිගණකය ඇසුරින් කරාබෝ මුහුණ නිර්මාණය කළේ පොසිල සිත්තරකු වන ජෝන් ගර්චේ. ඒ අනුව කරාබෝ කොහොම කෙනෙකු වෙන්නට ඇතැයි ද යන්න දැන් අපට පැහැදිලියි.



කරාබෝගේ සිරුරේ අස්ථි හමුවුණේ දකුණු අපි‍්‍රකාවේ ගල්ලෙනකින්. ඒ 2008 වසරේදීයි. මහාචාර්ය ලී බර්ගර් එහි කැනීම් කරමින් සිටි භූමියේ පසෙක තිබී කරාබෝගේ මුල්ම අස්ථි කැබැල්ල හමුවුණේ ඔහුගේ නව හැවිරිදි පුංචි පුතාටයි. කරාබෝගේ අතේ අස්ථි දුටු බර්ගර් ඇතුළු විද්‍යාඥයන් පුදුම වුණා. හේතුව ඒක මනුෂ්‍යයකුගේ අතකට සමාන වීමයි. ඒ අතින් ආයුධ තනා ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා. මීට පෙර පරිණාම විද්‍යාඥයන්ට මෙවැනි මානවයකුගේ අස්ථි හමුවෙලා නැහැ. ඒ නිසයි කරාබෝ අපේ පරිණාමයේ ‘අහිමි පුරුක’ කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ.



කරාබෝගේ අස්ථි හමුවුණේ තවත් කාන්තාවකගේ අස්ථි අසලින්. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ කාන්තාව කරාබෝගේ මව විය හැකියි කියලයි. මිය යද්දී ඇගේ වයස අවුරුදු 30 ක් පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කර බැලීමෙන් පසු විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මොවුන් දෙදෙනාගේම අස්ථි මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තියෙනවා.

කරාබෝගේ වයස අවුරුදු 13 පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා. ‘කරාබෝ’ යන වදනෙහි අර්ථය ‘පිළිතුර’ යන්නයි. ඒත් මෙයාගේ සත්ව විද්‍යාත්මක නාමය ‘ඔස්ටේ‍්‍රලෝපිතිකස් සෙඞීබා’ කියලා විද්‍යාඥයන් කියනවා. මීට අවුරුදු මිලියන දෙකකට එපිට ජීවත් වූ කරාබෝ, දෙපයින් සිටගත්තාම උස අඩි 4 ක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 2008 වසරේදී සොයා ගත්තත් පොසිල අස්ථි පරීක්ෂා කර බලා ඒවා ඇසුරින් කරාබෝගේ පරිගණක සිතුවම් නිර්මාණය කෙරුණේ පසුගිය දිනකයි.

ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම පෙන්වමින් මහාචාර්ය ලී බර්ගර් මෙන්න මෙහෙම කියනවා. ‘බලන්න ඔහුගේ නාසය. මනුෂ්‍යයකුගේ වගේමයි. ඒ වගේමයි ඔහුගේ කට, තොල් පෙති. බලන්න ඔහු අපූරුවට සිනාවෙනවා. ඔහු චිම්පන්සියෙකු හෝ වානරයකු හෝ නොවේ. හේතුව චිම්පන්සින්ට බැහැ හිනා වෙන්න.’

ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම සියයට 99.9 ක්ම නිවැරදියි. අතීතයේ ජීවත් වූ කරාබෝ වගේමයි. හැබැයි සිරුරේ පැහැය සහ ලොම්වල පැහැය අස්ථිවලින් තහවුරු කරන්න බැරි නිසා ජෝන් ගර්චේගේ සහ පරිණාම විද්‍යාඥයන් එම සිතුවම සකස් කළේ අනුමානයක් කරමිනුයි. කොහොම නමුත් කරාබෝ, නූතන මිනිසාගේ සෘජු මතුන්මිත්තා වන හෝමෝ ඉරෙක්ටස් නැතිනම් කොන්ද කෙළින් තබාගෙන දෙපයින් ඇවිද ගිය මිනිසාට සමානයි කියලා පරිණාම ජීව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තියෙනවා.

(නැෂනල් ජියෝග‍්‍රැෆික් ඇසුරිනි)

නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද? : දැන මුතු

මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද? ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ‍්‍රායලයට හෝ ජොර්දානයට යන්න  ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා. අනෙක් ලවණතාව වැඩි විල වූ මහා ලූණු විල පිහිටලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙයි.

0

එක අතක හඬ : සෙන් බොදු කතා

කෙන්නින් ආරාමයේ ප‍්‍රධාන ගුරුතුමාගේ නම මොකුරායි. එහි අරුත ‘නිහඬ හෙණය’ යන්නයි. ඔහු ළඟ පුංචි ඇබිත්තයෙක් හිටියා. නම ටෝයෝ. ඔහු තාමත් දොළොස් හැවිරිදි වියේයි පසුවුණේ. ටොයෝ දැක්කා වැඩිමල් ගෝලයන් හැමදාම උදේට හා හවසට ගුරුතුමාගේ කාමරයට යනවා. ඔවුන් එසේ ගියේ සාන්සෙන් ධර්මය අහන්න. එහෙමත් නැත්නම් පුද්ගලික උපදෙසක් හෝ සිත අයාලේ යන එක නවත්තන්න අවශ්‍ය කොආන් උපදෙසක් හෙවත් කමටහනක් ලබා ගන්න.

ටෝයෝටත්  ඕනෑ වුණා, සාන්සෙන් කරන්න.

”ටිකක් ඉවසන්න, ඔබ තවම ළාබාල වැඩියි” මෝකුරායි කීවා.

ඒත් ටෝයෝ ඒක පිළිගත්තෙ නෑ. අන්තිමේ දී ගුරුතුමා ඊට ඉඩ දුන්නා.

හැන්දෑවේ පුංචි ටෝයෝ හරියට නියමිත වෙලාවට මොකුරායිතුමාගේ සැන්සෙන් කාමරයට අසලට ගියා. ඔහු තමා පැමිණි බව දන්වන්න ඒ ඉදිරිපිට ඇති ගභීරිකාව නාද කළා. දොරට පිටින් සිට නැවී තුන් වරක් ආචාර කළා. ඉන්පසු ගුරුතුමා ඉදිරියට ගොස් වැඳ එකත් පස්ව හිඳ ගත්තා. ඔහු නිහඬව ගෞරව දක්වනු ගුරුතුමා බලා හිටියා.

”ඔබට අත්පොළසන් දෙන විට අත් දෙකකින් නැෙඟන හඬ අහන්න පුළුවන්.” මොකුරායි තුමා කීවා. ”දැන් මට පෙන්වන්න එක් අතකින් නඟන හඬ.”

ටෝයෝ හිස නව ආචාර කර ඒ ගැන හිතන්නට සිය කාමරයට ගියා. ඔහුට කාමරයේ ජනේලයෙන් ගෙයිෂාවන්ගේ සංගීතය ඇසුණා. ”මට ඇහුණා, ඒ හඬ. මට ඇහුණා” ඔහු තමාටම කියා ගත්තා.

පසුවදා හැන්දෑවේ ඔහු ගුරුතුමා බැහැදැකීමට ගියා. එක අතකින් නැෙඟන හඬ පෙන්වන්නැයි ගුරුතුමා කිවා.

ඔහු ගෙයිෂාවන් වාදනය කළ සංගීතය වාදනය කරන්න පටන් ගත්තා.

”නෑ. නෑ” මොකුරායි තුමා එය අතින් නවතමින් කීවා. ”ඒක වෙන්න බෑ කවදාවත්, එක අතකින් නඟන හඬ. ඔබ ඒක හරියට කළේ නෑ”

ඒ සංගීතය තමන්ගේ සිතුවිල්ලට බාධා කළා කියා සිතූ ටෝයෝ වෙනත් නිසල, නිහඬ තැනකට ගිහින් යළිත් භාවනා කරන්න පටන් ගත්තා. ”එක් අතකින් නඟන හඬ කුමක් විය යුතුද?’’ ඔහු කල්පනා කළා. ඔහුට එකපාරටම ඇහුණා, වතුර බිංදුවක් වැටෙන හඬක්. ”මට හමු වුණා” ඔහු තමාටම කියා ගත්තා.

ඊළඟ අවස්ථාවේ ඔහු ගුරුතුමා ඉදිරියේ පෙනී සිට ඔහු ජගය බිංදුවක් වැටෙන හඬ අභිනයෙන් පෙන්නුවා.

”ඒ මොකක්ද?” ගුරුතුමා ප‍්‍රශ්න කළා. ”ඒ වතුර වැටෙන හඬ නේද? ඒත් ඒකත් නොවෙයි, එක අතකින් නැෙඟන හඬ. තව හොයන්න” ගුරුතුමා කීවා.

‘එක අතකින් නැෙඟන හඬ’ ඇසෙන තෙක් ටෝයෝ හුඟාක් වෙහෙස වී භාවනා කළා. ඔහුට සුළෙඟ් හඬ ඇසුණා. එය ප‍්‍රතිෙක්‍ෂප වුණා.
බස්සකු කෑ ගහන හඬක් ඇසුණා. එය ද ප‍්‍රතිෙක්‍ෂප වුණා.

එසේම ‘එක අතකින් නැෙඟන හඬ’ පතංගයන් නඟන හඬත් නොවන බව ගුරුතුමා කීවා.

ටෝයෝ දස වතාවකටත් වැඩිය එක එක හඬ සමග මොකුරායි ගුරුතුමා ළඟට ගියා. ඒත් ඒ එකකින්වත් පලක් වුණේ නෑ. ඒ හැම එකක්ම වැරදි බව ගුරුතුමා කීවා.

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මේ ‘එක අතකින් නැෙඟන හඬ’ මොකක්දැයි සොයන්නට ටෝයෝ වෙහෙසුණා.

අන්තිමේ දී ටෝයෝ ඉතා හොඳින් ම භාවනා යෙදෙන්න පටන් ගත්තා. භාවනාවේ උච්චම අවස්ථාවට පිවිසුණු පසු ඔහුට හැම ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. ”තවත් ශබ්ද ඉතිරිව නෑ මට අසන්නට” ඔහු පසුව පැහැදිලි කළා.       

”ඊළඟට මම එළඹුණේ ‘නිශ්ශබ්දතාවේ ශබ්දයටයි’, එනම් ‘නිහඬ හඬ’ටයි.

ටෝයෝ ‘එක අතකින් නැෙඟන හඬ’ හඳුනා ගත්තා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

නස්රුදින්ගේ මෝඩකමේ සීමාව : නස්රුදින්ගේ කතා

නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එහෙදි නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගේ මලූවලට පුරවද්දී ඔවුන්ගේ අතට ම අහුවුණා. ඔවුන් නස්රුදින්ව අල්ලගෙන නඩුකාරයා ළඟට අරන් ගියා.
   
‘‘මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්නෙ වී අඳුනන්නෙ නෑ’’ නස්රුදින් එහෙදි නිදහසට කරුණු වශයෙන් කීවා.

‘‘එහෙම නම් ඇයි තමාගෙ වී අනිත් අයගේ මලූවලට දැම්මෙ නැත්තෙ ? නඩුකාරයා ඇහුවා.

‘‘ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙවෙයි’’ නස්රුදින් උත්තර දුන්නා.

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
0

ලතාවේ කතාව : සූෆී උපමා කතා

     
එකමත් එක රටක ගෙයක් තිබුණේය. ඒ ගෙය අසලින් මතු වූ ලතාවක් (වැලක්) ගෙයි බිත්තිය දිගේ ඉහළට නඟින්නට විය.

වසර කීපයක් ගත විය. ඒ ලතාව මුළු ගෙය ම වසා ගෙන වැඩුණේය. ගෙයක් ඇති බව පමණක් පෙනෙන පරිදි වට රේඛාවක් පමණක් එහි විය. මුළු ගෙය ම නිල්ලෙන් වැසී ගියේය. පිටතින් බලන්නකුට ඒ තුළ ගෙයක් ඇති බව වටහා ගත හැකි වූයේ එහි  හැඩයෙන් පමණි.

ඒ ගෙය තුළට යාම හෝ ඉන් පිටතට පැමිණීම හෝ එන්න එන්නම අසීරු වන්නට විය. ලතාවෙහි පැතිරීම එන්න එන්නම වැඩි විය. නිවැසියෝ ලතාවෙහි අතු-ඉති ඈත් මෑත් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූහ. එහෙත් ලතාව නොකඩවා වැඩෙමින් ඔවුනට එහි ජීවත් වීම තව තවත් අසීරු කරවීය. තවදුරටත් එහි රැුඳිය නොහැකි වූ තැන නිවැසියෝ එය අතහැර ගියහ. ලතාව නොනැවතී වැඩුණේය. අන්තිමේ දී එහි වට රේඛාව ද වෙනස් විය. එහි ගෙයක් ඇති බව පිටතට නොපෙනුණේය.

තවත් කාලයක් ගත විය. ගෙය මුළුමනින් ගරා වැටුණේය. එය ලතාවකින් වසා ගත් පස් ගොඩක් පමණක් විය. ඉඳහිට එය දෙස බලන අයෙක් එහි ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව අන්දමන්ද වෙති. එහෙත් ඒ ගැන තැකීමක් ද වැඩි දෙනකු තුළ නොවීය. 

ලතාව පමණක් ඒ ගැන මහත් සේ කම්පාවට පත් විය. ඒ ගැන අකම්පහළ වූ ලතාව මෙසේ කීය:

‘‘කොතරම් අකෘතඥ මන්දිරයක් ද. මං කොච්චර කාලයක් අල්ලා ගෙන හිටියාද? වසර ගානක් ම වැටෙන්නට නොදී බදා ගෙන හිටියා. ඒත් ඒක විහින් ම කඩා වැටුණා, මගේ උත්සාහයවත්
ගණනකට නොගෙන.’’ කී ලතාව තවදුරටත් අවට ප‍්‍රදේශය පුරා පැතිර යන්නට විය.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990. ISBN 955-95353-0-7) 
4

මැරිලත් රජතුමා හිනැස්සූ අන්දරේ : අන්දරේගේ කතා

අප විසින් අන්දරේගේ කතා පළ කරද්දී මෙහි පළ කළ අන්දරේගේ අවසාන මොහොත දැක්වෙන ස්මාරකය ගැන අපේ ආදරණීය පාඨකයන් විමසීමක් කළ නිසා අන්දරේගේ ස්මාරකයෙහි ස්වරූපය එසේ වීමට හේතුව පැහැදිලි කිරීමට අපට අන්දරේගේ අවසාන විහිළුව කලින් පළ කරන්නට සිදු විය. මේ අන්දරේගේ කතාවල අවසානය නොවේ. තවත් කතා රැසක් ඉදිරියේ දී පළ වෙයි.

උපදින කාටත් මරණය නියත බව අපි කවුරුත් දනිමු. ඒ නිසා මරණයක් ඇසීම පුහුදුන් කාට වුනත් දුක් ගෙන දෙන්නකි. සතුරකුගේ වුවත් මරණය ගැන ඇසීමෙන් සිනාසෙන කෙනෙක් නැත. එහෙත් අන්දරේගේ මරණය ඇසීමෙන් සිනහ නොවන කෙනෙක් නැත. රජතුමාටත් අන්දරේ මැරී සිටිනු දැකීමෙන් සිනහ ගියේය.

ඒ කතාව මෙහෙමයි.

මහනුවර රාජධානිය කර ගෙන සිටි රජතුමාගේ රාජසභාවේ සේවය කළ ද අන්දරේගේ උපන් ගම පිහිටියේ දකුණු පළාතේ මාතර දිසාවේය. මහලූ වියට පත් අන්දරේ මැරෙන්න කලින් තමන් උපන් ගම් පළාත දැකබලා ගෙන ඒමට කල්පනා කළේය. තමන්ගේ කැමැත්ත රජතුමා දැන්වූ පසු එතුමා ඊට එකඟ වී අන්දරේ යන අතර මග හමුවන ගම්පතීන්ට අන්දරේ රාජදූතයකු ලෙස පිළිගෙන හොඳින් සාත්තු සප්පායම් කරන ලෙස දන්වා ලියමනක් ද දුන්නේය.

අන්දරේ ගමන පිටත් විය. අතර මග ගම්මුලාදෑනින්ගෙන් සත්කාර ලබමින් ? බෝ වූ පසු නවාතැන් පහසුකම් ලබමින් ගිය අන්දරේ මාතරට නුදුරු ගමක දී බලවත් පාචන රෝගයක් හට ගත්තේය. ඒ ගමේ ගම්පතියා ද ඒ පළාතේ ඉන්නා හොඳම වෙදුන් ගෙන්නා අන්දරේට ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. තමන්ගේ අවසානය ළඟා වී ඇති බව අන්දරේ අවබෝධ කර ගත්තේය.

මරණාසන්න මොහොතේ අන්දරේ ගම්පතියා අමතා මෙසේ කීය:

‘‘මං මැරෙන්නයි යන්නේ. මා මළ පසු රජ්ජුරුවන්ට ඒ බව දන්වා යවන්න. රජ්ජුරුවන් වහන්සේ ඇවිත් බලා කළ යුතු දෑ ගැන නුඹලාට නියෝග දේවි. එතෙක් මගේ මළකඳ හොඳින් ආරක්ෂා කරන්න  ඕනෑ. මගේ මළකඳට කිසි දෙයක් කරන්න එපා.’’ අන්දරේ කීය.

එසේ කියා අන්දරේ හතරගාතය දිග හැර සිරුර කතිරයක් ලෙස සිටින සේ තබා ගෙන අවසන් හුස්ම හෙළීය.

ගම්පතියා ද අන්දරේ කී ලෙස ම ඔහුගේ සිරුර එසේ තිබෙන්නට හැර රජතුමාට අන්දරේ පැවසූ වදන් ඒ අයුරින් ම දන්වා යැවීය.

අන්දරේ මළ පුවත අසා කම්පා වූ රජ්ජුරුවෝ වහා පිරිවර සමග එහි වැඩියහ.

අන්දරේගේ සිරුර දරදඬු වී තිබුණේ කතිරයක් ලෙසය. අත්පා නමන්නට නොහැකි නිසා රජ්ජුරුවෝ එම සිරුරේ හැඩයට පෙට්ටියක් තනන්නැයි වඩුවකු ගෙන්වා නියෝග කළහ. අන්දරේ වළලන්නට තැනූ ඒ කතිර පෙට්ටිය දුටු රජ්ජුරුවන්ට සිනා පහළ විය. ‘‘අන්දරේ මැරිලත් මාව සිනස්සනවා’’යැයි කී රජ්ජුරුවෝ කඳුළු පිසදමමින් පැවසූහ.

අන්දරේ ස්මාරකයට අමතරව ඔහුගේ පිළිරුවක් ද දකුණු පළාතේ මාතර කතරගම මාර්ගයේ නෝනාගම හන්දියේ ඉදිකර තිබේ.

අන්තර් ජාලයෙන් සොයගත් ඡායරූප දෙකක් පහල සදහන් කරමු. අදාල සබැඳිය (Link) මගින් ඔබට ඡායරූපයට අදාල විස්තර හා ඒවායේ හිමිකරුවන් බලාගන්න පුලුවන්.

අන්දරේගේ ස්මාරකය :


නෝනාගම හන්දියේ පිළිරුව:

0

පුලුන් වගේ වලාකුළින් : පාඨක නිර්මාණ


පුලුන් වගේ වලාකුළින්
හොරෙන් හොරෙන් එබිල බලන
හඳ මාමේ මේ අහන්න
ඔබ එනවද අපේ ගෙදර

මාත් එක්ක රන්ඩු වෙන්න
සෙල්ලම් කඩවල් දමන්න
ඉස්කෝලෙත් දැන් නිවාඩු
ඔබ එනවද මට කියන්න

කිරී පැණී අරන් එන්න
රන් තැටියෙන් මට බෙදන්න
අපේ ගෙදර හනික එන්න
මම ඉන්නම් මග බලන්ම

හඳේ හවා ලස්සනයිද
පුලුන් බොලයක් වගේ ද
අපේ නංගිත් ඒවගේනෙ
හරි සුරතල් පොඩි උනාට

කුරුල්ලෙකුගෙ පිටේ නැගල
ඔබ එනවද මට කියන්න
පොඩි තරු කැට මාල පොටක්
අපේ නංගිට අරන් එන්න

හැමදාමත් හවසට මම
මිදුලට වී බලන් ඉන්නෙ
පුලුන් වලා රොද අතරින්
ඔබ එනකන් රෑ අහසට

අපේ අම්මට මම කිව්වා
ඔබ එන බව අපේ ගෙදර
මගෙ යාලුවො ඔක්කොම දැන්
ඔබ එනකන් බලන් ඉන්නෙ

අපේ දිහා එනහැටි මම
ලියල එවන්නද ලියුමක
මම දන්නව නොවැරදීම
ඔබ එන බව අපේ ගෙදර

ඔබ නාවොත් මම තරහයි
ආයෙත් නැහැ කවදාවත්
ඔබ එක්කල යාලු වෙන්නෙ
නැහැමයි මම ආයේමත්

මගෙ යාලුවො මට කියාවි
හඳ මාමා නරකයි බව
මම දන්නව හඳ මාමේ
ඔබ නෑවිත් නොඉන්න බව

~ප්‍රභානි අනුත්තරා~

0

අන්දරේගේ බිත්තරේ කතාව

අන්දරේ රජතුමාගේ ආදරේ දිනා ගත්ත එක ගැන රාජසභාවෙ හිටපු ඇමතිවරුන් හිටියෙ නොසතුටින්.
”අන්දරේ අපි හැමෝටම විහිළු කරනවා. අපිත් දවසක් අන්දරේට විහිළුවක් කරමු” කියලා නාන්න පොකුණට යන කොට අන්දරේට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් එමු කියල ඔවුන් කතා වුණා.

”අද අපි හැමෝම එක පාරටම දිය යටට ගිලිලා බිත්තරේ බිත්තරේ අරන් එන්න  ඕනෑ. ගේන්න බැරි කෙනා පරාදයි.” එක්කෙනෙක් කීවා. ඔවුන් හැමෝම ඒකට එකඟ වෙලා දිය යටට ගියා. අන්දරෙත් දිය යටට ගියා.
අන්දරේ දිය යට යන ගමන් හිතුව මේ එයාව විහිළුවට ලක්කරන්න කරන උප්පරවැට්ටියක් කියලා. ඒ අය හැම දෙනාම දියයටින් මතුවෙන්න ඉඩ දීලා අන්දරේ දිය යටින් මතු වුණා.

ඔවුන් සඟවා ගෙන හිටපු බිත්තරේ බිත්තරේ අතින් ඉහළට ඔසවා ගෙන අන්දරේට පෙන්නුවා, එයාව ලැජ්ජාවට පත් කරන්න හිතා ගෙන.

අන්දරේ දෑත් විදහලා වතුරට සට සට ගාලා ගහලා ‘කුක්කු කූක් කූ’ කියල ඇඬලූවා. එහෙම කරල කිව්ව, ”මෙතැන ඉන්නෙ ඔක්කොම කිකිළියො. මං විතරයි කුකුළා” කියලා කිව්වා. 
0

නස්රුදින්ගේ බිත්තරේ කතාව

නස්රුදින් ජල වාෂ්පයෙන් නාන්න හරිම ආසයි. එයා නිතරම වගේ ජලවාෂ්පවලින් නාන්න තැනූ පොදු නාන පොළකට ගියා. එහෙට වැඩිපුර ආවෙ තරුණයො. නස්රුදින් තරුණයෙක් වගේ විහිළු තහළු කරල ඒ අය එක්ක යාළු වුණා. නස්රුදින් අපිට හැමදාම විහිළු කරනවා, අපිත් නස්රුදින්ට විහිළුවක් කරමු කියල ඒ තරුණ කට්ටිය කලින් කතා වෙලා නස්රුදින්ට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් ආවා.

”ඔන්න අද අපි මෙහෙම ඉන්න ගමන් බිත්තරේ බිත්තරේ දාන්න  ඕනෑ.” වාෂ්ප නාන තැනට ඇතුළු වෙන ගමන් එක් තරුණයෙක් හඬ නඟලා කීවා.

”බැරි වෙන කෙනා අද අපි ඔක්කොගෙම නාන බිල ගෙවන්න  ඕනෑ. සියලූ දෙනාම එක හඬින් එකඟ වුණා. නස්රුදිනුත් ඒක පිළිගත්තා.

ටික වේලාවකින් හැමෝම පසු පස සඟවා ගත් බිත්තරේ බැගින් අතට ගෙන පෙන්නුවා. ඊට පස්සෙ ඔවුන් ඇහුවා නස්රුදින්ගෙන් බිත්තරේ ගැන.

”මෙච්චර කිකිළියො ඉන්න තැන අඩු ගානේ එක කුකුළෙක්වත් ඉන්න බාරිද?” නස්රුදින් එකවරම ඇහුවා.


(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
3

අන්දරේගේ උපමා කවි

දවසක් රජතුමාත් බිසවත් සතුටු කතාබහක යෙදී සිටියදී අන්දරේ රජවාසලට ගොඩ විය. සුපුරුදු පරිදි සිනහමුසු මුහුණින් සිටි අන්දරේ දුටු රජුට ඔහු ලවා කවියක් කියවා ගන්නට සිතුණේය.

”අන්දරේ නුඹ කවදත් හිටිවන කවි කියන්න දස්සයා නෙ. කියාපන් මගේ බිසවටත් මටත් හිටිවන කවියක්” රජතුමා කීවේය.

”අවසර රජතුමනි, ඔබ වහන්සේ උදහස් නොවන්නේ නම් මං කවියක් කියන්නං” කී අන්දරේ හිටිවනම මේ කවිය කීවේය.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

ඒ කවිය ඇසූ බිසව, අන්දරේ තමන් කරවිල වැලකට උපමා කළේ යැයි තේරුම් ගෙන ඒ ගැන අමනාපයෙන් අඬන්නට පටන් ගත්තාය.

රජතුමා බිසව සනසන්නට උත්සාහ කළේය. එහෙත් බිසවගේ නොසතුට පහ කර හරින්නට රජතුමා නොහැකි විය. බිසවගේ දුක්වීම ගැන උදහස් වූ රජතුමා අන්දරේ අමතා මෙසේ කීය.

”අන්දරේ, නුඹ අපේ බිසවුන්වහන්සේ තිත්ත කරවිල වැලකට සමාන කරපු එක වැරදියි. මටත් තරහ යන්න ඉස්සරින් ඒක හරි ගස්සන්න ඉක්මනට මොනව හරි කියාපන්”

ඉන් බියට පත් අන්දරේ ගැහෙමින් හිටිවනම මේ කවිය කීය.

කොහොඹ හොඳ දේට වෙදවරු         ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන           උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති            බණින්නා
මම්වද වරදකරු අහකින්                 සිටින්නා

ඒ කවිය අසා බිසවුන් වහන්සේ අතකින් කඳුළු පිසදමමින් සිනා සෙන්නට වූවාය. රජතුමා ද අන්දරේ දක්ෂකම ගැන සතුටු වී තෑගිබෝග දුන්නේය.
2

විෂ පෙවූ ඊ තලය : බොදු උපමා කතා

දිනක් හුදෙකලා විවේකීව සිටි මාලූංකපුත්ත නම් භික්ෂු නමට මෙබඳු සිතක් පහළ වී ඇත. ලෝකය ශාස්වත ද? ලෝකය අශාස්වත ද? ලෝකය ආත්මවත් ද? ජීවිතයත් ශරීරයත් දෙකක් ද? එකක් ද? මේ ආදී දෘෂ්ටි සංකල්පනා ජාලයක පැටළුණ උන්වහන්සේ මේ පිළිබඳව විස්තරයක් අසා ගැනීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ ඒ දෘෂ්ටි පිළිබඳ විමසා ඒවාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුනහොත් සිවුරු හැර ගිහි ගෙට යන බව දන්වා සිටියේය.

”මාලූංකපුත්ත, මම ඔබට කවදා හෝ කීවෙමි ද? ‘එව මාලූංකපුත්ත. මම ඔබට මේ ප‍්‍රශ්නවලට පිළිතුරු කියමි, මා ළඟ පැවිදි වන්න’ කියා.”

”නැත, ස්වාමීනි.”

”ඔබ කවදා හෝ සිතුවෙහි ද පැවිදි වන්නට පෙර මා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවිදි වුවහොත් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇතිය කියා?”

”නැත, ස්වාමිනි.”
මෙබඳු මනස අවුල් වන ප‍්‍රශ්නවල එල්ලී සිටීම තමන්ට හෝ අනුන්ට හෝ කිසිදු ප‍්‍රයෝජනයක් නැති බව පැහැදිලි කිරීමට මාලූංකපුත්ත භික්ෂු නමට බුදුරජාණන් වහන්සේ මේ උපමාව විස්තර කළ සේක.

”හොඳින් විෂ කවන ලද ඊ තලයකින් විදිනු ලැබ විෂ ශරීරගත වූ මිනිසෙක් සිටියි. ඔහුගේ නෑහිතවත්තු ශල්‍ය වෛද්‍යවරයකු කැඳවා ගෙන එති. ඔහු එම වෛද්‍යවරයාට මෙසේ කියයි:

”මේ ඊ තලය විද්දේ ක්ෂති‍්‍රය ආදී කවර ජාතිකයකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය කවර නම් ගොත් ඇත්තු විසින් විදින ලද්දක දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විද්ද තැනැත්තා උස අයකු ද මධ්‍යම ප‍්‍රමාණයේ අයකුද මිටි අයකුද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විද්දේ කළු අයකු ද සුදු අයකු ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය කවර ගමකින් ආවකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ඊතලය විදිනු ලැබුවේ චාප නම් දුන්නකින් ද කෝචණ්ඩ නම් දුන්නකින් ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

”මේ ආදී ප‍්‍රශ්න අසමින් සිටියි. එහෙත් එම විෂ කැවූ ඊය වැදුණු තැනැත්තා ඒ විස්තර කිසිවක් නොදනියි. එහෙයින් ඔහු ශරීර ගත වූ ඒ ඊතලයේ විෂ හේතුවෙන් මරණයට පත් වන්නේය. ”

මෙසේ ම මාලූංකපුත්ත ඔබ ද ලෝකය ශාස්වත ද සත්වයා මරණින් මතු වේ ද නො වේ ද ආදී ප‍්‍රශ්න අසන විට ඒවාට විසඳීම් නැතිව සිටිය දී තථාගතයාණන් වහන්සේ විසින් අව්‍යාකෘත හෙවත් විසඳීම් නො සෙවිය යුතු යැයි පැත්තක බහා තිබූ එම ප‍්‍රශ්න ගැනම සිතන යමකු කිසි දිනෙක මරණයට පත් වුවහොත්, ඔහුගේ පැවදි ජීවිතය අසාර්ථකම වන්නේය. ලෝකය ශාස්වත ද ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණහොත් කිසිදු පැවිද්දකුගේ (බ‍්‍රහ්මචරිය වාසය) පැවිද්ද සාර්ථක වන්නේ ද නැත.එසේ වන විට මෙම භවයේදීම විසඳීම් ඇති ප‍්‍රශ්න වන ඉපදීම මරණය සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී සියල්ලම පවතී. මේ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන් ලැබීම ගැටලූ විසඳීමට වඩා සුදුසු පිළිවෙතය.” (මජ්ජිම නිකාය - චුල්ලමාලූංකෝවාද සූත‍්‍රය)

වර්තමානයේ ඉතා වැදගත් කොට සලකන අධ්‍යාපන අංගයක් ලෙස සැලකෙන ළමයින්ට ජීවන කුසලතා හැඳින්වීම පිණිස යොදා ගත හැකි කථාවක් නළපාන ජාතකයට ඇතුළත් වෙයි. අනතුරක් හෝ ගැටලූවක් කල් තියා හඳුනා ගැනීම, ඊට විසඳුමක් සොයා ගැනීම, විසඳුම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය මෙවලම් තනා ගැනීම, අනතුරෙන් හෝ ගැටලූවෙන් මිදීමට උපා යෙදීම, එම ගැටලූවෙන් මිදීම පමණක් නොව නායකත්වය, නායකත්වයේ වගකීම, නායකත්වයට ගරු කිරීම වැනි පාඩම් ද ඒ සරල කථාවෙහි ඇතුළත් බව විමසිල්ලෙන් බලන විට පෙනී යයි.  
0

ඩාවින්ගේ පරිණාමවාදය : දැන මුතු



මිනිසාගේ පරිණාමය ගැන චාල්ස් ඩාවින් 1859 දී ලියූ ‘ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීසීස්’ නම් පොත මුද්‍රණයට දුන් ප‍්‍රකාශකයා එහි ප‍්‍රථම මුද්‍රණය වශයෙන් ඇනවුම් කළේ පිටපත් 1200 පමණය. ඒ පිළිබඳව ඩාවින් සිය නොසතුට පළ කළේ එතරම් විශාල ප‍්‍රමාණයක් කිසිසේත් අළෙවි කළ නොහැකි යැයි කියමිනි. එහෙත් එම පොතෙහි පිටපත් සියල්ලම එක් දිනක් තුළ අළෙවි විය.

විස්තර සඳහා බලන්න විකිපීඩියා විශ්වකෝෂයෙහි On the Origin of Species
0

මඬ පාර : තවත් සෙන් බොදු කතාවක්

තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඬ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.

පාරේ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඬ වළක් තිබුණා. ඒ අද්දර ඔවුන්ට සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් දක්නට ලැබුණා. ඇය ඒ මඬ පාර හරහා යන්න බැරිවයි බලා ගෙන හිටියෙ.

”එන්න, කෙල්ලේ” කියූ තාන්සාන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඬ වළෙන් එගොඩ කළා.

එකිදෝ ඒ නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගියා. තාන්සාන් දැරිවි පාරේ අනෙක් පැත්තෙන් තියා හැරී බලන විට එකිදෝ හුඟක් දුර ගිහින්. තාන්සාන් ගමන් වේගය වැඩි කර ගිහින් බොහොම අමාරුවෙන් එකිදෝට එකතු වුණා.

එකිදෝ එදා රාති‍්‍රයේ නවාතැන් ගත් පන්සලට යන තෙක් තාන්සාන් හා කතා බහ කළේ නෑ. තවදුරටත් නිහඬ ඉන්න බැරි වූ තැනයි එකිදෝ කතා කළේ. ”අපි හාමුදුරුවරුන් වුනාම කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ.” කී ඔහු තාන්සාන්ගෙන් මෙහෙම ඇහුවා:”විශේෂයෙන් ම ඒ අය තරුණ ලස්සන කාන්තාවන් නම් තවත් භයානකයි. ඔබ ඇයි එහෙම කළේ?”

”මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලා ආවා. ඒත් ඔබ තාම එයා ඔසවගෙන ඉන්නවද?” තාන්සාන් උත්තර දුන්නා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
3

ඉරි ඇති දන්තාලේප : පුංචි හිතට නැඟුණු ගැටලූ

කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන්නේ කොහෙන් ද? යන්නයි. මෙය විසඳිය නොහැකි බරපතල ගැටලූවක් ලෙසයි, එදා මට හිතුණේ. මේ ඉරි, දන්තාලේප ටියුබය තුළ සුදු පැහැති දන්තාලේපය පුරා හැමතැන ම යොදා තිබෙනවා ද? එසේ නම් නියමිත රටාවකට ඒවා පිටතට එන්නේ කොහොම ද? ඒ සඳහා විශේෂ උපක‍්‍රමයක් යොදලයි, තියෙන්නෙ. ටිකක් ලොකු වෙන කොට ඉවර වුණු දන්තාලේප ටියුබයක් කපල බලන්න මට හිතුණා.



ඒ සඳහා භාවිත කරල තියෙන්නෙ ඉතා ම සරල උපක‍්‍රමයක්. ඒක යොදල තියෙන්නෙ දන්තාලේපයේ නොසලය Nozzle හෙවත් මුවවිට අසලයි. දන්තාලේපයට වර්ණ ඉරි රටාව දමන වර්ණ ආලේපය එහි වෙනම කුටීරයකයි, තැන්පත් කරලා තියෙන්නෙ. ටියුබයේ මුවවිට ඇතුළෙන් වටේට කුඩා සිදුරු කීපයක් තියෙනවා, සුදු දන්තාලේපය එළියට එන විට ඒ සමඟ එක්වන්නට හැකි වන විදියට. ටියුබය ඇතුළේ ඇති ලොකු ඉඩකඩෙහි අසුරා තියෙන සුදු දන්තාලේපය ඔබ දන්තාලේප ටියුබය මිරිකන විට ඇති වන පීඩනය නිසා නොසලයෙන් එළියට එනවා. ඒ පීඩනය ඉහළ කුටීරයේ ඇති වර්ණ යෙදූ ආලේපය ඇති කොටසටත් එක් විට ම දැනෙනවා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුදු දන්තාලේපය එළියට එන විට ම පාට ඉරිත් ඒ දන්තාලේපය සමග එකතු වෙනවා.
0

ඉන්ෆ්ලූවෙන්සාව : වදනක් හැදුණු හැටි

ඉන්ෆ්ලූවෙන්සා කියන්නෙ ශ්වසන පද්ධතියෙ උඩු කොටසට වැලඳෙන තදබල ආසාදන තත්වයක්. ප‍්‍රතිශ්‍යාව, හෙම්බිරිස්සාව ආදියත් ඉන්ෆ්ලූවෙන්සා කියන නමින්ම තමයි, හැඳින්වෙන්නෙ. හෙම්බිරිස්සාවක් ඉක්මනින් සුව නොවුණොත් ඉන්ෆ්ලූවෙන්සා කියන තත්වයට හැරෙන්න පුළුවන්.Influenza ඉන්ෆ්ලූවෙන්සා කියන රෝග තත්වයට ඒ නම ලැබුණෙ තාරකාවල හෙවත් ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියල විශ්වාසයක් ඉස්සර තිබුණු හින්දයි. ඉන්ෆ්ලූවන්ස් influence කියන ඉංගිරිසි වචනෙ තේරුම බලපෑම කියන එකයි. මහාමාරිය වැනි වසංගත ඇති වෙන්නෙත් මේ ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියලයි ඒ කාලෙ විශ්වාස කළේ.
2

ෆ්ලෙමින්ට අහම්බෙන් ලැබුණු පෙනිසිලින්


පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා ගත්තෙ අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට ඉස්සර, එනම් 1928 දී. ස්කොට්ලන්ත ජාතික ශාකාණු විද්‍යාඥ ඇලක්සැන්ඩර් ෆ්ලෙමින් එංගලන්තයේ පිහිටි ඔහුගේ පරීක්ෂණාගාරයේ පරීක්ෂණවල නිරතව සිටිය දී අමතක වීමක් නිසා කෙරුණු අහඹු සොයා ගැනීමක්. ඔහු කරමින් සිටි බැක්ටීරිවේදීය පරීක්ෂණවලදි අමතකවීමකින් බැක්ටීරියා හෙවත් ශාකාණු දමා තිබුණු පැතලි දීසියක් වසා දමා තිබුණේ නෑ. එහි ඉහළ මාලයේ පරීක්ෂණ පවත්වමින් සිටි පර්යේෂකයකුගේ නොසැලකිල්ල නිසා ඔහු පරීක්ෂණයට භාවිත කරමින් සිටි දිලීරයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගිහින් ඇරලා තිබුණු ජනේලෙන් පිටතට ගියා. ඒවා ෆ්ලෙමින්ට වහන්නට අමතක වූ පැතලි දීසියේ තිබුණු ස්ටැපිලොකොකයි බැක්ටීරියා රෝපණයක් මත වැටුණා. පසුවදා ඔහුට දැක ගන්නට ලැබුණේ එම දීසියේ බැක්ටීරියාවලින් කොටසක් විනාශ වී ඇති බවයි. එහෙම විනාශ වුණේ ඉහළ මාලයෙන් ගසාගෙන ආ දිලීර කොටස්වලින්. ඒ තමා පෙනිසිලින් Penicillin.
0

රජතුමා ඉබිතුමා කළ හැටි : තවත් අන්දරේගේ කතාවක්

දවසක් රජතුමා පිරිවර සමග දෝලාවෙන් ගමනක් ගියේය. මිනිස්සු හතරදෙනෙක් දෝලාව ඔසවා ගෙන ගියහ. එදා අන්දරේ ද රජතුමා සමග ගමනට එක්වී දෝලාව පසෙකින් යමින් සිටියේය. අතරමඟදී රජතුමා මග අයිනේ විශාල ඉබ්බකු සිටිනු දුටුවේය. එත් ඒ නොදුටුවාක් මෙන් ගමන ගිය රජතුමා පසුවදා උදේ අන්දරේ රාජ සභාවට ආ පසු කවි තේරවිල්ලක් කියන්ට තෝරන්නට හැකිදැයි ඇසීය.

‘‘රජතුමනි, ඒ මොකක්දැයි අහන්නෙ නැතුව තෝරන්න පුළුවන්දැයි කියන්නෙ කොහොමද? උදහස් නොවී කවිය වදාරන්ඩ. පුළුවන් නම් තෝරනවා’’ අන්දරේ කීවේය.

‘‘එහෙනම් මෙන්න අහගන්න’’ කී රජතුමා උස් හඬින් මේ කවිය කීවේය.

දාර දෙකයි එක තැන මුල් කර     තැනුවා
පාර තිහක් තැලූවට බියකුත්        නැතුවා
කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
තෝරාපන් ඊයේ මග දී               දුටුවා

ඒ කවිය කියනවාත් සමගම අන්දරේට කලින් දවසේ රජතුමා සමග යද්දී දුටු ඉබි රාජා මතක් විය. රජතුමාට විහිලූවක් කරන්නට සිතූ අන්දරේ පිළිතුරු දුන්නේ මේ තේරවිලි කවියෙනි.

දාර දෙකක් එක ළඟ එක           ගැවසීය
වටපිට යන කලට කනු සතරින්        යාය
ගෙට වැඩි කලට කිසි බියකුත්     නැතුවාය
මට දැනෙනා ලෙසින් මහරජ        ඉබ්බාය

මිනිසුන් හතර දෙනකු ඔසවාගත් දෝලාවකින් තමන් පෙරදා ගිය ගමන රජුට සිහි විය. අන්දරේ තමන්ව ඉබ්බාට සමාන කරමින් කළ සරදම ගැන රජතුමා කිපුණේ නැත. ඒ වෙනුවට අන්දරේගේ දක්ෂකමට ප‍්‍රශංසා කරමින් තෑගි බෝග දුන්නේය.
3

ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ

ලෝක සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි. ඔහු නවකතාකරුවකු පමණක් නොව කවියකු, නාට්‍ය රචකයකු, ඔපෙරා රචකයකු, චිත‍්‍රශිල්පියකු, නිදහස් චින්තකයකු, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු මෙන් ම ප‍්‍රකට දේශපාලන චරිතයක් ද විය. වික්ටර් මාරී හියුගෝ නමින් 1802 පෙබරවාරි 26 වැනිදා ප‍්‍රංශයේ දී උපන් ඔහු කුඩා කල දස්කම් පෑවේ කවියකු ලෙසය. ඒ ප‍්‍රාථමික පාසල් සිසුවකුව සිටියදීය. ඔහු මුලින් ම පළ කළේ ද කවි පොතකි. ඔහුගේ ඉතා දිගු සාහිත්‍ය ජීවිතය පුරා ම සෑම දිනකම පද්‍ය පේළි 100ක් ද ගද්‍ය පිටු 20ක් ද ලියන්නට සමත් වූ බව සඳහන්ය. 

යොවුන් වියේ දරිද්‍රතාවෙන් බොහෝ සේ පීඩා විඳි ඔහු, 1822 ලියූ කවි එකතුවක් නිසා පැහැදීමට පත් ප‍්‍රංශයේ 18 වැනි ලූවී රජු ඔහුට වාර්ෂික විශ‍්‍රාමික පාරිතෝෂිකයක් ද පිරිනැමුවේය. රාජ්‍ය පාලකයන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ ඔහු ඇතැම් විටෙක රාජ්‍ය පාලකයන්ට එරෙහි ව අභීතව සටන් වැදුණු අවස්ථා ද බොහෝය. ඒ නිසා විටෙක ඔහුට සිය මවුබිමින් පිටුවහල් වී සිටීමට ද සිදු විය.
ඔහු ජීවත්ව සිටියදී පළ වූ පොත් සිය ගණනකි. එසේ ම ඔහු 1885 මැයි 22 වැනිදා මිය ගිය පසු පළ වූ කෘති ද තිස් ගණනකි. පැරීසියේ දී සිදු වූ ඔහුගේ අවමඟුලට විසි ලක්ෂයකට අධික ජනකායක් සහභාගි වූ බව සඳහන්ය.

ලෝක සාහිත්‍යයේ වඩාත් ප‍්‍රසිද්ධ චරිත දෙකක් වූ යාන් වැල්යාන් (‘ලෙ මිසරබ්ල’ නවකතාවේ ප‍්‍රධාන චරිතය) හා ක්වෝසිමොඩෝ (හන්ච්බෑක් ඔෆ් නොත‍්‍රඩම් - මේ පොත ‘ආදර ස්මෙරල්ඩා’ යන නමින් සිංහලෙන් පළවී තිබේ.) නිර්මාණය කිරීමෙන් ලෝක සාහිත්‍යය තුළ අමරණීයත්වයට පත් වූ වික්ටර් හියුගෝ නවකතා ගණනාවක් ම ලොවට දායාද කර තිබේ. ඔහු 1829 දී ලියූ මුල් ම පරිණත නවකතාව වූ ‘ලාස්ට් ඬේස් ඔෆ් ද කොන්ඩෙම්න්ඞ් මෑන්’ (මරණයට කැප කළ මිනිසකුගේ අවසාන දින කීපය) නම් නවකතාව ඇල්බෙයා කැමූ, චාල්ස් ඩිකන්ස්, ෆියඩෝර් දොස්තොව්ස්කි වැනි ලේඛකයන්ට ආභාසයක් වූ බව සඳහන්ය. සියවස් දෙකකට පමණ පෙර ඔහු මානව හිමිකම් පිළිබඳව මතවාදයක් ඇති කළේත් මරණ දඬුවම අහෝසි කරන්නට ලොව පුරා උද්ඝෝෂණයක් දියත් කළේත් එම කෘතියෙන් පසුවය. පීඩිත ජන ජීවිත ප‍්‍රධාන චරිතවලට යොදා ගෙන මිනිස්කම ගැන ප‍්‍රශ්න කරන්නට, සමාජ අසාධාරණයට හා අයුක්තියට එරෙහිව සටන් කරන්නට ඔහු පෙලඹුණේ මින් පසුවය. ‘මනුතාපය’ ්දීන දුක’ ආදි වශයෙන් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුණු ඔහුගේ ‘ලෙ මිසරබ්ල’ නවකතාව පළ වූයේ 1862 දීය. පිටු 1200ක් වූ ඒ නවකතාව ලියන්නට ඔහුට වසර 17ක් ගත විය. එම නවකතාව ප‍්‍රකාශකයාට බාර දී විදේශගත වූ ඔහු ඒ පිළිබඳව ප‍්‍රකාශකයා සමග කළ ලිපි හුවමාරුව ලෝකයේ ප‍්‍රථම හා කෙටිම පණිවුඩ හුවමාරුව ලෙස සැලකේ.

ඔහු ප‍්‍රකාශකයාට යැවූ ලිපියෙහි සඳහන් වූ එකම ලකුණ වූ ‘?’ ප‍්‍රකාශකයාගේ පිළිතුර වූයේ ‘!’ යන්නය.

(විස්තර සඳහා බලන්න විකිපීඩියා විශ්වකෝෂයෙහි Victor Marie Hugo&

0

බීම බටයේ උපත - නළපාන : ළමා සිතට ජාතක පොතෙන්

අද මුළු ලොව පුරා ජනපි‍්‍රය බීම බටයේ සංකල්පය මුලින් ම ආවේ ද මේ නළපාන ජාතක කතාවෙනි.  නළපාන යන්නෙහි අරුත ද බීම බටයයි. බොහෝ සේ ජනපි‍්‍රය මෙම කතාව කවුරුනුත් දන්නා එකක් වුවද මෙහි දී එය කෙටියෙන් දැක්වීම අවශ්‍යයයි සිතමි.  


බුදුන් වහන්සේ විසින් මේ ජාතක කතාව දේශනා කරන ලද්දේ භික්ෂු පිරිසක් සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරමින් සිටියදීය. නළපාන ගම නළපාන පොකුණු තෙර දී ඒ අසල වැවී තිබුණු බටගස්වල දඬු ගැට නැති එ්වා බව දුටු භික්ෂූහූ බුදුන් වහන්සේගෙන් ඒ බට දඬුවල ගැට නැති වූයේ කුමක් නිසාදැයි විමසූහ. ඊට පිළිතුරු දුන් උන්වහන්සේ ‘එය මාගේ පෙර අධිෂ්ඨානයකැ’යි කියා පෙර ආත්මයක සිදු වූ මෙම අතීත කතාව දේශනා කර ඇත්තේ එම අවස්ථාවේ දීය.

ඈත අතීතයේ ඒ පෙදෙස මහ වනාන්තරයක් විය. එකල බෝසතාණන් වඳුරු රාජයකුව ඉපිද සිටියේ  වඳුරන් අසූදහසක පිරිවරක් සමගය. ඒ වඳුරු රැුලෙහි නායකයා වූ බෝසතාණෝ පිරවර වඳුරන් අමතා මෙසේ කීහ: ”මේ වනයේ නොයෙක් විෂ පලතුරු සහිත ගස් ඇත. ජලරකුසන් අරක්ගත් පොකුණු ඇත. මගෙන් නො විමසා ඉන් පෙර නොකෑ දෙයක් නො කෑ යුතුය. මට නො කියා පෙර පැන් බීම නො කළ පොකුණකින් පැන් බීම නො කළයුතු ය. හැම විට ම මෙය සිහියේ තබා ගත යුතුය.”

වනයේ ඇවිදිමින් ගිය වඳුරු රංචුවට පිපාසය ඇති විය. දිය බීමට තැනක් සොයමින් යන වඳුරන්ට පොකුණක් හමු විය. ඔවුහූ එය ඉන් පෙර දිය නො බිව් පොකුණක් බව හඳුනා ගත්හ. ඒ නිසා එහි දිය බීමට පෙර ඒ ගැන බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ පොකුණ පරීක්ෂා කර බැලූහ. පොකුණ දෙසට ගිය අඩි මිස පොකුණෙන් ගොඩට ආ අඩි කිසිවක් නැති බව දුටහ. ඒ අනුව එම පොකුණ ජලරකුසකු අරක්ගත් එකක් බව සැක හැර දැනගෙන ඒ බව පිරිවර වඳුරන්ට කියා, තම අවවාදය පිළිගෙන කි‍්‍රයා කළ ආකාරය ගැන ඔවුන්ට ප‍්‍රශංසා කළහ.
‘එසේ නම් අප පිපාසය නැති කර ගන්නේ කෙසේදැ’යි වඳුරෝ ඇසූහ.

ඒ අතර දියට නො බැස බලා සිටින වඳුරන් දැක තවදුරටත් ඉවසිය නො හැකි වූ ජලරකුසා දිය මතුපිටට අවුත්, ‘බලා සිටින්නේ මක්නිසාද? පොකුණට බැස පැන් බොන්නැ’යි වඳුරන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී බෝසතාණෝ එම ජලරකුසා අමතා මෙසේ ඇසූහ: ”නුඹ මෙම විලට අරක්ගෙන සිටින ජලරකුසා ද?”
”එසේය, මෙහි විලට දිය බොන්නට බසින සියලූ සතුන් අල්ලා ගෙන කන්නෙමි. නුඹලාටද දැන් ගැලවීමක් නැත. පිපාසය නිවා ගැනීමට නම් දියට බැසිය යුතු මය.” ජලරකුසා කීය.

”නුඹට අපව ආහාරයට ගත හැක්කේ දියට බැස්සොත් පමණය. එහෙත් අපි දියට නොබසිමු. එසේ වුවද දියත් බොමු.” කී බෝසතාණෝ වටපිට බලා ඒ අවට වැවී තිබුණු බට පඳුරු දැක ඉන් දණ්ඩක් ගෙන්වා ගෙන එහි එක් කොණකින් පිඹ ඒ මැද වූ ගැට සියල්ල ඉවත් කර එක සිදුක් ඇති නළයක් බවට පත් කළහ. මෙසේ අනෙකුත් බට ද ගෙන්වා පිඹ දුන්නේය. සියලූම වඳුරන්ට මෙසේ බට දඬු සකසා දීමට කාලය හරස් වන බව දුටු බෝසතාණෝ සිය පාරමී දම් සිහි කර සත්‍යකි‍්‍රයා කොට අවට ඇති සියලූ බට ඒක සිදුරක් ඇති ඒවා බවට පත් වේවායි අධිෂ්ඨාන කළහ. එපරිද්දෙන් සියල්ල සිදු විය. වඳුරු පිරිස ඒ බට දඬු යොදා ගෙන නායකයා අනුගමනය කරමින් බීම බට යොදා ගෙන ගොඩ බිම සිට සිත්සේ දිය උරා බිව්වාහ. ජලරකුසා පාරද විය.

- පන්සියපනස් ජාතක පොත - කතා අංක 20 නළපාන ජාතකය*

එදා ඒ වඳුරු පිරිස මෙන් වර්තමානයේ අපිද විෂ බීජ නැමැති ජලරකුසන්ට අසු නො වී බීම බටයෙන් අදත් බීම පානය කරමු.
2

වසර දෙකක් පමණ හෙද සේවයේ යෙදුණු නයිටිංගේල්


ඇය ‘හෙද සේවයේ පුරෝගාමී මාතාව’ ‘පහනක් අතින් ගත් කාන්තාව’ යන විරුදාවලියෙන් පුදනු ලැබුවාය. ඒ හෙද සේවයේ වැදගත්කම ලොවට පහදා දීම වෙනුවෙනි. ඒ අන් කිසිවකු නොව ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියයි. හෙද සේවයට ඇතුළත් වන හැම කෙනකුම දිවුරුම් දෙන්නේ ඇය සිහි කරමිනි. එහෙත් ඇය හෙද සේවයේ යෙදුණේ ඇගේ මුළු ජීවිත කාලය තුළම වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණය. ඇය සාත්තු සේවයේ යෙදුණේ කි‍්‍රමියානු යුද සමයේ දී සොල්දාදුවන් සුවපත් කිරීම පිණිසය. ඇය එම සේවයේ යෙදෙද්දී වැලඳුණු උණ රෝගයක් නිසා දරුණු ලෙස ඔත්පල වූවාය. ඒ නිසාම ඇය ඇගේ ජීවිතයේ අවුරුදු පණහක් පමණ වූ ඉදිරි කාලය ගත කළේ ආබාධිත අයකු ලෙසය. 
0

ලොව වැඩිම කලක් පැවති අගනුවර අනුරාධපුරය ද?


ශී‍්‍ර ලංකාවේ කොළඹ සිට කි.මී 200ක් (සැ. 127 1/2) දුරින් මෙරට උතුරුදිග තැනිතලාවෙහි මල්වතු ඔයබඩ පිහිටි මෙම නගරය මුහුදු මට්ටමේ සිට උස අඩි 295ක් ඉහළින් පිහිටා ඇත. 1874 සිට උතුරු මැද පළාතේ අගනුවරය. මහ නගර සභාවකින් පාලන කෙරේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 57කි. පිහිටීම: 80 24E 08 21 N ජනගහනය: (සං.2001) 56,632. මෙම නගරය ශුද්ධ නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. පුරාවස්තු හා බෞද්ධ සිද්ධස්ථාන, වෙහෙර විහාර ඇත්තේ ශුද්ධ (පැරණි) නගරයේයි. ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් ඇති එමෙන් ම ඉමහත්  පෞරාණික වටිනාකමක් ඇති එම භූමිය ආරක්ෂා කර ගනු පිණිස නිවාස, විදුහල්, වෙළෙඳපොළ, අන්‍යාගමික ගොඩනැගිලි ආදිය මල්වතුඔයේ නැගෙනහිර ඉවුරෙහි ඉදි කළ නව නගරයට ගෙන යනු ලැබීය.

කි‍්‍ර. පූ. 4 වැනි සියවසෙහි පටන් කි‍්‍ර. ව. 11 තෙක් අවුරුදු 1500ක පමණ කාලයක් ලංකාවේ ප‍්‍රධාන රාජධානිය වූයේ අනුරාධපුරයයි. ලෝකයේ අඛණ්ඩව වැඩිම කලක් රාජධානියක් ලෙස පැවති මෙය මෙරට ඓතිහාසික නගර අතරින් වැදගත් ම තැනක් උසුලයි. පළමුවන වරට ලංකාවේ බුදු සසුන පිහිටුවන ලද්දේ අනුරාධපුරයේ වීමත්, ලොව පැරණිතම වෘක්ෂය ලෙස ලිඛිත ඉතිහාසයක් ඇති ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ වැඩ හිඳීමත් නිසා දිවයිනේ ප‍්‍රධාන පූජනීය නගරය ලෙස ද සැලකේ. ලෝක ප‍්‍රකට සමාධි බුදු පිළිමය ඇතුළු, සඳකඩපහන, මුරගල් ඇතුළු ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ නිසා ජගත් කීර්තියට පත් වී ඇත. අනුරාධපුරය රාජධානිය කර ගත් රජුන් විසින් කරවන ලද සිද්ධස්ථාන අතුරින් අභයගිරිය, ජේතවනාරාමය, ඉසුරුමුණිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, ලෝවාමහාපාය, වෙස්සගිරිය ආදී තැන් ඉපැරණි සිංහලයාගේ ශී‍්‍රවිභූතිය විදහා පායි.

මහාවංසයට අනුව මේ නමින් ගමක් මේ ස්ථානයෙහි ඉදි කරන ලද්දේ විජය කුමරු සමඟ පැමිණි අනුගාමිකයකු වූ පළමු වන අනුරාධ නම් ඇමතිවරයා විසිනි. පසු ව පඬුවස්දෙව් රජමෙහෙසිය වූ භද්දකච්චානා බිසවුන්ගේ සොහොයුරකු වූ අනුරාධ කුමරු මෙහි වැවක් හා මාළිගයක් ඉදිකොට වාසය කළ බවත්, පණ්ඩුකාභය කුමරු මහ මයිලන් වූ අභය කුමරු හැර සෙසු මයිලන් නසා ලංකාරාජ්‍යය අත්පත් කර ගෙන අනුරාධ නගරයට ආපසු අනුරාධ කුමරු සිය මාළිගය රජුට පැවරූ බවත් පණ්ඩුකාභය රජු අනුරාධපුරය රාජධානිය කර ගෙන එහි සිට රට කරවූ බවත් මහාවංසයෙහි සඳහන් වේ.

(පර්සි ජයමාන්නගේ ‘ළමා යොවුන් විශ්වකෝෂයේ 1 කාණ්ඩයෙනි.)
0

ඒකත් එහෙමද? : තවත් සෙන් බොදු කතාවක්

හකුයින් කියන සෙන් ගුරුවරයා පිරිසිදු ජීවිතයක් ගත කළ අයෙකු ලෙස ප‍්‍රකටව සිටියා. ඒ නිසා බොහෝ දෙනා ඔහුට ගෞරව කළා.

ඒ ළඟපාත ලස්සන ජපන් තරුණියක් ජීවත් වුණා. ඇගේ දෙමාපියන් ධනවත් අය.
තාත්තා පොහොසත් මුදලාලි කෙනෙක්. හදිසියේ ම ඒ දෙමාපියන්ට දැන ගන්න ලැබුණා, ඒ තරුණිය මවක් වෙන්න යන බව.

මේක අහලා ඒ දෙමාපියන්ට හොඳටෝම තරහ ගියා. ඔවුන්ට දැන ගන්න  ඕනැ වුණා දරුවගෙ තාත්ත කවුද කියල දැන ගන්න. ඒත් ඇය කියන්න කැමති වුණේ නෑ. අන්තිමේ දී නොයෙකුත් තාඩන පීඩන කරලා ඇයගෙන් අහ ගත්තා, දරුවගේ පියා කවුද කියලා. ඒ තමා හකුයින්.

දෙමාපියන් ඒක අහපු ගමන්ම තරහෙන් පිපිරි පිපිරි එතුමා හමුවෙන්න ආරාමයට ගියා. ඔවුන් කී සියල්ල එතුමා නිහඬව අහගෙන හිටියා.

අවසානයේ දී එතුමා මෙහෙම කිව්වා:”ඒකත් එහෙමද?”

”ඒකත් එහෙමද කියල හරියන්නෙ නෑ. අපි දරුවා ලැබුණාම ඔබට ගෙනත් දෙනවා.” දෙමාපියන් යන්න ගියා.

දරුවා උපන්නාට පස්සෙ ඔවුන් දරුව ව අර ගෙන ගිහින් සෙන් ගුරුතුමාට බාර දුන්නා. ඔවුන් එතුමාට කළේ ලොකු ලැජ්ජාවක්. එතුමාගේ පිරිසිදු ජීවිතයට ලොකු කැලලක් සිදු වුණා. ඒත් එතුමා එයින් මඳක්වත් සැලූණේ නෑ. කිසිත් මුවින් නොබැණ දරුවාව බාර ගත්තා. අසල්වාසීන්ගෙත් උදවු ඇතුව ඒ දරුවාට කිරි ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය හැම දෙයක්මත් ලබා දීලා දරුවාව හොඳින් හදා වඩා ගත්තා.

අවුරුද්දක් විතර ගත වුණා. දරුවගෙ අම්මට දරුවා නැතුව තවදුරටත් ජීවත්වෙන්න බැරි තරම් දරු කැක්කුමක් ආවා. ඇය අවසානයේ දී ඇත්ත හෙළි කළා. ඒ දරුවාගේ ඇත්ත පියා මාළු වෙළෙඳ පොළේ තරුණයෙක්.

ඒක අහපු ගමන් ම ගෑනු ළමයාගෙ අම්මත් තාත්තත් ගියා, ආරාමයට. ගුරුතුමා හමු වෙන්න. ගිහින් වැඳ වැටිලා අනේක වාරයක් සමාව ඉල්ලූවා, තමන් අතින් වුණු වැරැුද්දට. සමාව ඉල්ලල දරුවාව ආපහු ඉල්ලූවා.

හකුයින් ගුරුතුමා ඒ ඉල්ලීමට එකඟ වුණා. දරුවාව ආපහු දෙන ගමන් කිවේ ”ඒකත් එහෙමද?” කියල විතරයි.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
0

බලවන්තයා : සූෆි උපමා කතා

හමුදාවක එක් ජනරාල්වරයෙක් තම කණ්ඩායමෙන් වෙන් ව වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගමකට ආවේය. ඔහු යායුතු මග සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැත.

ගැමියෝ ඔහු වටා රොක් වූහ. ඔහු අණ දුන්නේය. තම අශ්වයාට ආහාර දෙන්නැයි ඔහු ගැමියන්ට අණ දුන්නේය. ඔවුන් ඒ අණ පිළිපැද්දේ නැත. අශ්වයා සඳහා ස්තාලයක් පිළියෙල කරන්නැයිද තමාට ජලය හා පොරෝණා සපයන්නැයිද ඔහු නියෝග කළේය. ඒත් කිසිවෙක් ඔහු කී දේ කරන්නට ඉදිරිපත් නොවූහ.

‘නුඹලා මේ මොහොතේ ම මගේ අණ පිළිපැද්දේ නැති නම් මම නුඹලාට දැඩි දඬුවම් පමණුවනවා’ ජනරාල්වරයා රැුස්ව සිටි පිරිසට තර්ජනය කරමින් මොර දුන්නේය.

ගැමිනායකයා මෙහිදී ඉදිරියට ආවේය. ‘‘මට පෙනෙන්නෙ නෑ ඔහේ එච්චර බලවන්තයෙක් කියල. ඉතින් ඔහේ කොහොමද ඒ වගේ දෙයක් අපට කරන්නෙ’’ ඔහු ජනරාල්වරයාගෙන් ඇසීය.

ජනරාල්වරයා එයින් වඩාත් කෝපාවිෂ්ට විය. ‘‘මං තමුසෙලට මොකුත් කරනව නෙමෙයි, මං අණ දෙනවා’’ ඔහු දැඩි ස්වරයෙන් කීවේය.

‘‘අණ දෙනව කිව්වේ මොකක්ද?’’ ගැමිනායකයා ඇසීය.

‘‘මං කියනව කර්නල්ට, කර්නල් කියනව මේජර්ට, මේජර් කියනවා කපිතන්ට, කපිතන්
කියනවා ලූතිනන්ට, ලූතිනන් කියනව සාජන්ට්ට,   සාජන්ට් අරන් එනව භට පිරිසක්. ඇවිත් නුඹලාව බිත්තියක් ඉස්සරහින් පෙළ ගස්සලා වෙඩි තියල මරලා දානව එක පාරින්ම. තේරුණාද?’’ ජනරාල්වරයා ගුගුලේය.

දැන් තමයි ඔහේ කියන දේ අපට තේරුණේ. ඔය සාර්ජන්ට් කියන කෙනා නම් ඇත්තෙන්ට ම බලවත් අයෙක් වෙන්න  ඕනෑ. තාමත් අපි දැක්කෙ ඔහෙව විතරයි. අප සාර්ජන්ට්ව මුල ඉඳල ම මුණ ගැහුනා නම් මේ තරම් කරදර වෙන්නෙ නෑ නෙ.’’ ගැමිනායකයා කීවේය.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990. ISBN 955-95353-0-7)
0

තේ කෝප්පය : සෙන් බොදු කතා

නැන්-ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්. මෙයිජි (1868-1912) යුගයේ තමයි, ජීවත් වුණේ. ඔහු හමුවීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් ආවා, සෙන් ගැන ඉගෙන ගන්න ආසාවෙන්.

මුලින් ම නැන්-ඉන් ඔහුට තේ පැන් පිරිනැමුවා. ඔහු අමුත්තාගේ කෝප්පයට තේ වත් කළා. ඒ කෝප්පය පිරී ඉතිරී ගියා. ඒත් නැන්-ඉන් තේ වත් කරන එක නතර කළේ නෑ.

මහාචාර්යවරයා ඒ දෙස ගල් ගැසී බලා සිටියා. තේ පිරී ඉතිරී යනවා. තවදුරටත් බලා ඉන්න බැරි තැන මහාචාර්යවරයා හඬ අවදි කළා. ”ඒක පිරිලා නෙ. තවත් වත් කළාට වැඩක් නෑ”

”මේ කෝප්පෙ වගේ ඔබේ ඔළුවත් අදහස් හා සිතිවිලිවලින් පිරිලා ඉතිරිලයි තියෙන්නෙ. මං ඔබට සෙන් කියා දෙන්නෙ කොහොමද මුලින් ඔබ ඔබේ කෝප්පය හිස් කර ගත්තෙ නැත් නම්” නැන්-ඉන් කීවා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011. ISBN 978-955-677-085-8)
0

අපකීර්තිය මැකූ නොබෙල් ත්‍යාගය


ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ නයිට්රොග්ලිසරීන් තැනූ කම්හල පුපුරා ගියේය. ඒ සමග නොබෙල්ගේ සහෝදරයාද මරුමුවට පත් විය. ස්වීඞ්න් රජය ඒ කම්හල නැවත ගොඩනැඟීමට අවසර දුන්නේ නැත. පළමුවරට ඩයිනමයිට් නිපදවූ නොබෙල් ඒ කාලයේ අය සැලකුවේ දුෂ්ට ලෙස විනාශය නිෂ්පාදනය කළ සමාජ විරෝධී පිස්සු විද්‍යාඥයකු ලෙසයි. ඔහු ඒ අපකීර්තිය මකා ගන්නට ඉතිරි මුළු ජීවිත කාලයම වෙහෙසුණේය. මරණයෙන් පසු ඔහු ඒ අරමුණ ජය ගත්තේ ය. ඒ ඔහුගේ අන්තිම කැමැත්ත අනුව සියලූ දේපළ, ලොව සුවිශේෂ දක්ෂයනට හිමි වන අසම සම්මානය වූ කීර්තිමත් නොබෙල් ත්‍යාගය වෙනුවෙන් කැප කිරීමෙනි.

ලේ උරා බොන වැම්පයර් වවුලා


වැම්පයර් වවුලා උගේ පෙනුමේ තරමට දරුණු නැත. ඌ ලේ උරා බොන සත්වයාගේ ගෙල උගේ උල් දත්වලින් සිදුරු කර ලේඋරා බොන්නේ නැත. ඒ වෙනුවට ඌ කරන්නේ දත්වලින් ගොදුරේ නිරාවරණ සම හෙමින් සීරීමයි. නිදා සිටින ගොදුරට නොදැනෙන තරමට සෙමින් මදු ලෙසින් කරන මෙම සීරීමෙන් පසු උනන ලේ හෙමින් සීරුවේ උරා බීම උගේ සිරිතයි. මෙය කෙතරම් සියුම් ලෙස කරන්නේ ද යත් නිදන්නා අවදි නොකරම තම කටයුත්ත කර ගෙන යාමට ඌට පුළුවන.
0

ඔයාගෙ ලේසියට : අන්දරේ ගැන තවත් කතාවක්

අන්දරේ කුඩා කාලේ දවසක් උදේ පාන්දරින් අම්මා දුන් කාසි අරගෙන ආප්ප ගේන්ට ආප්ප ගෙදර ගියේය. ආප්ප උයන ගෙදර තිබුණේ අන්දරේලාගේ ගෙදරට ටිකක් ඈතිනි.

අන්දරේ එහි යන විට ආප්ප අම්මා ආප්ප උයමින් සිටියාය.

‘මටත් ආප්ප දෙන්න’ අන්දරේ ඉල්ලූවේය.

ආප්ප අම්මා කුඩා අන්දරේ දෙස බලා උයමින් සිට ආප්ප අතරින් ප‍්‍රමාණයෙන් කුඩා ආප්ප තෝරා අන්දරේ ඉල්ලූ ආප්ප ගණන ඔහුට දුන්නාය.

අන්දරේ කතා නැතිව ඒ කුඩා ආප්ප ගෙදර ගෙන ගොස් කෑවේය. ඒත් ආප්ප අම්මා තමාට කුඩා ආප්ප තෝරා දුන් හැටි අමතක කරන්නට අන්දරේට බැරි විය.

අන්දරේ ආප්ප අම්මාට පාඩමක් උගන්වන්නැයි සිතා පසුවදාත් ආප්ප ගෙන්නට ගියේය.

පසුවදාත් ආප්ප අම්මා කුඩා ආප්ප තෝරා අන්දරේට දුන්නාය.

‘මොකද මේ  ආප්ප පුංචි ?’ අන්දරේ ආප්ප අම්මාගෙන් ඇසුවේය.

‘ඒ පුංචි ඔයාට ගෙනියන්න ලේසි වෙන්න’ ආප්පා අම්මා සිනාසෙමින් කීවාය.

අන්දරේ කිසිවක් නොකියා කාසි ටික ආප්ප අම්මා අතට නොදී වට්ටියට දමා ඉක්මනින් යන්නට ගියේය.

මොකක් හරි හොරයක් ඇතැයි සිතු ආප්ප අම්මා ඉක්මනට මුදල් ගණන් කර බැලූවාය. එහි තිබුණේ කාසි අඩුවෙනි.

‘ඒයි අන්දරේ ළමයො, ඔහොම හිටපන්.’ අප්ප අම්මා අන්දරේ පස්සෙන් යන්නට විය.

‘ඇයි හිටින්නේ?’ අන්දරේ දුවන වේගය වැඩි කරන ගමන් කීවේය.

‘මෙතන සල්ලි අඩුයි නේ. ඒ මොකද?’ ආප්ප අම්මා බෙරිහන් දුන්නාය.

‘ඒ ඔයාට ගනින්ට ලේසියටයි’ කියා අන්දරේ නොනැවතී දිව්වේය.
0

ශී‍්‍ර ලංකාවේ කුරුඳු සමග මීපැණි දිව ඔසුවක්


ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ අංශ අතරත් පර්යේෂකයන් අතරත් කුරුඳුවල ගුණ ගැන විශ්වාසයක් ඇති වී තිබේ. දැන් කුරුඳු පිළිබඳ විවිධ අධ්‍යයනයන් ද ලොව පුරා සිදු කෙරේ. ඒ සමහර අධ්‍යයනයන්ට අනුව දෙවන ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ  රුධිරයේ ග්ලූකෝස් මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමට කුරුඳු සමත් වන බව හෙළි වී තිබේ.

කුරුඳු හා මීපැණි මිශ‍්‍ර කොට ආහාරයට ගත් විට බොහෝ රෝග සුවපත් වන බව දැන් සොයා ගෙන තිබේ. මීපැණි ලෝකයේ බොහෝ රටවල ආහාරයක් මෙන් ම ඖෂධයක් ලෙස භාවිත කෙරේ. අද විද්‍යාඥයන් පවා මීපැණි බොහෝ රෝගවලට පිළියම් සඳහා ඵලදායී ලෙසින් යොදා ගත හැකි බව පිළිගෙන තිබේ. එපමණක් නොව කිසිම අතුරු ආබාධයක් නැතිව මීපැණි  ඕනෑම රෝගයකට භාවිත කළ හැකි බවද විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ. මීපැණිවල ඇති ඖෂධීය ගුණය නිසා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාරවල දී නොයෙක් විට ගන්නා බවද නොරහසකි.

මේ පිළිබඳව දැනටමත් අපේ රටේ ද අධ්‍යයනයන් කර ගෙන යනු ලැබේ. ජාතික විද්‍යායතනය හා කොළඹ වෛද්‍ය පීඨය එක්ව කරන එවැනි එක් අධ්‍යයනයක් ශායනික පරීක්ෂණ මට්ටමේ පවතින බව කුරුඳු සාරයෙන් ලද හැකි ප‍්‍රයෝජන ගැන විමර්ශනය කරන ජාතික විද්‍යායතනය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර අප සමග කීවේ ය. එතුමාගේ අදහසේ හැටියට ශී‍්‍ර ලංකාවට අවේණික ‘සිනමොමම් සිලනිකම්’ නම් කුරුඳු ප‍්‍රභේදය ඉන්දියාවේ හා චීනයේ වැවෙන අනෙක් ප‍්‍රභේදවලට වඩා ගුණදායකය. ලෝකයේ වැඩිම ඉල්ලූමක් ඇත්තේ ද එම ප‍්‍රභේදයටය. ශී‍්‍ර ලංකාවේ කුරුඳු මිලෙනුත් වැඩිය. ඒ නිසා විදේශ රටවලදී කෙරෙන්නේ අපේ කුරුඳු විදේශීය කුරුඳුවලට මිශ‍්‍ර කර ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගැනීමයි. ඇතැම් විදේශ කුරුඳු වර්ගයක පිළිකාකාරක ගුණයක් ඇති බවද පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මේ මුසු කිරීම නිසා විදේශීය කුරුඳු ප‍්‍රභේදවල ඇති අගුණ තත්වයන් අවම කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

මේ පිළිබඳව පාකිස්තානයේ පර්යේෂණාත්මක අධ්‍යයනයකට සහභාගි වූ ඇමෙරිකාවේ බෙල්ට්ස්විල් මානව පෝෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය රිචඞ් ඒ. ඇන්ඩර්සන් පවසන්නේ රුධිරයේ ග්ලූකෝස්වලට හා කොලෙස්ටරෝල්වලට බලපෑමක් ඇති කරන්නට කුරුඳුවල ඇති සංඝටක සමත් වන බව දැන් විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි කියාය. මේ ගුණය ලැබෙන්නේ කුරුඳුවල ඇති ජලයෙහි දිය වන සංඝටකවලින් පමණක් තෙල්වල එම ගුණය නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.  

අද විද්‍යාවට අනුව මීපැණි පැණිරස වුවද ඖෂධයක් ලෙස නියම මාත‍්‍රාව ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට වුවද අගුණයක් නොවන බව ද හෙළිවී තිබේ. කැනඩාවේ ‘වීක්ලි වර්ල්ඞ් නිව්ස්’ නම් සතිපතා සඟරාවේ මීපැණි හා කුරුඳු යොදා ගැනීමෙන් සුව කළ හැකි රෝග හා ඒ සඳහා කළයුතු ප‍්‍රතිකාර පිළිබඳ විස්තරයක් පළ වී තිබේ.

හෘද රෝගවලට
මීපැණි හා කුරුඳු කුඩු එකට කලතා තනා ගෙන, බටර්, ජෑම්, ජෙලි ආදිය වෙනුවට පාන් පෙතිවල තවරා නිතර උදේ ආහාරයට ගැනීමෙන් ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු කොට හෘද ආබාධ වළක්වයි. දැනටමත් එවැනි හෘදාබාධයකට ලක් වී සිටින කෙනකු මේ ආහාරයට පුරුදු වුවහොත් ඊළඟ හෘදාබාධයක් ඇති වීම බොහෝ කලකට පමා කරවයි. එසේම නිතර මේ ආහාර ගන්නේ නම් ශ්වසන අපහසුතා මඟ හරවා හද ගැස්ම විධිමත් කරයි. කැනඩාවේ හා ඇමෙරිකාවේ විවිධ සාත්තු නිවාසවල රෝගීන් සඳහා මේ ආහාර ක‍්‍රමය කි‍්‍රයාවට නංවා ඇත. ඒ අනුව වියපත් වෙත්ම ධමනි හා ශිරාවල නැමෙනසුලූ බව අඩුවී යාමෙන් ඇති වන අවහිරවීම් වළක්වා ධමනි හා ශිරා ශක්තිමත් කිරීමට මීපැණි හා කුරුඳු භාවිතයෙන් හැකි වී තිබේ.


පර්වප‍්‍රදාහයට (ආතරයිටිස්)
සන්ධි ඉදිමීමට ලක්වූ (ආතරයිටිස්) රෝගීන් දිනපතා උදේ, සවස හා රාති‍්‍රයට මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැන්දක් දමා බොන්නේ නම් තීව‍්‍ර පර්වප‍්‍රදාහ රෝග තත්වය සුව කර ගැනීමට එය ප‍්‍රතිකාරයක් වනු ඇත. කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් තෝරාගත් රෝගීන් 200කට මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් උදේ ආහාරයට පෙර ලබා දුන් අතර සතියකට පසු ඉන් රෝගීන් 73 දෙදෙනකුගේ වේදනා තත්වය සම්පූර්ණයෙන් ම පහ වී ගිය අතර, මාසයක් ඇතුළත ඇවිදීමට නොහැකිව සිටි රෝගීන් සියලූ දෙනාට ම පාහේ වේදනාවෙන් තොරව ඇවිදීමට හැකි විය.

ආශවල ආසාදන සඳහා
මුත‍්‍රාශය, පිත්තාශය ආදී ආශවල ආසාදන සඳහා පිළියමක් ලෙස කුරුඳු කුඩු මේස හැඳි දෙකක් හා මීපැණි තේ හැන්දක් මඳ උණුසුම් වතුර වීදුරුවකට දිය කර බීමෙන් ආශවල ඇති විෂ බීජ විනාශ කළ හැකිය.

දත් කැක්කුමට
කුරුඳු කුඩු තේ හැන්දක් හා මීපැණි තේ හැඳ පහක් එකට කලවම් කොට කැක්කුම ඇති දතෙහි තැවරිය යුතුය. මෙය කැක්කුම පහව යන තෙක් දවසකට තුන් වතාවක් කිරීම අවශ්‍ය ය.

කොලෙස්ටරෝල්
මීපැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැඳි තුනක්, තේ වතුර බෝතලයකට (මි.ලී. 750කට) කලවම් කොට කොලෙස්ටරෝල් අධික රෝගියකුට දුන් විට ඔහුගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පැය දෙකක් ඇතුළත් සියයට 10කින් අඩු වන සොයා ගෙන තිබේ. සන්ධිප‍්‍රදාහ රෝගීනට නම් මේ මිශ‍්‍රණය දවසට තුන්වරක් දීමෙන් කලක් තිස්සේ පවතින කොලෙස්ටරෝල් තත්වයන් වුව ද සමනය කළ හැකිය. මෙම සඟරාවේ පළ වූ තොරතුරු අනුව දිනපතා ආහාරය සමග මීපැණි ගැනීමෙන් වුව ද කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය.

හෙම්බිරිස්සාවට
සාමාන්‍ය හෙම්බිරිස්සාවෙන් හෝ දරුණු ප‍්‍රතිශ්‍යා තත්වයන්ගෙන් පෙළෙන අයට හා සෙම ඇවිස්සීම් ඇති අයට කුරුඳු කුඩු මේස හැඳි කාලක් මඳක් උණුසුම් කළ මීපැණි මේස හැන්දකට මුසු කොට දින තුනක් ආහාරයට ගැනීමෙන් දිගු කලක් පැවති කැස්සක්, හෙම්බිරිස්සාවක් වුව බොහෝ විට සුව කර ගත හැකිය. නාස් කුහරයේ සෙම එක් රැුස්වීම ද අඩු කර ගත හැකිය.

බඬේ කැක්කුමට
කුරුඳු කුඩු මීපැණිවලින් ආහාරයට ගැනීමෙන් බඬේ කැක්කුම හා ආරම්භක තත්වයේ පවතින තුවාල සුව වෙයි.

බඬේ ගෑස්වලට
ඉන්දියාවේ ජපානයේ කර ඇති අධ්‍යයනයන්ට අනුව හෙළි වී ඇත්තේ කුරුඳු කුඩු මීපැණි සමග ආහාරයට ගැනීමෙන් බඬේ ගෑස් ඇති වීමේ තත්වයන් වළක්වා ගත හැකිය.

ප‍්‍රතිශක්ති පද්ධතියට
කුරුඳු කුඩු හා මීපැණි දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය සවිබල ගන්වයි. සිරුරට බැක්ටීරියා හා වෛරසවලින් ඇති විය හැකි හානිය වළක්වයි. මීපැණිවල විවිධ විටමින් වර්ග හා යකඩ විශාල වශයෙන් අන්තර්ගත බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. නිතර මීපැණි ගැනීමෙන් රුධිරයේ ශ්්වේතාණු සවිබල ගැන්වීමක් සිදු වන නිසා වෛරසවලින් හා බැක්ටීරියාවලින් වැළඳෙන රෝග සමග සටන් කිරීමට ඒවාට හැකියාව ලැබේ.

ආහාර දිරවීමට
මීපැණි මේස හැඳි දෙකකට කුරුඳු කුඩු ඉස, ආහාර ගැනීමට පෙර ගැනීමෙන් උදරයේ අම්ල ගතිය ඇති වීම වළක්වා ලිය හැකිය. එසේ  ඕනෑම බර ආහාරයක් දිරවා ගැනීමට ද පුළුවන.

දිගු කලක් ජීවත් වීමට
මීපැණි හා කුරුඳු කුඩු එක් කොට උණු වතුරට මුසු කර නිතර තේ මෙන් පානය කිරීමෙන් වයස්ගත වීමේ දී ඇති වන අසීරුතා ඇති වීම වළක්වාලයි. මීපැණි හැඳි හතරක් හා කුරුඳු කුඩු එක් හැන්දක් වතුර කෝප්ප තුනකට මුසු කොට උණු කර තේ වතුර මෙන් සාදා ගෙන දිනකට තෙවරක් හෝ සිව්වරක් කෝප්ප කාලක් පමණ පානය කිරීම සුදුසුය. එයින් සම වියළී යාම හා  රැුලි වැටීම වළකී. වයස අවුරුදු 100ක් වුනත් 20 හැවිරිදි අයකු මෙන් ආයාසකර වැඩ කිරීමේ හැකියාව ලැබේ.

කුරුලෑවලට
මීපැණි මේස හැඳි තුනක් කුරුඳු කුඩු තේ හැන්දක් එකට අනා නින්දට යාමට පෙර මුහුණේ ආලේප කර පසුදා උදේ උණුසුම් වතුරෙන් සේදීමෙන් කුරුලෑ ඉවත් කර ගත හැකිය. මෙය දිනපතා ම සති දෙකක් නොකඩවා කිරීමෙන් කුරුලෑවලින් වන හිරිහැරයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට පුළුවන.

සමේ ආසාදනයට
සමේ ඇති වන දද, කුෂ්ඨ හා වෙනත් දිලීර ආසාදනවලට ප‍්‍රතිකාරයක් ලෙසත් මීපැණි හා කුරුඳු කුඩු යොදා ගත හැකිය. මේ සඳහා මීපැණි හා කුරුඳු කුඩු එක හා සමාන කොටස්වලින් ගෙන එකට අනා සමේ ආසාදනය ඇති තැන්වල ආලේප කළ යුතුය.

බර අඩු කර ගැනීමට
කුරුඳු කුඩු ටිකක් වතුර කෝප්පයකට දමා උතුරවා ගෙන ඊට මීපැණි එක් කර දිනපතා ආහාර ගැනීමට පැය භාගයකට පෙර හිස් බඩ හා රාති‍්‍රයේ නින්දට යාමට පෙර නිතර පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගත හැකිය. එපමණක් නොව මේ පානය දිනපතා කිරීමෙන් කොතරම් කැලරි වැඩි ආහාර ගත්තත් ඒවා අනවශ්‍ය ලෙස සිරරේ තැන්පත් නොවේ.

පිළිකාවලට
ජපානයේ හා  ඕස්ටේ‍්‍රලියාවේ මෑතදී කරන ලද පර්යේෂණවලින් කුරුඳු මීපැණි මිශ‍්‍රණය  ආමාශයේ හා අස්ථිවල පිළිකාවලට ප‍්‍රතිකාර කිරීමටත් යොදා ගත හැකි බව හෙළිවී තිබේ. මෙවැනි පිළිකාවලින් පෙළෙන අය දිනකට තුන්වරක් මීපැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් බැගින් දිනපතාම මාසයක් ආහාරයට ගත යුතුය.

අධික විඩාවට
මෑතදී කරන ලද අධ්‍යයනයන්ට අනුව මීපැණිවල ඇති සීනිවලින් සිරුරට සිදු වන අහිතකර දෙයට වඩා හිතකර තත්වයක් ඇති කරන බව හෙළිවී තිබේ. මීපැණි හා කුරුඳු සම සමව ගෙන ආහාරයට ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනෙක් අයට වඩා කාර්යශීලී මෙන් ම නම්‍යශීලි සිරුරු ඇති අය බව පෙනී ගොස් ඇත. මේ පිළිබඳව පර්යේෂණය කළ එක් විද්‍යාඥයකු පවසා ඇත්තේ මීපැණි ෙ ම්ස හැඳි බාගයක් හා කුරුඳු කුඩු ස්වල්පයක් වතුර වීදුරුවකට දමා දිය කර දිනපතා උදේ දත් මැදීමෙන් පසු හා සිරුරේ ජවය අඩුවන්නට පටන් ගන්නා සවස 3ට පමණ පානය කිරීම වඩා සුදුසු යැයි කියාය. සතියක් ඇතුළත මෙහි ප‍්‍රතිඵල ලද හැකි බව ද සඳහන් ය.

මුඛයේ දුර්ගන්ධයට

දකුණු ඇමෙරිකාවේ ජනයා උදේ පාන්දර පළමු කාර්යය ලෙස කරන්නේ මීපැණි තේ හැන්දක් හා කුරුඳු තේ හැන්දක් දමා දිය කර ගත් ජලයෙන් කට සේදීමය. මෙයින් දවස පුරා මුඛයේ දර්ගන්ධය නැති වෙයි.

කන් ඇසීමේ වර්ධනයට
දිනපතා උදේ සවස මීපැණි හා කුරුඳු කුඩු සමව ගෙන ආහාරයට ගැනීමෙන් කන් ඇසීම වර්ධනය කිරීමට උපකාර වෙයි.
0

රෝබ්ලින් ඉදි කළ නුදුටු පාලම

ජෝන් ඒ. රෝබ්ලින් (1806-69) ඇමරිකාවේ විසූ පුරෝගාමී පාලම් නිර්මාතෘවරයෙකි. පාලම් සැලසුම් කොට ඉදි කළ ඔහුට ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වූ බෲක්ලින් පාලම නිමවන්නට පෙර මිය ගියේය. ඒ පාලමේ ඉදිකිරීම් අවසන් වූයේ 1883 දීය. පාලම ඉදිකිරීමට පෙර එය ඉදිකිරීමට සැලසුම් කළ වැඩබිම නිරීක්ෂණය කරන්නට ගිය ගමනක දී තුවාල ලත් ඔහු පිටගැස්ම නිසා රෝගීව මිය ගියේය. පියා මෙන්ම දක්ෂ ඉංජිනේරුවකු වූ ඔහුගේ පුත් වොෂින්ටන් (1837-1926) පියාගේ සිහිනය සැබෑ කරවීමට කැපවී කටයුතු කළේය. 1873 දී ඉදිකිරීම් කටයුතු කරද්දී ගඟ යට ඉදිකරමින් තිබූ සම්පීඩ්‍ය කොන්කී‍්‍රට් කුටි තුළ දී දියයට කිමිදෙන්නන්ට මුහුණපාන්නට වන විසම්පීඩන රෝග තත්වයට ඔහු ගොදුරු විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බලවත්සේ රෝගාතුර වූ ඔහුට යළි පියවි තත්වයට පත් වීමට නොහැකි විය. එහෙත් ඔහු ඒ කටයුත්ත අත්හැරියේ නැත. එතැන් සිට එහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් උපදෙස් දුන්නේ බ්රූක්ලින්හී පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් බලමිනි. ඉදිකිරීම් කළ අය හා සබඳතා පැවැත්වීමට ඔහුට සහය වූයේ ඔහුගේ බිරිඳය.
0

මිනිසා හදා ගත් අශ්වයා


අශ්වයා මුලින් ම සිටියේ කුඩා සතකු හැටියටය. ඌට මිනිසකු පිට උඩ ගෙන යාමට හැකියාවක් තිබුණේ නැත. එහෙත් උගෙන් මිනිසා හදා ගත් අද අප හඳුනන අශ්වයා, මුල් සත්වයාට වඩා ප‍්‍රමාණයෙන් විශාල එකෙකි. මැදපෙරදිග හා යුරෝපයේ එෙඬ්ර ගෝති‍්‍රක ජනයා විසින් විශේෂයෙන් බෝ කර හදා වඩා ගත් මේ අශ්වයා මුලින් යොදා ගත්තේ යුද කටයුතුවලටය. අශ්වයාගේ ආදීමයා ලෙස සැලකෙන ඉයෝහිපුස් නම් සත්වයා මීට වසර මිලියන 60කට පමණ පෙර අඩියකට වඩා උස් නොවීය.

අශ්වයන් ගොවිපළවල වැඩට යොදා ගැනීම 12 වැනි සියවස තෙක් සාමාන්‍ය දෙයක් නොවීය. එයට හේතුව රෝම යුගයේ පටන් ඒ කාලය වනතෙක් අශ්වයාගේ පපු පෙදෙසට යෙදූ සන්නාහයෙන් ගොවිපළ වැඩ කාර්යක්ෂමව කළ නොහැකි වීමය. ඒ වෙනුවට 12 වැනි සියවසේදී බර ඇදීමට පහසුවන සේ උරහිසට යොදන සන්නාහය හෙවත් අශ්ව කොලරය නිපදවීමත් සමග තත්වය වෙනස් විය. අශ්වයා වැඩි බරක් අදින ගොවිපළ කටයුතුවලට නැතිවම බැරි සතකු විය.
0

අන්දරේ සහ රන් කැවුම් පූජාව

බ්ලොග් කරුගේ ඉල්ලීම පරදි ඉදිරිපත් කරමු.



අන්දරේ වාසය කල ප්‍රදේශයේම එක් ධනවත් මහලු වෙළෙන්දෙක් විය. දිනක් මේ මහලු වෙළෙන්දාට මාරාන්තික රෝගයක් සෑදිණි. දිනෙන් දින දුර්වල වූ මොහු මිය යන බව තේරුම් ගත් වෙළෙන්දාගේ පුතා සිය පියා අවසන් කාලය පුරා හැකිතරම් සතුටින් තැබීමට පියවර ගත්තේය. කල්ගත විය රෝගය උත්සන්න වී වෙළෙන්දා මරණාසන්න විය. මේ මරණාසන්න මොහොතේ ඔහුට කැවුම් කෑමේ බලවත් ආසාවක් පහළ විය. මෙය දැනගත් පුතා සිය ගෙදර කැවුම් පිසීමට ගියොත් පමා වන නිසා අසල ගෙදරකින් කැවුම් සොයාගෙන එන ලෙස දන්වා සේවකයෙකු පිටත් කළේය. නමුත් අවාසනාවකට මෙන් කැවුම් ගෙන ඒමට පෙර මහලු වෙළෙන්දා මරුමුවට පත් විය. පියාගේ අභාවයටත් වඩා වෙළඳ පුත්‍රයා දැඩි ලෙස ශෝකයට පත් වූයේ පියාගේ අන්තිම කැමැත්ත ඉ‍ටු කිරීමට නොහැකි වීම ගැනයි.

එම අභාවයෙන් තුන් මසකට පසු වෙළඳ පුත්‍රයා දානය දීම සඳහා හාමුදුරුවරුන්ට ආරාධනා කිරීමට පන්සලට ගියේය. ඔහු ඒ වන විටත් සිතමින් සිටියේ පියාගේ අන්තිම කැමැත්ත ගැන වූ අතර ඒ ගැන නරක සිහින පවා පෙනෙමින් ඔහුට තිබුණි. අවසානයේදී හෙතෙම එම ගැටලුව පන්සලේ නායක හාමුදුරුවන්ට පැවසුවේය. මේ කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ හාමුදුරුවෝ මඳක් කල්පනා කලහ. ඉක්බිති උන්වහන්සේ වෙළෙඳ පුත්‍රයාට පැවසූවේ පියා කැවුම් ගැන දැඩි ආසාවෙන් මිය ගිය හෙයින් ඔහු දුගතියක ඉපදී ඇති බවයි. ඒ නිසා දානය සඳහා වඩින හාමුදුරුවරුන්ට රන් කැවුම් පූජා කර ඒ පින් පියාට අනුමෝදන් කරන ලෙස උන්වහනේ වැඩිදුරටත් වදාළේය.

දැඩි ශෝකයෙන් සිටි වෙළඳ පුත්‍රයා ඊට වහාම එකඟ විය. සිය වරදින් වූ දෙය සේසතම වියදම් කර හෝ නිවැරදි කර සිය පියා සුගතියට යැවීම ඔහුගේ අරමුණ විය. නියමිත පරිදි 3න් මස පිංකම අවසානයේ දානය වේලාවේ වෙළඳ පුතා පිරිකර වශයෙන් වැඩි සෑම හිමිනමකටම රන් කැවුම බැගින් පූජා කලේය. මේ සිදුවීම ගැන ආරංචිය හැම තැනම පැතිර ගිය අතර බොහෝ පිරිස් මෙහි වරද දු‍ටුවත් එයට එරෙහිව කිසිවක් නොපවසා නිහඬ විය.

අන්දරේටද මෙම සිදුවීම සැල විය. එම පන්සලටම ගිය ඔහු නායක හිමියන් හමු විය. සිය පියා මියගොස් දැනට අවුරුද්දක් වන බැවින් ඒ සඳහා කරන දානමය පිංකමට වඩින ලෙස ඔහු නායක හාමුදුරුවන්ට වැඳ ආරාධනා කර සිටියේය. උන්වහන්සේ එය සතුටින් පිළිගත්තේ රජ වාසල නිතර යන එන අන්දරේ වැනි ධනවත් පුද්ගලයෙකුගෙන් ලැබෙන පිරිකර අනිවාර්යයෙන්ම වටිනා දෑ වන බැවිණි. ඒ අනුව නියමිත දින උන්වහන්සේ පෙර රන් කැවුම් ලබා ගත් හාමුදුරුවරු පිරිස සමඟ දානයට වැඩියහ.උන්වහන්සේලාට ගිලන් පස පිළිගැන්වීමෙන් පසු අන්දරේ නායක හිමියන් අමතා මෙසේ පැවසීය.

"අවසර අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අහවල් වෙළෙන්දාගෙ දානය වෙලාවෙ වදාලා නේද කෙනෙක් දැඩි ආසාවකින් මැරුනොත් දුගතියෙ උපදින බව?"

"ඔව් උපාසක උන්නැහේ ඒක එහෙම තමයි"

" ඒ වගේම හාමුදුරුවනේ ඔබ වහන්සේ කියූ විදියට ඒ මියගිය තැනැත්තා ආසාවෙන් හිටි දේ සංඝරත්නයට පූජා කලාම ඒ තැනැත්තා සුගතියට පත් වන වෙනවා නේද? ඒ නිසානෙ ඒ ගෙදර පුතා රත්තරන් කැවුම් පූජා කලේ"


"ඔව්...."

" ඒත් හාමුදුරුවනේ මට ඒ වගේ වටිනා දෙයක් පූජා කරන්න තරම් වත්කමක් නෑ. මම බොහොම දුප්පත් තැනැත්තෙක්. අපේ තාත්ත අන්තරා වුනේ වාත අමාරුවකින්. කරපු කිසි දෙයක් වැඩක් වුනේ නෑ. අන්තිමට තාත්තා වේදනාව ඉවස ගන්න බැරුව මට කිව්වා අඟුරු අල්ලන යකඩ කොක්කක් රත් කරලා එයාගෙ මහපට ඇඟිල්ල පුච්චන්න කියලා. අනේ ඒ වෙලාවෙ අපේ ගෙදර අඟුරු අල්ලන කොක්කක් තිබුණේ නෑ. මම අල්ලපු ගෙදරට කෙනෙක් යැව්වා. ඒත් කොක්ක ගේනකොට තාත්තා අන්තරා වුනා."

"ඉතින් උපාසක උන්නැහෙ?"

"මට එදා ඉඳන් අපේ තාත්තා හීනෙන් පේනවා. බොහොම දුකෙන් මා දිහා බලන් ඉන්නවා. මම දන්නවා අන්තිම ආසාව ඉ‍ටු නොවුණ හින්දා තාත්තා දුගතියක ඉපදිලා ඇති ඔබ වහන්සේ දේශනා කරපු විදියට මම දැන් තාත්තාගෙ අන්තිම කැමැත්ත ඉ‍ටු කරන්න යන්නෙ..." මෙසේ පැවසූ අන්දරේ කුස්සියට ගොස් නැවත ආවේ ගිනියම් වූ යකඩ අඟුරු කොක්කක් අතින් ‍රැගෙනය.

“තරහ අවසර අපෙ හාමුදුරුවනේ අපේ තාත්තා ගැන අනුකම්පා කරලා මේකෙන් ඔබ වහන්සේලාගේ කකුලක මහපටැඟිල්ල පුච්චන්න ඉඩ දෙන්න"

මෙයින් හාමුදුරුවරු පිරිස බියට මෙන්ම විමතියට පත් වුහ. එක් මහලු හිමිනමක් කතා කර මේ විහිළුව නවතා හිරිහැර නොකර අපට යන්න දෙන ලෙස ඉල්ලා සිටියේය. රුදුරු වෙසක් මවා ගත් අන්දරේ වහා දොරකඩට දිව ගොස් කිසිවෙකුටත් පිටවීමට නොහැකි වන ලෙස සිටගත්තේය.

"මම අපායෙ ගියත් කමක් නෑ! අපේ තාත්තා දුගතියේ ඉන්නවා මට බලන් ඉන්න බෑ. අද අපේ තාත්තාගෙ කැමැත්ත ඉටු කරලා මිසක් ඔබ වහන්සේලාට යන්න දෙන්නෙ නම් නෑ! කරුණාකරලා මගේ පූජාව පිළිගන්න"

එතන මහත් කලබැගෑනියක් ඇති විය. අවසානයේ අසල්වැසියන්ගේ මැදිහත් වීමෙන් හාමුදුරුවරු පිරිසට කරදරයක් නොවී පන්සලට යාමට අවස්ථාව ලැබුණි. නමුත් ඒ වෙනුවෙන් කලින් පිරිකර ලෙස පිළිගත් රන් කැවුම් සියල්ල අන්දරේට ලබා දෙන බවට පොරොන්දු වීමට උන්වහන්සේලාට සිදුවිය.

මෙම සිදුවීමෙන් අන්දරේ ගැන දැඩි ලෙස වෛර බැඳ ගත් හාමුදුරුවරු පිරිස පසුව රජු හමුවට ගොස් අන්දරේ තමන් වහන්සේලාට හිරිහැර කිරීමට සැරසී බිය ගන්වා සාංඝික වස්තුවක් වූ රන් කැවුම් බලෙන් ලබා ගත් බව පැමිණිලි කලහ. රජතුමා වහාම හේවායන් යවා අන්දරේ ගෙන්වා ගෙන නඩුව ඇසීමට සූදානම් විය.

"අන්දරේ තා විසින් මේ සඟරුවනට කරන ලද අවමානය හා හිරිහැරය මෙන්ම සාංඝික දේපළ බලයෙන් ලබා ගැනීම ගැන කීමට ඇති දේ කුමක්ද?" රජතුමා විමසීය.

" දේවයන් වහන්ස, මම වරද පිළිගනිමි. යම් කෙනෙක් මරණාසන්න් වේලාවේ දැඩි ආශාවකින් මිය ගියොත් දුගතියේ උපදින බවත්, එම තැනැත්තා දුගතියෙන් මුදවා ගැනීමට නම් ඒ අශා කල දේ සංඝයාට පූජා කල යුතු බවත් මුන් වහන්සේලා අහවල් වෙළෙඳාගේ දාන ගෙදරදී වදාළා. ඒ අනුව ඒ ගෙදර පුතා මුන් වහන්සේලාට රන් කැවුම බැගින් පූජා කලා" යනුවෙන් පැවසූ අන්දරේ තමන් සතුව පැවති රන් කැවුම් අධිකරණයට පෙන්වූයේය.

"ඉතින් දේවයන් වහන්ස මගේ පියා මීට අවුරුද්දකට කලින් මිය ගියේ වාත රෝගයකින්. එතුමා අවසන් මොහොතේ ඉල්ලුවා රත් කරපු යකඩ කොක්කකින් කකුලේ මහපැඟිල්ල පුළුස්සන ලෙස. මට ඒ ඉල්ලීම ඉ‍ටු කරන්න බැරි වුණා. මගේ පියා මළේ ඒ දැඩි ආශාවෙන්. ඉතින් ඒ නිසා මෙතුමන්ලා දේශනා කළ ධර්මය අනුව දුගතියේ උපන් මගේ පියා සුගතියට පත් කරන්නයි මා මේ ස්වාමීන් වහන්සේලාගෙ මහපටැඟිලි පුච්චන්න හැදුවේ"

රජතුමාට කරුණු අවබෝධ විය. අන්දරේ පැහැරගත් රන් කැවුම් යළි හාමුදුරුවරුන්ට පිළිගන්වන ලෙස නියෝග කල රජතුමා මින් මතු බුදු දහම තමන්ගේ වාසියට වෙනස් නොකළ යුතු යැයි දැඩි සේ අවවාද කර යළි පන්සලට වඩින ලෙස හාමුදුරුවරුන්ට අවසර දුන්නේය.

(විමල් ගමගේ මහතාගේ "අන්දරේ" කෘතිය ඇසුරෙණි.)
2

අන්දරේගේ ගොන්කමක්

අන්දරේ පැරණි සිංහල රජ දවස විසූ රජ වාසල කවටයාය. ඔහු රජුගේ අණ පරිදි නිතරම රජවාසලට ගොස් රජු පිනවීමට නොයෙක් දෑ කීවේය. කවටකම් කිරීමට රජ වාසලට නොගිය දවසක අන්දරේ මහනුවර සිට ගම්මැද්දෙන් වෙනත් ගමනක් යමින් සිටියේය.

මෙසේ ගම්මැද්දෙන් යමින් සිටිය දී අන්දරේට මිනිසුන් දෙදෙනකු හමු විය. ඔවුන් දෙදෙනා තවලමක් දක්කා ගෙන පුත්තලමේ සිට මහනුවරට ලූනු ගෙනා වෙළඳ පිරිසට අයත් අය වූහ. ඔවුන්ගේ තවලමට අයත් හරකකු නැති වූ බව කියමින් විපරම් කරමින් ගිය මේ වෙළඳුන් දෙදෙනා අතරමගදී හමුවූ අයට ඒ බව කීහ. ඒ අසා සිටි අන්දරේ එක්වරම ඔවුන් ඉදිරියට ගොස් මෙසේ ඇසුවේය.

”ඔහෙලාගේ ගොනකු නැති වුණා නේද?”

”අනේ, ආයිබොවන්, ඌ දැක්කාද?” වෙළඳුන් දෙන්නාම එකවර ඇසූහ.

”උගේ කකුලක් කොර ගහනවාද?” අන්දරේ ඇසීය.

ඊට උත්තර නොදී අන්දරේ තවත් ප‍්‍රශ්නයක් ඇසීය. ”උගේ එක ඇසක් අන්ධයි නේද?”

”එහෙමයි, ඌ ඉන්නේ කොහේද?” වෙළෙන්දෝ මහත් උනන්දුවෙන් ඇසූහ.

අන්දරේ ඊටත් උත්තර නොදී ඔවුන්ගෙන් තවත් ප‍්‍රශ්නයක් ඇසුවේය. ”ඒ ගොනාගේ ඉස්සරහ දතක් වැටිලා නේද?”

”ඔව්, ඔව්, ඒ තමා අපේ ගොනා. අනේ අපට අපේ ගොනා දෙන්න” වෙළෙන්දෝ අන්දරේගෙන් ඉල්ලා සිටියහ.

”ඔය කියන ගොනා මං කොහොම දෙන්නද? මම ඌ ඇහින්වත් දැක්කේ නෑ.” කී අන්දරේ යන්නට ආ ගමන ගියේය. වෙළෙන්දන් අන්දරේ පසුපස යමින් ඇවිටිලි කළත් පලක් නොවීය.

අන්දරේ ගොනා සඟවා ගෙන ඇතැයි සිකූ වෙළෙන්දෝ ඒ බව රජුට පැමිණිලි කළහ. රජ්ජුරුවෝ අන්දරේ ගෙන්වා ලූනු වෙළෙන්දන්ගේ ගොනා ආපසු දෙන ලෙස නියම කළහ.

”දේවයන් වහන්ස, මම ඔය කියන ගොනා මම මගේ මේ ඇස් දෙකෙන්වත් දැක්කේ නෑ.” අන්දරේ රජුට කීවේය.
”එසේ නම් අන්දරේ, ඔය කියන ගොනාගේ හැඩ රුව දැන ගත්තේ කොහොමද?” රජතුමා ඇසීය.

”දේවයන් වහන්ස, මං ගං ඉවුරේ ඇවිද ගෙන යද්දී, ගොනකුගේ අඩි සටහනක් දැක්කා. ඒ අඩි එක්ක මිනිස් අඩි නොතිබුණු නිසා ඌ අයාලේ ගිය එකකු බව දැන ගත්තා. ඒ අඩිවලින් එකක් හරියට බිම වැදී නොතිබුණු නිසා ඌ කකුලක් කොර ගහන සතකු බව දැන ගත්තා.” අන්දරේ කීය.

”එතකොට ඒ ගොනාගෙ දතක් වැටිලා කිව්වෙ කොහොමද?” රජතුමා ඇසීය.

”දේවයන්වහන්ස, ඌ ගිය පාරෙ අයිනෙ තිබුණු තණ කොළ හරියට කඩා ගෙන කාල තිබුණෙ නෑ. ඒකෙන් තමයි මං දැනගත්තෙ දතක් වැටිල බව, ඒ මිසක් මම ඒ ගොනා ඇස් දෙකෙන් දැක්කෙ නෑ” අන්දරේ පිළිතුරු දුන්නේය.
2

නොබෙල් ත්‍යාගය දී දිවි ගලවා ගනියි

කායික විද්‍යාඥයකු වූ ඔටෝ ලොයිවී Otto Loewi ස්නායු කි‍්‍රයාකාරිත්වය ගැන, විශේෂයෙන් ම ස්නායු තුඩුවලින් නිපදවෙන රසායන ද්‍රව්‍ය ගැන  පර්යේෂණ කරමින් සිටියේය. 1921 එක් රාති‍්‍රයක පාන්දර තුනට විතර අවදිවූ ඔහු එවේලේ ම සිතට ආ පර්යේෂණ නිමිත්තක් ගැන සටහනක් තබා යළි නින්දට ගියේය. පසුවදා අවදිවූ ඔහු අඳුරේ ලියා තැබූ සටහන ගෙන බැලූ විට එහි ලියා තිබූ කිසිවක් කියවිය නොහැකි විය. පසුදාත් පාන්දර තුනට ඔහු ඇහැරුණේය. ඒත් ඒ වතාවේ එය සටහන් කරනු වෙනුවට ඔහු කෙළින් ම රසායනාගාරයට ගොස් වැඩ පටන් ගත්තේය. පැය දෙකක් ඇතුළත ඔහුට එතෙක් න්‍යායත්මකව සිතා සිටි දෙය ඔප්පු කළ හැකි විය. ස්නායු උත්තේජනයෙන් රසායනික ද්‍රව්‍යය නිපදවෙන බවත් එම රසායන ද්‍රව්‍ය කෙළින් ම ලබාදීමෙන් ස්නායු කි‍්‍රයාකාරිත්වයක් නොමැතිව වුවද වෙනත් හෘදයක් උත්තේජනය කළ හැකි බවත් ඔහු සොයා ගත්තේය. ඒ රසායනික ද්‍රව්‍යය නිශ්චිත වශයෙන් ම ඇසෙටිල්කෝලින් බව පර්යේෂණ ඔස්සේ සොයා ගත්තේ ඉංගිරිසි ජාතික ජීව විද්‍යාඥ හෙන්රි හැලට් විසිනි. ඒ නිසා 1936 දී වෛද්‍ය විද්‍යාව හා කායික විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය සම සමව ඔවුන් දෙදෙනාට ම හිමි විය.

හිට්ලර්ගේ ජර්මනිය ඔස්ටි‍්‍රයාව ආක‍්‍රමණය කළෙන් යුදෙව් ජාතිකයකු වූ ඔටෝට නාසින්ගේ අත් අඩංගුවට පත් වීමට සිදු විය. ඔහු දිවි ගලවා ගත්තේ තමාට හිමි වූ නොබෙල් ත්‍යාග මුදල නාසින්ට දීමෙනි. ඔහු ඉන්පසු එංගලන්තයටත් පසුව ඇමරිකාවටත් ගියේය.
0

රබර් සෝඩා වෙයි


ඉංගිරිසි ජාතික ජෝශප් පී‍්‍රස්ට්ලි රසායන විද්‍යා ඉතිහාසයෙහි අමරණීයත්වයට පත් වූයේ 1774 ඔක්සිජන් සොයා ගැනීම නිසා ය. ඒ කීර්තිමත් සොයා ගැනීම නිසා ඔහු සෝඩා වතුර සොයා ගත් බව අද ලෝකයට අමතකව ගොස් තිබේ. බුබුළු දමන මෘදු දියරයක් ලෙස අද ලොව පුරා බීමක් ලෙස භාවිත කෙරේ. එහෙත් ඔහු සොයා ගත් සෝඩා වතුර එදා ඔහු නම් කළේ ‘රබර්’ කියා ය. එදා ඔහු එය රබර් කියා නම් කළේ පැන්සල් ඉරි මැකීමට ඒවා යොදා ගත හැකි නිසා ය.

මීට අවුරුදු පන්සීයකට පමණ පෙර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ලියූ සටහන්වල ඇති කරුණුවල සත්‍යතාව මිනිසාට අවබෝධ වුයේ බොහෝ කලකට පසුව ය. පොසිල ගැන, රුධිර සංසරණය ගැන, පොළොව විශ්වයේ හරි මැද නො වන බව, වස්තු ඉහළට බිමට පතිත වීම ගැන, මිනිස් සිරුර ගැන ආදී වශයෙන් ලියා තැබූ අදහස්වල සත්‍යතාව අද තහවුරු වී තිබේ.  

පණ යන බිරිඳට ඉන්නැයි කී විද්‍යාඥයා : දැන මුතු


විද්‍යාඥයෝ බොහෝ විට ඔවුන්ගේ කටයුතුවලදී චිත්තඒකාග‍්‍රතාව වැඩියෙන් යොදවති. යමකට එසේ අවධානය වැඩියෙන් යොමු කරන විට අවට සිදුවන දේ ගැන තැකීමක් ඔවුන්ට නැත. එසේ පමණ ඉක්මවා ගිය අවස්ථාවකට මුහුණ දෙන්නට 1807 දී ජර්මන් ගණිතඥයකු වූ ජොආන් කාල් ෆ්‍රෙඞ්රිච් ගෝස්ට සිදු විය. ඔහුගේ බිරිඳ දැඩි ලෙස රෝගීව ඉහළ මාලයේ සිටිය දී ඔහු පහත මාලයට වී ගණිත ගැටලූවක් විසඳන්නට කල්පනා කරමින් සිටියේය. බිරිඳගේ තත්වය තවත් නරක අතට හැරී මරණාසන්න මොහොත එළඹිණ. එතෙක් වෙලා ඔහු බිරිඳ අසල රැුඳී සිටි වෛද්‍යවරයා ගෝස් අසලට විත් ඒ බව ගෝස්ට දැන්වීය. වෛද්‍යවරයාට එතැනින් ඉවතට යන්නැයි අතින් සන් කළ ඔහු හිස ඔසවන්නේවත් නැතිව මෙසේ කීවේය: ”ඈට කියන්න මොහොතක් ඉන්න කියලා මං මේක ඉවර කරන කං”
Related Posts Plugin for WordPress, Blogger...
Back to Top