කාලය - ක්‍රිස්තු පූර්ව 800,000 පමණ.
අතීතයේ ආදි මානවයා පරිණාමය වෙද්දී විස්මයජනක ලෙස නව අදහස් ඇති කර ගත්තා. එහි දී ඔහු ඇති කර ගත් මුල්ම අදහස ගින්දර සොයා ගැනීමයි . අතිපුරාතනයේ මිනිසා බිහි කර ගත් නව අදහස් සොයා යන ගවේෂණ චාරිකාවක තවත් පියවරකි, මේ.
ස්වජාතිභක්ෂණය කියන්නේ තම ජාතියේ අය ම ආහාරට ගැනීමයි. සත්ව ලෝකයෙහි සත්ව විශේෂ 1,500ක් පමණ ස්වජාතිභක්ෂණයෙහි යෙදෙන බවට වාර්තා වී තියෙනව. එය සත්වලෝකයෙහි දක්නට ලැබෙන පොදු පාරිසරික අන්තර් ක්‍රියාවක්. මිනිසාගේ ස්වජාතිභක්ෂණය හෙවත් මිනීමස් කෑම බොහෝ ඈත අතීතයට දිව යන්නක් බව වාර්තාවලින් පෙනෙනවා. ජාතක කතාවලින් පවා කියවෙනවා, මිනීමස් කෑ යක්ෂයන්, මිනිසුන් පමණක් නොව රජවරුන් පවා සිටි බව.
අපේ භාෂාවේ තියෙනවා වෛරී කියමනක් ‘කැවුතු කනවා’ කියා. කෙනෙකු ගැන දැඩි කෝපයක් ඇති වූ විට එය පළ කරන කියමනක් ලෙසයි, සඳහන් වෙන්නේ. ආදීම වැදි ගෝත්‍රිකයන් සතුරෙකු මරා දැමූ පසු ඒ සතුරාගේ අක්මාව (පීකුද්ද, කැවුත්ත) වියළා, මඩිස්සලයෙහි දමා තබාගෙන බුලත් හපන විට සමග කෑමට ගත් බවත් ඒ හා සම්බන්ධ ප්‍රවාදයෙහි සඳහන් වෙනවා.
ස්වජාතිභක්ෂණය ආදී මිනිසා ඇති කරගත් නිර්මාණශීලී නව අදහසක්. එය ප්‍රාග් ඓතිහාසික මානවයා වර්ගයා අතරින් කුමන මානවයා පටන් ගත් දෙයක් දැයි හරියට ම කියන්න බැහැ. දැනට සොයා ගෙන ඇති කැණීම්වල ප්‍රතිඵලවලට අනුව සමහර විට මේ ආදි මානවයා හෝමෝ ඇන්ටෙසෙසර් විය හැකියි.
මිනිසා මිනිස් මාංශ භක්ෂණයට යොමු වූ බවට ලැබී ඇති සාක්ෂිවලින් පැරණිම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්පාඤ්ඤයේ ග්‍රෑන්ඩ් ඩොලිනා (Grand Dolina) ලෙනෙහි තිබූ හමු වූ ඇට කැබලි නිසාය. ඒවා ක්‍රිස්තු පූර්ව 800,000ක් තරම් පැරණි යයි කාල නිර්ණය කර තියෙනවා. එහිදී හමුවූ ඇට කැබලි අපට කියන්නේ බටහිර යුරෝපයේ හඳුනාගෙන ඇති පැරණිම මානවයන් තුළ එවැනි පුරුද්දක් පැවති බවයි.
බටහිර යුරෝපයට ආ ආදී මානවයන් හැඳින්වෙන්නේ හෝමෝ ඇන්ටෙසෙසර් (homo antecessor) කියායි. මේ මානවයා හෝමෝ ඉරෙක්ටස්ටත් හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස්ටත් අතර සිටි ආදි මානවයෙක්. පසුව වරින්වර කරන ලද කැණීම්වලින් පෙනී ගොස් ඇත්තේ ඒ මානවයාගේ පටන් හෝමෝ සේපියන් දක්වා මේ හැම මානවයකු තුළ ම ස්වජාතිභක්ෂණ පුරුද්ද පැවති බවයි.
ආදි මානවයා සමහර විට ආහාර හිඟකම නිසා මෙවැනි දෙයකට යොමු වන්නට ඇති. ඒ හැරෙන්නට සමහර විට විලෝපිකයන්ගෙන් තමන්ට එල්ල විය හැකි තර්ජනය වළකා ලන්නට කළා විය හැකියි. විලෝපිකයන් මිනී මස්වලට පුරුදු වීමෙන් තමන්ගේ ජීවිතවලට එල්ල වෙතැයි සැකයෙන් තමන්ගේ වර්ගයාගේ මැරුණු අයගේ සිරුරු විලෝපිකයන්ට අසු නොවන්නට යොදන උපායක් ලෙස කල්පනා කළ දෙයක් වෙන්නත් පුලුවන්.
මේ නරමාංශ භක්ෂණය බටහිර හා මධ්‍යම අප්‍රිකානු රටවලමෙන් ම පැසිපික් දූපත්, ඔස්ට්‍රේලියාව, සුමාත්‍රාව, උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීප රටවල ආදි යුගයේ සිට වර්තමාණය දක්වා ම පැවති බව සඳහන් වෙනවා. සමහර රටවල සංස්කෘතිවල මිනීමස් ද අනෙක් ඕනෑම මසක් ලෙස සලකනු ලැබූ අතර අනෙක් රටවල ඒවා විශේෂ අවස්ථාවලට යොදා ගත් ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලැබුවා. නවසීලන්තයේ මෞරි ගෝත්‍රිකයන් යුදසටන්වල දී මියගිය සතුරන්ගේ මස් අනුභව කරනු ලැබුවේ ජය සමරනු පිණිසයි.
අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයන් මිනිස් සිරුරේ ඇතැම් කොටස් පිස අනුභව කොට ඇත්තේ ඒවායින් බුදින අයට ශක්තිය ලැබෙනවාය යන විශ්වාසය මතයි. ඇස්ටෙක්වරුන් විසින් අල්ලා ගන්නා ලද සිරකරුවන් දෙවියන්ට බිලි දී පසුව ඔවුන්ගේ මස් කෑමට ගත් බව සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්වරුන් තමන්ගේ ඥාතීන් මියගිය විට ඔවුන්ගේ මාංශ ආහාරයට ගෙන ඇත්තේ මළවුන්ට ගෞරව කිරීමේ චාරිත්‍රයක් හැටියටයි.
15 වන හා 16 වන සියවස්වල ජනපද පිහිටුවීමේ දී ඒවාට සම්බන්ධ වුණු යුරෝපීය ක්‍රිස්තියානින් මිනීමස් කෑම චාරිත්‍රයක් ලෙස කර තිබෙනවා. දැන් ඒවා සිදුවන බවක් අසන්නට නොලැබුණත් සමහර ආන්තික සමාජවල ඉඳහිට මේ පුරුද්ද දැක ගත හැකියි.
විශේෂයෙන් ම ලයිබීරියාවේ හා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ යුද සටන්වලදී මැරෙන සොල්දාදුවන්ගේ මස් කෑම සම්පූර්ණයෙන් ම තහනම් කර තිබුණා. 2012 දී පැපුවා නිව්ගිනියාවේ එය සංස්කෘතික හේතූන් මත චාරිත්‍රයක් වශයෙන් ක්‍රියාවට නංවා තියෙනවා.
නවීන ලෝකයේ නරමාංශ භක්ෂණය ඉතා දුබල දෙයක් වුවත් මෑතදී මිනීමස් මිශ්‍ර කළ කෑම වර්ග පිස අලෙවි කළේ යැයි චෝදනා ලබා බ්‍රසීලයේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා.
ජෝර්ජ් එලියට්ගේ ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් (The Silence of the Lambs - 1988) කෘතියෙහි ‘මම ඔහුගේ අක්මාව ෆාවා බෝචි ඇට චියන්ටි වයින් සමග ආහාරයට ගත්තෙමි’ යනුවෙන් සඳහන් කර තියෙන්නේ ඔහු මිනීමස් කෑ බවයි.
70 දශකයේ මුල භාගයේ දී උරුගුවේ පාසල් පාපන්දු කණ්ඩායම ඇන්ඩීස් කඳුකරයේ හිම බිමේ යානය කඩා වැටුණු අවස්ථාවේ දී ඒ කණ්ඩායමේ දිවි රැක ගත් කීපදෙනා මාස ගණනක් ජීවත් වූයේ මියගිය අයගේ මස් ආහාරයට ගැනීමෙන් බව, පියර්ස් පෝල් රීඩ්ගේ ‘අලයිව් - ද ස්ටෝරි ඔෆ් ද ඇන්ඩීස් සර්වයිවර්ස්’ නම් කෘතියෙහි සවිස්තරව දක්වා තියෙනවා. ඒ ඔවුන්ගේ අත්දැකීම් ඒ දවස්වලම මා ‘හිමගිරක කඳුළු’ යන නමින් සිළුමිණ පත්‍රයට ලියා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදයට එය පත් වුණා.
- පර්සි ජයමාන්න
0 Comments