HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව පැරණිතම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය මිහිඳු මාහිමියන්ගේ ද?

අද පොසොන් පොහෝ දිනයයි. බෞද්ධයන් එය සලකන්නේ වෙසක් පොහොයට පමණක් දෙවැනි කොටයි. මහින්දාගමනය සිදු වූයේ වසර 2256කට පෙර අද වැනි දිනකයි. බෞද්ධ ශිෂ්ටාචාරය සිංහලද්වීපයෙහි ස්ථාපිත වූයේ එදා සිදු වූ ඒ අසිරිමත් හමුවීම නිසයි. ඒ අපූරු සිදුවීම මහාවංශයේ ගුණපාල වීරසේකර සංස්කරණයේ දැක්වෙන්නේ මෙසේ ය:

‘එදා ලක්වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දිය කෙළි විධාන කොට තමා මුව දඩයමට යාමට පිටත් ව හතළිස් දහසක් සෙනඟ පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයෙහි අධිගෘහික දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝ‍ණෙකුගේ වේසය මවා ගෙන තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටි සතාට විදීම හොඳ නැතැයි සිතූ රජතුමා ගෝණාට ඇසෙන්නට දුනුදිය ශබ්ද කළේය. ගෝණා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේය. තමා ලුහුබැඳ ආ රජතුමා මිහිඳු හිමියන් දකින විට ගෝණා අන්තර්ධාන විය.


‘හැම දෙන එකවර දුටුවහොත් රජු වැඩියක් ම භය වෙතැයි සිතූ මිහිඳු හිමියෝ පළමු ව තමන් වහන්සේ පමණක් රජුට දැක් වූහ. උන්වහන්සේ පමණක් දැකීමෙන් ද රජතුමා භයට පත් විය. ‘එන්න තිස්ස’ යැයි කියූ මිහිඳු හිමියන්ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂයෙකැයි සිතා වඩාත් භයට පත් විය.’

‘මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ’යි මිහිඳු හිමියෝ වදාළහ. රජුගේ බිය පහ විය. තමාගේ මිත්‍රයා වන අශෝක රජතුමන් විසින් එවන ලද පණිවිඩයද රජුට සිහි විය. මේ වනාහි අශෝක රජුගේ ලියුමෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් යැයි නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළංව හිඳ ගත්තේය.

'රජතුමා සමග ගිය පිරිස ද අවුත් රජු පිරිවරා සිට ගත්තා ය. මිහිඳු හිමියෝ ද තමන් සමග පැමිණි අනෙක් සදෙනා දැක් වූහ.
රජතුමා උන්වහන්සේලා දැක, ‘මොහු කවදා ආවෝදැ’යි විචාළේ ය.
‘මා සමග යැ’යි තෙරුන් වහන්සේ වදාළහ.
‘මෙ බඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ’ යි රජතුමා ප්‍රශ්න කළේ ය.
 ‘මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබලන්නේ ය. එහි වනාහී ත්‍රිවිද්‍යාධාරී, සෘද්ධිබලධාරී, පර සිත් දන්නා, දිව්‍යශොත්‍රලාශී මහරහතන් වහන්සේලා බොහෝ හ’යි මිහිඳු හිමියෝ වදාළහ.
‘වැඩියේ කුමකින්දැ’යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ ‘ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ’යි පිළිතුරු දුන්හ. අහසින් වැඩි බව රජතුමා දැන ගත්තේය.

මිහින්තලා පර්වතය අද දිස් වන්නේ මෙසේය.

’මෙ‍ සේ ටික වේලාවක් පිළිසඳර කතාවෙහි යෙදී සිටි පසු මිහිඳු මා හිමියෝ රජතුමන්ගේ නුවණැති බව දැන දැන ම තවදුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ. ඇසු ඇසූ පැණයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේය. (මෙය අඹ රුක පිළිබඳ ප්‍රශ්නය ලෙස හැඳින්වෙයි. මිහිඳු හිමියන් ඒ සංවාදය අරඹන්නේ අසල තිබූ අඹ ගසක් දෙස බලමිනි.)

‘මහරජ මේ ගසේ නම කුමක්ද?’යි ළඟ තිබුණු අඹ ගසක් දැක් වූ මිහිඳු හිමියෝ රජුගෙන් විචාළහ.
‘ඒ අඹ නමි’ යි රජතුමා පිළිතුරු දුන්නේ ය.
ඊළඟට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙසේ ය.
මිහිඳු හිමියෝ: ‘මේ හැර තවත් අඹ ගස් තිබේ ද?’
රජතුමා: ‘බොහෝ අඹ ගස් ඇත.’
මි‍: ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?’
ර: ‘ස්වාමීනි, බොහෝ ගස් ඇත. ඒ අඹ ගස් නොවේ’
මි: ‘ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේ ද?’
ර: ‘ස්වාමීනි, මේ අඹ ගහ’
මි: ‘මහරජ තොප පණ්ඩිතයෙහි’
මි: ‘මහරජ තොපගේ නෑයෝ සිටිත් ද?’
ර: ‘බොහෝ දෙනෙක් සිටිති’
මි: ‘නො නෑයොත් සිටිත් ද?
ර: ‘ස්වාමීනි, බොහෝ නො නෑයෝත් සිටිති’
මි: ‘ඒ නෑයනුත් නො නෑයනුත් හැර අනෙකෙකුත් සිටියි ද?’
ර: ‘ඇයි ස්වාමීනි, මම’
මි: ‘මහරජ තොප පණ්ඩිතයෙහි’


තිස්ස රජතුමා හොඳ නුවණැතියෙකු දැන ගත් මිහිඳු හිමියන් වහන්සේ රජහට චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි රජතුමා හතළිස් දහසක් පිරිස මග තිසරණයෙහි පිහිටියේ ය. (145-147 පිටු)

සටහන: වර්තමානයෙහි අප කෙනකුගේ බුද්ධිය, එනම්, වටහා ගැනීමෙහි ඇති ශක්තිය, මැන ගැනීමට යොදා ගන්නා බුද්ධි පරීක්ෂණයක ස්වරූපයෙන් වූ මේ සංවාදය මිහිඳු මා හිමියන් හා දෙවනපෑතිස් රජතුමන් අතර සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 236 දී පමණ ය. මෙය ලිඛිත සටහනක් ලෙස දැක්වෙන්නේ පාලි‍යෙන් කරන ලද මහාවංස ප්‍රථම භාග‍යෙහිය. එහි කර්තෘ වරයා වන්නේ ධාතුසේන රජ සමයේ (ක්‍රිස්තු වර්ෂ 455-473) මහා විහාරයෙහි විසූ මහානාම් තෙරුන් වහන්සේ යැයි මහාවංස ටීකාවෙහි දැක්වෙයි. මීට වසර 2256කට පෙර සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලේඛන ගත කෙරුණේ මීට වසර 1500කට පෙරය. එ් නිසා එය ලොව පැරණිතම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයයි. එහි ගෞරවය හිමි විය යුත්තේ මිහිඳු මාහිමියන්ටය.

Post a Comment

0 Comments