HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔලිම්පික් සටහන් - 5 ඔලිම්පික් උළෙල ගැන මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු

පසුගිය දිනවල ඔබ අපට වරින්වර යොමු කළ ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමට අද ඔලිම්පික් සටහන්වලින් අදහස් කරනවා. ඔලිම්පික් වළලු ගැන, පවත්වන වකවානු හා අයත් වන ක්‍රීඩා ගැන, වගේ ම ඔලිම්පික් උළෙලට වර්තමානයේ යොදා ගන්නා නවීන තාක්ෂණය ගැන තමයි, වැඩිපුර විමසීම් කරලා තිබුණේ. 


ඔලිම්පික් වළලුවල අපූරු කතාව කුමක් ද? 

මුලින්ම ඔලිම්පික් වළලු ගැන කියමු. ඔලිම්පික් ප්‍රඥප්තියෙහි සඳහන් වන්නේ ‘ඔලිම්පික් වළලු පහ නියෝජනය කරන්නේ ඊට ක්‍රීඩකයන් සහභාගි කර වන රටවල් අයත් මහාද්වීප පහ’ කියලයි. ඒත් සැබැවින් ම නම් ඒ රටවල් 206 පිහිටි මහාද්වීප හයක් තියෙනවා. ඒක පහක් වුණේ උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීප දෙක ම එකක් ලෙස සැලකීම නිසයි. ඒ වගේ ම මහා ද්වීප පහ හඳුන්වන්නේ යුරෝපය (නිල්), අප්‍රිකාව (කළු), ආසියාව (කහ) ඕෂේනියාව (කොළ) හා ඇමරිකාව (රතු) කියලයි. නවීන ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ පියරි ඩි කුබෝටීන් සාමිවරයා 1913 දී ලියූ ලිපියක සිරසට වර්ණ පහකින් මේ වළලු පහ අතින් ඇඳි චිත්‍රයක් ලෙස ඇතුළත් කර තිබුණු බවයි, ඔලිම්පික් කමිටුව කියන්නේ. ඒත් ඒ මුල් කාලයේ එතුමා ‘ඕෂේනියාව’ වෙනුවට යොදා තිබුණේ ‘ඕස්ට්‍රේලියාව’ කියායි. අද ‘ඕෂේනියාව’ කියා කියන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙලනේසියාව, මයික්‍රොනේසියාව හා පොලිනේසියාව යන කලාපයේ ඇති රටවල් 14කටයි. ඔලිම්පික් ධජයේ සුදු වර්ණයත් සමග අනෙක් වර්ණ පහ ක්‍රීඩාවට සම්බන්ධ වෙන රටවල කොඩිවල වර්ණ නියෝජනය කරන බව, ඔලිම්පික් කමිටුවේ අදහසයි. 

ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ පියරි ඩි කුබෝටීන් සාමිවරයා 



ඔලිම්පික් උළෙල සිව් වසරකට වරක් පවත්වන්නේ ඇයි? 

ලෝකයේ පැරණිතම ක්‍රීඩා උළෙල වන මෙය වසර 3000කට පමණ පෙර, ක්‍රිස්තු පූර්ව 776 දී ග්‍රීසියේ ආරම්භ වී වසර 4කට වරක් තමයි, ක්‍රිස්තු වර්ෂ 393 වන තෙක් පවත්වලා තියෙන්නේ. ඊට පස්සේ වසර 1503කට පසුවයි, නව ඔලිම්පික් උළෙල පටන් ගත්තේ. ඒ 1894 දී පියරි ඩි කුබෝටීන් සාමිවරයා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පිහිටෙව්වාට පසුවයි. ඒ පැරණි සම්ප්‍රදායට ගරු කරමින් 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නගරයේ දී ආරම්භ කළ නව ඔලිම්පික් උළෙලත් වසර හතරකට වරක් තමයි පවත්වන්නේ. ඒ නිසා ඔලිම්පික් උළෙලේ වාර ගණන හෙවත් කාලය මනින්නේ ‘ඔලිම්පියාඩ්’ (Olympiads) වලින්. ඒ අනුව මේ තෝකියෝවල පවත්වන්නේ XXXII Olympiad හෙවත් 32 වන ඔලිම්පික් උළෙලයි. 1986 අප්‍රේල් 6 වැනි ආරම්භ වූ පළමු නව ඔලිම්පික් උළෙලේ මුල් ම ඔලිම්පික් ශූරයා වූයේ තුන්පිම්ම ඉසවුව ජයගත් ඇමරිකන් ජාතික ජේම්ස් කොනලි යි. 

ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය කුමක්ද? 

මෙවර ඔලිම්පික් උළෙලේ සිට එහි ආදර්ශ පාඨය වෙනස් වෙනවා.. එය ලතින් වදනින් කියැවෙන්නේ Citius, Altius, Fortius – Communis කියායි. ඉංග්‍රීසියෙන් එහි අරුත faster, higher, stronger – together යන්නයි. සිංහලෙන් ‘වේගවත්ව, උච්චව, ශක්තිමත්ව - එකමුතුව’ කියා කියන්න පුලුවන්. මේ ‘එකමුතුව’ යන අරුත් ඇති Communis යන කොටස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව(IOC) විසින් එක් කරනු ලැබුවේ 2020 තෝකියෝවේ පැවති සමුළුවේදියි. සම්ප්‍රදායානුකූලව 2020 පැවැත්වීමට නියමිතව තිබූ උළෙල, එහි ඉතිහාසයේ පළමු වතාවට, ‘කොවිඩ් 19’ වසංගතය නිසා වසරකින් කල් දැමීමට තීරණය කළේ ද එම සමුළුවේදීමයි. මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදී 2014දියි. 

ඔලිම්පික් උළෙලට විවිධ ක්‍රීඩා කීයක් ඇතුළත් වෙනවා ද? 

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලට, ඒකල ක්‍රීඩා (individual sport), යුගල ක්‍රීඩා (dual sport) හා කණ්ඩායම් ක්‍රීඩා (team sport) යන ප්‍රධාන අංශ තුන යටතේ විවිධ ක්‍රීඩා වර්ග 41කට අයත් ඉසවු 339ක් ඇතුළත් වුණා. රටවල් 205කින් තරඟකරුවන් 11,000ක් සහභාගි වුණා. මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් ක්‍රීඩා පහක් එක් වුණා. 1936 වසරේ සිට අත් හැර දමා තිබුණු බේස් බෝල් හා සොෆ්ට් බෝල් ක්‍රීඩා තරඟ දෙක 2020 ඔලිම්පික් උළෙලට යළි එක් කර ගැනීමට, 2016 දී පැවති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමේ දී තීරණය කෙරුණා. ඒ සමග ම ළමා හා තරුණ පරපුර අතර ජනප්‍රිය ක්‍රීඩා තුනක් ද එක් කර ගැනිමට තීරණය කළා. ඒවා කරාතේ, ස්කේට්බෝඩ්, ස්පෝට්ස් ක‍ලයිම්බින් හා සර්ෆින් (karate, skateboard, sports climbing and surfing) යන ක්‍රීඩායි. 

- පර්සි ජයම‍ාන්න 

2020 ඔලිම්පික් උළෙලට යොදා ගෙන ඇති විස්මිත තාක්ෂණ අංග - මීළඟ ලිපියෙන්

Post a Comment

0 Comments