අන්දරේ කුඩා කාලේ දවසක් උදේ පාන්දරින් අම්මා දුන් කාසි අරගෙන ආප්ප ගේන්ට ආප්ප ගෙදර ගියේය. ආප්ප උයන ගෙදර තිබුණේ අන්දරේලාගේ ගෙදරට ටිකක් ඈතිනි.
අන්දරේ එහි යන විට ආප්ප අම්මා ආප්ප උයමින් සිටියාය.
‘මටත් ආප්ප දෙන්න’ අන්දරේ ඉල්ලූවේය.
ආප්ප අම්මා කුඩා අන්දරේ දෙස බලා උයමින් සිට ආප්ප අතරින් ප‍්‍රමාණයෙන් කුඩා ආප්ප තෝරා අන්දරේ ඉල්ලූ ආප්ප ගණන ඔහුට දුන්නාය.
අන්දරේ කතා නැතිව ඒ කුඩා ආප්ප ගෙදර ගෙන ගොස් කෑවේය. ඒත් ආප්ප අම්මා තමාට කුඩා ආප්ප තෝරා දුන් හැටි අමතක කරන්නට අන්දරේට බැරි විය.
අන්දරේ ආප්ප අම්මාට පාඩමක් උගන්වන්නැයි සිතා පසුවදාත් ආප්ප ගෙන්නට ගියේය.
පසුවදාත් ආප්ප අම්මා කුඩා ආප්ප තෝරා අන්දරේට දුන්නාය.
‘මොකද මේ ආප්ප පුංචි ?’ අන්දරේ ආප්ප අම්මාගෙන් ඇසුවේය.
‘ඒ පුංචි ඔයාට ගෙනියන්න ලේසි වෙන්න’ ආප්පා අම්මා සිනාසෙමින් කීවාය.
අන්දරේ කිසිවක් නොකියා කාසි ටික ආප්ප අම්මා අතට නොදී වට්ටියට දමා ඉක්මනින් යන්නට ගියේය.
මොකක් හරි හොරයක් ඇතැයි සිතු ආප්ප අම්මා ඉක්මනට මුදල් ගණන් කර බැලූවාය. එහි තිබුණේ කාසි අඩුවෙනි.
‘ඒයි අන්දරේ ළමයො, ඔහොම හිටපන්.’ අප්ප අම්මා අන්දරේ පස්සෙන් යන්නට විය.
‘ඇයි හිටින්නේ?’ අන්දරේ දුවන වේගය වැඩි කරන ගමන් කීවේය.
‘මෙතන සල්ලි අඩුයි නේ. ඒ මොකද?’ ආප්ප අම්මා බෙරිහන් දුන්නාය.
‘ඒ ඔයාට ගනින්ට ලේසියටයි’ කියා අන්දරේ නොනැවතී දිව්වේය.
0 Comments