පුදුම හෝඩියක් ! : බසක අරුමය

පුදුම හෝඩියක් ගැන අපූරු කතාවක් මං මෑතකදි කියවපු පොතක තිබුණා. ඒ පොත ‘බුදුන් වදාළ උපමා’. ගල්කිස්සේ ධර්මේන්ද්‍රාරාමයේ වැඩ සිටින මීරිගම ගෝතම හාමුදුරුවන් ලියපු පොතක්. මගේ සිත තදින් ඇද ගත්තු ඒ කතාව පළ වුණේ ‘බැතිපුද’ නමින් වූ එහි පෙරවදනෙයි. තමන්ගේ ගුරු හිමියන්ට ගෞරව දක්වන්න පුළුවන් හොඳම විදිය ඒකයි කියල මට හිතුන. ඒ වගේ ම කියවල ඉවර වුණා ම අපේ උරුමය ගැන පුංචි ආඩම්බරයකුත් හිතේ ඇති වුණා. මෙන්න ඒ කතාව:

දිනක් මා ඇමතූ ලොකු හාමුදුරුවන් මගේ මනසට ලොකු ගැටලූවක් ඇතුළු කළා මතකය. ”දැං පාළි සංස්කෘත පොඩි පොත් කියවන්න පුළුවන්නෙ.” ”එහෙයි හාමුදුරුවනේ.” ”හොඳයි, පුළුවන්ය කියල මං කියන්නං, මං කියන හෝඩියේ අකුරු දෙක කිව්වොත්. මං දන්න පාළි, සංස්කෘත, හින්දි, බෙංගාලි භාෂා හෝඩිවල පමණක් නෙවෙයි, දෙමළ හෝඩිවලවත් නැති අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු කියන්ඩ බලන්ඩ. ඕන්න එතකොට මං කියන්නං හපනා කියලා. දැං බැරි නං කල්පනා කරල පස්සෙ කියන්ඩ. හැබැයි අකුරු දෙකක් එකතු කරල එන ශබ්ද තියෙන අකුරු නෙමෙයි.”

මම කාමරයට ගොස් කල්පනා කළෙමි. වැඩිදුර සිතීමට මට අවශ්‍ය නො වූයේ ශුද්ධ සිංහල හෝඩියත් සංස්කෘත හෝඩියත් මා හොඳින් ප‍්‍රගුණව සිටි නිසාය. ජයග‍්‍රාහී සිතක් ඇති වූ නිසා මම ලොකු හාමුදුරුවන් ළඟට ගොස් උන්වහන්සේට ඒ අකුරු දෙක කිව්වෙමි. කියවමින් සිටි පොතින්, ඉවත් කළ නෙතින්, මා දෙස බැලූ උන්වහන්සේ සුපුරුදු සෞම්‍ය සිනහ මුහුණින්, ”ම්හ්, මං කිව්ව අකුරු නොමෙයිනෙ. ‘ඍ ඍ ඏ ඏෘ’ අකුරු හතර ‘ඉ’ යන්න ‘රු’ යන්න එකතු කෙරුවහමත් ‘ඉරු’ කියල කියවෙනවනෙ. ‘ඉ’ යන්න ‘ලූ’ යන්න එකතු කරපුවහම ‘ඉලූ’ කියවෙනව. මං කිව්වෙ තනි අකුරු දෙකක් ගැනනෙ.” මගේ ජයග‍්‍රාහී සිත වයා බිඳ වැටුණි.

මම නොයෙක් හෝඩි ඉගෙන ගතිමි. ඒ අතරින් සරල ම හෝඩිය වූ ඉංගී‍්‍රසි හෝඩියටත් එම බසටත් මගේ අවධානය යොමු විණ. මගේ සාමාන්‍ය පොත පතේ වැඩ මේ අකුරු සෙවීම නිසා අතපසු වන බව දුටු නිසා දෝ දිනක් මා ඇමතූ ලොකු හාමුදුරුවන් වහන්සේ ”පොඩි නම, අපේ සිංහල හෝඩිය පුදුම හෝඩියක්. දැන් ඉංගී‍්‍රසි අකුරු දන්න හින්ද, වැල්ලවත්ත කියල ලියන්න.” එය ඉංගී‍්‍රසි අකුරින් ලියවුණේ වෙල්ලවත්ත යනුවෙනි. මම සංස්කෘත අකුරින් ලියා බැලූවෙමි. එය වල්ලවත්ත විය. මට අවබෝධය ආවේ නිතැතිනි. අකුරු දෙක ‘ඇ ඈ’ ය. මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජුගෙන් ඇසූ අඹ ගසේ ප‍්‍රශ්නය මේ වන විට මා දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ගුරු හාමුදුරුවන් සඳහන් කළ හෝඩි අතර සිංහල හෝඩිය නො තිබූ බව මට සිතා ගන්නට තිබුණි.

(මීරිගම ගෝතම ස්ථවිරයන්ගේ සූත‍්‍ර පිටකය ඇසුරින් බුදුන් වදාළ උපමා - ISBN 978-955-1887-06-3)
0

වැරදි විනිශ්චය : සූෆී උපමා කතා

එකමත් එක කාලෙක ලොකු අනුගාමික පිරිසක් සිටි සාධු වරයෙක් සිටියා. ඒ වගේ ම බොහෝ සතුරු පිරිසක් ද ඒ සාධුවරයාට සිටියා.

ඔහුගේ සතුරන් ඔහු නසනු පිණිස නොයෙක් උපා යෙදුවා. ඕනෑම කෙනෙකුට ඔහුගේ නිවසට ඇතුළුව නිදහසේ ඇවිදීමට ඉඩ හැර තිබෙන බව සතුරන්ට දැන ගන්නට ලැබුණා. ඔවුන් ඒ සාධුවරයා නසන්නට සිතා ඇපල් ගෙඩිවලට වස දමා කාමරයක් කාමරයක් පාසා තැන තැන දැමුවා.

මේ උපක‍්‍රමය කීපවතාවක් ම කළත් මාස කීපයකට පසුත් සතුරන් මවිතයට පත් වූයේ සාධුවරයා ජීවතුන් අතර සිටිනු දකින්නට ලැබීම ගැනයි.

මේ නිසා ඇතැම් අය ඔහු සාන්තුවරයෙකැයි කිව්වා. ඔහුට සියුම් දේ ගැන, සැඟවුණු දේ ගැන, ගුප්ත දේ ගැන දැන ගැනීමේ ශක්තියක් ඇතැයි ඔවුන් තීරණය කළා. ඔහුට හැම දේ ගැනම නිවැරදි දැනීමක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ වස දැමූ ඇපල් මඟ හැරීමට හෝ අනතුරක් නැතිව ඒවා කෑමට හෝ ඔහුට හැකියාව ලැබුණේ ඔහු සතු ඒ ශක්තිය නිසා යයි ඔවුන් පිළිගත්තා.

ඔවුන් ඔහු සොයා ගොස් දණින් වැටී මෙසේ ආයාචනය කළා. ‘අපට හැඟී ගිහින් තියෙනවා ඔබ තුමා ශාන්තුවරයෙක් බව. අපට ඔබ තුමාගේ ගෝලයන් වීමට අවසර දෙන්න.’

‘මං සාන්තුවරයෙක්ය කිය ඔබලා හිතන හේතුව මට නං අල්ලන්නෙ නෑ. ඔබලා ඇත්තට ම මගේ ගෝලයන් වෙන්න උනන්දුවක් දක්වනවා නම් මං කියන්න කැමතියි, ඔහෙලා මාව මරන්න හදපු උපායෙන් මං බේරුණේ ගෙයි තැනින් තැන වැටිල තියෙන පලතුරු මං ආහාරයට නොගන්න නිසයි.’ සාධුවරයා පිළිතුරු වශයෙන් කීවා.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990)

වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි : විස්මිත සොයා ගැනීම්


ඒක නම් ඇත්තටම කිසිවකුටත් අමතක නොවන අපූරු සොයා ගැනීමක්. අවුරුදු 71කට ඉස්සර වුණු සිදුවීමක්. හරියට ම කියනව නම් 1940 වසරේ සැප්තැම්බර් 12 වැනිදා, ප‍්‍රංශ ළමයි හතර දෙනෙක් ප‍්‍රංශයේ දෝර්දෝග්නේ පළාතේ ලැස්කෝ Lascaux නම් ප‍්‍රදේශයේ විනෝද සවාරියක් ගියා. කැළයේ ඇවිදිමින් යද්දී හදිසියේ ම ඔවුන් සමග ගිය සුරතල් බල්ලා පොළොවේ කුහරයකින් පහළට වැටුණා. බලූ යාළුවා බේරාගන්න ඒ කුහරය තුළට යන්නට ඒ ළමයින්ට සිදු වුණා. ඊට කලින් එය කෙතරම් ගැඹුරුදැයි පරීක්ෂා කරන්නට ගල් කැබලි විසි කරලා බැලූවා. එතරම් ගැඹුරු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඔවුන් ඒක තීරණය කළේ ගල් කැබලි වැටෙන හඬ අනුවයි. ඊට පස්සේ ඔවුන් හෙමින් හෙමින් පොළෝ කුහරයෙන් පහළට බැස්සා. පහළට ගිය ඔවුන් පුදුමයෙන් පුදුමයට පත්වුණා. එය අති විශාල භූගත ලෙනක්. එහි බිත්තිවල නොයෙක් විධියේ අපූරු සතුන්ගේ චිත‍්‍ර රැසක් ඇඳ තිබුණා. මේ ළමුන් අද ඉතිහාසයට එක් වී සිටිනවා. විනෝදයට ගිය පුංචි ගමනක් නිසා වසර 17.000ක් අතීතයට යන්න ඔවුන් සමත් වුණා. ඔවුන් තමා, මාසෙල් රෙවිදේ, යාක් මාසෙල්, ජෝර්ජ් ඇග්නෙල් සහ කොන්කාස්. ඔවුන් විතරක් නොවෙයි ඔවුන් එක්ක ගිය රවිදේගේ සුරතල් බල්ලා ‘රොබට්’ ද අද ඉතිහාසයට එක් වී සිටිනවා. ඔවුන් ගනු ලැබූ ‘චිත‍්‍ර ගුහාව’ තමයි අද අප කවුරුත් හොඳින් දන්නා ලැස්කෝ ලෙන.


ඔවුන් තමන් දුටු දේ ගැන පන්ති ගුරුතුමාට කීවා. ඔහු ළමයි එක්ක ඒ ගුහාවට ආවා. ගුරුතුමා පුදුම වුණා. ඔහු මේ ළමයින්ගේ සොයා ගැනීම ගැන ප‍්‍රංශයේ සුප‍්‍රකට ඉතිහාසඥ ඇබේ හෙන්රි බෲයිල්ට දැනුම් දුන්නා. ඇබේ ඒ සිතුවම් පරීක්ෂා කරලා ඒවා ඉපැරණි ගල් යුගයට අයත් ලෙන් චිත‍්‍ර බව තහවුරු කළා. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී පමණ මෙම ගුහාව තුළට ගොස් මේ අපූරු චිත‍්‍ර නැරඹීමට මහජනයාට අවස්ථාව සැලසුණා. චිත‍්‍ර ගැන ප‍්‍රචාරය වීමත් සමග ඒවා දැක බලා ගැනීමට සංචාරකයන් වැල නොකැඞී ආවා. ගවේෂණ කටයුතු තවත් පුළුල් කෙරුණා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තවත් කුඩා ලෙන් ගණනාවක් හමු වුණා. මේ හැම ලෙන් බිත්තියක ම සතුන්ගේ චිත‍්‍ර සහ සංකේත 200ක් පමණ තිබුණා. මෙතෙක් හමුවී ඇති සිතුවම් ගණන 1,500 ක්.  


චිත‍්‍ර බලන්නට ආ සංචාරකයන් දිනෙන් දින වැඩි වුණා. 1955 වන විට දිනකට චිත‍්‍ර නැරඹීමට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,200ක් පමණ වුණා. මෙතරම් සංඛ්‍යාවක් ප‍්‍රශ්වාස කළ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩි වීම නිසා චිත‍්‍රවලට හානි සිදු වන බව පෙනී ගියා. ඒ අතර ඡායාරූප ගැනීමේ දී චිත‍්‍ර කෘත‍්‍රිම ආලෝකයන්ට නිරාවරණය වීම නිසා චිත‍්‍රවල දිලීර හා බැක්ටීරියා වැඩෙන්නට පටන් ගැනුණා.

චිත‍්‍ර සුරැකීමේ අරමුණින් යුතුව 1963 දී මහජනය ප‍්‍රදර්ශනය සඳහා ලෙන වසා දැමීමට තීරණය කෙරුණා. වසා දැමීමෙන් පසු චිත‍්‍ර යථා තත්වයට පත් කර ගත හැකි වුණා. අද අලූතින් චිත‍්‍ර හමුවුණත් පැරැණි ඒවා දිනපතා වාගේ පරීක්ෂාවට ලක් කෙරෙනවා. මේ ලෙන් පද්ධතිය තුළ ඇති කුටිවල අපූරු නම් යොදා තිබෙනවා. ඒවා නම් ‘මහීෂ ශාලාව’ (The Great Hall of the Bulls) ‘පැති පටු මඟ’ (Lateral Passage) ‘මළ මිනිසාගේ හෙල්ල’ (Shaft of the Dead Man) ‘ගල් කැටයම් ශාලාව’ (Chamber of Engravings) ‘සිතුවම් කලාගාරය’ (Painted Gallery) සහ ‘බිළාල ශාලාව’ (Chamber of Felines) ආදී වශයෙන් නම් කර තිබෙනවා.

සුප‍්‍රසිද්ධ ඇමරිකානු ‘ටයිම්’ සඟරාව මෙම චිත‍්‍ර ගැන මුල් වරට 1941 වසරේදී වාර්තාවක් පළ කළා ඒ කාලයේ මෙම සිතුවම් කි‍්‍ර.පූ. 30,000 ක් පමණ ඈත අතීතයේ ඇඳි ඒවා යැයි විශ්වාස කළමුත් අලූත් ම රේඩියෝ කාබන් දින නිර්ණය කිරීම් අනුව මෙම සිතුවම් කි‍්‍ර.පූ. 15,000 දී පමණ කළ ඒවා යයි තහවුරු වී තිබෙනවා. මේ ලෙන් සිතුවම් මැග්දලීනියන් මානවයා විසින් කළ ඒවා යැයි පැවැසෙනවා. මොවුන් මැග්දලීනියන් යනුවෙන් හැඳින්වෙන්නේ මේ මානවයන් ජීවත් වූ ගල් ගුහා ප‍්‍රංශයේ මැග්දලීනියන් පළාතෙන් හමු වූ නිසයි. ගල් ලෙනේ සිවිලිමේ සිතුවම් ඇඳීමට මෙම ආදි මානවයින් පලංචි යොදා ගන්නට ඇති. එම ලී පලංචි ලෙන් බිත්තිවලට සම්බන්ධ කළ විවර තවමත් දැකිය හැකිවෙනවා. සිතුවම් ඇදීමට යොදා ගත් වර්ණක කලවම් කළ සහ චිත‍්‍ර ඇදීමට යොදා ගත් මෙවලම්, ඇට කැබලි ආදිය නුදුරු ස්ථානවලින් හමුවී ඇත. මේ වන විට පේලියෝලිතික යුගයේ ඇඳපු සිතුවම් සහිත ගල් ලෙන් 200 ක් පමණ නිරිතදිග යුරෝපයෙන් හමු වී තිබෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් ලෙස සැලකෙන්නේ ලැස්කෝ ලෙන් චිත‍්‍රයි.


ලැස්කෝ චිත‍්‍ර හා සම්බන්ධ ලොකු ම පුදුමය මෙවැනි පටු අඳුරු ලෙනක් ඇතුළේ මේ චිත‍්‍ර ඇන්දේ කෙසේ ද යන්නයි; ඒ සඳහා ඔවුන් කොතරම් වෙහෙස වෙන්නට ඇද්ද යන්නයි. ඒ සඳහා ලාම්පු අවශ්‍ය වන්න ඇත. ඉහළ ඇති චිත‍්‍ර අඳින්නට පලංචි බඳින්නට සිදුවන්නට ඇත. මේ චිත‍්‍ර ඇඳ ඇත්තේ පස්වල රතු හා කළු වර්ණ යොදා ගෙනයි. මෙම ලෙන් සිතුවම් අඳින්නට ඇත්තේ කසේදැයි යන්නට පිළිතුරු සොයන ඉතිහාසඥයන් විසින් ක්‍රෝ-මැග්නන් මානවයාගේ චිත‍්‍ර සම්ප‍්‍රදාය ගැන අවධානය යොමු කර තිබෙනවා. ප‍්‍රංශයේ ජාතික විද්‍යා පර්යේෂණායතයේ අධ්‍යක්ෂ මයිකල් ලෝ බ්ලාන්චේ පවසන පරිදි මේ සඳහා පින්සල් භාවිතා කර නැහැ. විවිධ වර්ණවල පස් කැබලි හපා කෙළ සමඟ මුසු කොට ලෙන් බිත්ති මතට පිඹීමෙන් මෙම චිත‍්‍ර අඳින්නට ඇතැයි යන්න ඔහුගේ නිගමනය වුණා. එය කි‍්‍රයාවෙන් ඔප්පු කර පෙන්වීමට ඔහු ආදි මානවයා කළාක් මෙන් විවිධ වර්ණවල පස් හපා ‘කෙළ ගැසීමෙන් චිත‍්‍රයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය සාර්ථක වුණා.

ලැස්කෝ ලෙන්වලට සමාන තවත් ලෙනක් 1995 දී ප‍්‍රංශයෙන් සොයා ගනු ලැබුණා. යාන් මාරේ චව්වේ විසිනුයි, ඇවිනොන් Avignon අසළ පිහිටි මෙම ලෙන් සොයා ගත්තේ. මෙම ලෙන් චිත‍්‍ර වසර 30,000 ක් පැරණි ඒවා බව දැන් හඳුනාගෙන තිබෙනවා. ඒවා ස්පාඤ්ඤයේ ඇති අල්ටමීරා හා ප‍්‍රංශයේ ලැස්කෝ චිත‍්‍රවලට වඩා ඉතා පැරණි ඒවා ලෙස මේවා නම් කර තිබෙනවා. මෙහි චිත‍්‍ර හා කැටයම් 300 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. මෙම චිත‍්‍ර අතර බයිසන් ගවයන්, වලසුන්, මැමතයන්, ලොම් සහිත රයිනෝසිරස් සතුන් ද ඇතුළු කළු පැන්තරයකු, බකමූණකු සහ හයිනා සතකු ද මෙම චිත‍්‍රවලින් දකින්න ලැබෙනවා. පුදුමයි නේද? වලසුන් ගවයන් හැර අනෙක් කිසිදු සත්වයෙකු ප‍්‍රංශයේ හෝ යුරෝපයේ වනාන්තරවල දැන් ඇත්තේ නැහැ. මැමතයන් නම් මුළු ලොවින්ම වඳවී ගියේ මීට අවුරුදු 10,000 කට පමණ කලිනුයි. ලස්කෝවල ගෝනුන් මුවන් මෙන් නොව ඇවිනොන්වල ඇති සිතුවම්වලට වැඩිපුර පාදක වී ඇත්තේ නපුරු සතුන්. ඒ කියන්නේ විලෝපිකයන්.

කුරුල්ලන් කන ඩයිනොසෝර කුරුල්ලෙක් : විස්මිත සොයා ගැනීම්


ඩයිනොසෝරයන් ජීවත් වූ ආකාරය ගැන සෙවීමේ දී අමුතු අමුතු දේ මතු වෙනව. දැන් තවත් අලූත් ඩයිනොසෝර ජීවන රටාවක් සොයා ගන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත් වී තියෙනව. මෙවර මේ නව සොයා ගැනීම කර ඇත්තේ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසිනුයි.

ඔවුන්ගේ මේ අපූරු සොයා ගැනීමට අනුව ඩයිනොසෝරයන් කුරුල්ලන් ආහාර ගෙන ජීවත් වී තියෙනවා. චීනයේ දී හමු වූ විලෝපික ඩයිනොසෝර පොසිලයකට අනුව උගේ උදරයේ කුඩා කුරුල්ලකුගේ අස්ථි කොටස් තිබී විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. අනුමාන කිරීමක් අවශ්‍ය නැහැ. මෙසේ හමුවී ඇති කුරුලූ ඇටසැකිල්ල සුරැකිව තිබූ ඩයිනොසෝරයාත් කුරුල්ලකුට සමානකම් ඇති සතෙක්. මයික්‍රොරැප්ටර් ගයි නම් වූ මේ ඩයිනොසෝරයාගේ ඉළ ඇට කූඩුව ඇතුළේ තමයි, කුරුලූ ඇටසැකිල්ල සුරැකිව තිබුණේ.

මේ පොසිලය ක්‍රෙටේසියානු අවධියට, එනම් වසර මිලියන 65ත් මිලියන 145ත් අතර කාලයට අයත් එකක්. පොසිල විද්‍යාඥයන්ට ඩයිනොසෝරයන් පිහාටු සහිත සතුන් ආහාරයට ගත් බව දැන් ගන්නට ලැබුණු ප‍්‍රථම වතාව මෙයයි.

මයික්‍රොරැප්ටර්ට ගොදුරු වූ කුරුල්ලා දැන් වඳ වී ගොස් ඇති එනන්ටියෝනිතස් නම් කුරුලූ වර්ගයට අයත් කුරුල්ලෙකි.

මේ තොරතුරු සොයා ගෙන ඇත්තේ ජින්මයි  ඕකොනර්, සොන්හී සොව් හා සින් සූ යන පර්යේෂකයන් තිදෙනායි. චීනයේ ජාතික විද්‍යා ඇකඩමියේ දී ඔවුන් හෙළිදරවු කළ තොරතුරු අනුව ඒ ඩයිනොසෝරයන් සහමුලින් ම ගස් උඩ ජීවත් වූ බවටත් සාක්ෂි ඔවුන්ට ලැබී තියෙනවා.
0

මුල්ම දුරකතන පණිවිඩය : දැන මුතු


මින් වසර 136කට පෙර දිනක, 1876 දී, ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් ඔහුගේ මුල්ම ටෙලිෆෝනය තනමින් සිටියදී අත්වැරැද්දකින් ඔහුගේ කලිසම මතට බැටරි ඇසිඞ් හැළුණේය. ඔහු වහාම සිය සහයකයාට කතා කළේය.‘‘වොට්සන්, කරුණාකර ඉක්මනට මෙහෙට එන්න. මට ඔබව අවශ්‍යයි’’ (Watson, please come here, I want you) වොට්සන් ඒ වන විට වැඩ කරමින් සිටියේ වෙනත් මහලකය. එහෙත් ඔහුට බෙල්ගේ කටහඬ ඔහු සවි කරමින් සිටි උපකරණය තුළින් හොඳින් ඇසුණේය. ඔහු වහා බෙල් සිටි කාමරයට දිව ගියේය. එදා කලබලෙන් බෙල් කී වදන් ටෙලිෆෝනයකින් යමකු පැවසූ මුල්ම වදන් විය. 1915 දී ඊස්ට් කොස්ට්හිදී ලෝකයේ මහාද්වීප අතර ප‍්‍රථම රැහැන් ටෙලිෆෝන සේවාව විවෘත කළ අවස්ථාවේ මංගල පණිවිඩය දීමට ඇරයුම් කර තිබුණේ ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටය. ඒ මොහොතේ දී ඊට වසර 39කට පෙර තමා අතින් අහම්බෙන් යැවුණු මුල්ම පණිවිඩය බෙල්ට මතක් විය. ඔහුගේ පණිවිඩය අසන්නට සැරසී සිටියේ ඔහුගේ සහයකයා වූ වොට්සන්මය. ඒ මංගල මොහොතේ බෙල් සිය හඬ අවදි කළේය. ‘‘වොට්සන්, කරුණාකර ඉක්මනට මෙහෙට එන්න. මට ඔබව අවශ්‍යයි’’ (Watson, please come here, I want you) බෙල්ගේ ආයාචනය වසර 39කට පෙර මෙන් ම එදා ද වොට්සන්ට හොඳින් ඇසුණේය. එහෙත් ඒ වතාවේ වොට්සන්ට ඔහු වෙත දිව ඒමට නොහැකි විය. ඔහු ඒ වන විට සිටියේ සැතැපුම් 3,000ක් දුර කැලිෆෝනියාවේය.  
2

අනාගතය අපට වසර 100කින් ළං කළ ඉසිවරයා - ස්ටීව් ජොබ්ස් Steve Jobs: විශිෂ්ටතම චරිත


මෙවර අප ඔබට සිහිපත් කරන්නේ මෑත දී අප අතරින් වියෝ වූ මේ සියවසේ විශිෂ්ටතම චරිතය ගැනයි. අද ලොව පුරා වෙසෙන අප හැම දෙනා අත් විඳින බොහෝ දෑ අපට දායාද කළ, වසර 30ක් තුළ අනාගතය අපට වසර 100කින් ළං කළ, විශ්ව යුග පුරුෂයා ගැනයි. ඔහුගේ ජීවිත කාලය ලෝකය මුළුමනින් ම වෙනස් කළ මිනිසකු ගැනයි. මේවා මේ වන විටත් ඔබ දන්නා දේ විය හැකිය. එහෙත් මේ සටහන අප තබන්නේ ඔහුට කෘතගුණ සැලකීමක් ලෙසයි.

ස්ටීව් ජොබ්ස්ගේ ලෝකයේ දී සෑම නව නිර්මාණයක් ම වෙනස් විය. යම්කිසි නිර්මාපකයකු ලොවට බිහි කළ නව නිර්මාණයක් දෙස බලන ජොබ්ස්ට සැම විට ම පෙනුනේ එහි අනාගත මුහුණුවරය. එය සාමාන්‍ය ජනයා අතට පත් කරන හැටිය.

ස්ටීව් ජොබ්ස්ගේ හවුල්කරු, අනෙක් ස්ටීව්, එනම් ස්ටීව් වොෂ්නියැක් නව නිපැයුම්කරුවෙකි. චාල්ස් තැකර්, බට්ලර් ලැම්ප්සන්, ඩග්ලස් එන්ගල්බර්ට් නව නිපැයුම්කරුවෝ වෙති. ඔවුහූ සෙරොක්ස් ආයතනයේ දී ඔවුන් කළ නව නිර්මාණ තුළින් ජොබ්ස් ඔහුගේ අනාගත පෙරළිකාර මැකින්ටොෂ් පරිගණකය දුටුවේය. ඒත් අද කිසිවකු ඒ මුල් නිර්මාපකයන්ගේ නම් ගැන දන්නේ නැත. පළමු ඩිජිටල් සංගීත වාදන මෙවලම තැනුවේ කවුරුන්ද? ටැබ්ලට් පරිගණකය නිපදෙව්වේ කවුරුන්ද? ස්මාට්ෆෝනය කාගේ නිපැයුමක්ද? එහි මුල් නිර්මාපකයා කවරෙක්දැයි අපි නොදනිමු. ඔවුන්ගේ මුහුණු කිසිදාක ‘ටයිම්’ සඟරාවේ කවරය සැරසුවේ නැත. ඒත් අයිපොඞ්, අයිපැඞ් හා අයිෆෝනය අපට දායාද කළේ කවුරුන්දැයි අපි දනිමු. ඒ ස්ටීව් ජොබ්ස් ය. ඔහු ටයිම් සඟරාවේ කවරය අට වරක් ම සැරසූ බව ‘ටයිම්’ සඟරාව කියයි. (2011 නොවැම්බර් 21 ටයිම්)


ස්ටීව් ජොබ්ස් පරිගණක විද්‍යාඥයකු නොවේ. ඉංජිනේරුවකු ද නොවේ. කර්මාන්තකරුවකු ද නොවේ. තාක්ෂණික ශිල්පියකු ද නොවේ. එහෙත් ඔහු වර්තමාන ලෝකයේ හැදෙන සෑම නව නිපැයුමක් ම වඩාත් හුරුබුහුටි නම්‍යශීලී ලෙස හැඩ ගැස්විය හැකි, වැඩි දෙනකුගේ ආකර්ෂණය ලද හැකි අයුරු ඉවෙන් මෙන් දැන සිටි අයෙකි. වර්තමාන ලෝකයේ ජන ජීවිතය ක්ෂණිකව වෙනස් කළ හැකි මං විවර කරන විස්මිත යතුර අතින් ගත් යුග පුරුෂයා ලෙස අපි ඔහු දකිමු.

එහෙත් ඔහු ක‍්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවීය. විශ්ව විද්‍යාලයකින් ලද උපාධියක් හෝ තාක්ෂණික ආයතනයකින් ලැබූ සහතිකයක් හෝ ඔහුට තිබුණේ නැත. එපමණක් නොව ඔහුට හරිහමන් උත්පත්තියක් වත් තිබුණේ නැත. ඔහු උපන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහිදීය. ඔහුගේ මවුපියන් වූයේ අවිවාහක තරුණ සරසවි සිසුන් දෙපළකි. පියා ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයට ඉගෙනුම පිණිස ආවේ සිරියාවේ සිටයි. මව එම විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් තරුණියකි. ඔවුන් දෙදෙනාම සරසවි සිසුන් වූ නිසා ස්ටීව් දරුකමට හදා ගැනීමට කැලිෆෝනියාවේ මවුන්ට්විව්හී පෝල් හා ක්ලේරා ජොබ්ස් නම් ඇමරිකානු පවුලට හදා වඩා ගැනීමට දෙනු ලැබීය. ඒ අනුව ඔහු, ස්ටිව් පෝල් ජොබ්ස් විය.



තමන් හදා වඩාගත් දෙමාපියන්ගේ මුදල් නිකරුණේ නාස්ති කරන්නට අකමැති වූ ඔහු උසස් අධ්‍යාපනය අත් හළේය. තමා සොයන දෙය විශ්ව විද්‍යාල තුළ නැතැයි ඔහු තේරුම් ගත්තේය. ඒ නිසා ඔහු රැුකියාවක් කරන්නට සිතුවේය. ‘මට නිදා ගන්න තැනක් තිබුණේ නෑ. මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම. කෑම වේල පිරිමහ ගන්න කොකාකෝලා මූඩි එකතු කරල වික්කා. ඉරිදට හැතැප්ම හතක් පයින් ගියා හරේකි‍්‍රෂ්ණා මඩමට බඩ පිරෙන්න වේලක් කන්න’ ඔහු හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ තාවකාලික රැුකියාවක් ද කළේය. ඔහු මේ කාලයේ ම බුද්ධාගමට යොමු වුණේය. සෙන් බුදුදහමට, භාවනාවට හා කුන්ෆූවලට ඔහුගේ සිත ඇදී ගියේය. 1974 දී ඔහු ඉන්දියාවට ගොස් බුද්ධාගම්කාරයකු විය. ආපසු ආවේ සම්පූර්ණයෙන් ම වෙනස් මිනිසකු වෙමිනි.

ස්ටීව්ට අනික් ස්ටීව් එක් වූයේ ඒ අතරය. ඒ ඔහුගේ පැරණි පාසල් මිතුරකු වූ ස්ටීව් ගැරී වොෂ්නියැක් ය. ඒ වන විට ඒ ස්ටීව් ද, හෙව්ලෙට් පැකාර්ඞ් සමාගමේ සේවයෙන් ඉවත්ව පරිගණක එකලස් කර මිතුරන්ට අළෙවි කරමින් සිටියේය. ස්ටිව් ජොබ්ස් පරිගණක කී‍්‍රඩාවක් නිපදවන්නට තමාට ලැබුණු කොන්තරාත්තුවක් වොෂ්නියැක්ට දී ලාබ බෙදා ගත්තේය. පසුව  ඔවුන් දෙදෙනා එක්ව 1976 අපේ‍්‍රල් 1 වැනිදා (මෝඩයන්ගේ දවසේ) ඇපල් සමාගම කළහ.


ස්ටීව් ජොබ්ස් ලොව බිහි වූ අමුතුම චරිතයකි. හැම විට ම අලූත් දෙයක් ලෝකයට දෙන්නට ඔහුට උවමනා විය. වසර 30ක් තුළ ඔහු විවිධ වෙස් ගත්තේය. අලූත් අලූත් ආයතන බිහි කළේය. ඒ අනුව ඔහුගේ මුහුණුවර ද වෙනස් විය. ඇපල් සමාගමෙන් ඉවත්ව වෙනත් සමාගම් ගණනාවක් බිහි කළ ඔහු යළිත් ඇපල් සමාගමට එක් වී එය 2011 දී ඔහු මිය යන විට ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහි වූ වටිනාම වෙළඳ සමාගම බවට පත් කළේය. ඇපල් නාමය ලොව විශිෂ්ටතම වෙළඳ නාමය ලෙසටත් පත් කළේය.

ඔහුගේ නමට පමණක් ඇමරිකානු පේටන්ට් බලපත‍්‍ර 338ක් තිබේ. ස්ටීව් ජොබ්ස් අපට කළ මෙහෙය තේරුම් ගන්නට පහත සඳහන් නවෝත්පාදන වට්ටෝරුවම ප‍්‍රමාණවත්ය. මේවායින් එකක් හෝ කීපයක් තමන්ගේ සේවයට නොගන්නා කෙනකු අද සමාජයේ නැති තරම්ය.

  • පුද්ගලික පරිගණකය (PC) නිර්මාණය කොට ජනපි‍්‍රය කරවීම. (ඇපල් II පරිගණකය 1977 දී)
  • මවුසය, අයිකන හා ග‍්‍රාෆික යෙදු අතුරුමුහුණත සහිත නවීන පරිගණකය හඳුන්වා දීම. (1984 දී, ඇපල් මැක් හඳුන්වා දී මුල් මාස දෙකහමාර තුළ 50,000ක් අළෙවි විය.)
  • පරිගණක භාවිතයේ මහ පෙරළියක් කළ මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම. (මැක්  ඕඑස් 1984 දී)
  • නූතන ප‍්‍රකාශන මාදිලි සියල්ල නිර්මාණයට දායක වීම. (බිට්මැප් ඩිස්ප්ලේ, ඇපල් ලේසර් රයිටරය හා ඇල්ඩස් පේජ්මේකර් 1984, 1985 දී)
  • ලොව ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රචාරණ වැඩසටහන් දෙකක් සැලසුම් කොට දියත් කිරීම. (මැකින්ටොෂ් සුපර් බෝල් ඇඞ් 1984 දී, තින්ක් ඩිෆරන්ට් 1997 දී)
  • දැන් භාවිත කරන නවීන චිත‍්‍රපට සජීවිකරණ ක‍්‍රමය බිහි කිරීම. (1986 දී ජෝර්ජ් ලූකාස්ගේ පික්ස් ගෲප් චිත‍්‍රාගාරය මිලට ගෙන එය පික්සර් Pixar ලෙස නම වෙනස් කොට සජීවිකරණ ක‍්‍රමයට නව මුහුණුවරක් දුන්නේය. 1995 දී ටෝයි ස්ටෝරි Toy Story ඇතුළු සජීවිකරණ චිත‍්‍රපට රැසක් නිපදවූයේ ඒ චිත‍්‍රාගාරයෙනි. ඒවා ඔස්කාර් සම්මානයෙන් පුදනු ලැබීය. 2006 දී වෝල්ට් ඩිස්නි සමාගම පික්සර් සමාගම මිල දී ගත්තෙන් ස්ටීව් ජොබ්ස් ඩිස්නි සමාගමෙහි වැඩිම කොටස් හිමිකරු විය.)
  • අතේ ගෙන යා හැකි ලැප්ටොප් පරිගණකය ලොවට හඳුන්වා දීම. (1989 දී පවර් බුක්)
  • ඩෙස්ක්ටොප් පරිගණකයට නව මුහුණුවරක් දී ප‍්‍රචලිත කිරීම. (1998 දී ඇපල් අයිමැක් IMac)
  • නවීන පරිගණක පද්ධති දෙකක් හඳුන්වාදී ජනපි‍්‍රය කරවීම.(1989 දී නෙක්ස්ට් සහ 2002 දී  ඕඑස්එක්ස් Mac OS X)
  • පරිගණක ක‍්‍රමලේඛ ශිල්පීන් උදෙසා නව මෙවලම් පෙළක් හඳුන්වා දීම (1989 දී නෙක්ස්ටෙප්)
  • ඊ-මේල් සමග ලොව  ඕනෑම තැනකට හඬ, රූප හා වීඩියෝ යැවිය හැකි ක‍්‍රමයක් හඳුන්වා දීම. (1990 දී නෙක්ස්ට් මේල්)
  • නවීන ඩිජිටල් මියුසික් ප්ලේයරයක් හඳුන්වා ප‍්‍රචලිත කිරීම (2001 දී අයිපොඞ් IPod)
  • ඩිජිටල් ක‍්‍රමයට ගීත හා වෙනත් සංගීත ඛණ්ඩ කළමනාකරණයට හා ලබා ගැනීමට නව ක‍්‍රමයක් හඳුන්වා දීම. (2001 දී අයිටියුන්ස් ITunes මෘදුකාංගය)
  • ලෝකයේ විශාල අළෙවියක් වාර්තා කළ සිල්ලර වෙළඳසල් ජාලය ආරම්භ කිරීම. (ඇපල් ස්ටෝර්ස් Apple Stores)
  • සීඞී තැටි ක‍්‍රමය වෙනුවට වෙබ් අඩවියක් ඔස්සේ ගීත මිල දී ගැනීමේ ක‍්‍රමය හඳුන්වා දීම. (2003 දී අයිටියුන්ස්)
  • ඩිජිටල් මීඩියා නිර්මාණයට හා කලමනාකරණයට නව ආරක පරිගණක වැඩසටහනක් හඳුන්වා දීම. (2003 දී අයි ලයිෆ්)
  • රැහැන් රහිත රූපවාහිනී ක‍්‍රමය හා කේබල් රූපවාහිනි ක‍්‍රමය වෙනුවට අන්තර් ජාලය හරහා එය කළ හැකි නව ක‍්‍රමයක් හඳුන්වා දීම. (2007 දී අයිටියුන්ස් හා ඇපල් ටීවී)
  • ජංගම දුරකතනය හා පරිගණකය එක්කොට ‘ටච් ස්කී‍්‍රන්’ (අතට සංවේදී තිරයක්) සහිත ස්මාට්ෆෝනය හඳුන්වා දීම (2007 දී අයිෆෝනය IPhone)
  • ලැප්ටොප් පරිගණකය වඩාත් ප‍්‍රබල තත්වයට පත් කොට ලොව පුරා ප‍්‍රචලිත කළේය. (2006 දී මැක් බුක් හා 2008 දී මැක් බුක් එයාර්)
  • පරිගණක මෘදුකාංග සීඞී/ඞීවීඞීවලින් ලබාදීම වෙනුවට අන්තර් ජාලය හරහා අළෙවි කිරීමට ක‍්‍රමයක් හඳුන්වා දීම. (2006 දී ඇපල් ඇප් ස්ටෝර්)
  • නවීන ටැබ්ලට් පරිගණකය හඳුන්වා දීම. (2010 දී අයිපෑඞ් IPad)
  • අන්තර් ජාලය ඔස්සේ පළවන සඟරා හඳුන්වා දීම. (2011 ඇපල් නිවුස්ටෑන්ඞ්)
  • කෘති‍්‍රම පරිගණක බුද්ධිය පොදු ජන භාවිතයේ ඇති උපාංගවලට එක් කිරීම. (2011 දී අයිෆෝනයට එක් කළ ඇපල් සිරි Apple Siri ඇප්ලිකේෂන් නම් මෘදුකාංගය)


    ස්ටීව් ජොබ්ස්ගේ සේවය ජෝන් ෆෝඞ් හා ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් යන දෙදෙනාගේ සේවයට සමාන කොට දක්වා ඇමරිකානු ජනමාධ්‍ය ඔහු පිළිබඳ ලිපි පළ කළේය. එහෙත් ස්ටීව් ජොබ්ස්ගේ ඇති සුවිශේෂත්වය ඔහු ඒ දෙදෙනා තරම් දිගු කලක් ජීවත් නොවීමය.

    ෆෝබ්ස් සඟරාව ස්ටීව් ජොබ්ස් 2011 දී ලෝකයේ බලවත්ම පුද්ගලයන් අතර 17 වැනියාට නම් කළ අතර, ‘ෆනැන්ෂියල් ටයිම්ස්’ සඟරාව 2011 වසරේ විශිෂ්ටතමයා ලෙස ස්ටීව් ජොබ්ස් හැඳින්වීය. පෙප්සි සමාගමේ විධායක ජෝන් ස්කලී (කලක් ඇපල් සමාගමේ සේවය කළ) ස්ටීව් ජොබ්ස්  ගැන දක්වා ඇති අදහසකින් මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. ‘ඔහුගේ සැලසුම වූයේ ඇපල් සමාගම පාරිභෝගික ද්‍රව්‍ය නිපදවන සමාගම් අතර ඉහළට ගෙන එන්නටය. ඒත් එය පිස්සු විකාර අදහසක් යැයි අප මුල දී සිතුවේ අධි-තාක්ෂණය පොදු ජනයාට ගැළපෙන ලෙස සකසා පාරිභෝගික භාණ්ඩයක් ජනගත කිරීම කළ නොහැකි හැකි යැයි මතයක් අප තුළ පැවති නිසයි. ඒත් අප හැමදෙනාට ම වැරදුන හැටි’ ජෝන් සිය ආත්ම චරිත කතාවෙහි සඳහන් කර ඇත.

    - පර්සි ජයමාන්න

    ස්ටීව් ජොබ්ස්ගේ විශේෂ වීඩ්යෝපට දෙකක් පහතින් බලන්න.



    සමනළයා : පාඨක නිර්මාණ



    මල් පෙති මෙන් ඔබේ අත්තටු
    හරි සිනිදුයි සමනළයෝ
    දේදුන්නේ පාට වගෙයි
    හරිම හැඩයි සමනළයෝ

    මලින් මලට රොන් අරගෙන
    මල් පෙති මත අඩි තිය තිය
    හොරෙන් හොරෙන් පාන්දරම
    කොහෙද යන්නෙ සමනළයෝ

    රෝස කැකුළු සමන් පිච්ච
    ඉද්ද පොකුරු සුදු අරලිය
    මල් ගොමු තුල මලින් මලට
    ඉගිල කොහෙද යන්නේ ඔබ

    බුදු සාදුට මල් අරගෙන
    සිරීපාදෙ යනවද ඔබ
    බුදු පුදනට මල් අරගෙන
    මම එන්නද ඔබත් එක්ක

    ~ප්‍රභානි අනුත්තරා~
    0

    හාවා ගේ වග : දැන මුතු


    බොහෝ විට නිර්මාණ සඳහා යොදා ගත්තේ ළමයින්ගේ සිත් ඇදගන්නා සුරතල් සතුන් ය. එයින් හාවාට හා ලේනාට ලැබෙන්නේ සුවිශේෂ තැනකි. කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමියන්, කේ.ජී. පෙරේරා, කරුණාරත්න අබේසේකර ආදී හැම ළමා පද්‍ය නිර්මාණකරුවකුම හාවා ගාවා ගත් අත්දැකීම් අපේ ළමා පරපුරට දායාද කොට තිබේ. හාවා යෙදා ගෙන කළ ඒ නිර්මාණ අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය වන්නේ කුමාරතුංග මුනිදාසගේ ‘හාවා ගේ වග’ නම් පැදි පෙළයි. එය ඔහුගේ ‘කියවන නුවණ’ පළමු පොතෙහි පළමුවෙන් ම පළ විය.

    1. හා හා හරි       හාවා
        කැලේ මැදින්    ආවා
        හිට ගෙන ගඟ   ගාවා
        වට පිට ඇහැ    ලෑවා

    2. කොළ දෙ කටක් කෑවා
        පැන් උගුරක්      බීවා
        තොල කට ලෙව කෑවා
        ඉතින් ඇතැයි     කීවා

    3. තබා නිකට       ගාවා
        වීණාවක්          ගෑවා
        මිහිරි සින්දු        කීවා
        නැටුම් ටිකක්     පෑවා

    4. එයින් වෙහෙස    වූවා
        ඉඳ-ගෙන හති    ලෑවා
        තණ බිස්සේ      බාවා
        ඇඟපත      සැතැපූවා

    5.    බිරුම් හඬක්      ආවා
        ඉහළ වීසි          වූවා
        කොඳු ඇට හිට    වූවා
        කන් දෙක දිග    පෑවා

    6. බිරීම ළං          වූවා
        කඳ හරහට       බාවා
        පතර පයට       පාවා
        දීලා ‘යමු’        කීවා

    7. පඳුරු උඩින්    බෝවා
        විදිලි කෙටිලි     පෑවා
        කොළ සර බර   ගෑවා
        බිරූ කටත්       ආවා

    8. බිරීම         නැවතූවා
        නාසය බිම       ගෑවා
        ඇහින් රැුහැන්    ලෑවා
        කොයිද කොයි ද හාවා

    මේ පැදි පෙළ ළමයා ඉදිරියේ එම සිදු වීම චිත‍්‍රයක් සේ මවා පෑමට සමත් අති විශිෂ්ට නිර්මාණයකි. හාවා කැළේ මැදින් මතු වන හැටි, ඌ ගඟ ළඟ ගත කළ හැටි, එක් වරම හඬක් ආ හැටි, ඉන් පසු ඌ හැසුරුණු හැටි කවියා චිත‍්‍රණය කරන අන්දම අපූරුය. කෙටි විරිත නිසා ඉන් නැෙඟන හඬින් හාවාගේ චලනය හා එහි රිද්මය ද අපට දැනෙයි; එසේ ම පෙනෙයි. හාවාත්, මෙය කියවන අපත් මොහොතකට සැනසීමක් ලබන අතර එක් වරම බිරුම් හඬක් එයි. හාවාගේ සැනසීම නැති වෙයි. අපට ද එසේ ම ය. බිරුම් හඬ කාගේ දැයි නොකියයි. ඒත් එය ඇඟවෙයි. හාවා සැණෙකින් පැන යයි. බිරුම් ‘කට’ පඳුරු අස්සේ කොළ අතරින් මතු වෙයි. කුමරතුඟුවන්ගේ අසමසම කවි කුසලතාව පුංචි වුනත් මේ කවි අටෙන් පෙනේ. දරුවන්ගේ නිර්මාණ ශක්තිය අවුස්සන ගතියක්, කවි තනන්නට ළමුන් පොලඹවන ගුණයක් එහි දැකිය හැකිය. මෙය එදා පළමු වන පන්තියේ (අද 2 ශ්‍රේණියේ) දරුවන්ට කුමරතුඟුවන් තිළිණ කළ පාඩමෙකි. එයින් ළමයාගේ ඥාන මණ්ඩලය කෙතරම් පුළුල් වේද යන්න ඒ සඳහා යොදා ඇති පහත දැක්වෙන ඇබෑසියේ එන ප‍්‍රශ්නාවලියෙන් මනාවට පසක් වෙයි.

    ඇබෑසිය:
        1. කොයින් ආවා ද හාවා?
        2. ගඟ ළඟ කුමක් කළා ද?
        3. වීණාව කුමකට ද?
        4. ඇයි හති ලෑවේ?
        5. ඇඟ බෑවුවේ කුමට?
        6. කොයින් ද බිරුම ආවේ?
        7. එයින් වූයේ කිම?
        8. කුමක් කළා ද හාවා?
        9. බිරීම ටිකින් ටික කොහිද ඇසෙන්නට වූයේ?
        10. හාවා කුමක් කළා ද එ විට?
        11. පඳුරු උඩින් විදිලි කෙටිලි පෙනුණේ ඇයි?
        12. කොළ කුමක් කළා ද?
        13. ඇයි කොළ එ සේ කළේ?
        14. කුමක් ආවා ද?
        15. බිරූ කට ආයේ කෙසේ ද?
        16. ආ සතා කුමක් කළා ද?
        17. ඇයි බිරීම නැවැතුවේ?
        18. නාසය බිම ගෑයේ කුමට ද?
        19. කෙසේ ද ඇහින් රැහැන් ලන්නේ?

    මේ පැන ගැන ළමයාගේ අවධානය යොමු වූ පසු, ඔහු එතෙක් නො දත් බොහෝ දෑ දත්තකු වෙයි. මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන ළමයාගේ දැනුම පුළුල් වනවා පමණක් නොව මෙය රස විඳින ළමයකු කවියකු වීම ද පුදුමයක් නොවේ.

    මේ පැදි පෙළ වෙනත් නිර්මාණ රැසකටද මඟ පාදා ඇති බව නොරහසකි. ඉන් ජනපි‍්‍රය ගීත කීපයක් බිහිවූවා පමණක් නොව එයින් පැදි කීපයක් ටයිටස් තොටවත්ත සූරීන් විදෙස් කාටූන් පටයක් වර්ණවත් කිරීමටද යොදා ගෙන තිබේ.


    0

    දෙවියො දුන්නු වස්තුව : නස්රුදින්ගේ කතාවක්

    ‘‘මට රස්සාවක් ලබා ගන්න බෑ’’ නස්රුදින් බිරිඳට කීවා. ‘‘ඒ මොකද මං දැනටමත් අති උත්තම දෙවියන්ගේ සේවයට කැපවෙලා තියෙන්නෙ.’’

    ‘‘එහෙමනම් ඔහෙගෙ පඩිය දෙවියන්ගෙන් ඉල්ලා ගන්නවා. ඒ මොකද හැම ස්වාමියකු ම සේවකයන්ට පඩි ගෙවන්න  ඕනෑ.’’ බිරිඳ කීවා.

    ‘‘හරියට හරි’’ නස්රුදින් හිතුවා.

    ‘‘මට මෙච්චර කල් ගෙව්වෙ නැත්තෙ මං කවදාවත් ඉල්ලූවෙ නෑනෙ’’ ඔහු ඊළඟට කීවා.

    ‘‘ඉතින් එහෙනම් ගිහින් ඉල්ලනවා’’ බිරිඳ කීවා.

    නස්රුදින් ගෙයින් පිටත වත්තට ගියා. ගිහින් දණ ගහගෙන දෙවියන්ට යාච්ඤා කළා.

    ‘‘ ඕ අල්ලාහ්, මං මෙච්චර කල් ඔබ වහන්සේට කළ සේවයට හරියන්න පඩියක් වශයෙන් රන්මසු සීයක් එවනු මැනවි’’

    අල්ලපු වත්තෙ පදිංචිවෙලා හිටියෙ සල්ලි පොලියට දෙන මිනිහෙක්. එය නස්රුදින්ගේ මේ ඉල්ලීම අහගෙන හිටියා. ඔහු පුංචි විහිළුවක් කරන්න හිතාගෙන රන්මසු සීයක මල්ලක් ජනේලෙන් එළියට විසි කළා, නස්රුදින් දණ ගහගෙන යාච්ඤා කරමින් උන් තැනට වැටෙන්න. නස්රුදින් හිස ඔසවල බලපුවාම මෙන්න සල්ලි මල්ලක් තියෙනවා එයා ඉදිරිපිට.

    මිනිහ බොහොම ආඩම්බරයෙන්, සන්තෝසෙන් නැගිට්ටා. ‘‘මමත් සාන්තුවරයෙක්. දෙවියො මගෙ හිඟ පඩි එව්වා.’’යයි කියමින් ඔහු ඒ මුදල බිරිඳ අත තිබ්බා.

    ඇයටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි.

    මේ සියල්ල අල්ලපු ගෙදර මනුස්සයා වරින්වර හොරෙන් බලා සිටියා. නස්රුදින්ගෙ ගෙදර කලබලය ටිකක් වැඩි බව දැකල විමසිල්ලෙන් බලපුවහම ඔහුට පෙනුණා, ලී බඩු, ඇඳුම් පැලඳුම්, කෑම ජාති කරගහගත්තු මිනිස්සු ඒවා ගෙනත් දීල යනවා. විහිළුව ටිකක් දුර දිග ගිය බව ඔහුට තේරුණා. නස්රුදින්ගේ බිරිඳ ඒ මුදලින් අවශ්‍ය හැම දේම ගෙන්නා ගන්න කටයුතු කරන බව දැනිලා වැඬේ තව දුර දිග යන්න කලින් තමන් කරපු දේ ගැන කියන්න කල්පනා කළා. එහෙම කල්පනා කරල නස්රුදින්ගෙ ගෙදරට ගිහිල්ල වෙච්ච දේ කියල තමන්ගෙ සල්ලි ආපසු ඉල්ලූවා.

    ‘‘තමුසෙට පිස්සුද? තමුසෙ අහගෙන ඉඳලා මං ඒක දෙයියන්ගෙන් ඉල්ලනව, දැන් එනව ඒකට අයිතිවාසිකම් කියන්න. ඒක නම් හරියන්නෙ නෑ’’ නස්රුදින් කීවා.

    අසල්වැසියා කීවා, ‘‘මේක විනිශ්චය ශාලාවට ගිහින් බේරුමක් කර ගනිමු’’ කියල.

    ‘‘මට මෙහෙම යන්න බෑ’’ නස්රුදින් කිව්වා. ‘‘මට හොඳ ඇඳුමක්වත් නෑ. හොඳ අස්සයෙක්වත් නෑ. මෙහෙම ගියොත් අපි දෙන්නගෙ පෙනුම දිහා බලල නඩුකාරයා මගේ අවලස්සනකම ගැන කෝප වෙලා මට අසාධාරණයක් කරල ඔහෙගෙ පැත්තට අදීවි’’ එහෙම කියල යන්න බෑම කිව්වා.

    කොහොම හරි නස්රුදින්ව එක්ක යන්න කල්පනා කළ අසල්වැසියා ඔහුට තමන්ගෙම ඇඳුමක් අන්දලා තමන්ගෙම අස්සයකු පිට ඔහු නංවාගෙන නඩුකාරයා ළඟට එක්ක ගියා.

    ඉස්සෙල්ලම අසල්වැසියා පැමිණිල්ල ඉදිරිපත් කළා.

    ‘‘මොනවද මේ ගැන තමාට නිදහසට කියන්න තියෙන්නෙ?’’ නඩුකාරයා නස්රුදින්ගෙන් ඇහුවා.

    ‘‘ස්වාමීනි, මේ මිනිහට පිස්සු’’ නස්රුදින් කිව්වා.

    ‘‘මොනවද ඒකට තියෙන සාක්කි?’’

    ‘‘මිනිහගෙ කට ම තමා, මටත් සාක්කි කියන්නෙ. මිනිහ හිතනව මේ හැම එකක් ම එයාට අයිතියි කියලා. ඔබතුමා ම අහන්න මගෙ අස්සය ගැන, වෙන එකක් තියා මේ මගේ ඇඳුම ගැන අහන්න. ඔය රන්මසු වගේ ම මිනිහ ඒවත් එයාගෙයි කියාවි’’

    ‘‘ඒක ඇත්ත නෙ. ඒවා මගේ තමයි’’ අසල්වැසියා කැගහල කිව්වා.

    නඩුව අහක ගියා.

    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010)
    0

    මාළුන් තුන්දෙනා - පුන්නුවණා, අඩනුවණා හා නුනුවණා : සූෆි උපමා කතාවක්

    එකමත් එක රටක මාළු තුන්දෙනෙක් හිටියා. ඔවුන්ගේ එකකුගේ නම පුන්නුවණා, අනෙකා අඩනුවණා වූ අතර තුන්වැන්නා නුනුවණා නම් වුණා. අනික්  ඕනෑම තැනක ඉන්නා මාළුන්ගේ මෙන් මේ මාළුන්ගේ ජීවිත සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. ඔහොම කල් යන කොට දවසක් මිනිසෙක් දැලකුත් අතින් අරන් විල දිහාට ආවා. පුන් නුවණා ජලය විනිවිද මිනිසා එනු දුටුවා. ඌ එතෙක් ලත් අත්දැකීම්, අසා ඇති දේ මෙන් ම තමන් සතු බුද්ධිය ද මෙහෙයවා අනතුරක් ළඟ එන බව තේරුම් ගත්තා. එයින් ගැළවීමට වහා කි‍්‍රයාත්මක විය යුතු යැයි පුන් නුවණා තීරණය කළා.

    ‘‘මේ පුංචි විලේ හැංගෙන්න තැන් ඒ තරම් නෑ. ඒ නිසා මං මළා වාගේ ඉන්න  ඕනෑ.’’ පුන් නුවණා කල්පනා කළා.

    පුන්නුවණා උගේ මුළු ශක්තියම යොදා විලෙන් ගොඩට පැන හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. විල ළඟට ආ මිනිසා තමාගේ දෙපා ඉදිරියේ වැටී මියගිය මේ මාළුවා පිරික්සා බලා හුස්ම නොගන්නා බව තේරුම් ගෙන විමතියෙන් යුතුව උගේ වලිගයෙන් අල්ලා ආපසු විලට විසි කළා. වතුරට වැටුණු පුන්නුවණා මොහොතක් මළාක් මෙන් සිට හෙමින් සීරුවේ වතුර යටට ගිහින් ඉවුරේ කුඩා සිදුරකට රිංගා සැඟවුණා.

    දෙවැන්නා වූ අඩනුවණාට ඒක එකපාරටම තේරුණේ නෑ. ඌ පුන්නුවණා වෙත පිහිනා ගොස් ඒ ගැන විමසුවා.

    ‘‘මං ගොඩට පැනලා මළාක් වාගේ හිටියා. ඉතින් එයා ආපහු විලට විසි කළා.’’ පුන්නුවණා කීවා.

    ඉතින් අඩනුවණාත් කළේ වහාම දියෙන් ගොඩට පැන මිනිසාගේ දෙපා මුලට වැටීමයි.

    ‘‘හරි පුදුමයි, මේ විලේ මාළු හැමතැනින් ම ගොඩටට පනිනවා.’’ මිනිසා තමාට ම කියා ගත්තා.

    මිනිසාගේ දෙපා මුලට වැටුණත් අඩනුවණාට පුන්නුවණා කී විදියට හුස්ම අල්ලා සිටීමට අමතක වුණා. පාත් වී බැලූ මිනිසාට ඌ හුස්ම ගන්නා බව පෙනුණා. ඒ නිසා ඔහු අඩනුවණා අල්ලා හිණෙහි වූ මල්ල තුළට දැම්මා. මාළුන් දෙන්නකුම ගොඩ පිනූ නිසා ඔහුගේ මොළය අවුල් ව ගියෙන් ඔහුට මල්ලෙහි කට වැසීමට අමතක වුණා. ඔහු තවත් මාළු ඇද්දැයි විලට එබී බලන අතරේ අඩනුවණා හෙමින් සීරුවේ මල්ලෙන් ඉවතට පැන යළිත් දියට රිංගා ගැනීමට සමත් වුණා. පුන්නුවණා සැඟවී සිටි ගුල අසලට ගිය ඌ වෙනත් ගුලකට රිංගා ගත්තා.

    දැන් ආවේ තුන්වැන්නා වූ නුනුවණාගේ වාරයයි. ඌ නමට ම සරිලන ආකාරයේ මෝඩයකු වුණා. අනෙක් මාළුන් දෙන්නා ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළත් ඌට ඒවා තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මිනිසාගෙන් ගැලවීමට නම් මළාක් මෙන් සිටීමට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා හුස්ම අල්ලා ගෙන සිටිය යුතු බවත් ඒ මාළුන් දෙන්නා කීවා. කීපවරක් ම කියා දුන් පසු තමන්ට එය හොඳින් වැටහුණු බව නුනුවණා පිළිගත්තා.

    ‘‘බොහොම ස්තුතියි, මට දැන් තේරෙනවා’’ නුනුවණා කීවා. ඒ විගස ම ඌ දිය මතු පිටට අවුත් එක්වර ම ගොඩ බිමට පැන මිනිසාගේ දෙපා අසලින් වැතිරුණා. ඌ අනෙක් දෙදෙනා කී විදියට ම හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. දැනටමත් මාළුන් දෙදෙනකු අහිමි වීම ගැන සිත් තැවුලෙන් සිටි මිනිසා නුනුවුණා මළ බවවත් නොවිමසාම ඌ මල්ල තුළට දමා එහි කට හොඳින් වසා දැම්මා.

    ඉන්පසු මිනිසා තවත් මාළුන් අල්ලා ගන්නට වෙහෙසුණත් තවත් කිසිම මාළුවකු ඔහු අහු වුණේ නෑ. මුලින් ම අසුවී දියට දැමූ දෙදෙනාවත් ඔහුට අල්ලා ගන්න බැරි වුණා. තවත් එක මාළුවකුවත් අල්ලා ගත නොහැකි වූ තැන ඔහු සිය උත්සාහය අත්හැරියා. දැලත් අකුලා ගෙන යන්නට හැරුණු ඔහු අන්තිමේ දී හිණෙහි වූ මල්ල ඇර බැලූවා. මල්ල තුළ ඉන්නා මාළුවා හුස්ම නොගන්නා බව දැක ඌ යළිත් විලට විසි කරන්නට සිතූ ඔහු මඳක් කල්පනා කර, ‘‘ඔන්න ඔහෙ බල්ලට දෙන්නවත් ගෙදර ගෙනියනවා’’ යැයි තමාටම කියා ගත් ඔහු ඒ මාළුවා ගෙදර අරගෙන ගියා.

    (පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990)
    2

    වනදිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන් : විශිෂ්ට චරිත


    ජෝයි ඇඩම්සන් ලෝකයේ කාන්තාවන් අතර කැපී පෙනෙන විශිෂ්ට චරිතයක්. ඇය ලොව පුරා බොහෝ දෙනා අඳුනන්නේ සතුන් පිළිබඳ අනුවේදනීය තුන් ඈඳුතු කෘතියක් කළ සුප‍්‍රකට ලේඛිකාවක් ලෙසයි. එහෙත් ඇය ඊටත් එහා ගිය චරිතයක්. ඇය වන ජීවී විද්‍යාඥවරියක්. වන සතුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සුවිශේෂ කාන්තාවක්.

    ෆෙඞ්රික් වික්ටෝරියා ඇඩම්ස් ලෙස 1910 වසරේ ජනවාරි 20 වැනිදා ඔස්ටි‍්‍රයාවේ ට්‍රෝපෝ ප‍්‍රදේශයේ සිලෙසියා නගරයේ (වත්මන් චෙක් ජනරජයේ) දී උපන් ඇය ලෝක ප‍්‍රකට වූයේ අපි‍්‍රකාව නිසා ඇය ලත් නව චරිතය හේතුවෙනි. ඇගේ ජීවිතය මේ නව මගට හැරුණේ තෙවැනි වරට සිදුවූ විවාහයෙන් පසුවයි. එවර ඇගේ සැමියා වූයේ බි‍්‍රතාන්‍ය වන ජීවී නිලධාරියකු වූ ජෝර්ජ් ඇඩම්සන්ය. එතැන් පටන් ජෝයි ඇඩම්සන් වූ ඇය ඔහුත් සමඟ අපි‍්‍රකාවට ගියාය. ඔවුන් පදිංචියට තෝරාගත්තේ කෙන්යාවයි. සිය සැමියා වනෝද්‍යාන භාරකරුවකු වූ නිසා ඇයට ඔහුගේ කටයුතුවලට හවුල් වීමට සිදු විය. එතැන් පටන් ඇය කෙන්යාවේ ජීවත් වෙමින් මියයනතෙක්ම අප‍්‍රිකාවේ වන සතුන්ට ආදරේ කරමින් ඔවුන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකාරී වූවාය.


    එදා අද මෙන්ම අදත්, තවත් අවුරුදු ගණනාවකට අමතක නොවන පොතක් ඇය අතින් පළ වූයේ මේ කාලයේ දීය. ඇය ලොවපුරා ආදරේ දිනා ගත්තේ ඒ පොත නිසයි. මේ පොත තමයි 1960 වසරේ පළ කළ ‘බෝන් ෆී‍්‍ර’ නවකතාව. මෙය ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වී තිබේ. මෙය ‘උපන්නේ නිදැල්ලේ’ නමින් ජයන්ත විමලසේන ශූරීන් අතින් සිංහලට පරිවර්තනය වී තිබේ. මේ පොතට පාදක වී ඇත්තේ හරිම අපූරු සත්‍ය කතාවකි. පොතේ ප‍්‍රධාන චරිතය එල්සා නම් සිංහ ධේනුවයි. මෙය ජෝයි ඇඩම්සන් අපි‍්‍රකාවේ වනගතව ගෙවූ ජීවිතයේ දී ලත් අපූරු අත්දැකීමකි. එල්සා සිංහ ධේනුව ජෝයි සහ ඔහුගේ සැමියා ජෝර්ජ්ට හමුවන්නේ කුඩා පැටවකු අවදියේදීයි. එල්සා ලොකු මහත්කර ඇයව වනයට මුදා හරින තෙක්ම එයාව බලා කියා ගත්තේ ඇඩම්සන් යුවළයි. ‘බෝන් ෆී‍්‍ර’ නවකතාවට පාදක වන්නේ ඒ සිංහ ධේනුවගේ කතාවයි.


    වනයට මුදා හැරියාට පස්සේ ජෝයි ඇගේ ආදරණීය සිංහ ධේනුව අමතක කළේ නැහැ. නිතරම ඇය බලන්නට ගියාය. එල්සා වනයේ ගත කළ ජීවිතය එල්සාගේ පැටවුන් තමයි, ජෝයිගේ මීළඟ නවකතා දෙකට පාදක වුණේ. ඒ නවකතා තමයි ‘ලිවිං ෆී‍්‍ර’ (දිවිසැරිය නිදැල්ලේ) සහ ෆෝ එවර් ෆී‍්‍ර (සඳහටම නිදැල්ලේ). මේ තුන්ඈඳුතු කෘතිය ඇසුරින් චිත‍්‍රපට තුනක් සහ රූපවාහිනී මාලා නාටක පෙළක් නිර්මාණය කෙරුණා පමණක් නොව ඒවා අතිශයින්ම ජනප‍්‍රිය වුණා. වෘත්තාන්ත චිත‍්‍රපට පෙළක් වුණත් ඒවා වනජීවී විද්‍යාත්මක අධ්‍යයනයන් ලෙස ලොකු වටිනාකමක් ඇති ඒවා ලෙස, විචාරකයන්ගේ පිළි ගැනීමට ලක් වී තිබේ. කෙන්යාවේ වන සතුන් හා ජන ජීවිතය අලලා ජෝයි ඇඩම්සන් විසින් තවත් පොත්පත් රැසක්ම ඇගේ ජීවිත කාලය පුරා පළ කර තිබේ.

    සැමියාගේ අභාවයෙන් පසුත් ඇය එහි රැඳෙමින් වනසතුන් ආරක්ෂා කිරීමට පොත්පත් ලීවා පමණක් නොව ඇය ඒ සඳහා වනගතව ජීවත් වෙමින් අසරණ වන සතුන් අනවසර දඩයම්කරුවන්ගෙන් බේරා ගැනීමට ලොකු සටනක් කළාය. කුරිරු දඩයක්කාරයන්ට එරෙහිව නැඟී සිටි ඇය කිහිප වතාවක් ම අසරණ සතුන් ගණනාවකගේ ජීවිත බේරා ගත්තාය. ඒත් අවාසනාවකට සතුන්ට ආදරේ කළ ජෝයි ඇඩම්සන් 1980 වසරේ ජනවාරි තුන් වැනිදා කෙන්යාවේ ෂාබා වන රක්ෂිතයේදී අනවසර දඩයක්කරුවන් පිරිසක් එල්ල කළ වෙඩි පහරකින් මියගියාය. ජෝයි ඇඩම්සන් මියගියත් ඇගේ ඒ විශිෂ්ට චරිතය ඇය පළ කළ බෝන් ෆී‍්‍ර නවකතා ති‍්‍රත්වය ඔස්සේ අමරණීයත්වය පත්ව තිබේ.
    5

    ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි : විස්මිත සොයා ගැනීම්


    ”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත‍්‍රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්.

    ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා පමණක් නොව එක රැයින් ලෝක ප‍්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත්, මේ සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් ඌ වසර මිලියන 60කට පෙර, එනම් ඩයිනසෝරයන්ටත් පෙර, ජීවත්වූ දැනට බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම විද්‍යාඥයන් මේ මාළුවා ගැන දැන  සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් පිරිසකට සීලාකාන්ත් මාළුවකු අසුවුණා කියන්නේ නිධානයක් ලැබුණා වගේ දෙයක් ලෙසයි පොසිල විද්‍යාඥයන් සලකන්නේ.

    ආචාර්ය ස්මිත්ගේ මේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙසට නම් කෙරුණා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සතුන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප‍්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුවත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් නිගමනය කළේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප‍්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වූ එකෙක් කියලයි.

    1997 වසරේ දී ඒ නිගමනයත් බොරු වුණා. ඇමෙරිකානු සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන්ට සහ ඔහුගේ අලූත් මනාලිය වූ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක දී මාළු කරත්තයක දමා සිටි සීලාකාන්ත් මාළුවකු දකින්නට ලැබුණා. ස්මිත් වසර 50ක් තිස්සේ කළා වගේ යළිත් සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගත හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයා දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වූවකු නොවන බව එයින් හෙළි වුණා.

    හොඳින් වැඩුණු සීලාකාන්ත් මසකුගේ දිගින් අඩි 5ක් පමණ වන අතර බරින් රාත්තල් 200ක් පමණ වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ ම බිත්තර පුපුරා වැඩෙන මේ පැටව් මව්කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත‍්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් මිහිමත බහුලව ජීවත් වූයේ මිලියන 400ක් පමණ ඈත අතීතයේ ඩෙවෝනියානු යුගයේ දී යැයි කියවෙනවා. මේ මසුන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. සාගරයෙන් ගොඩබිමට විත් ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් කියන්නේ.

    පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මාළුවකු සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ පිරිසක් සමත් වුණා. ඒ සීලාකාන්ත් මාළුවා හමුවුණේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙන්. විද්‍යාඥයන් පිරිස මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා ලොව පුරා විකාශය වූවාට පසු මේ ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් ගැඹුරු මුහුදේ. සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් සිහිපත් කරනවා. මේ රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රය රොබෝ කැමරාවකින්.

    රූගත කළ වීඩියෝ දසුන්වලට අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගත් පළමු අවස්ථාව මෙයයි. මේ සත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා.

    මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප‍්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවකු මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.

    ඔටුවා හා ජිරාෆ් සමග බළලාට ඇති සමානකම : දැන මුතු


    බළලා, ඔටුවාට හෝ ජීරාෆ්ට හෝ නෑකම් නොකීවාට ඒ දෙදෙනාට කිසියම් සිත්ගන්නාසුලූ සමානකමක් බළලාගේ ද තිබේ. අනෙක් සත්තු ගමන් කරද්දී එක් පැත්තක ඉදිරි පාදයත් අනෙක් පැත්තේ පසු පාදයත් එක විට ඉදිරියට තබති. ඒ එක්කම ඊළඟට අනෙක් පාද දෙකත් ඒ අයුරින්ම ඉදිරියට තබති.

    බළලාත්, ඔටුවාත්, ජීරාෆුත් පාද තබන්නේ වෙනස් ආකාරයටය. ඔවුහූ ඔවුන්ගේ එක පසෙක ඉදිරි පාදයත් පසු පාදයත් එක විට ඉදිරියට තබා ඊළඟට අනික් පස ඉදිරි පාදයත් පසු පාදයත් එක විට ඉදිරියට තබති.
    2

    පී‍්‍රතිමත් චීන මිනිසා හෙවත් සිනාසෙන බුදුපිළිමය : තවත් සෙන් කතාවක්

    චීනයේ විතරක් නොවේ, ඇමෙරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන  ඕනෑම කෙනකුට උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුළුවන්. චීන වෙළඳුන් මෙය හඳුන්වන්නේ ‘ප‍්‍රීතිමත් චීන මිනිසා’ හෙවත් ‘සිනාසෙන බුදු පිළිමය’ කියලයි.

    මේ විදියෙ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ, ඉතා පුරාණයේ චීනයේ ටෑන් රජ කාලයේයි. ඔහුට  ඕනැකමක් තිබුණේ නෑ, තමන් සෙන් ගුරුවරයෙක් ලෙස හඳුන්වන්න. ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්න. ඒ වෙනුවට ඔහු කළේ ලොකු මල්ලක් කරේ දමාගෙන වීදි දිගේ ඇවිද්ද එකයි. ඒ ලොකු මල්ලෙ තිබුණෙ රසකැවිලි, පලතුරු වැනි දේයි. මේවා ඔහු වීථියේ දී සෙල්ලම් කරන්න තමා වටා රොක් වන ළමයින්ට බෙදා දුන්නා. ඔහු වීථි ළමයින්ගේ බාලාංශ පන්තියක් බවට පත් කළා.

    ඔහුට සෙන් බැතිමතකු දුටු හැම විට ම ඔහු අතපා ”මට පැන්සයක් දෙන්න” යැයි කීවා.

    වරක් ඔහු ළමයින් සමග සෙල්ලම් කරන්න යද්දී සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා: ”සෙන් දහමේ අරුත කුමක් ද?”

    හොටෙයි එක්වර ම ඔහුගේ උරමල්ල බිම දැම්මා. ඒ ඔහුගේ නිහඬ පිළිතුර වුණා.

    ”ඊළඟට ඒක කි‍්‍රයාවට නංවන්නේ කොහොමද?” අනෙකා ඇහුවා.

    ඒ පී‍්‍රතිමත් චීන මිනිසා එක්වර ම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා.

    (පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

    රජවාසල මහා ගාලගෝට්ටියක් : අන්දරේගේ කතාවක්

    දිනක් රජ බිසව අන්දරේ හා කතාබහක යෙදී සිටියාය. හදිසියේ ම යමක් මතක් වූ කලෙක මෙන් ඇය අන්දරේට මෙසේ කීවාය:

    ‘‘ආ අන්දරේ, මට ආසයි නුඹේ බිරින්දෑ දැකල කතා බස් කරන්න. දවසක එක්ක එන්නකො බලන්න මාලිගාවට’’

    අන්දරේ මොහොතක් කල්පනා කොට, මෙය බිසවට විහිළුවක් කරන්න හොඳ අවස්ථාවක් යැයි සිතා මෙසේ කීවේය:

    ‘‘අනේ දේවීන් වහන්ස, ඔබ වහන්සෙ කොහොමද ඈත් එක්ක කතා කරන්නෙ? ඇය ටිකක් බිහිරියි, කන් හරියට ඇහෙන්නෙ නෑ නොවැ.’’

    ‘‘ආ ඒකට මොකද, මං හයියෙන් කතා කරන්නම්. හෙට ම එක්ක එන්නකො’’ රජ බිසව කීවාය.

    ‘‘හොඳමයි, එහෙම නම් හෙට ම මං ඇයව කැටුව එන්නම්’’ කියා අන්දරේ ගෙදර ගියේය.

    ගෙදර ගිය ගමන් ම අන්දරේ බිසවගේ ආසාව ගැන බිරිඳට කීවේය.

    ‘‘බිසවුන්නාන්සෙ නුඹව දැකල කතාබහ කරන්න ආසාවෙන් ඉන්නව. ඒ බව මට අද රජවාසලදි කිව්වා.’’

    ‘‘අනේ මමත් ආසාවෙන් උන්නෙ බිසවුන්නාන්සෙව දැකල කතාබහ කරන්න’’ බිරිඳ ඉතා උනන්දුවෙන් කීවාය.

    ‘‘ඒත් ඉතින් කොහොමද ඒක කරන්නෙ’’ අන්දරේ දුක් ස්වරයකින් කීවේය.

    ‘‘ඒ ඇයි අනේ?’’

    ‘‘අනේ උන්නාන්සෙට හරියට කන් ඇහෙන්නෙ නෑ නොවැ’’ අන්දරේ කීවේය.

    ‘‘ආ ඒකට කමක් නෑ. මා හයියෙන් කතා කරන්නම්’’ බිරිඳ කීවාය.

    පසුවදා අන්දරේ බිරිඳත් කැටුව රජ මාලිගයට ගියේය.

    රජ බිසව අන්දරේගේ බිරිඳ දුටු විගස බිහිරි බව මතක් වී මහ හඬින් කතා කළාය.

    ‘‘මොකද මෙච්චර කලෙකට මාලිගාවට නාවේ?’’ බිසව ඇසුවාය.

    මෙච්චර හයියෙන් කතා කරන්නෙ රජ බිසව හැබෑවට ම බහිරි නිසා යැයි සිතූ අන්දරේගේ බිරිඳ ද බිසවගේ හඬට නොදෙවෙනි හඬකින් මෙසේ උත්තර දුන්නාය: ‘‘ඊට වැරදිකාරයා අන්දරේ, මට ඊයෙ නොවැ ඔබ වහන්සේ එන්න කිව් විත්තිය කීවේ’’ 

    රජ සබයේ සිටි රජතුමාට මේ මහා ගාලගෝට්ටිය ඇසුණෙන් රජතුමා හනිකට ඒ දෙසට ආයේය. අන්දරේ ඒ පසෙක සිනාසෙමින් ඉන්නවා දුටු රජතුමාට කාරණය අවබෝධ විය.

    ‘‘දේවිය, ඔය තරම් හයියෙන් කෑගහන්න උවමනා නැහැ. උන්දෑට කන ඇහෙනවා ඔය අන්දරේගේ බොරුවක්.’’ රජතුමා කීවේය.

    බිසව ලැජ්ජාවෙන් සිනාසුණාය.

    ‘‘මේ මිනිහා මටත් ඒ බොරුවමයි කිව්වෙ’’ අන්දරේගේ බිරිඳ නෝක්කාඩුවෙන් අන්දරේ දෙස බලමින් කීවාය.  
    0

    මානසික රෝගයක් නොවන භීතිකාවක් : සුව දැනුම


    ඔබ දන්නවාද මානසික රෝගයක් නොවන ප‍්‍රධාන වශයෙන් කායික රෝගයක් ලෙස හැඳින්වෙන භීතිකාවක් තියෙනවා. යම් අයකුට හෝ සතකුට හෝ මෙම වයිරසයේ  ආසාදනයක් සිදු වුවහොත් එයින් හානි පැමිණෙන්නේ ස්නායු පද්ධතියටයි. ඒ අනුව යමක් ගිලීම කළ නොහැකි වෙනවා. ජලය දැකීම හෝ වැක්කෙරෙන හඬක් ඇසීම හෝ දිය බීමට යාම ආදී කි‍්‍රයාවලදී එවැනි වයිරස ආසාදිතයකු තුළ ආක්ෂේපයත් එහෙමත් නැත්නම් පේශීවල අනිච්ඡානුග ගැස්මක් ඇති වෙනවා. පැරණි ගී‍්‍රකයන් සිතුවේ මේ ගැස්ම ඇති වන්නේ ජලයට ඇති බිය නිසාවෙන් කියලයි. ඒ වැරදි අදහස අනුව ඔවුන් ගී‍්‍රක බසින් ‘ජලයට ඇති බිය’ යන අරුත් ඇති ‘හයිඩ්‍රොෆෝබියා’ වදනින් මේ රෝග තත්වය හැඳින්වුවා. අපිත් ඒ ගී‍්‍රක වදන සිංහලට පෙරළා ඊට ‘ජලභීතිකාව’ කියා අද වැරදි වදනකින් එය හඳුන්වමු.
    0

    කළුවරේ : නස්රුදින්ගේ කතා

    නස්රුදින් යාළුවෙකුත් එක්ක කතා කර කර ඉන්න කොට කළුවර වැටුණා.

    ‘‘දැන් කළුවර වැටුණා නෙ. ලාම්පුවක් පත්තු කරනවකො. ඔය ඔයාගේ වම් පැත්තෙ තියෙන්නෙ.’’ යාළුවා කිව්වා.

    ‘‘මෝඩයා, මං කොහොමද කළුවරේ මගෙ වම දකුණ හොයන්නෙ?’’ නස්රුදින් යාළුවාගෙන් ඇහුවා.

    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010)
    0

    සොරකම් කරනු බැරි සඳ : සෙන් කතා

    රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිටි පුංචි පැලක වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක හොරෙක් ඒ පැලට රිංගුවා මොනව හරි හොරකම් කරන්න හිතා ගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.

    ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා. ”ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න ඇති මාව හොයා ගෙන ආවෙ?” ඔහු හොරාට කීවා. ”ඔබ මෙච්චර දුර ඇවිල්ල හිස් අතින් යන එක හරි නෑ. ඒ හින්දා මං මේ ඇඳන් ඉන්න ඇඳුම තෑග්ගකට ගන්න.”

    අන්දුන්කුන්දුන් වූ හොරා ඒ ඇඳුමත් අරගෙන එතැනින් ඉක්මනට ම මාරු වුණා.

    රියෝකොන් නිරුවතින් වාඩි වී සිටියා. ඔහුට හඳ පායා ඇවිත් තිබෙනු දැකිය හැකි වුණා. ”අහිංසකයා, මට මේ ලස්සන හඳ එයාට දෙන්න පුළුවන්කමක් තිබුණා නම්” ඔහු තමාට ම කියා ගත්තා.

    (පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
    6

    චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය : සංචාරක ඇස ගිය තැන්


    ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි.

    එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළකි. අනික් පැත්තේ අඩි 4000 ක මහා ප‍්‍රපාතයකි. මේ දෙක අතර ඇවිද යන නිර්භීත සංචාරකයා මරණයෙන් ගලවාගන්නා අඩි තුනක් පළල අඩි දෙකහමාරක් ගණකම ඇති සක්මන් මගකි.

    ඒක ඔබ භීතියට පත් කරන්න ප‍්‍රමාණවත් මදි නම් මේ සක්මන් මග යද්දී එක් පියවරක් හෝ වැරදුනහොත් ඔබට වන දේ වඩාත් හොඳින් දැක බලා ගත හැකි වන සේ මේ චීන කඳුකරය පැත්තේ ඉදිකර ඇති කොටස තනා ඇත්තේ වීදුරුවලිනි.

    ඔබට තේරුම් ගන්න පුලූවන් මේ කාන්තාව ගල්කුළට වඩාත් සමීපව හිඳිමින් සීරුවෙන් පියවර තබමින් මේ බියකරු සක්මනෙහි යෙදෙන්නේ ඇයි කියා.

    මුහුදු මට්ටමෙන් අඩි 4700ක් ඉහළින් මේ සක්මන් මග ඉදිකර තියෙන්නේ චීනයේ ශැන් ජියාජීහි Zhang Jiajie  පිහිටි ටියන්මෙන් Tianmen කන්දේ පැත්තකයි.

    අඩි 200ක් දිග මේ අහස් මග ඉදිකර ඇත්තේ ටියන්මෙන් කඳු මුදුනේ යුන්මෙන් ශිඛරයත් ෂැන් ජියාජීත් අතරයි.

    මේ අහස් මග පවිත‍්‍ර කරන්නන්ට බියකරු වැඩි නිසා මේ හරහා යන්නට එන සංචාරකයන්ට ගමන් අරඹන්නට පළමුව සපත්තුවලට විශේෂ ආවරණ දැමීමට සිදුවේ. ඒ මේ මග පිරිසුදුව තබා ගැනීමටයි.

    මෙවැනි වීදුරු අහස් මගක් මෙයට කලින් ඉදිකර තිබුණේ ඇමරිකාවේ ග්රෑන්ඞ් කැන්යන් හරහායි. එය අඩි 4000ක් ඉහළින් ඉදිකළ අඩි 70ක අහස් මගකි. අඟල් දෙකහමාරක් ගණකම ඇති විනිවිද පෙනෙන වීදුරුවලින් තැනුනක් නිසා නරඹන්නකුට පහළින් පිහිටි ග්රෑන්ඞ් කැන්යන් පතුළ හොඳින් දැක බලාගත හැකියි.

    ටියන්මෙන් යන්නෙහි අරුත දෙව්ලොව දොරටුව යන්නයි. එසේ නම්කර ඇත්තේ කඳු මුදුනට ආසන්නව පිහිටි දැවැන්ත ස්වාභාවික ලෙනක් ඇති නිසයි.

    චීනයේ හුනාන් පළාතේ පිහිටි උසම කන්ද වන මෙය අඩි 5000ක් පමණ උස් වෙයි. මෙය ඉතා දුර්ලභ ගණයේ ශාක වර්ග රැසකට වාසභූමිය වී තිබේ.

    සැතැපුම් හතරක් දිග රැහැන් රිය මගක් ද මෙම උද්‍යානයේ ඉදිකර ඇත. එය ද මේ වර්ගයේ ලොව ඇති දිග ම මග ලෙස සැලකෙයි.

    මේ වීදුරු අහස් මග කෙතරම් බියකරු එකක් වුවත් මෙය මේ පළාතේ ම තවත් උස් ශිඛරයක අහස උසට ඉදිකළ මෙවැනි ම අහස් මගක වර්ධනය කළ පියවරකි.


    මෙහි සිට සැතැපුම් 82ක් දුරින් පිහිටි ෂිෆෝ කන්දෙහි අඩි දහස් ගණනක් ඉහළින් ඉදිකර ඇති එය අඩි තුනක් පළලට දැවයෙන් කළ නිමැවුමකි.

    කෑම මේසයක් තරම් පළල මෙම දැවමය අහස් මග ඉදිකර නිමවූ පසු සැතැපුම් 1.8 පමණ දික් වනු ඇත. එය චීනයේ මෙතෙක් ඉදිකර ඇති දිගම අහස් නැරඹුම් මග වේවි.

    Read more: http://www.dailymail.co.uk/news/article-2060023/Chinas-newest-tourist-attraction--glass-bottomed-walkway-cliff-face.html#ixzz1e14clzT4
    15

    විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම්


    ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ.

    මේ දෙකේ ඉලක්කමෙන් කළ හැකි අපූරු දෙයක්. 2කේ ඉලක්කම පස් පාරක් නැවත නැවත ලියා ඔබට පුළුවන් ද උත්තරයට මුල් ඉලක්කම් දහය එන විදියට සකසන්න. ඔන්න බලන්න ඒක කරන හැටි.

    2+2-2-2/2 = 1
    2+2+2-2-2  = 2
    2+2-2+2/2  = 3
    2×2×2-2-2  = 4
    2+2+2-2/2  = 5
    2+2+2+2-2  = 6
    22/2-2-2    = 7
    2×2×2+2-2  = 8
    2×2×2+2/2  = 9
    2-2/2-2/2   = 0

    බ්‍රහස්පති ග‍්‍රහයා පිනූ යෝධ පිම්මක් : විස්මිත සොයා ගැනීම්


    තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග‍්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග‍්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබෙනවා.

    මේ බව හෙළි වී ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝහි වයඹ පර්යේෂණ ආයතනයේ ඬේවිඞ් නෙස්වෝනි පරිගණකය යොදා කළ සමාකෘතියක් තුළිනුයි. සංඛ්‍යාත්මකව බලන කල පෙනී යන්නේ සෞරග‍්‍රහ මණ්ඩල පටන් ගන්නට ඇත්තේ දැනට ඉන්නා මේ යෝධයන් සිවුදෙනාගෙන් පමණක් නොවන බවයි. ඔහුගේ ගණනයන්ට අනුව මෙම සෞරග‍්‍රහ මණ්ඩලය යෝධ ග‍්‍රහයන් සිවු දෙනකුගෙන් ආරම්භ වූවා යැයි යන මතය පිළිගැනීමට ඉඩකඩ ඇත්තේ සියයට 2.5ක් පමණ වන අතර තවත් අබිරහස් යෝධ ග‍්‍රහයකු මේ අතර සිටියායැයි යන මතය පිළිගැනීමට ඇති ඉඩකඩ එමෙන් දස ගුණයකටත් වැඩි බව හෙළි වී තියෙනවා.

    මේ මතයට එළඹීමට පෙර නෙස්වෝනි සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත හා එහි ආරම්භක වර්ධනය පිළිබඳ පරිගණක සමාකෘතීන් 6000කට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර අධ්‍යයනය කළා.

    ‘‘සෞරග‍්‍රහ මණ්ඩලයට යෝධ ග‍්‍රහයන් පස් දෙනකුට වඩා සිටීමටත් ඒවා පසුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යාමට ඇති ඉඩකඩ ගැනත් විමසා බැලීමට මූලික වශයෙන් හේතු වුණේ අන්තරීක්ෂ අවකාශය තුළ නිදැල්ලේ පා වී යන ග‍්‍රහයන් විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව’’යැයි නෙස්වෝනි මේ ගැන සඳහන් කරමින් කියයි.

    ඔහුගේ පැහැදිලි කිරීම් අනුව දැන් විශ්වාස කරන්නේ එක් අවස්ථාවක දී බෘහස්පතී සෞරග‍්‍රහ මණ්ඩලයේ මැද පෘථිවිය හා අඟහරු සිටිනා දෙසට භයානක ලෙස ඇදී ආ බවත් පසුව හදිසියේ ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඈත කක්ෂයකට පැන්න බවත් එසේ පනිද්දී එහි වූ අබිරහස් ග‍්‍රහයා ඈත අභ්‍යවකාශයට විසි වී ගිය බවත්ය.

    සෞරග‍්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන් ගත්තේ මීට වසර බිලියන හතර හමාරකටත් පෙරදීයි. ඒ දැවැන්ත ¥ලි හා වායු වලාවක් ඝනීභවනය වීමෙන් සූර්යයා නිර්මාණය වීමත් සමගයි. ඊට ග‍්‍රහයන් එක් වූයේ තවත් මිලියන 10කට පමණ පසුවය. එහෙත් ඒවා දිගු කලක් ගමන් කරමින් තිබුණේ අස්ථාවර කක්ෂවලයි.

    දැන් සූර්යයා එහි ජීවිතයෙන් අඩක් පමණ ගෙවා තියෙනවා. තවත් වසර බිලියන පහකින් පමණ එහි ඇති හයිඩ‍්‍රජන් ඉන්ධන දැවී අවසන් වන අතර ඉන් පසු එය දැවෙන හීලියම් සහිත යෝධ රතු තරුවක් බවට පත් වනු ඇති. මේ කි‍්‍රයාවලිය තුළ දී පෘථිවිය විනාශ වී යනු ඇති.

    Read more: http://www.dailymail.co.uk/sciencetech/article-2060418/Jumping-Jupiter-Scientists-evidence-mystery-fifth-giant-planet-ejected-solar-system.html#ixzz1e15OBuSI
    0

    පංගු පේරුව : නස්රුදින් කතා

    නස්රුදින් යාළුවෙක් එක්ක දුර ගමනක් යද්දී අවන් හලකට ගොඩ වැදුණේ පිපාසය දරා ගන්න බැරි තැනයි.

    ඔවුන් දෙන්නා තීරණය කළා එක කිරි වීදුරුවක් අරගෙන දෙන්න ම බෙදා ගෙන බොන්න. ඒ මොකද දන්නවද? නස්රුදින්ගේ අතේ කාසි තිබුණෙ එක වීදුරුවක් ගන්න තරම් විතරයි. අනෙක් යාළුවගේ අතේ සල්ලි නෑ කිව්වා.

    නස්රුදින් කිරි වීදුරුව අර ගත්තා.

    ‘‘තමුසෙ බොනව ඉස්සෙල්ල තමුසෙගෙ බාගෙ.’’ යාළුව නස්රුදින්ට කිව්වා. ‘‘මොකද මං ගාව සීනි ටිකක් තියෙනව. ඒත් ඒක එක් කෙනකුට විතරයි සෑහෙන්නෙ. මං මගෙ බාගෙට ඒක එකතු කරල බොනව.’’

    ‘‘දැම්මම දානව. මං බොන්නෙ මගෙ බාගෙ විතරයි.’’ නස්රුදින් කිව්වා.

    ‘‘එක නං බෑ. ඒ සීනි ටික ප‍්‍රමාණවත් වන්නෙ කිරී වීදුරුවෙන් බාගයක් රහ කරන්න විතරයි.’’ යාළුවා කිව්ව.

    කිසි කතාවක් නැතුව නස්රුදින් නැඟිටල ගියා. ඔහු කෙළින් ම ගියේ අවන් හලේ අයිතිකාරයා ළඟටයි. මොනවාදෝ කතා කරල ආපහු ආවා. ඒ ආවේ ලුණු පැකට් එකක් අරගෙනයි.

    ‘‘හොඳ ආරංචියක් මිත‍්‍රයා’’ යළිත් සිය අසුනේ වාඩිවෙමින් නස්රුදින් කිව්වා. ‘‘තමුසෙ යෝජනා කරපු විදියට මං ඉස්සෙල්ලා බොන්න කැමති වෙනව. හැබැයි මං ඒක බොන්නෙ ලුණුත් එක්කයි.’’

    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි)

    වීණාවක් සහ භික්ෂු නමක් : බොදු උපමා කතා

    ”මම ද ආරම්භ කළ වීර්යය ඇතිව, බොහෝ කාලයක් භාවනා කරන, භාග්‍යවතුන් වහන්සේ හා පැවිදි වූ  භික්ෂු නමක්. එහෙත් කොපමණ වීර්ය කළත් මාගේ සිතෙන් කෙලෙස් පහවි යාමක් නොවීය. මාගේ නිවසෙහි ප‍්‍රමාණවත් ධනය ද තිබේ. ඒ ධනය යොදවා පින් කිරීමට හැකිය. එහෙයින් සිවුරෙන් ඉවත් වී නැවත ගිහිගෙටම යමි.”

    ඉහත සඳහන් වන්නේ රජගහ නුවර සීත වනයෙහි භාවනා කරමින් සිටි සෝණ නම් භික්ෂු නමකට එම වනයෙහි හුදෙකලාව සිටිය දී පහළ වූ සිතිවිල්ලකි. උන්වහන්සේට එම සිතිවිල්ල පහළ වී සුළු වේලාවකින් බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. සෝණ තෙර වහාම අසුනක් පැන වූ අතර බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටි පසු එම භික්ෂු නම උන්වහන්සේට වැඳ පසෙක හිඳ ගත්තේය.  බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

    ”සෝණ, ඔබට මෙබඳු සිතිවිල්ලක් (ඉහත සඳහන්) පහළ වුණා නේද?”

    ”එසේ ය භාග්‍යවතුන් වහන්ස.”

    ”සෝණ, ඔබ ගිහි කාලයෙහි වීණා වාදනයෙහි දක්ෂයෙක් නේ ද?”

    ”එසේය ස්වාමීනි.”

    ”ඔබ එකල වීණාව වාදනය කරන විට එම වීණාවේ තත් ඉතාමත් තද කොට තිබේ නම් එයින් ඔබ කැමති ආකාරයේ නාදයක් පිට වේද?”

    ”නැත ස්වාමිනි.”

    ”එම වීණාවෙහි තත් ඉතා බුරුල් කළහොත් සුදුසු වීණා නාදයක් නැෙඟයි ද?”

    නැත ස්වාමීනී.

    ”හොඳයි, ඔබේ වීණාවෙහි තත් ඉතා තද කොටත්, ඉතා බුරුල් කොටත් නැතිව වාදනයට අවශ්‍ය ප‍්‍රමාණයට සකස් කොට තිබුණොත් එයින් ඔබට අවශ්‍ය ආකාරයේ නාදයක් නැෙඟනවා නේද?”

    ”එසේය ස්වාමීනි.”

    ”සෝණ මෙසේම භාවනාවෙහි දී ද අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වීර්යය කිරීම නිසා සිතේ විසිර යාම වෙයි. වීර්යය ඉතා අඩු කිරීම නිසා සිත කම්මැලි බවට යයි. මේ නිසා ඔබේ භාවනා වීර්යය මධ්‍යම ප‍්‍රමාණයට හසුරුවා තබා ගන්න. ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියයන් වර්ධනය කර ගන්න.”

    ”එසේය ස්වාමීනී.” සෝණ තෙර පිළිගත්තේය.

    ඒ අවවාදයෙහි පිහිටි සෝණ තෙරණුවෝ නොබෝ කලකින් ම රහත් වූහ.  (අංගුත්තර නිකාය - සෝණ සූත‍්‍රය)
    4

    මේ අපේ ආදීම නෑයෙක් ද? : විස්මිත සොයා ගැනීම්



    එයාගේ මුහුණේ තියෙනවා කුතුහලයෙන් පිරුණු ලස්සන හිනාවක්. නිසැකවම එයාගේ ඇස් සහ කට මනුෂ්‍යයකුගේ වගේමයි. ඒත් එයාගේ හකු අස්ථි එහෙම නැහැ. ඒ වගේමයි ඉදිරියට නෙරා ඇවිත් තිබෙන ඇහිබැමවලින් ද පැහැදිලිව පේනවා එයා සමාන වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුට නොවෙයි වානරයකුට කියලා. හඳුනා ගන්න එයාගේ නම කරාබෝ Karabo. එයා අපේ ආදීම මානවයෙක්. පරිණාම ජීව විද්‍යාඥයන්ගේ අලූත් ම මතය මිනිසා සහ වානරයන් අතර අහිමි පුරක කරාබෝ කියලයි.

    මිනිසා වානරයන්ගෙන් පරිණාමය වූ බව විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබුණා. ඒත් මිනිසා සහ වානරයන් අතර එක් පුරුකක් ඒ කියන්නේ ඒ දෙගොල්ලන්ගේ අතරමැදියා වුණේ කුමන ආකාරයේ ජීවියකු දැයි විද්‍යාඥයන් මෙතෙක් දැන සිටියේ නැහැ. ඒත් ඒ ‘අහිමි පුරුක’ කරාබෝ යැයි දකුණු අපි‍්‍රකාවේ ජොහැන්ස්බර්ග් නුවර විට්වෝටර්ස්?න්ඞ් විශ්ව විද්‍යාලයේ පරිණාම ජීවවිද්‍යා මහාචාර්ය ලී බර්ගර් හෙළිකර ලෙන තියෙනවා. හමුවූ පොසිල සාක්ෂි ඇසුරු කොට ගෙන පරිගණකය ඇසුරින් කරාබෝ මුහුණ නිර්මාණය කළේ පොසිල සිත්තරකු වන ජෝන් ගර්චේ. ඒ අනුව කරාබෝ කොහොම කෙනෙකු වෙන්නට ඇතැයි ද යන්න දැන් අපට පැහැදිලියි.



    කරාබෝගේ සිරුරේ අස්ථි හමුවුණේ දකුණු අපි‍්‍රකාවේ ගල්ලෙනකින්. ඒ 2008 වසරේදීයි. මහාචාර්ය ලී බර්ගර් එහි කැනීම් කරමින් සිටි භූමියේ පසෙක තිබී කරාබෝගේ මුල්ම අස්ථි කැබැල්ල හමුවුණේ ඔහුගේ නව හැවිරිදි පුංචි පුතාටයි. කරාබෝගේ අතේ අස්ථි දුටු බර්ගර් ඇතුළු විද්‍යාඥයන් පුදුම වුණා. හේතුව ඒක මනුෂ්‍යයකුගේ අතකට සමාන වීමයි. ඒ අතින් ආයුධ තනා ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා. මීට පෙර පරිණාම විද්‍යාඥයන්ට මෙවැනි මානවයකුගේ අස්ථි හමුවෙලා නැහැ. ඒ නිසයි කරාබෝ අපේ පරිණාමයේ ‘අහිමි පුරුක’ කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ.



    කරාබෝගේ අස්ථි හමුවුණේ තවත් කාන්තාවකගේ අස්ථි අසලින්. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ කාන්තාව කරාබෝගේ මව විය හැකියි කියලයි. මිය යද්දී ඇගේ වයස අවුරුදු 30 ක් පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කර බැලීමෙන් පසු විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මොවුන් දෙදෙනාගේම අස්ථි මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තියෙනවා.

    කරාබෝගේ වයස අවුරුදු 13 පමණ වන්නට ඇතැයි අස්ථි පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා. ‘කරාබෝ’ යන වදනෙහි අර්ථය ‘පිළිතුර’ යන්නයි. ඒත් මෙයාගේ සත්ව විද්‍යාත්මක නාමය ‘ඔස්ටේ‍්‍රලෝපිතිකස් සෙඞීබා’ කියලා විද්‍යාඥයන් කියනවා. මීට අවුරුදු මිලියන දෙකකට එපිට ජීවත් වූ කරාබෝ, දෙපයින් සිටගත්තාම උස අඩි 4 ක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 2008 වසරේදී සොයා ගත්තත් පොසිල අස්ථි පරීක්ෂා කර බලා ඒවා ඇසුරින් කරාබෝගේ පරිගණක සිතුවම් නිර්මාණය කෙරුණේ පසුගිය දිනකයි.

    ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම පෙන්වමින් මහාචාර්ය ලී බර්ගර් මෙන්න මෙහෙම කියනවා. ‘බලන්න ඔහුගේ නාසය. මනුෂ්‍යයකුගේ වගේමයි. ඒ වගේමයි ඔහුගේ කට, තොල් පෙති. බලන්න ඔහු අපූරුවට සිනාවෙනවා. ඔහු චිම්පන්සියෙකු හෝ වානරයකු හෝ නොවේ. හේතුව චිම්පන්සින්ට බැහැ හිනා වෙන්න.’

    ජෝන් ගර්චේගේ පරිගණක සිතුවම සියයට 99.9 ක්ම නිවැරදියි. අතීතයේ ජීවත් වූ කරාබෝ වගේමයි. හැබැයි සිරුරේ පැහැය සහ ලොම්වල පැහැය අස්ථිවලින් තහවුරු කරන්න බැරි නිසා ජෝන් ගර්චේගේ සහ පරිණාම විද්‍යාඥයන් එම සිතුවම සකස් කළේ අනුමානයක් කරමිනුයි. කොහොම නමුත් කරාබෝ, නූතන මිනිසාගේ සෘජු මතුන්මිත්තා වන හෝමෝ ඉරෙක්ටස් නැතිනම් කොන්ද කෙළින් තබාගෙන දෙපයින් ඇවිද ගිය මිනිසාට සමානයි කියලා පරිණාම ජීව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තියෙනවා.

    (නැෂනල් ජියෝග‍්‍රැෆික් ඇසුරිනි)

    නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද? : දැන මුතු

    මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද? ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ‍්‍රායලයට හෝ ජොර්දානයට යන්න  ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා. අනෙක් ලවණතාව වැඩි විල වූ මහා ලූණු විල පිහිටලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙයි.

    0

    එක අතක හඬ : සෙන් බොදු කතා

    කෙන්නින් ආරාමයේ ප‍්‍රධාන ගුරුතුමාගේ නම මොකුරායි. එහි අරුත ‘නිහඬ හෙණය’ යන්නයි. ඔහු ළඟ පුංචි ඇබිත්තයෙක් හිටියා. නම ටෝයෝ. ඔහු තාමත් දොළොස් හැවිරිදි වියේයි පසුවුණේ. ටොයෝ දැක්කා වැඩිමල් ගෝලයන් හැමදාම උදේට හා හවසට ගුරුතුමාගේ කාමරයට යනවා. ඔවුන් එසේ ගියේ සාන්සෙන් ධර්මය අහන්න. එහෙමත් නැත්නම් පුද්ගලික උපදෙසක් හෝ සිත අයාලේ යන එක නවත්තන්න අවශ්‍ය කොආන් උපදෙසක් හෙවත් කමටහනක් ලබා ගන්න.

    ටෝයෝටත්  ඕනෑ වුණා, සාන්සෙන් කරන්න.

    ”ටිකක් ඉවසන්න, ඔබ තවම ළාබාල වැඩියි” මෝකුරායි කීවා.

    ඒත් ටෝයෝ ඒක පිළිගත්තෙ නෑ. අන්තිමේ දී ගුරුතුමා ඊට ඉඩ දුන්නා.

    හැන්දෑවේ පුංචි ටෝයෝ හරියට නියමිත වෙලාවට මොකුරායිතුමාගේ සැන්සෙන් කාමරයට අසලට ගියා. ඔහු තමා පැමිණි බව දන්වන්න ඒ ඉදිරිපිට ඇති ගභීරිකාව නාද කළා. දොරට පිටින් සිට නැවී තුන් වරක් ආචාර කළා. ඉන්පසු ගුරුතුමා ඉදිරියට ගොස් වැඳ එකත් පස්ව හිඳ ගත්තා. ඔහු නිහඬව ගෞරව දක්වනු ගුරුතුමා බලා හිටියා.

    ”ඔබට අත්පොළසන් දෙන විට අත් දෙකකින් නැෙඟන හඬ අහන්න පුළුවන්.” මොකුරායි තුමා කීවා. ”දැන් මට පෙන්වන්න එක් අතකින් නඟන හඬ.”

    ටෝයෝ හිස නව ආචාර කර ඒ ගැන හිතන්නට සිය කාමරයට ගියා. ඔහුට කාමරයේ ජනේලයෙන් ගෙයිෂාවන්ගේ සංගීතය ඇසුණා. ”මට ඇහුණා, ඒ හඬ. මට ඇහුණා” ඔහු තමාටම කියා ගත්තා.

    පසුවදා හැන්දෑවේ ඔහු ගුරුතුමා බැහැදැකීමට ගියා. එක අතකින් නැෙඟන හඬ පෙන්වන්නැයි ගුරුතුමා කිවා.

    ඔහු ගෙයිෂාවන් වාදනය කළ සංගීතය වාදනය කරන්න පටන් ගත්තා.

    ”නෑ. නෑ” මොකුරායි තුමා එය අතින් නවතමින් කීවා. ”ඒක වෙන්න බෑ කවදාවත්, එක අතකින් නඟන හඬ. ඔබ ඒක හරියට කළේ නෑ”

    ඒ සංගීතය තමන්ගේ සිතුවිල්ලට බාධා කළා කියා සිතූ ටෝයෝ වෙනත් නිසල, නිහඬ තැනකට ගිහින් යළිත් භාවනා කරන්න පටන් ගත්තා. ”එක් අතකින් නඟන හඬ කුමක් විය යුතුද?’’ ඔහු කල්පනා කළා. ඔහුට එකපාරටම ඇහුණා, වතුර බිංදුවක් වැටෙන හඬක්. ”මට හමු වුණා” ඔහු තමාටම කියා ගත්තා.

    ඊළඟ අවස්ථාවේ ඔහු ගුරුතුමා ඉදිරියේ පෙනී සිට ඔහු ජගය බිංදුවක් වැටෙන හඬ අභිනයෙන් පෙන්නුවා.

    ”ඒ මොකක්ද?” ගුරුතුමා ප‍්‍රශ්න කළා. ”ඒ වතුර වැටෙන හඬ නේද? ඒත් ඒකත් නොවෙයි, එක අතකින් නැෙඟන හඬ. තව හොයන්න” ගුරුතුමා කීවා.

    ‘එක අතකින් නැෙඟන හඬ’ ඇසෙන තෙක් ටෝයෝ හුඟාක් වෙහෙස වී භාවනා කළා. ඔහුට සුළෙඟ් හඬ ඇසුණා. එය ප‍්‍රතිෙක්‍ෂප වුණා.
    බස්සකු කෑ ගහන හඬක් ඇසුණා. එය ද ප‍්‍රතිෙක්‍ෂප වුණා.

    එසේම ‘එක අතකින් නැෙඟන හඬ’ පතංගයන් නඟන හඬත් නොවන බව ගුරුතුමා කීවා.

    ටෝයෝ දස වතාවකටත් වැඩිය එක එක හඬ සමග මොකුරායි ගුරුතුමා ළඟට ගියා. ඒත් ඒ එකකින්වත් පලක් වුණේ නෑ. ඒ හැම එකක්ම වැරදි බව ගුරුතුමා කීවා.

    අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මේ ‘එක අතකින් නැෙඟන හඬ’ මොකක්දැයි සොයන්නට ටෝයෝ වෙහෙසුණා.

    අන්තිමේ දී ටෝයෝ ඉතා හොඳින් ම භාවනා යෙදෙන්න පටන් ගත්තා. භාවනාවේ උච්චම අවස්ථාවට පිවිසුණු පසු ඔහුට හැම ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. ”තවත් ශබ්ද ඉතිරිව නෑ මට අසන්නට” ඔහු පසුව පැහැදිලි කළා.       

    ”ඊළඟට මම එළඹුණේ ‘නිශ්ශබ්දතාවේ ශබ්දයටයි’, එනම් ‘නිහඬ හඬ’ටයි.

    ටෝයෝ ‘එක අතකින් නැෙඟන හඬ’ හඳුනා ගත්තා.

    (පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

    නස්රුදින්ගේ මෝඩකමේ සීමාව : නස්රුදින්ගේ කතා

    නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එහෙදි නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගේ මලූවලට පුරවද්දී ඔවුන්ගේ අතට ම අහුවුණා. ඔවුන් නස්රුදින්ව අල්ලගෙන නඩුකාරයා ළඟට අරන් ගියා.
       
    ‘‘මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්නෙ වී අඳුනන්නෙ නෑ’’ නස්රුදින් එහෙදි නිදහසට කරුණු වශයෙන් කීවා.

    ‘‘එහෙම නම් ඇයි තමාගෙ වී අනිත් අයගේ මලූවලට දැම්මෙ නැත්තෙ ? නඩුකාරයා ඇහුවා.

    ‘‘ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙවෙයි’’ නස්රුදින් උත්තර දුන්නා.

    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
    0

    ලතාවේ කතාව : සූෆී උපමා කතා

         
    එකමත් එක රටක ගෙයක් තිබුණේය. ඒ ගෙය අසලින් මතු වූ ලතාවක් (වැලක්) ගෙයි බිත්තිය දිගේ ඉහළට නඟින්නට විය.

    වසර කීපයක් ගත විය. ඒ ලතාව මුළු ගෙය ම වසා ගෙන වැඩුණේය. ගෙයක් ඇති බව පමණක් පෙනෙන පරිදි වට රේඛාවක් පමණක් එහි විය. මුළු ගෙය ම නිල්ලෙන් වැසී ගියේය. පිටතින් බලන්නකුට ඒ තුළ ගෙයක් ඇති බව වටහා ගත හැකි වූයේ එහි  හැඩයෙන් පමණි.

    ඒ ගෙය තුළට යාම හෝ ඉන් පිටතට පැමිණීම හෝ එන්න එන්නම අසීරු වන්නට විය. ලතාවෙහි පැතිරීම එන්න එන්නම වැඩි විය. නිවැසියෝ ලතාවෙහි අතු-ඉති ඈත් මෑත් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූහ. එහෙත් ලතාව නොකඩවා වැඩෙමින් ඔවුනට එහි ජීවත් වීම තව තවත් අසීරු කරවීය. තවදුරටත් එහි රැුඳිය නොහැකි වූ තැන නිවැසියෝ එය අතහැර ගියහ. ලතාව නොනැවතී වැඩුණේය. අන්තිමේ දී එහි වට රේඛාව ද වෙනස් විය. එහි ගෙයක් ඇති බව පිටතට නොපෙනුණේය.

    තවත් කාලයක් ගත විය. ගෙය මුළුමනින් ගරා වැටුණේය. එය ලතාවකින් වසා ගත් පස් ගොඩක් පමණක් විය. ඉඳහිට එය දෙස බලන අයෙක් එහි ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව අන්දමන්ද වෙති. එහෙත් ඒ ගැන තැකීමක් ද වැඩි දෙනකු තුළ නොවීය. 

    ලතාව පමණක් ඒ ගැන මහත් සේ කම්පාවට පත් විය. ඒ ගැන අකම්පහළ වූ ලතාව මෙසේ කීය:

    ‘‘කොතරම් අකෘතඥ මන්දිරයක් ද. මං කොච්චර කාලයක් අල්ලා ගෙන හිටියාද? වසර ගානක් ම වැටෙන්නට නොදී බදා ගෙන හිටියා. ඒත් ඒක විහින් ම කඩා වැටුණා, මගේ උත්සාහයවත්
    ගණනකට නොගෙන.’’ කී ලතාව තවදුරටත් අවට ප‍්‍රදේශය පුරා පැතිර යන්නට විය.

    (පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990. ISBN 955-95353-0-7) 
    4

    මැරිලත් රජතුමා හිනැස්සූ අන්දරේ : අන්දරේගේ කතා

    අප විසින් අන්දරේගේ කතා පළ කරද්දී මෙහි පළ කළ අන්දරේගේ අවසාන මොහොත දැක්වෙන ස්මාරකය ගැන අපේ ආදරණීය පාඨකයන් විමසීමක් කළ නිසා අන්දරේගේ ස්මාරකයෙහි ස්වරූපය එසේ වීමට හේතුව පැහැදිලි කිරීමට අපට අන්දරේගේ අවසාන විහිළුව කලින් පළ කරන්නට සිදු විය. මේ අන්දරේගේ කතාවල අවසානය නොවේ. තවත් කතා රැසක් ඉදිරියේ දී පළ වෙයි.

    උපදින කාටත් මරණය නියත බව අපි කවුරුත් දනිමු. ඒ නිසා මරණයක් ඇසීම පුහුදුන් කාට වුනත් දුක් ගෙන දෙන්නකි. සතුරකුගේ වුවත් මරණය ගැන ඇසීමෙන් සිනාසෙන කෙනෙක් නැත. එහෙත් අන්දරේගේ මරණය ඇසීමෙන් සිනහ නොවන කෙනෙක් නැත. රජතුමාටත් අන්දරේ මැරී සිටිනු දැකීමෙන් සිනහ ගියේය.

    ඒ කතාව මෙහෙමයි.

    මහනුවර රාජධානිය කර ගෙන සිටි රජතුමාගේ රාජසභාවේ සේවය කළ ද අන්දරේගේ උපන් ගම පිහිටියේ දකුණු පළාතේ මාතර දිසාවේය. මහලූ වියට පත් අන්දරේ මැරෙන්න කලින් තමන් උපන් ගම් පළාත දැකබලා ගෙන ඒමට කල්පනා කළේය. තමන්ගේ කැමැත්ත රජතුමා දැන්වූ පසු එතුමා ඊට එකඟ වී අන්දරේ යන අතර මග හමුවන ගම්පතීන්ට අන්දරේ රාජදූතයකු ලෙස පිළිගෙන හොඳින් සාත්තු සප්පායම් කරන ලෙස දන්වා ලියමනක් ද දුන්නේය.

    අන්දරේ ගමන පිටත් විය. අතර මග ගම්මුලාදෑනින්ගෙන් සත්කාර ලබමින් ? බෝ වූ පසු නවාතැන් පහසුකම් ලබමින් ගිය අන්දරේ මාතරට නුදුරු ගමක දී බලවත් පාචන රෝගයක් හට ගත්තේය. ඒ ගමේ ගම්පතියා ද ඒ පළාතේ ඉන්නා හොඳම වෙදුන් ගෙන්නා අන්දරේට ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. තමන්ගේ අවසානය ළඟා වී ඇති බව අන්දරේ අවබෝධ කර ගත්තේය.

    මරණාසන්න මොහොතේ අන්දරේ ගම්පතියා අමතා මෙසේ කීය:

    ‘‘මං මැරෙන්නයි යන්නේ. මා මළ පසු රජ්ජුරුවන්ට ඒ බව දන්වා යවන්න. රජ්ජුරුවන් වහන්සේ ඇවිත් බලා කළ යුතු දෑ ගැන නුඹලාට නියෝග දේවි. එතෙක් මගේ මළකඳ හොඳින් ආරක්ෂා කරන්න  ඕනෑ. මගේ මළකඳට කිසි දෙයක් කරන්න එපා.’’ අන්දරේ කීය.

    එසේ කියා අන්දරේ හතරගාතය දිග හැර සිරුර කතිරයක් ලෙස සිටින සේ තබා ගෙන අවසන් හුස්ම හෙළීය.

    ගම්පතියා ද අන්දරේ කී ලෙස ම ඔහුගේ සිරුර එසේ තිබෙන්නට හැර රජතුමාට අන්දරේ පැවසූ වදන් ඒ අයුරින් ම දන්වා යැවීය.

    අන්දරේ මළ පුවත අසා කම්පා වූ රජ්ජුරුවෝ වහා පිරිවර සමග එහි වැඩියහ.

    අන්දරේගේ සිරුර දරදඬු වී තිබුණේ කතිරයක් ලෙසය. අත්පා නමන්නට නොහැකි නිසා රජ්ජුරුවෝ එම සිරුරේ හැඩයට පෙට්ටියක් තනන්නැයි වඩුවකු ගෙන්වා නියෝග කළහ. අන්දරේ වළලන්නට තැනූ ඒ කතිර පෙට්ටිය දුටු රජ්ජුරුවන්ට සිනා පහළ විය. ‘‘අන්දරේ මැරිලත් මාව සිනස්සනවා’’යැයි කී රජ්ජුරුවෝ කඳුළු පිසදමමින් පැවසූහ.

    අන්දරේ ස්මාරකයට අමතරව ඔහුගේ පිළිරුවක් ද දකුණු පළාතේ මාතර කතරගම මාර්ගයේ නෝනාගම හන්දියේ ඉදිකර තිබේ.

    අන්තර් ජාලයෙන් සොයගත් ඡායරූප දෙකක් පහල සදහන් කරමු. අදාල සබැඳිය (Link) මගින් ඔබට ඡායරූපයට අදාල විස්තර හා ඒවායේ හිමිකරුවන් බලාගන්න පුලුවන්.

    අන්දරේගේ ස්මාරකය :


    නෝනාගම හන්දියේ පිළිරුව:

    0

    පුලුන් වගේ වලාකුළින් : පාඨක නිර්මාණ


    පුලුන් වගේ වලාකුළින්
    හොරෙන් හොරෙන් එබිල බලන
    හඳ මාමේ මේ අහන්න
    ඔබ එනවද අපේ ගෙදර

    මාත් එක්ක රන්ඩු වෙන්න
    සෙල්ලම් කඩවල් දමන්න
    ඉස්කෝලෙත් දැන් නිවාඩු
    ඔබ එනවද මට කියන්න

    කිරී පැණී අරන් එන්න
    රන් තැටියෙන් මට බෙදන්න
    අපේ ගෙදර හනික එන්න
    මම ඉන්නම් මග බලන්ම

    හඳේ හවා ලස්සනයිද
    පුලුන් බොලයක් වගේ ද
    අපේ නංගිත් ඒවගේනෙ
    හරි සුරතල් පොඩි උනාට

    කුරුල්ලෙකුගෙ පිටේ නැගල
    ඔබ එනවද මට කියන්න
    පොඩි තරු කැට මාල පොටක්
    අපේ නංගිට අරන් එන්න

    හැමදාමත් හවසට මම
    මිදුලට වී බලන් ඉන්නෙ
    පුලුන් වලා රොද අතරින්
    ඔබ එනකන් රෑ අහසට

    අපේ අම්මට මම කිව්වා
    ඔබ එන බව අපේ ගෙදර
    මගෙ යාලුවො ඔක්කොම දැන්
    ඔබ එනකන් බලන් ඉන්නෙ

    අපේ දිහා එනහැටි මම
    ලියල එවන්නද ලියුමක
    මම දන්නව නොවැරදීම
    ඔබ එන බව අපේ ගෙදර

    ඔබ නාවොත් මම තරහයි
    ආයෙත් නැහැ කවදාවත්
    ඔබ එක්කල යාලු වෙන්නෙ
    නැහැමයි මම ආයේමත්

    මගෙ යාලුවො මට කියාවි
    හඳ මාමා නරකයි බව
    මම දන්නව හඳ මාමේ
    ඔබ නෑවිත් නොඉන්න බව

    ~ප්‍රභානි අනුත්තරා~

    0

    අන්දරේගේ බිත්තරේ කතාව

    අන්දරේ රජතුමාගේ ආදරේ දිනා ගත්ත එක ගැන රාජසභාවෙ හිටපු ඇමතිවරුන් හිටියෙ නොසතුටින්.
    ”අන්දරේ අපි හැමෝටම විහිළු කරනවා. අපිත් දවසක් අන්දරේට විහිළුවක් කරමු” කියලා නාන්න පොකුණට යන කොට අන්දරේට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් එමු කියල ඔවුන් කතා වුණා.

    ”අද අපි හැමෝම එක පාරටම දිය යටට ගිලිලා බිත්තරේ බිත්තරේ අරන් එන්න  ඕනෑ. ගේන්න බැරි කෙනා පරාදයි.” එක්කෙනෙක් කීවා. ඔවුන් හැමෝම ඒකට එකඟ වෙලා දිය යටට ගියා. අන්දරෙත් දිය යටට ගියා.
    අන්දරේ දිය යට යන ගමන් හිතුව මේ එයාව විහිළුවට ලක්කරන්න කරන උප්පරවැට්ටියක් කියලා. ඒ අය හැම දෙනාම දියයටින් මතුවෙන්න ඉඩ දීලා අන්දරේ දිය යටින් මතු වුණා.

    ඔවුන් සඟවා ගෙන හිටපු බිත්තරේ බිත්තරේ අතින් ඉහළට ඔසවා ගෙන අන්දරේට පෙන්නුවා, එයාව ලැජ්ජාවට පත් කරන්න හිතා ගෙන.

    අන්දරේ දෑත් විදහලා වතුරට සට සට ගාලා ගහලා ‘කුක්කු කූක් කූ’ කියල ඇඬලූවා. එහෙම කරල කිව්ව, ”මෙතැන ඉන්නෙ ඔක්කොම කිකිළියො. මං විතරයි කුකුළා” කියලා කිව්වා. 
    0

    නස්රුදින්ගේ බිත්තරේ කතාව

    නස්රුදින් ජල වාෂ්පයෙන් නාන්න හරිම ආසයි. එයා නිතරම වගේ ජලවාෂ්පවලින් නාන්න තැනූ පොදු නාන පොළකට ගියා. එහෙට වැඩිපුර ආවෙ තරුණයො. නස්රුදින් තරුණයෙක් වගේ විහිළු තහළු කරල ඒ අය එක්ක යාළු වුණා. නස්රුදින් අපිට හැමදාම විහිළු කරනවා, අපිත් නස්රුදින්ට විහිළුවක් කරමු කියල ඒ තරුණ කට්ටිය කලින් කතා වෙලා නස්රුදින්ට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් ආවා.

    ”ඔන්න අද අපි මෙහෙම ඉන්න ගමන් බිත්තරේ බිත්තරේ දාන්න  ඕනෑ.” වාෂ්ප නාන තැනට ඇතුළු වෙන ගමන් එක් තරුණයෙක් හඬ නඟලා කීවා.

    ”බැරි වෙන කෙනා අද අපි ඔක්කොගෙම නාන බිල ගෙවන්න  ඕනෑ. සියලූ දෙනාම එක හඬින් එකඟ වුණා. නස්රුදිනුත් ඒක පිළිගත්තා.

    ටික වේලාවකින් හැමෝම පසු පස සඟවා ගත් බිත්තරේ බැගින් අතට ගෙන පෙන්නුවා. ඊට පස්සෙ ඔවුන් ඇහුවා නස්රුදින්ගෙන් බිත්තරේ ගැන.

    ”මෙච්චර කිකිළියො ඉන්න තැන අඩු ගානේ එක කුකුළෙක්වත් ඉන්න බාරිද?” නස්රුදින් එකවරම ඇහුවා.


    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
    3

    අන්දරේගේ උපමා කවි

    දවසක් රජතුමාත් බිසවත් සතුටු කතාබහක යෙදී සිටියදී අන්දරේ රජවාසලට ගොඩ විය. සුපුරුදු පරිදි සිනහමුසු මුහුණින් සිටි අන්දරේ දුටු රජුට ඔහු ලවා කවියක් කියවා ගන්නට සිතුණේය.

    ”අන්දරේ නුඹ කවදත් හිටිවන කවි කියන්න දස්සයා නෙ. කියාපන් මගේ බිසවටත් මටත් හිටිවන කවියක්” රජතුමා කීවේය.

    ”අවසර රජතුමනි, ඔබ වහන්සේ උදහස් නොවන්නේ නම් මං කවියක් කියන්නං” කී අන්දරේ හිටිවනම මේ කවිය කීවේය.

    බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
    දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
    ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
    කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

    ඒ කවිය ඇසූ බිසව, අන්දරේ තමන් කරවිල වැලකට උපමා කළේ යැයි තේරුම් ගෙන ඒ ගැන අමනාපයෙන් අඬන්නට පටන් ගත්තාය.

    රජතුමා බිසව සනසන්නට උත්සාහ කළේය. එහෙත් බිසවගේ නොසතුට පහ කර හරින්නට රජතුමා නොහැකි විය. බිසවගේ දුක්වීම ගැන උදහස් වූ රජතුමා අන්දරේ අමතා මෙසේ කීය.

    ”අන්දරේ, නුඹ අපේ බිසවුන්වහන්සේ තිත්ත කරවිල වැලකට සමාන කරපු එක වැරදියි. මටත් තරහ යන්න ඉස්සරින් ඒක හරි ගස්සන්න ඉක්මනට මොනව හරි කියාපන්”

    ඉන් බියට පත් අන්දරේ ගැහෙමින් හිටිවනම මේ කවිය කීය.

    කොහොඹ හොඳ දේට වෙදවරු         ගනින්නා
    කරවිල අම පලක් ලෙස ගෙන           උයන්නා
    පඬිවරු පිස්සුවක් මෙන් නිති            බණින්නා
    මම්වද වරදකරු අහකින්                 සිටින්නා

    ඒ කවිය අසා බිසවුන් වහන්සේ අතකින් කඳුළු පිසදමමින් සිනා සෙන්නට වූවාය. රජතුමා ද අන්දරේ දක්ෂකම ගැන සතුටු වී තෑගිබෝග දුන්නේය.
    2

    විෂ පෙවූ ඊ තලය : බොදු උපමා කතා

    දිනක් හුදෙකලා විවේකීව සිටි මාලූංකපුත්ත නම් භික්ෂු නමට මෙබඳු සිතක් පහළ වී ඇත. ලෝකය ශාස්වත ද? ලෝකය අශාස්වත ද? ලෝකය ආත්මවත් ද? ජීවිතයත් ශරීරයත් දෙකක් ද? එකක් ද? මේ ආදී දෘෂ්ටි සංකල්පනා ජාලයක පැටළුණ උන්වහන්සේ මේ පිළිබඳව විස්තරයක් අසා ගැනීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ ඒ දෘෂ්ටි පිළිබඳ විමසා ඒවාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුනහොත් සිවුරු හැර ගිහි ගෙට යන බව දන්වා සිටියේය.

    ”මාලූංකපුත්ත, මම ඔබට කවදා හෝ කීවෙමි ද? ‘එව මාලූංකපුත්ත. මම ඔබට මේ ප‍්‍රශ්නවලට පිළිතුරු කියමි, මා ළඟ පැවිදි වන්න’ කියා.”

    ”නැත, ස්වාමීනි.”

    ”ඔබ කවදා හෝ සිතුවෙහි ද පැවිදි වන්නට පෙර මා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවිදි වුවහොත් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇතිය කියා?”

    ”නැත, ස්වාමිනි.”
    මෙබඳු මනස අවුල් වන ප‍්‍රශ්නවල එල්ලී සිටීම තමන්ට හෝ අනුන්ට හෝ කිසිදු ප‍්‍රයෝජනයක් නැති බව පැහැදිලි කිරීමට මාලූංකපුත්ත භික්ෂු නමට බුදුරජාණන් වහන්සේ මේ උපමාව විස්තර කළ සේක.

    ”හොඳින් විෂ කවන ලද ඊ තලයකින් විදිනු ලැබ විෂ ශරීරගත වූ මිනිසෙක් සිටියි. ඔහුගේ නෑහිතවත්තු ශල්‍ය වෛද්‍යවරයකු කැඳවා ගෙන එති. ඔහු එම වෛද්‍යවරයාට මෙසේ කියයි:

    ”මේ ඊ තලය විද්දේ ක්ෂති‍්‍රය ආදී කවර ජාතිකයකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ඊතලය කවර නම් ගොත් ඇත්තු විසින් විදින ලද්දක දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ඊතලය විද්ද තැනැත්තා උස අයකු ද මධ්‍යම ප‍්‍රමාණයේ අයකුද මිටි අයකුද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ඊතලය විද්දේ කළු අයකු ද සුදු අයකු ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ඊතලය කවර ගමකින් ආවකු විසින් දැයි දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ඊතලය විදිනු ලැබුවේ චාප නම් දුන්නකින් ද කෝචණ්ඩ නම් දුන්නකින් ද කියා දැන ගන්නා තුරු මම මේ ඊතලය ගැලවීමට ඉඩ නො දෙමි.

    ”මේ ආදී ප‍්‍රශ්න අසමින් සිටියි. එහෙත් එම විෂ කැවූ ඊය වැදුණු තැනැත්තා ඒ විස්තර කිසිවක් නොදනියි. එහෙයින් ඔහු ශරීර ගත වූ ඒ ඊතලයේ විෂ හේතුවෙන් මරණයට පත් වන්නේය. ”

    මෙසේ ම මාලූංකපුත්ත ඔබ ද ලෝකය ශාස්වත ද සත්වයා මරණින් මතු වේ ද නො වේ ද ආදී ප‍්‍රශ්න අසන විට ඒවාට විසඳීම් නැතිව සිටිය දී තථාගතයාණන් වහන්සේ විසින් අව්‍යාකෘත හෙවත් විසඳීම් නො සෙවිය යුතු යැයි පැත්තක බහා තිබූ එම ප‍්‍රශ්න ගැනම සිතන යමකු කිසි දිනෙක මරණයට පත් වුවහොත්, ඔහුගේ පැවදි ජීවිතය අසාර්ථකම වන්නේය. ලෝකය ශාස්වත ද ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණහොත් කිසිදු පැවිද්දකුගේ (බ‍්‍රහ්මචරිය වාසය) පැවිද්ද සාර්ථක වන්නේ ද නැත.එසේ වන විට මෙම භවයේදීම විසඳීම් ඇති ප‍්‍රශ්න වන ඉපදීම මරණය සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී සියල්ලම පවතී. මේ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන් ලැබීම ගැටලූ විසඳීමට වඩා සුදුසු පිළිවෙතය.” (මජ්ජිම නිකාය - චුල්ලමාලූංකෝවාද සූත‍්‍රය)

    වර්තමානයේ ඉතා වැදගත් කොට සලකන අධ්‍යාපන අංගයක් ලෙස සැලකෙන ළමයින්ට ජීවන කුසලතා හැඳින්වීම පිණිස යොදා ගත හැකි කථාවක් නළපාන ජාතකයට ඇතුළත් වෙයි. අනතුරක් හෝ ගැටලූවක් කල් තියා හඳුනා ගැනීම, ඊට විසඳුමක් සොයා ගැනීම, විසඳුම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය මෙවලම් තනා ගැනීම, අනතුරෙන් හෝ ගැටලූවෙන් මිදීමට උපා යෙදීම, එම ගැටලූවෙන් මිදීම පමණක් නොව නායකත්වය, නායකත්වයේ වගකීම, නායකත්වයට ගරු කිරීම වැනි පාඩම් ද ඒ සරල කථාවෙහි ඇතුළත් බව විමසිල්ලෙන් බලන විට පෙනී යයි.  
    0

    ඩාවින්ගේ පරිණාමවාදය : දැන මුතු



    මිනිසාගේ පරිණාමය ගැන චාල්ස් ඩාවින් 1859 දී ලියූ ‘ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීසීස්’ නම් පොත මුද්‍රණයට දුන් ප‍්‍රකාශකයා එහි ප‍්‍රථම මුද්‍රණය වශයෙන් ඇනවුම් කළේ පිටපත් 1200 පමණය. ඒ පිළිබඳව ඩාවින් සිය නොසතුට පළ කළේ එතරම් විශාල ප‍්‍රමාණයක් කිසිසේත් අළෙවි කළ නොහැකි යැයි කියමිනි. එහෙත් එම පොතෙහි පිටපත් සියල්ලම එක් දිනක් තුළ අළෙවි විය.

    විස්තර සඳහා බලන්න විකිපීඩියා විශ්වකෝෂයෙහි On the Origin of Species
    0

    මඬ පාර : තවත් සෙන් බොදු කතාවක්

    තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඬ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.

    පාරේ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඬ වළක් තිබුණා. ඒ අද්දර ඔවුන්ට සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් දක්නට ලැබුණා. ඇය ඒ මඬ පාර හරහා යන්න බැරිවයි බලා ගෙන හිටියෙ.

    ”එන්න, කෙල්ලේ” කියූ තාන්සාන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඬ වළෙන් එගොඩ කළා.

    එකිදෝ ඒ නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගියා. තාන්සාන් දැරිවි පාරේ අනෙක් පැත්තෙන් තියා හැරී බලන විට එකිදෝ හුඟක් දුර ගිහින්. තාන්සාන් ගමන් වේගය වැඩි කර ගිහින් බොහොම අමාරුවෙන් එකිදෝට එකතු වුණා.

    එකිදෝ එදා රාති‍්‍රයේ නවාතැන් ගත් පන්සලට යන තෙක් තාන්සාන් හා කතා බහ කළේ නෑ. තවදුරටත් නිහඬ ඉන්න බැරි වූ තැනයි එකිදෝ කතා කළේ. ”අපි හාමුදුරුවරුන් වුනාම කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ.” කී ඔහු තාන්සාන්ගෙන් මෙහෙම ඇහුවා:”විශේෂයෙන් ම ඒ අය තරුණ ලස්සන කාන්තාවන් නම් තවත් භයානකයි. ඔබ ඇයි එහෙම කළේ?”

    ”මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලා ආවා. ඒත් ඔබ තාම එයා ඔසවගෙන ඉන්නවද?” තාන්සාන් උත්තර දුන්නා.

    (පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
    3

    ඉරි ඇති දන්තාලේප : පුංචි හිතට නැඟුණු ගැටලූ

    කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන්නේ කොහෙන් ද? යන්නයි. මෙය විසඳිය නොහැකි බරපතල ගැටලූවක් ලෙසයි, එදා මට හිතුණේ. මේ ඉරි, දන්තාලේප ටියුබය තුළ සුදු පැහැති දන්තාලේපය පුරා හැමතැන ම යොදා තිබෙනවා ද? එසේ නම් නියමිත රටාවකට ඒවා පිටතට එන්නේ කොහොම ද? ඒ සඳහා විශේෂ උපක‍්‍රමයක් යොදලයි, තියෙන්නෙ. ටිකක් ලොකු වෙන කොට ඉවර වුණු දන්තාලේප ටියුබයක් කපල බලන්න මට හිතුණා.



    ඒ සඳහා භාවිත කරල තියෙන්නෙ ඉතා ම සරල උපක‍්‍රමයක්. ඒක යොදල තියෙන්නෙ දන්තාලේපයේ නොසලය Nozzle හෙවත් මුවවිට අසලයි. දන්තාලේපයට වර්ණ ඉරි රටාව දමන වර්ණ ආලේපය එහි වෙනම කුටීරයකයි, තැන්පත් කරලා තියෙන්නෙ. ටියුබයේ මුවවිට ඇතුළෙන් වටේට කුඩා සිදුරු කීපයක් තියෙනවා, සුදු දන්තාලේපය එළියට එන විට ඒ සමඟ එක්වන්නට හැකි වන විදියට. ටියුබය ඇතුළේ ඇති ලොකු ඉඩකඩෙහි අසුරා තියෙන සුදු දන්තාලේපය ඔබ දන්තාලේප ටියුබය මිරිකන විට ඇති වන පීඩනය නිසා නොසලයෙන් එළියට එනවා. ඒ පීඩනය ඉහළ කුටීරයේ ඇති වර්ණ යෙදූ ආලේපය ඇති කොටසටත් එක් විට ම දැනෙනවා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුදු දන්තාලේපය එළියට එන විට ම පාට ඉරිත් ඒ දන්තාලේපය සමග එකතු වෙනවා.
    0

    ඉන්ෆ්ලූවෙන්සාව : වදනක් හැදුණු හැටි

    ඉන්ෆ්ලූවෙන්සා කියන්නෙ ශ්වසන පද්ධතියෙ උඩු කොටසට වැලඳෙන තදබල ආසාදන තත්වයක්. ප‍්‍රතිශ්‍යාව, හෙම්බිරිස්සාව ආදියත් ඉන්ෆ්ලූවෙන්සා කියන නමින්ම තමයි, හැඳින්වෙන්නෙ. හෙම්බිරිස්සාවක් ඉක්මනින් සුව නොවුණොත් ඉන්ෆ්ලූවෙන්සා කියන තත්වයට හැරෙන්න පුළුවන්.Influenza ඉන්ෆ්ලූවෙන්සා කියන රෝග තත්වයට ඒ නම ලැබුණෙ තාරකාවල හෙවත් ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියල විශ්වාසයක් ඉස්සර තිබුණු හින්දයි. ඉන්ෆ්ලූවන්ස් influence කියන ඉංගිරිසි වචනෙ තේරුම බලපෑම කියන එකයි. මහාමාරිය වැනි වසංගත ඇති වෙන්නෙත් මේ ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියලයි ඒ කාලෙ විශ්වාස කළේ.
    2

    ෆ්ලෙමින්ට අහම්බෙන් ලැබුණු පෙනිසිලින්


    පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා ගත්තෙ අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට ඉස්සර, එනම් 1928 දී. ස්කොට්ලන්ත ජාතික ශාකාණු විද්‍යාඥ ඇලක්සැන්ඩර් ෆ්ලෙමින් එංගලන්තයේ පිහිටි ඔහුගේ පරීක්ෂණාගාරයේ පරීක්ෂණවල නිරතව සිටිය දී අමතක වීමක් නිසා කෙරුණු අහඹු සොයා ගැනීමක්. ඔහු කරමින් සිටි බැක්ටීරිවේදීය පරීක්ෂණවලදි අමතකවීමකින් බැක්ටීරියා හෙවත් ශාකාණු දමා තිබුණු පැතලි දීසියක් වසා දමා තිබුණේ නෑ. එහි ඉහළ මාලයේ පරීක්ෂණ පවත්වමින් සිටි පර්යේෂකයකුගේ නොසැලකිල්ල නිසා ඔහු පරීක්ෂණයට භාවිත කරමින් සිටි දිලීරයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගිහින් ඇරලා තිබුණු ජනේලෙන් පිටතට ගියා. ඒවා ෆ්ලෙමින්ට වහන්නට අමතක වූ පැතලි දීසියේ තිබුණු ස්ටැපිලොකොකයි බැක්ටීරියා රෝපණයක් මත වැටුණා. පසුවදා ඔහුට දැක ගන්නට ලැබුණේ එම දීසියේ බැක්ටීරියාවලින් කොටසක් විනාශ වී ඇති බවයි. එහෙම විනාශ වුණේ ඉහළ මාලයෙන් ගසාගෙන ආ දිලීර කොටස්වලින්. ඒ තමා පෙනිසිලින් Penicillin.
    0

    රජතුමා ඉබිතුමා කළ හැටි : තවත් අන්දරේගේ කතාවක්

    දවසක් රජතුමා පිරිවර සමග දෝලාවෙන් ගමනක් ගියේය. මිනිස්සු හතරදෙනෙක් දෝලාව ඔසවා ගෙන ගියහ. එදා අන්දරේ ද රජතුමා සමග ගමනට එක්වී දෝලාව පසෙකින් යමින් සිටියේය. අතරමඟදී රජතුමා මග අයිනේ විශාල ඉබ්බකු සිටිනු දුටුවේය. එත් ඒ නොදුටුවාක් මෙන් ගමන ගිය රජතුමා පසුවදා උදේ අන්දරේ රාජ සභාවට ආ පසු කවි තේරවිල්ලක් කියන්ට තෝරන්නට හැකිදැයි ඇසීය.

    ‘‘රජතුමනි, ඒ මොකක්දැයි අහන්නෙ නැතුව තෝරන්න පුළුවන්දැයි කියන්නෙ කොහොමද? උදහස් නොවී කවිය වදාරන්ඩ. පුළුවන් නම් තෝරනවා’’ අන්දරේ කීවේය.

    ‘‘එහෙනම් මෙන්න අහගන්න’’ කී රජතුමා උස් හඬින් මේ කවිය කීවේය.

    දාර දෙකයි එක තැන මුල් කර     තැනුවා
    පාර තිහක් තැලූවට බියකුත්        නැතුවා
    කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
    තෝරාපන් ඊයේ මග දී               දුටුවා

    ඒ කවිය කියනවාත් සමගම අන්දරේට කලින් දවසේ රජතුමා සමග යද්දී දුටු ඉබි රාජා මතක් විය. රජතුමාට විහිලූවක් කරන්නට සිතූ අන්දරේ පිළිතුරු දුන්නේ මේ තේරවිලි කවියෙනි.

    දාර දෙකක් එක ළඟ එක           ගැවසීය
    වටපිට යන කලට කනු සතරින්        යාය
    ගෙට වැඩි කලට කිසි බියකුත්     නැතුවාය
    මට දැනෙනා ලෙසින් මහරජ        ඉබ්බාය

    මිනිසුන් හතර දෙනකු ඔසවාගත් දෝලාවකින් තමන් පෙරදා ගිය ගමන රජුට සිහි විය. අන්දරේ තමන්ව ඉබ්බාට සමාන කරමින් කළ සරදම ගැන රජතුමා කිපුණේ නැත. ඒ වෙනුවට අන්දරේගේ දක්ෂකමට ප‍්‍රශංසා කරමින් තෑගි බෝග දුන්නේය.
    3

    ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ

    ලෝක සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි. ඔහු නවකතාකරුවකු පමණක් නොව කවියකු, නාට්‍ය රචකයකු, ඔපෙරා රචකයකු, චිත‍්‍රශිල්පියකු, නිදහස් චින්තකයකු, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු මෙන් ම ප‍්‍රකට දේශපාලන චරිතයක් ද විය. වික්ටර් මාරී හියුගෝ නමින් 1802 පෙබරවාරි 26 වැනිදා ප‍්‍රංශයේ දී උපන් ඔහු කුඩා කල දස්කම් පෑවේ කවියකු ලෙසය. ඒ ප‍්‍රාථමික පාසල් සිසුවකුව සිටියදීය. ඔහු මුලින් ම පළ කළේ ද කවි පොතකි. ඔහුගේ ඉතා දිගු සාහිත්‍ය ජීවිතය පුරා ම සෑම දිනකම පද්‍ය පේළි 100ක් ද ගද්‍ය පිටු 20ක් ද ලියන්නට සමත් වූ බව සඳහන්ය. 

    යොවුන් වියේ දරිද්‍රතාවෙන් බොහෝ සේ පීඩා විඳි ඔහු, 1822 ලියූ කවි එකතුවක් නිසා පැහැදීමට පත් ප‍්‍රංශයේ 18 වැනි ලූවී රජු ඔහුට වාර්ෂික විශ‍්‍රාමික පාරිතෝෂිකයක් ද පිරිනැමුවේය. රාජ්‍ය පාලකයන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ ඔහු ඇතැම් විටෙක රාජ්‍ය පාලකයන්ට එරෙහි ව අභීතව සටන් වැදුණු අවස්ථා ද බොහෝය. ඒ නිසා විටෙක ඔහුට සිය මවුබිමින් පිටුවහල් වී සිටීමට ද සිදු විය.
    ඔහු ජීවත්ව සිටියදී පළ වූ පොත් සිය ගණනකි. එසේ ම ඔහු 1885 මැයි 22 වැනිදා මිය ගිය පසු පළ වූ කෘති ද තිස් ගණනකි. පැරීසියේ දී සිදු වූ ඔහුගේ අවමඟුලට විසි ලක්ෂයකට අධික ජනකායක් සහභාගි වූ බව සඳහන්ය.

    ලෝක සාහිත්‍යයේ වඩාත් ප‍්‍රසිද්ධ චරිත දෙකක් වූ යාන් වැල්යාන් (‘ලෙ මිසරබ්ල’ නවකතාවේ ප‍්‍රධාන චරිතය) හා ක්වෝසිමොඩෝ (හන්ච්බෑක් ඔෆ් නොත‍්‍රඩම් - මේ පොත ‘ආදර ස්මෙරල්ඩා’ යන නමින් සිංහලෙන් පළවී තිබේ.) නිර්මාණය කිරීමෙන් ලෝක සාහිත්‍යය තුළ අමරණීයත්වයට පත් වූ වික්ටර් හියුගෝ නවකතා ගණනාවක් ම ලොවට දායාද කර තිබේ. ඔහු 1829 දී ලියූ මුල් ම පරිණත නවකතාව වූ ‘ලාස්ට් ඬේස් ඔෆ් ද කොන්ඩෙම්න්ඞ් මෑන්’ (මරණයට කැප කළ මිනිසකුගේ අවසාන දින කීපය) නම් නවකතාව ඇල්බෙයා කැමූ, චාල්ස් ඩිකන්ස්, ෆියඩෝර් දොස්තොව්ස්කි වැනි ලේඛකයන්ට ආභාසයක් වූ බව සඳහන්ය. සියවස් දෙකකට පමණ පෙර ඔහු මානව හිමිකම් පිළිබඳව මතවාදයක් ඇති කළේත් මරණ දඬුවම අහෝසි කරන්නට ලොව පුරා උද්ඝෝෂණයක් දියත් කළේත් එම කෘතියෙන් පසුවය. පීඩිත ජන ජීවිත ප‍්‍රධාන චරිතවලට යොදා ගෙන මිනිස්කම ගැන ප‍්‍රශ්න කරන්නට, සමාජ අසාධාරණයට හා අයුක්තියට එරෙහිව සටන් කරන්නට ඔහු පෙලඹුණේ මින් පසුවය. ‘මනුතාපය’ ්දීන දුක’ ආදි වශයෙන් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුණු ඔහුගේ ‘ලෙ මිසරබ්ල’ නවකතාව පළ වූයේ 1862 දීය. පිටු 1200ක් වූ ඒ නවකතාව ලියන්නට ඔහුට වසර 17ක් ගත විය. එම නවකතාව ප‍්‍රකාශකයාට බාර දී විදේශගත වූ ඔහු ඒ පිළිබඳව ප‍්‍රකාශකයා සමග කළ ලිපි හුවමාරුව ලෝකයේ ප‍්‍රථම හා කෙටිම පණිවුඩ හුවමාරුව ලෙස සැලකේ.

    ඔහු ප‍්‍රකාශකයාට යැවූ ලිපියෙහි සඳහන් වූ එකම ලකුණ වූ ‘?’ ප‍්‍රකාශකයාගේ පිළිතුර වූයේ ‘!’ යන්නය.

    (විස්තර සඳහා බලන්න විකිපීඩියා විශ්වකෝෂයෙහි Victor Marie Hugo&

    0

    බීම බටයේ උපත - නළපාන : ළමා සිතට ජාතක පොතෙන්

    අද මුළු ලොව පුරා ජනපි‍්‍රය බීම බටයේ සංකල්පය මුලින් ම ආවේ ද මේ නළපාන ජාතක කතාවෙනි.  නළපාන යන්නෙහි අරුත ද බීම බටයයි. බොහෝ සේ ජනපි‍්‍රය මෙම කතාව කවුරුනුත් දන්නා එකක් වුවද මෙහි දී එය කෙටියෙන් දැක්වීම අවශ්‍යයයි සිතමි.  


    බුදුන් වහන්සේ විසින් මේ ජාතක කතාව දේශනා කරන ලද්දේ භික්ෂු පිරිසක් සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරමින් සිටියදීය. නළපාන ගම නළපාන පොකුණු තෙර දී ඒ අසල වැවී තිබුණු බටගස්වල දඬු ගැට නැති එ්වා බව දුටු භික්ෂූහූ බුදුන් වහන්සේගෙන් ඒ බට දඬුවල ගැට නැති වූයේ කුමක් නිසාදැයි විමසූහ. ඊට පිළිතුරු දුන් උන්වහන්සේ ‘එය මාගේ පෙර අධිෂ්ඨානයකැ’යි කියා පෙර ආත්මයක සිදු වූ මෙම අතීත කතාව දේශනා කර ඇත්තේ එම අවස්ථාවේ දීය.

    ඈත අතීතයේ ඒ පෙදෙස මහ වනාන්තරයක් විය. එකල බෝසතාණන් වඳුරු රාජයකුව ඉපිද සිටියේ  වඳුරන් අසූදහසක පිරිවරක් සමගය. ඒ වඳුරු රැුලෙහි නායකයා වූ බෝසතාණෝ පිරවර වඳුරන් අමතා මෙසේ කීහ: ”මේ වනයේ නොයෙක් විෂ පලතුරු සහිත ගස් ඇත. ජලරකුසන් අරක්ගත් පොකුණු ඇත. මගෙන් නො විමසා ඉන් පෙර නොකෑ දෙයක් නො කෑ යුතුය. මට නො කියා පෙර පැන් බීම නො කළ පොකුණකින් පැන් බීම නො කළයුතු ය. හැම විට ම මෙය සිහියේ තබා ගත යුතුය.”

    වනයේ ඇවිදිමින් ගිය වඳුරු රංචුවට පිපාසය ඇති විය. දිය බීමට තැනක් සොයමින් යන වඳුරන්ට පොකුණක් හමු විය. ඔවුහූ එය ඉන් පෙර දිය නො බිව් පොකුණක් බව හඳුනා ගත්හ. ඒ නිසා එහි දිය බීමට පෙර ඒ ගැන බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ පොකුණ පරීක්ෂා කර බැලූහ. පොකුණ දෙසට ගිය අඩි මිස පොකුණෙන් ගොඩට ආ අඩි කිසිවක් නැති බව දුටහ. ඒ අනුව එම පොකුණ ජලරකුසකු අරක්ගත් එකක් බව සැක හැර දැනගෙන ඒ බව පිරිවර වඳුරන්ට කියා, තම අවවාදය පිළිගෙන කි‍්‍රයා කළ ආකාරය ගැන ඔවුන්ට ප‍්‍රශංසා කළහ.
    ‘එසේ නම් අප පිපාසය නැති කර ගන්නේ කෙසේදැ’යි වඳුරෝ ඇසූහ.

    ඒ අතර දියට නො බැස බලා සිටින වඳුරන් දැක තවදුරටත් ඉවසිය නො හැකි වූ ජලරකුසා දිය මතුපිටට අවුත්, ‘බලා සිටින්නේ මක්නිසාද? පොකුණට බැස පැන් බොන්නැ’යි වඳුරන්ගෙන් ඉල්ලා සිටියේ ය.
    මෙහිදී බෝසතාණෝ එම ජලරකුසා අමතා මෙසේ ඇසූහ: ”නුඹ මෙම විලට අරක්ගෙන සිටින ජලරකුසා ද?”
    ”එසේය, මෙහි විලට දිය බොන්නට බසින සියලූ සතුන් අල්ලා ගෙන කන්නෙමි. නුඹලාටද දැන් ගැලවීමක් නැත. පිපාසය නිවා ගැනීමට නම් දියට බැසිය යුතු මය.” ජලරකුසා කීය.

    ”නුඹට අපව ආහාරයට ගත හැක්කේ දියට බැස්සොත් පමණය. එහෙත් අපි දියට නොබසිමු. එසේ වුවද දියත් බොමු.” කී බෝසතාණෝ වටපිට බලා ඒ අවට වැවී තිබුණු බට පඳුරු දැක ඉන් දණ්ඩක් ගෙන්වා ගෙන එහි එක් කොණකින් පිඹ ඒ මැද වූ ගැට සියල්ල ඉවත් කර එක සිදුක් ඇති නළයක් බවට පත් කළහ. මෙසේ අනෙකුත් බට ද ගෙන්වා පිඹ දුන්නේය. සියලූම වඳුරන්ට මෙසේ බට දඬු සකසා දීමට කාලය හරස් වන බව දුටු බෝසතාණෝ සිය පාරමී දම් සිහි කර සත්‍යකි‍්‍රයා කොට අවට ඇති සියලූ බට ඒක සිදුරක් ඇති ඒවා බවට පත් වේවායි අධිෂ්ඨාන කළහ. එපරිද්දෙන් සියල්ල සිදු විය. වඳුරු පිරිස ඒ බට දඬු යොදා ගෙන නායකයා අනුගමනය කරමින් බීම බට යොදා ගෙන ගොඩ බිම සිට සිත්සේ දිය උරා බිව්වාහ. ජලරකුසා පාරද විය.

    - පන්සියපනස් ජාතක පොත - කතා අංක 20 නළපාන ජාතකය*

    එදා ඒ වඳුරු පිරිස මෙන් වර්තමානයේ අපිද විෂ බීජ නැමැති ජලරකුසන්ට අසු නො වී බීම බටයෙන් අදත් බීම පානය කරමු.
    Related Posts Plugin for WordPress, Blogger...
    Back to Top