හකුයින් කියන සෙන් ගුරුවරයා පිරිසිදු ජීවිතයක් ගත කළ අයෙකු ලෙස ප‍්‍රකටව සිටියා. ඒ නිසා බොහෝ දෙනා ඔහුට ගෞරව කළා.
ඒ ළඟපාත ලස්සන ජපන් තරුණියක් ජීවත් වුණා. ඇගේ දෙමාපියන් ධනවත් අය.
තාත්තා පොහොසත් මුදලාලි කෙනෙක්. හදිසියේ ම ඒ දෙමාපියන්ට දැන ගන්න ලැබුණා, ඒ තරුණිය මවක් වෙන්න යන බව.
මේක අහලා ඒ දෙමාපියන්ට හොඳටෝම තරහ ගියා. ඔවුන්ට දැන ගන්න ඕනැ වුණා දරුවගෙ තාත්ත කවුද කියල දැන ගන්න. ඒත් ඇය කියන්න කැමති වුණේ නෑ. අන්තිමේ දී නොයෙකුත් තාඩන පීඩන කරලා ඇයගෙන් අහ ගත්තා, දරුවගේ පියා කවුද කියලා. ඒ තමා හකුයින්.
දෙමාපියන් ඒක අහපු ගමන්ම තරහෙන් පිපිරි පිපිරි එතුමා හමුවෙන්න ආරාමයට ගියා. ඔවුන් කී සියල්ල එතුමා නිහඬව අහගෙන හිටියා.
අවසානයේ දී එතුමා මෙහෙම කිව්වා:”ඒකත් එහෙමද?”
”ඒකත් එහෙමද කියල හරියන්නෙ නෑ. අපි දරුවා ලැබුණාම ඔබට ගෙනත් දෙනවා.” දෙමාපියන් යන්න ගියා.
දරුවා උපන්නාට පස්සෙ ඔවුන් දරුව ව අර ගෙන ගිහින් සෙන් ගුරුතුමාට බාර දුන්නා. ඔවුන් එතුමාට කළේ ලොකු ලැජ්ජාවක්. එතුමාගේ පිරිසිදු ජීවිතයට ලොකු කැලලක් සිදු වුණා. ඒත් එතුමා එයින් මඳක්වත් සැලූණේ නෑ. කිසිත් මුවින් නොබැණ දරුවාව බාර ගත්තා. අසල්වාසීන්ගෙත් උදවු ඇතුව ඒ දරුවාට කිරි ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය හැම දෙයක්මත් ලබා දීලා දරුවාව හොඳින් හදා වඩා ගත්තා.
අවුරුද්දක් විතර ගත වුණා. දරුවගෙ අම්මට දරුවා නැතුව තවදුරටත් ජීවත්වෙන්න බැරි තරම් දරු කැක්කුමක් ආවා. ඇය අවසානයේ දී ඇත්ත හෙළි කළා. ඒ දරුවාගේ ඇත්ත පියා මාළු වෙළෙඳ පොළේ තරුණයෙක්.
ඒක අහපු ගමන් ම ගෑනු ළමයාගෙ අම්මත් තාත්තත් ගියා, ආරාමයට. ගුරුතුමා හමු වෙන්න. ගිහින් වැඳ වැටිලා අනේක වාරයක් සමාව ඉල්ලූවා, තමන් අතින් වුණු වැරැුද්දට. සමාව ඉල්ලල දරුවාව ආපහු ඉල්ලූවා.
හකුයින් ගුරුතුමා ඒ ඉල්ලීමට එකඟ වුණා. දරුවාව ආපහු දෙන ගමන් කිවේ ”ඒකත් එහෙමද?” කියල විතරයි.
(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
0 Comments