HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ලෝක විනාශය සිදු වෙයි ද? තව දුරටත් සොයා බලමු...

ඔක්තෝබර් මස 29 වැනිදා, ‘සැන්ඩි’ නමැති සුළි කුණාටුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු අයුරු විදෙස් පුවත් සේවා හරහා අපට දකින්න ලැබුණා. හරිකේන් වර්ගයේ ඒ සුළි කුණාටුවත් සමඟ මහ වැසි සහ මීටර් ගණනාවක් උසැති මුහුදු රළ වෙරළ තීරයේ නගරවලට කඩා වැදුණා. සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවූයේ ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය මෙන්ම නොනිදන නගරය ලෙස ද සැලකෙන නිව්යෝක් නගරයටයි. නිව්යෝක් නගරයේ ලිබර්ටි දූපත පවා ජලයෙන් යට වී සුප‍්‍රකට ලිබර්ටි ප‍්‍රතිමාවටත් හානි සිදුවුණා. ඇමෙරිකාවට සැන්ඩි කළ හදිය අතිමහත්. දේපොළ හානි ජීවිත හානි රැසක් සිදුවුණා. තවමත් එම ව්‍යසනයෙන් ගොඩ ඒමට ඇමෙරිකානුවන්ට හැකියාවක් ලැබී නැහැ.


සැන්ඩි සුළි කුණාටුව නිව්යෝක් නුවර කලඹන අයුරු විදෙස් පුවත් සේවා හරහා දකිද්දී, අපේ සිහියට නැගෙන්නේ ජනපි‍්‍රය හොලිවුඞ් අධ්‍යක්ෂක රෝලන්ඞ් එම්රිච්, 2004 වසරේ දී නිර්මාණය කළ ‘ඬේ ආෆ්ටර් ටුමෝරෝ’ චිත‍්‍රපටයයි. ඒ චිත‍්‍රපටයට පාදක වූයෙ මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පරිසර උෂ්ණත්වය ඉහළ ගොස්, අයිස් තට්ටු දියවී, සාගර ජල මට්ටම ඉහළ යමින්, පෘථිවියේ උණුසුම් කාලගුණය අවසන් වී, උතුරු අර්ධගෝලය අයිස්වලින් වැසී පෘථිවියේ අයිස් යුගයක් ඇති වීම පිළිබඳ කතාවයි.

එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව 18 වැනි වරට පසුගියදා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී සති දෙකක් පුරා පැවැත්වුණා. මේ වන විට මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් කාබන්ඩයොක්සයිඞ් වැඩි වැඩියෙන් පරිසරයට එක් වී, උෂ්ණත්වය ඉහළ ගොස් ගී‍්‍රන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යෑමට පටන් ගෙන ඇති බවත් එලෙස දිය වී ගොස් ඇමෙරිකාව තරම් විශාල අයිස් කුට්ටියක් කැඞී වෙන් වී සාගරයට එක් වී ඇති බවත් එම සමුළුවේදී ජගත් කාලගුණ විද්‍යා සංගමයේ විද්‍යාඥයන් සහ පරිසරවේදීන් පෙන්වා දුන්නා. ජගත් කාලගුණ විද්‍යා සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැඞී වෙන් වූ එම අයිස් කුට්ටියේ විශාලත්වය වර්ග කිලෝ මීටර් මිලියන 12ක් තරම් වන බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් ජගත් කාලගුණ විද්‍යා සංගමය උනන්දුවීම ආරම්භ කළේ මීට වසර 10 කට පෙර සිටයි. 2012 වසරේ ගෝලීය උෂ්ණත්වය වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි ද ජගත් කාලගුණ විද්‍යා සංගමය පැහැදිලි කරයි. ඇමෙරිකාවට කඩා වැදුණු ‘සැන්ඩි’ සුළි කුණාටුව පමණක් නොව මීට මාස කිහිපයකට පෙර යුරෝපයේත් රුසියාවේත් ඇතිවුණු අධික වියළි කාලගුණයට හේතුව ද පරිසර උෂ්ණත්වය ඉහළ යෑමෙන් සිදුවුණු කාලගුණ පෙරැුළි යැයි ද දෝහා සමුළුවේදී විද්‍යාඥයන් අවධාරණය කළා. මෙතෙක් අප පරිසරයට සිදු කළ හානියේ තරම අතිමහත් බවත්, දැන් අපට ආපසු හැරීමට ප‍්‍රමාද වැඩි බවත් ජගත් කාලගුණ විද්‍යා සංගමය බිය පළ කරනවා.

1990 වසරේදී ඇති කරගත් කියෝතෝ ප‍්‍රඥප්තියට අනුව මනුෂ්‍ය වර්ගයා කටයුතු කළේ නම්, අද අපට මෙවැනි ව්‍යසනයකට මුහුණ පෑමට සිදු නොවනු ඇතැයි ජගත් කාලගුණ විද්‍යා සංගමයේ මහ ලේකම් මයිකල් ජුරාඞ් අවධාරණය කරනවා.

ඉදිරියේදී පොසිල ඉන්ධන එනම් තෙල් සහ වායු දහනය සීමා කිරීමටත්, හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම අවම කිරීමටත් දැඩි ව කටයුතු කළ යුතු යැයි එම සමුළුවේදී ලෝක නායකයන් ඒකමතිකව තීරණය කළා පමණක් නොව 2015 තෙක් කියෝතෝ ප‍්‍රඥප්තියට අනුව කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කළා.

ලෝකයේ විවිධ සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ලෝක විනාශයට මුල් වන පරිසර විනාශය නැමැති සතුරා මිනිස් වර්ගයාට නොදැනීම හිස ඔසවමින් සිටින්නේ මේ විදියටයි. ඒ අනුව සැබෑ ලෝක විනාශයකට අප දැනටමත් මඟ හෙළිපෙහෙළි කර යන්නේ යැයි ද ජගත් කාලගුණ විද්‍යා සංගමය එම සමුළුවට ඉදිරිපත් කළ ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වෙනවා.

දෝහා කාලගුණ සමුළුවේ වාර්තාව නිකුත් වීමත් සමඟත් ස්වාභාවික ව්‍යසන ගැන නිරන්තරයෙන් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ එක්කම 2012/12/21 වැනිදා ලෝක විනාශය සිදුවේවිදැයි යන කුහල යළිත් අප සිත් තුළ වර්ධනය වීමට පටන් ගත්තා. ඇතැම් පුද්ගලයන් හා මාධ්‍ය මේ වන විටත් ලෝක විනාශය ‘වවාගෙන කෑමක්’ කරගෙන ඇති ඇත්තේ පටු වාණිජ අරමුණු පෙරදැරි කර ගනිමිනුයි. දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය පාදක කර ගනිමින් එම්රිච් නිර්මාණය කළ ‘2012’ නමැති චිත‍්‍රපටය ද වාණිජමය වශයෙන් සාර්ථක වූ, ඒ අරමුණම පදනම් කර ගත් එකක්.

ලොව පුරා සිනමාහල් හා රූපවාහිනී නාළිකා ඔස්සේ අපට නරඹන්න ලැබුණු ‘2012’ චිත‍්‍රපටයට විශේෂයෙන් පාදක වූයේ අතීතයේ දකුණු ඇමෙරිකාවේ මායාවරුන් නිර්මාණය කළ දින දර්ශනයයි. ලෝක විනාශය කෙසේ වුවත් මෙම පුරාණ මායා කැලැන්ඩරය නම් හැබෑවක්. මීට වසර දෙදහසකටත් වඩා පැරැුණි ශිෂ්ටාචාරයක් ඇති මායාවරුන් ඔවුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනය ලෙස නම් කරලා තියෙන්නේ 2012.12.21 දිනයයි.


මායාවරුන් දක්ෂ තාරකා විද්‍යාඥයන් මෙන් ම ජෝතීර්වේදීන් ද වූ පිරිසක්. ඔවුන් අතීතයේ හා අනාගතයේ දින ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට සමත් වුණා. මායාවරුන් 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු දින සටහන් කර තැබුවේ නැත්තේ ඇයි ? ඒ කියන්නේ ‘2012’ චිත‍්‍රපටයෙන් පෙන්නා දුන්නා වාගේ 2012 දෙසැම්බර් 21 දා සැබැවින් ම ලෝකය අවසන් වෙනවාද ? යන්න මේ වන විට අප කාගේත් සිත්වලට දැන් වද දෙන ප‍්‍රශ්නයක් වෙලා!

2012 චිත‍්‍රපටය කී ආකාරයට ලෝක විනාශයක් හෝ වෙනත් විදියේ ලෝක විනාශයක් හෝ හෙට දිනයේ සිදු නොවන බව නාසා ආයතනය පසුගිය දින පුරා ම පුන පුනා අවධාරණය කළා. ලෝක විනාශය සිදු වන ආකාරය ලෙසින් 2012 චිත‍්‍රපටයෙන් කියැවුණේ හිරුගෙන් නිකුත් වන විනාශකාරී විකිරණ රැගත් අග්නි ජාලා පෘථිවිය දෙසට හමා ඒමෙන් පෘථිවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වී, ගිනි කඳු පිපිරීම්, දරුණු භූකම්පන ඇති වීම් හා ‘මෙගා සුනාමි’ නම් විශේෂ සුනාමි රළ හට ගෙන මුළු ලොවම ජලයෙන් යටවීමයි. නමුත් එම්රිච්ගේ ඒ චිත‍්‍රපටයට අනුව මේ සියල්ල සිදුවන්නේ එක රැයින් නොවේ. ඒ චිත‍්‍රපටයෙන් කියැවුණේ එම සිදුවීම් 2010 සහ 2011 යන වසරවල සිට සිදුවන බවයි. මේ වසරේ අවස්ථා කිහිපයකදී සූර්ය ගිනිදැල් නිකුත් වීම් වාර්තා වුණත් එයින් පෘථිවියට ලොකු බලපෑමක් නොවූ බව නාසා විද්‍යාඥයන් අවධාරණය කරනවා.

2012 චිත‍්‍රපටයේ ලෝක විනාශය සිදුවූ ආකාරයට සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක එක එල්ලේ පිහිටීමක් ද සිදුවන බව තාරකා විද්‍යාඥයන් පැවැසුවත් එයින් ද පෘථිවියට කිසිදු අනතුරක් නොවන බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි.

හවාඞ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ මයිකල්. ඞී. කෝයි ‘ද මායා’ යනුවෙන් 1966 දී පොතක් පළ කළා. එය අතිශයින් ජනපි‍්‍රය වුණා. සාර්ථක අලෙවියක් ද වාර්තා කළා. ඒ පොතෙන් කෝයි පැහැදිලි කියා සිටින්නේ මායාවරුන්ගේ හිරු, සඳු හා තරු පිහිටීම අනුව ඔවුන්ගේ දින දර්ශනය ඉතා නිවැරදිව සකස් කර අනාගතයේ දින කාල වකවානු ගැනත් සටහන් තැබූ බවයි. ඒ දින දර්ශනයට අනුව එහි අනාගතයට ගණනය කළ දින සියල්ල 2012 දෙසැම්බර් 21 වැනිදායින් (12/21/12) අවසන් වන්නේ යැයි කෝයි පෙන්වා දෙනවා. ඒ අනුව තමයි, කෝයි අවධාරණය කරන්නේ 2012 වසරේ දී ලෝකාවසානය සිදු වන බව. කෝයි විතරක් නොවෙයි, තවත් බොහොම දෙනෙක් එහෙම කියනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ පොත් අළෙවි කර ගැනීමේ පටු වාණිජ පරමාර්ථවලින් බවත් පැහැදිලියි.

එදා මායාවරුන්, ඔවුන්ගේ ලෝකය 2012 දෙසැම්බර් 21 අවසන් වන්නේ යැයි සිතූ බව කියන අය මෙන් ම වර්තමානයේ ඇතැම් විද්‍යාඥයන් ද විශ්වාස කරන්නේ මායා අභිලේඛන වැරදි ලෙස වටහා ගැනීමෙනැයි මායා ශිෂ්ටාචාරය ගැන හසල දැනුමක් ඇති පුරාවිද්‍යාඥයන් පැහැදිලි කරනවා. මායා කැලැන්ඩරය බොහෝ දෙනා වැරදි ලෙස අර්ථ දක්වන බවයි, ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර කියන්නේ.

ඒ අය කියන්නේ මායාවරුන් ඔවුන්ගේ කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු නව ආරම්භයක් ඇති වන්නේ යැයි අදහස් කළ බවයි. ඒක හරියට මොටෝ රියක වේග මානය සැතපුම් ලක්ෂයක් ධාවනය වූ පසු යළිත් බිංදුවෙන් පටන් ගන්නවා වගේ දෙයක්. ඒ අනුව මෙය ලෝක අවසානයක් හෝ ශිෂ්ටාචාරයක අවසානයක් නොවන බව ඔවුන් දැඩි ව අවධාරණය කරනවා.


2012 සූර්ය නිවෘත්තිය ඇති විට සෞරග‍්‍රහ මණ්ඩලයේ කක්ෂ තලය සහ රාශි දොළහේ ගමන් මාර්ගය එක එල්ලයට පිහිටන බව ජෝතීර්වේදීන්ගේ අදහසයි. ඒ සංසිද්ධිය ඇති වන්නේ ක්ෂීරපථයේ ධනු රාශිය අසළ ‘ස්වීභේදයක්’ (පැල්මක්) ඇති තැනකදීයි. පැල්මක් යැයි කීවත් මෙය පැහැදිලිව ම අපට පෙනෙන ආකාරයේ පැල්මක් හෝ ඉරිතැලීමක් හෝ නොවෙයි. දක්ෂ තාරකා විද්‍යාඥයන් වූ නිසා රාශී දොළහේ එම සංසිද්ධිය මායාවරුන් කල් තියා හඳුනාගන්නට ඇතැයිද ජෝතීර්වේදීන් වැඩිදුරටත් කියා සිටිනවා. ඒ සංසිද්ධිය යෙදී ඇත්තේ 2012/12/21 වැනිදාටයි.

තාරකා විද්‍යාඥ ටෙරන්ස් මැකෙනා මේ සම්බන්ධයෙන් නව න්‍යායක් ඉදිරිපත් කරනවා. ඔහුගේ එම න්‍යාය හැඳින්වෙන්නේ ‘කාල තරංග ශූන්‍යය’ කියායි. මැකෙනා එම න්‍යාය ඉදිරිපත් කරන්නේ ඇල්ෆ‍්‍රඞ් නෝර්ත් වයිට්හෙඞ් නම් දාර්ශනිකයාගේ ඉගැන්වීම් ඔස්සේයි. වයිට්හෙඞ්, ඔහුගේ තර්ක ඉදිරිපත් කරන්නේ පුරාණ චීන ‘අයි චෙං’ නම් දාර්ශනිකයාගේ ඉගැන්වීම්  වර්තමාන ගණිත ක‍්‍රම යොදා ගෙනයි. ඒ අනුව 2012 දෙසැම්බර් 21 දා ලෝකය වෙනස් වන දිනයක් යැයි මැකෙනා අනාවැකි පළ කරනවා. මායාවරුන් මෙන් ම මැකෙනා ද කියන්නේ කුම්භ රාශියෙන් කෙළවර වී මීන රාශියෙන් නවයුගයක් ආරම්භ වීමක් නැත්නම් යුගයක අවසානයක් සිදුවන බවයි.

පුරාණයේ බටහිර අර්ධගෝලයේ විසූ මායාවරුන් පමණක් නොව ඇස්ටෙක්වරුන් සතුව ද ඉතා දියුණු කැලැන්ඩර තිබුණා. මේ කැලැන්ඩර සකසා ඇත්තේ රූපාක්ෂර යොදා ගෙනයි. මෙම කැලැන්ඩරවල ඉලක්කම් නෑ. පුරාණ කැලැන්ඩර අතුරින් මායාවරුන්ගේ කැලැන්ඩරය, මධ්‍යම ඇමෙරිකාවේ අනෙකුත් ශිෂ්ටාචාරවල නිර්මාණය කෙරුණු කැලන්ඩරවලට බොහෝ සමාන වුණා. කි‍්‍ර. පූ. 3114 සිට ඇරෙඹන මායා කැලැන්ඩරයට එක් වසරකට දින 365 ක් ඇතුළත් වෙනවා. ඒ එක්කම ආගමික පුදපූජා වතාවත් අනුව නම් කළ දින 260 කුත් තියෙනවා. ඔවුන්ගේ දින 365 අවුරුද්දකට දින විස්සේ මාස 18ක් ඇතුළත් වෙනවා. වසර සම්පූර්ණ කරන්නට අසුබ දින 05ක් ද එක් කර තියෙනවා. වෘත්තාකාර මේ කැලැන්ඩරයෙන් දින 18,980ක් ගණන් කරන්න පුළුවන්. වසර 52 ක් නොකඩවා ගිය පසු එක් දිනක් ඊට එකතු කර නැවතත් නව වසරක් ඇරැඹෙනවා.


--සම්බන්ධිත පුවත් --


Post a Comment

3 Comments

  1. ඩේ ආෆ්ටර ටුමාරෝ නෙමෙයි අර ෆිල්ම් එක දඩේ ආෆ්ටර් ටුමාරෝ කියලා තමයි මට මතක...

    ReplyDelete
  2. ඔයාගේ බ්ලොග් අඩවිය විශිෂ්ටයි.මගේ බ්ලොග් අඩවියටත් ඇවිත් යන්න එන්නකෝ.http://imalkiudana.blogspot.com/

    ReplyDelete