උල්කාපාත වර්ෂාවක්, මුහුද ගොඩ ගැලීම ආදී ස්වාභාවික ව්‍යසන රැසක් සිදුවී පෘථිවිය මුළුමනින්ම විනාශවීම 2012 චිත‍්‍රපටයට තේමා වෙයි. නමුත් අප මේ කතා කරන්න සූදානම් වන්නේ රොනල්ඞ් එම්රිච්ගේ ඒ චිත‍්‍රපටය ගැන නොවේ. එම චිත‍්‍රපටයට පාදක වන්නේ අතීතයේ දකුණු ඇමෙරිකාවේ මායාවරුන් නිර්මාණය කළ කැලැන්ඩරයක් ගැනයි. මෙම මායා කැලැන්ඩරය ප‍්‍රබන්ධයක් නොවේ. මීට වසර දෙදහසක් තරම් පැරණි ශිෂ්ටාචාරයක් ඇති මායාවරුන් ඔවුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනය ලෙස නම් කර ඇත්තේ 2012.12.21 දිනයයි. මායාවරුන් දක්ෂ තාරකා විද්‍යාඥයන්, ජෝතීර්වේදීන් වූ අතර අතීතයේ හා අනාගතයේ දින ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට ඔවුහු සමත් වූහ.




ඈත අතීතයේ දී බටහිර අර්ධගෝලයේ විසූ මායාවරුන් හා ඇස්ටෙක්වරුන් සතුව ඉතා දියුණු කැලැන්ඩර තිබුණි. ඒවා අතරින් කැපී පෙනුනේ මායාවරුන්ගේ කැලැන්ඩරයයි. එය රටාව අනුව පුරාණ මැක්සිකෝවේ හා මධ්‍යම ඇමෙරිකාවේ අනිකුත් රටවල කැලන්ඩරවලට සමාන විය. එයට වසරකට දින 365ක් ආගමික පුදපූජා වතාවත් අනුව නම් කළ දින 260කුත් තිබුණි. මේ දින 365 වසරට දින 20ක මාස 18ක් ඇතුළත් විය. වසර සම්පූර්ණ කරන්නට අසුබ දින 05ක් ද එකතු කරනු ලැබීය. මේ කැලැන්ඩර වටය දින 18,980 ක්, එනම්, අවුරුදු 52ක් නොකඩවා ගිය පසු එක් දිනක් එකතු කර නැවතත් අවුරුද්ද ආරම්භ කෙරිණ.


මායාවරු 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු දින පටන් කර තැබුවේ නැත්තේ ඇයි? ඇත්තටම මෙය ලෝකයේ අවසානයද 1966 දී හවාඞ් සරසවියේ පුරාවිද්‍යාඥ මයිකල්. ඞී. කෝයි ‘ද මායා’ යනුවෙන් පොතක් පළ කර තිබේ. එම පොත අතිශයින් ජනපි‍්‍රය වී සාර්ථක අලෙවියක්ද වාර්තා කළේය. එම පොතෙන් ඔහු පැහැදිලිව කියා සිටින්නේ මායාවරුන්ගේ හිරු, සඳු හා තරු පිහිටීම අනුව ඔවුන්ගේ දින දර්ශනය ඉතා නිවැරදිව සකස් කර අනාගතයේ දින කාල වකවානු ගැනත් එහි සඳහන් කළ බවයි. එම දින දර්ශනයේ සියලූම දින අවසන් වෙන්නේ 12/21/12 දා යැයි කෝයි පේනවා දෙයි.