සිංහල භාෂාවෙහි නම්ගම් භාවිතයෙහි ඇති වෙනස්කම් මොනවාද? එයින් සතුන්ට භාවිත කරන නම් ගැනයි, මේ සටහන ලියන්නේ. අලියාගේ ගැහැනු සතාට කියන්නේ ‘කෙණෙර’ කියලයි. ඒ වගේම ‘අලිදෙන’, ‘අලිධේනුව’ කියන්නත් පුලුවන්. ඇතාගේ ගැහැනු සතා ‘ඇතින්න’යි. හස්තියාගේ ගැහැනු සතා ‘හස්තිනිය’යි. ඒ නම්වලින් එකම සතා හැඳින්නුවත් ස්ත්‍රී ලිංග පදය යෙදිය යුතු තැන්වලදි ඒ අදාළ පදය සමග ඊට සුදුසු පදය භාවිත කළ යුතුයි.

කිරි දී පැටවුන් හදන සතුන් බොහොමයකගේ ගැහැනු සතුන් හඳුන්වන්නේ ‘දෙන’ හෝ ‘ධේනුව’ යන්න අගට එකතු කිරීමෙන්. මුවා (මුව දෙන), ගවයා(ගව දෙන), ගොනා (දෙන), එළුවා(එළු දෙන), කොටියා (කොටි දෙන), දිවියා (දිවි දෙන), සිංහයා (සිංහ ධේනුව), ව්‍යඝ්‍රයා (ව්‍යාඝ්‍ර ධේනුව), එළ ගවයා(එළ දෙන), මී ගවයා (මී දෙන), කොටළුවා (කොටළු දෙන), බූරුවා (බූරු දෙන), ඔටුවා (ඔටු දෙන), සුනඛයා (සුනඛ ධේනුව), සිවලා (සිවල් ධේනුව), වවුලා (වවුල් දෙන), රයිනෝසිරස් (රයිනෝසිරස් ධේනුව), ජිරාෆ් (ජිරාෆ් ධේනුව), සීබ්‍රා (සීබ්‍රා ධේනුව),    ආදී වශයෙන් කියන්න පුලුවන්. ඒ වගේ ම මුව දෙනට ‘මුවැත්ති’ කියාත් කියන්න පුලුවන්. හාවා (හා දෙන) හෝ ‘හාවි’ කියන්න පුලුවන්. බැටළු දෙනට ‘මේෂ ධේනුව’ කියලත් කියන්න පුලුවන්. 

පිරිමි සතාගේ නම අගට ‘අච්චි’ යන පදය එක් කිරීමෙන් ස්ත්‍රී ලිංග පදය හදා ගන්න පුලුවන්. එළුවාට ‘එළුච්චි’ කියාත් මීයාට (මීච්චි) කියන්න පුලුවන්. පිරිමි නම අග සුළු වෙනසක් කිරීමෙන් ගැහැනු නම හදා ගන්න අවස්ථා තියෙනවා. නිද -බළලා (බැළලිය), බිළාලයා (බිළාලිය), බල්ලා (බැල්ලිය), ඉත්තෑවා (ඉත්තෑවිය), වලහා (වැලහින්න), මී මැස්සා (මී මැස්සිය), සමනළයා (සමනළිය), 

පිරිමි නමට මුලුමනින් ම වෙනස් නම් ගැහැනු සතාට යොදන අවස්ථා තියෙනවා. අලියාට ‘කෙණෙර’ කියනවා වගේ ඌරාගේ ස්ත්‍රී ලිංග පදය ‘ඊරි’ යයි. මොණරා (සෙබඩ), අශ්වයා (වෙළඹ) කියා කියනවා. 

කුරුලු ලෝකයේ දී පොදුවේ යොදන්නේ කුරුල්ලාට ‘කිරිල්ලිය’ යන්නයි. කුකුළා (කිකිළිය), හංසයා (හංස ධේනුව), පරෙවියා (පරෙවි ධේනුව), කොබෙයියා (කොබෙයි ධේනුව), කෙවුලා (කෙවිලිය), කපුටා (කපුටිය), කවුඩා (කැවිඩිය), මයිනා (මැයිනිය), ගිරවා (ගිරවිය), කොකා (කෙකින්න/කෙකනි), උකුස්සා (උකුස්සිය) ආදී වශයෙන් යොදන්න පුලුවන්. 

සිං‍හලෙන් වෘකයාගේ ගැහැනු සතාට ‘වෘක දෙන’ (වෘක ධේනුව) කියා කීවත් ඉංග්‍රීසි බසින් Wolf කියන වෘකයාගේත්, නරියාගේත්, බල්ලාගේත්, පිරිමි සතාට පොදුවේ කියන්නේ Dog කියායි. වෘකයාගේත් සුනඛයාගේත් ස්ත්‍රී ලිංග පදය Bitch වන අතර නරියාගේ ස්ත්‍රී ලිංග පදය Vixen යන්නයි. වලසා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ Bear කියායි. පිරිමි සතා Boar කියා හැඳින්වෙන අතර ගැහැනු සතාට කියන්නේ Sow කියායි. Boar යන්න ඉංග්‍රීසියෙන් වල් ඌරාටත් යොදනවා. ඉංග්‍රීසියෙන් කුකුළන්ට පොදුවේ Chicken කියා කියන අතර කුකුළා Rooster ද කිකිළිය Hen ද වෙනවා. කුකුළාට ‘සැවුලා’ කියන විට එහි ගැහැනු සතාට කියන්නේ ‘සැවුලිය’ කියායි. ඉංග්‍රීසියෙන් මුවා(Deer) ගේත් සාවා (Rabbit) ගේත් පිරිමි සතා Buck කියාත් ගැහැනු සතාට Doe කියාත් කියනවා. 

වඳුරාගේ ගැහැනු සතාට ‘වැඳිරිය’ කියා කීවත් මදුරුවාගේ ගැහැනු සතාට ‘මැදිරිය’ කියන්න බැහැ. එවිට සිහියට එන්නේ දුම්රිය ‘මැදිරිය’ යි. මදුරුවාට ස්ත්‍රී ලිංග පදයක් නැහැ. සර්පයාගේ ස්ත්‍රී ලිංග පදය’ සැපින්න’ යන්නයි. නයාගේ ස්ත්‍රී ලිංග පදය ‘සැපින්න’ යයි කීම වැරදිය. ඒ සඳහා වඩා සුදුසු ‘නැයිනි’යන්නයි. පිඹුරා (පිඹුරු ධේනුව/දෙන), මාළුවා (මිනැසිය/මැසින්න), තල්මසා (තල්මස් ධේනුව) තවත් නිදසුන් කීපයක්. 

- පර්සි ජයමාන්න