ලන්ඩනයේ ශාඞ් (Shard) ගොඩනැගිල්ල යුරෝපයේ උසම ගොඩනැගිල්ල ලෙස යුරෝපයේ අනෙක් සියලූ රටවල ගොඩනැගිලි අබිබිවා අහස උසට මෙතෙක් නැගී සිටියා. ඒ අභිමානය මාස කීපයකට වඩා පැවතුණේ නැහැ. දැන් රුසියාවේ මොස්කොව් නගරයෙන් ඊට අභියෝගයක් එල්ල වෙලා!

මොස්කොව් නගරය මේ අභිමානය යළි දිනා ගත්තේ ‘මර්කරි සිටි’ (Mercury City) නම් වූ කාර්යාල හා නිවාස ඇතුළත් උසම ගොඩනැගිල්ලක් ඉදිකරමිනුයි. පසුගියදා මෙය විවෘත කළා.

තඹ පැහැති වීදුරුවලින් ආවරණය කර ඇති එය මීටර් 338ක් (අඩි 1,109ක්) උසයි. ලන්ඩනයේ මීටර් 310ක් උස ශාඞ් ගොඩනැගිල්ලට වඩා අඩි 92ක් උසින් වැඩියි.

 
ඉහළට පෙනෙන හැටි - මොස්කොව් නගරයේ මර්කරි සිටි කුලූනු ගොඩනැගිල්ල දැන් යුරෝපයේ ඇති උසම ගොඩනැගිල්ලයි.

 
මර්කරි සිටි ගොඩනැගිල්ලට මේ අහිමානය රඳවාගෙන සිටින්නට හැක්කේ තවත් මාස කීපයක් විතරයි. ‘අල්ලපු ගෙදර අය’ ඒක උදුරා ගන්නයි හදන්නේ.

 
උසම ගොඩනැගිලි අතර - යුරෝපයේ උසම ගොඩනැගිල්ල, මර්කරි සිටි උස අඩි 1,109යි.

මර්කරි සිටි ගොඩනැගිල්ලට වැඩි කලක් මේ සතුට බුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ අල්ලූප බිමේ හැදෙනවා, ‘ෆෙඩරේෂන් ටවර්’ (Federation Tower) නමින් තවත් දැවැන්ත ගොඩනැගිල්ලක්. ඒක මීටර් 506ක් (අඩි 1,660ක්) උසයි. එහි වැඩි නිමවෙන්නේ ලබන වසරෙදියි.

මොස්කොව් නගරයේ ගොඩනැගිලි දෙකක් ම යුරෝපයේ උසම ගොඩනැගිලි ලෙස වරින්වර වැජඹුණා.

 
ඇමරිකාවේ, මැදපෙරදිග හා ආසියාවේ ගොඩනැගිලි එක්ක සසඳන කොට මර්කරි සිටි ගොඩනැගිල්ල කුරුමිට්ටෙක්!

 
මේ මර්කරි කුලූනු ගොනැගිල්ල රජ වෙන්න කලින් ලන්ඩනයේ ශාඞ් ගොඩනැගිල්ල තමයි, යුරෝපයේ උසම ගොඩනැගිල්ල වුණේ.

රුසියාවේ තෙල් හා ස්වාභාවික වායු සම්පත්වලින් ලැබෙන සමෘද්ධිය මේ අහසට උසට ඉදිවෙන මේ ගොඩනැගිලිවලින් පේනවා. මර්කරි සමාගමේ අධ්‍යක්ෂ කෙසෙයෙව් කියන්නේ, ”රුසියානු ව්‍යාපාරවල දියුණුව හා ප‍්‍රගතිය මේ ඉදිකිරීම් ව්‍යංගයෙන් කියා පානවා” බවයි.

යුරෝපයේ උසම ගොඩනැගිලි සමග කරන තරගය හරියට ළමුන්ගේ සෙල්ලමක් වගෙයි, යුරෝපයෙන් බැහැරව අනිත් රටවලයි, නියම උස ගොඩනැගිලි තියෙන්නේ. උතුරු ඇමෙරිකාවේ, ආසියාවේ හා මැදපෙරදිග රටවල තමයි, උසම උස ගොඩනැගිලි 60ක් විතර තියෙනවා. එයින් ඩුබායිවල තියෙන බර්ජ් ඛලීෆා තමයි දැනට තියෙන ලොව උසම උස ගොඩනැගිල්ල. මර්කරි සිටි වගේ දෙකහමාරක් උසින් වැඩියි. ඒ කියන්නෙ, මීටර් 828ක් (අඩි 2,717ක්) උසයි.

මෙයට වඩා උස ගොඩනැගිල්ලක් මාස තුනක් ඇතුළත ඉදිකරන සැලැස්මක් ඇති බවට ෂැංහයි නගරයෙන් වාර්තා වුණා. අපි ඒ ගැන ‘මල්කැකුළු’ වලින් කීවා ඔබට මතක ඇති. ඒත් එයට තාම චීනයේ මහ ආණ්ඩුවේ අනුමැතිය ඔවුන්ට ලැබී නැහැ. අනුමැතිය ලැබුණු පසු ඔවුන් එය මාස තුනක් ඇතුළත ඉදිකරාවි.