අප ‘මල් කැකුළු’ ආරම්භ කරමින් එදා, 2011 ඔක්තෝබර් 31 වැනිදා, ඔබට මෙහෙම කීවා මතක ඇතුවා නිසැකය. ”පුවත්පත් කලාවේ පනස් වසරක අත්දැකීම් ඇතිව නව මාධ්‍යයක් ඔස්සේ ඔබ වෙත සමීප වන්නට අප අදහස් කළේ නවලොවට සරිලන සන්නිවේදන අත්දැකීමක් බෙදාහදා ගන්නටය. කවදත් ළමා පරපුර වෙනුවෙන් ඇප කැප වුණු අප ඉදිරියටත් ඒ මඟ ම යන අදහසින් ආරම්භ කළ මෙම අඩවිය ලොව කොතැනක සිටියත් ළමා ඔබේ රස වින්දනය උසස් මට්ටමකට ගෙන යන්නටත් ඔබේ බුද්ධියේ නිම්වළලූ පුළුල් කරන්නටත්, ඉවහල් වන අයුරින් සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙමු.”

එදා අපි ‘මල් කැකුළු’ ආරම්භ කළේත්, තවමත් පවත්වා ගෙන යන්නේත්, නොමිලයේ කෙරෙන ප‍්‍රජා සත්කාරයක් හැටියටයි. අපට අවශ්‍ය වූයේ ලොව පුරා සිටින සිංහල කියවන ඔබට, ලොව නන්දෙසින් අසන්නට ලැබෙන නව සිදුවීම්, නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිර්මාණ, ආදිය පිළිබඳව සිංහලෙන් එසැණින් කියවීමට සැලැස්වීමටයි. එදා පොරොන්දු වූවාක් මෙන් අපි ඒ වෙනුවෙන් දිවා රෑ අන්තර් ජාලය ඔස්සේ නිරන්තරයෙන් ම සැරිසැරීමු. ඔබට ප‍්‍රයෝජනවත් දෑ සොයමින් විවිධ පොතපත කෙරෙහි ඇස සිත ෙයෙදව්වෙමු. එසේ සොයා ගන්නා දේ රසවත්ව, අලූත් ආරකින් ඔබ වෙත ගෙන එන්නට උත්සුක වීමුග හැම දෙයක් දෙස ම නව ඇසකින් බලන්නට ඔබව පොලඹවන්නට හැම විට ම උත්සාහ ෙකළෙමු. අපේ ව්‍යායාමය තරමක් දුරට හෝ සාර්ථකයැයි අපට හැෙඟන්නේ අපව බලපු ඔබේ සංඛ්‍යාව අද වන විට 5,60,000 ඉක්මවා තිබීම නිසාය.

‘නුවණ, දැනුම හා විනෝදය’ අපේ තේමා පාඨයයි. ඒ අනුව විශේෂාංග රැසක් ද අපි පසුගිය කාලය තුළ ඔබ වෙත ඉදිරිපත් කෙළෙමු. අපේ අත්තන්ගෙ විත්ති, අන්දරේගේ කතා, නස්රුදින්ගේ කතා, සූෆී උපමා කතා, සෙන් බොදු කතා, ජාතක කතා, ජනකතා, විද්‍යාඥයන් පිළිබඳ විස්මිත කතා ආදී විවිධ රසමුසු කතා පමණක් නොව, ගණිත විනෝදය, දුක දිනා ජයගත් හපන්නු, නව කවිසරණිය, නව සොයා ගැනීම්, නව දේශාටන, ලොව පුරාවිද්‍යා ගවේෂණ, සත්ව ලෝකයේ නවතම සොයා ගැනීම්, සක්වළ ගවේෂණ, ආදිය ගැන අපි ඔබ වෙත කරුණු ගෙන ආවෙමු. ලෝකයේ නොවිසඳුණු අබිරහස්, විස්මිත අත්දැකීම්, අද්භූත ලෝකයේ විස්මිත පුවත් පිළිබඳ කතා ආදිය ඉදිරිපත් කෙළෙමු. එතැනින් නොනැවතී පියවි ඇසට නොපෙනෙන සූක්ෂම ලෝකය ඔබේ පෙනෙන මානයට ගෙනාවෙමු.

අපේ වර්ගීකරණය දිහා විමසිල්ලෙන් බැලූවොත් ඔබට එහි ඇති විවිධත්වය කෙබඳුදැයි එක්වරම ප‍්‍රත්‍යක්ෂ වනු ඇති. අප මෙතෙක් ඉදිරිපත් කළ දෑ එකින්එක ගෙන හැර බැලූවොත් තවත් කොතෙක් දෑ ඉදිරිපත් කිරීමට ඉතිරිව ඇද්දැයි ඔබටම සිතා ගත හැකියි. ඒවා අනාගතයේ ඉඩ ලැබෙන පරිද්දෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

ඒ අතර ලොව අලූත්ම විස්මිත සිදූවීම් එසැණම ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි යුහුසුලූ වීමු. ඒ සෑම අවස්ථාවකදී අනෙක් සෑම සන්නිවේදන මාධ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටීමට අපි වග බලා ගත්තෙමු.

ඔබට වඩාත් ප‍්‍රයෝජනවත් වන පරිදි ‘මල් කැකුළු’ සම්පාදනය කිරීම අපේ ඒකායන අරමුණ බැවින් ඔබේ අදහස් උදහස් අපට දන්වන්න. ඒ අනුව වඩාත් රසවත්, ඔබේ බුද්ධි ප‍්‍රබෝධනයට ඉවහල් වන ආකාරයේ විශේෂාංග ‘මල් කැකුළු’වලට අනාගතයේ දී එක් කිරීමට බලාපොරොත්තු වෙමු.

‘මල් කැකුළු’ මෙතෙක් දුර ආයේ පාඨක ඔබේ අදහස් දැක්වීම් හා දිරිගැන්වීම් මතිනි. ඔබේ කමෙන්ටු අපට ආශිර්වාදයකි. ගත වූ වසර තුළ ‘මල් කැකුළු’ සාර්ථක කර ගැනීමට නොයෙක් ආකාරයෙන් අදහස් දැක්වීමෙන් හා විවිධ අයුරින් උදවු උපකාර කළ අය බොහෝය.