සුනාමි ගැන ඉගෙන ගන්න සුදුසු වීඩියෝවක් ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ ප‍්‍රවෘත්ති අංශයෙන් නිකුත් කර තියෙනවා. සුනාමියක් කෙතරම් භයානක ද? ගැලවීමට නොහැකි තරම් ව්‍යසනයක් ද? යන්න මින් තේරුම් ගන්න පුළුවන්.

පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 11 වැනිදා ජපානය ආශ‍්‍රිත මුහුදේ භූකම්පනයක් සිදු වුණා. ඉන් ඇති වුණු සුනාමියෙන් 28,000 වැඩි ප‍්‍රමාණයක් මිය ගියා නැතිනම් ආගිය අතක් නැති වුණා. ඒ සුනාමිය කළ ව්‍යාසනය තමයි මේ වීඩියෝවෙන් දැක්වෙන්නෙ. සුනාමිය නගරවලට කඩා වදිමින් ගොඩනැගිලි සුන්බුන් කළ හැටි.



උතුරු ජපානයේ වැසියන්ට මේ දරුණු භූකම්පනය හොඳින්ම දැනුණා. 2011 මාර්තු 11 වැනිදා සිදු වූ මේ භූකම්පනයේ විශාලත්වය රික්ට්චර් මාපක 9ක්. ඒක සිදු වුණේ උතුරු ජපානයේ මුහුදු වෙරළේ සිට සැතැපුම් 80ක් ඈතින්. සුනාමි අනතුරු ඇඟවීම භූකම්පනය සිදු වූ සැණෙන් මුහුදු වෙරළේ පිහිටි නගරවලට යවනු ලැබුවා. ඊළඟට කළ යුත්තේ කුමක් දැයි ජනතාව දැන සිටියා. ඔවුන් වහාම උස් බිම්වලට දිව්වා.

ජනතාව ආරක්ෂාව සඳහා දිවූ උස්බිම්වල ඉඳලයි, මේ රූපරාමු පෙළ කැමරාවට නඟලා තියෙන්නේ.

කෙසෙන්නුමා නගරයේ ජනතාව උස් ගොඩනැගිලි වහලවලට නැග ඔවුන්ගේ නගරය ජලයෙන් යටවී යන අන්දම භිතියෙන් ඇලලී බලා සිටියා. බිහිසුණු ජල කඳ වේගයෙන් අවුත් හැපී ගොඩනැගිලි සුන්බුන් කළා. යානවාහන පෙරළා ගෙන තල්ලූ කර ගෙන ආවා. ඒ සුන්බුන් සියල්ල එකම කැඳහැලියක් බවට පත් වෙනු ඔවුන් බලා සිටියේ කම්පාවට පත්වෙමින්.

මුහුද ගොඩගැලීම වැළක්වීමට බැඳ තිබූ ප‍්‍රාකාරවලට ඉහළින් නගර තුළට සාගර රැල්ල ගලා ආවා.


මේ වීඩියෝවෙන් ඔබට පෙනෙනවා ඇති, කමයිෂි නගරයේ අඩි 18ක් උස ප‍්‍රාකාරයට ඉහළින් ජලය වේගයෙන් ගලා එන ආකාරය. මෙය ලෝකයේ මුහුදු රැලි අවුරාලන ප‍්‍රාකාර අතරින් උසම හා විශාලතම එකයි. ඒත් මාර්තු 11 වැනිදා සුනාමියට මෙය ප‍්‍රමාණවත් වුණේ නෑ.

මේක තමයි ජපානය මුහුණ පෑ දරුණු ම භූකම්පනය. මෙය ලෝකයේ මෙතෙක් සිදු වූ භූකම්පන අතරින් පස්වැනි තැන ගන්නවා.

සාගර පත්ළේ ඇති භූකාරක තල එකිනෙක ගැටීමෙන් තමයි, මේ භූකම්පන හටගන්නේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අති විශාල බලයක් සාගර ජලයෙන් ඉහළට විහිදෙනවා. ඒ හේතුවෙන් අති විශාල ජලකඳක් ඉහළට විස්තාපනය වෙනවා. මේ ඉහළට තල්ලූවෙන ජල කඳ දිය මතුපිට සියලූ දිසාවලට මුහුදු රැලි විහිදුවනවා. ගැඹුරු මුහුදේ දී මේ මුහුදු රැලි පැයට සැතැපුම් 500ක තරම් වේගයකින් ගමන් කරනවා. ඒත් ඒ රැලිවල උස අඩි කීපයකට වඩා නැහැ. මෙවැනි වේගවත් රැල්ලක් ඇති බවක් අසලින් යන නැවකටවත් දැනෙන්නේ නැහැ.

ඒත් මේ මුහුදු රැලි නොගැඹුරු මුහුදට ළංවෙන කොට මුහුදු පත්ළේ ඝර්ෂණය නිසා රැල්ලේ වේගය අඩුවෙනවා. ඒත් රැල්ලේ උස වැඩි වෙනවා. මුහුදු පත්ලේ ගැටීමෙන් ඇති වන බලපෑම නිසා ඒවා අඩි 30ක් 40ක් විතර උස්වෙනවා.

ජපානයේ වෙරළාරක්ෂක නැවකින් මාර්තු 11 වැනිදා ගත් රූප රාමු කීපයක් ද මේ වීඩියෝ පටයට ඇතුළත් වෙනවා. සුනාමිය වෙරළ කරා ගමන් කරන අයුරු ඉහළින් දැක්වෙන මේ රූප පෙළ දුර්ලභ එකක්.


සාමාන්‍යයෙන් ජපානයට එල්ල වන සුනාමියක් කි.මී. 5ක් විතර ගොඩබිම දෙසට යනවා.

ලෝකයේ භූකම්පන අධ්‍යයනය අතින් ඉහළ ම තැන සිටින්නේ ජපානයයි. එහි ජීපීඑස් හෙවත් භූස්ථාපිත චන්ද්‍රිකාවලට සියුම් ලෙස දත්ත රැස් කර ගත හැකි ස්ථාන 1200ක් ජපානය පුරා පිහිටුවා තියෙනවා. ඇලස්කා විශ්ව විද්‍යාලයේ භූභෞතික වේදියකු ජීපීඑස් දත්ත අනුසාරයෙන් මාර්තු 11 වැනිදා සිදු වූ භූකම්පනය රූප සටහනකට ගොනු කර ඇති ආකාරය ඔබට මෙහි දී දැක ගන්න පුළුවන්. මෙහි දී ඔබ දකින සාගර රැලිවල විස්තාපන වේගය තත්පරයට සැතැපුම් 5ක්.

එසේ ම හිටාචිනාකා නගරය මැදින් නකා ගඟ දිගේ සුනාමි රැල්ල යන හැටි ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්.
නව තාක්ෂණය මගින් දැනටමත් දෘශ්‍ය සාක්ෂි විශාල ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා, අවුරුදු ගානක් අධ්‍යයනය කරන්නට හැකි වන විදියට. ඒවායින් අපට අනාගතයේ දී හැකියාව ලැබේවි, භූකම්පන හා සුනාමි ආදියේ ඇති ප‍්‍රබලත්වය ගැන තේරුම් ගන්නට. එයින් අනාගතයේ මිනිස් ජීවිත නැතිවීම වළක්වා ගන්නත් අපට හැකියාව ලැබේවි.