මුනිදාස කුමාරතුංග සූරීන් සමග සිටි තවත් යුග පුරුෂයෙක් ගැන කියන්නයි, මේ සටහන ලියන්නේ. කුමරතුඟු ඇසුරේ සිටි අය අතුරින් හෙළ බස නිර්මාණශීලී අයුරින් හැසිරවූ සුවිශේෂම ලේඛකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඔහු තමා රැපියෙල් තෙන්නකෝන් කිවිසුරාණන්.

එතුමා පැදියට පමණක් නොව ගැදියටත් එක සේ දක්ෂයකු විය. ‘සක් පුබුදුව’, ‘වවුලූව’, ‘පඬුර’ එතුමාගේ පැදි පබඳ අතරින් කැපී පෙනෙයි. ‘බස් පාර’, ‘හෙළ බස් හුරුව’ ඔහුගේ ගී‍්‍රක, ලතින්, පාලි, සංස්කෘත, ජර්මන් ආදී බසෙහි සුරුවකු වූ ‘මහා වංශය’ පැදියෙන් ලියා සම්මානයක් ද දිනුවේය. 1890 දී උපන් මෙතුමා 1965 මාර්තු 8 වැනිදා මිය ගියේ ගම්පහ පැරකුම් දෙණියේ දී මිය ගියේය.


රැ. තෙන්නකෝන් කිවිසුරාණන්ගේ ‘කුකුළු හැවිල්ල’ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ යුත්තකි. එතුමන්ගේ නිර්මාණ කෞශල්‍යය හඳුනා ගන්නට මේ පැදි පෙළ ම ප‍්‍රමාණවත්ය.

එහි පදමාලාව මෙසේය.

දුදනොද බිඳ - ලද තෙද කඳ
කඳ දෙවිරද - සාමිනේ

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල - හෙලූව හෙල්ල
මුලම බෙල්ල මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟ කකා ලබන විටේ
පයින්ම ගොස් ඇවිද වටේ
පොළොව උලා නළල් ඇටේ

දිගට ඇදී - නැග පැහැදී
මහ හඬදී - දෙවියනේ

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ - බලමහිමේ
දුටුද එමේ - හැම තැනේ

දුදනොද බිඳ - ලද තෙද කඳ
කඳ දෙවිරද - සාමිනේ

මට කළ මෙවිපත අනේ
බලන්නැ දෙවි සාමිනේ
වැජඹෙන නා මෙවිමනේ
බලන්නැ නා සාමිනේ

කුකුළු හැවිල්ල දෙවියන්ට කරන කන්නලව්වක්, ආයචනයක් නොවෙයි. දෙවියන් ඉදිරියේ කරන යැදීමක්. ශාප කිරීමක්. තම කුකුළා මරා කෑ සොරෙකුට දඬුවම් පමුණුවන හැටියට ගැමි ගැහැනියක් කතරගම දෙවියන් ඉදිරියේ කරන පළි ගැහීමක් කරන ආකාරයෙන් තමා මෙය රචනා කර තිබෙන්නේ. ඒ නිසා මේ ගීතයෙන් ජනිත වන්නේ භක්තිය දනවන ශාන්ත රසයක් නෙවෙයි, රෞද්‍ර රසයක්.

අපේ ප‍්‍රබුද්ධ කවීන් හා ගීත රචකයන් අතර ඉහළම තැනෙක ලා සැලකිය හැකි මහගම සේකර මේ නිර්මාණය ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.

”මෙම ගීතයෙහි ඇති රෞද්‍ර රසය නිපදවීමට, ඉතාම සුදුසු වචන තෝරා ගෙන, ශබ්ද ධ්වනියත්, අර්ථ ධ්වනියත් එකට මිශ‍්‍ර කර ඇති සැටි කදිමයි.

”‘දුදනොද බිඳ - ලද තෙද කඳ - කඳ දෙවිරද’ කියන පදයේ ‘ද’ කාරයෙන් යොදා ඇති අනුප‍්‍රාසයත් ගුරු අකුරු නොමැති වීමත් නිසා කතරගම දෙවියන්ගේ තේජස ගැන හැඟීමක් ඇති කිරීමට ඒ පදය සමර්ථයි. ‘සාමිනේ - මරු තැනේ - දෙවියනේ’ යන වචනවලින් අපේ සිත්වල මැවෙන්නේ දෑත් ඔසවා ගෙන මහ හඬින් විලාප දෙන ගැහැනියකගේ රූපයකි. ඇගේ සිතේ ඇති කෝපය ‘එකා - මකා’ යන යෙදුම්වලින් පෙනෙයි. ‘බලා එල්ල - හෙලූව හෙල්ල - මුලම බෙල්ල’ යන වදන්වලින් ධ්වනිත වන්නේ සොරාගෙන් පළිගැනීමට ඈ තුළ ඇති බලවත් අධිෂ්ඨානයයි.”

(මහගම සේකර මේ අදහස් පළ කළේ 1966 දී කොළඹදී පැවැත්වූ සමුළුවක ‘චිත‍්‍රපට ගීත’ පිළිබඳ විග‍්‍රහයක යෙදෙමින්. මේ ගීතය චිත‍්‍රපට ගීතයක් නොවුවත් මෙය එහිදී ඔහු උපුටා දැක්වුයේ සාර්ථක නිර්මාණයකට නිදසුනක් ලෙසයි.)

මේ පැදි පෙළෙහි සියුම් උපහාසයක් ද පෙනේ. ඒ යදින තැනැත්තියගේ මුව’ගට දී ඇති වදන් තුළිනි. ‘රනින් කුකුළු රුවක් පුදමි - රිදියෙන් බිජුවටක් පුදමි - රන් දුනු හී දෙකක් පුදමි - රුවට රිදී රුවක් පුදමි’ යන වදන්වලින් එතරම් වටිනාකමක් නැති වූ කුකුළා වෙනුවෙන් දෙවියන්ට ලොකු වටිනාකමක් ගෙවීමට පොරොන්දු වීම තුළින් කවියා යටි පෙළෙන් දෙවියන් යදින්නන්ට සිනාසෙයි. අනෙක් අතට සොරා කෙරෙහි ඇගේ සිතේ ඇති දැඩි කෝපයේ තරම ද වක‍්‍රව කියා පායි.

රැ. තෙන්නකෝන් කිවිසුරාණන්ගේ මේ සුවිශේෂ නිර්මාණය පසුව ගීයක් ලෙස ජනපි‍්‍රය වුණා. ගායනයෙන් තොරව වුවත් මෙහි ඇති සාහිත්‍ය රසය නොඅඩුව විඳින්නට පුළුවන්. නිර්මාණකරණයෙහි යෙදෙන්නන්ට උත්තේජනයක් සපයන ප‍්‍රශස්ත නිර්මාණයක්.

මේ ගීතය මෙයට ම ගැළපෙන තනුවක් යොදා ගායනය කෙළේ අපේ රටේ බිහි වූ තවත් විශිෂ්ට සංගීතඥයෙකු හා ගායකයකු වූ සුනිල් සාන්තයි. ගායනය සුනිල් ගී තැටිවල ඇති. හොයා ගෙන අසා රස විඳින්න.

- පර්සි ජයමාන්න