විකූනා vicuña කියන්නේ ඔටු පවුලට අයත් සතෙක්. ලාමා විකූනා යන සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන මේ සතා දක්නට ලැබෙන්නේ ඇන්ඞීස් සානුවේයි. ඌට පැයට කිලෝමීටර 50ක තරම් වේගයකින් දුවන්න පුළුවන්. ඇස් පෙනීම තියුණු වුනත් කන් ඇසීම එතරම්ම හොඳ නැහැ. ඉව දැනීමත් ඉතා දුර්වලයි. මස් හා ලොම් ලබා ගැනීමට දඩයම් කිරීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා. ආරක්ෂිත සතකු ලෙස නම් කොට ඇති මේ සතුන් මුළු ආජෙන්ටිනාවේම ඇත්තේ තුන් දහසක් පමණක් බවත් හෙළි වී තියෙනවා. ඔවුන් සඳහා සංරක්ෂණ වැඩ පිළිවෙළ රැසක් දැන් දියත් කර තියෙනවා. ලාමා, ඇල්පකා, ගුවානෝකෝ යන සතුන් විකූනාගේ ළඟ නෑයන්.



විකූනා මවක් දරුවකු ප‍්‍රසූත කරන ආකාරයත් ඒ පිළිබඳ පර්යේෂකයන් පිරිසක් ඒ පුංචි පැටියා අල්ලා ඌ හඳුනා ගැනීම පිණිස උගේ පයට මුදු ලන අයුරුත් ඔබට මේ වීඩියෝවෙන් දැක ගත හැකියි. දුර්ලභ සතකු වන විකූනාගේ ජීවත් වීමේ අරගලය ගැන විමසා බලා ඔවුන් රැක ගැනීමේ උත්සාහයකයි මේ පර්යේෂකයන් නිරතවන්නේ. කුඩා අවදියේ දී ම විකූනාවන් මිය යන හේතු සොයා ගැනීමෙන් එවැනි මරණ අවම කර ගැනීමට පියවර ගත හැකියි, කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. මේ විකූනාවන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සඟරාවේ අනුග‍්‍රහයෙන් ආජන්ටිනාවේ ඇන්ඞීස් කඳුකරයේ දී සිදු කෙරෙන්නක්.