සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය, ‘වොයේජර් 1’ නාසා රොබෝ යානය, ඊයේ (18) ‘ආලෝක දිනයක්’ පසු කළේය. මෙය අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී කඩඉමකි. මිනිසා නිර්මාණය කළ රොබෝ යානයක්, අභ්‍යවකාශය හරහා ඈතට ගොස් ‘ආලෝක දිනයක්’ පසු කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. ‘ආලෝක දිනය’ පසු කරද්දී ‘වොයේජර් 1’ පෘථිවියේ සිට කිලෝ මීටර් බිලියන 25.9 දුරකට ගොස් තිබුණි.
මීට අවුරුදු 50 කට පෙර, 1977 වසරේ, අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් හරි අපූරු දෙයක් සිදුවිය. ඒ, රොබෝ නිවුන්නු දෙදෙනකු විශ්වය ගවේෂණයට පිටත්ව යෑමයි. මේ රොබෝ නිවුන්නු දෙදෙනා ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ ය. මේ එක් රොබෝ යානයක්, කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් තරම්ය. ගුවන්ගත කෙරුණු අවස්ථාවේදී, ‘වොයේජර් 1’ යානයේ බර කිලෝග්‍රෑම් 815 ක් වුණු අතර, ‘වොයේජර් 2’ යානයේ බර කිලෝග්‍රෑම් 825.5 ක් විය. යානා දෙකටම, මීටර් 3.7 ක විෂ්කම්භයක් ඇති විශාල සන්නිවේදන තැටි සවි සම්බන්ධ කර තිබුණි. ඒ, පෘථිවි විද්‍යාඥයන්ගෙන් ලැබෙන උපදෙස් අනුව යමින්, එක් රැස් කර ගන්නා දත්ත සහ ඡායාරූප ගුවන් පෘථිවියට එවීමේ අරමුණින්ය.
‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ යානා නිර්මාණය කෙරුණේ සූර්යයාගේ ඈතට යමින්, සූර්යයාගේ ඈතින් පිහිටා ඇති බෘහස්පති, සෙනසුරු යන වායු යෝධයන් දෙදෙනා මෙන්ම, ඉන් ඔබ්බෙන් ඇති යුරේනස්, නෙප්චූන් වැනි ග්‍රහයන් අසලින් පියාසර කරමින් විද්‍යාත්මක දත්ත සහ ඡායාරූප රැස් කිරීමේ අරමුණින්ය. සූර්යයාගෙන් ඈතට යන බැවින්, සූර්ය බලයෙන් යානාවලට බලය දිය නොහැකි වුණු අතර, යානාවලට බලය ලබා දීමට ප්ලූටෝනියම් විදුලි ජනක සවි කෙරුණි. ඒ, වසර ගණනාවක් තිස්සේ යානාවලට බලය සැපයීමටය. 60 සහ 70 දශකයේ පැවැති තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළත්, ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ යානා තවමත් නොනැසී දිගටම ගවේෂණවල නියැළෙන්නේ මෙම ප්ලූටෝනියම් විදුලි ජනක නිසාය.
‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ යනුවෙන් නම් කළත්, පළමුවෙන් අභ්‍යවකාශයට මුදා හැරුණේත්, පළමුවෙන් විශ්ව ගවේෂණය ආරම්භ කළේත් ‘වොයේජර් 2’ යානයයි. ඒ, 1977 වසරේ අගෝස්තු 20 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් 14.29 ටය.
‘වොයේජර් 2’ යානය උඩු ගුවනට තල්ලු කළ රොකට්ටුව, ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් පිටත්ව ගියේය. දින 16 කට පසු, 1977 සැප්තැම්බර් 5 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් 12:56 ට ‘වොයේජර් 1’ යානය රොකට්ටුවක ආධාරයෙන් කැනවරල් තුඩුවෙන් යවනු ලැබීය. වසර 175 කට වරක් සිදුවන ග්‍රහලෝක එක එල්ලයට පිහිටීමේ දුර්ලභ අවස්ථාවක් සැලකිල්ලට ගනිමින්, ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ මෙලෙස මෙම දිනවල අභ්‍යවකාශයට යැවීමට නාසා විද්‍යාඥයෝ කටයුතු කළහ. ‘වොයේජර් 2’ යානය කලින් ගුවන්ගත කළ ද, ගමන් මාර්ග දෙකක ගමන් කළ බැවින්, බෘහස්පති සහ සෙනසුරු වෙත පළමුවෙන්ම ළඟා වීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් මාසයේ යැවූ ‘වොයේජර් 1’ යානයයි. එතෙක් මේ යානා දෙකම ‘වොයේජර්’ යනුවෙන් පමණක් හැඳින්විය. පළමුවෙන් බෘහස්පතිට ළං වුණු යානය ‘වොයේජර් 1’ ලෙස නම් කෙරුණු අතර, දෙවැනියට බෘහස්පතිට ළං වුණු යානය ‘වොයේජර් 2’ ලෙස නම් කෙරුණි.
‘වොයේජර් 1’ යානය, 1979 මාර්තු මාසයේ බෘහස්පති අසලින් ගියේය. 1980 නොවැම්බරයේදී සෙනසුරු අසලින් පියාසර කළේය. බෘහස්පතිගේ චන්ද්‍රයන් මෙන්ම සෙනසුරුගේ චන්ද්‍රයන් ද ගවේෂණය කළේය. ඡායාරූපයට නගා පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. ‘වොයේජර් 2’ යානයේ ගමන්මග සුවිශේෂී එකක් වන අතර, එය බෘහස්පති (1979 ජූලි), සෙනසුරු (1981 අගෝස්තු), යුරේනස් (1986 ජනවාරි) සහ නෙප්චූන් (1989 අගෝස්තු) යන ග්‍රහලෝක හතරම අසලින් ගමන් කළ එකම අභ්‍යවකාශ යානය බවට පත්විය.
සෞරග්‍රහ මණ්ඩලය යනු සූර්යයා ප්රමුඛ ග්‍රහලෝක, උප ග්‍රහයන් නැතිනම් චන්ද්‍රයන්, ග්රහක, උල්කා සහ ධූම කේතු ආදියයි. සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව ලෙස සැලකෙන්නේ සූර්යයාගෙන් නිකුත් වන සූර්ය සහ චුම්බක ක්ෂේත්රයේ බලපෑම අවසන් වන ‘හීලියෝපෝස්’ නමැති කලාපයයි. ඉන් ඔබ්බෙහි ඇති අනන්ත අවකාශය විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘අන්තර් තාරකා අවකාශය’ යනුවෙනි. බෘහස්පති සහ සෙනසුරු ගවේෂණය කිරීමෙන් පසු ‘වොයේජර් 1’ දිගටම ගමනේ යෙදමින්, 2012 වසරේ දී සූර්යයාගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදී හීලියෝපෝස් කලාපය පසු කරමින් අන්තර් තාරකා අවකාශයට පිවිසියේය. සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට යමින්, අන්තර් තාරකා අවකාශයට පිවිසි පළමු මිනිස් නිර්මාණය බවට ‘වොයේජර් 1’ වාර්තාවක් පිහිටුවීය.
ඊයේ (18) ‘ආලෝක දිනයක්’ පසුකරමින් ‘වොයේජර් 1’ යානය තැබූ ඒ, ඓතිහාසික වාර්තාව මුළු මහත් මිනිස් වර්ගයාම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙය කොතරම් අපූරු ජයග්‍රහණයක් දැයි අවබෝධ කර ගැනීමට නම්, ‘ආලෝක දිනයක්’ පමණක් නොව, ‘ආලෝක වර්ෂයක්’ යනු කුමක්දැයි පැහැදිලි කර ගැනීම වැදගත් වෙයි.
විශ්වයේ පවතින අතිවිශාල දුර ප්‍රමාණය සාමාන්‍ය කිලෝමීටරවලින් මැනීම ප්‍රායෝගික නොවන බැවින්, විද්‍යාඥයෝ ‘ආලෝක වර්ෂය’ නම් ඒකකය භාවිත කරති. මෙය කාලය මනින ඒකකයක් නොව, දුර මනින ඒකකයකි. ආලෝකය තත්පරයකට කිලෝමීටර 300,000ක පමණ (තත්පරයකට පෘථිවිය වටා හත් වතාවකට වඩා ගමන් කළ හැකි) අතිශය වේගයකින් ගමන් කරයි. ඒ අනුව, ආලෝකය පෘථිවි වර්ෂයක් (දින 365ක්) තුළ ගමන් කරන මුළු දුර ප්‍රමාණය ‘ආලෝක වර්ෂයක්’ ලෙස හැඳින්වේ. ඇත්තම කියනවා නම්, අප රාත්‍රී අහස දෙස බලන විට දකින්නේ තාරකාවල වර්තමාන ස්වරූපය නොව, ඒවායේ අතීතයයි. උදාහරණයකින් පැහැදිලි කළොත්, සූර්යයාට පසු පෘථිවියට ආසන්නතම තාරකාව වන ‘ප්‍රොක්සිමා සෙන්ටවරි’ පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.2ක් ඈතිනි. ඉන් අදහස් වන්නේ එම තාරකාවෙන් නිකුත් වන ආලෝකය පෘථිවියට ළඟා වීමට වසර 4කට අධික කාලයක් ගත වන බවත්, අද අප දකින්නේ එම තාරකාවේ වසර 4කට පෙර පැවති ස්වරූපය බවත්ය.
එසේ නම් ‘ආලෝක දිනයක්’ යනු ආලෝකය පැය 24ක කාලයක් තුළ රික්තයක් හරහා යන මුළු දුර ප්‍රමාණය ආලෝක දිනයකි. ගණනය කිරීම්වලට අනුව එය කිලෝමීටර බිලියන 25.9ක් පමණ වේ. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ආලෝක මිනිත්තු 8 යි තත්පර 20 කි. යම් හෙයකින් සූර්යයා මේ මොහොතේ නිවී ගියහොත්, අපට ඒ බව දැනගන්නට ලැබෙන්නේ මිනිත්තු අටක් සහ තත්පර 20 කට පසුවය. ‘වොයේජර් 1’ යානය මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25.9කට ආසන්න දුරක් ගෙවා ඇති බැවින්, පෘථිවියේ සිට නිකුත් කරන රේඩියෝ පණිවිඩයක් යානය වෙත ළඟා වීමට සම්පූර්ණ පැය 24 ක් එසේත් නැතිනම් එක් දිනක් ගත වේ. ‘වොයේජර් 1’ යානයෙන් ලැබෙන පිළිතුරු පෘථිවි විද්‍යාඥයන් අතට පත් වීමට තවත් පැය 24 ක් ගත වෙයි.
1980 දී සෙනසුරු ග්‍රහයා අසලින් පියාසර කිරීමෙන් පසු අන්තර් තාරකා අවකාශයට පිවිසි ‘වොයේජර් 1’, මේ වන විට පැයට කිලෝමීටර 58,000ක (පැයට සැතපුම් 36,000ක) අධික වේගයකින් ගමන් කරයි. කෙසේ වෙතත්, විශ්වයේ විශාලත්වය කොතරම්ද යත්, මෙම වේගයෙන් ගමන් කළද ‘වොයේජර් 1’ යානයට සම්පූර්ණ ‘ආලෝක වර්ෂයක’ දුරක් ගෙවා දැමීමට තවත් වසර 18,000ක් පමණ ගතවනු ඇත. වෙනත් තාරකාවක් අසලට ළඟා වීමට වසර 36,000කට අධික කාලයක් ගතවන බව විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුවයි. 2018 දී හීලියෝපෝස් සීමාව පසු කළ ‘වොයේජර් 2’, පෘථිවියේ සිට ආලෝක දිනක දුරට ළඟා වනු ඇත්තේ 2035 වසරේදීය.
අනාගතයේ යම් දිනෙක ඈත විශ්වයේ බුද්ධිමත් ජීවීන් හමුවුවහොත්, ඔවුන්ට පෘථිවිය සහ මානව ශිෂ්ටාචාරය හඳුන්වා දීම සඳහා වොයේජර් 1 සහ 2 යානා දෙකෙහිම ‘රන් තැටි’ තැන්පත් කර තිබේ. මේවා රන් ආලේපිත තඹ ග්රැමෆෝන් තැටි දෙකකි. සුප්‍රකට තාරකා විද්‍යාඥ කාල් සේගන් ප්රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මේවා, අඟල් 12ක විෂ්කම්භයකින් යුක්තය. පෘථිවියේ ස්වභාවික හඬ (සුළඟ, ගිගුරුම්, සතුන්ගේ නාද), විවිධ සංස්කෘතීන්ට අයත් සංගීත නිර්මාණ, මිනිස් සිරුරේ ව්‍යුහය හා විද්‍යාව දැක්වෙන ඡායාරූප 115ක් මේවායේ ඇතුළත්ය. බුද්ධිමත් ජීවීන්ට මෙම තැටි හමුවුවහොත්, ඔවුන්ට පෘථිවිය ගැනත්, මනුෂ්‍ය අප ගැනත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙම තැටිවල අඩංගු භාෂා 55 ක සුබ පැතුම් අතර, සිංහල භාෂාවෙන් පටිගත කළ “ආයුබෝවන්! ඔබ සැමට සුබ අනාගතයක් වේවා!” යන පණිවිඩය ද ඇතුළත් වෙයි. මෙය සුවිශේෂී දෙයකි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
0 Comments