මීට වසර 2600කට පෙර ලොව විසූ සැම දෙනාම සිතුවේ ලෝකය පැතලිය කියාය. ඒ කාලයේ ඒ අය සිතුවේ විශ්වය උසුලා ගෙන සිටි කුලුනුවල විශාලත්වය ගැනය. එසේ ම ඒවා දැවැන්ත කූඩාරමක් බඳු අහස ඔසවාගෙන සිටි ආකාරය ගැනය. තරු ඒ කූඩාරමේ දාරයේ එල්ලී තිබුණු ආකාරය ගැනය. ඔවුන් සිතූ ඒ ආකාරය, එහෙව් ලෝකයක් ගැන සිතන්න! දැන් සිතන්න! එකල විසූ සැමදෙනාගේම පොදු පිළිගැනීම වූ ඒ මතයට මුළුමනින් ම වෙනස් ප්‍රතිවිරුද්ධ මතයක්, එනම් මේ ලෝකය කිසිම කුලුනක උදවුවක් නැතිව තියෙන, පැතලි දෙයක් නොව ගැඹුරක් ඇති ත්‍රිමාන හැඩයක් ඇති දෙයක් බවත්, ඒ අවට හිස් අවකාශයක් ඇති බවත්, හිරු, සඳ, තරු ඒ අවකාශය තුළ එකිනෙකට ඈතින් කිසිම ආධාරකයක් නැතිව පිහිටා ඇති බවත්, ඒවා මේ ලෝකය වටා භ්‍රමණය වන බවත් කියැවෙන මේ නව මතය මුලින්ම ලොවට දුන්නේ ඒ ඇනෙක්සිමැන්ඩර් නම් දාර්ශනිකයායි. ඒ මතය එකල විද්‍යාවේ මහා පිම්මක් ලෙස සැලකිය හැකිය. ඔහු තාරකා විද්‍යාවේ පියා ලෙස සලකනු ලැබේ.
ඇනෙක්සිමැන්ඩර් උපන්නේ මිලෙටස් යන පැරණි ග්‍රීක නගරයේදි, ක්‍රිස්තු පූර්ව 611 දී පමණය. ඔහු මියගියේ ක්‍රි. පූ. 547 දී ඒ නගරයේ දීමය. එය ආසියානු තුර්කියට අයත් වෙරළබඩ නගරයකි. ඔහුගේ ජීවිතය ගැන අප දන්නේ ඉතාමත් ටිකකි. එයට හේතුව ඔහු ලියා ඇත්තේ ටිකක් වීමය. ඒ කටයුත්ත සිය ගෝලයන්ගේ වගකීමක් ලෙස ඔහු සිතන්නට ඇත. අප දැනට ඔහු ගැන දන්නේ පසුකාලීනව විසූ විද්‍යාඥයන් හා දාර්ශනිකයන් විසින් අපට ලබා දුන් තොරතුරු පමණය. ඒ විද්‍යාඥයන් තමන්ට පූර්වගාමීන් වූ විද්‍යාඥයන්ගේ විශිෂ්ටත්වය පිළිබඳ වරින්වර ඇගයීම් කළ නිසාය.
ඇනෙක්සිමැන්ඩර්ගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන මිලෙටස් නගරයේ විසූ තවත් විද්‍යාඥයකු වූ තේලීස් (Thaleys) භෞතික විද්‍යාව, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව, දර්ශන වාදය වැනි විද්‍යාවන්ට අයත් මූලික කරුණු ලොවට මුලින් හෙළි කළ තැනැත්තා සේ සැලකේ. තේලීස්ගේ ලේඛනවල වුනත් ඇනෙක්සිමැන්ඩර් ගැන ඉතාමත් අල්ප වශයෙනි. එනම් ඔහුගේ ගුරුවරයා ගැන ලියා ඇත්තේ එක ඡේදයක් විතරක් වුවත් එයම ඔහුගේ වටිනාකම තේරුම් ගැනීමට ප්‍රමාණවත්. ඉන්පසු ඇනෙක්සිමැන්ඩර් ගැන ලියා ඇත්තේ පසුව බිහිවූ ග්‍රීක පඬිවරුන් වන ඇරිස්ටෝටල් හා තියෝග්‍රොස්ටෝස් වැනි අය විසිනි. ඔවුන් ඇනෙක්සිමැන්ඩර් ගැන ආවර්ජනය කළේ විද්‍යාඥයකුට වඩා මහා දාර්ශනිකයකු ලෙසයි. අප සිටින්නේ කෙළවරක් නැති, සීමාමායිම් නැති, අනන්ත වූ අවකාශයක් තුළය යන මතය ලොවට දුන් නිසා ඔවුන් ඔහු සැලකුවේ පුරෝගාමී දාර්ශනිකයකු ලෙසයි. ඔහු එදා කී පරිදි සියලු දිව්‍ය ලෝක හා ඒ අවට ඇති ලෝක සියල්ල ම මේ විශ්වයට ඇතුළත් වෙයි. ඒ අනුව අනන්ත න්‍යාය මුලින්ම කියා දුන්නේ ඇනෙක්සිමැන්ඩර්ය. මේ ඇනෙක්සිමැන්ඩර්ගේ කටයුතු ගැන තියෝග්‍රොස්ටෝස් විස්තර කළේ මෙහෙමයි: ‘ඔහුගේ අදහස් තමයි තාරකා විද්‍යාවට අයත් ඔහුගේ මත හා සංකල්ප දිගු කාලයක් තිස්සේ ලෝකය තුළ බුද්ධි කලම්බනයක් සිදු කළ අතර ලෝකය මුළුමනින් වෙනස් කිරීමට ඒ අදහස් බලපෑවේය.
මීට වසර 2600කට පෙර පළ කළ ඇනෙක්සිමැන්ඩර්ගේ සංකල්පවල වැදගත් ම කොටස වන්නේ මේ මහ පොළොව කිසිම ආධාරකයක් නැතිව අවකාශයේ මැද රැඳී තිබීම යන්නය. ඒ කාලයේ සිටි අනෙක් ග්‍රීක චින්තකයන් කීවේ මහ පොළොව පැතලි එකක් කියලයි. තවත් සමහරු මෙය ජලයේ පාවෙන බවක් කීහ. පොළොව ආධාරක කිසිවක් නැතිව ආකාශයේ පාවෙමින් තිබෙන්නක් යැයි තහවුරු කරකීවත් අද අප දන්නා ගුරුත්වාකර්ෂණය ගැන එදා ඇනෙක්සිමැන්ඩර්ට හැඟීමක්වත් තිබුණේ නැහැ. ඒත් එදා කාලයේ හැටියට ඔහු පළ කළ විප්ලවකාරී අදහස් නිසා තමයි, අද විශ්වය ගැන බොහෝ අප දන්නා කරුණු මතු කර ගැනීමට හැකිවී තිබෙන්නේ. ඈත අතීතයේ විසූ විශිෂ්ටතම චරිත අතර ඔහුට ලැබෙන්නේ සුවිශේෂ තැනක්.
- පර්සි ජයමාන්න

0 Comments