HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

නිහඬව අප රකින විස්මිත වීරයෙක්! - ප්ලවාංග

අප්‍රකට විස්මිත වීරයකු ගැන කතාව‍ක්.‍ මෙහි එන වීරයා කුඩා ජීවියෙක්. සිරුරේ ප්‍රමාණය කෙස් ගහකටත් වඩා සිහින්. ඒ නිසා ක්ෂුද්‍ර ජීවියෙකු ලෙස සැලකිය හැකි මේ පුංචි වීරයා අප ඉන්නා අපූරු ග්‍රහ ලෝකය ගෝලීය උණුසුමෙන් රැක ගන්න විශාල මෙහෙයන් කරනවා. අපේ ලෝකය, එසේත් නැතිනම් අපේ පෘථිවිය, ආරක්ෂා කරනවා. එහෙම කරන්නේ සාගර ජලය මත පාවෙමින් සිටිමින්. 

කවුරුනුත් වැඩියෙන් නොදන්න, ඒ වගේ ම තැකීමක් නොකරන මේ වීරයා අන් කිසිවකු නොව ප්ලවාංගයි. ඉංග්‍රීසියෙන් ප්ලැන්ක්ටන් (Plankton) කියා ද හැඳින්වෙන මේ ප්ලවාංග සාගරයේ වැඩිපුර ඇතත් ඒ පමණට ම මිරිදියේත් දකින්න පුලුවන්. බැලූ බැල්මට ශාකයක් ලෙස පෙනුනත්, ඇතැම් අය වරදවා මුහුදු ශාක ලෙස හඳුන්වතත්, මෙය අප ජීවියකු ලෙස හඳුන්වන්නේ සත්ව හා ශාක දෙකට ම අයත් ගුණාංශ ඒ ජීවියා තුළ ඇති නිසයි. ඒ නිසා ප්ලවාංග පැලෑටියක් හෙවත් ශාකයක් ලෙස කෙළින් ම හඳුන්වන්න බැහැ. බැලූ බැල්මට මුහුදේ ශාකයක් ලෙස පාවෙන නිසයි, මුහුදු ශාක කියා හඳුන්වන්නේ. 

මේ ජීවියා ලවණ හා මිරිදිය ජල පරිසර පද්ධති දෙකේ ම දකින්න ලැබෙනවා. සමහර විට ඔබ සුරතල් මසුන් ඇති කරන ටැංකිවේ ජීවියා ඉන්නට පුලුවන. මේ තුළ ශාක ප්ලවාංග (phytoplankton) නම් ක්ෂුද්‍ර ශාක කොටසක් හා සත්ව ප්ලවාංග (zooplankton) යනුවෙන් කුඩා සත්ව විශේෂයක් එකතු වීමෙන් තමයි, අපට මේ ජීවියා මේ ආකාරයට පේන්නේ. සාමාන්‍යයෙන් පියවි ඇසට වෙන් වෙන් ව නොපෙනුනත් සැබැවින් ම මේ අප දකින්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ලොකු ගහණයක්. 

ප්ලැන්ක්ටන් යන වදන ග්‍රීක භාෂාවේ ප්ලැන්ක්ටොස් (planktos) යන වදනින් ජර්මන් භාෂාවට ස්ලැන්ක්ටන් (plankton) කියා එක්වූ පදයක්. ග්‍රීක බසේ එහි අරුත, ‘ඉබාගාතේ යන‘ ‘අයාලේ පාවෙන’ යන්නයි. මේ ප්ලවංගවලට තනිව ම පිහිනා යෑමට හැකියාවක් නැත. ඒ වරල් ආදිය නැති නිසයි. ඒවා ජලයේ එහා මෙහා යන්නේ ජලයේ ඇති රැලි හා ‘ජල ධාරා‘ ආධාරයෙනුයි. 

මේ ජීවියාගේ ශාක ප්ලැන්ක්ටන් (pytoplankton) කොටසෙන් අපේ ගහකොළ මෙන් සාමාන්‍යෙයෙන් ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) මගින් හිරු එළිය උපයෝගී කර ගෙන ආහාර නිපදවනවා. සත්ව ප්ලවාංග කොටස සාගරයේ පාවෙන අනෙක් ප්ලවාංග හා කාබනික කොටස් වගේ ම ක්ෂුද්‍ර ජීවීන් ද ආහාරයට ගන්නවා. 

ශාක ප්ලවාංගවලට නිදසුන් ලෙස ඩයටම් (diatoms) සහ ඩයිනොෆ්ලැජලේටස් (dinoflagellates) දක්වන්න පුලුවන්. සත්ව ප්ලවාංගවලට නිදසුන් ලෙස කෝපිපොඩ් (copepods), ක්රිල් (krill), ජෙලිෆිෂ් (jellyfish) හෙවත් ලොඩියන් දක්වන්න පුලුවන්. මේ ප්ලවාංග සාගර ජීවීන්ට විශේෂයෙන්ම, මාළුන්ට සහ තල්මසුන්ට ඉතා වැදගත් ආහාර ප්‍රභවයක් ද වෙනවා. 


ගෝලීය උණුසුමෙන් අපේ ලෝකය ආරක්ෂා කරන මේ පුංචි වීරයා සූප්ලැන්ක්ටන් (zooplankton) හෙවත් සත්වප්ලවාංග යි. විද්‍යාඥයන් මේ සත්වප්ලවාංග හඳුන්වන්නේ, ‘ජෛව පොම්පය’ (Biological pump) කියායි. වසන්ත කාලයේදී, සත්වප්ලවාංග සාගර මතුපිටට එනවා. විද්‍යාඥයන් කියන්නේ ඒවා, වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ නංවන කාබන් අවශෝෂණය කර ගන්නවා. එසේ අවශෝෂණය කර ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ආසන්න වශයෙන් පෙට්රල් මෝටර් රථ මිලියන 55 ක වාර්ෂික විමෝචනයට සමාන යැයි කියැවෙනවා. සත්වප්ලවාංග මෙසේ කාබන් උරා ගන්නා නිසා, ඒවා වායු ගෝලයට එක් වන්නේ නෑ. ඒ නිසා වායුගෝලය උණුසුම් වීම වැළකෙනවා. 

මෙය සිදුවන්නේ සත්වප්ලවාංගවල ආහාර ක්‍රියාවලිය තුළයි. සාගර මතුපිටට එන සත්වප්ලවාංග, පාසි වැනි ශාකප්ලවාංග (Phytoplankton) විශාල වශයෙන් ආහාරයට ගන්නවා. ඒවා ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය යොදා ගෙන වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර, ඒවා කාබනික ද්‍රව්‍ය බවට පත් කරනවා. සත්වප්ලවාංග, ශාකප්ලවාංග ආහාරයට ගන්නා විට දී, ඒ කාබන් සත්වප්ලවාංග උරාගෙන, මේදය ලෙස තැන්පත් කර ගන්නවා. 

ශීත ඍතුව ළං වන විට පරිසර තත්වයන් වෙනස් වෙනවා. ඒ අනුව සත්වප්ලවාංග, ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරයට සංක්‍රමණය වෙනවා. එය මහා පරිමාණයෙන් සිදුවන්නක්. ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරයට ගිය පසු සත්වප්ලවාංග, ඇන්ටාක්ටිකා සාගරයේ මීටර් සිය ගණනක් ගැඹුරු පතුළට කිඳා බසිනවා. ඒ, සිරුරුවල තැන්පත් කරගත් මේදයත් සමඟයි. එහිදී සත්වප්ලවාංගවලට ජීවය පවත්වා ගෙන යාමට, තමන් තැන්පත් කර ගත් මේදය දහනය කරන්න සිදු වෙනවා. 

මේ ආකාරයට තමයි, වායුගෝලයෙන් අවශෝෂණය කර ගන්නා කාබන්, ගැඹුරු සාගරයේ සිර වෙන්නේ. මේවා යළි වායුගෝලයට මුදා හැරීමක් සිදුවන්නේ නැහැ. මෙම ක්‍රියාවලිය නිසා වසර දහස් ගානක් හෝ ඊට වැඩි කාලයක් ගැඹුරු සාගරයේ කාබන් ගබඩා වී තිබෙනවා. සත්වප්ලවාංග, ගෝලීය උණුසුම අවම කිරීමට දක්වන දායකත්වය සුළු පටු එකක් නොවන්නේ ඒ නිසයි. විද්‍යාඥයන් වසර ගණනාවක් තිස්සේ ඇන්ටාක්ටික් මුහුදේ (දක්ෂිණ සාගරයේ) මෙම සත්වප්ලවාංගවල වාර්ෂික සංක්‍රමණ (පර්යටන) සහ එය දේශගුණික විපර්යාස සඳහා බලපාන ආකාරය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. මේ තොරතුරු අපට ලැබෙන්නේ ඔවුන්ගෙන්. මේ සත්වප්ලවාංග අධ්‍යයනයට දායක වූයේ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥවරියක වන ගුවාං යැං ප්‍රමුඛ ඇගේ පර්යේෂණ කණ්ඩායමයි. සත්වප්ලවාංග නිහඬව මහ මෙහෙයක් කරන පෘථිවි ආරක්ෂකයෙක්. පෘථිවිය ආරක්ෂා කර ගන්න එයින් සිදුවන මහඟු සේවය මෙසේ විද්‍යාඥයන් හෙළිදරවු කරද්දී ඊට එල්ල වන තර්ජන ද වැඩිවෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ මිනිසා විසින් කරනු ලබන සාගරය දූෂණයයි. 

සත්වප්ලවාංගවලට පර්ල් එක්ස්ප්‍රස් වැනි නැව්වලින් සිදුවූ හානිය ගණන් බැලීමක්වත් කර නැහැ. ඒ ගැන නිසිදු අවධානයක් යොමුවුණු බවක් පෙනුනේ නැහැ. සත්වප්ලවාංග රැක ගැනීමේ ඇති වැදගත් කම මෙසේ හෙළිදරවු වන්නේ මෙම නව සොයා ගැනීමත් සමඟයි.‍ “මේ ක්ෂුද්‍ර ජීවීන් අප්‍රකට වීරයන්, ඔවුන්ගේ ජීවන රටාව හරිම අමුතුයි.” යැයි පවසන්නේ, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක වන ජෙනිෆර් ෆ්‍රියර්. “තල්මසුන් හෝ පෙන්ගුයින් වැනි ඇන්ටාක්ටිකාවේ ජනප්‍රිය සතුන්ට සාපේක්ෂව මේ සත්වප්ලවාංග ගැන කවුරුවත් තැකීමක් කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් ප්ලැන්ක්ටන් කීවාම දන්නේ මින්මැඳුරුවලින් අළෙවි කරන සුරතල් මසුන්ට කෑමට දෙන ආහාරයක් ලෙස විතරයි. ඒ නිසා මේ ජීවීන්ගේ වටිනාකම අගය කිරීමක් සිද්ධ වන්නේ නැහැ. ඒත් මේ ප්ලවාංග කොතරම් වැදගත්ද කියා දැන් අප දන්නවා.” යැයි ජෙනිෆර් ෆ්‍රියර් වැඩිදුරටත් පැහැදිලි කරනවා. 

ප්ලවාංගවල ජීවන චක්‍රය ඉතා අමුතු මෙන්ම සිත්ගන්නාසුලුයි. මිලිමීටර් 1-10 ක් තරම් කුඩා ප්‍රමාණයේ මේ ජීවීන් තම ජීවිතයේ වැඩි කාලයක් සාගරයේ මීටර් 500 සිට කිලෝමීටර් 2 ක් දක්වා ගැඹුරින් නින්දේ පසුවෙනවා. ඇන්ටාක්ටිකාවේදී මේ සත්වප්ලවාංග ඡායාරූප ගත කළ මහාචාර්ය ඩැනියෙල් මේයර් කියන්නේ, අන්වීක්ෂයක් යටතේ ගත් පින්තූරවලින් ඔවුන්ගේ සිරුරු තුළ දිගු මේද තට්ටු සහ හිසේ මේද බුබුළු පැහැදිලිව දැකගත හැකි බවයි. සමස්තයක් ලෙස ගත් කළ, ෆොසිල ඉන්ධන දහනයෙන් මුදා හැරෙන තාප ප්‍රමාණයෙන් සියයට 90ක් ම සාගරය මගින් අවශෝෂණය කර ගන්නවා. දක්ෂිණ සාගරය පමණක් එසේ අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය සියයට 40 කි. ඒ සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ සත්වප්ලවාංගයි. 

 ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments