HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

අලි අම්මාට ගරු කරමු - අලි අම්මා රැක ගනිමු

අද 2025 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි දිනයයි. මෙවර තේමාව ‘අලි අම්මාට ගරු කරමු - අලි අම්මා රැක ගනිමු‘ යන්නයි. මේ ලෝක අලි දිනය මුලින් ම ආරම්භ වූයේ 2012 වසරේ දී අලි ඇතුන් ගැන ලෝකයේ අවධානය වැඩි කිරීමේ අරමුණින්. අලි අම්මා තමයි, අලි පරපුර රැක ගන්නේ. වැඩිමහලු ම ඇතින්න හෝ කෙණෙර තමයි අලි රැලට නායකත්වය දෙන්නේ. ඒ නිසයි ‘අලි අම්මාට ගරු කරමු - අලි අම්මා රැක ගනිමු‘ කියා මෙවර තේමාව කර ගෙන ඇත්තේ. 


අපේ අලංකාර අලියාගේ අගය අපට දැනෙන්නේ නැහැ.

ලොව පුරා සිටින අලි ගහණය 2025 වන විට 415,000ක් පමණ වෙනවා. එයින් මේ වන විට 2006 වසරේ සිටියාට වඩා 111,000ක අඩුවීමක්. මෙයින් වැඩි කොටස අප්‍රිකානු අලින්. ආසියානු අලින් ඉන්නේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, තායිලන්තයේ, චීනයේ, නේපාලයේ, බංග්ලා දේශයේ, වියට්නාමයේ, භූතානයේ, ලාඕසයේ මියන්මාරයේ, කාම්බෝජයේ වගේ රටවල් 13ක විතරයි. ඒ සියලුම ආසියානු අලින් ඉන්නේ 50,000කට අඩු ප්‍රමාණයක්. ආසියානු අලින් වැඩි පිරිසක් වනගතව ඉන්නේ ඉන්දියාවෙයි. ඒ අතුරිනුත් වඩාත් ආකර්ෂණීය වූ අපේ ශ්‍රී ලංකා අලියා ඉන්නේ 6,000කටත් අඩු ප්‍රමාණයක්. එයින් දැනටමත් වසරකට 400ක් පමණ මිනිසාගේ ක්‍රියාකාරම් නිසා අකාලයේ මිය යනවා. අපේ අලංකාර අලියාගේ අගය අපට දැනෙන්නේ නැහැ. තවත් දශක දෙක තුනකින් අපේ වනාන්තරවලින් අලියා නැති වී යන ලකුණු පහළ වී තියෙනවා. 

මේ අපූරු සතාට අපි ‘අලියා‘ කියා කීවත් දළ ඇති සතා හඳුන්වන්නේ ඇතා නමිනුයි. ඇතා කියන්නේ අතක් වැනි විශේෂයෙන් කැපී පෙනෙන හස්තයක් ඇති නිසා ‘හස්තියා‘ යන නම අනුව යමින්. එතකොට සිංහලෙන් අලියා කියා ආවේ කොහොමද? සමහර විට ඈත අතීතයේ අලි ඇතුන් වෙළඳාමේ ආ වෙළඳුන් ගෙන් මේ නම අපට එන්නට ඇති. පර්සියානු බසින් මේ සතා හඳුන්වන්නේ අලියා කියායි. ඒ නිසා ඒ කාලයේ රටින් රටට අලි වෙළඳාමේ ගිය මුස්ලිම් වෙළඳුන් මේ පර්සියානු වදන අපට හඳුන්වා දෙන්න ඇති කියලයි මම හිතන්නේ. මම තාමත් මේ වදන ගැන පර්යේෂණ කරමින් ඉන්නේ. දැනට පැරණිම භාවිත ලෙස සොයා ගත්තේ පර්සියානු මූලාශ්‍රයයි. ඉදිරියේ දි වෙනසක් ඇති වුණොත් ඒ බව දන්වන්නට බලාපොරොත්තු වෙනවා. ඇතා යන්න පොදුවේ පිරිමි ගැහැනු සතුන් අරබයා කියන්නක්. අපේ අලියාට බොහෝ විට දළ නැතත් අප්‍රිකානු අලිනට පිරිමි ගැහැනු භේදයක් නැතිව දළ තියෙනවා. 


අප්‍රිකානු අලියා ලොව වැඩියෙන් ඉන්නා ගොඩ බිම ලොකුම සතායි.
 
අපේ රටට විදේශිකයන් වැඩිබුරම එන්නේ වන දිවියේ ඉන්නා අලි බලන්නයි. වනෝද්‍යානවල හා අභය භූමිවල ඉන්නා අලින්ට වඩා වැඩි පිරිසක් ඉන් පිටත වනාන්තරවල ඉන්නවා. ඔවුන් ජීවත්වන ප්‍රදේශ, මිනිසා වගා කරන්නටත්, ජීවත්වීමටත් පාවිච්චි කිරීම නිසා අලි මිනිස් ගැටුමක් නිර්මාණ වී තියෙනවා. ඒ පළාත්වල ජීවත්වෙන, වගා කරන, අය අලියා වඳ වී යනවාට කැමති ඇති. නැත්නම් ඔවුන් මරන්නට උගුල් අටවන්නේ, නැත්නම් වෙඩි තබන්නේ. ඒත් වල් අලියකු වෙඩි වැදී තුවාල වුණොත් හෝ වළකට වැටුණොත් ඌ බේරා ගන්න මුලින් ම එන්නේත් ඔවුන් මයි. 

අද අලියාගේ දවස නිසා අලියා ගැන ලෝක ප්‍රකට සත්වවේදියකු හා මානව විද්‍යාඥයකු වූ ඩෙස්මන්ඩ් මොරිස් ලියූ ලිපියකින් උපුටා ගත් කොටස් කීපයක් මේ සමඟ ඔබ වෙත ගෙන එන්න මා කල්පනා කළා. 

අලියා වෙනත් සතුන්ට වඩා විශේෂ වන්නේ මක්නිසා ද? 

අලියාගේ වඩාත් විස්මයජනක ලක්ෂණය වන්නේ හොඬවැලයි. ඔබට සිතා ගන්න පුලුවන්, ඔබේ නැහැයෙන් හා අඩු තොලෙන් අල්ලා ඇද්දොත්,නොකඩවාම ඇද ගෙන ගියොත් මොන වගේ දෙයක් හැදේවිද? වසර මිලියන ගණනාවක් තිස්සේ මෙසේ දික්වීමේ ප්‍රතිඵලයක් තමයි, ඔබ හොඬවැල කියා දකින්නේ. දික්වෙන්න වෙන්න එය ශක්තියෙන් වැඩි වුණා. මේ වන විට එහි මස් පිඬු (මාංශ පේශීන්) 60,000ක් තියෙනවා. එය ක්‍රියා කරන්නේ ඒවායින්. අලියාට ඒ අපූරු අවයවය විවිධාකාරයෙන් හැසිර වීමට හැකිවී ඇත්තේ ඒ නිසයි. එහි ප්‍රධාන කාර්යය වන්නේ ඈත ඇති දෙයක් දෙසට දිගු කොට ඒවා කඩා ගැනීමයි. ඒ කොළ වර්ග අතු රිකිලි, මොටෙයියන්, ගෙඩි වර්ග ආදිය විය හැකියි. ඒවා තමා ඌ ආහාරයට ගන්නේ. හොඬවැලේ කෙළවර ඒ ආහාරයට ගන්නා දෙය දවටා ගෙන එය තදින් අල්ලා ගෙන මුව තුළට ගෙන රුවා ගන්නවා. මේ ක්‍රියාවලිය උගේ ජීවිතකාලය පුරා දිනපතා හැමවිට ම සිදු වෙනවා. පැය 24ක දවසක් තුළ අඩුතරමින් අලියා පැය 18ක් වත් ගත කරන්නේ මේ කටයුත්ත වෙනුවෙන්. 

ඒ වගේ ම හොඬවැල බීමට ජලය මුව තුළට ගෙන ඒමටත් භාවිත කරනවා. ඌ ජලය ලීටර 7ක් විතර මේ හොඬවැල තුළට උරා ගෙන එහි කෙළවර ඇති තුඩෙන් හොඳින් වසා ගෙන ඒ හොඬවැල කරකවා ඒ ජල ප්‍රමාණය එකවරම කටට දමා ගැනීමට දක්ෂයි. ජලය ඇත්නම් අලියෙකුට වතුර ලීටර 135ත් 225ත් අතර ප්‍රමාණයක් බොන්න පුලුවන්. අලියා හොඬවැල පාවිච්චි කරනවා, පොළොව මතුපිට ජලය ඇත්නම් ඒ බව සොයා ගන්නට. තැන හරියට හොයා ගත්තාට පස්සේ උගේ දැවැන්ත දළ වලින් පොළාව කැණ ජලය මතු කර ගෙන බොන්න අලියා දක්ෂයි. මේ දළවලින් ගස්වල පොතු ගලවා ගෙන කන්න ඌට පුලුවන්. දළ වශයෙන් ඇත්තේ උගේ උඩු ඇන්දේ ඉදිරි දත් දෙකයි. ඒවා ටිකෙන් ටික විශාල වී දික් වී වැඩෙනවා. අවසානයේ දී ඒවා සටන් කිරීමේ දී අවියක් ලෙසත්, ආහාර ගැනීමේ දී කෑම බිඳ ගැනීමටත් හැකි වන තරමට දැවැන්ත ඒවා බවට පත් වෙනවා. 

ලෝකයේ මෙතෙක් හමු වූ දැවැන්ත ම දළයෙහි දිග මීටර 3.5ක් වුණා. ඒ තරම් දිග දළ හරිම දුර්ලභයි. සාමාන්‍යයෙන් දළයක වැඩීම ඒ ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුයි. අලියකු හෝ ඇතකු බර වැඩි වස්තුවක් ගෙන යාමේ දී දළ දෙකත් එකතු කර ගෙන ‘ෆෝක්ලිෆ්ට් ‘ එකක් ලෙස හසුරුවනවා ඔබ දැක ඇති. ඇතා නාන විටත් හොඬවැල ප්‍රයෝජනයට ගන්නවා. ඝනකම සෙ.මි. 2ක් තරම් වන උගේ සම ඉතා හොඳ තත්වයේ තබා ගැනීමට අවශ්‍ය නිසා දිනපතා ම නෑමට ඌ කැමතියි. නාන විට ඌ හොඬය උපයෝගී කර ගෙන සිරුරේ පසුපස පෙදෙසට වතුර විදිනවා. රත් වූ කාල ගුණයක දී සිරුර සිසිල් වීමට එය හේතුවක් වෙනවා. මඩ වගුරක සිටී නම් මඩ දියකර ජලය සමග ඉසීමට හොඬය යොදා ගන්නවා. ඒ මඩ තට්ටු සම මත තැවරී සමට හානි කරන කෘමි සතුන්ගෙන් සම ආරක්ෂා කර ගන්නවා. බිම ඉතාම වියළි නම් මඩ වෙනුවට හොඬෙන් ගන්නා දූවිලි අංශු සම මත විසුරුවා හරින්නට ඇති ඉතා දක්ෂයි. ඒ ආකාරයට දූවිලි නාගෙන සිරුර රතු පැහැ කර ගත් ඇත්තු කොතෙකුත් දැක ඇති. 

අලි ඇතුන් හරිම දක්ෂ පිහිණුම්කරුවන්. ජලයේ දී උන් හොඬය ශ්වසන බටයක් ලෙස පාවිච්චි කරනවා. එය ඉහළට ඔසවා හුස්ම ගනිමින් ඕනෑම ගැඹුරු ජලයක, මුහුදේ පවා පිහිනීමට ඌට පුලුවන්. ගොඩබිම දී වුනත් අමුතු සුවඳක් දැනුනොත් ඌ හොඬය උඩට ඔසවා එය හඳුනා ගැනීමට තැත් කරනවා. හොඬයේ ඒ තුඩ හසුරුවා ඒ සුවඳ එන දිසාව තේරුම් ගන්න ඌට හැකියාව තියෙනවා. ඒ අනුව අනතුරක් නම් එය තමා ළඟට එනතුරු නොසිට ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්න ඌට පුලුවන්. හොඬය සුපිරි නැහැයක් නිසා ඌට ස්පර්ශ කරන ඕනෑම දෙයක් ඉව කර හඳුනා ගන්න පුලුවන්. ඇතකු උගේ හොඬයේ තුඩෙන් මලක් ඉව කර හඳුනා ගන්නා හැටිත්, ඒ හොඬ තුඩින් ම තම සගයකුගේ සිරුර පිරිමදින ආකාරයත් දැකීම විස්මය දනවන දෙයක්. 

මේ හොඬවැලේ තුඩින් මෘදු ලෙස ස්පර්ශ කිරීම අලි ඇතුන් ආදරය පළ කරන විධියක්. මිතුරන් අතරත් ඔවුන් අතර සුහදතාව පළ කරන මඟක්. අලි අම්මලා දරුවන් ගෙන සොයා බලන්නෙත් මේ හොඬයේ තුඩෙන් පැටවුන් ස්පර්ශ කිරීමෙන්. සතුරු අලි ඇතුන් එකිනෙකා හා සටන් වදිද්දී හොඬවැල් පටලවා ගන්නවා. අනතුරක සේයාවක් දැනුනු විට අලි ඇතුන් මේ හොඬවැලෙන් තවත් වැඩක් ගන්නවා. ඒ හොඬවැල කාහළයක් සේ යොදා ගෙන කුංචා නාදයක් පැතිර වීමෙන්. මෙසේ නැහැයෙන් නඟන හඬ හරියට ඇහෙන්නේ සුසිර වාදක භාණ්ඩයකින් නැඟෙන හඬක් වගෙයි. එය සතුරා බිය කර පළවා හැරීමට ප්‍රමාණවත්. ඉතින් ඒ අනුව ඇතකුගේ හොඬවැල, සියුම් සුපිරි නැහැයක්, සංවේදී තොලක්, දැඩි අතක්, සවිමත් බාහුවක්, ප්‍රබල බටයක්, දිය යටකිමිදීමට යොදා ගන්නා ස්නෝකල් නළයක්, මහ හඬක් පිට කළ හැකි හොරණෑවක්, යන සියල්ල එක් තැන් කළ විස්මිත උපාංගයක්. මේ සත්ව ලෝකයේ ම අපට මෙවැනි විස්මිත අවයවයක් තවත් හමු වන්නේ නැති තරම්. 

අලියාගේ හොඬවැල ගැන, එය යොදා ගන්නා විවිධ භාවිතාවන් ගැන අප මෙසේ විස්මයට පත් වුණාට, උගේ දැවැන්ත සිරුරත් විස්මයට කාරණයක්. මුළු සත්ව ලෝකයේ ම ගොඩබිම හමුවන විශාලතම සතා මොහුයි. ලොකු සතකු හොඳින් වැඩුණු විට කිලෝ 6000ක් පමණ බරයි.උපදින විට කුඩා පැටියකු හොඳින් වැඩුණු මිනිසකුට වඩා බරයි. සතුන්ගේ ලෝකයේ වැඩි ම කාලයක් මවු කුස තුළ ජීවත්වන්නේ අලියායි. ඇතින්නියක, එනම් කෙණෙරක ගැබ් ගෙන අවුරුදු දෙකකට පසුවයි, පැටවකු ප්‍රසූත කරන්නේ. අලි අම්මාට ගරු කරමු - අලි අම්මා රැක ගනිමු. - 

පර්සි ජයමාන්න 

අලි නාවන තැනක ඔවුන් නාවන්න උදවු කරන විදේශික සංචාරකයන්.


අදහසක් පළ කරන්න

0 Comments