HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත සාහිත මෙහෙවරක යෙදෙන මහඇදුරු ප්‍රණීත් අභයසුන්දර

මීට වසර 65කට පෙර පැවති මුල් ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක දී රාජ්‍ය සම්මානයක් පිරිනැමිණ. ඒ ‘මියගිය කිරිල්ලිය’ නමින් 1959 පළ කළ කාව්‍ය කෘතියකටය. එය කාව්‍ය නිර්මාණයකට රජයෙන් පිිරිනැමුණු ප්‍රථම සම්මානය විය. ‘නිශාද’ නමින් ‍එම කාව්‍යය රචනා කරන ලද්දේ විමල් අභයසුන්දර කවියා විසිනි. ඒ වසරේදී ම ඔහුට පීතෘ පදවිය හිමිකළ ප්‍රණීත් නිශාද පුත්‍රයා තවත් වසර 45කින් ඒ රාජ්‍ය සම්මානය හිමිකර ගැනීමට සමත්වනු ඇතැයි එදා කිසිවකු නොසිතන්නට ඇත. අද විශිෂ්ටතම චරිත යටතේ මේ සටහන තබන්නේ පසුගියදා 65 වසරට පා තැබූ ඒ නිශාද ගැන ය. ඔහු ප්‍රණීත් නිශාද අභයසුන්දර, අද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි; සමාජ හා මානව විද්‍යාඥයෙකි. එසේ ම ඔහු සාහිත්‍යයේ විවිධ පැතිකඩ ඔස්සේ සිය නිර්මාණකරණයේ යෙදෙන්නෙකි; ලේඛකයෙකි; විශේෂාංග රචකයෙකි; නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; මුඛ්‍ය දේශකයෙකි; කවියෙකි; ගේය පද රචකයෙකි. මේ හැකියාවන් සියල්ල ම ඔහුට මව්පියන්ගෙන් උරුම වූවා යැයි සිතිය හැකි වන්නේ ඔහුගේ පියා, විමල් අභයසුන්දර, ප්‍රවීණ සාහිත්‍යධරයකු වීමත්, මව, කල්‍යාණී අබේසිංහ, ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් ගායනය හා වාදනය හදාළ සංගීතවේදිනියක වීමත් නිසාය. 

මහඇදුරු ප්‍රණීත් අභයසුන්දර

ගේය පද රචකයකු වශයෙන් ප්‍රණීත් අභයසුන්දර ඒ ක්ෂේත්‍රයේ විශාල ජනප්‍රිත්වයක් දිනා ‍‍‍ගෙන තිබේ. එහි දී මා සිත්ගත් ගීත කීපයක් ම ඇත. මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන ‘මම නං ආසයි අහන්න නයනා’.., ‘මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම් දෝ....’, ‘වරදක් කළත් සිතකින් නොවේ...’, ‘දේ දුන්නෙන් පාට පාටින් ආදරේ බැන්දූ’ වැනි ගීත කීපය දශක ගණනාවක් තිස්සේ ම ජනප්‍රියව පවතින ඒවාය. එසේ ම විශාරද මල්කාන්ති නන්දසිරි ගයන, ‘සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ...’, විශාරද මාලිනී බුලත්සිංහල ගයන, ‘තාර පාර දිග පාට පාට කඩ සල්පිල් හෙවණැල්ලේ’ ආදිය ඊට තවත් නිදසුන්ය. ඔහුගේ රචනයක් වන, ආචාර්ය නන්දා මාලිනී ‘උත්පලවන්නා’ චිත්‍රපටය සඳහා ගැයූ ‘තුන් රුවනේ....ගීතයට ඕසීඅයිසී සම්මාන උළෙලේ දී සිග්නිස් සම්මානය හිමි විය. කාංචනා සඳමාලි ගයන ‘සිනාසෙන නිසාදෝ ඔබ හා...’ මිල්ටන් මල්ලවාරච්චි ගේ ‘පාළු මාවතේ නැවතිලා...’ ප්‍රණීත් ගේය පද රචනා ගායනයට එක් වූවන් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, රෝහණ සිරිවර්ධන, නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, නිරෝෂා විරාජිනී, අසංක ප්‍රියමන්ත පීරිස් ආදීන්ගේ නම් ද සටහන් වෙයි. ඔහු මේ වන විට ගේය පද රචනා 400ත් 500ත් අතර ගණනක් කර ඇතැයි ගී එකතු පවත්වාගෙන යන මිතුරකුගෙන් මට දැන ගන්නට ලැබුණි. 

ගද්‍ය පද්‍ය සාහිත්‍යය, සංගීතය, නාට්‍යය, සංස්කෘතීය හා සමාජයීය වශයෙන් ඕනෑම ජාතික කටයුත්තක දී ඔහු නැතුවම බැරි පුද්ගලයෙකි. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ඔහු ය. ඔහු එම තනතුර භාර ගන්නට පෙර පටන් ලංකාවේ සතර දිග් භාගයේ සෑම තැනකටම, ලොකු කුඩා ‍බේදයකින් තොරව, ඇරයුම් අනුව දෙසුම් සඳහා ගියේ ය. වරක් ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමයේ වාර්ෂික මහා සභාවේ මුඛ්‍ය දේශනය කරමින් ඔහු ගෙදර පුද්ගලිකව පුස්තකාලයක් පවත්වා ගෙන යාම හොඳ පුරුද්දක් නොවේ යැයි කියා පෙරළිකාර මතයක් පළ කළේය. ‘පුස්තකාලයක පොත් නිතර පාඨකයන්ගේ පරිහණයට ලක් විය යුතුයි. ගෙදර පුද්ගලිකව පුස්තකාලයක් පවත්වා ගෙන යාමේදී රාක්කවල දූවිලි පිස දමා තබා ගන්නවා හැරෙන්නට පාඨකයන් අතර යැවෙන්නේ නැහැ. ඒ නිසා ඒවා බොහෝ දෙනාගේ පරිහරණයට ලක්වන්නේ නැහැ. ඔබ කියවූ පසු තවත් යාළුවකුට දෙන්න. ඔහුට කියන්න ඒ පොත කියවා තවත් මිතුරකුට දෙන්න කියා. එහෙම අතින් අත යැවීම අපහසු නම් ඔබ කියවීමෙන් පසු ඔබට ආසන්නම පුස්තකාලයට පරිත්‍යාග කරන්න.’ ඒ කතාව ඇසීමෙන් පසු මම මගේ පුස්තකා‍ලයේ ඇති ලිවීමේ දී නිතර ප්‍රයෝජනයට ගන්නා පොත් හැර අනෙක් පොත් ගමේ පුස්තකාලයකට පරිත්‍යාග කරන්නට පියවර ගත්තෙමි. 

වසර කීපයකට උඩ දී ඔහු මා සමඟ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස සේවය කළේ ය. ඒ කාලය තුළ අදාළ වසරට අයත් නිර්මාණ සැම එකක් ම විනිශ්චය මණ්ඩල සඳහා ලබා දීමට ඔහු ගත් උත්සාහය කැපී පෙනුනේ ය. ඒ වන විට අප, ප්‍රධාන වශයෙන් විනිශ්චය සඳහා ග්‍රන්ථ ලබා ගත්තේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කෙරෙන ග්‍රන්ථ එකතුවෙනි. ඊට ග්‍රන්ථ එක් කරනු ලබන්නේ උසාවියේ දිවුරුම් දුන් රජයේ ලියාපදිංචි මුද්‍රණකරුවන්ගෙන් පමණක් වන නිසා අදාළ වසර තුළ සියලුම නිර්මාණ ඒ සඳහා ඇතුළත් නොවේ. බොහෝ විට කර්තෘ ප්‍රකාශන ඇතුළත් නොවේ. ඒ නිසා රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබා ගන්නා පිටපත්වලට අමතරව කර්තෘවරුන්ටත් රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙමුයි ප්‍රණීත් එදා යෝජනා කළේය. ඒ යෝජනාව ඉස් මුදුනින් පිළිගත් උපදේශක සභාව එදා සිට දෙයාකාරයෙන් ම ග්‍රන්ථ ලබා ගැනීම සිදු කරයි. 

සාහිත්‍ය උපදේශක සභාවේ සේවය කරද්දී අප මූලික විනිශ්චය සඳහා තෝරා ‍ගෙන යවන්නට සූදානම් කර තිබූ ළමා කතා ගොන්න පරීක්ෂා කළ ප්‍රණීත්, “මේ අවුරුද්දේ තවත් හොඳ පොත් තියෙනවා නෙ. හෙට මං ළඟ තියෙන ඒවා අරන් එන්නම්. ඒකත් බලලා යවන්න පොඩ්ඩක් තියා ගන්න.” මට කීවේය. ඔහු පහුවදා ඒ පොත් කීපය රැගෙන ආවේය. ඒ ගෙනා පොත් අතරින් ඔහු විශේෂයෙන් නම් කළ එක් පොතක් උපදේශක මණ්ඩලය විසින් පිළිගෙන විනිශ්චය සඳහා යවන්නට සූදානම් කළ පොත් එකතුවට එක් කිරීමට කටයුතු කරනු ලැබීය. එතැන් සිට ඒ පොත් සියල්ල විනිශ්චය මණ්ඩල තුනකට යවනු ලැබීය. වට තුනක් අවසානයේ දී ප්‍රණීත් හඳුන්වා දුන් ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ නම් ඒ කෘතිය අවසාන නිර්දේශ අතරට විනිසුරුවන් විසින් තෝරා තිබුණා පමණක් නොව 2012 වසරේ හොඳම ළමා පොත ලෙසට ද නම් කරනු ලැබීය. අද ළමා පොත් නිර්මාණය සඳහා අද ප්‍රකට නමක් හිමිකර ගෙන ඇති තනුජා එන්. අයගම නම් ලේඛිකාව දිනූ මුල් ම රාජ්‍ය සම්මානය එයයි. එදා අපට ඇය මඟ නොහැරුණේ ප්‍රණීත් අප සමඟ සිටි නිසයි. අද සම්මාන රැසක් හිමි කර ගෙන සිටින ඇය ළමා පරපුරට පොත් ලිවීම පිළිබඳ විශේෂඥවරියක් බවට පත්ව සිටින්නී ය. 

1959 අගෝස්තු 12 වැනිදා නාවල කොස්වත්තේ දී උපත ලබන අරුමාදුර ප්‍රණීත් නිශාද අභයසුන්දර මූලික අධ්‍යාපනය සඳහා මුලින් ම ඇතුළත් වන්නේ කොළඹ කේරී විද්‍යාලයටය. දෙ වන ශ්‍රේණියෙන් පසු ඔහු නාලන්දයටත් එතැනින් ආනන්දයටත් යයි. ඔහු උසස් පෙළ දක්වා ආනන්ද විද්‍යාර්ථියකු ලෙස ඉගෙන ගනියි. උසස් පෙළට කලා විෂය ධාරාව තෝරා ගන්නා ඔහු බෞද්ධ සංස්කෘතිය, ආර්ථික විද්‍යාව හා ආණ්ඩු ක්‍රමය වැනි විෂයයන් ඔස්සේ සරසවි පිවිසුමට වරම් ලබා ගන්නා ඔහු 1980 දී කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසෙයි. එහෙත් ඔහු රැ‍ඳ‍ෙන්නේ මාස තුනක් වැනි සුළු කලක් පමණය. සමාජ විද්‍යා විෂයය අධ්‍යයනයට ඇති අවශ්‍යතාව නිසා ඔහු කොළඹින් විද්‍යෝදය විශ්ව විද්‍යාලයට මාරු වෙයි. ඔහුට එහිදී දිවයිනේ කීර්තිමත් විශ්ව විද්‍යාල විද්වතුන් කීප දෙනකුගේ ඇසුර ලබමින් ඉගෙන ගන්නට වාසනාව හිමි වෙයි. මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය විමල් ජී බලගල්ලේ, මහාචාර්ය විමල වි‍ජේසූරිය, මහාචාර්ය රත්න විජේතුංග ආදීහූ. එහිදී ප්‍රමුඛ වෙති. 

1985 දී සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක් ලබා ගන්නා ප්‍රණීත් 1986 දී ජූලි 1 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත් විය. 1993 දී ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඉන්දියාවේ බරණැස් නුවරට යන ප්‍රණීත් 1997 දී නැවත සිය රටට එන්නේ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුවය. 2006/2009 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුරට පත් වූ අතර 2020 දී ප්‍රණීත් මහාචාර්ය ධූරයෙන් ද පුදනු ලැබීය. 

විශ්ව විද්‍යාල විද්‍යාර්ථියකු වශයෙන් සිටිය දී ඔහු එහි පිහිටුවා ‍‍ගෙන තිබූ ප්‍රතිභා පදනම මගින් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, ජී. බී. සේනානායක, මහගම සේකර වැනි සුවිශේෂ කලාකරුවන් අරබයා සංවිධානය කළ විශේෂ සැමරුම් කෘති සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ දීර්ඝ කාලය තුළ සංස්කෘතික දෙපාර්තමේන්තු විසින් පළ කරන්නට යෙදුණු සාහිත්‍ය වාර්ෂිකය සංස්කරණය සඳහා ද සුවිශේෂ දායකත්වයක් සැපයීය. 

ප්‍රණීත්ගේ සමාජ මෙහෙවර බෞද්ධ කටයුතු සඳහාත් විහිද යන්නේ ඔහු සමස්ත ලංකා බෞද්ධ මහා සමිති සම්මේලනයේ උප සභාපති පදවිය හොබවද්දී වසරේ හොඳම බෞද්ධ පොතපතට හා බුදුදහමට අනූපමේය සේවයක් කළ කලාකරුවනට හා සාහිත්‍යධරයන් ඇගයීමට සම්මාන පිරිනැමෙන වැඩසටහනක් ද ඇරඹීය. ඔහු එහි සභාපති පදවියට පත් වීමෙන් පසු එම වැඩ සටහන තවත් පුළුල් කරනු ලැබීය. 

මේ හැරෙන්නට, ඔහු ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ උත්තරීතර මණ්ඩලයේ සභාපති, සුමති ටෙලි සම්මාන උළෙලේ සභාපති, ඩී. ආර්. විජේවර්ධන අත්පිටපත් සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, සම්මාන උළෙලේ සාමාජික වශයෙන් ද දිගු කලක් සේවය කර තිබේ. 

‘සංහිඳ පාමුල’ නම් ගීත එකතුවෙන් ආරම්භ කළ ඔහුගේ ලිවි සැරිය ‘උඩරට සංගීතය’, ‘බරණැස් නම් නුවර’, ‘බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර විමර්ශන’, ‘අග්බෝදා දොළොස් මහ කවියෝ’, ‘මකරධ්වජ’, ‘මානව සමාජගත පවුල් සංකල්ප’. ‘සිංහලයකු වී ඉපදීමෙන්’, ‘බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව’ ආදි ග්‍රන්ථ රැසක් කරා දිව යයි. 

ඒ හැරෙන්නට ඔහු පසුගිය දශක හතරක කාලය තුළ කරන ලද ඔහු‍ගේ සංස්කෘතික හා සමාජ මෙහෙවර අති විශාල ය. ඔහු නවක, ප්‍රවීණ, ලොකු, කුඩා, බේදයකින් තොරව ඇරයුම් ලද හැම පොත් දොරට වැඩුමකටම දේශන සඳහා සහභාගි විය. එතැනින් නොනැවතුණු ඔහු නව පරපුර වෙනුවෙන් ඔවුන්ගේ පොතපත සඳහා පෙරවදන්, පසුවදන් ලියා දීමෙන් ඔවුන් දිරිමත් කිරීමට අමතක නොකළේය. ප්‍රණීත්ගේ සාහිත්‍ය හා සමාජ මෙහෙවර තවදුරටත් කර ගෙන යාමට ඔහුට අවශ්‍ය දිරිය, බලය, ශක්තිය නොඅඩුව ලැබේවායි, අපේ තරුණ හා ළමා පරපුර වෙනුවෙන් පතන්නට දිව මග හැටපස් විය සමරන මේ අවස්ථාව යොදා ගනිමු. ඔබට චිරං ජයතු! 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments