ලෝක ප්‍රකට ජර්මන් ලේඛකයෙකු තම ලොකුම හිතවතා අමතා සිය අන්තිම කැමැත්ත ප්‍රකාශ කළේ මෙහෙමයි. “මගේ නොපළ ලේඛන කිසිවක් යළි පළ කරන්න දෙන්න එපා! ඒවා සියල්ල මගේ මරණයෙන් පසු විනාශ කර දමන්න! පළ වූ පොත් නැවත පළ කරන්න ඉඩ දෙන්න එපා!” මේ තම මිතුරු වූ තවත් ජර්මන් නවකතාකරුවකුට කී කතාවකි. ඔහු අන් කිසිවකු නොව ෆ්‍රාන්ස් කෆ්කා (Franz Kafka) ය. මිතුරු නවකතාකරුවා වූයේ මැක්ස් බ්‍රෝඩ් (Max Brod) ය. ඒත් මිතුරා ඊට එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඔහු කළේ සිය කෆ්කාගේ ලේඛන සංස්කරණය කර, ඒවාට නව විග්‍රහයන් සපයමින් පළ කිරීමය. අද අප දන්නා ෆ්‍රාන්ස් කෆ්කාගේ නිර්මාණ කියවන්නට අපට අවස්ථාව සැලසුණේ මැක්ස් බ්‍රෝඩ්ගේ ඒ ‘පසමිතුරු’ ක්‍රියාව නිසාය.
ෆ්රාන්ස් කෆ්කා ජර්මන් බසින් කෙටිකතා හා නවකතා ලියූ ලේඛකයෙකි. ඔහු ජීවත්වූයේ ප්‍රාග්වලය. 20 වැනි සියවසේ විසූ ලෝක සාහිත්‍යයට විශාල බලපෑමක් කළ ලේඛකයන් කීපදෙනා අතරට ඔහු ද ඇතුළත් වෙයි. ඔහු ජීවත්වූයේ ප්‍රාග්වලය. ඔහු මිනිස් සන්තානයෙහි ගුප්ත පැතිකඩ මතු කෙරෙන අයුරින් යථාර්ථවාදීව මෙන් ම අධි යථාර්ථවාදී ශෛලියත් මුසු කර කෙටිකතා හා නවකතා ලීවේ ය.
කෆ්කා කීප අතකින් හුදෙකලා වූ චරිතයකි. ඔහු ඔහුගේ මනසින් ද, ප්‍රජාවේ සබඳතා අතින් ද බොහෝ සේ හුදෙකලා විය. එසේ ම ඔහු ඔහුගේ යුදෙවු උරුමයෙන් ද දුරස් විය. ඔහු සිය ලේඛන තුළින් උත්ප්‍රාසයට නැංවූ ඔහුගේ ඇතුළාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය (අරගල ස්වභාවය) ඔහුගේ නිර්මාණවලින් කැපී පෙනුණේය. 20 වන සියවසේ සමාජය වෙළාගෙන ඇති කාංසාව හා හුදෙකලා බව ඔහුගේ නිර්මාණ තුළින් මතු වී පෙනුණේ ය. ඔහු ජීවත්ව සිටි කාලයේ දී ප්‍රකාශයට පත්ව තිබුණේ ඔහු කළ නිර්මාණවලින් අතළොස්සක් පමණ ය. ඔහු ගේ කතාවල ඇති විශේෂත්වය ඒ සෑම කතාවක වාගේ ම යටි පෙළ කියවීමක් තිබීම ය. ඒ නිසා ඔහුගේ නිර්මාණවලින් හෙළිවන විවිධ අරුත් දකින්නට නම් විවේකීව කීපතාවක් කියවිය යුතු වෙයි.
ඔහුගේ නිර්මාණ අතුරින්, 1912 දී පළ වූ ‘රූපාන්තරණය’ (The Metamorphosis) නම් දිගු කෙටිකතාව ඔහුගේ නිර්මාණවල ස්වාභාවය හඳුනා ගැනීමට එක් හොඳ නිදසුනකි. එයින් කියැවෙන්නේ සංචාරක වෙළෙන්දකු ගැනය. එක් දවසක උදෑසන ඔහු අවදි වන විට ඔහු අත්භූත ආකාරයට යෝධ කැරපොත්තකු ලෙසින් රූපාන්තරණය වී සිටියේ ය. කතාව කියවන අප මෙන් ම ඔහුගේ පවුලේ උදවිය ද භීතියට පත් වී සිටිති. ඒ කතාවේ අනික් සියලු ම දේ යථාර්ථවාදී ස්වභාවයෙන් විස්තර කෙරේ. මේ වෙළෙන්දා තුළින් සැඟවුණු මිනිස් ස්වභාවයක් මතු කරලීමට කෆ්කා උත්සාහ කරයි.
මේ කතාව කේ.ජී.කරුණාතිලක සූරින් විසින් ‘රූප විපර්යාසය’ නමින් පූර්ණ පර්වර්තනයක් ලෙස සිංහලයට නංවා ඇති අතර, එය ‘රූප විපර්යාසය සහ තවත් කතා’ නමින් යුත් කෙටිකතා එකතුවෙහි (දයාවංශ ජයකොඩි, කොළඹ.1997) පළ කර ඇත. එහි මුල් කෙටිකතාව ලෙස ඇතුළත් කර ඇති එය ඇරඹෙන්නේ මෙසේ ය: “ග්‍රිගෝර් සම්සා එක් උදෑසනක අසුබ සිහිනවලින් අවදි වුයේ, තමා දැවැන්ත කැරපොත්තෙකු බවට පත්වී සිටිනු දුටුවේය. ඔහු සන්නාහයක් සේ දැඩි වූ පිටකටුව මත උඩුබැලිව වැතිර ගෙන සිටියේය. හිස මඳක් එසවූ විට, ඔහුට කවාකාර කොටස්වලට බෙදුණු අර්ධ ගෝලාකාර වූ දුඹුරුවන් සිය උදරය දැකිය හැකි විය. එය මතුපිට වූ ඇඳ ඇතිරිල්ල නිසියාකාරව නොතිබුණෙන් ඇඳෙන් මුළුමනින්ම ඇද වැටෙන්නට ළංවී තිබිණ. ඔහුගේ දැවැන්ත ශරීරය හා සසඳන විට දුක් බර අන්දමින් සිහින්වූ කකුල් රාශිය ඔහුගේ දෙනෙත ඉදිරියෙහි අසරණව නලියමින් තිබිණ.” පිටු පණස් ගණනක් පුරා විහිදෙන මෙය දිගු කෙටිකතාවක් ලෙස සැලකේ. (ආචාර්ය ධර්මසේන පතිරාජගේ අවසන් චිත්‍රපටය වූ ‘ස්වරූප’ ද මේ කෙටි කතාව ඇසුකර ගෙන කළ නිර්මාණයකි.)
ඉදි කර ඇති කෆ්කාගේ ලෝකඩ පිළිරුවක් - ‘මිනිස් ආරෝහකයා’
කෆ්කාගේ නිර්මාණ අතර කැපීපෙනෙන නිර්මාණ වන්නේ ඇමෙරිකා (1913 America) අරගලයක කතාව (1909 Discription of a Struggle), දණ්ඩන කඳවුර (1913 The Penel Colony), නඩුකරය (The Trail), රූපාන්තරණය (1912 The Metamorphosis), මාලිගය (The Castle) ඉන් කීපයකි.
ෆ්රාන්ස් කෆ්කාගේ ‘රූපාන්තරණය’ කෙටිකතාව පළ වූ කේ. ජී. කරුණාතිලකගේ කෘතිය.
ෆ්‍රාන්ස් කෆ්කා උපන්නේ, 1883 ජූලි 03 වැනිදා, ඔස්ට්‍රියාවේ (වත්මන් චෙක් ජනරජයේ) ප්‍රාග්හී බොහිමියා නගරයේ දී මධ්‍යම පාංතික යුදෙවු පවුලක සාමාජිකයකු හැටියටය. 1906 දී ප්‍රාග් විශ්ව විද්‍යාලයට ඇතුළත් ව නිතීවේදී උපාධියක් ලබා ගත්තේ ය. පසුව ඔහු රක්ෂණ සමාගමක නීතිවේදියකු ලෙස කටයුතු කළේය. ඒ කෙටි කලකට පමණි. ඒ රැකියාවෙන් ලේඛනය සඳහා වැඩි වේලාවක් ගත කිරීමට අපහසු යැයි හැඟුණෙන් ඔහු ඉන් ඉවත්ව ලියන්නට වැඩි ඉඩක් ලැබෙන රැකියාවකට ගියේය. 1922 වන තෙක් ඔහු සේවය කළ අතර ලියන්නට වැඩි වේලාවක් ගත කළේය. පසුව ඇති වූ රෝගී තත්වය නිසා ඒ රැකියාවෙන් ද ඉවත් විය. 1924 ජූනි 3 වැනිදා ඔස්ට්‍රියාවේ කියර්ලින් (Kierling) නගරයේ ඔහු මිය ගියේ 41 හැවිරිදි වියේ දී ය. ඒ ක්ෂය රෝගය උත්සන්න වීමේ හේතුවෙනි.
1 Comments
කෆ්කා කියන්නේ දැඩි ලෙස විශාදය සහ සමාජ භිතිකාවෙන් පෙලුන අයෙක්
ReplyDeleteඅමරනීය ලේඛකයෙක්