HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉලොන් මස්ක්ගේ තවත් විස්මිත නිමැවුමක්! ආගෝට පණ දුන් හැටි!

ඔබ නෝලන්ඩ් ආගෝ දන්නවද? අප කවුරුත් හොඳින් දන්නා බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් සහ ඔහුගේ සමාගම්වලින් එකක් වන ‘නියුරලින්ක්’ සමාගමේ ප්‍රධාන චරිතයක් වන්නේ, නෝලන්ඩ් ආගෝ ය. මීට අවුරුදු අටකට පෙර සිදුවුණු අනතුරක් හේතුවෙන්, සිරුර අප්‍රාණික වී, රෝද පුටුවටත් ඇඳටත් පමණක් සීමා වුණු නෝලන්ඩ්, 30 හැවිරිදි ඇමෙරිකන් තරුණයෙකි. වසර අටකට පසු අද නෝලන්ඩ්, පරිගණකයක් අල්ලන්නේවත් නැතිව, පරිගණකවලට උපදෙස් දෙමින් ඒවා මෙහෙයවමින් වැඩ ගනී. පරිගණකයෙන් ක්‍රීඩා කරයි. ඔන්ලයින් චෙස් ක්‍රීඩා කරයි. එවැනි හැකියාවක් නෝලන්ඩ්ට ලැබුණේ කෙසේද? ඒක ඇත්තටම විස්මිත කතාවකි. විද්‍යා ප්‍රබන්ධයක් වැනි වුවත්, එය ඇත්තටම විස්මිත යථාර්ථයකි. 

නියුරෝලින්ක් නිර්මාතෘ ඉලොන් මස්ක්

ඒ, 2016 ජූනි මාසයයි. නෝලන්ඩ් ආගෝ, ඇමෙරිකාවේ ඇරිසෝනා ජනපදයේ වැසියෙකි. ටෙක්සාස් ඒ.ටී.එම්. විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. මුහුදේ කිමිඳීමට ගිය අවස්ථාවේදී නෝලන්ඩ් හිටිහැටියේ අනතුරට පත්විය. එය ඇත්තටම පැහැදිලි කිරීමට නොහැකි ආකාරයේ අනතුරකි. නෝලන්ඩ් දිවි ගලවා ගත් නමුත් උරහිසෙන් පහළ අප්‍රාණික විය. නෝලන්ඩ්ට චලනය කළ හැකි වූයේ හිස සහ උරහිස් පමණි. මුල් මාස කීපයේ නෝලන්ඩ් ඇඳට සීමා විය. කාටත් හිත හොඳ චරිතයක් වූ බැවින්, විශ්ව විද්‍යාලයේ මිතුරු මිතුරියන් ඔහු තනි කළේ නැත. 

නෝලන්ඩ්ගේ හොඳම මිතුරා ග්‍රෙග් බේන් සහ විශ්ව විද්‍යාල මිතුරු මිතුරියන් එක් වී, ‘ගෝෆන්ඩ්මී’ යනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරමින් පවත්වාගෙන ගියේ නෝලන්ඩ් වෙනුවෙන් ආධාර රැස් කිරීම අරඹමිනි. නෝලන්ඩ්ට විද්‍යුත් රෝද පුටුවක් නිපදවීම එක් ප්‍රධාන අරමුණක් විය. ලැබෙන ආධාරවලින් එය පහසුවක් විය. එම රෝද පුටුවෙන් නෝලන්ඩ්ට ගමන් බිමන් කළ හැකි විදියේ විශේෂ වෑන් රියක් අවශ්‍ය වූ අතර, ආබාධිතයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ එවැනි වෑන් රියක් මිලදී ගැනීමට විශාල මුදලක් අවශ්‍ය විය. 

ආධාර සෙමින් සෙමින් ලැබෙන්න පටන් ගැනුනත්, චලනය වීමට නොහැකි වූ නෝලන්ඩ් ජීවත් වීම අභියෝගයක් විය. නෝලන්ඩ්ගේ පවුලේ සාමාජිකයන් ද නෝලන්ඩ් වෙනුවෙන් මුදල් රැස් කිරීමට යොමු වූයේ රතු රබර් බ්‍රේස්ලට් අලෙවි කරමිණි. එම බ්‍රේස්ලට්වල මුද්‍රණය කර තිබුණේ ‘නෝලන්ඩ් ස්ට්‍රෝංග්’ යනුවෙනි. අනතුර සිදුවී වසරක් ගත වෙද්දී, ඩොලර් 10,000 ක ඉලක්කය පසු කිරීමට මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන්ට හැකිවුණු අතර, විද්‍යුත් රෝද පුටුව නංවාගෙන ගමන් බිමන් කිරීමට නෝලන්ඩ්ට ඒ විශේෂයෙන් නිර්මාණය කළ වෑන් රිය ලැබුණි. වෛද්‍යවරුන් හමුවට යෑම ඒ අනුව පහසු විය. 

නෝලන්ඩ්ගේ එදිනෙදා ජීවිතය පහසු කිරීමට තව බොහෝ උපාංග අවශ්‍ය විය. ඒත්, තවත් වසර 7 ක් යද්දී, එවැනි විශේෂ උපාංගයක් නිර්මාණය වේවි යැයි එදා නෝලන්ඩ් සිතන්නවත් නැත. ඒ උපාංගය කුඩා විපයකි. මොළයට බද්ධ කෙරෙන චිපයකි. බිලියනපති ව්‍යාපාරිකයකු පමණක් නොව, නව නිපැයුම්කරුවකු ද වන ඉලොන් මස්ක් සහ ඔහුගේ ‘නියුරලින්ක්’ සමාගම, විපයක් නිර්මාණය කර එම චිපය මගින් මිනිස් මොළය පරිගණක සහ යන්ත්ර සූත්ර සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ ගන්නා බවත් ආබාධවලට මුහුණ දී සිටින රෝගීන්ට ‘නියුරලින්ක්’ සායනික අත්හදාබැලීමවල නියැලීමට හැකි බවත් කැමැති අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවත් නිවේදනය කෙරුණි. 

නෝලන්ඩ් ආගෝ

මිතුරා ග්‍රෙග් බේන්, නෝලන්ඩ් කැමති කරවා ගනිමින්, ඔන් ලයින් ක්‍රමය හරහා අධාර පෝරම පිරවීම සිදු කළේය. ‘නියුරලින්ක්’ සමාගම නෝලන්ඩ් තෝරා ගත්තේ ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුවය. වඳුරන් සහ චිම්පන්සීන් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණ සාර්ථක වීමෙන් පසු, මිනිසුන් යොදා ගනිමින් සායනික අත්හදා බැලීමක් කිරීමට ‘නියුරලින්ක්’ විද්යාඥයන් සූදානම් වූ අතර ඊට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය සහ අවසරය හිමිවිය. ඇමෙරිකාවේ ඖෂධ අත්හදා බැලීම් සහ නව සායනික අත්හදා බැලීම් සඳහා අනුමැතිය දීම කරන්නේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. ‘නියුරලින්ක්’ සමාගම වඳුරන් සහ චිම්පන්සීන් යොදා ගනිමින්, ඔවුන්ගේ මොළය කපා කොටා පරිගණක චිප බද්ධ කරමින් කළ අත්හදා බැලීම් ඉතාමත් අමානුෂීය යැයි ද ‘නියුරලින්ක්’ සමාගමට සත්ව අයිතීන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ආයතන බොහොමයක් විරෝධය පළ කළ බව ද මතක් කළ යුතුය. 

‘නියුරලින්ක්’ යනු කුමක්දැයි කියාවත් ඒ වන විට නෝලන්ඩ් කිසිවක් දැන සිටියේ නැත. සායනික අත්හදා බැලීම්වලට නෝලන්ඩ් කැමැත්ත දුන්නේය. මාස පහකට පසු තවත් අයැදුම්කරුවන් කීප දෙනකු අතරින්, මොළයට චිපය බද්ධ කිරීමට සුදුසුම තැනැත්තා නෝලන්ඩ් බව ‘නියුරලින්ක්’ තීරණය කළේය. 2024 ජනවාරියේ මිනිත්තු 30 ක සැත්කමකට නෝලන්ඩ් යොමු කෙරුණි. එය සුළු සැත්කමක් වූ අතර එය සිදු කළේ හිරිවට්ටමිනි. සැත්කම කළේ රොබෝ අතකි. එම රොබෝ අත මෙහෙය වූයේ දක්ෂ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමකි. හිස් කබලේ කුඩා කොටසක් කපා ඉවත් කර, චිපය මොළයට බද්ධ කළේය. ඉන් පසු කපා ඉවත් කළ හිස් කබල කොටස යළි තබා මැස්මක් යෙදූ අතර, එදින සවස් වෙද්දී, නෝලන්ඩ්ට නිවස බලා යා හැකි විය. ඉතිරි වී තිබෙනු දකින්න ලැබුණේ හිසේ කුඩා තුවාල කැලැලක් පමණි. ගැටලු කිසිවක් හට ගත්තේ ද නැත. පසුගිය මාර්තු 20 වැනිදා සහ ඉලොන් මස්ක් සහ ‘නියුරලින්ක්’ විද්යාඥයන් මාධ්ය හමුවක් කැඳවා, වීඩියෝ දසුන් පෙළක් පෙන්වමින්, නෝලන්ඩ් ආගෝ හඳුන්වා දුන්නේය. ඒ, ‘නියුරලින්ක්’ චිපය මුලින්ම බද්ධ කළ තැතැත්තා නෝලන්ඩ් ආගෝ බව පවසමිනි. මිනිත්තු 9 ක එම වීඩියෝවේ, නෝලන්ඩ් සිය මනසින් පරිගණක ක්‍රියා කරයි. ඔහු ඔන්ලයින් චෙස් ක්‍රීඩා කරයි. කුඩා කාලයේ සිට පරිගණක ක්‍රීඩාවලට ආසා කළ නෝලන්ඩ් පරිගණකය මෙහෙයවමින් පරිගණක ක්‍රීඩාවල නියැළ‍ෙයි. ඒ සියල්ල ඔහු කරන්නේ පරිගණකය ස්පර්ශ නොකරය. 

‘නියුරලින්ක්’ මොළයට බද්ධ කරන මෙම චිපය, කෙටි කාලයකින් නෝලන්ඩ්ගේ ජීවිතය වෙනස් කළේය. අත්හදා බැලීමක් බැවින්, චිපය මොළයට බද්ධ කිරීමෙන් පසු ඇතිවන සංකූලතා රැසකි. අවාසනාවකට මේ වන විට නෝලන්ඩ් එම සංකූලතාවලට මුහුණ දෙයි. නෝලන්ඩ් ඒ ගැන සුබවාදීව සිතයි. ‘චිපය සාර්ථක වේවිද නැද්ද යන්න සැකයෙන් සහ කුතුහලයෙන් තමයි විද්යාඥයන් එය මට සවි කළේ. දැන් ගැටලු මතු වී තිබෙන බව ඇත්ත. ඒ ගැන මම අවබෝධයෙන් සිටිනවා. මොළයට චිපයක් සම්බන්ධ කිරීමට පුරෝගාමියා වුණේ මම ඒ ගැන මම සතුටුයි. එය විද්යාඥයන්ට උදවුවක් වේවි දෝෂ නිවැරදි කර ගන්න.’ යැයි නෝලන්ඩ් පවසා ඇත. හටගෙන ඇති ගැටළුව නම්, බාහිර වස්තුවක් ලෙස චිපය මොළයට බද්ධ කිරීම නිසා මොළයේ ස්වාභාවික ක්‍රියාවලියට බාධා එල්ල වී ඇත. මොළයේ ප්‍රතිශක්ති පද්ධතිය, මෙම චිපය ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන ඇත. සියයට 100 ක් මොළයේ ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වුණු චිපය දැන් ක්‍රියාත්මක වන්නේ සියයට 85 ක් පමණි. ඉදිරියේ දී ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගෙන තවත් ආබාධ සහිත පුද්ගලයකු තෝරා, ඔහුගේ හෝ ඇයගේ මොළයට චිපය බද්ධ කිරීමට ‘නියුරලින්ක්’ සූදානමින් සිටී. 

‘නියුරලින්ක්’ සමාගමේ මෙම චිපය හැඳින්වෙන්නේ ‘ටෙලිපති’ යනුවෙනි. සිරුර අප්රාණික නෝලන්ඩ් වැනි අයට මනසේ බලයෙන් පරිගණකයකට හෝ ජංගම දුරකතනයට හෝ සම්බන්ධ වී, ඔවුන්ගේ දෛනික කටයුතු පහසුවෙන් කරගෙන යෑමට උදව්වක් වශයෙන් සහ අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබා දෙන විශේෂ ක්රමයක් ලෙස ‘ටෙලිපති’ චිපය බද්ධ කිරීම ‘නියුරලින්ක්’ සමාගමේත් එහි හිමිකරු ඉලොන් මස්ක්ගේත් අරමුණ වී තිබේ. මොළයට බද්ධ කරන චිපය සංඥා බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ මොළයත් පරිගණකයත් අතර සම්බන්ධයක් ගොඩ නැගීම කරයි. මොළයෙන් විස්කම් පෙන්වීම කළ හැකි වන්නේ ඒ අනුවය. 

ලුසිත ජයමාන්න 

ඩේලිමේල් ඇසුරිනි 

කැප්ෂන් 

 

Post a Comment

0 Comments