ලෝකයේ උතුම්ම රස්සාව කුමක් දැයි ඔබ මගෙන් ඇසුවොත් මා දෙන උත්තරය කුමක් ද? එය රහසින්වත් පව් නො කෙරෙන, බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී ‘සම්මා ආජීව‘ කියා හැඳින්වූ රැකියාවක් විය යුතු යැයි මම කියමි. ලේඛකයකු වන මා කරන්නේ ද එවැනි උතුම් රැකියාවකි. එහෙත් ලේඛකයන් අතින් තෙවන සිල්පදය කැඩුණු අවස්ථා ඔවුන්ගේ ලේඛන තුළ බොහෝ විට මම දැක ඇත්තෙමි. එහෙත් එසේ නොවන, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ‘සම්මා ආජීව’ රැකියාවක් පොත් හා බැඳී තිබේ. ඒ පොත් ප්‍රකාශනය, බෙදා හැරීම හා අළෙවියයි. මෙහිදී මා ප්‍රකාශනය, බෙදා හැරීම හා අළෙවිය යනුවෙන් වෙන වෙනම කළ හැකි රැකියා තුනක් එකට ගෙන හැර දැක්වූයේ වඩාත් සාර්ථක වන්නේ එය එක් අයකු අත පවතින විටය. ඒ සඳහා මේ මිහිමත ගෙන හැර දැක්විය හැකි හොඳම උදාහරණය අපේ සරසවි ප්‍රේමසිරි ය. ඔහු මේ පිංබර රැකියාව වසර දසක හයකටත් වැඩි කාලයක් තිස්සේ කරන්නෙකි. අව්‍යාජ සිනහවකින් නිතරම මුව සරසාගෙන සිටින ඔහු දකින මට හැමවිටෙකම සිතෙන්නේ ඔහු උර මත සරස්වතිය පමණක් නොව ලක්ෂ්මියත් දෙදෙනාම එක විට වාසය කරන බවකි.
එහෙත් ප්‍රේමසිරි කුඩා කාලයේ ඒ දෙදෙනාම ඔහුගේ පිහිටට හිටියේ නැත. ඔහුගේ මවගේ මරණය ඔහුට මතක නැත. පියා මිය ගියේ ඔහු හතේ පන්තියේ ඉගෙන ගනිද්දී ය. ඔහුගේ දෛවය අනුව පවුල විසිරිණ. ලොකු මාමා මල්ලී බාර ගත් අතර පුංචි අම්මාට දරුවන් නොවූ නිසා නංගී බාර ගෙන ඇයත් සමග ඇගේ ගමට ගියාය. ප්‍රේමසිරිව බාර ගත්තේ තාත්තාගේ දුර ඥාතියකු හා ළඟ මිතුරකු වූ ඩී.සී. වීරකෝන් මුදලාලිය. ප්‍රේමසිරි ඔහු ඇමතුවේ බාප්පා කියාය. තාත්තා ජීවත්ව සිටිය දී ඔහුගේ පොත්වල ගණන් තැබූ නිසා ඔහු තුළ ප්‍රේමසිරිගේ පවුල කෙරෙහි විශේෂ ළැදියාවක් තිබුණේය. ඒ නිසා ඔහු ප්‍රේමසිරිගේ අධ්‍යාපනය බාර ගත්තේය. ප්‍රේමසිරි හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ අනාගතයේ වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ ඉලක්කය හරිගියේ නැත. ලකුණු කීපයක් මදි වූ නිසා ඔහුට ඉලක්කය වැරදුණේය. ඒ ගැන දුක් වෙමින් සිටිය දී බාප්පා ඔහුට කතා කොට මහරගම සරසවිය පොත් හලේ වැඩට එකතු කර ගත්තේය. බාප්පාට බැහැයි කියන්නට බැරි විය. ඔහු මහරගමට ගියේය.
පොත් හලේ ම නැවතී හිඳිමින් කඩෙන් කා ගත කරන ජීවිතයට ඔහුගේ කැමැත්තක් නොතිබුණත් එයට හුරු වීමට ඔහුට සිදු විය. පොත් සුවඳෙන් ඔහුගේ දුක් තුනී වූවා පමණක් නොව දිවා රෑ දෙක්හි පොත් කියවීමෙන් ඔහුගේ දැනුම පුළුල් විය. ඔහු පොත් සුවඳ ඔස්සේ බොහෝ දුර ගියේය. මහරගම සිට නුගේගොඩ ආවේ ය. 1973 නුගේගොඩ තමාගේ ම පොත් සාප්පුවකින් පටන් ගත් ඒ ගමන රටපුරා පොත් සාප්පු 33ක් දක්වා පුළුල් විය. 33 වැනි පොත් සාප්පුව අද (2024 ජූනි 24 දා) මීගමුවේ දී විවෘත විය.
අප කුඩා කාලයේ පොත් සාප්පුවල පොත් තිබුණේ අල්මාරිවල වසා දමා ය. අපට අවශ්‍ය පොත නම් කළ විට එය රැගෙන දීමට සේවකයෙක් ඒ අල්මාරිය ඉදිරියේ සිටියේය. පොතක් අතට ගෙන පෙරළා බලා මිල දී ගැනීමේ පුරුද්දක් එකල තිබුණේ නැත. පාඨකයා අතට පොත ලැබෙන්නේ බිල ගෙවා ලදුපත පෙන්නූ පසුවයි. ඒ තත්වය වෙනස් වුණේ සරසවි ප්‍රේමසිරිගෙනි. ඔහු පාඨකයන්ට පොත් සාප්පුව පුරා ඇවිද තමන් කැමති පොත් තෝරා ගෙන ඇවිත් මිල දී ගෙන යන්නට නිදහස දුන්නේ ය. ගෙදරින් තුණ්ඩුවක් ලියා ගෙන අවුත් පොත් ගෙන යන සංස්කෘතිය ඒ අනුව අවසන් විය. පාඨකයන් නිදහසේ පොත් තෝරා ගෙන යන ක්‍රමය අනුව වැඩි පොත් අලෙවියක් ඇති විය. අනෙක් පොත් සාප්පුත් ඒ ක්‍රමයට ටිකෙන් ටික අනුගත වෙන්නට විය. වසර 50ක් තුළ ශාඛා 33ක් බිහි කරන්නට මග පෑදුණේ ඒ අනුවය. මේ කාලය තුළ ජාතියේ නැණ නුවණ පාදන්නට, ජාතියේ බුද්ධි මණ්ඩලය පුළුල් කරන්නට, ඔහු අතින් සිදු වූ මෙහෙය අති විශාල ය.
පොත් සම්බන්ධයෙන් කළ කටයුතුවලදී ඔහු හැමවිටම පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. මහරගම සරසවි පොත් හලේ සේවය කරද්දී ප්‍රේමසිරිගේ හිත පොතින් ඔබ්බට ගොස් ග්‍රන්ථ ප්‍රවර්ධනය කෙරෙහිද යොමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර පොත් වසර ලෙස මුල් වරට 1972 දී නම් කළේ මේ කාලයේය. ඒ වෙනුවෙන් ලොව පුරා වැඩ සටහන් පවත්වන්නට යුනෙස්කෝ ආයතනයට පැවරිණ. එහෙත් ඒ කිසිදු සහයක් නැතිව ලේඛක පාඨක හමුවක් හා පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට ප්‍රේමසිරි පියවර ගත්තේ ය. ඒ සඳහා ඔහුට සංවිධාන ශක්තිය සැපයුවේ පියසේන වික්‍රමගේ ය. ඔහු ඒ සඳහා ‘නව පරපුර‘ නමින් සංවිධානයක් ද පිහිටුවා ගත්තේය. වික්‍රමගේ මේ පිළිබඳව මා දැනුවත් කළේ මා සරසවිය පුවත්පතේ සේවය කරද්දීය. ඒ කාලයේ වික්‍රමගේ මහරගම සරසවියට මෙන්ම ලේක්හවුසියේ සරසවියට ද නිතර ආ ගිය අයකු විය. එවකට ඔහු සරසවියට ලිපි සැපයූ විශේෂාංග ලේඛකයකු විය.
‘අපේ පළාතේ ලේඛකයෝ’ යන මැයෙන් යුත් ඒ පොත් ප්‍රදර්ශනයට කොළඹ දිස්ත්‍රික්කය තුළ ලේඛකයන් 33 දෙනකු තෝරා ගනු ලැබීය. ප්‍රදර්ශනය සඳහා ඔවුන්ගේ පොත්වලට අමතරව ඔවුන් පිළිබඳ තොරතුරු හා ඔවුන්ගේ රුව ද ඇතුළත් කෙරිණ. ලේඛක රුව රේඛා සිතුවමට නැංවූයේ එස්. එච්. සරත් හද්‍රජී මහින්ද ජයතිලක හා චන්ද්‍රසෝම පෙරේරා විසිනි. මේ නවමු අත්දැකීම පාඨකයනට විඳගත හැකි වූයේ 1972 ජූලි 1,2,3 යන දිනවලය. මේ සඳහා එවකට නුගේගොඩ ලෝටස් පොත් හලේ රන්ජන් පෙරේරාගේ සහය ද ලැබිණ.
ඒ අවස්ථාවේ දී ප්‍රේමසිරි තවත් ඓතිහාසික කටයුත්තකට අත දුන්නේ ය. ඒ ලංකාවේ ප්‍රථම පොත් එළිදැක්වීමට ය. ‘පොතක් දොරට වැඩීම‘ අද සමාජය තුළ බහුලව සිදුවන්නක් වුවද මීට වසර 52කට පෙර ඒ යෙදුම පවා අපට නුහුරු දෙයක් විය. ඒ යෙදුම මුල්වරට භාවිත වූ, අපේ රටේ ප්‍රථම වතාවට අලුත් පොතක් හඳුන්වා දීම සඳහා පැවති ඒ මංගල දොරට වැඩීමේ උළෙලට අනුග්‍රහය දුන්නේ ද එච්. ඩී. ප්‍රේමසිරි ය. එදා හා හා පුරා දොරට වැඩියේ මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ‘නොදනිමි කාගෙ දොසා‘ නවකතාව ය. ඒ කාලයේ හැටියට අධි මිල නවකතාවක් ලෙස හඳුන්වා දුන් ඒ පොතක් රුපියල් නවයයි සත අසූවකට මිල නියම කර තිබුණි. එම උත්සවය පැවති පැය එක හමාර තුළ ඒ නවකතාවේ පිටපත් 50ක් පමණ අළෙවි වූ බව සඳහන් ය. එයත් එක්තරා ආකාරයක වාර්තාවකි. ඒ නවකතාව ප්‍රකාශයට පත් කළ හංස ප්‍රකාශකයන් වෙනුවෙන් ඒ ඓතිහාසික උත්සවය සංවිධානය කිරීමේ ගෞරවය ද හිමි වන්නේ පියසේන වික්‍රමගේටය.
එදා එම අවස්ථාව ගැන පසුව ආවර්ජනය කරමින් ප්‍රේමසිරි මෙසේ කියා තිබේ. “ඒ කාලේ මහරගම සරසවි පොත්හලේ ලෑලි දමා තැනූ සොල්දර තට්ටුවක් තිබුණා. ඒකට නගින්න තිබුණේ පුංචි ඉණි මගක් වගේ පඩි පෙළක්. ලංකාවේ ප්‍රථමවරට පොතක් දොරට වැඩීමේ උත්සවය කළේ සරසවි පොත්හලේ ඒ ලෑලි සොල්දර තට්ටුවේ තමයි. ඒකෙ අපේ පොත් ගබඩා කරලා තිබුණා. මම ඒ පොත් එහා මෙහා කරලා උත්සවය පැවැත්වීමට ඉඩකඩ හදලා දුන්නා. එස්. එච්. සරත් උත්සවයට සරිලන විදියට එතැන චාම් සැරසිල්ලක් කළා.” (ලක්බිම 2005 ජූනි 5)
‘ලංකාවේ පළමුවන පොත් දොරට වැඩුම’ යන යෙදුම හඳුන්වා දෙමින් විශේෂ ඇරයුම් පතක් ද යවනු ලැබීය. ඒ පුරෝගාමී උත්සවය පැවැත්වුණේ 1972 අගෝස්තු 26 වැනිදා සෙනසුරාදා සවස 4.30 - 6.00ත් අතර ය. එහි විශේෂ දේශන කිසිවක් නොවීය. ඒ වෙනුවට කතුවරයා හමු වී සාකච්ඡා කරන්නත් ඔහුගේ අත්සන යොදා වට්ටම් සහිතව පොත මිලදී ගැනීමටත් කටයුතු යොදා තිබුණි.
කවදත් පොත් කර්මාන්තයට රජයෙන් ලැබුණු අනුග්‍රහය අල්ප විය. සාහිත්‍ය මාසයක් හා කියවීමේ මාසයක් ප්‍රකාශයට පත් කිරීම, වාර්ෂිකව පිරිනැමෙන රාජ්‍ය සම්මාන පිරිනැමීම හා සුළු මුදල් ප්‍රතිපාදනයක් වෙන්කොට පොත් මිල දී ගැනීම හැරුණු විට පොත් කර්මාන්තය නඟා සිටුවීමට, එහි නිරතවූවන් දිරි ගැන්වීමට රජයෙන් කිසිම වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොවීය. ඒ හැරෙන්නට විවිධ බාධාවන්ද ඇති කරනු ලැබීය. මේ තත්වයේ වෙනසක් තවමත් රජය පැත්තෙන් සිදු වී නැත.
70 දශකයේ දී මහා පොත් නියඟයක් ඇති විය. මුද්‍රණ කඩදාසි ආනයනය අත්හිටවිණ. පොත් මුද්‍රණය සඳහා කඩදාසි හිඟ විය. මුද්‍රණය සඳහා අනුමත කළ පොත්වලට පමණක් පිටපත් ප්‍රමාණය අනුව දේශීය නිෂ්පාදිත කඩදාසි නිකුත් කෙරිණ. එය ද ඉටු කෙරුණේ කතුවරයාට කරන අනුග්‍රහයක් හැටියටය. පොත් හිඟය නිසා හිස් වූ පොත් රාක්කවලට සපත්තු වැනි වෙනත් භාණ්ඩ ආවේය. පෙළ පොත් රජයෙන් දුන් නිසා දිවයින පුරා බොහෝ පොත් සාප්පු නාම පුවරුවලට පමණක් සීමා විය. රටපුරා පොත් සාප්පු රැසක් වැසී ගියේය. ඒත් ප්‍රේමසිරි ඇතුළු පොතට ආදරය කළ අය පොත අත හැරියේ නැත. ඔවුහූ පාඨකයා පොත කෙරෙහි ආකර්ෂණය කර තබා ගන්නට විවිධ ක්‍රම යොදා ගත්හ. වසරාවසානයේදී එක වහලක් යට දැවැන්ත පොත් සල්පිලක් ද පැවැත්වූහ.
80 දසකයේ රූපවාහිනියේ ආගමනයත් සමග පොතපතට විශාල අභියෝගයක් එල්ල විය. පාඨකයාගේ පොත් කියවීමේ කාලය රූප පෙට්ටිය විසින් ගිලගනු ලැබීය. ඉන්පසු 90 දසකයේදී පොතට අභියෝගයක් එල්ල වුණේ අන්තර්ජාලයෙනි.
ඇමරිකන් ලේඛක රේ බ්‍රැඩ්බරි 1953 දී ‘ෆැරන්හයිට් 451’ නමින් විද්‍යා ප්‍රබන්ධයක් ලියමින් අනාගතයේ බිහිවන ඇමරිකානු විෂම සමාජය පොතපත තහනම් කොට ඒවා සමාජ විරෝධී දේවල් ලෙසත්ල සමාජයේ ඉදිරිගමනට බාධා කරන දේ ලෙසත්ල සලකා පුළුස්සා දමන බවට අනාවැකි පළ කළේ ය. එහෙත් එවැනි තත්වයක් අපට උදා වූයේ නැත. එහෙත් පාඨකයා පොත්වලින් ඈත් කරන දේ නොකඩවා සිදු විය. මේ වන විට පොත් බදු බර නිසා මිල අධික භාණ්ඩයක් වී තිබේ.
පොතට අනුග්‍රහයක් දක්වන්නට රජය අසමත් වීමත් සමග පොත කෙරෙහි ජනාකර්ෂණය පවත්වා ගැනීමේ වගකීම ප්‍රකාශකයන් වෙත ම පැවරිණ. ඒ අනුව ඒ බර කරට ගත්තේ සරසවි ප්‍රේමසිරි ය. ඔහු පොත් ප්‍රකාශන ප්‍රජාව එක් රැස් කළේ ය. ඒ අනුව ප්‍රේමසිරිගේ සභාපතිත්වය යටතේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පිහිටුවන ලද්දේ ය. 1999 දී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වූයේ ඒ අනුව ය. “මුලදි අපේ සංගමයට මුදල් තිබුණෙ නැහැල සම්මන්ත්‍රණ ශාලාවට ගෙවන්න තරම්. ඒ නිසා පෞද්ගලිකව අපි අතින් ගෙවලා පටන් ගත්තෙ. දැන් ප්‍රශ්නයක් නැහැ. ඒක ජාතික මහෝත්සවයක් වෙලා ඉවරයි. මෙතෙක් කලක් දවස් 9කට සීමා වූ මේ උත්සවය මේ වසරේ සිට දවස් 10ක් පුරා පැවැත්වෙනවා. ඒ සැප්. 21 සිට ඔක්. 1 තෙක්.” ප්‍රේමසිරි කියයි.
හොඳ පොත් ලියන්නට ලේඛකයන් දිරිමත් කරන්නත් හොඳ පොත් කියවන්න පාඨකයන් පොලඹවන්නත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව වසරක් පාසා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලක් පවත්වනවා පමණක් නොව මෙතෙක් ලේඛකයකුට පිරිනැමෙන ලොකුම මුදල් ත්‍යාගයත් එයයි.
වසර හතරක් එක දිගට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති පදවිය දැරූ ප්‍රේමසිරි ඒ වගකීම අනිත් අයට පවරා අද එහි භාණ්ඩාගාරික පදවිය පමණක් හොබවයි. ප්‍රේමසිරි තරම් ලේඛකයන් හා කලාකරුවන් ඇසුරු කරන, කලා කටයුතුවල යෙදෙන ව්‍යවසායකයකු තවත් ඇත්තේ නැති තරම් ය. ඔහු චිත්‍රපට නිෂ්පාදනටත් අත දෙයි. නිෂ්පාදකයන් නොමැති වීමෙන් චිත්‍රපට නිෂ්පාදනයට ද බාධා ඇති විය. ප්‍රතිභාපූර්ණ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරුනට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට මග ඇහිරී යන ලකුණ පහළ වෙමින් පැවතුණේය. ප්‍රේමසිරි ඒ තත්වයට මුහුණ දෙන්නට නොපැකිළ ඉදිරිපත් විය. තමාගේ ඍජු නිෂ්පාදන හැරුණු විට, හොඳ චිත්‍රපටයක් නම් ඒ හැම එකකටම ඔහු දායකත්වය සැපයුවේය. මෙතෙක් සිනමාවට ඔහු කළ මෙහෙය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. ඊට අමතරව වේදිකා නාට්‍යවලට ඔහු අතහිත දෙයි. ටෙලිනාට්‍ය නිෂ්පාදනයට මුදල් යොදවයි. කලාකරුවන්ගේ උත්සවවලට නිරතුරුවම සහභාගි වෙයි. මේ කටයුතුවලින් ඔහු වෙහෙසට පත් නොවන්නේ එයින් ඉමහත් තෘප්තියක් ලබන නිසාය. මේ බොහෝ කටයුතුවලට ඔහුට අවකාශය ලැබෙන්නේ ඔහුගේ ප්‍රිය බිරිඳ කුමුදිනීත්, පුතු චන්දු හපුතන්ත්‍රීත් ලබා දෙන නොමඳ සහය නිසා එහි ගෞරවය ඔවුනට හිමිවිය යුතුය.
එච්.ඩී. ප්‍රේමසිරි මේ ජූනි 24 වැනිදා 80 වැනි වියට පා තැබුවේය. ඒ නිමිති කොට සරසවි පොත්හලේ 33 වැනි ශාඛාව එදින මීගමුවේ දී විවෘත කරන්නට යෙදුණේය. එසේ ම 25 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ‘දශක අටක ප්‍රේමසිරි මතකාවර්ජන’ නමින් විශේෂ උපහාර උළෙලක්ද පැවැත්වේ. එහි දී පියසේන වික්‍රමගේ සම්පාදනය කළ ‘එච්.ඩී. ප්‍රේමසිරි - ව්‍යවසායක සිතුවිලි’ නමින් ග්‍රන්ථයක් ද ‘සරසවි ප්‍රේමසිරි’ නමින් බණ්ඩාර ඇහැලියගොඩ සම්පාදනය කළ උපහාර ග්‍රන්ථයක් ද නිකුත් වීමට නියමිතය.
0 Comments