HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මදුරුවන්ගෙන් බේරෙන්න උන් වඩාත් කැමති පාට හතර මඟ හරින්න!

වැස්සත් එක්ක මදුරුවන් වැඩියෙන් බෝවෙන බව ඔබ දන්නවා. ඉතින් ඔබ මදුරුවන්ගේ කරදරෙන් බේරෙන්න නොයෙක් දෑ කරනවා නේද? ගේ ඇතුළට එන ඔවුන් පලවා හරින්නට පැඟිරි තෙල් ස්ප්‍රීතු ඉසීම, මදුරු දඟර පත්තු කිරීම, ඖෂධීය හඳුන්කූරු දැල්වීම, විවිධ ද්‍රව්‍ය පත්තු කර දුම් ඇල්ලීම ආදිය කරනවා, දොර ජනෙල් ඇතුළු කවුළුවලට දැල් සවි කරනවා, ඒ වගේම ඇ‍‍ඟ‍ෙහි විවිධ ආලේපන වර්ගත් ගානවා. අලුතින් කරපු පර්යේෂණයක් එක්ක විද්‍යාඥයන් අලුත් දෙයක් යෝජනා කරනවා. මදුරුවන් පලවා හරින්න හොඳම ක්‍රමය උන් අකමැති පාට ඇඳුම් ඇඳීම කියලයි, ඔවුන් කියන්නේ. තව විදියකින් කියනවා නම් මදුරුවන් කැමති පාට ඇඳීමෙන් වැළකීමයි. 

මදුරු වර්ග අතුරින් ලේ උරා බොන්නේ ගැහැනු සතුන් විතරයි.

ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තියෙනවා, මදුරුවන් ආකර්ෂණය වන පාට මොනවාද කියලා. ඒවා නම් රතු, රඹ (තැඹිලි), කළු, සයාන් (මොණර නිල) යන ඒවායි. ඔවුන් මග හරින වර්ණ ලෙස ඒ විද්‍යාඥයන් හඳුනා ගෙන ඇත්තේ කොළ, දම්, නිල් සහ සුදු යන පාටයි. 

මේ පර්යේෂණය කරලා තියෙන්නේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය ජෙෆ්රි රයිෆල් (Jeffrey Riffell) ඇතුළු කණ්ඩායමක්. ඔහු කියන්නේ, “මගෙන් බොහෝ දෙනකු අහන පොදු ප්‍රශ්නයක් තමා ‘මං කොහොමද මදුරුවන් දෂ්ට කිරීමෙන් බේරෙන්නෙ?’ කියන එක.” 

“මං මෙච්චර කලක් දුන්නේ මෙහෙම උත්තරයක්. ‘මදුරුවන් ඔබ වෙත ඇදී එන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඔබේ හුස්ම, ඔබේ දාඩිය හා ඔබේ සමේ උෂ්ණත්වය යන ඒවායි. 

“අපේ මේ අලුත් අධ්‍යයනයෙන් තවත් කරුණක් හෙළිදරවු වුණා. ඒ තමා රතු පාට. ඒක ඔ‍‍බේ ඇඳුම්වල විතරක් නෙවෙයි, ඔබ හැමදෙනෙකුගේ ම සමෙහිත් තියෙනවා. ඔබේ සමේ පාට මොකක් වුනත් ඒ හැම කෙනෙකුගේම සමෙන් එක වගේ රතු සංඥා නිකුත් වෙනවා. මේ ආකර්ෂණීය වර්ණය අපේ සමෙන් පෙරා ඉවත් කළ හැකි ක්‍රමයක් ඇතිනම් හෝ ඒ වර්ණ මග හැර වෙනත් වර්ණ යොදා ගැනීමෙන් හෝ මදුරු දෂ්ටනය වළක්වා ගන්න පුලුවන්.” ඔහු වැඩිදුරටත් කියනවා. 

2022 දී තමයි මේ අධ්‍යයනය ප්‍රසිද්ධියට පත් කළේ. එහි දී ඔවුන් විමසා බැලුවේ ඩෙංගු, කහ උණ, චිකන් ගුන්‍යා වැනි මාරාන්තික රෝග බෝකරන ඊඩීස් ඊජිප්ටයි නම් වර්ගයේ ගැහැනු මදුරුවාගේ චර්යාවන් ගැනයි. මදුරු වර්ග අතුරින් ලේ උරා බොන්නේ ගැහැනු සතුන් විතරයි. ඒත් බිත්තර දමන කාලෙටයි. මේ මදුරු වර්ගයට විවිධ රූප, සුවඳ වර්ග ඉදිරිපත් කළා, මේ පර්යේෂණයේදි. 

පර්යේෂකයන් කුඩා පරීක්ෂණ කුටීර තුළ රැඳ වූ මදුරුවන්ට විවිධ සුවඳ වර්ග, විවිධ රූරටා, විවිධ වර්ණ තිත් සමග මිනිස් අත් ද ඉදිරිපත් කළා. උත්තේජනය කරන කිසි සුවඳක් නැතත් මදුරුවන් විශාල වශයෙන් ඒ කුටීරයේ අඩියේ වූ තිතක් මඟ හැර ගියා. ඒ තිතෙහි වර්ණය ගැනවත් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒත් කාබන්ඩයොක්සයිඩ් වායුව බිඳක් ඒ කුටීරය තුළට මුසු කළ වහාම මදුරුවන් වහා වහා රතු, තැඹිලි, කළු හෝ සයන් (cyan) පාට තිත් දෙසට පියාඹා ගියා. ඒත් කොළ, නිල් හා දම් පැහැති තිත් කරා ඔවුන් ගියේ නැහැ. මිනිසුන් හුස්ම අරගෙන පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. මදුරුවන් මේ මිනිස් හුස්ම හඳුනනවා. 

මේ කබන්ඩයොක්සයිඩ් වායුවේ සුවඳ ආඝ්‍රාණය කරන විට මදුරුවාගේ දෘශ්‍ය වර්ණාවලියේ යම් තරංග ආයාමයක් උගේ ඇස මගින් හඳුනා ගන්නවා. ඒක හරියට මිනිස් නැහැයට දැනෙන සුවඳින් යමක් හඳුනා ගන්නවා වගෙයි. 

‘හිතන්න, ඔබ කුඩා පාරක් දිගේ ඇවිද ගෙන යද්දී පාන් පුළුස්සන සුවඳක් හා කුරුඳු සුවඳක් දැනෙනවා කියලා. සමහර විට ඒක ආසන්නයේ බේකරියක් තියෙන බවට සලකුණක් වෙන්න ඇති. ඔබ හිස ඔසවා විපරම් කර බලාවි බේකරිය ඇත්තේ කොහේ ද කියා. අප මෙහිදී ඉගෙන ගන්න උත්සාහ කළා මදුරුවන් සොයා යන මූලික රූප මොනවාද කියා. අපි බේකරිය සොයා ගන්නවා වගේ. 

‘බොහෝ මිනිසුන්ට ‘සැබෑ වර්ණ’ පෙනෙනවා. අපට වර්ණ හඳුනා ගන්න එකිනෙකට වෙනස් ආලෝකයේ තරංග ආයාමයන් තියෙනවා. නිදසුනක් වශයෙන් අපට රතු පාට පෙනෙන්නේ නැනෝමීටර 650ක තරංග ආයාමයන් මගිනුයි. නිල් පාට පෙනෙන්නේ 450ක තරංග ආයාමයන් මගිනුයි.’ 

වැසි කාලයත් සමඟ මදුරු ගහණය වැඩි වෙන්න පටන් ගන්නවා. වතුර රැ‍ඳ‍ෙන හැම තැනක මදුරුවන් බිත්තර දමනවා. නාගරීකකරණයත්, ගොඩනැඟිලි ඉදිකිරීමත් නිසා මේ මදුරු ව්‍යාප්තිය විශාල ලෙස සිදු වෙනවා. 

ඇමෙරිකානු විද්‍යාඥයන් කියන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න අලුත්ම ක්‍රමය ඔවුන් වඩාත් ප්‍රියකරන පාට වර්ග, ඒ කියන්නේ රතු, තැඹිලි, කළු හෝ සයන් (cyan) හෙවත් මොනර නිල් පාට ඇති ඇඳුම් ඇඳීම අත්හැරීමයි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments