2022 දිනක නවසීලන්තයට යන අරමුණු ඇතිව සිංගප්පූරු ගුවන්තොටුපොළට ආ මට එහි පැය කීපයක් රැඳී සිටීමට සිදු විය. ඒ අවස්ථාවේ ගුවන්තොටුපොළේ කවුන්ටර හිස්ව පැවතියේ ය. එහෙත් හදිසියේ ම ඈත කවුන්ටර කොනක පුද්ගල ඡායාවක් මතුවනු පෙනුනි. ඔහු කවුන්ටරයෙන් යමක් විමසුවේ ය. ඉන් පිටතට ආ තරුණයෙක් අතට ලියවිලි කීපයක් දුන්නේය. ඒවාත් සමඟ තරුණයා අතුරුදහන් වූ අතර ඔහු යළිත් එහි ඉදිරියේ වූ පුටුවකට බර විය. ඒ අවසරයෙන් මම ඔහු සොයා ගියෙමි. මගේ අනුමානය හරි බව මට ඒ අසලට යද්දීම පසක් විය. ඒ අන් කිසිවකු නොව ආචාර්ය ඒ.ටී. ආරියරත්න ය. මුළු ලොව ම හඳුනන සර්වෝදය නිර්මාතෘවරයාය.
“ඔබතුමා සමඟ මේ වගේ පරිසරයකදි කතා කරන්න ලැබීම වාසනාවක්.” දැන හැඳිනගැනීම්වලින් පසුව මම ඔහුට කීවෙමි.
“ඇයි එහෙම කිව්වෙ?”
“එහෙම කිව්වෙ එදා, ඔබතුමා මහජන සේවයට එක්වන කාලෙ දී, මෙහෙ සිංගප්පූරුවෙ නායකයො කිව්වේ එරටත් කවදා හරි ලංකාව වගේ රටක් කරනවා කියලයි. ඒත් අද අපේ නායකයන් කියන්නෙ ලංකාවත් ඉදිරියේ දී සිංගප්පූරුවක් කරනවා කියලයි. මට හිතෙනව එදා ඔබතුමා ජනතා සේවය කරන්න දේශපාලනය තෝරා ගත්තා නම් අද අපි සිංගප්පූරුවටත් ඉදිරියෙන් ඉන්න තිබුණා නේද කියලා”
“මටත් ඒ කාලේ වැඩ කරන්න නම් දේශපාලනයට එකතු වෙන්න ඕනෑ කියලා හිතුනා. ඒත් රටේ මිනිසුන්ගෙ තත්වෙ බලන්න රටපුරා යද්දි මගේ ඒ අදහස වෙනස් වුණා. රටපුරා හැම අස්සක් මුල්ලක් නෑර ම ඇවිද්දා. ඒ මිනිස්සු විඳින දුක් කන්දරාව දක්කා. ජනතාවගේ බලය අරන් ඒ පිහිටෙන් නගරවලට වෙලා ඉන්න සැප විඳින දේශපාලනඥයන් ගැන පිළිකුලක් ඇති වුණා. ඉතින් දේශපාලනයට ආවොත් මට රටේ දිළිඳුකම පිටුදැකීමේ සටනට අමතරව ඒ අය යහමගට ගේන්න වෙනම සටනක් කරන්න වෙනවා. ඒ නිසා මම මගේ බලය, ශක්තිය වැඩි කරගෙන මම මගේ මෙහෙවර තනිවම ඉටු කරනවා කියලා අධිෂ්ඨාන කර ගත්තා. මම තනිවුණේ නෑ. අපේ රටෙ බොහෝ දෙනෙක් මගේ කටයුතුවලට උදවු කළා. ඒ වගේ ම මුළු ලෝකයමත් මට උදවු කළා. අද මට ඒ ගැන සතුටුයි.”
“ඇයි ඒක කරන්න අපේ දේශපාලනඥයන්ට බැරි වුණේ?” මගේ පැනය විය.
“බැරි වුණේ මිනිසුන්ට අවංකව සමාජ සේවය කරන්න අපේ රටේ දේශපාලනඥයන්ට, විශේෂයෙන් මහජන නියෝජිතයන්ට, හැකියාවක් නොවූ නිසයි. ඊට හේතුව ඔවුන්ට යටි අරමුණු තියෙන නිසයි; වෙනස් ප්‍රමුඛතා තියෙන නිසයි. නියම සමාජ සේවකයා සතර අගතියෙන් තොර විය යුතුයි. සමාජ සේවය නියමාකාරයට කරන්න නම් එය සමාජ සේවකයකු තුළ තිබිය යුතු අනිවාර්ය අංගයක්. මේ ධම්මපදයේ එන වටිනා ගාථාවකින් ඒක මෙහෙම විස්තර කෙරෙනවා.
නිහීයතී තස්ස යසො - කාලපක්ඛෙව චන්දිමා”
යමෙක් ඡන්දය නිසා ද ද්වේෂය නිසා ද භය නිසා ද මෝහය නිසා ද යුක්තිය ඉක්මවා ක්‍රියා කරන්නේ ද ඔහුගේ යසස කාල පක්ෂයේ චන්ද්‍රයා පිරිහෙන්නාක් මෙන් පිරිහෙන්නේ ය යනු එහි අරුතයි.
මොනවද මේ ඡන්දය, දෝෂය, භය හා මෝහය යන සතර අගතිය කියන්නේ?
ඡන්දාගතිය කියන්නේ යම් කිසිවකුට ඇති ඇල්ම නිසා යුක්තිය ඉක්මවා ඔහුට වාසි වන අයුරින්, අනෙකාට අවාසි වන අයුරින්, කටයුතු කිරීමයි.
දෝසාගතිය යනු ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසි වන අයුරින් යුක්තිය ඉක්මවා කටයුතු කිරීමයි.
භයාගතිය යනු යම් කිසිවකුට ඇති බිය නිසා ඔහුට වාසි වන අයුරින් යුක්තිය ඉක්මවා කටයුතු කිරීමයි.
මෝහාගතිය යනු යුක්තිය හා අයුක්තිය විසඳා ගැනීමට නුවණ මඳකම නිසා යුක්තිය ඉක්මවා කටයුතු කිරීමයි.
බුදුහාමුදුරුවො ඔය බණ කිව්වෙ දේශපාලනඥයින්ට ම නොමෙයි. පොදු මනුෂ්‍යයාට. හොඳ මිනිහෙක් වෙන්න නං සතර අගතියෙන් තොර වෙන්න ඕනෑ කියන එකයි. අපි වගේ සමාජ සේවකයන්ට විතරක් නෙවෙයි, ජන නායකයන්ට, ප්‍රජා නායකයන්ට, විනිසුරුවන්ට, සමාජවාදීන්ට, ප්‍රජාතන්ත්‍රවාදීන්ට, මේ හැම කෙනකුට ම අදාළ දෙයක් සතර අගතියෙන් තොර වීම. ඒකයි මම සර්වෝදය තුළින් සතර අගතියෙන් තොර සමාජ සේවකයන් බිහි කරන්න උත්සාහ කළේ.” ආරියරත්න මහතා ඒ කතාව අවසන් කරත්ම කලින් ආ තරුණයා ලියකියවිලි ටික රැගෙන ආවේ ය. ඔහු පිටත්වීමට වේලාව හරි බව කීමෙන් මට ඔහුගෙන් සමුගැනීමට සිදු විය.
සර්වෝදය නමින් මිනිසා නංවා ලන සංකල්පය මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවාදී ව්‍යාපාරයේ එක් අංගයකි. නාලන්දා විද්‍යාලයීය සමාජ සේවා සංගමය නමින් 1958 දී ආරියරත්නයන් ආරම්භ කළ ශ්‍රමදාන ව්‍යාපාරයට පසුව සර්වෝදය නම යොදා ගනු ලැබීය. දිවයිනේ ප්‍රමුඛතම ස්වේච්ඡා සංවිධානය ලෙස එය පසුගිය වසර 65 තිස්සේ කළ සමාජ මෙහෙවර අතිමහත්ය. කුලබේද, ජාතිබේද, ආගම්බේද, භාෂාබේද, ලිංගබේද, පංතිබේද හා දිළිඳුකම පිටුදැකීමෙන් පටන්ගෙන ආර්ථික හා සමාජ තත්වයන් නොසලකා, දුප්පත් පොහොසත් සියලු ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අවශ්‍ය විවිධ වැඩසටහන් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරන දැවැන්ත සමාජ සේවා ආයතනයක් බවට පත්වී ඇති මෙමගින් දැන් කාලීන අවශ්‍යතා අනුව සේවා සැපයීම පිණිස ඊට අනුබද්ධව ස්වාධීන ආයතන රැසක් පිහිටුවා තිබේ. ඒවායේ සංවර්ධන ඉලක්ක ලෙස, සංවර්ධන මුල්‍ය කටයුතු, සමාජ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය, ICT සවිබල ගැන්වීම, උසස් අධ්‍යාපනය, යොවුන් හා කාන්තාවන් සවිබල ගැන්වීම හා ග්‍රාමීය සංවර්ධනය ආදිය දැක්විය හැකිය. ආරියරත්නයන් විසින් සැලසුම් කොට ස්ථාපිත කර ඇති මේ ආයතන, අද එතුමා නොමැති වුවද ශ්‍රී ලංකාව පුරා ඊට අයත් සේවාවන් චිරාත් කාලයක් ඉටු කරනු නොඅනුමාන ය.
අහංගමගේ ටියුඩර් ආරියරත්නගේ උපත සිදු වූයේ යටත් විජිත යුගයේ දී, එනම් 1931 නොවැම්බර් 5 වැනි දා ගාල්ලේ උණවටුනේ දීය. ගාල්ලේ බොනවිස්ටා විදුහලෙන්, මැද්දකන්ද විදුහලෙන් හා මහින්ද විදුහලෙන් අධ්‍යාපනය ලත් ඔහු ගුරු පුහුණුවෙන් පසු කොළඹ නාලන්දා විදුහලේ ආචාර්යවරයකු වශයෙන් බැඳුණේ ය. ඔහු සිය නව සංකල්පය ක්‍රියාවට නැංවූයේ නාලන්දාවේ සේවය කරමින් සිටිය දීය. 1972 වන තෙක් ඔහු නාලන්දා විද්‍යාලයේ සේවය කළේය. ඒ වසරේම ඔහු විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා උපාධිය ලබා ගත්තේය. 2024 අප්‍රේල් 16 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඔහු 93 හැවි - රිදි වියේ පසු විය. ගුරුමාතාවක වූ ඔහුගේ මව ඔහුට තැබූ නම ආරියරත්නය. ‘ආරිය’ යනු බුදුදහමට අනුව අරුත උතුම් මිනිසා යන්නයි. ඒ අනුව ඔහුගේ නමේ අරුත ‘උතුම් මිනිස් රත්නය’ යන්නයි.
- පර්සි ජයමාන්න
ආරියරත්නගෙන් බිහි වූ සාහිත්‍යරත්නය
ඒ. ටී. ආරියරත්න පිළිබඳ පොත් ගණනාවක් ම ලියා තිබේ. ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා 1991 දී ලියූ ‘අලුත් පාර’ නම් කෘතිය ආරියරත්න මහතාගේ ළමා කාලය ගැන කියැවෙන්නකි. ප්‍රෙමිල් රත්නායක ඉංග්‍රීසියෙන් ලියූ අපොස්ට්ල් ඔෆ් පීස් The Apostle of Peace (1997) යනු ආරියරත්නයන්ගේ චරිත කතාවයි. ගුණදාස ලියනගේ ලියූ ‘දෙල්ගහ යට ගෙදර විප්ලවය’ (1978) ඔහුගේ ජීවිතකතාව සිත් ගන්නා අයුරින් කළ කෘතියකි. ආරියරත්න මහතාගේ 50 වන ජන්මදිනය නිමිත්තෙන් පළ වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සම්පාදනය කළ ‘අංජලී ප්‍රණාම’ යනු සුවිශේෂ කෘතියකි. ඒ සමග පළ වූ මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ‘අභිස්තව සංග්‍රහය’ද අපට අමතක කළ නොහේ. ඒ හැරෙන්නට ඔහුගේ මේ මහ මෙහෙය ගැන ලෝක ප්‍රකට ‘රීඩර්ස් චයිජෙස්ට්’ සඟරාව ඇතුළු විවිධ භාෂාවලින් ලොවපුරා පුවත්පත්වල පළ වූ ලිපි දහස් ගණනකි. සිංහල පුවත්පත්වල වූ පළ වූ ලිපි තැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඒවා අතරින් උපුටා ගත් කොටස් කීපයක් මෙසේ පළ වෙයි.
මළමිනියකට පණ දෙයි!
මීට වසක දසක අටකට පෙර වෙසක් පොහෝ දිනයක උණවටුනේ මහ පාර අයිනේ ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපණය කෙරෙන අපූරු සජීවී වෙසක් තොරණක් කාටත් දැක ගත හැකි විය. එය චිත්‍රාකාරයෙන් නොව සජීවී මිනිස් චරිත යොදා කළ එකකි. උපතේ සිට මරණය දක්වා අවස්ථා හතක් රංගනයෙන් නිරූපණය කිරීමට ළමයින් යොදා ගෙන තිබුණේය. එහි උපතේ සිට අවස්ථා හයක් සඳහා ශිල්පීන් සොයා ගත හැකිවුවත් මළ මිනියට පෙනී සිටින්නට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අන්තිමේ දී එය සංවිධානය කළ ළමයාට ම එය නිරූපණය කරන්නට සිදුවිය. ඔහු තමාට සහය දුන් අනික් ළමයින්ට එක් කොන්දේසියක් ඉදිරිපත් කළේය. ඒ කැස්සක් කිවිසුමක් යන්නට ආවොත් තමා මහපටැඟිල්ල මඳක් සොලවන බවත් එසේ කළ විට වහාම තිරය වසා දමන ලෙසත් ය.
ඉන්පසු තමාව අඳුනා ගැනීමට නොහැකි වන සේ මුහුණ කියුටිකියුරා පුයර උලා සුදු කරන ලෙස අත් උදවු දුන් අයකුට කීවේ ය.
වෙලාව ආපසු වෙසක් සිරි බලන්නට පිරිස පෙළ ගැසුණහ. මේ අමුතු බලන්නට පිරිස විශාල විය. ඒ අතර මිනිය ලෙස පෙනී සිටි දරුවාගේ මව වූ ඉස්කෝල හාමිනේත් ආවාය. මිනිය ලෙස රඟපෑ දරුවාගේ මව ඒ තම පුතා බව හඳුනා නොගත්තා ය. ඒත් පුතාගේ වයසේ ළමයකු එසේ වෙස් ගන්නා තිබෙනු දැක ශෝකයට පත් ව කම්මුලට අත තියා ගෙන මෙසේ කීවා ය:
“අනේ අනිච්චං අප්පච්චියේ කාගෙ වුනත් අම්ම කෙනෙක්ගෙ දරුවෙක් නේ. මේ මුස්පේන්තු වැඩේට දාලා තියෙන්නෙ.” අම්මාගේ මේ කතාව අසා මළමිනිය ලෙස රඟපෑ දරුවාට හිනා යන්නට ආවේ ය. හිනා යන්නට ආ නිසා දරුවා මහපැටැඟිල්ල සොලවා සිය සංඥාව කළේය. තිරය වැහෙන්න ප්‍රමාදය. අම්මා ද මළ මිනියට තවත් කිට්ටු වී විමසිල්ලෙන් බැලුවා ය.
අම්මා තමා හඳුනාගත් බව දැනගත් මළමිනිය, “ඒයි යකෝ තිරේ, තිරේ වහපං” යනුවෙන් කෑගසනු අසා නරඹන්නන්ට පමණක් නොව අම්මා ද සිනාසයුරේ ගිලෙන්නට විය.
(‘සහජීවනයේ මාවත තැනූ විසල් හදවත’ - මහින්ද රණවීර., ඉරිදා ලංකාදීප - 21.04.2024)
ආරියරත්නට මරදානේ චොප්පෙ මුණ ගැහුණු දා
ආරියරත්න මරන්නට ‘මරදානේ චොප්පෙ’ට දුන් කතාව නොලියුවොත් අඩුපාඩුවකි. නාලන්දේ ශිෂ්‍ය වර්ජනයක් තිබූ සමයක මෙම කොන්තරාත්තුව චොප්පෙට පවරා තිබුණි. මේ ආරංචිය ගෙනා ශිෂ්‍යයා සමඟ ‘ආරි’ චොප්පෙ සොයා ගිය ගමන ද අපූරු එකකි. චොප්පෙ සොයා යන ගමනට මුලින් ම එක් වී ඇත්තේ පසු කලෙක නාලන්ද විදුහලේ විදුහල්පති වූ ධර්ම ගුණසිංහ ය. ඔහු සිරි ගුණසිංහගේ මල්ලී ය. ඒ ගමන ගියේ ඔහුගේ වාහනයෙනි. ඔහු ආරි සමග එක් වුණේ එහි අරමුණ හරි හැටි නොදැනය. කාරණය දැන ගත් විට ඔහු තුළ මහත් චකිතයක් ඇති විය.
ඒ පැමිණ සිටින්නේ ආරියරත්න බව චොප්පෙ දැන සිටියේ ද නැත.
“සර්ල සැක හිතන්න එපා! හෙට උදේට ආරියරත්නට වැඩේ දෙන්න ඔක්කොම සෙට් කරල ඉවරයි.” චොප්පෙ තම තුවක්කු කඩු කිරිච්චි කාමරය පෙන්වීය. “පේනව නේද මගේ හමුදාව. මත්පැන් බොමින් ඒ ගැන ඇද බාන අයුරුද ආරියරත්නටත් ගුණසිංහටත් දැක ගත හැකි විය.
මදාවි පිරිස දුටු ගුණසිංහට කලන්තයක් හැදී ඉක්මනින්ම පුටුවක් මත වාඩි කරවන්නට සිදු විය. චොප්පේ ගංජා සුරුට්ටුවක් උරමින් සිටියේය. ආරියරත්න තරමක් උස් හඬින් චොප්පේ අමතන්නට විය.
“චොප්පේ අයියේ, ඔය වැඩේට ඔච්චර හමුදාවක් ඕනෙ නෑ. නාලන්දෙ කියන ලොකු ම බෞද්ධ ඉස්කෝලෙ ආරියරත්න වගේ කාලකණ්ණි හිඟන්නෙක්ගෙ ලේවලින් අපිරිසිදු කරන එක වැරදියි. ඔය ආරියරත්න කියන භයානක මිනිහා මමයි. දැන් මෙතෙන්දි මාව ඉවරයක් කරලා දාන්න.”
උරමින් සිටි ගංජා සුරුට්ටුව විසි කළ චොප්පේ ආරියරත්න දෙස පුදුමයෙන් බැලීය.
“මළ හත්ඉලව්වයි! මට කොන්තරාත් එක දුන්නෙ ආරියරත්න කියන එකා මරුමුස්කාරයෙක් කියලා. ඒ වුණාට සර් නිකං පන්සලේ ඇබිත්තයෙක් වගේ නෙ. සර් මං මිනිහෙක් මැරුවත් කරන්නේ එිතට එකඟවයි කරන්නේ. සර්ලා වගේ ගුරුවරු හම්බ නොවිච්ච නිසයි, අද අපි මේ වගේ කාලකණ්ණි වැඩ කරන්නේ.”
ටික වේලාවකින් නාලන්දාවේ ශිෂ්‍යයකු ඇවිත් චොප්පෙට ලියුම් කවරයක් දික්කළේය. චොප්පෙ එහි වූ සල්ලි කොළ විසිවෙන්න පා පහරක් දුන්නේ ය. පැන දුවන ශිෂ්‍යයාට චොප්පේ පහර දෙන විට ආරි ඊට එරෙහි විය.
“සර් කියනවා ඌට යන්න දෙන්න කියලා. සර්ට බෝම්බ ගහන වැඩේ බැලන්ස් එක මේකා මේ ගෙනාවෙ.”
ටික වෙලාවකින් ධර්ම ගුණසිංහගේ රථයෙන් ම කීප පොළකට ම ගිය චොප්පෙ ආරිරත්නට බෝම්බ ගහන ගේම කැන්සල් බවට දන්වන ලදී.
(‘සහජීවනයේ මාවත තැනූ විසල් හදවත’ - මහින්ද රණවීර., ඉරිදා ලංකාදීප - 21.04.2024)
සැඩොල් ගමක පැවැත්වූ සර්වෝදයේ මුල්ම කඳවුර
සර්වෝදයේ මුල්ම කඳවුර පැවැත්වූයේ 1958 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කනතොලුව ගමෙහිය. දැඩි ලෙස කුලවාදයෙන් පීඩාවට පත් වූ ගමක් විය. මේ කඳවුර සඳහා නාලන්දයේ සිසුන් 40ක් හා ආචාර්යවරුන් 12ක් ඔහු සමග එක්ව සිටියහ. ඒ පිරිසට අමතරව ආරිගේ ආරාධනයෙන් කොළඹ නගරයෙන් පමණ නොව පිටපළාත්හි පාසල්වලින් ද පිරිසක් සහභාගි වූහ. මහනුවර ධර්මරාජයේ පිරිසක් ද ඒ අතර විය. විශ්ව විද්‍යාල සිසුන් මෙන් ම රජයේ දෙපාර්තමේන්තු හා සමාගම්වලින් ද පිරිස් ඒ අතර සිටියහ. පුවත්පත් මගින් දැක අනාරාධිතව එහි පැමිණි පිරිස් ද විය. එවැන්නක් මෙරට සංවිධානය වූ ප්‍රථම වතාව එය විය. මාසයක් පුරා පැවති ඒ ශ්‍රමදාන කඳවුරට රටපුරා පිරිස් තමන්ට හැකි අයුරින් වරින්වර පැමිණ දායකත්වය දුන්හ. ඒ ගමේ ඇති සියලු අඩුපාඩු සකසා දීම ඔවුන්ගේ අරමුණ විය.
ගමට යන්නට පාරක් කැපීම, ගමේ පාසලට අවශ්‍ය ඩෙස් බංකු තැනීම, ළිං, වැසිකිළිවළවල් කැපීම, පූජනීය ස්ථානය, ක්‍රීඩා පිටිය පමණක් නොව ගමේ නිවාස පිළිසකර කර දීම, පාසල් ළමුනට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ලබා දීම, ජීවනෝපායක් ලෙස වේවැල් කර්මාන්තය ඇරඹීමට කටයුතු යෙදීම ආදිය එහි ඉටු වූ සේවාවන් අතරට අයත් විය.
1958 දී රජයේ චිත්‍රපට අංශයෙන් මේ කඳවුරේ සිදුවීම් කැමරාවට නඟා ‘හිරු උදාවෙයි’ යනුවෙන් වාර්තා චිත්‍රපටයක් තනා ප්‍රදර්ශනය කරනු ලැබීය. ඉන් කොටස් කීපයක් 1964 දී තිරගත වූ නීතිඥ ඇස්. ඩී. ඇස්. සෝමරත්නගේ ‘චණ්ඩාලි’ චිත්‍රපටයට ද ඇතුළත් කර තිබිණි. ඒ ගැන ආරි දැනගෙන ඇත්තේ චිත්‍රපටය නැරඹූ පිරිස් ඒ ගැන කීවාට පසුවය.
සමාජයෙන් කොන්වූ සැඩොල් කුලයේ ගැමියන් සමග එක්ව ආරී ඇතුළු පිරිස එක පැදුරේ හිඳගෙන එකට කෑම ගැනීම එගම වැස්සන්ට අදහා ගත නොහැකි දෙයක් විය. මාසයක් තිස්සේ පැවති ශ්‍රමදානයෙන් පසු දවස් දෙකක් ආගමික කටයුතුවලට වෙන් කෙරිණ. එහිදී පැවති දම් දෙසුමෙහිදී ඊට එක් වූ හිමිනමක් කුලභේදය කිසිදු හරයක් නැති සමාජ සම්මතයක් ලෙස පවතින්නක් බවත් එය පිටුදැකිය යුත්තක් යැයි පැවසීය. ආරී සභාව ඇමතුවේ ඉන් අනතුරුවය.
“මේ පින්වතුන්ගේ ගමට හෙට හාමුදුරුනමක් පිණ්ඩපාතෙ වඩිනවා.” ආරී කීවේ එපමණය. පසුදා හාමුදුරුවන් පිඬු පිණිස වඩිනතෙක් ඒ ජනතාව තම මිදුලු අතුගා සුදුවැලි අතුරා ඒ මත පාවාඩ දමා බලා සිටියේ ඉමහත් සොම්නසින් යුතුව යැයි ආරී ඒ අවස්ථාව සිහිපත් කරමින් පැවසීය.
සර්වෝදයේ මේ පළමු කඳවුර බලන්නට ආරම්භක උළෙලට එන ලෙස එවකට අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට ආරාධනය කළත් ඒ වෙනුවට ආවේ සිරිමාවෝ මැතිනියයි. ඇය පැමිණ සිටියේ අගමැතිතුමා ගේ සුබපැතුමක් ද සමගය.
“සෙසු ජනතාවන් විසින් නොසලකා හැර අවාසනාවකට කැපවී සිටින ජනයා වෙසෙන ගමක් තෝරා, ඒ ගම් වැසියන්ගේ උන්නතිය සැලසීමට නාලන්ද සමාජ සේවා අංශය ගත් පියවර ඉතාමත් විශිෂ්ට ජන සේවක ක්‍රියා මාර්ගයක් වශයෙන් සැලකෙනු ඇත. සහෝදර දිළිඳු ජනයා නංවා ලීමට ගත් මේ පියවර සර්වසාර්ථක වේවා යැයි ද එයම දීපව්‍යාප්ත සාමාජ සේවා ව්‍යාපාරයක ආරම්භය වේවා යැයි ද ප්‍රාර්ථනා කරමි. - එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (අගමැති 15.12.1958)
1958 දී බණ්ඩාරනායක අගමැතිතුමාගේ සුබපැතුමෙන් කීවා සේ ආරිගේ ඒ කුළුඳුල් ව්‍යාපාරය අඩසියවසකට පසු සර්වෝදය බවට පත්ව 2011 දී ආරියරත්නයන්ගේ ‘භවතණ්හා’ නම් ස්වයංලිඛිත චරිතාපදානය එළිදැක්වූ දා ඔහුට සුබ පතන්නට ආවේ බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පුත් එවකට පාර්ලිමේන්තුවේ කතානායක අනුර බණ්ඩාරනායකය. අනුර ඒ රැස්වීමේ දී පවසා සිටියේ ආරියරත්න යනු කලාතුරකින් බිහිවන පුද්ගලයකු බවයි.
“1958 දී නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී මේ සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරන කාලයේදිත් බණ්ඩාරනායක පවුල එතුමා සමග හිටියා. මගේ පියා ගාන්ධි චින්තනය අනුගමනය කළ ප්‍රබල අනුග්‍රාහකයෙක්. පියාගේ අභාවයෙන් පසු මහත්මා ගාන්ධිගේ දර්ශනය මෙරට ජීවමාන කළේ ඒ. ටී. ආරියරත්නයි.” අනුර බණ්ඩාරනායක එදා පැවසුවා.
(‘සහජීවනයේ මාවත තැනූ විසල් හදවත’ - මහින්ද රණවීර., ඉරිදා ලංකාදීප - 21.04.2024)
නීතාවන් හමු වූ හැටි
ආරියරත්නයන්ට ඔහුගේ ජීවන සහකාරිය හමු වූ හැටි ද විස්මයජනකය. නීතා හමු වීමට කලින් දින ආරි අපූරු සිහිනයක් දැක ඇත. එදා ඔහු හිටියේ මානෑවේ ශ්‍රමදාන කඳවුරකය. පාන්දර හතරට පමණ ආරි දැක ඇත්තේ වයසක කාන්තාවක් ගැහැනු ළමයි දෙදෙනකු සමග කඳවුර දෙසට එන බවය.
"මං දැක්ක! මං දැක්කා!! ඒ එක ගැහැනු ළමයකුගේ අතින් අල්ලා ගෙන පියාඹගෙන යනවා.”
පසුදින ශ්‍රමදාන කඳවුරු භූමියට ආරි ගියේ නැත. එදින කඳවුර ධර්මසේන සේනානායකට බාර දුන් ඔහු ආරි කීවේ තමන්ට අද ජීවන සහකාරිය තෝරා ගන්නට තිබෙන බවය.
ටික වේලාවක් ගිය විට කඳවුර ළඟ කාන්තාවක් කාර් රථයකින් බැස්සේ ගැහැනු ළමයි දෙදෙනකු ද සමගය. ගැහැනු ළමයි දෙදෙනා නැවත වාහනය වෙත යවන ලදී.
“මිස්ටර් ආරියරත්න මම ඔන්න ඔයාගෙ ව්‍යාපාරෙට දෙන්නෙක් එක්ක ආවා. අක්කයි. නංගියි. නංගි ඔයාගෙ පත්තරේ ගිය ලිපි එකතු කර ගෙන තියෙනවා. මං කිව්වා ආරියරත්න කියන්නේ වයසක මිනිහෙක් කියලා. විහිළුවක් කරන්න හිතාගෙන මං ආයිමත් අක්කවයි, නංගිවයි වාහනේ ගාවට යැව්වෙ.”
ගැහැනු දරුවන් දෙදෙනා නැවත ආවේ තැඹිලි වලු දෙකක් රැගෙනය. මේ ගැන ආරි සටහන් තබා ඇත්තේ මෙසේය; “නංගීගෙන් මං ඇහුවා නම මොකක් ද කියලා. නීතා ධම්මචාරී කියලා එයා කිව්වා. මම ධම්මචාරී, ධම්ම කියලා හිස් ආකාසේ දිහා බලාගෙන මුමුණන්නට වුණා. ඊයේ දැකපු කුරුලු සිහිනය මගේ මතකයට ආවා.” (ඒ. ටී. ආරියරත්නගේ ‘භවතණ්හා’ කෘතියෙනි.)
ආරියරත්නගේත් - නීතාගේත් හමුවීම අවසන් වූයේ පෙර සසරේ පුරුද්දකට දෝ එක වහලක් යටට එක්වීමෙනි. ඒ ගැන ආරි තම කවි සිතුවිලි සටහන් තබා ඇත්තේ මෙසේ ය:
බළ ඇණියක් බැඳුණි කඳවුරු මානාවේ
දහඩිය හෙළන විට සිදු කරමින් සේවේ
නීතා කුමරියන් මගෙ දිවියට ආවේ
(ආරියරත්නයන්ගේ ‘භවතණ්හා’ - ස්වයංලිඛිත චරිතාපදානයෙනි.)
ආදරණීය නීතා
සර්වෝදයට ආදරය කළ ආරි ලොව වැඩියෙන් ම ආදරය කළ චරිතය, බිරිඳ නීතා ය. ආරි පද්‍යයෙන් සටහන් කළේ නීතාගේ ආදරය අහිමි වූ දාක තමන් මෙලොව හැර යන බවය. ඒත් අද නීතා මෙලොව හැර දමා ආරි ජීවිතයට සමු දී ඇත්තේ ඒ පද සංකල්පනාව පමණක් මෙලොවට ඉතිරි කර තබ්මිනි.
ඔබ මාගේය මා ඔබගේය දිවිහිමිනී
ඒ ආදරය ඇති තෙක් ජීවිතය ගෙනී
දම්මි නැති දාට ලොව හැර යමි තිර පෙමිනී”
(ආරියරත්නයන්ගේ ‘භවතණ්හා’ - ස්වයංලිඛිත චරිතාපදානයෙනි.)
කල්මුණේ කඳවුරක දී ආචාර්ය ආරියරත්න ගැමිලියකට වියළි ආහාර
බෙදා දෙයි.
NGO කාරයෙක්ද?, CIA කාරයෙක් ද?
ආරියරත්නයන්ට වැදුණු ලොකුම ලේබලය NGO කාරයා, CIA කාරයා යන්නය. ඒ ගැන ඔහු මෙසේ කියා තිබේ: “මට ලංකාවේ පරණම NGO කාරයා කියනවා. NGO, NGO කියලා අපේ නමත් කනවා. ඒ කාලේ ලංකාවෙ තිබ්බේ අධ්‍යාපන ව්‍යාපාර, නිදහසින් පස්සේ ඒවත් නැති වුණා.
“සර්වෝදය ආරම්භ කළේ ‘ලංකා ජාතික සර්වෝදය සංස්ථාපිත සංගමය’ කියලයි. ඒ කියන්නේ සංස්ථාවක් විදිහට ආරම්භ කළේ. කවදාවත් NGO නොවෙයි. ඔය එක එක්කෙනා පටබඳින නම් නේ. මම බිලියන 100කට වඩා විදේශ විනිමය විධිමත්ව මේ රටට ගෙනත් තියෙනව. ඒ ගැන විගණන වාර්තා මහ බැංකුවට දීලා තියෙනවා. මං පිටරට ගිහින් දේශනයක් කළාම ලක්ෂ දෙකතුනක් හම්බ වෙනවා. ඒවා වැය කළේ මේ රටේ දරුදැරියන්ට.”
(ආරියරත්නයන්ගේ
‘භවතණ්හා’ - ස්වයංලිඛිත චරිතාපදානයෙනි.)
රත්ගමින් එල්ලවුණු අභියෝගය ආපසු හරවයි!
සර්වෝදයට CIA ලේබලය වැදීම ගැන ද කතාවක් ඇත. රත්ගම සර්වෝදය ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම එවකට රත්ගම මන්ත්‍රී ඇම්. ජී. මෙන්ඩිස්ට හිසරදයක් විය. මන්ත්‍රීවරයා රාජ්‍ය සභාවේදී ආරියරත්නවත් සර්වෝදයත් පතුරු ගැසුවේ ය.
පරණ වෑන් එකක් ‘සර්වෝදය’ නමින් පින්තාරු කරගත් ‘ආරී’ රත්ගම ගියේ කමිසයක් සරමක් හැඳගෙන සෙරෙප්පු දෙකක්වත් නැතිවය. ඔහු රත්ගම ගාලු පාර අයිනේ නවත්වාගෙන ඉන්නා අතරේ එතැනින් යන්නට ආ තරුණ පිරිසක් ‘සර්වෝදය’ නම දැක “‘සර්වෝදය’ සී.අයි.ඒ” කියා කෑගසන්නට වූහ.
“ඇයි මල්ලිලා එහෙම කියන්නේ” ආරි තරුණයන් කැඳවා ඇසී ය.
“එහෙම කියන්නේ සර්වෝදය’ සී.අයි.ඒ සල්ලිවලින් කරන එකක් හින්දා” තරුණයෝ උත්තර දුන්නේ කිසි ගරු සරුවක් නැතුවය.
“එහෙම චෝදනා කරන්න එපා! මල්ලිලා දවසක් මොරටුවට ඇවිල්ලා බලන්න” ආරී යෝජනා කළේය.
“ඩ්‍රැයිවර් කෙනෙක් කිව්වම කොහොම පිළිගන්න ඕයි. අපි රත්ගම කියපු ගමන් සර්වෝදය ලොක්කා අපිව වට කරලා ගහයි.” එක් තරුණයෙක් කීය.
තමන් ඩ්‍රැයිවර් කෙනෙකු නොව ඒ.ටී. ආරියරත්න සර්වෝදය නායකයා බව කියූ ආරී තරුණයන් පිරිස මොරටුවට ගෙන්වා ගෙන සතියක් එහි වැඩමුළුවකට සහභාගි කරවීය. ඉන්පසු ඒ පිරිස නැවත රත්ගම ගොස් රත්ගම පළමු සර්වෝදය මධ්‍යස්ථානය පිහිටවූහ.
(ආරියරත්නයන්ගේ ‘භවතණ්හා’ - ස්වයංලිඛිත චරිතාපදානයෙනි.)
ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් ලබා ඇති ලෝක සම්මාන
ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් තරම් ලෝක සම්මානයට, මහජන ගෞරවයට පාත්‍ර වූ තවත් අයෙක් මේ මිහිපිට නැත්තේ ය. ශ්‍රී ලංකා රජයෙන් පිරිනැමෙන ඉහළ ම සම්මානය වූ ශ්‍රී ලංකාභිමාන්‍ය පමණක් නොව ඉන්දීය රජය මගින් පිරිනැමෙන මහත්මා ගාන්ධි සාම සම්මානයෙන් එතුමා පිදුම් ලැබීය. එතුමා පිදුම් නොලද එකම සම්මානය නොබෙල් සාම ත්‍යාගය පමණි. එහෙත් එයට නිර්දේශ විය.
1969 ප්‍රජා නායකත්වය සඳහා වන පිලිපීනයේ රාමොන් මැග්සේසේ (Ramon Magsaysay) සම්මානය.
1982 බෙල්ජියමේ King Baudouin (බෙඩ්වින් රජුගේ) ජාත්‍යන්තර සංවර්ධන ත්‍යාගය.
1986 ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ඇලන් ෂෝන් ෆීන්ස්ටීන් (Alan Shawn Feinstein) World Hunger සම්මානය.
1990 ඩෙන්මාර්කයේ ඕගස් ෆෙරල් (August Forel) ලෝක අමද්‍යප සම්මානය.
1990 ඉන්දියාවේ ජම්නාලාල් බජාජ් (Jamnalal Bajaj) සම්මානය.
1992 ජපානයේ නිවානෝ (Niwano) සාම සම්මානය.
1995 කොරියාවේ රාජ්‍ය සේවය සඳහා වන Ilga අනුස්මරණ සම්මානය.
1996 ඇමෙරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වන හියුබට් හම්ප්‍රි (Hubert Humphrey) සම්මානය’
1996 ඉන්දියා රජයෙන් පිරිනැමෙන මහත්මා ගාන්ධි සාම සම්මානය.
1999 ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියා පදනම පිරිනමන Lifetime Service සම්මානය.
2002 සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන මොරාජි දේශායි (Moraji Desai) සම්මානය.
2003 ජපානයේ සෝකා (Soka) විශ්ව විද්‍යාලයේ ඉහළම ශාස්ත්‍රීය සම්මානය.
2004 ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙට්රොයිට් නගර සභාව පිරිනැමූ Spirit of Detroit සම්මානය.
2004 ඇමෙරිකා එක්සත් ජනපදයේ Interfaith කවුන්සිලයේ ගෝලීය සාම සම්මානය.
2004 ඇමෙරිකා එක්සත් ජනපදයේ Washington Good Works සම්මානය.
2005 ඉන්දියාවේ ගුජරාටි විද්‍යා පීඨයේ මහාචාර්ය රාම්ලාල් පරිඛ් (Ramlal Parikh) ජාත්‍යන්තර සම්මානය.
2005 ඇමෙරිකා එක්සත් ජනපදයේ Porto Rico නගරාධිපතිගේ විශේෂ පිළිගැනීමේ සම්මානය.
2005 ඇමෙරිකා එක්සත් ජනපදයේ Human Society Initiative, Porto Rico මනුෂ්‍යත්වයට ගරු කිරීමේ සම්මානය.
2005 ඇමෙරිකා එක්සත් ජනපදයේ Detroit, Michigan ගෝලීය සාම සම්මානය.
2006 කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුෂිල් කුමාර් ජාත්‍යන්තර සාම සම්මානය.
2006 දකුණු අප්‍රිකාව විසින් සත්‍යග්‍රහයේ 100 වසර සමැරුම සඳහා වූ මහත්මා ගාන්ධි සාම සම්මානය.
2007 ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකානු බෙදා හැරීමේ කවුන්සිලය පිරිනැමූ විශේෂ සහෝදරත්ව සම්මානය.
2007 ඇමෙරිකා එක්සත් ජනපදයේ James Madison විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද තිරසාර සංවර්ධන දර්ශනය සහ වටිනාකම් සම්මානය.
2007 ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ජනපදයේ ආණ්ඩුකාරතුමාගේ ගෞරව සම්මානය.
2011 අහිංසා සංකල්පය ව්‍යාප්ත කිරීම සඳහා වන ඉන්දියාවේ බාසාව ශ්‍රී සම්මානය.
2012 ජපානයේ ජපාන බෞද්ධ සංගමය පිරිනැමූ BukkyoDendo Kyokai සම්මානය.
2012 ඉන්දියාවේ ශාන්ති ආශ්‍රමය පිරිනැමූ සාමයේ ආරක්ෂකයා සම්මානය.
1 Comments
එවන් උතුමකුගේ අවසන් කටයුතු චාම්ව අප්‍රසිද්ධියේ සිඩුවූ අතර තෙවරප්පෙරුම මැතිතුමාගේ මරණය සියලු මාධ්‍ය සෝශල්ම්ඩීඩියා ආදියට සතිගනන් දුක් වෙන මාතෘකාව වී තිබුණි
ReplyDelete