HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එන්න! හමුවන්න! වසර 3400කට පෙර විසූ ලොව පොහොසත්ම මිනිසා!

ලොව මෙතෙක් ජීවත් වූ පොහොසත්ම මිනිසා හමුවන්න! ජගත් විද්‍යාඥයන් තුතන්කාමන්ගේ සීයා වූ තුන්වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ මවන්න සමත්වෙලා තියෙනවා. ‍ඒ මුහුණ අද අප මේ දකින්නේ වසර 3400කට පසුවයි. තුන්වැනි අමෙන්හොටෙප්ගේ අධිරාජයා පුරාණ මිසරයේ රජකම් කළේ මීට වසර 3400කට පෙරය. ඔහුගේ මමියේ ඇති හිස්කබල යොදා ගෙන ඔහුගේ මුහුණේ නියම ස්වරූපය මවන්නට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. 

තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ ස්වරූපය මෙසේ මවා ඇත්තේ 
වසර 3400කට පසුවයි.

පුරාණ මිසරයේ රජකම් කළ අධිරාජයන් හඳුන්වනු ලබන්නේ ‍‍ෆේරෝ (pharaoh) කියායි. පුරාණ මිසරය දියුණුම රාජ්‍යයක් ලෙස පැවති කාලයේ මේ ෆේරෝ වරුන් රජකම් කළ බව පැවසෙනවා. ඔහුගේ පාලන සමයේ දී ජනතාව ඔහු ජීවමාන දෙවියකු ලෙස වන්දනාමාන කළ බව සඳහන් වෙනවා. මේ ව්‍යාපෘතියට සම්බන්ධ එක් පුරාවිද්‍යාඥයකු ඔහු හඳුන්වන්නේ ලොව එතෙක් මෙතෙක් විසූ ධනවත්ම මිනිසකු ලෙසයි. 

ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ මයිකල් හැබිච් (Michael Habicht) කියන්නේ “ඔහුගේ මුහුණේ ස්වරූපය එතෙක් ප්‍රතිමාවල දක්නට ලැබෙන ස්වරූපයට වඩා වෙනස්” බවයි. 

<
බ්‍රසීලියානු ජාතික ග්‍රාෆික චිත්‍රශිල්පී සිසෙරෝ මොරායස් කියන්නේ  මේ ඔහු මැවීමට සහය වූ 
විශිෂ්ටතම ඩිජිටල් රූපය බවයි.

“ඔහුට තියෙන්නේ තැන්පත් සාමකාමී මුහුණක්. ඔහු ජීවත්වන්නට ඇත්තේ ආර්ථික අතින් ඉතා දියුණු සමෘද්ධිමත් යුගයකයි. ඒ නිසා ඔහුගේ යුගයේ ලොව සිටි ‍ධනවත් ම මිනිසා විය හැකියි. දැනට ශේෂව ඇති දේ ප්‍රමාණවත් මදි ඔහුගේ මරණයට හේතුව විශ්ලේෂණය කර කියන්න ” ඔහු පවසයි. 

“1970 ගණන්වල තුන්වැනි අමෙන්හොටෙප් ගැන පර්යේෂණයකින් කියැවුණේ ඔහු ව්‍යායාම්වල නොයෙදුණු, තරබාරු රෝගී මිනිසකු ලෙසයි. බොහෝ දුරට මුඩු හිසක් ඇති ඔහු අවසාන අවුරුදු කීපය තුළ දත් රෝගවලින් පීඩා වින්ද බවයි. 

“මිසර අධිරාජයන් අතර සත්‍ය වශයෙන් ම ශ්‍රේෂ්ඨයකු වුව ද ඔහු මිටි සිරුරක් ඇත්තෙකි. ඔහු උසින් සෙන්ටිමීටර 156කි (අඩි 5.2ක් පමණය). එය දැනට මමී ලෙස සුරැකිව ඇති සියලු අධිරාජයන්ට වඩා අඩු ප්‍රමාණයකි. මෙසේ කුඩා සිරුරක් උරුම වුව ද ඔහු චිත්‍ර හා මූර්තිවල දක්වා ඇත්තේ දැවැන්තයකු ලෙසයි.” ඔහු වැඩිදුරටත් කියයි. 

මේ මුහුණ නිර්මාණය කළ බ්‍රසීලියානු ජාතික ග්‍රාෆික චිත්‍රශිල්පී සිසෙරෝ මොරායස් (Cicero Moraes) ඒ ගැන කියන්නේ මෙහෙමයි: “අපි මමියෙන් ගත්තු දත්ත හා පිළිබිඹුවලින් ඩිජිටල් නිර්මාණයක් කළා. ඒ හැරෙන්නට ජීවමානව සිටින තෝරාගත් පිරිසකගේ දත්තවලින් රජුගේ නහය, කන්, ඇස් හා තොල් සකසන්න අවශ්‍ය ඩිජිටල් රූප නිර්මාණය කර ගත්තා. ඓතිහාසික තොරතුරුවලින් අප දන්නවා, තුන්වැනි අමෙන්හොටෙප් ශක්තිමත් සිරුරක් ඇති බුද්ධිමත් කෙනෙක් කියලා. ඒ නිසා ඉහළ සිරුරු ස්කන්ධ දර්ශකයක් ඇති පුද්ගලයන්ගෙන් ගත් දත්ත තමයි, අපි ප්‍රයෝජනයට ගත්තේ. අපි හිතන විධියට මේ තමයි, තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ පළමුවරට කළ මුහුණ නිර්මාණය. මා සම්බන්ධ වුණු අනෙක් අධිරාජයන්ගේ මුහුණු නිර්මාණයන් අතුරින් මේ තමයි, ඉතාමත් ප්‍රශස්ත හා අංග සම්පූර්ණ නිර්මාණය. මෙහි ඇඳුම් පැලඳුම් පවා අප රූප සටහන් අනුව නිර්මාණය කළා.” 

තවදුරටත් ඔහු කියන්නේ අවසාන ප්‍රතිඵලය ඔවුන් සියලු දෙනා ම මවිතයට පත් කළ බවයි. “මේ අධිරාජයාගේ උඩුකයෙහි මේ තරම් වර්ණවත් බවත් ඇතැයි අප හිතුවේත් නැහැ. ඔහුගේ මුහුණේ ඇති සන්සුන් හැඟීම අතිශයින් රමණීයයි. ඉතිහාසය ප්‍රිය කරන අයට මේක අපෙන් තෑග්ගක්!” ඔහු පවසනවා. 

කයිරෝ නුවර පිහිටුවා ඇති මිසර ශිෂ්ටාචාරය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ මමිය.

මේ මිසර ෆේරෝ ඔහුගේ කාලයේ දෙවියන් ලෙස වැඳුම් පිදුම් ලැබූ අයෙක්. ඔහු එකල ඔවුන් ඇදහූ අමුන් දෙවියන්ගේ පුත්‍රයා ලෙසයි, සලකනු ලැබුවේ. අපේ ‘දේවානම් පිය’ වාගේ ‘අමුන්ට ප්‍රිය’ කියන අරුතෙන් තමයි, අමෙන්හොටෙප් කියා නම් කර ඇත්තේ. ඔහු වයස අවුරුදු 40ත් 50ත් අතර කාලයකදී මිය යන්නට ඇතැයි සැලකේ. 

ආචාර්ය හැබිච් කියන්නේ, “ඒ කාලයේ ලෝකයේ වෙනත් පාලකයන්, රජවරුන්, රත්තරන් ඉල්ලා ඔහුට සංදේශ එවූ බව සඳහන් වෙනවා. ඒවා තුළ අතිශයෝක්තියෙන් කරන වර්ණනා වුනත් ඒවායින් හෙළිවන සත්‍යය වන්නේ ඔහු ඒ සියලු රජවරුනට වඩා ධනවත් බවයි.” කියායි. 

පුරාවිද්‍යාඥයන් කියන්නේ මේ අධිරාජයා ස්ත්‍රීලෝලියකුව සිටි බවයි. ඔහුගේ ඇතුළුනුවර ලෝකයේ විවිධ රටවලින් ගෙන්වා ගත් රුවැත්තියන් පිරී තිබුණු බවයි. “ඔහු කාන්තාවන් එකතු කළේ මුද්දර එකතු කරනවා වාගෙයි” පුරාවිද්‍යාඥයෝ කියනවා. 

තුතන්කාමන් හා ඇමන්හොටෙප් නෑදෑකම් 

ලොව වඩාත් ප්‍රසිද්ධ පුරාණ මිසර ෆේරෝ තමයි, තුතන්කාමන්. ඔබට අප මෙතෙක් කීවේ ඒ තුතන්කාමන්ගේ සීයා ගැනයි. පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇති අනෙක් තොරතුරු මොනවා දැයි අපි බලමු. තරුණ තුතන්කාමන්ගේ පරම්පරාවේ නෑදෑකම් හරිම සංකීර්ණයි; ගුප්තයි; පැටලිලි සහිතයි. 

තුතන්කාමන්ගේ මව වූ ටියේ අගබිසවගේ මමිය

තුතන්කාමන්ගේ පියා තමා අකෙනාතන් (Akhenaten) අධිරාජයා. ඔහුගේ මව ඒ අනුව අපට පැහැදිලි වෙනවා. ඒ තමා තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ අග බිසව වූ ටියේ (Tiye) රැජින. දෙවැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ සොහොනෙන් සොයා ගත් මමියක්, 2010 දී DNA පරීක්ෂණවලට ලක් කිරීමෙන් හෙළිවුණා, ඒ අකෙනාතන් අධිරාජයාගේ මවු රැජින වගේ ම තුතන්කාමන්ගේ ආච්චිගේ බව. එහි තුතන්කාමන්ගේ ආච්චි යැයි සැක කළ තුන්වැනි මමියකුත් තිබුණා. ඒත් එය DNA වලින් ප්‍රතික්ෂේප වුණා. පසුව ඒ අකෙනාතන්ගේ සොහොයුරිය යැයි තහවුරු වුණා. 

2013 දී තවත් විශ්ලේෂණයකින් කියැවුණේ නෙෆර්ටිටි (Nefertiti) අකෙනාතන්ගේ අගබිසව මෙන් ම තුතන්කාමන්ගේ මව වූ බවයි. කශේරුකාවේ කෙසේවෙතත්, ප්‍රංශ පුරාවිද්‍යාඥයකු වූ මාක් ගැබෝල්ඩි (Marc Gabolde) කියා සිටියේ නෙෆර්ටිටි යනු අකෙනාතන්ගේ සොහොයුරියක බවයි. 

මේ එකම පවුලේ සහෝදරයන් අතර විවාහ වීමේ ව්‍යභිචාරයට අනුගත වීම නිසා දරුවන් තුළ විවිධ විකෘතා ඇති වන බවට අද විද්‍යාඥයන් දරණ මතය එදා හොඳින් පෙන්නුම් කෙරුණා. ඒ අනුවයි, තුතන්කාමන්ගේ විකෘතතා ඇති වූයේ. ඔහුට පාදයක විකෘතියක් ද, විදලිත තල්ලක් (cleft palate) ද කශේරුකාවේ පුංචි කුදයකුත් තිබුණා. 

එහෙත් මේවා ඇතැම් මිසරවේදීන් (Egyptologists) ප්‍රතික්‍ෂේප කරනවා. ඒ අතර ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ සුප්‍රීම් කවුන්සලයේ ප්‍රධානියා වූ සාහි හවාස් (Zahi Hawass) ද සිටිනවා. ඔහු ඇතුළු පුරාවිද්‍යාඥයන් කියන්නේ තුතන්කාමන්ගේ මව වගේම අකෙනාතනුත් තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ හා අග බිසව වූ ටියේගේ දරුවකු බවයි. 

හවාස් කියන්නේ නෙෆර්ටිටි තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයාගේ දියණියක යැයි කියන්නට පුරාවිද්‍යාත්මක හෝ පුරාවෘත්තමය සාධක තවමත් හමු වී නැති බවයි. 

කවුද මේ තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයා කියන්නේ? 

තුන්වැනි අමෙන්හොටෙප් අධිරාජයා ඊජිප්තුවේ 18 වැනි රාජාවලියටයි අයත් වන්නේ. රට තුළ ලක්සූර්, මෙම්පිස්, එල්කාබ්, ආමන්ට් යන දේවස්ථාන ඉදිකිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ නමටයි ලියවී ඇත්තේ. තීබස් මාලිගා සංකීර්ණයත් ඔහුගේ ඉදිකරවීමක්. එය 1900 වනතුරු හොඳින් සුරැකිව තිබූ බව සඳහන් වෙනවා. ඔහුගේ රාජ්‍ය සමයේ සිදූවූ දේ පිළිබඳ විස්තාරත්මක වාර්තා ගණනාවක් ඔහු ප්‍රසිද්ධ කර තියෙනවා. 

රාජ්‍ය පාලන කටයුතුවලට ඔහු අග බිසව ටියේ ද විශේෂ දායකත්වයක් දැක්වූ බවයි සඳහන් වන්නේ. ඊජිප්තුවේ රැජිනන් අතරින් මෙතෙක් වැඩිම ප්‍රතිමා සංඛ්‍යාවක් නෙළා ඇත්තේ ඇය වෙනුවෙන්. 

- පර්සි ජයමාන්න

 

 

Post a Comment

1 Comments

  1. හරිම රසවත් ඒ වගේම කුතුහලය දනවන අගනා ලිපියක්!

    ReplyDelete