HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාතික මාතෘ භාෂා දිනයක ඇති වැදගත්කම කුමක් ද?

අන්තර්ජාතික මාතෘ භාෂා දිනය පසුගිය පෙබරවාරි 21 වැනිදාට යෙදී තිබුණා. යුනෙස්කෝව මගින් මේ දිනය නම් කරන ලද්දේ 1999දීයි. බංගලිදේශයේ සරසවි සිසුන් පිරිසක් 1952 දී ඔවුන්ගේ මවුබස වූ ‘බංග්ලා’ භාෂාව පිළිගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කරමින් පෙළපාලියක් ගියා. පොලිසිය ඒ සිසුන්ට වෙඩි තිබ්බා. සිසුන් කීප දෙනකුට ම ඒ අවස්ථාවේ දී මාතෘ භාෂාව වෙනුවෙන් දිවිපුදන්නට සිදු වුණා. ඒ සටන එතැනින් නතර වුණේ නෑ. බංගලි දේශයෙන් ආරම්භ වූ මාතෘ භාෂා උද්ඝෝෂණ අනිත් රටවලටත් පැතිරුණා. මාතෘ භාෂාවක වැදගත්කම පිළිබඳ සංවාද ලොව පුරා ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මගින් ඒ සිසුන් දිවිපිදූ දිනය වූ පෙබරවාරි 21 වැනිදා අන්තර්ජාතික මාතෘ භාෂා දිනය ලෙස නම් කළා. එදා සිට මේ වන තෙක් 24 වසරක් අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සමරා තියෙනවා. 

ශ්‍රී නාත් ගනේවත්තයන් ‘ලංකාදීපයේ වීමංසා’ සංග්‍රහයට ‘චින්තනය, වින්දනය සහ භාෂාව’ යනුවෙන් ලිපියක් ලියමින් මාතෘ භාෂාවෙහි ඇති වැදගත්කම මෙසේ දක්වා තියෙනවා: 

“සංස්කෘතිය නමින් ගැනෙනුයේ භාෂාව, කලාකෘති, සිරිත් විරිත් ඈ සියල්ලෙහි ම එකතුව යි. යට කියන ලද සෙයින් චින්තනය, වින්දනය ඔස්සේ සංස්කෘතිය ගොඩනැගෙනුයේ මවු බස පාදක කොට ගෙනයි. එ මතු නොව, පරපුරකින් පරපුරකට සංස්කෘතිය ගෙන යනුයේ ද මවු බස මය. 

“දරුවකු වැඩෙන තැන් දෙකකි. එකක් සිය නිවෙසයි. එහි වැහැරවෙන්නේ මවු බසයි. අනෙක නම් පාසල යි. එහිදු වැහැරවිය යුත්තේ මවු බස මය. අන් ලෙසකින් කිව හොත් අධ්‍යාපන මාධ්‍යය - විශේෂයෙන් ම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍යය විය යුත්තේ මවු බසයි. ඒ ‘යුනෙස්කෝව’ ද පිළිගත් දරුවන්ගේ හිමිකමෙකි. මවු බසින් තරම් හොඳින් අන් කවර බසෙකින් වත් දරුවකුට ඉගෙනගත නොහැකිය.” 

මේ වැදගත් කම තේරුම් ගත් නිසා විය හැකියි, ලොව පුරා විදේශ රටවල පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයන් මවු බස උගන්වන පාසල් පවත්වා ගෙන යාමට කටයුතු යොදා තියෙන්නේ. නවසීලන්තයේ පැවති එක් සිංහල පාසලක විශේෂ දේශනයක් කරන්න මට අවස්ථාවක් ලැබුණු වේලේ මා ඔවුන්ට අවධාරණය කොට කීයේ දරුවන්ට එසේ සිංහල ඉගැන්වීමෙන් ඒ දරුවන්ගේ සීයලා ආච්චිලාගෙන් ඔවුන්ට ජානවලින් උරුම වූ සැඟවී ඇති දැනුම සහ කුසලතා නිරායාසයෙන් ම මතුකර ගත හැකි බවයි. 

නැෂනල් ජ්‍යොග්‍රෆික් සොසයිටි (National Geographic Society) සඟරාව කළ නවතම අධ්‍යයනයකට අනුව ලෝකයේ 700කට වඩා ඇති භාෂා සංඛ්‍යාවෙන් එක් භාෂාවක් සෑම සති දෙකකට වරක් ම මිය යන බව හෙළි වී තියෙනවා. එය සිදු වන්නේ ඒ මාතෘ භාෂාවේ හිමිකරුවන් එය සක්‍රිය භාවිතය අත්හැර දමා වෙනත් භාෂාවලට යොමුවන නිසයි. ඇතැම් භාෂා, මළ භාෂා බවට පත් වුවත්, වඳ වී යන ගොඩට අයත් වන්නේ නැහැ. බොහෝ දෙනෙක් මළ භාෂාත් වඳ වී යන භාෂාත් එකට පටලවා ගන්නවා. මළ භාෂා සියල්ල වඳ වී යන්නේ නැහැ. ඒවා යම් ප්‍රමාණයකට භාවිතයට ගන්නවා. නැතිනම් අධ්‍යයන කටයුතුවලට හෝ යොදා ගන්නවා. මාතෘ භාෂාවක් පවතින්නේ කිසියම් සංස්කෘතියක් ඇතුළේයි. ඒ සංස්කෘතිය අතහැර වෙන ප්‍රබල සංස්කෘතියකට අයත් භාෂාවක් ජීවිතයට එක් කර ගෙන තම මවු බස තම සංවාදයෙන්, එනම් භාවිතයෙන්, ඈත් කළ විට ඒ මාතෘ භාෂාව මළ භාෂාවක් බවට පත් වෙනවා. පරම්පරා කීපයකින් එය වඳ වී යන්නටත් ඉඩ තියෙනවා. 

 භාෂා විශාරදයන් මාතෘ භාෂා වඳ වී යාමට හේතු මෙසේ දක්වා තියෙනවා: 

• මාතෘ භාෂාවක් අවදානම් තත්වයට පත්වමණ ඇතැයි සැලකෙන්නේ දරුවන් ඒ බස ගෙදරදී මාපියන් හෝ නෑදෑයන් සමග කථා කිරීමට පමණක් ‍යොදා ගන්නේ නම්, එය අවදානමට ලක් වූ බසක් ලෙස සැලකෙනවා. 

• මාතෘ භාෂාවක් වඳ වී යාමට පත්වීමට ඉඩ ඇතැයි සැලකෙන්නේ ළමයින් ඒ බස හැදැරීමත්, වෙනත් විෂයයන් ඒ බසින් ඉගෙන ගැනීම අත්හැරීමත්, සමග ය. 

• ඒ වගේ ම මාතෘ භාෂාවක් දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට අනිවාර්යයෙන් ලක් වෙතැයි සැලකෙන්නේ ඒ බස කථා කළ හැකි තරුණ ජනතාව සීයලා ආච්චිලා වී ඇත් ‍නම් ය. 

රටක ඉතිහාසය තුළ කාලයේ ඇවෑමෙන් භාෂාවක් තවත් භාෂාවක් ආක්‍රමණය කළ විට ඒ රටෙහි ජනතාව එතෙක් භාවිත බස අතහැර අනික් බසට අනුගත වීම සිදුවෙනවා. හොඳම උදාහරණය එක්සත් රාජධානියයි. ඒ රාජ්‍යය කෝර්නිෂ් (Cornish) බස අතහැර ඉංග්‍රීසි (English) බසට අනුගත වුණා. එය සිදු වූයේ වසර දශක ගණනාවක් තිස්සේයි. 

ඒ වගේ ම චීනයේ මැන්ඩරීන් (Mandarin) බස, කැන්ටනීස් (Cantonese) බස වෙනුවට සිය ආධිපත්‍යය මහජන චීනය පුරා පතුරුවන්ට පටන් ගත්තා. එත් චීනයට අයත් වාණිජ නගර වන හොංකොං (Hong Kong) හා කොව්ලූන් (Kowloon) තවමත් කැන්ටනීස් බස භාවිත වෙනවා. මේ හැරෙන්නට උප භාෂා ලෙස මාතෘ භාෂා 95ක් චීනයේ තියෙනවා. 

අනිත් සුප්‍රකට මළ භාෂා ලෙස යුරෝපයේ සම්භාව්‍ය ලතින් බස හා දකුණු ආසියාවේ පාලි බස හඳුන්වන්න පුලුවන්. ආගමික කටයුතුවලට මේ භාෂාවල පාඨ භාවිත කළ ද එදිනෙදා ජීවිතයේ ලොව කිසිම රටක් මේ භාෂා භාවිත කරන්නේ නෑ. විද්‍යා වදන් සඳහා ඉංග්‍රීසි භාෂාව සමග ලතින් වචන, ග්‍රීක අක්ෂර, ආදිය පාවිච්චි කරනවා. 

1950 සිට 2010 වන තෙක් කාලය තුළ වඳ වී ගිය භාෂා අතරට මාතෘ භාෂා 230ක් එක් වී තියෙනවා. මෙයින් භාෂා වැඩි හරියක් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ස්වදේශික ගෝත්‍රික ජනයා අතරයි. අද වන විට ලෝකයේ මාතෘ භාෂා අතරින් තුනෙන් එකක් කථා කරන්නේ 1000කටත් අඩු ජනතාවක්. ඊළඟ සියවස වන විට සියයට 50ත් 90ත් අතර භාෂා ගණනක් මළ භාෂා බවට පත් වේයැයි කියැවෙනවා. 

මළ භාෂාවක් ලෙස පැවති හීබෲ භාෂාව 1948 දී ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවූ පසු නැවත පණ ගන්වා ඒ රාජ්‍යයේ නිල භාෂාව ලෙස යොදවන්නට යුදෙව්වන් කටයුතු කළා. 

ලෝකයේ ජනගහනය අතින් ඉහළින් ම සිටින ඉන්දියාව තමයි, භාෂා වැඩිම ගණනක් ඇති රටවල් අතර දෙවන තැනට පත් වී ඇත්තේ. ඒ භාෂා ගණන 720ක්. එහි පළමු වන තැන හිමිකර ගෙන ඇත්තේ පැපුවා නිව්ගිනි රාජ්‍යයයි. එහි ඇති භාෂා ගණන 840ක්. 

අපේ රටේ පාසල්වල විෂය ධාරාව උගන්වන්න ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නයි, දැන් සූදානම් වන්නේ. ඒක හොඳ දෙයක් නොවෙයි. ඉංග්‍රීසි භාෂාව පමණක් නොව වෙනත් ඕනෑම ප්‍රධාන භාෂාවක් ඉගැන්වීම වරදක් නොවෙයි. විෂය ධාරාව උගන්වන්න යන එක සිංහලයේ අවසානය විය හැකියි. ඒත් ඒක දේශපාලනඥයන්ට අවශ්‍ය තරම් ඉක්මනින් සිදුවෙන එකක් නැහැ. මොකද ඉංග්‍රීසි භාෂාව උගන්වන්න හැකියාව ඇති ගුරුවරුන් අපට රටේ නැහැ. දැන් රජය අත්සන් කරන්න යන ගිවිසුම අනුව ඉන්දියාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් එන්න බැරිකමක් නැහැ. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments