HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චීන විද්‍යාඥයන්ගේ ක්ලෝනකරණ හාස්කමක්!

ක්ලෝනකරණය මගින් නිර්මාණය කළ කලලයක් නිරෝගී ගර්භාෂයක තැන්පත් කොට අමුතු විදියකට රීසස් වානරයකු බිහි කරන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිනවා. මේ නවෝත්පාදන තාක්ෂණය මගින් ක්ලෝන වානරයකු බිහි කළ ප්‍රථම වතාව මෙය වන අතර මෙයට කලින් සාමාන්‍ය ක්ලෝනකරණය මගින් රීසස් වානරයන් බිහි කිරීම සිදු කර ඇතත් මේ නව ක්‍රමයෙන් වඩාත් සාර්ථක ලෙස ක්ලෝනකරණය කළ හැකි බවයි, ඔවුන් කියන්නේ. 

රිට්රෝ (ReTro) නම් මේ රීසස් වානරයාගේ දැන් වයස අවුරුදු තුන හමාරක්.

රිට්රෝ (ReTro) නම් මේ වඳුරාගේ දැන් වයස අවුරුදු තුන හමාරක්. “ඌ තවමත් ඉතා හොඳින් සවිමත්ව වැඩෙනවා.” යයි මේ ව්‍යාපෘතිය භාර සම අයිතිකරු වන කියාන් සුං කියනවා. ඔහු මස්තිෂ්ක විද්‍යාවේ හා බුද්ධි තාක්ෂණයේ විශේෂතා පිළිබඳ හැදෑරීම සඳහා චීන විද්‍යා ඇකඩමිය යොදා ගන්නා පර්යේෂණාගාරයේ ප්‍රධාන නියුරෝ විද්‍යාඥවරයායි. 

සංසේචනය වූ බිත්තර සෛලයක න්‍යෂ්ටිය වෙනත් එවන් සතකුගේ දෛහික සෛල අතර ඇති න්‍යෂ්ටික සෛලයක් වෙනුවට ආදේශ කිරීමෙන් මේ නව ක්ලෝනීකරණය සිදු කිරීමට ඔවුන්ට හැකි වුණා. මීට කලින් ඔවුන් සාමාන්‍ය ක්‍රමයට ක්ලෝනීකරණය කළ රීසස් වානරයකු ඉපැද්දුවත් ඌට පැය 12කට වඩා ජීවත් වීමට හැකි වුණේ නැහැ. 

බොහෝ විට ලෝකයේ රසායනාගාර අත්හදා බැලීම්වලට හා පර්යේෂණාගාර කටයුතුවලට මැකාකා මුලාටා (Macaca mulata) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන රීසස් වානරයන් (rhesus macaques) යොදා ගන්නේ ඔවුන්ගේ ජාන මිනිසාගේ ජානවලට වඩාත් සමාන වන බැවිණි. “මේ සතුන්ගේ ක්ලෝනයන් බිහි කිරීම තුළින් අපට අවස්ථාව සැලසෙනවා මිනිසාට වඩාත් සමීප ජාන ඇති මනවයන් නොවන සතුන් ඇති කර ගැනීමට. මිනිසුන් භාවිත කිරීමට නිපදවන ඖෂධ වඩාත් සාර්ථකව අත්හදා බලන්නට අපට ඔවුන්ව යොදා ගත හැකියි.” සුං වැඩිදුරටත් කියනවා. 

නියුරෝ විද්‍යාඥ කියාන් සුං

“විද්‍යාඥයන් කළේ දෛහික සෛලයක න්‍යෂ්ටීන් වෙනත් වඳුරු විශේෂවලට පවරා දීමෙන් වෙනත් ක්ෂීරපායී සත්ව විශේෂ ‍ක්ලෝනකරණයට ලක් කිරීමයි. ‍ වානර විශේෂවල අමතරව මේ ක්ෂීරපායී සතුන් අතරට බැටළුවන් (මුල්ම ක්ලෝනය වූ ඩොලී ඇතුළු), ගවයන්, සුනඛයන් ආදී සතුන් ද ඇතුළත් වුණා. මෙසේ ක්ලෝනය කළ සතුන්ගේ කලල වැඩි හරියක් උපදින තෙක් ජීවත් වුණේ නැහැ. ඊට හේතුව ගර්භාෂවල ව්‍යුහයන් හා වර්ධනය නිසි ලෙස සිදු නොවීමයි. සාම්ප්‍රදායික ක්ලෝනකරණ ක්‍රමයට අනුව උපත දක්වා දිවි රැකෙන්නේ සියයට 3ක විතරයි. ඔවුන්ගේ අධ්‍යයනයට අනුව ගවයන්ගේ ක්ලෝනකරණය විතරයි, සියයට 5 සිට 20 දක්වා සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ. 

මේ ගැටළුවට පිළියමක් හැටියට සුං ඇතුළු පිරිස කළේ ගර්භාෂයක් තුළට සාමාන්‍ය‍යෙන්‍ වර්ධනය වූ සෛල පොකුරක් ක්ලෝන කලලයක් සමග සාමාන්‍ය කලලයක ඒ හා සමාන සෛල පොකුරක් තැන්පත් කිරීමයි. ඒ සෛල පොකුර හැඳින්වෙන්නේ ට්‍රොප්හෙක්ටෝඩර්ම් කියායි. ඒ මගින් වර්ධනයේ දී ක්ලෝන කලලයට අවශ්‍ය අතිරේක පෝෂණය හා ඔක්සිජන් සියල්ල නොඅඩුව සැපයෙනවා. ඒ අනුව 2020 දී ඔවුන් සිදු කළ පර්යේෂණය මගින් නිරෝගී රීසස් වානරයකු නව ක්ලෝන ක්‍රමයකින් බිහි කිරීමට ඔවුන්ට හැකි වුණා. 

ක්ලෝනකරණයෙන් බිහි කළ රීසස් වානර පැටවුන්.

“මේ නව ක්‍රමය අනුව දෛහික සෛලවල න්‍යෂ්ටික තැන්පත් කිරීම මගින් සාර්ථකව ක්ලෝනීයකරණය කරන්නට අපට අවස්ථාව සැලසුණා. අඩු අණ්ඩ සෛල ප්‍රමාණයකින් වැඩි සතුන් ගණනක් බිහි කරන්නට අපට හැකි වුණා” සුං කියනවා. 

“සියලු ක්ලෝනීකරණය කළ ක්ෂීරපායී සතුන්ට ගර්භාෂ දෝෂ ඇති වුණා. අපි බලාපොරොත්තු වුණා, මෙය අනිත් ක්ෂීරපායීන්ටත්, මානවයන් නොවන ප්‍රිමා‍ටේසයන්ටත්, ඒ විධියට ම බලපායි කියා. ඒ නිසයි, නව ක්‍රමයට යොමු වුණේ.” සුං වැඩිදුරටත් පවසනවා. 

කියාන් සුං ඇතුළු මේ පිරිස ලැබූ නව ජයග්‍රහණයත් සමග මිනිසා වෙනුවෙන් තැනෙන ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට නව මඟක් විවර වී තිබෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments