රාම කුමරාගේ උපන්බිම වූ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හී අයෝධ්‍යාවේ අක්කර 70ක භූමි භාගයක දැවැන්ත හින්දු කෝවිලක් ඉදි කෙරෙනවා. ඒක හඳුන්වා ඇත්තේ ‘රාම් මන්දිර්’ කියායි. මහල් තුනකින් යුත් මේ දැවැන්ත කෝවිලෙහි මෙතෙක් ඉදිකර ඇති පළමු මහල පසුගිය ඔක්තෝබර් 22 වැනිදා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ අතින් විවෘත වුණා. එහි මෝදි ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා’ නම් පූජාවක් ද සිදු කළා. මෙසේ තුනෙන් එකක් නිම කළ ‘රාම් මන්දිර්’ විවෘත කිරීමේ උත්සවයට, ඉන්දීය නළුනිළියන්, විදෙස් රාජ්‍ය නියෝජිතයන්, තනාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් 7000ක් පමණ සහභාගි වුණා. අගමැතිවරයා හදිසියේ මේ විවෘත කිරීම සිදු කළේ ඇයි?
එයට හේතුව ඉන්දියාවේ මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙන නිසා ය. අගමැතිවරයා ගේ පක්ෂය වූ භාරතී ජනතා පක්ෂය යළිත් බලයට පත් කරවා ගෙන සිය තනතුරේ තව දුරටත් රැඳී සිටීමට ඔහු බලාපොරොත්තු වෙයි. ඒ සඳහා හින්දු බැතිමතුන්ගේ සහය ඔහු අපේක්ෂා කරයි. කලින් යටත්විජිත සමයේ දී මුස්ලිම් පල්ලියක් ඉදි කර තිබු තැනක උසාවි තීන්දුවකින් එය ඉවත් කරවා ගෙන හින්දු කෝවිලක් මේ ලහිලහියේ ඉදිකරන්නේ හින්දුන් සතුටු කිරීමටය.
අගමැති මෝදි ඉන්දියාව ආර්ථික හා සමාජයීය වශයෙන් හොඳ දිශාවකට යොමු කර ශීඝ්‍ර දියුණුවක් අතකර ගනිමින් තිබියදීත් ඔහුටත් ආගමික බලපෑමෙන් මිදිය නොහැකි වී තිබේ. හින්දු ආගමික බලපෑම එතරම්ම ප්‍රබලය. ධර්මාශෝක රජසමයේ ඉන්දියාව ඇතුළු බෞද්ධ රාජ්‍ය ගණනාවක් මේ කලාපයේ පැවතිය ද අද බුදුන් වහන්සේගේ දහම එහි නැත. බුදුන්ගේ ධර්මචක්‍රය ජාතික ධජයට සීමා වී ඇත. ධර්මාශෝක අධිරාජයා බුදු දහම ප්‍රචාරය කිරීමට යොදා ගත් අශෝක ස්තම්භය රාජ්‍ය ලාංඡනය වී ඇත.
අතීතයේ දී මෝගල් අධිරාජයන්ගේ ආක්‍රමණය නිසා බුද්ධාගම විනාශ විය. නාලන්දා වැනි විශ්ව විද්‍යාල දහස් ගණන් සංඝයා වහන්සේලා සමග ගිනිබත් කරනු ලැබීය. ඉන්දියානු ජනතාවට ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කරනු ලැබීය. යුරෝපීය ආක්‍රමණය නිසා ක්‍රිස්තියානිය ද ඉන්දියාවට ඇතුළු විය. ඉංග්‍රීසීන් යටත් කර ගෙන සිටි ඉන්දියාවට නිදහස දෙද්දී මහා බ්‍රිතාන්‍යය, පාකිස්ථානය යනුවෙන් වෙන ම මුස්ලිම් රාජ්‍යයක් බිහිකර කැමති ඉන්දියානුවන්ට එහි යාමට ඉඩ සැලසුවා. ඉන්දියාවේ මායිමේ බිහි කළ එය කොටස් දෙකකින් යුක්ත විය. ඒ බටහිර හා නැගෙනහිර පාකිස්ථානය වශයෙනි. නැගෙනහිර පාකිස්ථානය පසුව බටහිර පාකිස්ථානයෙන් නිදහස් වෙන්න අරගලයක් පටන් ගත්තා. ඉන්දියාව ඊට මැදිහත් වීම නිසා බංගලාදේශය කියා වෙන රාජ්‍යයක් බිහි වුණා. මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය සතුරු රාජ්‍ය ලෙසයි සැලකෙන්නේ. ඉන්දියාව තුළ අද ප්‍රධාන ආගම් දෙක වූ හින්දු හා ඉස්ලාම් බැතිමතුන් සංහිඳියාවෙන් ජීවත් වුවද ඉඳහිට හින්දුන්ගේ තාඩන පීඩනවලට ලක් වෙනවා. බුදු දහම තිබුණා නම් මේ සංහිඳියාව ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඉඩ තිබුණා.
අද බුදුන් හා සම්බන්ධ ස්ථාන නරඹන්න හා වන්දනා කරන්න ශ්‍රී ලංකාව ඇතුළු ලොව වෙනත් රටවලින් ඉන්දියාවට පිරිස් එනවා. ඊට මග පෑදුණේ අපේ අනගාරික ධර්මපාල තුමන් විසින් නොයෙකුත් බාධක මැද්දේ බුදුන් වහන්සේගේ සැමරුම් ස්ථාන සොයා ගෙන ඒවා බුද්ධගයාව වටා පෙළ ගස්වා වන්දනා මාර්ගය සලසා දුන් නිසයි. ඒ වන්දනාව පිණිස එන ලෝක බැතිමතුන් වන ඒ විදේශිකයන් හැම දෙනාගෙ ම මුව’ගට නැඟෙන ප්‍රශ්නයක් තියෙනවා. අපේ හිතමිතුරු මහාචාර්යවරයකුත් ඒ ප්‍රශ්නය ම කවියකින් නැඟුවා දඹදිවදි. මෙන්න ඒ නිර්මාණය:
ධර්මපාල තුමා
දඹදිව දී
- මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි
මුනිඳුට මලක් නොපිදෙන මල් ආසනයේ
බුදු පිය සුතන් නොපෙනෙන මුනි සාසනයේ
බුදු හිමි සොයමි හිමි බුදු වුණු බාරතයේ
කිසිවෙක් නො තෙපලති කිසි තැනෙක හිමි ගැන
කිසිවෙක් නො හඳුනති බණ දෙසන සඟ ගණ
කිසිවෙක් නො සලකති මුනි රුවට කිසි තැන
සාදු කාරයක් නෑසෙයි දෙ සවනට
වෙසඟෙහි සඳු ද නැග බැස යයි නියදමට
පසළොසවකත් තව දවසකි දඹදිවට
බෝ තුරු මුලට දය වත කෙරෙන තැන් නැත
මහ සඟ ගණ දන් බත් පිදෙන තැන් නැත
මහ මුනි නමට මුදුන’ත් බැඳෙන තැන් නැත
හිමි නිය රැසෙහි දැවටුණු මහරු පඬුරු ද
බැහැරට කළෝ මෙ බිමින් සොයමි කවුරු ද
දහසක් දෙවිවරු ද මෙහි වෙසෙන නුවරු ද
බුදුරුව නෙළිය නොහැකිය මෙදින රුවැතිව
උන් අත්වලින් නිමැවුණු නිබඳ නිගරුව
හිමි රුව තිබේ විකුණා ගන්ට නො හැකිව
දඹදිව ඉක්ම අන් දෙස ද සුපතළ
සදහම පරම පිවිතුරු මුනිඳු වදහළ
කාරණ කිම ද මෙහි නො රඳන්ට මෙම කල
සමිඳුන් වැඩ විසූ මේ බිමට පැමිණිලා
කළ කම් නොවන්නට බුදු පහස වැළලිලා
තෙමඟුල සිදු වු තැන් වුව පසට යටවෙලා
දම්පල් මහරු මිනිසාගෙ තෙද බල
සමරා පුදමි ඒ විරු නමට කවි මල
පතමින් නිවන් සුව එතුමන්ට මතු කල (2021 මැයි)
0 Comments