HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොත්වලට වසන්තය උදා කළ ප්‍රේම්ගේ විස්මිත අතීත විත්ති

අගනුවර තුළ පිහිටි ගම් අතරින් මගේ සිත් තදින් ඇද ගත් ගම්මානයක් වෙයි. ඒ තලංගමයි. තලංගම මට සුවිශේෂී වූයේ මගේ යුගයේ පත්‍රකලාවේදීන් තිදෙනකු ම ඒ නම තම නමට ඈඳා ගැනීමයි. ඒ, තලංගම ප්‍රේමදාස, තලංගම ප්‍රේමරත්න හා තලංගම ජයසිංහ ය. ඒ අතරින් තලන්ගම ජයසිංහ මා සමඟ ලේක්හවුසියේ වසර ගණනාවක් එකට සේවය කළේය. ඔහු චිත්‍රශිල්පියකු ලෙසට සේවයට බැඳුණ ද නිර්මාණශීලී කවියකු, උපහාස රචකයකු, කාටූන් ‍ශිල්පියකු, චිත්‍රකතාකරුවකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ අයෙකි. තලංගම ප්‍රේමදාස පුවත්පත්වලට නිරතුරුව ලිපි සැපයූ අයෙකි. ඔහු, පත්තරවල පිටු සම්පාදනය කළ අප වැනි උප කතුවරුන්ට නැතිව ම බැරි අයකු විය. අප සම්පාදනය කළ පිටුව ළමයින් සඳහා ද කාන්තාවන් සඳහා ද වෙනත් පාඨක පිරිසක් ඉලක්ක කර ගත් එකක් ද යන්න ඔහුට ප්‍රශ්නයක් නො වීය. ඒ හැම එකකට ම සුදුසු ලිපි ඔහු අතින් ලියැවුණේය. මේ තලංගමයන් තුන් දෙනාගෙන් වඩාත් කඩවසම් තරුණයා වූ ‘තලංගම ප්‍රේමරත්න’ අනෙක් දෙදෙනාගේ ම දස්කම් පමණක් නොව අනේක විධ දස්කම් කැටි කොට ගත් සුවිශේෂී පුද්ගලයකු විය; සැබෑ ලෝකයේ මැජික්‍කරුවකු විය. මැවුම්කරුවා තමා දෙස බලාගෙන ඔහු මැව්වා දෝයි සිතෙන තරමට ඔහුගේ ජීවන අන්දරය විස්මිත ය; රසවත් ය. ස්වයංලිඛිත චරිතාපදානයක් නිසා එහි ලේඛකයාත් ඔහුය. එය දැන් ‘ප්‍රේම පුරාණය’ නමින් නිකුත් කර තිබේ. අද අප ඔහු හඳුනන්නේ ප්‍රේම් දිසානායක ලෙසයි. ඔහුගේ සැබෑ නම ප්‍රේමරත්න දිසානායකයි. 

“සීතාවක රාජසිංහ රාජ සමයේ ඉතිහාසයේ අමරණීය මතක සටහන් තැබූ මුල්ලේරියාව මගේ උපන් ගමයි. නිලට නිලේ දිලෙන කුඹුරු යායවල්, සරුසාර කෙත්වතු, භවභෝග සපිරි එළවළු කොටු, සතා සීපාවන් නිබඳ සැරිසරන ලද දෙනිපෙත්, සිහිලැල් දිය පිරි ඇළදොළ, ළිං පොකුණු ආදියෙන් විසිතුරු වූ මෙම ගම්මානය කොළඹ සිට සැතැපුම් දහයක් පමණ දුරින් පිහිටියේය. මගේ කුඩා අවධියත්, ළමා අවධියත්, ගෙවුණේ මේ සුන්දර සම්මානයේ ගහ කොළ, ඇළදොළ, සතා සීපාවුන්, කුරුලු කෙවිලියන් සමග නිරන්තරව ඇසුරු කෙරුණු අතිශය චමත්කාරජනක අත්දැකීම් සමුදායක් ඔස්සේය. 

“මේ ගමේ මා උපන් නිවස පිහිටියේ මුල්ලේරියාවේ උඩුමුල්ල නම් ප්‍රදේශයේ මහ පාර අද්දර වූ තරමක කඳු ගැටයක් මතය.” කියමින් ප්‍රේම් සිය ප්‍රේම පුරාණය අපට කියන්නට පටන් ගන්නේ එහෙමය. දැන් මේ ප්‍රදේශයේ ජීවත්වන කෙනෙකුට ඒ සුන්දරත්වය විඳගන්න සිද්ධවෙන්නේ ප්‍රේම්ගේ මේ පොතෙන් ම විතරය. මක්නිසා ද යත් දැන් ඒ ගැමි සුන්දරත්වය මුළුමනින්ම අහෝසි වී අද මේ මුළු ප්‍රදේශයම පූර්ණ නාගරීකරණයට ලක්වී ඇති බැවිනි. 

විවේක ඇති විටෙක ප්‍රේම්ගෙන් ඔහුගේ අතීත අත්දැකීමක් අසන්නට ලැබුණු සැම කෙනකුගේ එකම ඉල්ලීම වී ඇත්තේ ඒවා පොතකට ගොනු කරන ලෙසය. ඒත් ඒ ගැන තැකීමක් නොකළ ප්‍රේම් ඒ සඳහා යොමු වූයේ විවෘත හදවත් සැත්කමකට පසුව වෛද්‍යවරුන් බලෙන් දෙමසක් ඔහුව විවේක ගැන්වූ නිසාය. ඔහු කියන්නේ ඔහුගේ කාන්සිය මඟ හරවා ගන්නට මේ පොත ලියූ බවයි. ඔහු ලියන්නේ පාඨක අපේ කාන්සිිය මකන්නටයි. 

සාහිත්‍යයට හා පොත්වලට වසන්තය උදා කළ ප්‍රේම්

2023 ආත්මචරිත කථා වැඩි ම ගණනක් පළ වූ වසර ලෙස දැක්විය හැකිය. ඒවා අතරින් ප්‍රේම්ගේ මේ කතාව කැපී පෙනෙන්නක් බැව් කිවයුතුය. සහජයෙන්ම ඔහු වෙත ලැබී ඇති කුසලතා ගණනාවක පිහිටෙන් එක හුස්මට කියවාගෙන යා හැකි, රසවත් ආත්ම චරිත කතාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ඔහුට ලැබී ඇත. ඔහු සිය අත්දැකීම් ඉදිරිපත් කර ඇත්තේ පහත සඳහන් මාතෘකා යටතේ ය. 

“ජාත භූමි, පීතු පාදං නමාමි, මාතු පාදං නමාමි, ගමෙන් සිදාදියට, බිස්නස් පිස්සුව, ‍ කෙක්කෙන් බැරි නං කොක්කෙන්, කරණම් ඉරණම, ඇත්තෙන් අත්තට, නන්නත්තාර ජීවිතේ...., මින්දද හී සර, ඉන්න හිතෙන තැනක්, නම රැන්දූ කැසට්, ජය මංගලම්, ගීතාජලී, පත්තර පිස්සුව, දිවි මගින් මහමගට, ජනප්‍රිය සංස්කෘතිය, විජය ගුණ සුවඳ, කලා හිතවතා කළා, දැලි පිහියෙන් කිරි කෑවෙමි, සීරෝ මයිනස්, කොකා ගස්සන්නට පෙර, අසේව නාච බාලානං, දෙයියො බැලුවා, ෆාස්ට් ඇඩ්ස්, ඉවුරු අතර හුදෙකලා වූ සිනමාව, ‘කොලම’ට කෙළවීම, හතර වැනි තට්ටුවේ හතරවරං, ලොතරැයි වාසනා, මහසෝන් මහ ලේන්නු, බකට් සෙකට්රි, අලුත්ම පෝස්ටර් සාස්තරේ, ඉහිරුණු කිරි හරි පාරට ගත් පැරී, තමන්ගේ ම නිවහනකට, සුරස උපත, සුරස සයුරෙන් එතෙරට, ලිව්වා ගැහුවා කලාව, එදිරිවාදුකම් මැද දිරියෙන් ඉදිරියට හා අතීත ආවර්ජනා” යනුවෙන් පරිච්ඡේදවලට කඩා ඇති ඒවායේ නම් තබා ඇති ආකාරයත් අපූරුය. ඒවා යටි අරුත්වලින්, අනුප්‍රාසයෙන්, අනූනය. ඇත්ත පත්තරයෙන් පටන් ගෙන ලංකාවේ සියලු ම පුවත්පත් හරහා ඔහු ගිය ගමනින් ලද පන්නරය ඒ සිරස්තලවලින් ම ඉස්මතු වෙයි. 

ජීවත්වීම යනු ජීවිතයේ ඉදිරියට එන අභියෝගවලට මුහුණ දීමය. එය තම ජීවන පරිසරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඒත් ප්‍රේම්ගේ කතාව ඒ හැමට ම වඩා වෙනස්ය. ඔහු අභියෝග හදා‍ගෙන ඒවාට මුහුණ දෙයි. රැකියාවක් සොයා යන ඔහුට කරන්නට ලැබෙන්නේ ඉන්පෙර කිසිදාක නොකළ, අඩු තරමින් අත් උදවු දීමක්වත් නොකළ, දෙයක් කරන්නටය. ඒ නිසා කිසිදා නුදුටු අලුත් යමක් ඔහු අතින් බිහි වෙයි. ඒ නිසා ම ඔහුගේ මේ කතාවල අමුතු මිහිරක් ඇත. 

මෙම කෘතියෙහි චරිත කථාවකට වැඩි යමක් ඇතැයි ආචාර්ය සරත් අමුණුගම කියයි. ඔහු ප්‍රේම්ගේ මේ පොතට පසුවදනක් සපයමින් මෙසේ පවසයි: 

“යම් යුගයක ඉතිහාසය පිළිබඳව අපට දැන ගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණක් නොවේ. ඉතිහාස පොත්වලත් ඇත්තේ ප්‍රබන්ධ හෙවත් කතුවරයාට අභිමත කතා බව නූතන විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ නයින් බලන කල ජීවිත කතා ද එකී යුගය නිරූපණය කිරීමට අපට වටිනා පිටුවහලක් සපයයි. 

“ප්‍රේම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූ චරිතයකි. මේ කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සඟරා ‍හා පොත් ප්‍රකාශනය දියුණු කිරිමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්‍රයකට ම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප්‍රයෝගිකව මැදිහත් කළේය. කලක් ඔහු සමග ළඟින් ඇසුරු කළ කෙනෙක් හැටියට එකී හැකියාවන් මම හොඳින් දනිමි.” 

ආචාර්ය සරත් අමුණුගම‍ගේ මේ අදහස් දැක්වීම මා සියයට සියයක් අනුමත කරන්නේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සේවය කරද්දී, රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, මහාචාර්ය සමන්ත හේරත් ඇතුළු අප කීපදෙනකු විසින් සංස්කරණය කරන ලද ‘සාහිත්‍යය’ වාර්ෂිකය ඇතුළු මුද්‍රණ කටයුතුවලට මුද්‍රණශිල්පියා වෙමින් ප්‍රේම් ලබා දුන් විශිෂ්ට සහයෝගය මා හොඳින්ම දන්නා නිසාය. ඔහු අපට මුද්‍රණ ශිල්පියා පමණක් නො වීය. අපේ අවශ්‍යතා විමසා බලා, ඔහු ඒවා සැලසුම් කර, චිත්‍ර සනිදර්ශන පිළියෙල කිරීමේ සිට ලේඛකයන්ගේ පින්තූර හා අවශ්‍ය විස්තර සපයා දීම, ලිපි සැකසීම, පිටු සැලසුම ආදියේ සිට සෝදුපත් බැලීම දක්වා හැම දෙයකටමත්, මුද්‍රණයේ දී තත්ව පාලනයටත්, පුද්ගලිකව මැදිහත් විය. ප්‍රසම්පාදන කටයුත්තේ දී මුද්‍රණ කාර්යය වෙනත් අයකු වෙත ගියත්, කවරය, ඇරයුම් පත් ආදිය සැලසුම් කිරීමට නොමසුරුව සහය විය; රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සාර්ථකව නිම කර ගන්නට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොලබා ඔහු අපට සහය විය. 

ඒ කාලය තුළ නිතර ඔහු හමුවීමට ගිය මට, මගේ පුවත්පත් ජීවිතය තුළ හමු වූ ලේඛකයන් බොහෝ දෙනකු යළි මුණ ගැසීමට අවස්ථාව සැලසුණේය. ඒ වන විට ඔහු පොත් ප්‍රකාශනයට අත ගසා තිබුණේ ය. ‘සුරස’ පොත් වශයෙන් දොරට ආ ඔහුගේ පොත් නිසා ‍පොත් ප්‍රකාශනයෙහි විශාල පෙරළියක් සිදු විය. පොතේ මුහුණුවර වෙනස් විය. හරවත්, ගුණවත්, නිර්මාණ පළ විය. වෙනදා නොතිබුණු වටිනාකමක් පොත්වලට එකතු විය. නිර්මාණශීලී කවර බිහි විය. වෙනදා කුමක් හෝ කවරයක් දමා පොත් පළ කරන ප්‍රකට ප්‍රකාශකයෝ පවා කවරය වඩාත් අරුත්බර, ආකර්ෂණීය ලෙසින් නිම කරන්නට පෙලඹුණහ. 

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සේවය කළ කාලය තුළ වසරේ සෑම පොතක් ම පරීක්ෂාවට ලක් කළ මට ප්‍රේම්ගේ ප්‍රවේශයත් සමග මෙරට පළ කළ පොත්වල සාධනීය වෙනසක් අත්දැකීමට ලැබුණු බව පැහැදිලිව ම පෙනී ගියේය. 

‘ප්‍රේම පුරාණයෙ’හි දැක්වෙන පරිදි ප්‍රේම්ගේ ජීවිතයේ ඔහු ලද අත්දැකීම් වැඩි හරියක් අපේ කලාත්මක හා නිර්මාණාත්මක ලෝකය හරහා ලබා ගත් ඒවාය. තමා කිසිදාක දැන නොසිටි නිර්මාණ කිරීමේ අභියෝගවලට ඔහු පළමුවරට මුහුණ දුන් හැටි එක් අතකින් විස්මයජනක ය. ඔහුගේ ජීවන ගමන වැටී තිබුණේ ඇත්ත පත්තරයෙන් පටන් ගෙන දවස, ටයිම්ස්, ලේක්හවුස් ඇතුළු සියලු පුවත්පත් ආයතන හරහාය. එපමණක් නොව එය නාමපුවරු පින්තාරුවේ සිට, ලොරි බොඩි පින්තාරුව, බිල්බෝඩ් ඇඳීමේ පටන් කැසට් කවර නිර්මාණය දක්වාත්, බතික් චිත්‍ර නිර්මාණය දක්වා විහිදී යන්නකි. එසේ ම චිත්‍රපට පෝස්ටර් කලාවේ සිට සිනමා පත්තර කලාව දක්වාත් විහිද යන්නකි. ඒ එක තැනකදීවත් ඔහු සිත එක තැනක රැඳුණේ නැත. මේ ගමනේ දී ඔහු ‘මිතුරකු’ කළ සතුරුකමක් නිසා සිය තීර්ථ චාරිකාව අවසන් කරන්නට කරුණු යෙදුණත් වාසනාවකට එයත් වැළකී යයි. 

බතික් ලෝකයේ දී ඔහු පෙරළි රැසකට අත ගැසුවේ ය. එතෙක් තිබූ දළ වර්ණ පැල්ලම් සහිත බතික් චිත්‍ර ශෛලිය වෙනුවට සියුම් රේඛාවලින් දේශීය ඌරුවට යුත් චිත්‍ර රටා සහිත බතික් කලාවක් ඔහු අතින් බිහි විය. ඒ කාලයේ බතික් ලෝකයේ රජා ලෙස සලකනු ලැබූ ආට් එක්ස්පෝට් අධිපති විපුල ධර්මවර්ධනගේ සිහිනයක් සැබෑ කරමින් මහනුවර දළදා පෙරහරේ දළදා කරඬුව ගෙන යන රාජා හස්තියාට උඩරට පැරණි චිත්‍ර සම්ප්‍රදාය යොදා ගනිමින් විශේෂ ඇඟලුමක් නිර්මාණය කළේය. එසේ ම ඔහු අගනුවර අලුතින් ඉදි වූ ඔබරෝයි, ඉන්ටර්කොන්ටිනන්ටල් වැනි හෝටලවල ආලින්දය සරසන්නට, තට්ටු කීපයක් උසට, එල්ලා වැටෙන අති දැවැන්ත බතික් සැරසිලි නිර්මාණය කළේය. විපුල ළඟ සේවය කරද්දී ඔහු තවත් පෙරළියක් කළේ ය. ඒ ලෝකයේ කීර්තිමත් අගමැතිවරියන් දෙපළකට බතික් මෝස්තරයේ සාරි හඳුන්වා දු‍න්නේය. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඔසරියත්, ඉන්දිරා ගාන්ධි මැතිනියගේ සාරියත් ප්‍රේම්ගේ නිර්මාණ විය. 

ප්‍රේම්ගේ විස්මිත ජීවිත විත්ති ගේන ‘ප්‍රේම පුරාණය’

‘ප්‍රේම පුරාණයේ’ එන ‘නම රැන්දූ කැසට්’ පරිච්ඡේදයේ එක් තැනක ඔහු විජය රාමනායකත් සමග පළමුවරට මෙරටට කැසට් පටය හඳුන්වා දීමට ගත් උත්සාහයේ දී ලත් අත්දැකීමක් ගැන මෙසේ සඳහන් කරයි: 

“දිනක් විජය රාමනායකත්, මමත් තරංගා සේවකයකු වූ මහින්ද සමරකෝනුත් දිවා ආහාරය ගැනීම සඳහා කොළඹ කොටුවේ පිහිටි අපට පුරුදු අවන්හලක් වෙත යමින් සිටියෙමු.....අවන්හල පිහිටා තිබූ මාවත කරා ඇවිදිමින් සිටියදී, පළමුවැනි හරස් වීදියේ, ඉසුරුගිරි හෝටලයේ සුළු ව්‍යාපාරයක් කර ගෙන යමින් සිටි විජයගේ හිතවතකු සමඟ වචනයක් කතා කර යෑම පිණිස මඳකට නතර වීමු. කුඩා වීදුරු ෂෝකේස් එකක් තබාගෙන සිය ව්‍යාපාරික කටයුතුවල යෙදුණු ඒ පුද්ගලයාගේ නම සෝමපාල ගුණසේකරය. ඔහුගේ ව්‍යාපාරය වූයේ ඔරලෝසු කාර්මික වැඩ සහ උල්පත් පෑන්වල ඉතා සියුම් ලෙස නම් සටහන් කිරීමය. උල්පත් පෑන්වල තම නම කොටා ගැනීම ඒ දිනවල ජනප්‍රිය සිරිතක් විය. පෑනක නමක් කෙටීම සඳහා රුපියල් 2.50ක් අය කෙරිණ. 

“සෝමපාලත් සමඟ වචනයක් ‍දොඩන්නට එතැන මඳක් නතර වූ විජය, ඒ අවස්ථාවේ තමන් ළඟ තිබූ අලුතෙන්ම නිකුත් වූ කැසට්පට පහක්, සෝමපාලගේ පෑන් සහ ඔරලෝසු අසුරා තිබූ කුඩා වීදුරු ෂෝකේසයේ පැත්තකට රිංගෙව්වේය. මොහිදීන් බෙග්ගේ පැරණි ජනප්‍රිය ගීත - ලතා වල්පොල යුවළ ගැයූ පැරණි යුග ගී ඇතුළත් තරංගා නව නිෂ්පාදන කැසට් පහක් ඊට අයත් වූයේය. සුළු ව්‍යාපාරිකයකුගේ කුඩා වීදුරු කූඩුවකට බලෙන් කැසට් රිංගවූ අපි, දිවා ආහාරය සඳහා පිටත් වීමු. 

“දිවා ආහාරය රැගෙන ආපසු එමින් සිටි අප තිදෙන නිකමට වාගේ ඉසුරුගිරියට ගොඩ වීමු. සෝමපාල දුවගෙන විත් විජය බදා ගත්තේය. 

“ ‘බඩු ඔක්කොම ගියා රාමනායක මහත්තයා, මට එක කෑල්ලකින් 25 ගානේ කෑලි 125ක් දැන් ම එවන්න.’ සෝමපාල සතුටෙන් ඉපිලෙමින් පැවසීය. වහා ක්‍රියාත්මක වූ විජය කඩිනමින් කැසට් 125ක් ඉසුරුගිරියට යැවීය. 

“දිනකට දහස් ගණනින් සෙනඟ එහා මෙහා යන ජනාකීර්ණ ස්ථානයක පිහිටි සෝමපාල ගුණසේකරගේ පුංචි කඩ කෑල්ලේ එතැන් පටන් කැසට්පට අලෙවි වූයේ උණු කැවුම් පරිද්දෙනි. ඉන් අනතුරුව ‘ප්‍රියංකා රෙකෝඩ් බාර්’ නමින් නව ව්‍යාපාරයක් ඇරඹුණු අතර, රු. 2.50ට පෑන්වල නම් කෙටීම අත්හැර සිය ව්‍යාපාරය මුළුමනින් ම කැසට් අලෙවිය සඳහා වෙන් කරන්නට සෝමපාලට සිදු වූයේය.

“ ප්‍රේම් සොයා එන අනුග්‍රාහකයන් බොහෝ විට යමක් ඉටු කරවා ගන්නට එන්නේ විසඳීමට ගැටලුවකුත් කර පින්නා ගෙන ය. වැඩේ කර දෙන්නට කලින් ප්‍රේම්ට ගැටලුව විසඳන්නට සිදු වෙයි. වරක් අපූරු ගැටලුවක් අරන් මර්වින් සිල්වා ප්‍රේම් සොයා ආවේය. 

“මචෝ මට හරි අලකලංචියක් වෙලා තියෙනවා. මං මේ සැරේ දකුණෙන් ඡන්දෙ ඉල්ලනවා. ඉතින් මං මගේ ෆොටෝ එකක් දාලා පෝස්ටරයක් ගහලා ඇලෙව්වා. උදේ බලනකොට ඒ හැම පෝස්ටරේකම මගේ මූණට මේ යක්කු බුලත් කෙළ ගහලා, ජරා කරලා. එහෙම කරන්න බැරිවෙන්න හොඳ පෝස්ටරයක් ගහලා දෙන්නකෝ! කොහොම හරි මාව ගොඩදාලා දෙන්නකෝ!” මර්වින් සිල්වා කියා ගෙන ගියේය. 

මර්වින්ගේ ඒ කතාවට ප්‍රේම්ට හිනා ගියේය. “මිනිස්සුන්ට ඔය මූණ දැක්කම එහෙම කරන්න හිතෙනව ඇති. ඒකට අපි මොකද කරන්නේ?” ප්‍රේම් හිනාවෙමින් කීවේය. 

“එහෙම කියන්න එපා! මට මේකට මොනව හරි කරලා දෙන්න. බෑ කියන්න එපා!” මර්වින් බැගෑපත් විය. 

“හරි ගිහින් සඳුදාට එන්නකෝ, මං මොනව හරි කරලා දෙන්න බලන්නම්” ප්‍රේම් කීවෙන් මර්වින් හිත හදා ගෙන යන්නට ගියේය. 

මර්වින් කී වෙලාවට ම ආවේ ය. සූදානම් කර තිබූ පෝස්ටර් පාර්සලය රැගෙන මුව නොසෑහෙන්න ස්තුති කරමින් යන්ට ගියේ ය. අඩුතරමින් ඔහු පාර්සලය විවර කර බලන්නවත් නැවතුණේ නැත. 

දින දෙක තුනකින් ම ඔහු කතා කළේය. “මචෝ වැඩේ හරි! එක කෙළ බිඳක් ගහලා නෑ. පෝස්ටරේ කිරි පාටට බැබැලෙනවා. මට උඹට ස්තුති කරන්න වචන නෑ.”යි කීවේ ය. 

“ ඒක එහෙම තමයි. උඹේ මූණට කෙළ ගැහුවට, කිරි වෙහෙරට අගෞරව කරන්න තරම් දකුණෙ මිනිස්සු මෝඩ නෑ.” යී ප්‍රේම් පෙරළා කීවේය. පෝස්ටරයේ පසුබිමට කිරි වෙහෙරේ ඡායාරූපයක් යොදා ඇති බව මර්වින්ට මතක් වුණේ ඉන්පසුවය. 

පොත් කවරවල විතරක් නොවෙයි, පොත්වලත් ගුණාත්මක වෙනසක් ඇති කළා

බොහෝ කලක් තිස්සේ සිංදු පොත් පළ කරමින් සිටි ‘මල්පියලි’ අධිපති ඇ. ලයනල් සිල්වාට පොත් කවර සකස් කර දුන්නේ ප්‍රේම් හා පෑලියගොඩ දයානන්ද යන දෙදෙනා ය. හිතවත්කම් වැඩි දියුණු වූ පසු ප්‍රේම් වෙනස් ආකාරයේ පොත් දෙකක් ලියා දී එවැනි පොත් පළ කරන්නැයි ලයනල් සිල්වාට උපදෙසක් දුන්නේ ය. ‘අපේ ජාතික කොඩිය හා අපේ ජාතික ගීය’ නම් ඒ පොත් දෙක මල්පියලි ප්‍රකාශන ලෙස පළ කරනු ලැබුවේ ‘ප්‍රේම් දිසානායක’ යන අන්වර්ථ නා‍මයෙනි. ඒ මල්පියලි පොත් එතෙක් නොවූ විරූ විශාල අලෙවියක් වාර්තා කළේය. ඇ. ලයනල් සිල්වා එවැනි පොත් තවත් ලියන්නැයි ඇවිටිලි කළ ද ප්‍රේම්ට ඒ සඳහා විවේකයක් ලැබුණේ නැත. 

ඒත් ප්‍රකාශකයා කලින් දැනුම පොත්වලින් ජනප්‍රිය වූ ‘ප්‍රේම් දිසානායක’ යන නමින් වෙනත් අය ලියූ තවත් පොත් කීපයක් පළ කරමින් සිංදු පොත්වලින් බැහැරව දැනුම ප්‍රකාශනයට පිවිසුණේ ය. ඒ ‘ප්‍රේම් දිසානායක’ත් මේ සුරස ප්‍රකාශක ප්‍රේම් දිසානායකත් එක් අයකු බව දන්නේ ඉතා ටික දෙනෙකි. අද ප්‍රේම් ඒ නමින් පොත් ප්‍රකාශනයට පිවිස සිටියි. 

වසර දසක ගණනාවක් තිස්සේ ප්‍රේම් සිය දිවියේ ප්‍රධාන කාර්යය කුමක් දැයි සොයා දිගු ගමනක් ගියේ ය. ඒ ගමනේ දී ඔහු මුහුණ‍ දුන්‍‍ අත්දැකීම්වලින් ලද පන්නරය අනුව තම අනුග්‍රාහකයන්ට හැකිතාක් ඉක්මනින් සිය සේවය ලබා දීම ඔහු සිය අරමුණ කර ගත්තේ ය. ඒ අනුව ෆාස්ට් ඇඩ්ස් ආරම්භ කළේ ය. සිය සේවය ඉක්මනින් හා කලාත්මකව කර දුන් ඔහුට ඒවා ඉක්මනින් මුද්‍රණය කර දීමේ අවශ්‍යතාව පෙනී ගියේ ය. ‍ෆාස්ට් ප්‍රින්ටරි පටන් ගත්තේ ඒ අනුවය. ඔහු අවසානයේ දී තමන්ගේ ම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් හා පොත් අලෙවි ජාලයක් පිහිටු වීම තම එකම අරමුණ කර ගත්තේ ය. ඒ අනුව 2002 දී ෆාස්ට් පබ්ලිෂිං නමින් සිය ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය ඇරඹීය. එහි පොත් නිකුත් වූයේ ‘සුරස’ යන වෙළෙඳ නාමය යටතේ ය. මංගල පොත් දොරට වැඩුමට පොත් 50ක් ඇතුළත් විය. ඊළඟට සුරස පොත් අළෙවිය සඳහා සුරස පොත් හල ආරම්භ කරනු ලැබීය. 

රාජ්‍ය සම්මාන, ස්වර්ණ සම්මාන, රජත පුස්තක සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන යන දිවයිනේ පැවැත්වෙන සියලුම සම්මාන උත්සවවලින් ‘සුරස’ පොත් සඳහා විශේෂ සම්මාන රැසක් හිමි වී තිබේ. මෙයට අමතරව, හොඳම පිටකවර නිර්මාණය, හොඳම පිටු සැලසුම, හොඳම නිමාවෙන් යුත් ග්‍රන්ථය යනාදී වශයෙන් විවිධ සම්මාන ඒ අතර වෙයි. 

ෆාස්ට් පබ්ලිෂං දැන් ජාත්‍යන්තරයටත් ගොසිනි. එහි සුරස ප්‍රකාශන කීපයක් ජපානයේදී හා චීනයේ දී එළි දැක්විණ. එසේ ම ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන සමග ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අවබෝධතා ගිවිසුම් ද අත්සන් කෙරිණ. මුලින් ම චීනය සමගයි. 

ලොව පුරා ප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශක ආයතන හැම එකක් ම වාගේ පොත් තේරීමට, අඩුපාඩු සොයා බලා නිවැරදි කිරීමට, කර්තෘවරුන්ට උපදෙස් දීමට, ග්‍රන්ථකරණ ප්‍රමිතිය පවත්වා ගෙන යාමට, ප්‍රධාන සංස්කාරක වරයකුගේ සේවය ලබා ගනියි. ලංකාවේ එවැනි පුරුද්දක් නැති නිසා ග්‍රන්ථ ප්‍රකාශනයෙහි නිසි ප්‍රමිතියක් නැත. ප්‍රේම් කියන්නේ මෙහි දැන් ඇත්තේ ‘ලිව්වා ගැහුවා’ කලාවකි. කර්තෘවරයා ගෙන එන ඕනෑම එකක් මුද්‍රණය කිරීම ඒ ක්‍රමයයි. ප්‍රේම් එසේ කරන්නේ නැත. ඔහු ප්‍රකාශකගේ කාර්යය විතරක් නොව, සංස්කාරකගේ කාර්යයත්, එතැනින් එහාට ග්‍රන්ථයේ මුද්‍රණ තත්ව පාලකගේ කාර්යයත් ඔහු ම ඉටු කරයි. මුද්‍රණයට බාර ගන්නට පෙර පොතෙහි සත්‍යයායනය ද, විමසා බලයි; ලියන අයගේ තරාතිරම නොසලකයි. හැම විට ම නිවැරදි බස් වහරින් යුතු අරුත්බර පොතක්, අලංකාර මුද්‍රණයක් පාඨකයාට ලබා දීම ඔහුගේ අරමුණයි. 

ප්‍රේම්ගේ රාජකාරි නිවහන කලාකරුවන්ගේ, සාහිත්‍යධරයන්ගේ, කෙම් බිමයි. මරදානට ආවොත් ප්‍රේම් හා කතාබහ කොට යාම ඒ වැඩිදෙනාගේ සිරිතය. ඒ හැමදෙනා ම මමත් හඳුනමි. ඒ හැම දෙනා ම කියන්නේ “අපේ ප්‍රේම් හමුවන්න ආවා” කියාය. ඔහු හමු වී, ඔහුගේ සිනා රැල්ලට හසු වී, වචනයක් දොඩා යාම ඔවුන්ගේ විඩාව සන්සිඳුවන ඔසුවක් වැන්න. මට මෙතෙක් හමු වූ වැඩ කිරීමෙන් විඩාවට පත් නොවන මිනිසා ඔහුයි. කෙතරම් අවිවේකීව සිටියත් ඔහු තමන් හමුවට එන කලාකරුවන් සමඟ වචනයක් හා නොදොඩා යන්නට හරින්නේ නැත. ප්‍රේම් තෝරාගෙන ඇති වෘත්තිය, ලෝකයේ ඇති විශිෂ්ටතම රැකියාවයි. අද අප මුහුණපා ඇති ආර්ථික අර්බුදය ඉක්මනින් පහව ගොස්, අපේ පරම්පරාවටත්, අනාගත පරම්පරාවලටත්, එකසේ ප්‍රයෝජනවත් වන ඔහුගේ ප්‍රකාශන කටයුතු සඳහා සුදුසු වාතාරණයක් යළි උදාවේවායි ඉත සිතින් පතමි.

- පර්සි ජයමාන්න 

Post a Comment

1 Comments

  1. ප්‍රේම් දිසානායක ගැන හොදින් අසා තිබුනාට මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නැහැ.බොහොම ස්තුතියි ඔහු කල කාර්‍ය භාරය අප හමුවේ තැබුවාට.

    ReplyDelete