ඇස් කන්නාඩියට උපැස් යුවළ කියා ද හැඳින්වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ඇස්වල පෙනීම නිවැරදි කිරීම සඳහා හෝ ඇස් ආරක්ෂා කිරීමට ඇස් ඉදිරියෙන් පලඳින උපකරණයකි. ඇස් කන්නාඩියකට කන්වල සහ නැහැය මත රැඳවිය හැකි ලෙස රාමුවකට සවි කළ කාච දෙකක් ඇතුළත් වෙයි. මේ හැරෙන්නට ඇස් කන්නාඩි වෙනුවට ඇසේ පෙනීම නිවැරදි කිරීමට සිවි කාච (contact lenses) ද පැලඳිය හැකිය. ඒවායේ කාච ඇස් කන්නාඩිවල කාචවලට වඩා කුඩා ය. ඒ සිවි කාච ඇස් කන්නාඩි මෙන් නොව කෙළින් ම ඇස් මතුපිට පැලඳිය හැකිය. කාච මගින් සිදුවන්නේ කිසියම් වස්තුවක් මත පතිතව පරාවර්තනය වන ආලෝක කිරණ නිසි තැනට නාභි ගත කිරීමයි. මෙහිදි කාචය මගින් ඇසෙහි ඇති දෝෂය අනුව ආලෝක කිරණ අවශ්‍ය පරිදි වෙනස් කර දෙයි. අනුවර්ණය කළ (tinted) කාච මගින් දැඩි හිරු රැසින් ඇස්වලට වන හානිය වළකයි. ආරක්ෂක ඇස් කන්නාඩි ඇසට අනතුරු සිදුවිය හැකි යැයි සැලකෙන රැකියාවල නියුතු අය විසින් පලඳිනු ලබන්නකි.
ඇස් කන්නාඩියේ උපත කවදා සිදුවී දැයි නිශ්චිතව කිව නොහැකි නමුදු චීනයේ හා ඉන්දියාවේ පමණක් නොව යුරෝපයේ ද වසර සිය ගණනකට එපිට භාවිත කළ බව පැහැදිලි ය. 1284 දී ඉතාලියේ සැල්වීනෝ ඩි’ආමේට් උපැස් යුවළක් පාවිච්චි කළ බව සඳහන් වේ. එසේ ම 1268 දී රොජර් බේකන් නම් ඉංග්‍රීසි විද්‍යාඥයා විසින් ඇස්වල පෙනීම නිවැරදි කිරීමට ඇස් කන්නාඩි භාවිත කිරීම ගැන සඳහනක් කර තිබේ. ඇස් කන්නාඩි මුලින් ම යුරෝපයට ආවේ 13 වැනි සියවසේ දීය. 1352 දී ටොම්සෝ ඩ මොඩේනා නම් චිත්‍ර ශිල්පියා විසින් ඉපැරණි සිත්තමක ඇස් කන්නාඩි දෙකක් ඇඳ තිබේ.
මුලින් ඇස් කන්නාඩි සඳහා කාච නිපදවනු ලැබුවේ විනිවිද පෙනෙන තිරිවානා හෙවත් දියතරිප්පු හෝ වෙරළුමිණි වැනි පාෂාණ වලිනි. ඇස් කන්නාඩිවලට ඇති ඉල්ලුම වැඩිවෙත්ම ඒවා වීදුරුවලින් තනන්නට ආරම්භ කෙරිණි. ඉතා උසස් තත්වයේ ඇස් කන්නාඩි නිපදවූ ප්‍රධාන තැන් ලෙස ප්‍රකට වූයේ ඉතාලියේ වැනීසිය හා ජර්මනියේ නියුරෙම්බර්ග් යන නගර ය. මෙසේ කාච තැනීම ආරම්භ වීමත් සමග 16 වන සියවසේ අග භාගයේ දී තනනු ලැබූ සංයුක්ත අන්වීක්ෂයක් 1608 දී දුර දක්නයක් නිපදවීමට මග පෑදී ය.
දුර හා ළඟ එක විට දැක ගත හැකි ද්විනාභි කාච මුලින් ම තනනු ලැබුවේ එකම රාමුවක් තුළ සවි කිරීමෙනි. මේ එක කාචයකින් දුර නොපෙනෙන දෝෂයත්, අනෙක් කාචයෙන් ළඟ නොපෙනෙන දෝෂයත් නිවැරදි කර ගත හැකිය. මේ ද්විනාභි කාච මුලින් ම නිපදවනු ලැබුවේ 1784 දී බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසිනි. නිතරම කන්නාඩි මාරු කිරීම අපහසු වූ නිසා ඔහු කියවීමටත් දුර බැලීමටත් යොදන කන්නාඩි දෙකක් වෙන වෙන ම ගෙන එකට සවි කර එය නිපදවා ගත්තේ ය. ඒවා සවි වූයේ එකම රාමුවකිනි. 1884 දී එකට අලවන ලද ද්විනාභි කාචය නිපදවනු ලැබී ය. එකට බද්ධ කළ ද්විනාභි කාචය 1908 දීත් නිපදවනු ලැබී ය. එකම කාවය තුළ දැන් ත්‍රිනාභි කාචත්, බහුනාභි කාචත් නිපදවනු ලැබේ.
සිවි කාච මුලින් ම නිපදවන ලද්දේ 1887 ඇඩොල්ෆ් ෆික් විසිනි. මුල් කාච වීදුරුවලින් තනනු ලැබූ අතර 1938 දී ප්ලාස්ටික් කාච භාවිතයට ආවේ ය. මේ කාච ඇස් පුරා ම වැසෙන සේ තැන්පත් කරන ලද අතර ඇසෙහි වියළීම වැළැක්වීමට දියරයක් භාවිත කෙරිණ. 1940 ගණන්වල ආ කුඩා සිවි කාචය කළු ඉංගිරියාව පමණක් වැසෙන සේ භාවිත කළ හැකි විය. එය කඳුළුවලින් තෙත් වීම ද සිදුවිය.
1970 ගණන්වල දී හයිිිඩ්‍රොක්සිතිල් මෙතක්‍රයිලේට් නම් ප්ලාස්ටික් විශේෂයකින් නිපදවන ලද මෘදු කාචයක් හඳුන්වා දෙනු ලැබී ය. එයින් පැලඳීමේ දී ඇස්වලට දැනෙන විඩාව අඩු විය. එහෙත් ඒවා පහසුවෙන් කැඩෙනසුලු විය. ඉවතට නො ගෙන දිගට ම පැලඳිය හැකි කාචයක් 1980 ගණන්වල දී හඳුන්වා දෙන ලද අතර පාවිච්චි කර ඉවත දැමිය හැකි සිවි කාචයක් 1988 දී නිපදවනු ලැබීය.
ඇස් කන්නාඩිවලින් හෝ සිවි කාචවලින් හෝ හරිගැස්විය හැකි බහුලව පවතින ඇස් පෙනීමේ දෝෂ තුනක් තිබේ. ඒවා නම් අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව, දුර දෘෂ්ටිකත්වය හෙවත් හයිපරෝසියාව හා පෙනීම නිසි ලෙස නාභි ගත නොවීම හෙවත් විෂම දෘෂ්ටිකතාව ය. පෙනීම සම්පූර්ණයෙන් ම නැති වී යාමට ඉඩ ඇති ඇසේ සුද ඇති වීම හෙවත් තිමිරය විවිධ සැත්කම් මගින් හරිගැස්විය හැකිය. සමහර අවස්ථාවල කාචය සම්පූර්ණයෙන් ම ඉවත් කර ඒ වෙනුවට කාච යුගලක් උපැස් යුවළක් සේ පැලඳිය හැකිය. අනෙක් අවස්ථාවල කාචය ඉවත්කොට කෘත්‍රිම කාචයක් එතැනට බද්ධ කළ හැකිය.
ලංකාවේ මුලින් ම ඇස් කන්නාඩියක් පැලැන්දේ ගම්පොළ රාජධානිය කර ගෙන රජකම් කළ හතර වන බුවනෙකබාහු රජතුමා (1344=1353) විසිනැයි සිංහල විශ්වකෝෂයේ සඳහන්ව ඇත. ගඩලාදෙණි විහාරය කරවීම පිණිස දකුණු ඉන්දියාවෙන් ලක්දිවට ගෙන්වන ලද ශිල්පීන්ගේ නායකත්වය දැරූ දේවනාරායන ආචාරි නම් තැනැත්තා විසින් රජුට මෙම උපැස් යුවළ තනා දුන් බව සඳහන් ය.
රජුගේ ඔටුන්නට චූඩාමාණික්‍යයක් කපා දීම ඔහුට බාර වූ අතර තමන් ගඩලාදෙණි විහාරය තුළ කළ සියුම් සිතුවම් රජුට නිසි ලෙසින් දැක ගැනීමේ අපහසුවක් ඇති බව පසක් කර ගෙන සිටි නිසා චූඩාමාණික්‍යය කපන අතරේ රජුට උපැස් යුවළක් ද කපා දෙන්නට ඔහු උත්සුක විය. ඒ උපැස් යුවළෙන් ලත් පෙනීමෙන් මහත් සේ පැහැදුණුු රජු චූඩාමණි පටබැඳි නාමයත් ගඩලාදෙණි විහාරය අසල කිරිවවුල නම් ගම්වරයත් පවරා දුන් බව කියැවේ. මේ පරපුරෙන් පැවත එතැයි කියනු ලබන පවුලක් අදත් කිරිවවුල ගමේ වෙසෙන අතර ඔවුහූ දැනුදු දියතරිප්පු කන්නාඩි තැනීමේ කර්මාන්තයේ යෙදෙති.
0 Comments