HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද උපහාර ලබන, ‘ලංකාදීපය’ට යළි ජීවය දුන් ප්‍රධාන කතුවර - සිරි රණසිංහ

1965 වසරේ අග හරියේ දිනක උදේ පුංචි බොරැල්ලෙන් බසයෙන් බසින විට ලේක්හවුසියට අලුතින් එක් වූ තරුණ පත්‍රකලාවේදීන් සිව් දෙනකු එහි බස් නැවතුමෙහි සිටිනු දුටු හැටි මට අද වගේ මතකය. එතැන සිටියේ දෙල්තොට චන්ද්‍රපාල, තිස්ස එදිරිසිංහ, බිනෝයි සුරේන්ද්‍ර හා සිරි රණසිංහ යන අයයි. ඉන් අඩසියවසකට පසු දෙල්තොට චන්ද්‍රපාලට හා තිස්ස එදිරිසිංහට ‘දිනමිණ’ කතු පදවිය හොබවන්නට හැකි විය. බිනෝයි ‘දිනමිණ’ සම කතු පදවියක් ඉසිලීය. අද ඒ තිදෙනා ම ජීවතුන් අතර නැත. තවමත් ජීවමානව සිටින එකම පුද්ගලයා වූ සිරි රණසිංහගේ දෛවය ඔහු ගෙන ගියේ ‘දිනමිණ’ මහ පුටුවට නොව ‘ලංකාදීප’ මහ පුටුවටයි. අද ඔහු විජය පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා ‘ලංකාදීප’ ප්‍රධාන කර්තෘ පදවිය හොබවයි. එසේ ම ඔහු ශ්‍රී ලංකා පුවත්පත් කතුවරුන්‍ගේ සංසදයේ නායකත්වය ද උසුලයි. 

වසර 33ක් ප්‍රධාන කර්තෘ පදවිය හොබවමින් 
වාර්තාවක් පිහිටුවා ඇති සිරි රණසිංහ මහතා

ශ්‍රී ලංකා පත්‍රකලා ඉතිහාසයේ පුරා වසර 33ක් තිස්සේ අඛණ්ඩව ජාතික පුවත් පතක ප්‍රධාන කර්තෘ පදවිය උසුලන එකම පත්‍රකලාවේදියා ලෙස කිසිදාක නො බිඳ‍ෙන වාර්තාවක් ද ඔහු විසින් තබා ඇත. මීට කලින් එම වාර්තාව හිමිකර ගෙන තිබුණේ තිස් දෙවසරක් අඛණ්ඩව ලේක්හවුසියෙන් පළ කළ ‘තිනකරන්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ පදවිය හෙබවූ දිවංගත ආර්. සිවගුරුනාදන් මහතා විසිනි. සිරීගේ මේ ජයග්‍රහණය, කාලය අනුව දෙවැනි වන්නේ ‘ලක්මිණිපහණ’ කර්තෘ ඇම්. ධර්මරත්න පඬිතුමන්ට පමණය. එතුමන් 1883 දී සිය කර්තෘත්වයෙන් ‘ලක්මිණිපහණ’ යළි ආරම්භ කොට 1925 තෙක් පුරා වසර 42ක් අඛණ්ව පවත්වා ගෙන යාම එකල තිබූ දුෂ්කර තත්වයන්ට අනුව එක්තරා විධියක මහ අසිරියකි! 

සිරි රණසිංහයන් අතින් සිදුවූයේ ද ඊට නොදෙවැනි කාර්යයකි. 1990 දී සිය කර්තෘත්වයෙන් ‘ලංකාදීප’ පත්‍රය යළි ආරම්භ කොට වසර 33ක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඔහු සමත් වීම ද අසිරියකි. ඒ නිමිත්තෙන් ඔහු වෙනුවෙන් ඇගැයුම් උළෙලක් ‘සිරි අසිරි’ නමින් දෙසැම්බර් 20 වැනිදා (අද) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවත්වීමට නියමිතය. මේ ලිපිය ලියන්නේ ඒ නිමිත්තෙනි. 

සිංහල පුවත්කලාවේ මුල් අවධියේ පැවති තත්වය 

ලංකාවට මුද්‍රණ ශිල්පය හඳුන්වා දුන් මුල් යුගයේ පුවත්පත් පළ කළේ ආගම් ප්‍රචාරය සඳහායි. නැති නම් ආගමික ප්‍රචාරයන්ට පිළිතුරු දීම සඳහායි. ඒ වගේ ම යමකුට තම අදහස්, මතවාද ආදිය අන් අයට දැන ගැනීමට සැලැස්වීම සඳහායි. දැන් මෙන් පත්‍ර බෙදා හැරීමේ ක්‍රමයක් එකල තිබුණේ නැත. පත්‍රය මිල දී ගැනීමට අවශ්‍ය අය මුද්‍රණාලයට පැමිණ හෝ කල් ඇතිව මුදල් ගෙවා දායකත්ව ක්‍රමයට තැපෑලෙන් ගෙන්වා ගත යුතු විය. ඒ සඳහා මුද්‍රිත ප්‍රකාශන තැපෑලෙන් යැවීමට යටත්විජිත රජය විසින් සහනදායී තැපැල් ගාස්තුවක් ද පනවා තිබුණි. 

මේ තත්වය වෙනස් කරමින් පාඨකයා සොයා පත්‍රය ගෙන යන්නට මුල්වරට කටයුතු යෙදුවේ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහතා විසිනි. ඔහුට අවශ්‍ය වූයේ එංගලන්තයේ ඉගෙන ගනිද්දී අත්දුටු ෆ්ලීට් වීදියේ ප්‍රවෘත්ති පත්‍ර සාම්ප්‍රදායය මෙරට ස්ථාපිත කරන්නටය. ඔහු ප්‍රථම වරට වැන් රථ යොදවා රට පුරා පුවත්පත් බෙදා හැරියේ ය. 

එකල ඉතා අසීරු තත්වයෙන් පවත්වාගෙන ගිය ‘දිනමිණ’ එච්. එස් පෙරේරා මහතාගෙන් මිලට ගත් ඩී. ආර්. විජේවර්ධන මහතා කෙටි කලකින් එය වැඩිම අලෙවියක් සහිත සිංහල පත්‍රය බවට පත් කළේය. ඒ සමග ‘සිලනීස්’ නම් වූ ඉංග්‍රීසි පත්‍රය මිලට ගෙන එය ‘සිලෝන් ඩේලිනිවුස්’ බවට පත් කළේය. යටත් විජිත යුගයේ මෙරට පැවති නිදහස් සටනට, ඩී. ආර්. විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සන්නිවේදන ශක්තිය සැපයූවේ ඒ පුවත්පත්ය. පුවත්පත දෛනික ජීවිතයේ නැතිවම බැරි අංගයක් බවට පත් කරන්නට විජේවර්ධන මහතා වෙහෙසුණේය. 60 දශකයේදී අප ආධුනික පත්‍රකලාවේදීන් ලෙස ලේක්හවුස් ආයතනයෙහි රැකියාවට යන විට එය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේ එහි නිර්මාතෘ විසින් දමන ලද ඒ අඩිතාලම හේතුවෙනි. 

70 දශකයේ එක් දිනක, අපේ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ විමලසිරි පෙරේරා මහතා මට කතා කොට, ‘නවයුගය’ සඟරාව දෙසතියකට වරක් පළ කරන පුවත්පතක් ලෙස සංස්කරණය කරන කාලයේ, ඊට උසස් පෙළ සිසුන් සඳහා වෙනම පිටු 16ක අධ්‍යාපන අතිරේකයක් පළ කිරීමේ අවශ්‍යතාවක් ඇති බව කීවේය. ඒ වන විට ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ උප කතුවරයකු වශයෙන් සේවය කරමින් සිටි මම ඉඩ ලද හැම විට ම ඔහුගේ කටයුතුවලට ද සහය වීමි. 

සිරි රණසිංහ, බිරිඳ හා දියණිය 
හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවකට පැවති විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ මහින්ද රණවීර ප්‍රමුඛ විශේෂඥ ආචාර්යවරුන්ගේ අධ්‍යාපන ලිපි ඇතුළත් කොට සකස් කෙරෙන එහි වගකීම සම්පූර්ණයෙන් ම බාර ගෙන කටයුතු කරන්නට සුදුසු අයකු සොයා බලන ලෙස විමලසිරි මහතා කළ ඉල්ලීම අනුව මගේ සිතට ආ මුල්ම නම සිරි රණසිංහ විය. එවකට අප සමග එකට ලේක්හවුසියේ සේවය කළ තරුණ පත්‍රකලාවේදීන් අතර ඉතා ඉවසීමෙන්, තැන්පත් මනසකින්, නිහඬව වැඩ කළ ඔහු, ඒ සඳහා සුදුසු ම පුද්ගලයා බව කී මම ඔහු දිනමිණ කතු මඬුල්ලේ සේවය කළ නිසා එවකට දිනමිණ කතුවරයා වූ ඇස්. සුබසිංහ මහතා සමග කතා කොට සිරි රණසිංහගේ සේවය ලබා ගන්නා ලෙස කීවෙමි. 

අද පළවෙන අධ්‍යාපන ප්‍රකාශනවලට පූර්වාදර්ශය වූ ‘අධ්‍යාපන අත්වැල’ නමින් යුත් ඒ අතිරේකයට අවශ්‍ය මූලික සැලැස්ම සකස්කොට එහි වගකීම සිරීට බාර දුන් පසු අපි බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඒ කටයුත්ත වසර ගණනාවක් තිස්සේ ඉටු කිරීමට ඔහු සමත් විය. සුළු වරදක් හෝ නොවන්නට සිරී වග බලා ගත් බව කියා ඔහු නම් කිරීම ගැන විමලසිරි මහතා එදවස මට මහත්සේ ස්තුති කළේය. සිරීගේත් මගේත් හිතවත්කම වැඩෙන්න පටන් ගත්තේ එයින් පසුවය. කර්තෘ මණ්ඩල දෙකක සේවය කළ ද අපි ඉඩ ඇති විටෙක හමුවී කතා බහ කිරීම පුරුද්දක් කර ගතිමු. 

ජාතික පුවත්පතක ලක්ෂණ හා කාර්යභාරය 

අංකුර පත්‍රකලාවේදීන් ලෙස සේවයට ආ අප එකල වටහා ගෙන තිබුණේ ‘ජාතික පුවත්පතක්’ යනු පුළුල් ප්‍රමාණයෙන් මුද්‍රිත, වැඩි අළෙවියක් ඇති ඕනෑම පුවත්පතක් කියායි. ඒත් ඒ අදහස වැරදි බව මට අවබෝධ වූයේ සිළුමිණ කර්තෘ මණ්ඩලයට එක් වූ පසුවයි. 1965 වසරේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ හදිසි අභාවයෙන් පසු ඇස්. සුබසිංහ මහතා එම කර්තෘ පදවියට පත් කරනු ලැබීය. ඔහු ඒ වන විට සේවය කළේ ‘ජනතා පත්‍රයේය. ජාතික පත්තරයක් කෙබඳු විය යුතුද යන්න මගේ සිතට තදින් කාවැදුණේ ඒ අවස්ථාවේ දීය. ජාතික පත්තරයක් යනු කුල, වර්ණ, වර්ග, ගෝත්‍ර, ආගම්, පක්ෂ, පාට, ජාති, ආදී සියලු බෙදීම්වලින් තොරව සමස්ත රටක ම ජනතාවට එකසේ සේවය සලසන, සමස්ත ජනතාව‍‍ගේ හඬ නියෝජනය කරන, පුවත්පතක් විය යුතුය; එවැන්නක් කිසිසේත් ම හිමිකරුගේ හෝ පක්ෂයක අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීමට කරන්නක් නොවිය යුතුය. ඒ බව පළ කරන අදහසක් එවකට ලේක්හවුස් අධිපතිව සිටි රංජිත් විජේවර්ධන මහතා සිළුමිණ කතු පදවිය බාර දෙන ගමන් සුබසිංහ මහතා ප්‍රමුඛ අප කර්තෘ මණ්ඩලයට කීවේය. ඒ මෙසේ ය: ‘මාව සතුටු කරන්න වුවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් සතුටු කරන්න. මට කියන්න ඇත්තේ එපමණයි.’ ඒ උපදේශය අප හැමදෙනාගේම සිත් ඇද ගත් උද්යෝග පාඨයක් විය. අප ලේක්හවුසියේ සේවය කළේ ඒ අදහස පෙරදැරි කර ගෙනය. 

ලේක්හවුසිය රජයට පවරා ගැනීම හා පසුව ඇති තත්වය 

එහෙත් 1973 ජුලි 18 වැනිදා ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු එහි පත්තර කලාව අමුතුම තැනකට තල්ලු විය. එතෙක් පැවති පාඨකයන් දැනුවත් කිරීමේ හා සතුටු කිරීමේ පත්‍රකලාව වෙනුවට, දේශපාලකයන්, විශේෂයෙන් ම පාලකයන්ගේ හෙන්චයියන් සතුටු කිරීමේ කලාවක් බවට පත් විය. දේශපාලන පක්ෂවල සටන් (උද්යෝග) පාඨ පුවත්පත්වල සිරස් තල බවට පත් විය. බලයට එන නායකයන්, ඇමතිවරුන් අනුව, බලයට එන පක්ෂය අනුව, ප්‍රධාන කර්තෘවරුන්ගේ පුටු මාරු විය. ඒ අනුව ජනතාව සතුටු කිරීමේ කලාව වෙනුවට ‘ජනතාව මුලා කිරීමේ කලාව’ ආරම්භ විය. 

නිදසුනක් වශයෙන් පේසාල‍ෙන් ‘තෙල්’ මතු වූ පුවත දැක්විය හැකිය. 1973 දී පේසාලේ තෙල් සොයා රුසියානුවන් සමඟ යළි කැණීම් ආරම්භ කරනු ලැබීය. කැණීම් බාරව සිටි රුසියන් ඉංජිනේරුවා සති අන්තයේ නිවාඩුවකට මහනුවර ගොස් සිටියදී එහි සිටි තෙල් සංස්ථා නියෝජිතයා තෙල් හමු වූ බවට පුවතක් කොළඹට දැන්වීය. ‘අපේ මැතිනිනි’ගේ කාලේ අපේ මව්බිමෙන් තෙල් මතු වීම ලේක්හවුසියට අරක් ගෙන සිටි හෙන්චයියලාට 'ඇඟේ මයිල් කෙළින් වෙන' පුවතක් විය. වහාම විශේෂ වාර්තාකරුවකු ලෙස විමලවීර පෙරේරා පේසාලේ වෙත පිටත්කර හරිනු ලැබීය. 'පළමුවෙනි සාම්පලය ගොඩගත් වහාම පින්තූරයි විස්තරෙයි අරන් එන්න' කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතා ඔහුට දුන් උපදේශය විය. 

ඔහු හනික පේසාලේ වෙත ගොස්, ජෑම් බෝතලයකට සාම්පලයක් ද රැගෙන ජයග්‍රාහී විලාසයෙන් ආවේය. එවකට සිළුමිණ කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා මා කාමරයට කැඳෙව්වේ ඒ පුවත සිළුමිණේ මුල් පිටුවේ පළ කරන්නටය. ඒ අවස්ථාවේ කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතාත්, දිනමිණ කර්තෘ පෙරමුණේ තිලක මහතාත් ඔහු සමග සිටියහ. 

"මේක මේ සතියෙ සිළුමිණේ ලීඩ් එකට ගන්න" ප්‍රවෘත්තිය මා අතට දෙමින් ඔහු කීවේ ය. "අවුරුද්දට අපේම තෙල්" එහි සිරස්තලය විය. 

"මේකෙත් ෆෝටෝ එකක් අරන් දාන්න! පරිස්සමෙන්! බිඳින්න එහෙම එපා! මේක වටිනා කෞතුක වස්තුවක්" ජයකොඩි මහතා කීවේය. 

මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 50කටත් වැඩිය. තාමත් ඒ තෙල් ආවේ නැත. මෙවැනි බොරු පුවත් මවමින් ජනතාව රවටන පුවත් පළ කරන්නට ඔවුන් ගත් උත්සාහයන්ට සතිපතාම දායකත්වය දීමට මට සිදුවිය. වසර ගණනාවක් තිස්සේ එය මට මහා මානසික වධයක් විය. 

1977 දී යළිත් ආණ්ඩු මාරුවක් සිදු විය. ලේක්හවුසිය නැවතත් කණපිට පෙරළිණ. සුබසිංහ මහතා යළිත් දිනමිණ මහ පුටුවට ආවේය. එහෙත් පාඨකයන් සතුටු කිරීමේ කලාව ලේක්හවුසියට යළි ආවේ නැත. අපේ පත්‍රකලා ජීවිතය නිසරු ඒකාකාරී ලෙසින් ගලා ගියේය. සුබසිංහ මහතාගේ සුපුරුදු සියුම් උපහාසයට පවා මගේ නො සතුට පහ කළ නොහැකි විය. 

1979 මැද හරියේ දවසක මම අපේ දුක්ගැනවිලි කියන්න සිටි එකම තැනැත්තා සොයා ගියෙමි. ඔහු එවකට ලේක්හවුසියේ බෙදා හැරීමේ කළමනාකාර තනතුර හෙබ වූ රෝලන්ඩ් අබේසිංහ මහතා ය. "අබේසිංහ මහත්තයො, මම ලේක්හවුස් එකෙන් අස්වෙන්නයි ඉන්නෙ. මට නම් මේ විකාර බලබලා තවත් ඉන්න බැහැ." මගේ කතාවෙන් අබේසිංහ මහතා ගල් ගැසී ගියේය. 

"ඔයාට ප්‍රශ්නයක් නැහැ නෙ. ඔයා අකමැති දේවල් දැක්කේ නෑ වගේ, නෑහුනා වගේ ඉන්න. අපට දැන් ඒවා හදන්න බැහැ නෙ." ඔහු මා අස්වසන්නට තැත් කළේය. 

"රංජිත් විජේවර්ධන මහත්තයා හම්බවෙලා මට ප්‍රින්ටර්ස් එකෙන් සඟරාවක් ගහන්න කතා කරලා දෙන්න. දෙවැනි කලාපය ගහන්න ඉස්සෙල්ලා පළමුවෙනි කලාපෙ ගනුදෙනු බේරනව කියලා කියන්න." මම ඔහුට කීවෙමි. 

පහුවදා උදෙන්ම අබේසිංහ මහතා මා සොයා ආවේය. "ඔයාගේ වැඩේ හරි! මං ඊයෙම ගියා මිස්ට විජේවර්ධන හම්බවෙන්න. එයා කැමති වුණා." අබේසිංහ මහතා කීවේය. සුබසිංහ මහතා පුදුමයෙන් මා දෙස බැලීය. ඔහුට ඒ ගැන මා කලින් කියා තිබුණේ නැත. එබැවින් මම ඔහුට කලින්දා වූ සිද්ධිය කෙටියෙන් කීවෙමි. 

“ඔයා යනවා නම් මං විතරක් මෙහෙ ඉන්න එකේ තේරුමක් නැහැ. මමත් එන්නම්. මට පඩිත් එපා නිකං වැඩ කරන්නම්!” සුබසිංහ මහතා කීවේය. ඒ අවස්ථාවේ දී අබේසිංහ මහතා කීවේ, “සුබෙත් එනව නම් මමත් අස්වෙලා එන්නම්! එහෙම නම් අපි මිස්ට විජේවර්ධන කැමති කරවගෙන අලුතෙන් පත්තරයක් ම පටන් ගනිමු.” කියාය. 

විජය ප්‍රකාශන ආයතනයේ ආරම්භය 

ඒ අනුව මම 1979 නොවැම්බර අවසානයේ දී සිළුමිණ පුවත්පතේ රාජකාරියෙන් ඉල්ලා අස්වීම බාර දුනිමි. ඇස්. සුබසිංහ මහතාත්, රෝලන්ඩ් අබේසිංහ මහතාත්, ඔහු සමග බෙදාහැරීම් අංශයේ සහකාර කළමනාකරු සරත් ටෙනිසන් මහතාත්, ටී. පී. සේනානායක හා ධර්මදාස ෆොන්සේකා යන අළෙවි ප්‍රවර්ධන මහත්වරුත්, විශ්‍රාම ගෙන අප සමග එක් වූහ. 1980 ජනවාරි පළමු වැනිදා හුණුපිටිය හරස් හරස් පාරේ අංක 8 දරණ තැන පරණ තේ ස්ටෝරු ගොඩනැඟිල්ලක එක මේසයක් වටා හිඳගෙන පළමුවන රැස්වීම පැවැත්වීමු. එදා නාලන්ද විදුහලේ ආචාර්යවරයකු වූ අතුල මංචනායක ද එම රැස්වීමට අප සමග සහභාගි විය. ඔහු පසුව රජයේ සේවයෙන් ඉවත්ව අප හා එක් විය. (මේ පිරිස අතරින් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය.) 

ඇස්. සුබසිංහ මහතා ප්‍රධාන කර්තෘ තනතුරේ තබාගෙන අපි විජය පුවත්පත් ආයතනය ආරම්භ කෙළෙමු. ලේක්හවුසියේ පත්‍ර බෙදා හැරීමේ ප්‍රධාන කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ මහතා ඉන් ඉවත් වී අපේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත්, සරත් ටෙනිසන් මහතා අළෙවි කළමනාකරු ලෙසත් එක් වීම අපට ලොකු ශක්තියක් විය. රංජිත් විජේවර්ධන මහතා, සිය හැකි පමණින් අපට හැම පහසුකමක් දුන්නේය. කලින් කිව් පරිදි සුබසිංහ මහතාත්, අබේසිංහ මහතාත්, මාස කීපයක් පඩි නොගෙන වැඩ කළහ. 

අපට සහය දෙන්නට ලේක්හවුසියෙන් ‍‍බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූහ. ඒ අතර ඩේලිනිවුස්, දිනමිණ හා සිළුමිණ පත්‍රවල ප්‍රධාන කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතාද සිබිල් වෙත්තසිංහ මැතිනිය ද, ලක්ෂ්මන් ජයවර්ධන මහතා ද වූහ. ‘සරසවිය’ පත්‍රයේ කලා සංස්කාරක නිමල් පෙරේරා ‘සිරිකත’ ඡායාරූප අංශය බාර ගත්තේය. ඡායාරූප ශිල්පී බන්දු ඇස්. කොඩිකාර ඔහුට සහය විය. දයා රාජපක්ෂ, පී. වික්‍රමනායක යන ප්‍රධාන චිත්‍රකතා ශිල්පීන් දෙදෙනා ‘සතුට’ පත්‍රය සමග වැඩ කිරීමට එක් විය. ‘විජය’ පත්‍රයේ සංස්කාරක කිත්සිරි සමරනායකගේ හදිසි අභාවයත් සමග දෙල්තොට චන්ද්‍රපාල ඒ සඳහා එක්කර ගැනීමට අපට සිදු විය. 

1985 දිනක ලක්ෂ්මන් ජයවර්ධන සිරි රණසිංහ ගැන ආරංචියක් ගෙනාවේය. ඒ ඔහු සිළුමිණ පත්‍රයේ සේවයට සමුදෙන්න යන බවය. එදා සවස ම ඔහුගේ නිවසට ගොස් පසුවදාම ඇවිත් සුබසිංහ මහතා හමුවන ලෙස කියන්නැයි ලක්ෂ්මන්ට කීවෙමි. එහෙත් සුබසිංහ මහතාට ඒ බව නො කීවෙමි. එදා සවස පැවති අනෝරා වැස්ස අස්සේ ලක්ෂ්මන් පණිවිඩය ගෙන ගියේය. පසුවදා සිරි රණසිංහ දුටු සුබසිංහ මහතා පුදුමයට පත් විය. 1970 දී දිනමිණ කර්තෘ වශයෙන් සේවය කරද්දී එහි සේවය කළ තරුණ උප කර්තෘවරුන් අතරින් ඔහුගේ සිත්ගත් ගෝලයකු වූ සිරි රණසිංහගේ පැමිණී ගැන ඔහු අතිශයින් සතුටු විය. ආගිය තොරතුරු කතා බස් කළ පසු සිරි එතැනින් යන්නට නැඟිට්ටේය. 

“කොහෙ යන්නද ඔන්න ඔහොම වාඩි වෙන්න. තව ටිකක් වෙලා ඉඳලා ඔය අතේ තියෙන බත් එක කාලා හවස් වෙලා යන්න බැරියැ. හෙට ඉඳලා එන්න මෙහෙ වැඩ කරන්න. ලේක්හවුස් එකට ඉල්ලා අස්වීම යවන්න” යයි සුබසිංහ මහතා කීය. 

ටයිම්ස් ආයතනයෙන් එල්ලවුණු අභියෝගය 

යටත් විජිත යුගයේ ලේක්හවුස් ආයතනය ආරම්භ කළ දා පටන් ඩී. ආර්. විජේවර්ධන මහතාට ලොකු අභියෝගයක් වූයේ ටයිම්ස් පුවත්පත් ආයතනයයි. එය ආරම්භයේ දී සිටම සුදු ජාතික ව්‍යාපාරිකයන් අතේ පැවති ආයතනයක් විය. විශේෂයෙන් ‘සිලෝන් ඩේලිනිවුස්’ පත්‍රයේ ඉදිරිගමනට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රය අභියෝගයක් විය. දේශමාමක ඩී. ආර්. විජේවර්ධන මහතාට අවශ්‍ය වූයේ එය මිලදී ගෙන ප්‍රබල දේශීය පුවත්පත් ආයතනයක් පිහිටුවීමටය. එය ඔහුගේ අභිලාෂය විය. එහෙත් එය ඉටු නොවීය. එයින් නොනැවතුණු ඔහු ලේක්හවුස් ආයතනය තනිවම ස්වාධීන පුවත්පත් ආයතනයක් බවට පත් කළේය. දුරදක්නා නුවණින් යුතු ඩී. ආර්. විජේවර්ධන මහතා එදා සිතූ ආකාරයට ම ඔහුගේ අභාවයෙන් පසු කලෙක ටයිම්ස් ආයතනයෙන් එල්ලවූ අභියෝගය තවත් ප්‍රබල විය. 


සිරි රණසිංහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග.

ඩී. ආර්. විජේවර්ධන මහතා‍, විශේෂයෙන් ඉන්දියාවේ පුවත්පතක සේවය කළ ඩී. බී. ධනපාල මහතා ගෙන්වා ගත්තේ ඔහුගේ දක්ෂතා වටහා ගැනීමේ හේතුවෙනි. ඒ අනුව මෙහි පැමිණ ‘ඩේලිනිවුස්’ පුවත්පතේ සේවය කළ ඩී. බී. ධනපාල මහතාගේ නිර්මාණශීලී හැකියාව නිසා ‘ටයිම්ස්’ පත්‍රයට වඩා ඉදිරියෙන් සිටීමට ‘ඩේලිනිවුස්’ පත්‍රයට හැකි විය. එහෙත් ඔහු 1950 ජූනි 13 වැනිදා සිදු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේ අභාවයෙන් පසු වැඩි කලක් ‍ඩේලිනිවුස් පුවත්පතේ රැඳුණේ නැත. ඔහු ලේක්හවුසියෙන් ඉවත්ව ටයිම්ස් ආයතනයට එක්වී 1953 දී ‘ලංකාදීප’ සිංහල පුවත්පත ආරම්භ කළේය. එය ආරම්භ කෙරුණේ සවස පුවත්පතක් හැටියටය. එය උදෑසන පුවත්පතක් වූ ‘දිනමිණ’ට අභියෝගයක් විය. ඒ නිසා ‘ලංකාදීප’යට අභියෝගයක් වන පරිදි ලේක්හවුස් ආයතනයෙන් උදේ පත්තරයක් ලෙස ‘ජනතා’ පත්‍රය පටන් ගත්තා පමණක් නොව එහි සේවයට ‘ලංකාදීප’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයෙන් දක්ෂයන් බඳවා ගැනීමට පවා ලේක්හවුස් ආයතනය කටයුතු කළේය. 

සවස පත්‍රයක් ලෙස ඇරඹුණු ‘ලංකාදීප’ය වැඩි කල් නොගොස් උදෑසන පුවත්පතක් බවට පත් විය. ධනපාල මහතාට අවශ්‍ය වූයේ ‘ලංකාදීප’ය වටා සඟ, වෙද, ගුරු - ගොවි, කම්කරු යන පංච මහා බලවේගයම ඒකරාශී කර‍ ගෙන, ජාතික අවශ්‍යතාවලට උරදෙමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරමාදර්ශී ජාතික පුවත්පතක් ලෙස පළ කරන්නටය. ධනපාල මහතා ලංකාදීපයෙන් බොහෝ අලුත් දේ හඳුන්වා දුන්නේය. තරුණ ‘ඇල්බට් පෙරේරා’ වෙනුවෙන් අරමුදලක් ඇති කොට ඔහු සංගීතය හදාරන්නට ඉන්දියාවට යවා ‘අමරදේව’ බවට පත්කොට ජාතියට දායාද කිරීම එක් නිදසුනකි. එහෙත් එහි ඇති වූ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා ධනපාල මහතාට නිසි ලෙස සිය අරමුණුු කරා යාමට නොහැකි විය. 

රංජිත් විජේවර්ධන මහතා නිසි වියට එළඹ ලේක්හවුස් ආයතනයේ පාලනය භාර ගන්නා විටත් ලේක්හවුස් ආයතනය ලංකාවේ අංක එකේ පුවත්පත් ආයතනය බවට පත්ව තිබුණත්, ‘ලංකාදීප’යේ අභියෝගය තවදුරටත් පැවතියේය. ඒ අතර එහි මතුව ආ වෘත්තීය සමිති වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස ඩී. බී. ධනපාල මහතාට ඉන් ඉවත් වීමට සිදු විය. ඔහු සේපාල ගුණසේන මහතා සමඟ එක්ව තවත් අලුත් පත්තරයක් ආරම්භ කළේය. ඊළඟට ‘දිනමිණ’ට අභියෝගයක් එල්ල වුණේ ‘දවස’ පත්‍රයෙනි. 

ජාතික පුවත්පත්වලට රජයෙන් එල්ල වූ තර්ජනය 

ඒ කිසිවකින් නොසැලී ඉදිරියට ගිය ලේක්හවුසියට ඊළඟට පහර එල්ල වුණේ රජයෙනි. ලේක්හවුස් ආයතනයට පමණක් නොව සියලුම ජාතික පුවත්පත්වලට රජයෙන් තර්ජන එල්ල විය. 1970 බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මුලින් ම ‘දවස’ට සීල් තැබුවාය. ඊළඟට 1973දී ලේක්හවුස් ආයතනයත් ජනතා අයිතියට පත් කරනවා කියමින් මහා භාරකාරයා යටතට පවරා ගත්තාය. රංජිත් විජේවර්ධන මහතාට ලේක්හවුසිය අහිමි වුණේ ඒ අනුවය. 

සිරිමාවන්ගේ පත්තර මෙල්ල කිරීමට එරෙහිව පත්තර නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එජාපය 1977 දී බලයට පැමිණීමෙන් පසු පුවත්පත් ‘නිදහස්’ කළේ නැත. ලේක්හවුසිය තවදුරටත් රජය යටතේ ම තබා ගත්තා පමණක් නොව, එතැනින් නොනැවතී සිරිමාවන් ගිය මග ,අනුව යමින් ‘ලංකාදීප’ පළ කළ ටයිම්ස් පුවත්පත් ආයතනයත් රජයට පවරා ගත්තේය. ඒ අනුව සියලුම ජාතික පුවත්පත් රජයේ හොරණෑ බවට පත් විය. අන්තිමේ දී අලෙවිය අඩු වීමෙන් තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි ව ලංකාදීපය ඇතුළු සියලු ප්‍රකාශන නවතා දමනු ලැබීය. 

1981 දී උපාලි විජේවර්ධන මහතා ‘දිවයින’ පුවත්පත ආරම්භ කිරීමට තීරණය කර ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගත් පසු මුලින් ම කළේ නව පුවත්පත ආරම්භ කිරීමට එක්වන්නැයි සිය ඥාති සොයුරු රංජිත් විජේවර්ධන මහතාට ඇරයුම් කිරීමය. ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ සේ සමීපය. ඔවුන් අතර වයස් පරතරය වූයේ ද සති දෙකක් පමණි. උපාලි විජේවර්ධන එංගලන්තයේ ඉගෙන ගනිද්දී නතරවී සිටියේ ද රංජිත් විජේවර්ධන සමඟ ය. පුවත්පතක් පළ කිරීමේ උපාලිිගේ අරමුණ තමාගේ අරමුණට වඩා වෙනස් බව දන්නා නිසා ඔහු උපාලිගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ඔහුට පත්‍තරය කර ගෙන යාමට අවශ්‍ය සියලු උදවු කරන බවට පොරොන්දු විය. 

“උපාලිත් පත්තරයක් පටන් ගන්නයි යන්නෙ. ඒ නිසා අපේ පත්තරය පමා කරමු. දැනට අපි වාර ප්‍රකාශන කිහිපය විතරක් කරගෙන යමු.” පසුවදා ම රංජිත් විජයවර්ධන මහතා අප සමග කීය. ලේක්හවුසියෙන් ඉවත්ව ආ රෝලන්ඩ් අබේසිංහ මහතාත්, ඇස්. සුබසිංහ මහතාත්, සරත් ටෙනිසන් මහතාත්, මාත් ඒ වන විට විජය ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන සැලසුම් කරමින් සිටියෙමු. ඊට එකඟ වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් අපට තිබුණේ නැත. ඒ සමග අපේ ජාතික පුවත්පත පිළිබඳ සිහිනය බොඳවී ගියේය. 


සිරි රණසිංහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සමග.

උපාලි විජේවර්ධන මහතා 1983 පෙබරවාරි 13 වැනිදා මැලේසියාවේ සිට සිය පුද්ගලික ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා එද්දී හදිසියේ මලක්කා සමුද්‍ර සන්ධියේ දී අතුරුදන් විය. මේ නිසා ඔහුගේ ජනාධිපති වීමේ සිහිනයත් ඒ සමගම අහෝසි වී ගියේය. රංජිත් විජේවර්ධන මහතා අපට පුවත්පතක් සැලසුම් කිරීමට කොළ එළිය දැල්වූවේ උපාලි විජේවර්ධන මහතාගේ අතුරුදන් වීමෙන් වසර තුනකට පසුවය. 

‘ලංකාදීප’ හා ‘ටයිම්ස්’ නම් අත්පත් කර ගැනීම 

ලේක්හවුසිය අහිමි වීමෙන් පසු වසර හතක් පුවත්පත්වලින් ඈත් ව සිටි රංජිත් විජේවර්ධන මහතා යළිත් පුවත්පත් ඇරඹීමට කැමති වීම නිසා අපට ඊළඟට අවශ්‍ය වූයේ ඒ වන විට වසා දමා තිබූ ‘ලංකාදීප’ පත්‍රයේ නම විජේවර්ධන මහතාට ලබා දීමටය. ලංකාදීප පත්‍රයේ අවසාන ප්‍රධාන කර්තෘ හා බලධාරියා වූ එල්මෝ ගුණරත්න මහතා හා ඒ වන විට අප සමඟ එක්ව සිටි ලක්ෂ්මන් ජයවර්ධන මහතාත් ඒ සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළහ. එල්මෝ ගුණරත්න මහතා ඒ පිළිබඳව වගකිවයුතු මහා භාණ්ඩාගාරයේ නිලධරයන් ලක්ෂ්මන්ට හඳුන්වා දුන්නේය. ලංකාදීප පවුලේ ‘රසවාහිනි’ සඟරාවේ නම ඒ වන විට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර අනිත් නම් මිල දී ගත හැකි බව ගුණරත්න මහතා කීවේය. විජේවර්ධන මහතා ඒවා මිලදී ගැනීමට කැමත්ත පළ කළේය. ලක්ෂ්මන් ජයවර්ධන ඒ කටයුතු සම්බන්ධීකරණ කළේය. ඒ පිළිබඳව මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරයා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් උපදෙස් පැතූ විට කියා ඇත්තේ ‘නිසි මිල තක්සේරුවක් කර අලෙවි කළාට වරදක් නෑ’ කියායි. ඒ කටයුත්ත දිගින් දිගට ඇදී ගියේ පාඩු වීම නිසා නවතා දැමූ ආයතනයක නම් තක්සේරු කිරීමේ ගැටලුව නිරාකරණය කරගන්නට බලධාරින් අපොහොසත් වීම නිසාය. 

ඒ ගැන ලක්ෂ්මන් මා සමඟ කී අවස්ථාවේ මා ඔහුගෙන් ඇසුවේ, ‘අපි ඔෆර් එකක් දීලා බලමුද’ කියා ය. මගේ අදහසට කැමති වූ ලක්ෂ්මන් ඊළඟ දවසේ මහා භාණ්ඩාගාරයට ගොස් ඒ ගැන විපරම් කළේය. එසේ නම්, ඒ ගැන සලකා බැලිය හැකි යයි අදාළ අධ්‍යක්ෂවරයා එකඟත්වය පළ කළෙන් ලක්ෂ්මන් ඒ ආරංචිය රැගෙන ආවේ එතෙක් ගත් උත්සාහය සාර්ථක වන බවට ලකුණු පහළ වී ඇති බව කියමිනි. සතිපතා ලංකාදීප, ඉරිදා ලංකාදීප ඇතුළු ඒ නම් සියල්ල සඳහා අපි ලක්ෂ පහක් යෝජනා කළ විට එය ලක්ෂ අටක් කරන ලෙස රංජිත් විජයවර්ධන මහතා කීය. එය තමන් මිලදී ගන්නා නම්වලට වැඩි වටිනාකමක් දෙන්නට දුර දිග බලා කළ ක්‍රියාවක් බව පසුව අපට වැටහුණි. වෙනත් ඉල්ලීම් නොවූ නිසා ඒ මුදලට නම්වල අයිතිය පවරා දෙන්නට මහා භාණ්ඩාගාරය තීරණය කළේය. ඒ අනුව ‘ලංකාදීප’ හා ‘ටයිම්ස්’ ඇතුළු ප්‍රකාශනවල නම් විජය පුවත්පත් ආයතනය සතු විය. 

ඩී. ආර්. විජේවර්ධන මහතාගේ ජන්ම ශත සංවත්සරය දා, එනම් 1986 පෙබරවාරි 23 වැනිදා, ‘ඉරිදා ලංකාදීප’ යළි පාඨකයන් අතට පත් කරන්නට අපට හැකි විය. ඇස්. සුබසිංහ මහතාගේ ප්‍රධාන කර්තෘත්වයෙන් පළ කළ ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයට ලක්ෂ්මන් ජයවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල සහ සිරි රණසිංහ යන පත්‍රකලාවේදීන්ගේ සහයද නොඅඩුව ලැබුණේ ය. මේ අවස්ථාව මා දකින්නේ පියාගේ අභිලාෂයක් ඉටුකරලීමට පුතා සමත් වූ මොහොතක් හැටියටය. 

එය කූටප්ප්‍රාප්ත වූයේ 1987 ජූනි 9 පාවැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත යළි පළ කිරීම ආරම්භ කිරීමත් සමගය. එහි කර්තෘත්වය දැරුවේ විජිත යාපා ය. එයින් පසුව දිනපතා ‘ලංකාදීප’ යළි පළ කිරීම අරඹන්නට තවත් වසර තුනක් බලා සිටින්නට සිදු විය. මුලින් එය 1990 දෙසැම්බර් 5 වැනිදා යළි පළ වූයේ සති මැද පුවත්පතක් ලෙසය. ලංකාදීපය දිනපතා පළ කරන්නට පටන් ගත්තේ 1991 සැප්තැම්බර් 10 දා සිටය. පාඨකයන් සතුටු කිරීමේ පත්‍ර කලාව යළිත් එළඹ ඇති බව ‘ලංකාදීපය’ ඉතා ඉක්මනින් ම වැඩි අලෙවියක් වාර්තා කිරීමෙන් අපට පසක් විය. 

දිනපතා පුවත්පතක් පළ කිරීමට විශාල පිරිස් බලයක් අවශ්‍යය. එය සපයා ගැනීම, විධිමත්ව හසුරුවා ගැනීම, ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සුබසිංහ මහතාට දුන් ආකාරයේ සහයක් සිරි රණසිංහ මහතාට දෙන්නට මට අවස්ථාව ලැබුණේ නැත. ඒ, ඒ වන විට මා විජය ප්‍රකාශන ආයතනය හැර ගොස් සිටි නිසාය. ලේක්හවුසියේ පමණක් නොව වසා දමන ලද ‘දවස’ හා ‘ලංකාදීප’ පත්‍රවල සේවය කළ අපේ මිතුරු පත්‍රකලාවේදීන් පිරිසත්, මා සමග ‘සිළුමිණ’ පත්‍රයේ දිගු කලක් සේවය කළ පී. බී. ඉලංගසිංහ සුමිතුරාත් ඔහුට ශක්තියක් වූ බව මම දනිමි. 

සිරීගේ දෛවය එදා ඔහු ලේක්හවුසියේ සිළුමිණෙහි ම රැ‍ඳ‍ෙව්වා නම් ඔහු විශ්‍රාම ගොස් බොහෝ කල් ය. ලංකාදීපයෙහි මෙතෙක් ගත කළ වසර 33ක කාලය තුළ සිළුමිණෙහි කතුවරුන් 12 දෙනකු මාරු වී ඇත. එහෙත් ‍ඒ වෙනුවට ඔහුගේ දෛවය ඔහුව රංජිත් විජේවර්ධන මහතා ළඟට තල්ලු කිරීමට තරම් කාරුණික වූ නිසා ඔහුට 83 විය පසු කරන මේ මොහොත වන විටත් එම පදවිය හොබවමින් පත්‍රකලා ලෝකයේ ඒ විශිෂ්ට වාර්තාව සපුරාලන්නට හැකි වූ බව මගේ හැඟීමයි. 

තනිවම ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටිමින්, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ මල් ඵල ගන්වා ගෙන, වසර 33ක් තිස්සේ ලංකාදීපය පවත්වා ගෙන යාම සිරිගේ අසිරියට තවත් හොඳ නිදසුනකි; ඒ වෙනුවෙන් ඇගයුම් උළෙලක් සංවිධානය කිරීම ගැන ‘සිරි රණසිංහ මිත්‍ර සමාජය’ටද අපගේ තුති කුසුම් පිරිනැමේ. මේ අවස්ථාව දකින්නට සුබසිංහ මහතා නොසිටීම ශෝකයට කරුණකි. 

“සිරි රණසිංහ සහෘදයාණනි, ඩී. බී. ධනපාල හා ඇස්. සුබසිංහ යන පුරෝගාමී ප්‍රධාන කතුවරුන් දෙපළගේත්, අපේ පාඨකයන්ගේත්, මගේත්, ජාතික පුවත්පතක් පිළිබඳ සිහිනය ‘ලංකාදීප’ය තුළින් සැබෑ කර දීම ගැන ඔබට ප්‍රණාමය පුද කරන්නට, මම මෙය අවස්ථාවක් කර ගනිමි. තවදුරටත් සේවයේ යෙදෙන්නට ඔබට චිරජීවනය පතමි. 

= පර්සි ජයමාන්න

 

Post a Comment

2 Comments

  1. මාරම ඉතිහාස කතාවක් ඒක... ඒත් කණගාඅටුවට කරුණ නම් අද ලංකාදීපයේ තත්ත්වය බොහොම බාල වී තිබීමයි. මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සුලබව දකින්න පුළුවන්..

    ReplyDelete
  2. ඒක ගැන කනගාටු වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    ReplyDelete