HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගජමෑන් මැ‍වූ ‘සුපර්මෑන්’ අපෙන් සමුගෙන ස්වර්ගස්ථ වෙයි!

“ආර්ථික අහේනිය, දේශපාලන විවේචන, එසැණින් පිට කිරීමට මෙකල මෙන් සමාජ මාධ්‍ය නොතිබූ ඒ යුගයේ ජනතාව වෙනුවෙන් එක් කුඩා මිනිසකු නොබියව ඒ කාර්යය සියතට ගත්තේය. විවේචනයට වඩා උපහාසය සියදහස් ගුණයකින් ප්‍රබල බව ඔහු සියලු බලවතුන්ට ඔප්පු කර පෙන්වීය. 

“කසීසළුවලින් වසාගත් පුහුමානයෙන් ඔද්දල්ව සිටි පැළැන්තිය දෙකේ කොළයට ඇද දැමීමට සේකරගේ කවිවලට නොදෙවැනිව, ඔහුගේ පින්සල් පහර සමත් විය. හැත්තෑව, අසූව, අනූව දසකවල මහල්ලාගේ සිට කොලුගැටයා දක්වා සියලු දෙනා රටේ නායකයා ගේ නම තරමට ම දන්නා ගජමෑන් චරිතය බිහි වූයේ ඔහු අතිනි. ඒ පසුගිය 17 වැනි දා අප අතරින් සමුගත් කැමිලස් පෙරේරා ය.” නව පරපුරේ තවත් නිර්මාණශීලී කාටූන් ශිල්පියකු වූ හසන්ත විජේනායක සිය ලේඛන කුසලතා දක්වමින් ‘සතිඅග අරුණ’ පත්‍රයට(2023 දෙසැම්බර් 24 ) කැමිලස් පෙරේරා අගයමින් ලියූ ලිපිය ආරම්භ කර තිබුණේ එසේ ය. මගේ සිත් තදින් ඇදගත් නිසා, ඔහුට කෘතවේදී වෙමින්, හසන්තගේ ඒ ලිපියෙන් කොටස් කීපයක් මෙහි බහා ලන්නට අදහස් කෙළෙමි. සම්පුර්ණ ලිපිය අවශ්‍ය කෙනෙකුට අද ‘සතිඅග අරුණ’ ඉරිදා පුවත්පතින් කියවිය හැකිය. 

හසන්තගේ ඒ ලිපියේ අඩංගු නොවූ, කැමිලස් පවා නොදන්නා කරුණු කීපයක් මෙම සටහනෙන් හෙළිදරවු කරන්නත්, එසේ ම ඒ ලිපියෙහි අඩංගු නිවරදි නොවූ තොරතුරු කීපයක් නිවැරදි කරන්නටත් මම අදහස් කරමි. 

ගජමෑන් මැවූ සුපර්මෑන් කැමිලස් පෙරේරා

කැමිලස් පෙරේරා හෙවත් ‘මැක්ස්වෙල්’ (ලේක්හවුසියේ ගිණුම් අංශය දන්නා පරිදි ඔහු ගෙවීම් සඳහා චෙක්පත් ලබා ගත්තේ ඔහුගේ මල්ලී වූ මැක්ස්වෙල් පෙරේරා නමිනි.) මට මුලින් ම හමුවූයේ හැටේ දසකයේ අගභාගයේ තරම මා ‘සරසවිය’ පත්‍රයේ නිදහස් ලේඛකයකු වශයෙන් කටයුතු කරන කාලයේදී ය. ඒ මුල් කාලයේ ‘සරසවිය’ පත්‍රය සියලු කලා හා සාහිත්‍ය කටයුතුවලට වෙන්වූවකි. ඔහු කළ මුල්ම හාස්‍යෝත්පාදක නිර්මාණය ලෙස පළවූයේ අන්දරේගේ කවි දෙකකට කළ විකට චිත්‍ර පෙළකි. ඒ 1964 අගදීය. එය ද පළ වූයේ උත්සාහයන් ගණනාවකට පසුවය. එහෙත් එයින් ඔහු බලාපොරොත්තු වූ අවස්ථාව උදා වූයේ නැත. ඒ සඳහා තවත් වසර එක හමාරක් බලා සිටීමට ඔහුට සිදු විය.‍ 

කැමිලස් උපන්නේ 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ දීය. 2023 දෙසැම්බර් 17 වැනිදා ඔහු මිය යන විට 84 හැවිරිදි වියේ පසු විය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මිගම‍ුවේ සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි. ඉන්පසු මාරිස්ටෙලා හා ශාන්ත මරියා විදුහල්වලින් ද අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් වියේ සිට ම ඔහු විකට චිත්‍ර අඳින්නට දක්ෂයෙකි. මුලින් ම ඔහු තමාට ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් පමණක් නොව විදුහල්පති තුමාවද විකට චිත්‍රවලට නැඟුවේය. ඒවාට ඔවුන් උරණ වූයේ නැත. ඒවායේ ඇති හාස්‍ය රසයෙන් කුල්මත් වූ ඔවුහූ ඔහු දිරිමත් කළහ. කැමිලස්ට අවශ්‍ය වූයේ එවකට ජනප්‍රිය දේශපාලන විකට චිත්‍රශිල්පියකුව සිටි ඕබ්‍රි කොලට් මෙන් වන්නටය. ඔහු ඒ අනුව යමින් විකට චිත්‍ර කිපයක් ඇන්දේය. ඒවාත් අරන් ඔහු කෑම පැයේ ගිනි ගහන අව්වේ පයින් ම ලේක්හවුසියට ගියේය. 

ඔහු ඒ වන විට සේවය කළේ කොළඹ කච්චේරියේ ලිපිකරුවකු හැටියටය. ඔහුට අවශ්‍ය වුයේ කාටූන් චිත්‍රශිල්පියකු වීමටය. ඔහු ගෙන ගිය සන්නිදර්ශන බලා සතුට පළ කළත් ඔහුට පිළිගැනීමක් ලැබුණේ නැත. සමහර විට තවත් කොලට් කෙනෙක් අවශ්‍ය නැතැයි කර්තෘවරුන් සිතුවා වන්නට පුළුවන. එහෙත් ඔහුට එහිදී මුණගැහුණු ඔහුගේ මිත්‍ර කැමරාශිල්පියෙක් ඔහුව කැන්ටිමට කැටුව ගොස් සංග්‍රහයක් ද කර පොඩි උපදෙසක් දුන්නේය. “වෙන පත්තරයකට ගිහින් නමක් හදාගෙන මෙ‍හාට එන්න! එතකොටයි මෙහෙ පිළිගැනීමක් ලැබෙන්නෙ.” ඔහු කීය. “කොලට් ආවෙත් ටයිම්ස් පත්‍රයෙන්. රෝයල් එකේ ගුරුවරයෙක් හැටියට වැඩ කරද්දියි කාටූන් ඇන්දෙ” ඔහු වැඩිදුරටත් කීවේ ය. 

ඒ නිසා කැමිලස් විකට චිත්‍ර කීපයක් රැගෙන ‘දවස’ට ගොස් නියෝජ්‍ය කර්තෘ ඩේවිඩ් කරුණාරත්න හමු විය. 1966 ජනවාරි‍‍යේ ‘තෙපානිස්’ නම් කාටූනය ඒ අනුව ‘දවස’ පත්‍රයේ පළ විය. ඊට ගෙවීමක් ලැබුණේ නැත. ඒත් ඔහු දිගටම කාටූන සැපයීය. 

ඔය අතරතුර රතුකුරුස සංගමයේ උන් මිත්‍රයෙක් ඔහුව ලේක්හවුසියේ ජනතා කර්තෘ මණ්ඩලයේ සුමනා සපරමාදු මෙණෙවිය වෙත යොමු කරවීය. (හසන්තගේ ලිපියේ සඳහන් වූ පරිදි සුමනා සපරමාදු ‘සරසවිය’ කතුවරිය නොවේ. ඇය ඒ වන විට සේවය කළේ ‘ජනතා’ පත්‍රයේ විශේෂාංග සංස්කාරක වරියක් ලෙසයි.) කවදත් නව නිර්මාණ අගයන ඇය, ඔහුව එවකට ‘සරසවිය’ කර්තෘ විමලසිරි පෙරේරා වෙත කැටුව ගියා ය. කැමිලස් ඒ වතාවේ ගියේ හරි තැනටය. ‘ඩී. පද්මාවතී’ හෙවත් ‘දැක්කොත් පද්මාවතී’ කාටුනය ‘සරසවිය’ පත්‍රයේ පළ වූයේ අනුව ය. 

‘සරසවිය’ට පමණක් නොව, ‘සිළුමිණ’ කර්තෘ ඇස්. සුබසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ‘සිළුමිණ’ට ‘සිරිබිරිස්’ කාටූනයත්, ජනතා කර්තෘ ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ඉල්ලීම පරිදි ‘ජනතා’වට ‘දොන් සේතං’ කාටූනයත් අඳින්නට අවස්ථාව සැලසුණේය. ඊට මග පාදා දුන්නේ ද සුමනා සපරමාදු මෙණෙවියයි. ඔහු සිළුමිණට ‘සිරිබිරිස්‘ කාටූනය අඳින විට මා සිටියේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ය. එය පළ කිරීමේ වගකීම පැවරුණේ මට ය. ඒ නිසා අප දෙදෙනා අතර විශේෂ බැඳීමක් ඇති විය. වෙනත් පත්‍රයකට කාටූනයක් ගෙනාවත් ඔහු ලේක්හවුසියට ආවොත් මා හමුවීම පුරුද්දක් කර ගත්තේ ය. 

කැමිලස් ඉදිරිපත් කළ කාටූන් චරිත එක මිටට.

එක දවසක් ඔහු කලබලෙන් මා සොයා ආවේ ය. “මං කසාද බැන්දා. උත්සවය ගත්තේ මීගමුවෙ. ඊයෙ තමයි, නෝනත් එක්ක කොළඹ ආවෙ. එයාගෙ නෑදැ ගෙදරක ඉන්නෙ. මං අපේ කර්තෘ මහත්තුරුන්ට හෝටලයක පාටියක් දාන්න කල්පනා කළා. ඒත් ‍ගෙදර කට්ටිය කියන්නෙ ගෙදරට ගෙනල්ලා ‍හොඳ සංග්‍රහයක් කරමු කියලා. ඉතින් ඒ අය උදේ ඉඳන් ඒකට ලෑස්තිවෙනවා. මං කර්තෘ මහත්තුරුන්ට ආරාධනය කරන්නයි, ආවේ. වැඩේ හරි ගියේ නැහැ. මට දැන් නෝනගෙයි, ගෙදර අයගෙයි, බලාපොරොත්තු කඩ කරන්න බැහැ. කවුරුත් එන්නෙ නැහැ කියලා දැන් නවත්තන්න විදියක් නෑ. කන්තෝරුවෙන් කවුරුන් හරි එක්කන් එන්න, රෑ කෑමට. වරද්දන්න එපා!” කැමිලස් දිගට ම කියා ගෙන ගියේය. 

“හරි මං ඉලංගසිංහ මහත්තයත් එක්ක කථා කරලා කවුරු හරි එක්ක එන්නම්” කියා ඔහු පිටත් කර හැරිය මම ඒ ගැන, මා සමග සිළුමිණේ සිටි අනික් උප කර්තෘවරයා වූ පී. බී. ඉලංගසිංහ සොයා ගොස් සිදුවී ඇති දේ ගැන කීවෙමි. 

“අපි එහෙනම් වැඩ ටික ඉක්මනට ඉවර කරලා යමු. ලේක්හවුස් එකෙන් නෙමෙයි, අපේ ගෙදර ඉන්න නවරත්නත්, අනිත් ගෙදර ඉන්න කේ.ඩී.කේත්, එක්ක ගියෑකි. එහෙනම් දැන්ම යමු” පී. බී. කීය. අපි නවාතැනට ගොස් නවරත්නගේ කාරයෙන් කැමිලස් සිටි වැල්ලවත්තේ නිවස වෙත ගියෙමු. අප සමග අල්ලපු ගෙදර පදිංචිව සිටි අප දෙදෙනාගේම පාසල් මිතුරා කේ.ඩී.කේ. ධර්මවර්ධනත්, ඔහු හමුවීමට එහි ඇවිත් සිටි බණ්ඩාර කේ. විජයතුංගත් ගමනට එක් වූහ. කැමිලස් අපගේ පැමිණීම ගැන මුව නොසෑහෙන්න ස්තුති කරමින් අපව පිළිගත්තේ ය. එපමණක් නොව අපට මධුවිත සමග ඉතා ප්‍රණීත රාත්‍රි ‍භෝජනයකින් සංග්‍රහ කළේ ය. එදා අප නිවෙස් බලා ගියේ බොහෝ වේලාවක් ගත කිරීමෙන් පසුවය. අවුරුදු 30 කට පැවති හමුවකදීත් කැමිලස් ඒ සිද්ධිය සිහිපත් කොට සිනාසුණා මට මතක ය. 

කැමිලස්ගේ වැඩ අනික් විකට චිත්‍රශිල්පීන්ට වඩා වෙනස් ය. ඔහු ‘ජනතා’ පත්‍රයට දිනපතා ඇන්ද ‘දොන් සේතං’ කාටූනයෙන් පවුලක් ම පාඨකයන්ට හඳුන්වා දුන්නේය. ඒ දොන් සේතංගේ බිරිඳ සිමෝනා, දුව මෙරායා, ඇගේ පෙම්වතා ගොඩ්ඩිං අයියා, මෙරායාගේ මල්ලී ලපයා යන අයයි. ඒ අත් දැකීම අප වෙනත් කිසිම කාටූනයකින් නොලද එකකි. 

‘ජනතා’ව සවස පත්‍රයක් ලෙස නිකුත් වූ නිසා එහි අලෙවි වූ සංඛ්‍යාවට වඩා ‘දොන් සේතං’ගේ පාඨක සංඛ්‍යාව දසදහස් ගුණයකින් වැඩි විය. පත්‍රය මිල දී ගත් අයගෙන් ඉල්ලා ගෙන ‘දොන් සේතං’ කාටූනය නොකියවූ අයකු කොළඹ කන්තෝරුවලවත් දුම්රිය මගීන් අතරත් සිටියේ නැති තරම් ය. ඔවුහූ ඒ කාටූනය රස වින්දා පමණක් නොව ඒ චරිත තමන් අවට පණ පිටින් හැසිරෙන අය බවට පත් කර ගත්හ. ඔවුහූ එතැනින් නොනැවතී අවට සමාජයේ තමන් දන්නා හඳුනන අයට ඒ නම් ආරූඪ කරමින් රසය තවත් ඉදිරියට ගෙන ගියහ. ඒ අනුව කැමිලස් කාටූන් ඔස්සේ හඳුන්වා දුන් චරිත රාශියකි. 

කැමිලස්ගේ චරිත අතර පළාතේ මහජන නියෝජිතයාත් සිටියේය. ඔහු ‘මගෝඩිස් තුමා’ විය. කපටිකම, රැවටිල්ල, ප්‍රයෝගකාරී බව හඳුන්වන වදනක් වූ ‘මගඩිය’ ඇසුරෙන් ඔහු ඒ වදන තනා ගත්තේ ය. කැමිලස් භාෂා විශාරදයකු නොවූවත් අද ඔහු දායාද කළ ඒ වචනය සමාජය රවටන ඕනෑම අයකුගේ චර්යාව හඳුන්වන්නට බොහෝ අවස්ථාවල යොදා ගන්නා බව පෙනේ. 

“.... හැ‍ටේ දශකයේ නිර්මාණ දිවිය අරඹන කැමිලස් පෙ‍රේරාට හැබෑ ජීවිතයේ සිය දරුවන් දෙදෙනාට අමතරව පුවත්පත් ජීවිතය තුළ සිටින දරුවන් ගණන දුසිමකටත් වඩා වැඩිය. චිත්‍රකතා රසිකයා විකට සාගරයක ගිල්වූ තෙපානිස්, දොන් සේතං, සිරිබිරිස්, දක්කොත් පද්මාවතී, මිස්ටර් ලව්රිස්, සෙල්ලං සේන, ටික්කා, ගජමෑන්, මගෝඩිස්තුමා, සිමෝනා, මෙරායා, ගොඩ්ඩිං අයියා, ලපයා ආදීන් බොහෝ දෙනාගේ පවුලේ චරිත බවට පත්වීමට වැඩි කල් ගත වූයේ නැත. කැමිලස්ගේ නිර්මාණ දිවිය මුහුකුරා යද්දී ස්වීටි, ඩොල්පිනා, බුරියා, චූටි වැනි චරිත කාටූන් පවුලේ සාමාජිකත්වය ලබා ගත්තෝය. ගජමෑන්ලාගේ පද්මාවතීලාගේ නමේ අගට පෙරේරා‍ ලෙස සටහන් නොවුණද කැමිලස් පෙරේ‍රා පේටන්ට් සහතික මගින් ඔවුන් සියලුදෙනාට ම නීත්‍යානුකූල වටිනාකම හා යුතුකම ලබාදී අවසන්ය.” කියා හසන්ත සිය ලිිපියෙහි සඳහන් කරයි. 

කැමිලස්ගේ මේ නම් තැබීම, විස්මයජනකය. ඔහු මේ නම් සමාජයෙන් උපුටා ගත් ඒවා නොව තමාගේ ම මනසින් නිර්මාණය කළ ඒවාය. එහෙත් ඔහුගේ පාඨක සමාජය ඒ නම් තමන් අවට අයට ආරූඪ කර කාටුන්වලින් විඳි රසය තවත් එහාට ගෙන යාමට සමත් විය. ලේක්හවුස් කර්තෘ මණ්ඩලය ද ඉන් මිදුණේ නැත. ඔවුන් අතර ද ‘මෙරායා’ නමින් හැඳින්වූ කාන්තාවක් සිටියා මට මතකය. සිසිරකුමාර මාණික්කආරච්චි ඇය වෙනුවෙන් කියූ හිටිවන කවියක් කර්තෘමණ්ඩලිකයන්ගේ මුවඟ නිතර රැව් දෙනු අසන්නට ලැබුණේ ය. 

සමාජයේ උගත් නූගත් හැමදෙනා අතර ම කැමිලස් එක්සේ ජනප්‍රිය විය. කැමිලස්ගේ මේ ජනප්‍රියත්වයේ රහස කුමක් ද? ඔහු හාස්‍යය මවන්නට යොදා ගත්තේ එදිනෙදා හමුවන චරිත ය; එදිනෙදා හමුවන කාලීන ප්‍රශ්න ය. කැමිලස් මතු කළේ සාමාන්‍ය ජනයාගේ සිත්තුළ තෙරපෙන හැඟීම් ය. ඒවා මුදා හරිමින් හාස්‍යයක් මතු කළ ඔහු පාඨකයන්ට ඒ මගින් සහනයක් සලසා දුන්නේ ය. කැමිලස් ඔහුගේ කාටුන් චරිත තුළින් පාඨකයන්ට ජීවත්වීමේ රසය බෙදා දුන්නේ ය. 

කැමිලස්ගේ කාටූන් ජනප්‍රිය වීමට එක් හේතුවක් ලෙස හසන්ත දක්වන්නේ ඒ කාටූන් චරිත හැසිරවූ පරිසරය පාඨකයාට හුරුපුරුදු තැන් වීමයි. හසන්ත සිය ලිපියෙන් ඒ බව කියා ඇත්තේ මෙසේ ය: 

“කැමිලස් පෙරේරාගේ කාටූන්වලට සමුපකාර කඩේ, දුම්රිය පොළ, විලාසිතා තරග, චිත්‍රපට ශාලා, ක්‍රීඩා උත්සව, අවුරුදු උත්සව, බස් හෝල්ට් වැනි පොදු ජනයා බහුලව ගැවසෙන තැන් පසුබිම් විය. එය ඔහුගේ නිර්මාණ ප්‍රබලව පාඨකයාට සමීප වන්නට හේතුවක් වන්නට ඇත.” හසන්ත කියයි. 


කැමිලස්ගේ මේ කාටූන් චරිත සමාජය තදින් වැළඳ ගත් ඒවාය.

“හැටේ දසකයේ අග භාගයේ රූපවාහිනියවත් නොදුටු මිනිසුන්ගේ සිට 21 වන සියවසේ ස්මාර්ට් තරුණ ප්‍රජාව දක්වා ජනාකර්ෂණය දිනා ගත් එකම කාටූන් ශිල්පියා කැමිලස් පෙරේරා බව කීම අතිශයෝක්තියක් නොවේ. ඒ පාලම ගොඩ නගන්නේ ගජමෑන් ය. එදා 1970 වළ කජු ගැසූ කොලුගැටයාගේ සිට 2023 ඔන්ලයින් පරිගණක ක්‍රීඩාකරන බෝයිස්ලා දක්වා දශක හතරක පරපුරක් ගජමෑන්‍ගේ මිත්‍ර සමාගමට අයත් වනු දැකීමට තරම් කැමිලස් වාසනාවන්ත විය. ගජමෑන් තවදුරටත් වයසට ගියේ නැත. ශ්‍රී ලංකාවේ මුල් ම ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයට ගජමෑන් තෝරා ගැනෙන්නේ ඒ නිසාය. ජෝර්ජ් ප්‍රොස්පර්ගේ ‘ටිංටිං’, රෙනේ ගොසිනිගේ ‘ඇස්ටර්රික්ස්’ හෙවත් ගෝල් දේශයේ වැසියෝ මෙන් කැමිලස්ගේ ගජමෑන් ද සියලු තාක්ෂණික යුග පසුකරමින් කඩදාසියේ සිට පරිගණක ත්‍රිමාන සජීවීකරණය දක්වා පැමිණ තිරිහන් වීමට සමත් විය.“ හසන්න වැඩි දුරටත් සඳහන් කර ඇත. 

කැමිලස්ගේ ගජමෑන් මුලින් පළ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය වූ ‘සතුටෙ’හිය. එයින් ‘සතුට’ට විශාල වාසියක් සැලසුණු නමුත් ඒ ගැනවත් නොසලකා, 1973 ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත් පසු එහි ආ නව පාලක පක්ෂය කැමිලස්ට එහි ඇතුළු වීම තහනම් කළේ ය. ඒත් ඒ කැමිලස් කළ වරදක් නිසා නොවේ ය. සතුට කර්තෘ බන්ධුල සමරසිංහ‍ ‍ගේ අදහසක් අනුව ගුණපාල ජයලත් ඇන්ද කාටුනයක් නිසා ය. ‘අවුරුදු කුමාරයාට බින්දුව’ නම් වූ ඒ කාටූනයෙන් කියැවුණේ අවුරුදු කුමාරයා එනතෙක් වළක් කපමින් සිටින මිනිසකුගේ කතාවකි. ඔහු කියන්නේ ඒ අවුරුද්ද ආහාර හිඟකම හා මිල අධික වීම නිසා සුබ එකක් නොවන බවයි. ඒ නිසා මෙවර අවුරුදු කුමාරයා පිළිගෙන වළ ලන්නට වළක් කපන බවයි ඔහු කියන්නේ. ඒ කාටූනය රජය අපහසුවට පත් කරන්නක් යැයි ලේක්හවුසියේ සිටි ආණ්ඩුවේ නියෝජිතයන්ගේ අදහස විය. එය ඔවුන්ගේ උදහසට හේතු විය. ඒ කාටූනය ඇන්දේ කැමිලස් යැයි සිතා, ඒ ගැන වැඩිදුර නො සොයා ඔහුට ලේක්හවුසියට ඇතුළු වීම තහනම් කරනු ලැබීය. 

මම පසුවදා උදෙන් ම සිළුමිණ කර්තෘ විමලසිරි පෙරේරා මහතා සමග ‍ගොස් ඊට වගකිව යුතු කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි හමු වී ඒකට කැමිලස්ට දඬුවම් කිරීම වැරදි බැව් පෙන්නා දුන් නමුත් ඉන් පලක් නොවීය. “ඒක ඇන්දේ කැමිලස් කියලයි, අපි හිතුවෙ, කැමිලස් ප්‍රධාන කාටූන් ශිල්පියා නිසා. ඔහු හිටියත් ඉදිරියේ දී ඔහුත් රජය අසීරුවට පත් කරන ඔවැනි දේ අඳින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔහු නේන එක හොඳයි. මං දැනටමත් ඔහු ගැන සභාපතිතුමාටත් කියලයි, තියෙන්නේ. මට ආපහු ගිහින් තීරණය වෙනස් කරන්න කියන්න බැහැ. මේ වරදට අපි කර්තෘ බන්ධුල සමරසිංහ‍ගෙත් වැඩ තහනම් කළා.” කී ධර්මසිරි ජයකොඩි, “ඒ ගැන ආයිත් කතා කරන්න එපා! “ යැයි තදින් කීවේ ය. අපට පසුබසින්නට සිදු විය. ‍ 

ලේක්හවුසියෙන් ගිය පසු කැමිලස්, චින්තන ජයසේනගේ කර්තෘත්වයෙන් අනුර බණ්ඩාරනායක මහතා පළ කළ ‘අද’ පත්‍රයට දේශපාලන කාටූන් ඇන්දේය. ඒ පත්‍රයේ මුද්‍රණ කටයුත්තට උර දුන්නේ ටයිම්ස් ආයතනය මිලයට ගත් හරිස් හා අර්ජුන හුලුගල්ල සහෝදරයන් ය. ඒ සම්බන්ධය මත චින්තන ජයසේන කළ යෝජනාවක් අනුව ඔවුන් පාලනය කළ මල්ටිපැක්ස් ආයතනයෙන් ‘සිත්තර’ පත්තරය පටන් ගනු ලැබීය. ඒ කටයුත්තට චින්තන හවුල් කර ගත්තේ කැමිලස්වය. ඒ අනුව ගජමෑන් ‘සිත්තර’ට ගියේ ය. ‘සිත්තර’ ‘සතුට’ට ලොකු අභියෝගයක් එල්ල කළේ ය. 

ඉන් ටික කලෙකට පසු මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත් වූ ඔහු ‘කැමිලස් පබ්ලිකේෂන්’ කියා තමාගේ ව්‍යාපාරයක් පටන් ගත්තේ ය. ‘සත්සිරි’ නමින් ආරම්භ කළ ඒ පුවත්පතට ගජමෑන් ද එක් විය. ගජමෑන් කොයි තරම් ජනප්‍රිය වූවා ද කීවොත් වෙන ම විශේෂ කලාප හැටියටත් නිකුත් කරනු ලැබීය. 

කැමිලස්ගේ නිර්මාණ ගැන යූ ටියුබ් හී පළ වූ මේ වීඩියෝවෙන් නරඹන්න! 

කැමිලස් පාවිච්චි කළේ තීන්ත ඔබා ලියන කටු පෑන වෙනුවට ආ, තීන්ත ඇතුළට දමා ලිවිය හැකි, නවීන පන්නයේ රොටරිං පෑනකි. එය ඔහුගේ ප්‍රබලතම අවිය විය. ඉන් එක පෑන් පහරින් පොදු ජනයාගේ දුක්ඛදෝමනස්සයන් තුළින් මතුවන කඳුළු පුපුරුවා හරිමින් ඔවුන් මුව’ගට සිනහවක් ගේන්නට කැමිලස් තරම් සමත් වූ කාටූන් ශිල්පියකු තවත් නැත. අන්තිමේ දී ඒ පෑන් පහර ඔහු කෝටිපතියකු කොට මීගමුවෙන් කොළඹ හතේ පදිංචියටත් ගෙනාවේ ය. ඒ කුරුඳුවත්තට ය. ප්‍රමුඛ බැංකුව පිහිටු වීමට පුරෝගාමී වූ ඔහු එහි අධ්‍යක්ෂ වරයකු වශයෙන් ද කටයුතු කළේ ය. 

කැමිලස්, පත්‍රකලාවේදීන් වූ අපට නම් කිසිදාක අමතක කළ නොහැකි මිත්‍රයෙකි. කොවිඩ් වසංගතය ඇති කළ තත්වය යටතේ අපට ඔහු අවසන් ගෞරව දක්වන්නට අවස්ථාවක් ලැබුණේ ද නැත. මිත්‍රයා! ඔබට සුබ ගමන්! 

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. මම කැමිලස් ගැන බොහොම කරුනු දැනගෙන හිටියට මේ තරම් තොරතුරු දැනගෙන හිටියෙ නැහැ.ස්තුතියි මිත්‍රයා.
    හැම වෙලාවෙම සාමාන්‍ය මිනිසුන් අතරෙ ජනප්‍රිය වෙන දේවල් දේශපාලකයන්ට විශ වෙන බවම මේ කාරිය පොදු මිනිසුන් අතරට ගෙන යාම කොතරම් අසීරු කටයුත්තක්ද කියල අපට පහදල දෙනව.
    ඔහුට සුබ ගමන්!

    ReplyDelete
  2. මොකක් ද කෝවිඩ් කතාව. ඔහු මිය ගියේ පහුගිය සතියේනෙ? අපේ ළමා කාලය සුන්දර කළ මිනිස්සු. ඇත්තෙන්ම ඔහුගේ වියෝව අහපුවම මට ළඟ හිතවතෙම් මිය ගියා වැනි හැඟීමක් දැනුනේ.. සිත්තර, සත්සිරි කොච්චර ආශවෙන් බලපු පත්තරද ! සිංහල අද්දර ගජමැන් විශේෂ කලාපයක් ආවත් මතකයි...

    ReplyDelete