මගේ නස්රුදින් කතා පොත් පෙළේ අලුත් ම කෘතිය පසුගියදා ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙස දොරට වැඩියා. මේ ඒ පොත් පෙළේ පස් වැන්නයි. මේ වන විට නස්රුදින්ගේ කතන්දර පන්සීයකට වැඩිය ඒ පොත්වලින් මා ඔබ වෙත ගෙනාවා. අපේ ‘මල් කැකුළු’ පාඨකයන්ට නස්රුදින් අලුතින් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. වරින් වර ඒ කතා ‘මල් කැකුළු’ ඔස්සේත් ඔබට කීවා. අවුරුදු පනහකට ඉස්සර නස්රුදින් කතාවලට මගේ සිත ඇදිලා ගිය හැටි මා මගේ අලුත් නස්රුදින් කෘතිය වූ ‘නස්රුදින්ගේ අමුතු කතා’ පොතේ පෙරවදනට ඇතුළත් කළා.
මේ නස්රුදින්ගේ කතා මා සිංහල පාඨකයන් වෙත පළමුවරට ගෙන ආවේ මීට අඩ සියවසකට පෙර ‘නවයුගය’ සඟරාවේ විශේෂාංගයක් ලෙසයි. ඒ අවස්ථාවේ මෙවැනි පොත් පෙළක් ලියන්නට මට අවස්ථාව ලැබේ යැයි මම කිසිසේත් නොසිතුවෙමි. ඒ කතා නොසිතූ අයුරින් ජනප්‍රිය වූ අතර ඒවා එක්කොට පොතක් පළ කරන්නැයි පාඨකයන්ගෙන් නොයෙක් විට ඉල්ලීම් ගලා ආවේය. 1977 දී ‘නස්රුදින්’ මුල්වරට පළ වූයේ ඒ අනුවය. එහි නව සංස්කරණයක් ගුණසේන ප්‍රකාශනයක් ලෙස පළ වූයේ 2001 දීය. එතැන් සිට මේ දක්වා ‘නස්රුදින්’, ‘නස්රුදින් සහ නෑදෑයෝ’, ‘නස්රුදින්ගේ අපූරු කතා’, ‘නස්රුදින්ගේ අලුත් කතා’ නමින් පොත් පෙළක් ම පළ විය. මේ ‘නස්රුදින්ගේ අමුතු කතා’ ලෙස පළ වෙන්නේ නස්රුදින් පොත් පෙළේ පස් වැන්නයි.
ලෝකයේ ජනප්‍රිය උපමා කතා අතරින් ‘නස්රුදින්ගේ කතා’වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. අපේ ‘අන්දරේගේ කතා’ මෙන් ‘නස්රුදින්ගේ කතා’ ද පුද්ගල චරිතයක් කේන්ද්‍ර කර ගත් උපමා කතා විශේෂයකි. මේ කතාවලට මුල් වූ නස්රුදින් 13 වන සියවසේ ජීවත්වූ අයෙකි. තුර්කියේ පැරණි වාර්තා අනුව ඔහු මීට වසර 800කට පමණ පෙර තුර්කියේ එවකට රම් නමින් ප්‍රකටව පැවති සුල්තානා රාජධානියේ අගනුවර වූ කොන්යා අසල ඇක්ෂෙහීර්හී වාසය කළ අයෙකි. ඔහුගේ සොහොන ලෙස සැලකෙන ස්මාරකයක් ද සොයා ගෙන ඇති අතර තුර්කි රජයේ අනුග්‍රහයෙන් සෑම වසරකම ජූලි මාසයේ 5 වැනිදාත් 10 වැනිදාත් අතර අන්තර්ජාතික නස්රුදින් උළෙලක්ද පැවැත්වෙයි. එපමණක් නොව යුනෙස්කෝව විසින් 1966-67 වසර ‘අන්තර්ජාතික නස්රුදින් වසර’ ලෙස ද නම් කරනු ලැබීය.
“නස්රුදින්ගේ කතාවක් අසන තැනැත්තෙක් මුලින්ම සිනාසෙයි; ඉන්පසු කල්පනාවට වැටෙයි; අනතුරුව එහි ගැබ් වූ යටි අරුත් හඳුනා ගනියි; එහි ඇති දර්ශනය අවබෝධ කොට ගනියි; එයින් ඔහුගේ නැණැ’ස පෑදෙයි. මේ කතා උගත් නූගත් සෑම වයස් කාණ්ඩයකම අසන්නන්ට ප්‍රිය වී ඇත්තේ ඒ නිසයි.” මහාචාර්ය අයිඩ්‍රියස් ෂා මේ කතා ඉංග්‍රීසි පාඨකයන්ට හඳුන්වා දෙමින් පවසා ඇත.
‘කවුද හරි?’ කියන මේ කතාව ඊට එක් නිදසුනකි. ‘නස්රුදින් නඩුකාරයෙක් වෙලා ඉඳිද්දි අහපු මුල්ම නඩුවෙදි පැමිණිලිකාරයා කොයිතරම් හොඳට තර්ක කළා ද කීවොත් විත්තියෙ පැත්තෙ කතාව අහන්නත් ඉස්සරින්ම ‘මට පේනව තමුසෙ හරි!’ කියල නස්රුදින් කිව්වා.
‘උසාවියේ ලේකම් නස්රුදින්ගෙන් ඉල්ලා හිටියා විත්තියේ පැත්තත් අහල ඉවර වෙනකන් ඉන්න කියල.
ඊළඟට විත්තිකාරයා කොයිතරම් හොඳට කරුණු දැක්වුවද කීවොත් මිනිහ කතා කරල ඉවර වෙන්නත් ඉස්සරින්ම නස්රුදින් කිව්වා: “මට පේනව තමුසෙ හරි!”
‘උසාවියේ ලේකම්ට මේක තවත් බලන් ඉන්න බැරි වුනා. “ස්වාමීනී, ඒ දෙන්නම හරි වෙන්න බෑ නොවැ” කියල කිව්වාම නස්රුදින් කීවේ ආයිත් කීවේ, “මට පේනව තමුසෙ හරි!” කියලයි.’ (‘නස්රුදින්’ මුල් පොත - 73 පිටුව).
‘දොර’ කියන කතාව තව නිදසුනකි. ‘කාලයක් තිබුණා නස්රුදින් දොරක් ඔසවාගෙන ගිය. ඒ කාලේ මිතුරෙක් ඔහුගෙන් ඇහුවා: “මොකද නස්රුදින් දොරක් ඔසවාගෙන යන්නෙ?” ‘නස්රුදින් දුන්නේ මේ විදියෙ උත්තරයක්: “ඒ ආරක්ෂක පියවරක් හැටියට කරන දෙයක්. මගෙ ගෙදරට ඇතුළු වෙන්න තියෙන එකම ක්‍රමය මේ දොරයි. ඒ හින්දයි, මං හැම තිස්සේම මේ දොර මං යන යන තැන අරන් යන්නෙ.” (‘නස්රුදින්ගේ අපූරු කතා’ - 93 පිටුව)
‘මොන පැත්තට ද?’ කියන කතාවත් එවැනි එකක්. ‘දවසක් මිනිහෙක් නස්රුදින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. “මූදෙ නාන්න යනව නං මං හැරිලා ඉන්න ඕනෑ මොන පැත්තට ද?”. “ඔහෙගෙ ඇඳුම් තියෙන පැත්තට” නස්රුදින් ගත් කටට ම උත්තර දුන්නා.’ (නස්රුදින් සහ නැදෑයෝ - 53 පිටුව)
‘තමුන් කොහොමද ඒ වගේ අමාරු වැඩක් කළේ?’ එතැන සිටි අයෙක් ඇසුවා.
‘ඒක හරිම ලේසියි. මං ඉස්සෙල්ලා දිව්වා. ඔවුන් මං පස්සෙන් දිව්වා!’ (නස්රුදින්ගේ අලුත් කතා - 19 පිටුව)
මෙවැනි කතා 500කට වැඩි ගණනක් මේ කතා පොත් පෙළෙන් මා ඔබ වෙත ඉදිරිපත් කර ඇත. වසර 800 කට පෙර මැදපෙරදිග අත්දැකීම් ඒවා තුළින් නිරූපණය වුනත් ඒවායේ එන අදහස් ලොව පුරා ඕනෑම සමාජයකට පහසුවෙන් තමාගේ කර ගත හැකි වීම මේ කතාවල ජනප්‍රියත්වයට හේතුවන්නට ඇත. නස්රුදින් කතා රටවල් සිය ගණන භාෂාවලට පරිවර්තනය වී ඇති අතර චීනයේ දී ඔහු ‘නස්රුදින් අවන්ති’ වූ අතර රුසියාවේ දී ‘බුකාරාවේ නස්රෙදින්’ විය. ඉතාලියේ දී ‘නස්රුදින් ගුයිෆා’ කියාද තුර්කියේ දී ‘එෆෙන්ඩි’ කියාද, යුගෝස්ලාවියාවේදී ‘ගෝහා’ කියාද බොහෝ ස්කැන්ඩිනේවියානු රටවල ‘හෝජා’ කියාද හැඳින්වෙයි. බහුලව භාවිත වන්නේ ‘නස්රුදින් මුල්ලා’ කියාය. මේ අයුරින් නස්රුදින් නාමය විවිධ අයුරින් ඒ ඒ රටවල භාවිත වෙයි. එසේම රටවල් අනුව ඔහුගේ රූපකාය ද විවිධය.
“නස්රුදින්ගේ හැඩ රුව ලොව පුරා විවිධාකාරයෙන් නිර්මාණය කර ඇතත් මගේ කතාවල එන නස්රුදින්ට වෙනස් රූපකායක් දීමේ ගෞරවය එවකට ලේක්හවුස් ආයතනයේ මා සමඟ සේවය කළ මගේ හිතවතුන් දෙපළකට හිමි වෙයි. ඒ අඩ සිය වසකට පෙර, මේ කතා ඉංග්‍රීසී බසින් ලොවට හඳුන්වා දුන් දර්ශන වාදය පිළිබඳ බ්‍රිතාන්‍ය මහාචාර්යවරයකු වූ අයිඩ්‍රියස් ෂා ලියූ පොතක් මට තිළිණ කරමින් මේ කතා මට හඳුන්වා දී ඒවා ලියන්නට මා දිරිමත් කළ, අද අතර නැති, නිමල් පෙරේරා අබේවර්ධන කලණ මිතුරා සහ ඔහුගේ අදහස් අනුව යමින් නස්රුදින්ගේ රූපකාය නිර්මාණය කළ, අද චිත්‍රකතා ලෝකයෙන් ඈත්ව විශ්‍රාම සුවයෙන් පසුවන බන්ධුල හරිශ්චන්ද්‍ර යන දෙදෙනාටය.
මේ අලුත් ම නස්රුදින් කතා පොත වූ ‘නස්රුදින්ගේ අමුතු කතා’ පොත ඇතුළු අනෙක් නස්රුදින් පොත් සියල්ල ම මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රදර්ශන කුටියේ දී ඔබට ලබා ගන්න පුලුවන්. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2023, සැප්තැම්බර 22 සිට ඔක්තෝබර 1 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි. සැප්තැම්බර 24 වැනිදා ආවොත් ගුණසේන ප්‍රදර්ශන කුටියේ දී ඔබට මා හමුවෙන්නත් පුලුවන්.
- පර්සි ජයමාන්න
0 Comments