HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 150කට පෙර පානදුරා වාදය ලබා දුන් ජයග්‍රහණ

අද පාර්ලිමේන්තුවේ දී මහජන නියෝජිතයන් අතර වේවා පාසල් විවාද කණ්ඩායම් අතර හෝ වේවා වාද විවාද පවත්වා ගෙන යාම ඉතා දුෂ්කර කාර්යයකි. අන් මතවලට සවන් දීම, අන් මත ඉවසීම, ස්ව මතය අනෙක් තැනැත්තාට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීම, විශේෂ කුසලතාවක් ඇතිව කළ යුත්තකි. නො එසේ නම් සිදු වන්නේ ප්‍රතිවාදියා කුපිත කිරීමකි. එයින් කෙතරම් ප්‍රශස්ත අදහසක් වුවත් එය අපතේ යාම වැළැක්විය නො හැකි ය. 

පානදුරා වාදය සිදු කළ අන්දම සිත්තරකු දුටු හැටි.

මේ ගැන සිතන්නට දැන් සුදුසු ම කාලය එළඹ තිබේ. ඒ මෙතෙක් පැවති පංච මහා වාදයන් අතරින් විශිෂ්ටතම වාදය ලෙස සැලකෙන පානදුරා වාදය පවත්වා වසර 150ක් පිරීම මේ වසරට යෙදෙන නිසා ඒ ගැන විමසීම කාලෝචිතය. ඒ වාද විවාද කළ යුතු ආකාරය ගැන අපට සලකා බැලිය යුතු තැන් රැසක් එම වාදයට ඇතුළත් වූ නිසාය. බෞද්ධයන් හා ක්‍රිස්තු භක්තියන් අතර පැවති මේ විවාදය, මහත් සංයමයක් හා මහා විනයක් ඇතිව කළ කාර්යයක් ලෙස සැලකේ. ඒ විවාදය ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන්නේ ය. 

පානදුරා වාදය, පැවැත් වුණේ මීට වසර 150 කට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහ 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී ය. විවාදයට ප්‍රධාන වශයෙන් මුල් වූයේ බුදු දහම සහ ක්‍රිස්තියානි ආගම පිළිබඳව එවකට පැවති මතවාද කීපයකි. ඒ දෙපැත්තෙන් තර්ක ඉදිරිපත් කළ දේශකයන් වූයේ බෞද්ධ පාර්ශ්වයෙන් මොහොට්ටි වත්තේ ගුණානන්‍ද හිමියන් සහ කිතුනු පාර්ශ්වයෙන් දාවිත් ද සිල්වා පාදිලිතුමන් ය. “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූ මෙම විවාදය නිසා අපට ලැබුණු ලොකුම සම්පත එවකට ඇමරිකාවේ ජීවත් වූ මහ පඬිවරයකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ලංකාගමනයයි. 

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනය ගැන සොයන්න පත් කළ කමිටුවේ සාමාජික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ඒ පරීක්ෂණය වාර්තා කර ඇති ආකාරය විමසන්නට පුවත් පත් බලද්දී, ඊට වඩා අපූරු පුවතක් ඔහු ඇස ගැටුණි. ඒ පානදුරා වාදය පිළිබඳ පුවතයි. ඒ විස්තර කියැවූ ඔහුට බුදු දහම ගැන පැහැදීමක් ඇති විය. 

පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ රුසියානු ජාතික හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනිය 1880 මැයි මස 16 වන දින ලංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ‍ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටුවනු ලැබීය. ඕල්කට් තුමා ගේ ම මැදිහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණි. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේත් ඕල්කට් තුමා නිස යි. බෞද්ධයන් විවාහ කිරීමට බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම ද එතුමා නිසා සිදු වූවක්. 

“මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්‍ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ‍”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ප්‍රස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ සඳහන් වෙයි. 

මොහොට්ටිවත්තේ ගුණානන‍්‍ද හිමියන් සහ ක්‍රිස්තියානි පාර්ශ්වය අතර සිදු වූ මේ විවාදය කියැවූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්‍ද හිමියන් කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්‍දහිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙත්ද? එම හිමියන් මිසදිටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙත්ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියැවූ කී දෙනෙකු අප අතර වෙත්ද? අද අප පසු කර සිටින්නේ ගුණානන්‍ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 75 කට පෙර පානදුරා වාදය ද ඇතුළත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු ලේඛක ටී. ඇස්. ධර්‍මබන්ධුට‍ත් එය මුද්‍රණය කළ ගුණසේන සමාගමටත් අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් අලුතින් මුද්‍රණය කර ඇත. 

"පානදුරා වාදය" යනු අප දේශයේ ඉතිහාසයේ තවත් එක්‌ සිදුවීමක්‌ පමණක්‌ම නොවේ. එය ඉතිහාසය වෙනස්‌ කිරීමට තුඩුදුන්, සිදුවීමකි. පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ජාතිකයින් අප රට වරින් වර ආක්‍රමණය කිරීමේදී සිංහල ජාතියට හා බුදුදහමට වැදුණේ මරු පහරකි. සිංහල බෞද්ධයා යැයි කීම එකල ලජ්ජාවට කරුණක්‌ වීය. ගසට පොත්ත මෙන් සිංහල ජාතිය හා බැඳුණු බුදු දහමට සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලය තුළ ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. 

එසේම, එකල සමාජයේ සියලු වරප්‍රසාද, බෞද්ධයාට අහිමි වූ යුගයක, දිනෙන් දින බෞද්ධයින් ශක්‌තියෙන්, බලයෙන් හා සම්පත්වලින් දුර්වල කෙරෙමින් පැවැති යුගයක, එම පරිහානි ගමන ආපසු හැරවීමට සමත් වූ කඩ ඉමක්‌ වශයෙන් පානදුරා වාදය අනිවාර්යයෙන්ම හැඳින්විය හැක. බුදු දහමේ දාර්ශනිකත්වය, ගැඹුර හා අගය දේශ, දේශාන්තරවල ප්‍රචලිත කිරීමට මෙය මහත් පිටිවහලක්‌ විණි. 

වර්තමානයේ සිංහල බෞද්ධයන් වන අප යම් ප්‍රමාණයකට හෝ හිස ඔසවාගෙන සිටින්නේ නම්, ඒ අන්කිසිවක්‌ නිසා නොව මෙම පානදුරා වාදයට පින් සිදු වන්නට ය. නමුත්, වර්තමානයේදී මේ වන විට සිංහල බෞද්ධයාට හා මහ සඟරුවනට එරෙහිව රට තුළ දේශපාලන හා ආර්ථික වශයෙන් අපේම කළු සුද්දෝ හා සුද්දියෝ ලජ්ජා නැතුව, හිරිකිතයකින් තොරව, පහර පිට පහර ගසති. මේ ඊනියා දේශපාලන වන්දි භට්‌ටයන්ට, රට ගැන හෝ ජාතිය, ආගම ගැන ළැදියාවක්‌ හෝ කැක්‌කුමක්‌ නොමැත. ඔවුන් සිටින්නේ මේ රට අනාගමික රාජ්‍යයක්‌ විය යුතු යන මතයේය. මෙයට, බලයට පත් වූ සෑම දේශපාලන පක්ෂයක්‌ම අඩු, වැඩි වශයෙන් ඉඳුරාම වගකිව යුතු වේ. 

රට සංස්‌කෘතික වශයෙන් සෝදා පාළුවට යන යුගයක, බුද්ධ පුත්‍රයන්ට ‘චීවරධාරියා’, ‘සංඝමුදලාලිලා’ හා ‘පිස්‌සන්’ යැයි ප්‍රකාශ කරති. රට නැවතත් ඒකීය රාජ්‍යයෙන් මිදී, එක්‌සත් රාජ්‍යයක්‌ යැයි හඳුන්වමින්, කෑලි කෑලි වශයෙන් බෙදා වෙන්කිරීමට මාන බලන යුගයකි. නිර්මල බුදු දහම පවතින තෙක්‌ රටත්, ජාතියත්, රැකේ. එබැවින් මේ ප්‍රවණතාව නැවත වහා ආපසු හැරවීම, යුගයේ අවශ්‍යතාවකි. ඒ සඳහා "පානදුරා වාදය" අප වෙත සැපයෙන්නේ ප්‍රබල මඟ පෙන්වීමකි. අනාගත තරුණ පරපුරද, මේ පානදුරා වාදයෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. අද සමාජයේ අති බහුතරයක්‌ ෆේස්‌බුක්‌, සමාජ ජාල අඩවි හරහා, අන්තර් ජාලය භාවිත කරමින්, මංමුළාවී සිටිති. වත්මන් තරුණ පරපුර අටලෝ දහම අනුව ජීවිතය හැඩ ගැසීමක්‌, නොමැත. එබැවින්, මෙම පානදුරා වාදය ගැන මෙම ලිපියෙන් යම් බිඳක්‌ හෝ අවබෝධයක්‌ ලබා ගන්නේ නම්, එය තම රටට, ජාතියට හා ආගමට කරනු ලබන ගෞරවයක්‌ද වේ. අවම වශයෙන් තම ජීවිතය හැඩගසා ගැනීමට මනා පිටිවහලක්‌ ද වේ. 

පානදුරේ ඇති පූජ්‍ය මොහොට්ටිවත්තේ 
ගුණානන්ද හිමියන්ගේ පිළිරුව.

"පානදුරා වාදය" පවත්වා මේ වන විට වසර 150 ක්‌ ගත වී ඇත. මේ දිග හැරෙන්නේ මුළු මහත් සිංහල බෞද්ධ ජනතාව අවදි කළ එම අද්විතීය වාදයේ සුලමුල හා ඊට අදාළ වූ කරුණු කාරණා අතරින්, කරුණු කිහිපයක්‌, පිළිබඳ සරල වශයෙන් කරනු ලබන විග්‍රහයකි. ක්‍රිස්‌තියානි ආගම හා බුදු දහම අතර, මෙවැනි වාද 05 ක්‌ පවත්වා ඇත. ඒ අනුව මෙම පංච මහා වාදයන් අතුරින්, පළමුවාදය වර්ෂ 1865 දී ක්‍රිස්‌තියානින් සමඟ, වරාගොඩදීද, දෙවැනිවාදය වර්ෂ 1861/2/1 දින උදන්විටදීද, තෙවැනිවාදය වර්ෂ 1866 දී බද්දේගමදීද ඉන්පසු සිව්වැනි වාදය වර්ෂ 1871/6/9 දින ගම්පොළ නගරයේදීද අවසන් වාදය හෙවත් පස්‌වැනි වාදය වර්ෂ 1873 අගෝස්‌තු 26 හා 28 දිනවලදී පානදුරේදී සිදු කරන ලදී. 

මෙයින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ පානදුරා වාදය වන අතර, මෙම පංච මහා වාදයන්හි බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් ප්‍රධාන හා එකම කථිකයා වූයේ, වාදීභසිංහ මොහොට්‌ටි වත්තේ ගුණානන්ද හිමියන් පමණි. උන්වහන්සේ බළපිටියට නුදුරු, මිගෙට්‌ටුවත්ත හෙවත් මොහොට්‌ටිවත්ත නම් ගමේ උපත ලබා සසුන් ගත වූ අයෙකි. 

තෙලිකඩ සෝනුත්තර සහ සීනිගම ධීරක්‌ඛන්ධ හිමිවරුන් වෙතින් පැවිදි වූ උන්වහන්සේ හික්‌කඩුවේ රතනපාල හිමියන්ගෙන් අධ්‍යාපනය ලැබූහ. දොඩන්දූවේ කුමාර මහා විහාරයේදී මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව කොටහේන දීපදුත්තාරාමය මූලස්‌ථානය කර ගත්හ. ගුණානන්ද හිමියන්ගේ විශේෂත්වය වනුයේ ක්‍රිස්‌තියානි ධර්මය පිළිබඳ හසළ දැනීමක්‌ තිබීමත්, ඊට අමතරව යුරෝපයේ හා ඇමෙරිකාවේ, පහළ වූ ක්‍රිස්‌තියානි විරෝධී සාහිත්‍යය ගැන මනා අවබෝධයක්‌ තිබීමත්ය. 

ගුණානන්ද හිමියන් එකල බුදු දහම සම්බන්ධ ඉදිරිපත් වූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉදිරිපත් වීම නිසා එවැනි දේශනා 4000 කට ආසන්න ප්‍රමාණයක්‌ පැවැත්වීමට උන්වහන්සේට සිදු විය. එසේම, උන්වහන්සේ විසින් ලියන ලද, ක්‍රිස්‌තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා මුද්‍රණය කර ප්‍රසිද්ධ කළ ලේඛන විසි හතර දාහක්‌ පමණ වේ. එසේම, චතුර කථිකයකු වූ උන්වහන්සේ තුළ තිබූ, බුදුදහම සම්බන්ධ, ශාස්‌ත්‍රීය දැනුම ඉතා සරලව ජනතාවට ඒත්තු ගැන්වීමේ මනා හැකියාව නිසාම, ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව, ජාත්‍යන්තරයේද, ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූහ. 

මෙම පානදුරා වාදය පැවැත්වීම සඳහා යම්කිසි ගිවිසුමක්‌ අනුව කටයුතු කිරීමට බෞද්ධ පාර්ශ්වය හා ක්‍රිස්‌තියානි පාර්ශ්වය කටයුතු යොදන ලදී. ඒ අනුව විවාදය පැවැත්විය යුතු ආකාරය ගැන කරුණු දහයකින් (10) යුත් ලියවිල්ලක්‌ සකස්‌ කරනු ලැබීය. ඒ සඳහා බෞද්ධ පක්ෂය වෙනුවෙන්, කුරුකුලසූරියගේ කොරනේලිස්‌ පෙරේරා මහතාද, ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන්, මත්තෙස්‌ සුවාරිස්‌ ගුණවර්ධන මහතාද 1873 ජුලි මස 24 වැනි දින අත්සන් තැබූහ. 

ඒ ගිවිසුම මෙසේය: 
1. වාදය මුඛ වචනයෙන්ම පැවැත්විය යුතුයි. 
2. දෙපාර්ශ්වයෙන් දෙදෙනෙක්‌ විසින්, ඒ කථාවල හරය ලියාගත යුතුයි. 
3. ඒ ඒ පාර්ශ්වය විසින් ගෙන හැර දක්‌වනු ලබන කරුණු අසවල් පොත්වලින් යැයි නම් සඳහන් කළ යුතුය. 
4. එක්‌ පාර්ශ්වයකට තමන්ගේ කථාව පිණිස එක්‌වරකට ඉංග්‍රීසි පැයක්‌ ගත හැක. පළමුවැනි පැය ක්‍රිස්‌තියානි පක්ෂය විසින් බුද්ධාගමේ අසත්‍යතාව පෙන්වාදීම පිණිස කතා කළ යුතුය. 
5. දෙවැනි පැය ක්‍රිස්‌තියානු පක්ෂය විසින්, බුද්ධාගමේ අසත්‍යතාව පෙන්වා දී කළ කථාවට, බුද්ධ පක්ෂය විසින් උත්තර දීම හා ක්‍රිස්‌තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා දීම, පිණිස කතා කළ යුතුය. 
6. වාදය ලබන මස අගෝස්‌තු 26 වැනි දින සහ 28 වැනි දින දෙක තුළ කළ යුතුය. 
7. මෙම විවාදය පෙරවරු 8-10 දක්‌වාද, එදිනම පස්‌වරු 3-5 දක්‌වාද කළ යුතුය. 
8. වාදය කරන අතර, කිසිදු ගාලගෝට්‌ටියක්‌, කිසිදු කැරලි කෝලාහලයක්‌ නොවන හැටියට දෙපාර්ශ්වය වගබලා ගත යුතුය. 
9. වාදය කරන අතර කතා කරන තැනැත්තා හැර අන් සියල්ලන්ම නිශ්ශබ්දව අසාගෙන සිටිය යුතුය. එසේ කරවීමට මෙහි අත්සන් කරන තැනැත්තන්ට සම්පූර්ණ බලය ඇත. 
10. මෙම වාදය පානදුර පට්‌ටියේ තිබෙන, දොඹගහවත්තේදී, කෙරෙන ලෙසට එහි බංගලාවක්‌ සාදවා දෙන ලෙසට නියම කරමු. 

මෙහි ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලිතුමාද, දෙවනුව සිරිමාන්න කතිසේරු තුමා වාදය සඳහා කථිකයින් ලෙස සහභාගී වූ අතර බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන්, මුළු දෙදින පුරා ම එකම කථිකයා වූයේ, වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් පමණි. 

මෙහි විශේෂත්වය වන්නේ, සී. ජයසිංහ පාදිලිතුමා සමූහය ඉදිරිපිටට පැමිණ, කිසිම කලබලයකින් තොරව දාවිත් ද සිල්වා පාදිලිතුමාගේ කථාවට ඇහුම්කන් දෙන මෙන් ඉල්ලා සිටි අතර, බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් බුලත්ගම ස්‌වාමීන් වහන්සේද, එම ඉල්ලීම ජනතාවගෙන් කරන ලදී. 

මීට අමතරව, මෙහි බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල නාහිමි, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති හිමි, බුලත්ගම ධම්මාලංකාර සිරි සුමන තිස්‌ස නාහිමි, පොතුවිල ඉන්දජෝති නාහිමි, වැලිතොට රන්දොඹේ ධම්මාලංකාර මහා නායක හිමි, කොග්ගල සිරි සංඝතිස්‌ස නාහිමි, තලාහේනේ අමරමෝලි නාහිමි, මුල්ලේරියාවේ ගුණරතන හිමි ඇතුළු මහා සංඝරත්නය දෙසිය නමකට ආසන්න පිරිසක්‌ සහභාගි වූහ. 

ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන්, ආර්. ටැබ් ඇස්‌. කෝල්ස්‌, ඇස්‌ ලොංග්න්ඩන්, ඇස්‌. ජයසිංහ ආදි දේවගැතිවරුන් රාශියක්‌ද සහභාගි වූහ. මීට අමතරව එවකට පුරාවිද්‍යා අධිකාරි එච්. සී. පී. බෙල් මහතාද එහි පැමිණ සිටියේ ය. මීට අමතරව, බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් ගිහි ප්‍රභූවරුන් වශයෙන්. පී. ජෙරම්සන් දියෙස්‌, කේ. සී. පෙරේරා, කරුණාරත්න අප්පුහාමි ප්‍රමුඛත්වය ගත්හ. එසේම, ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන්, සුවාරිස්‌ ගුණවර්ධන, පීටර් දානියෙල් පෙරකදෝරු මහතා ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ. 

මෙම වාද භූමිය දානපති ජෙරමියස්‌ මහතාට අයිති, පානදුර පට්‌ටියේ පිහිටි දොඹගහවත්ත නම් වූ මුහුදුබඩ රමණීය භූමියක විශේෂයෙන්ම ගොඩනැඟූ මඩුවක අසුන් පනවා පිළියෙල කරන ලදී. වාදයේ සම්පූර්ණ වියදම එතුමා විසින් දරන ලදී. 

ක්‍රිස්‌තියානි පාර්ශ්වය බයිබලය අතැතිවද, බෞද්ධයෝ බණපොත් අතැතිවද දස දහස්‌ ගණනින් වාද භූමියට, පැමිණියහ. එහි පැමිණි පිරිස අතරින් අති බහුතරයක්‌ බෞද්ධයින් වූ අතර ඒ පිරිස 8,000-10,000 ක්‌ අතර විණි. 

මෙහි සාදන ලද මඩුවේ උතුරු පැත්ත, ක්‍රිස්‌තියානි පාර්ශ්වයටද, දකුණු පැත්ත බෞද්ධ පාර්ශ්වයටද වෙන්කරන ලදී. වාද භූමිය තුළදී කිසිදු ගැටලු ආරවුල් කිසිවක්‌ පැන නොනැඟුණු අතර, සියල්ලෝම සන්සුන්ව විවාදය කරන ලදී. 1873 අගෝස්‌තු 26 හා 28 දෙදින විවාදය පැවැත් වූ අතර, 27 වැනි දින විවේක දිනයක්‌ වීය. 

මෙහිදී, ප්‍රථමයෙන්ම ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලිතුමා, විවාදය අරඹමින් සත්ත්වයාගේ මරණයේදී පංචස්‌කන්ධයෙන් කිසි දෙයක්‌ පරලොව යන්නේ නැත. එනිසාම පරලොව උපදින සත්ත්වයා අන්‍ය සත්වයකු බවට ඒත්තු ගැන්වීමට ... දීර්ඝ වශයෙන් විස්‌තර කිරීමක්‌ කරන ලදී. 

එයට පිළිතුරු දුන් මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියෝ පංචස්‌කන්ධය යනු රූපස්‌කන්ධය, වේදනා ස්‌කන්ධය, සඤ්ඤා ස්‌කන්ධය, සංස්‌කාර ස්‌කන්ධය, විඤ්ඤාණ ස්‌කන්ධය යන පහ ලෙස දැක්වූහ. එයින් රූපස්‌කන්ධය යනු අන් අයට පෙනෙන රූපය නම් වේ. වේදනා ස්‌කන්ධය යනු සැප, දුක්‌ වැටහීමය. සත්ත්වයාගේ මරණයේදී මෙම ශරීරය මෙතනම නවතින බවත්, එය සොහොන් භූමියකට ගෙන ගොස්‌ වළ දමන බවත්, මෙහි සිටින සියල්ලෝම දනිති. වේදනා ස්‌කන්ධය යැයි කියූ ලබන සැප, දුක්‌ වැටහීමත් සත්ත්වයාගේ මරණයේදී මෙහිම නිරුද්ධ වේ. එයිනුත් පරලොව යන්නට දෙයක්‌ නොමැත. මෙහිදී අනෙකුත් ස්‌කන්ධය මෙහිම නිරුද්ධ වනවා මිස, එයිනුත් කිසිවක්‌ පරලොව යන්නේ නැත. මේ පංචස්‌කන්ධය මෙහිම නිරුද්ධ වීම හා සමාන මේ සත්ත්වයා නිසා පරලොව උපදින සත්ත්වයා අනෙකක්‌ නොවේ. එසේම, උපදින්නේ යන මෙහි අරුත මනුෂ්‍ය ආත්මය මේ ශරීරයෙන් පිටව වෙනත් ලෝකයක උප්පත්තිය ලබන බවයි. 

එසේම සත්ත්වයා ක්ෂණික මරණයකට හා පරලොව මරණයකට යනුවෙන් දෙයාකාර වේ. ජීවත්වන සත්ත්වයින්ට සිත් ඉපදීමද, නැසීමද ක්ෂණිකවම සිදුවේ. පළමු උපත සිට නැසුණායින් පසුව උපදින සිත මුලින් උපන් සිත නොවේ. මේ අන්දමට සිත් ආදිය ඉපද ක්ෂණිකයෝම නැසීයාම ක්ෂණික මරණය වේ. සත්ත්වයාගේ රූපස්‌කන්ධයන් මෙසේම ක්ෂණයෙන්ම ඉපිද වැනසෙන්නේය. එය කෙසේද? 

සත්ත්වයාගේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකින් යුක්‌තය. ඉන් හිස කෙස්‌ නිතර ඉපදින්ටද, නැසීමටත්ද සිදුවේ. ඒ අනුව දැනට අපේ මේ තිබෙන හිසකෙස්‌ කුඩා කාලයේදී ආ ඒවා නොවේ. එසේම ශරීරයේ අනෙක්‌ කොටස්‌ද මෙසේම ඇතිවීම, නැතිවීම මෙමගින් වේ. මේ අනුව පැහැදිලි වන්නේ මෙලොව ඉපදෙන සත්ත්වයා මරණින් පසු ඒ සත්ත්වයාගේ සිත් පරම්පරාව පමණක්‌ පරලොව උපදින බවයි. 

ඉන් පසුව, නැවතත් ඊට පිළිතුරු දේශනාව කළ දාවිත් ද සිල්වා දේවගැතිතුමා, නැවතත් බුද්ධාගමේ වැදගත් ඉගැන්වීමක්‌ වන පටිච්ච සමුප්පාදධර්මය ආකූල බවින් යුතු බවට තර්ක කළේය. මීට පිළිතුරක්‌ දුන් මොහොට්‌ටි වත්තේ ගුණානන්ද හිමියන්, බුද්ධ ධර්මය පංචස්‌කන්ධය, අදහස්‌ නැවතත් විස්‌තර කරන ලදී. ඒ අනුව සත්ත්වයා මිය යැමේදී, මේ සමඟ කිසි දෙයක්‌ පරලොව යන්නේ නැති නමුත්, ඔහුගේ ආත්මය යළි උපදී. 

උදා - වශයෙන් අව්වේ දමන ලද අමු තල් කොළයෙහි තිබෙන නිල්පාට ක්‍රමයෙන් නැති වී ගොස්‌ සුදු පාට වේ. එසේම සත්ත්වයාගේ මරණාසන්න කාලයෙහි සත්ත්වයාට ඇතිව තිබුණ ඉන්ද්‍රිය ශක්‌තිය, මරණ වේදනාව කරණු කොට නැතිවේ. ඉන්ද්‍රිය ශක්‌තිය යනු ඇහැ පෙනීම, කන ඇසීම ආදිය වේ. එසේම, ඉන්ද්‍රිය ශක්‌තිය නැතිව යැමේදී, ඉන්ද්‍රියන් තුනක් හෘදය වස්‌තුව ආශ්‍රය කරගෙන සිටී. එනම්, කායින්ද්‍රිය, මනින්ද්‍රිය ජීවිතින්ද්‍රිය වේ. එයින් කායින්ද්‍රිය, යනු ශරීරයට යමක්‌ ස්‌පර්ශවූ විට දැනගන්නට ඇති ගතියයි. මතින්ද්‍රිය මේ මායාව, මේ සත්ත්වයා කියා වෙන්කර හඳුනා ගැනීමයි. ජීවින්ද්‍රිය යනු නොමැරී ජීවත්වන ගතියටය. මේ කියන ඉන්ද්‍රියන් හෘදය වස්‌තුව ආශ්‍රය කර ගෙන පවතින කල්හි මැරෙන්නා වූ සත්ත්වයාට කර්ම නිමිති පහළ වේ. එනම් තමන් කරගෙන ආ කුසල කර්ම නිමිති වැටහුණහොත් ඔහුගේ උප්පත්තිය සුගතියයි. ඔහු කරගෙන ආ අකුසල කර්ම වැටහුණහොත් ඔහුගේ උප්පතිය දුගතිය වේ. මේ කර්ම නිමිත්තෙන් පසු ඔහුගේ ගති නිමිත්ත පෙනේ. ඒ ඇල්ම කරණ කොටගෙන චුති ප්‍රතිසන්ධි දෙකින් යුත් සත්ත්වයාගේ චුති චිත්තය හා සමඟ ප්‍රතිගාමී චිත්තය හට ගනී. 

ඉන්පසු නැවතත් දාවිත් ද සිල්වා පාදිලිතුමා, බුදුදහමේ එන තුන්සරණ, උපසම්පදා, හා ආලාර කාලාම, උද්දකරාම දෙදෙනා ගැන විවේචනාත්මක කථාවක්‌ කරන ලදී.

ඒ අනුව, ඊට පිළිතුරු දුන්, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් බුදුන්ගේ මරණය කාල තුනකට අයත් වේ. එයින් පළමු වැනි මරණය නම් ක්‌ලේශ පරිනිර්වාණය, දෙවැනි මරණය ස්‌කන්ධ පරිනිර්වාණයයි. තුන්වැනි මරණය නම් ධාතු පරිනිර්වාණයයි.

පළමුවැනි මරණය වූ ක්‌ලේශ පරිනිර්වාණය බුදු වූ දවසේ බෝධි මුලයේදී වූයේය. එනම්, සියලු කෙළෙස්‌ පරිනිර්වාණය බුදු වූ දවසේ බෝධි මුලයේදීය. එනම්, සියලු කෙළෙස්‌ නසා සර්වඥතා ඥානයට පැමිණීමය. ස්‌කන්ධ පරිනිර්වාණය නම් මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදීය. එනම් පංචස්‌කන්ධය නිරුද්ධ වීමෙන් නිමාව පැවතීමය. ධාතු පරිනිර්වාණය බුදුන් පිරිනීවීම තැන් පටන් අවුරුදු පන්දාහක්‌ ගිය තැන බුදුන්ගේ සියලු ධාතු දඹදිව ජය ශ්‍රී මහා බෝධි දෘම මූලයට පැමිණ එයින් ජීවමාන බුදුන්ගේ බුද්ධ රූපය නිර්මිතව ස්‌වල්ප කාලයක්‌ දෙවියන්ට බණ කියා ඉන්පසු ධාතු ආදාහනය වීමයි. ඒ ධාතු ආදාහනය වීමට තව අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ ගතවේ. ඒ කාලය යනතුරු බුදුන්ගේ ධාතු තිබෙන නිසා බුදුන්ගේ පිරිනිවීම සම්පූර්ණ තීන්දුව වෙන්නේ නැත. 

ධර්මය සරණ යැම යනු බණ පොත්වල සරණ යැම නොවේ. ධර්මය කියන්නේ බුදුන් වදාළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයටය. ඒ ධර්මය බුදුන්ටත් ගුරුවේ. 

සඟ සරණ යැම යනු දැන් සිටින මේ සංඝයා නොවේ. සංඝයා වනාහි ආර්ය සංඝයාය, සම්මුති සංඝයාය, කියා කොටස්‌ දෙකකි. එයින් ආර්ය සංඝයා කියන්නේ සතර මඟ ඵලයට පැමිණි අෂ්ඨාර්ය පුද්ගල සංඝරත්නයයි. සම්මුති සංඝයා කියන්නේ චතුර්විධ විනය කර්මයට ඇතුළත් උපසම්පදා සංඝයාය. මේ සංඝයා ඇසුරෙන් ආර්ය සංඝයා සරණ ගැනීමට ඇතුළත් වේ. එබඳු උත්තමයින් විශ්වාස කිරීම, උන්වහන්සේ වන්දනා මානය කිරීම මඟින් අනන්ත පින් ලැබේ. 

මෙම දින දෙකේ විවාදයෙන් පසු එහි රැස්‌ව සිටි දස දහසක්‌ පමණ දෙනා අතරින්, අති බහුතරයක්‌ පිරිස සාධුකාර ශබ්දයක්‌ නඟා ඒ හිමියන්ට ප්‍රතිචාර දැක්‌වූහ. 

ඉන්පසුව කිසිදු භේදයකින් තොරව ජනතාව විසිර ගිය අතර, බෞද්ධ පාර්ශ්වයට ඉතා ප්‍රීතියක්‌ද ක්‍රිස්‌තියානි පිරිස්‌ මහත් දොම්නසකින්ද යුතුව විසිර ගියහ. මේ අනුව මෙම වාදය සඳහා දෙපසින්ම කෙරුණු කතා ගණන 08 කි. 

මෙම වාදයේ ප්‍රතිඵල ඉතා වැදගත් වේ. මෙහිදී ක්‍රිස්‌තියානි දර්ශනය, මතවාදීව පරාජය කිරීමට පානදුරා වාදය ලැබූ ඉහළම ජයග්‍රහණය වේ. එසේම, මෙම වාදයේ ඉංග්‍රීසි පරිවර්තනය අනුව, එඩ්වඩ් පෙරේරා මහතා සකස්‌ කොට, කැපර් මහතා විසින් මුද්‍රණය කරවූ පානදුරා වාදය. පිළිබඳ පොතක්‌ එවක ගාල්ලේ විසූ ඡේ. ඇම්. පීබල්ස්‌ මහතා විසින් එම පොත ඇමෙරිකාවට ගෙන ගොස්‌ මේ වාදයෙන් බෞද්ධ පක්ෂය ලද ජයග්‍රහණයද විස්‌තර කරමින්, පොත් දහස්‌ ගණනක්‌ මුද්‍රණය කොට බෙදාහරින ලදී. 

පානදුරා වාදය අසා මෙරටට පැමිණි කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා (මැද) 
අපේ සංඝයා හා විද්වතුන් සමඟ.

කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා සහ එතුමාගේ මිතුරියක්‌ වූ බ්ලැවැට්‌ස්‌කි මැතිනියද, ආචාර්ය ජේ. ඇස්‌. පීබල්ස්‌ මහතා විසින් පළ කෙරෙනු මෙම පානදුරා වාදය පොතත්, ඇස්‌. ලොන්ග්ඩන් පියතුමා " ලංකා මිත්‍රයා" සඟරාවේ පළ කළ ඉංග්‍රීසි වාර්තාවක්‌ද කියවා ඉන් උද්දාමයට පත්ව, එම වාදයේ පුරෝගාමීන් වන මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ සුමංගල හිමි, දොඩන්දූවේ පියරතන හිමි, බුලත්ගම ධම්මාලංකාර හිමි, වැලිගම සුමංගල නාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි නායකයින් හමුවීම පිණිසත් මෙම වාදය සිදු වූ භූමිය දැක බලා ගැනීම සඳහාත් වර්ෂ 1880 මැයි 16 වැනි දින ගාල්ලට ගොඩ බසින ලදී. 

ඉන්පසුව, එතුමා බුදු දහම වැළඳගෙන, ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ, අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින්, පළමුව පන්සිල් සමාදන් වන ලදී. ඉන්පසුව, එතුමා ගමක්‌ ගමක්‌ නගරයක්‌ නගරයක්‌ ගානේ යමින් සිංහල බෞද්ධයාව අමතමින්, බෞද්ධයින්ගේ ආගමික ප්‍රබෝධය ඇති කළ හැක්‌කේ බෞද්ධ අධ්‍යාපනයෙන් බව ඔවුන්ට ඒත්තු ගන්වන ලදී. 

ඒ අනුව, 1881 දී බෞද්ධ අධ්‍යාපන අරමුදලක්‌ පිහිටුවා ගනිමින් සෑහෙන මුදලක්‌ එකතු කර ගනිමින් බෞද්ධ පාඨශාලා කිහිපයක්‌ ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ ආනන්ද විදුහල, නාලන්ද විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, ගාල්ලේ මහින්ද විදුහල, මාතලේ විජය විදුහල ඇතුළු විදුහල් රාශියක්‌ පිහිටුවන ලදී. මේ කරුණ මුල් කරගනිමින් ක්‍රියාත්මක වූ, එතුමා කර්නල් ඩී. ඕල්කට්‌තුමා, දිවයින තුළ බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය ආරම්භ කළේය. එසේම, ඉරුදින දහම් පාසල් ද ආරම්භ කරන ලදී. 

එසේම, මේ සඳහා අනගාරික ධර්මපාලතුමා, ජෙරමියෙස්‌ දියෙස්‌ බටුවන්තුඩාවේ, දොන් ස්‌ටේපර් සේනානායක, දොන් අමාරිස්‌ ද සිල්වා, දොන් කරෝලිස්‌ යන බෞද්ධ ගිහියන්ගේ නොමසුරු සහයෝගය ලැබිණ. එසේම, මේ සඳහා පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති හිමි, වාදිභසිංහ මිගෙට්‌ටු වත්තේ ගුණානන්ද හිමියන්ට පැවිදි පඬිවරුන්ගේ නොමඳ සහය ලැබුණි. 

පානදුරා වාදයට අදාළ වෙනත් තැන්වල පළ වූ කරුණු කීපයක් ද මෙයට ඇතුළත් කිරීම සුදුසු යැයි හැ‍‍ඟ‍ෙයි. එයින් එකක් විරුද්ධ පාර්ශ්වයට සහය දීමට පැමිණි ඇස්. ලොන්ග්ඩන් පියතුමා ‘ලංකාමිත්‍ර’ සඟරාවට ලියූ ඒ පිළිබඳ වාර්තාවේ ගුණානන්ද හිමියන් ගැන ඉදිරිපත් කළ ගුණ වර්ණනාවයි. ඒ මෙසේ ය: “මොහොට්ටිවත්තේ හිමි කථා කරන විට මට එංගලන්තයේ ඉතා දක්‍ෂ කථිකයන් මතක් වුණා. මහජනයා කෙරෙහි බලපෑමක් කළ හැකි ශක්තියක් තිබෙන බව ද උන්වහන්සේගේ ප්‍රකාශ තුළින් පැහැදිලි වුණා. විරුද්ධකාරයා අභිභවනය වන අන්දමේ ස්වරයක් ද උන්වහන්සේට තිබිණි. සභාව පොලඹවා ගන්න තරම් හැකියාවක් ඇති සහජ කථිකයෙක් බැව් ද පෙනී ගියා. වාදය අවසානයේදී දහස් සංඛ්‍යාත ජනයා මහත් සතුටුනාදයෙන් ප්‍රීති ඝෝෂා කළා. වාදය අවසන් තෙක් ම කිසිම කලබලයක් නැතිවීම මගේ පුදුමයට කාරණයක් වුණා. එවැනි විශාල පිරිසක් මැද යුරෝපයේ කවර රටක කලබලයක් නැතිව එවැනි විවාදයක් කළ හැකිදැයි මම ප්‍රශ්න කරමි.” යනුවෙන් ඇස්. ලොන්ග්ඩන් පියතුමා ‘ලංකාමිත්‍ර’ සඟරාවට ලිපියක් ලියමින් එසේ සඳහන් කළේ ගුණානන්ද හිමියන්ගේ චතුර වාග් ශක්තිය කෙරෙහි ඇති වූ පැහැදීම හේතුකොට ගෙනයි. 

පානදුරා වාදයට ආසන්නම හේතුව වශයෙන් තවත් තැනක දක්වා තිබු‍ණේ 1873 ජුනි 12 වැනිදා පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේදී දාවිත් ද සිල්වා දේවගැති තුමා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් දේශනයක් පැවැත්වීමය. 

මේ පිළිබඳව දැනගත් රන්කොත් විහාරයේ ප්‍රධාන දායකයන් වන ජී. ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න මැතිතුමා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් වැඩමවා රන්කොත් (ගල්කන්දේ) විහාරයේදී පිළිතුරු දේශනයක් පැවැත්වූහ. මෙසේ පන්සලේ සහ පල්ලියේ ප්‍රත්‍යුත්තර දේශනා කිහිපයක් පැවැත්විණි. මේ අතර මුහුණට මුහුණලා වාදයක් පැවැත්වීමේ යෝජනාවක් ක්‍රිස්තියානි පක්‍ෂයේ පීතර් දානියෙල් නීතිඥ මහතාගේ සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතාගේ අත්සන් සහිතව ලැබිණ. ඒ අනුව 1873 අගෝස්තු 26, 28 දෙදින පාණදුරා මහාවාදය පැවැත්වීමට තීරණය විය. 

පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේ දී 1873 වසරේ එක් ඉරු දිනක දාවිත් ද සිල්වා දේවගැති තුමා විසින් බුදු දහමේ ඉගැන්වීම් විවේචනය කරමින් පවත්වන ලද දේශනයට ඊට හරියට ම සතියකට පසු පානදුරේ ගල්කන්දේ විහාරයට (වර්තමාන රන්කොත් විහාරයට) පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වඩමවා පිළිතුරු දෙසුමක් පැවැත්වීමට සමත් වීම තුළින් පානදුරේ ජනතාව විසින් ඇති කරගෙන තිබූ ඒ ශක්තිය නිරූපණය වෙයි. 

සන්නිවේදන තාක්ෂණ කිසිවක් නොතිබූ යුගයක අන්‍යාගමික දෙසුමක අන්තර්ගතය සටහන් කර ගැනීමට සමත්වීම හා කිසිදු යාන්ත්‍රික ප්‍රවාහන මාධ්‍යයක් නොතිබූ අවදියක කිලෝමීටර 30 ක පමණ දුරකින් කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩසිටි ගුණානන්ද හිමියන් වෙත ඒ දෙසුමේ හරය වාර්තා කිරීම පමණක් සලකා බැලුව ද, එවැන්නක් වර්තමාන සන්නිවේදන හා ගමනාගමන තාක්ෂණය තුළ පවා කිරීම එතරම් පහසු කර්තව්‍යයක් නොවේ. 

Post a Comment

0 Comments