HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘දිවයින’ට පණ දුන් රණසිංහ මහතාට 94යි!

ලංකාවේ ප්‍රථම විධිමත් පුවත්පත් ආයතනය බිහිකළ විශිෂ්ට පත්‍රකලාවේදීන් අතර තවමත් ජීවමානව ඉන්නා ජ්‍යෙෂ්ඨතමයා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතා ඊයේ 94 වසරට පා තැබුවා. මේ සටහන තබන්නේ එතුමාට දීර්ඝායු පතන්නටත්, පුවත්පත් කලාව වෙනුවෙන් එතුමා කළ මෙහෙය අගයන්නටත්, ඒ වෙනුවෙන් උපහාර පුදන්නටත්ය. 

ලංකාවේ පුවත්පත් අතර තවමත් ඉහළින් වැජඹෙන පුවත්පතක් වූ ‘දිවයින’ ජාතික පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා වශයෙන් එතුමාට හිමි වන්නේ අපේ පත්‍රකලාවේදීන් අතර අද්විතීය ස්ථානයකි. නව පුවත්පතක් ආරම්භ කිරීම සුළුපටු කාර්යයක් නොවේ. ඒ සඳහා විධිමත් සැලසුම් කිරීමක් අවශ්‍ය ය. ඉලක්ක පාඨක පිරිසක් තෝරා ගැනීම, පුවත්පතට සුවිශේෂ අනන්‍යතාවක් ඇති කර ගැනීම, කර්තෘ මණ්ඩලයක් ඒකරාශී කර ගැනීම, තරඟකාරී පුවත්පත් සමග කරට කර සිටිමින් ජාතික අවශ්‍යතා ඉටුුු කිරීමට සැදී පැහැදී සිටින බව රටට තහවුරු කළ යුතුය. මේ සියල්ලම අති සාර්ථකව කිරීමට තරම් රණසිංහ මහතා දක්ෂ විය. 

උපාලි විජයවර්ධන මහතා පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කළ පසු ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගත් පසු මුලින් ම කළේ නව පුවත්පත ආරම්භ කිරීමට හවුල් වන්නැයි සිය ඥාති සොහොයුරු රංජිත් විජයවර්ධන මහතාට ඇරයුම් කිරීමය. ඔවුන් දෙදෙනා අතර වයස් පරතරය වූයේ ද සති දෙකක් පමණි. උපාලි විජයවර්ධන එංගලන්තයේ ඉගෙන ගනිද්දී නතරවී සිටියේ ද රංජිත් විජයවර්ධන සමඟ ය. ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ සේ සමීප ය. එහෙත් උපාලිගේ ඒ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ඔහුට පත්‍තරය කර ගෙන යාමට අවශ්‍ය සියලු උදවු කරන බවට පොරොන්දු විය. 

“උපාලිත් පත්තරයක් පටන් ගන්නයි යන්නෙ. ඒ නිසා අපේ පත්තරය පමා කරමු. මුලදී අපි වාර ප්‍රකාශන කීපයක් විතරක් කරමු.” පසුවදා ම රංජිත් විජයවර්ධන මහතා අප සමග කීය. 

ලේක්හවුසියෙන් ඉවත්ව රෝලන්ඩ් අබේසිංහ මහතාත්, ඇස්. සුබසිංහ මහතාත්, මාත් ඒ වන විට විජය ප්‍රකාශන ආයතනය සැලසුම් කරමින් සිටියෙමු. ඊට එකඟ වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් අපට තිබුණේ නැත. 

“උපාලි එයාගෙ පත්තරයට කර්තෘවරයෙක් හොයනවා. ‍නම් කීපයක් කිව්වා. ඒ අතරින් කෙනකු තෝරා දෙන්න කියා මට කීවා. එඩ්මන්ඩ් රණසිංහ මහත්තයාව තෝරා ගන්න කියලා මං කීවා.” රංජිත් විජයවර්ධන මහතා කීය. 

උපාලි විජයවර්ධන මහතා එඩ්මන්ඩ් රණසිංහ මහතා තෝරා ගෙන ඔහුට පූර්ණ නිදහස ලබා දෙමින් පුවත්පත කර ගෙන යාමට සියලු පහසුකම් සලසා දුන්නේය. එඩ්මන්ඩ් රණසිංහ මහතා ඒ වන විට ඔහු සමග ලේක්හවුසියේ ‘සිළුමිණ’ පත්‍රයේ සේවය කළ දයාසේන ගුණසිංහ මහතා ගෙන්වා ගෙන වැඩ ආරම්භ කළේය. 

ඒ වනවිටත්, සිළුමිණ පුවත්පතට උපාලි‍ විජයවර්ධන සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා විශේෂාංග ලිපියක් සම්පාදනය කළ නන්දසේන සූරියආරච්චි උපාලි විජයවර්ධන මහතාගේ ඇරයුම පරිදි ඔහු ළඟ සේවයට ගොස් සිටියේ ය. ඔහුට අමතරව උපාලි තෙන්නකෝන්, ඒ සමඟම දයාරත්න රණසිංහ, ගාමිණි සුමනසේකර, ධර්මරත්න විජේසුන්දර, සුනිල් මාධව ප්‍රේමතිලක, විමල් වීරසේකර ඇතුළු තවත් ලේක්හවුසියේ ප්‍රවීණ පුවත්පත් කලාවේදීන් කීප දෙනකු ද, කලින් ලේක්හවුසියේ සේවය කර පසුව ‘දවස’ට එක් වූ මෙරිල් පෙරේරා ද කර්තෘ මණ්ඩලයට එකතු කර ගත්තේය. ඒ එක්කම මා සමඟ ‘විජය’ පුවත්පතට එක්ව සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ශාන්ත කේ. හේරත් තරුණ චිත්‍රශිල්පියා ද අපෙන් සමුගෙන රණසිංහ මහතාගේ සෙවණට ගියේය. 

ලේක්හවුසියේ මගේ ගුරුවරුන් හා ප්‍රධානීන් වූ කතුවරුන් අතුරින් මා අවසන් වරට සේවය කළ කතුවරයා එඩ්මන්ඩ් රණසිංහ මහතාය. ඒ වන විට ඔහු ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘවරයා විය. ඔහු මගේ ප්‍රධාන කර්තෘන් අතර වඩාත් ප්‍රතාපවත් පුද්ගලයාය. ඒ අතින් ඔහු සමග කරට සිටි අනෙක් කතුවරයා ධර්මපාල වෙත්තසිංහ මහතාය. 1979 වසරේ අග දී මා ‘සිළුමිණ’ට සමු දෙමින් විජය ප්‍රකාශන අරඹන්නට ඉවත්ව යද්දී ඔහු සිළුමිණේ සහෘදයන් වූ කීර්ති ගුණවර්ධන, පී.බී. ඉලංගසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, සමග දිවාභෝජන සංග්‍රහයක් පවත්වා සුබ පැතීය. මා සමග විජය ප්‍රකාශනවලට ගිය එවකට දිනමිණ කර්තෘවරයාව සිටි ඇස්. සුබසිංහ මහතාට ද ඒ සඳහා ඇරියුම් කළ ද ඔහු ඊට සහභාගි වූයේ නැත. එදා ‘විජය’ට නොගියා නම් නිසැකවම රණසිංහ මහතා සමග මා ද ඔහු සමග ‘දිවයින’ට යනු නිසැකය. 

වසර ගණනාවකට පෙර ලේක්හවුසියෙන් ඉවත්වූ ඩී. බී. ධනපාල මහතා ටයිම්ස් ආයතනයට ගොස් ‘ලංකාදීප’ පුවත්පත ආරම්භ කළ අවස්ථාව සිහිපත් කරවමින් එඩ්මන්ඩ් රණසිංහ මහතා නව පුවත්පත වූ ‘දිවයින’ට ජීවය දුන්නේ ය. අපේ ව්‍යායාමය වාර ප්‍රකාශන වලට සීමා කරමින් දිනපතා පුවත්පත කල් දමන්නට සිදු වුවත් රණසිංහ මහතාගේ උත්සාහය අපේ සතුටට හේතු විය. 

පළමුවරට අලුත් පරිගණක අකුරු සහිත ව නව මුහුණුවරකින් ආ ‘දිවයින’ ඉරිදා සංග්‍රහය 1981 ඔක්තෝබර මස හතර වැනිදා (04) දොරට වැඩියේ ය. එය නව පත්‍ර කලාවක ආරම්භය විය. ඉන්පසු දිනපතා දිවයින, විදුසර, නවලිය, ද අයිලන්ඩ්, සන්ඩේ අයිලන්ඩ් ඇතුළත් පුවත්පත් රැසක් එම ආයතනයෙන් නිකුත් කරනු ලැබීය. 

එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ උපන්දිනය යෙදී ඇත්තේ අගෝස්තු 14 වැනි දාට ය. අවිස්සාවේල්ල, පුවක්පිටිය, තුම්මෝදර මාර්ගය අසල පිහිටි බ්ලෙයාර් වතුයායේ (එදා වැසියන් හැඳින්වූ පරිදි නෝනගෙ වත්තේ වත්තේ) පිහිටි ප්‍රධාන ලිපිකරුගේ නිල නිවහනේ දී ඔහු උපන්නේ 1930 අගෝස්තු 14 වැනි දාය. ඔහුගේ පියා දොන් අර්නෝලිස් රණසිංහ ය; මව මේරියන් වික්‍රමරත්න ය. 

පියා විසින් ඔහුට නම් තබන ලද්දේ දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ යනුවෙනි. ඒ මවගේ වාසගම ද ඇතුළත් කරමිනි. ඔහු අධ්‍යාපනය ඇරඹුවේ පුවක්පිටිය ආණ්ඩුවේ මිශ්‍ර පාසලෙනි. අනතුරුව රත්නපුරේ ෆර්ගසන් බාලිකා විදුහලෙන් ද, අවුරුදු දොළහ පිරුණු පසු අවිස්සාවේල්ල සාන්ත මේරී විද්‍යාලයෙන් ද ඉගෙනීම සම්පූර්ණ කළේය. 

පසුව තුම්මෝදර විදුහලේ ගුරුවරයකු සේ සේවය කරද්දී ඔහු ඩේලි නිවුස් පත්‍රයේ පුවත්පත් කලාවේදීන් බඳවා ගැනීමේ දැන්වීමක් දැක ඊට අයදුම්පතක් යොමු කළේය. ඒ අනුව ලද කැඳවීම මත සම්මුඛ පරීක්ෂයකට හා විභාගයකට පෙනී සිට ඉන් සමත්වීමෙන් ලේක් හවුසියේ යොවුන් පුවත්පත් කලාවේදියකු සේ බඳවා ගන්නා ලද්දේ 1952 දී ය. තුන්වන ශ්‍රේණියේ වාර්තාකරුවකු සේ ඔහු රැකියාවට බඳවා ගන්නා වග ලේක් හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි ඊ. ඊ. සී. අබේසේකර විසින් 1952 මාර්තු 21 වැනිදා දන්වනු ලැබීය. මාසික වැටුප රුපියල් හැත්තෑ පහකි. 

ඔහු පත්‍රකලාවේදියකු ලෙස ලේක් හවුසියට පිවිසෙද්දී රටේ පැවතියේ ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණ සමය යි. ඔහුට දිනපතා ඔබ්සර්වර් පත්තරේ ප්‍රධාන කතුවරයා හමුවන සේ මුල් ම දවසේ පාලනාධිකාරිය විසින් දැන්වූ වහා හේ ඔහු සොයා ගියේය. කතුවරයා වෙනුවට ඔහුට මුණු ගැහුණේ, ප්‍රවෘත්ති කර්තෘ අයිරා අමරසේකර මහතාය. ඔහු දෙවන මැතිවරණය වාර්තා කරන්නට පිහිටුවා තිබූ ‘ඉලෙක්ෂන් ඩෙස්ක්’ එකට යොමු කරනු ලැබුවේය. එදා පටන් 1970 දී ලේක්හවුසියෙන් ඉල්ලා අස්වන තුරු එහි කර්තෘ මණ්ඩවල විවිධ තනතුරු දැරුවේය. ඔහු කලක් ලේක්හවුසියෙන් පළ කළ තිනකරන් දෙමළ පත්‍රයෙහි ප්‍රවෘත්ති කර්තෘ ලෙස ද කටයුතු කළේය. 

එඩ්මන්ඩ් රණසිංහ දිවයින නව පුවත්පතින් සියලු ලේඛකයිනට මෙන්ම පාඨකයන්ට ද සිය අදහස් උදහස් ඉතා විවෘතව පළ කරන්නට ඉඩකඩ වෙන් කර දුන්නේ ය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ විශාල පිරිසක් නිර්මාණකරුවන් ලෙස ද පුවත්පත් කලාවේදීන් ලෙස ද සමාජයට පිවිසියේ ඒ හැම දෙනා දිරිමත් කරන්නට ඔහු පියවර ගත් නිසාය. ඔහුගේ පත්‍රකලා දිවිය තුළ සමාජයේ හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්නට ඔහු දෙපාරක් හිතුවේ නැත. 

සිංහල භාෂාව, හෙළ බොදු මහා සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කළ ඔහු රටේ බුර බුරා ඇවිළුණු ඊනියා ජාතික ප්‍රශ්නය කෙරෙහි බොහෝ සේ සංවේදී විය. උතුරේ හඬ ද දකුණේ හඬ ද එක සේ සලකමින් ඒ සියල්ල ‘දිවයින’ ඔස්සේ බෙදා හදා දෙන්නට සිය සන්නිවේදන බලමුළු යොමු කළේ ය. ‘දිවයින’ දැනුදු රණසිංහ මහතා එදා ඇරඹූ ගමන නොයෙක් බාධක මැද වුවත් ජයග්‍රාහීව යනු දකින අපට රණසිංහ මහතා කෙරෙහි ඇති වන්නේ ඉමහත් ගෞරවයකි. 

එඩ්මන්ඩ් රණසිංහ මහතාණනි, ඔබට දීර්ඝායු වේවා! 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments