මා හැටේ දශකයේ මැද හරියේ අංකුර පත්‍රකලාවේදියකු ලෙස ලේක්හවුසියට බැඳෙන විට මෙරට පත්‍රකලාවට එක් වී සිටියේ කාන්තාවන් කීප දෙනකු පමණි. බාබරා සන්සෝනි, ඊවා රණවීර, සිබිල් කීට්, සිබිල් සිල්වා (පසුව වෙත්තසිංහ), විජිතා ප්‍රනාන්දු, සුමනා සපරමාදු, ශ්‍රියා (ලෙව්කේ බණ්ඩාර)රත්නකාර, රෝස්මරී මූණමලේ, හේමා ගුණවර්ධන(වික්‍රමාරච්චි) ආදීහු ඉංග්‍රීසි හා සිංහල බසින් පළ කළ විවිධ පුවත්පත්වල විසිර සිටියහ. අනුල ද සිල්වා ඊට එක්ව සිටි අලුත් ම අංකුර පත්‍රකලාවේදිනිය වූවාය. ඔවුන් අතරින් ඊවා රණවීර මුල්ම කාන්තා පුවත්පත ලෙස සැලකෙන ‘වනිතා විත්ති’ ආරම්භක කතුවරිය වූවාය. අනුල ද සිල්වා ‘වනිතා විත්ති’ අවසාන කතුවරිය වූවාය.
1980 දී අප විජය ප්‍රකාශන ආයතනය ආරම්භ කළ පසු පළමු කාන්තා ප්‍රකාශනය වූ ‘සිරිකත’ කර්තෘ ධූරය භාර ගෙන කළ මෙහෙය අපට අමතක කළ නොහැක. ඇය සිය පුවත්පත් කලා දිවිය පුරා ලත් අත්දැකීම් සියල්ල ‘සිරිකත’ට දුන්නාය. සිරිකත වෙත ඇදී ආ අංකුර පත්‍රකලාකාරියන් පුහුණු කළාය. අප සමග එක්ව ඇය එදා සිරිකතට දැමූ අඩිතාලම කෙතරම් ශක්තිමත් එකක් ද යන්න දශක හතරකට පසුත් අදත් වැඩිම අළෙවියක් ඇති කාන්තා පුවත්පත වීමෙන් ම යමකුට ඇගේ හැකියාව මැන ගත හැකිය.
ඇය උපන්නේ 1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ දීය. පොල්වත්ත ඒ කාලයේ ප්‍රසිද්ධව තිබුණේ කීර්තිමත් යතිවරයකුගේ ජන්ම භූමිය ලෙසයි. ඒ බුද්ධ චරිතය ඇතුළු පොත්පත් රැසක් ලියූ ග්‍රන්ථ කර්තෘවරයකු වූ පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන්ගේ උපන් බිම හැටියටයි. උන්වහන්සේ අනුලගේ සීයා ය. පසු කලෙක අනුල උන්වහන්සේගේ ජීවිත කථාව ද ලියා පළ කළා ය. ලේක්හවුසියට බැඳීම නිසාත්, ඇගේ සැමියා වූ මහාචාර්ය ඇස්. රූපසිංහ ගම්පහ උඩුගම්‍පල පදිංචිකරුවකු වූ නිසාත්, ඇය පොල්වත්ත අතර හැර කොළඹ ආවාය. ඇගේ සැමියා වූ මහාචාර්ය රූපසිංහ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන අධ්‍යයනංශයේ සේවය කළේය. දෙදෙනාගේ ම පහසුවට මෝදර කාක දූවේ ජාතික නිවාසවල පදිංචියට ආවේ ඉන් පසුවය. ඇය යළිත් උපන් ගමට ගියේ ‘බුද්ධදත්ත නාහිමි’ පොත ලියන්නටය.
අනුල ද සිල්වා සිය ප්‍රබන්ධ දක්වන්නේ මෙවන් අදහසක්: “මගේ ප්‍රබන්ධ තුළ මම මගේ ප්‍රධාන චරිත සංවර්ධනය කරන්නේ සමාජයේ සැබෑ පුද්ගලයන් හරහා වන අතර, මම කාන්තා ප්‍රධාන චරිතයක් නිර්මාණය කරන සෑම අවස්ථාවකම මම ඇය තුළ යම් ධෛර්යයක් රෝපණය කිරීමට උත්සාහ කරමි. ඒ නිසා මගේ ප්‍රබන්ධයේ එන හැම ප්‍රධාන චරිතයක්ම මේ නවකතාවේ වගේම ධෛර්යවන්ත කෙනෙක්. ඒ වගේම මම සාමාන්‍යයෙන් මගේ ප්‍රබන්ධ කතා නායකයන් ගැන පර්යේෂණ කරනවා. මම මංජේශ්වරී ලියනකොට මට ගොඩක් පර්යේෂණ කරන්න සිද්ධ වුණා. ඒ නවකතාවට පාදක වුණේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙක් සහ ඉන්දියාවේ හින්දු තරුණියක් අතර ඇති වූ සැබෑ ප්‍රේම සම්බන්ධයක්.” ඇය පැහැදිලි කළාය.
“මම වෙනත් ලේඛකයන් පසුපස හඹා යන්නේ නැහැ. නමුත් මම පාසල් ශිෂ්‍යාවකව සිටියදී මාර්ටින් වික්‍රමසිංහට බොහෝ සේ ගරු කළා. සාහිත්‍යයේදී ඔහු මට දෙවියෙක් විය. මම ඔහුගේ ප්‍රබන්ධ කතාවලට, විශේෂයෙන්ම ඔහුගේ ගම්පෙරළියට බෙහෙවින් ඇලුම් කළා. මේ බලපෑම කොයිතරම්ද කියනවා නම් මම MA උපාධි නිබන්ධය කළේ ඔහුගේ කෙටිකතා ගැනයි. මම ඒකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවා ලියාපදිංචි වුණා. නමුත් අවසානයේදී, මගේ ගැබ් ගැනීම නිසා මට එය ඉටු කර ගැනීමට නොහැකි වුණා. කොහොම වුණත් එතුමාගේ කතා මට මුලදි මගේ ලේඛනයට බලපෑවා.” අනුල සිය ලේඛන කලාව ගැන කීවේ එහෙමයි.
“මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ මගේ ගුරුවරයා. විශ්ව විද්‍යාලයේ ඔහුගේ නිර්මාණ පන්තියට (නිර්මාණාත්මක ලේඛන පන්තියට) මම සහභාගී වුණා ඔහු මගේ නිර්මාණ අගය කළා. ඒ වගේම ගුණදාස අමරසේකර මහත්තයත් මගේ නිර්මාණ අගය කළ කෙනෙක්. මම පාසල් යන කාලයේ වරක් මම කෙටිකතාවක් ලිව්වා, ඔහු එය අගය කරමින් මට ලිපියක් එව්වා. අනෙකුත් රුසියානු ලේඛකයන්ට වඩා ඇන්ටන් චෙකොව් මට බලපෑම් කළා. මම ලෝක සාහිත්‍යය සිංහලට පරිවර්තනය කළත් විදේශීය ලේඛකයන් මට බලපෑම් කළේ නැහැ. හොඳ පරිවර්තකයෙකු වීමටත් අවශ්‍ය ප්‍රධාන සුදුසුකම නිර්මාණශීලීත්වය හෝ දක්ෂතාවයි. දක්ෂතාවයක් හෝ නිර්මාණශීලීත්වයක් නොමැතිව ඔබට ප්‍රබන්ධ පරිවර්තනය කළ නොහැකියි.” ඇය පරිවර්තනය ගැනත් නිර්මාණශීලීත්වය ගැනත් අදහස් දැක්වුවේ එසේයි.
“මට ලිවීමට නිශ්චිත ස්ථානයක් සහ වේලාවක් තිබුණේ නැහැ. මගේ ගේ ඉස්සරහා තල් ගහක් තියෙනවා. ඒක යට පුටුවක් තියාගෙන දවල්ට ලී ලෑල්ලක් තියාගෙන ලියනවා. මගේ නිදන කාමරයේ සුවපහසු මේසයක් තිබුණත් එහි වැඩ කිරීම අවුල් සහගතයි.” ඇය මේ තරම් විශාල පොත් සංඛ්‍යාවක් ලියූ හැටි කීවේ එහෙමයි.
“මා කොරෝනා වැළඳී රෝහල්ගතව සිටි අවස්ථාවේ අත්විඳි අත්දැකීම් හා මා අවට උන් රෝගීන්ගේ අත්දැකීම්ද, අවට සමාජයෙන් ලද අත්දැකීම්ද අලලා පුංචි කතාවක් ලියන්නට සිතුවා. ඒ කොරෝනාව ගැන අවබෝධයක් ලබාදීමට නොව රෝගීන් ගැන අවබෝධයක් හා සංවේදීව සිතන්නට පාඨක ඔබට අවස්ථාවක් ලබාදීම සඳහායි.” ඇය ‘කොරෝනා වාට්ටු’ කෘතිය, 2021 වසරේදී ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශනයක් වශයෙන් එළිදැක් වූ අවස්ථාවේ දී පැවසුවාය.
අනුල ද සිල්වා, සාහිත්‍යය, ජනමාධ්‍යය, විද්යුත් මාධ්‍යය, පුවත්පත් කලා ක්‍ෂේත්‍රය දිග් විජය කළ අපේ කාලයේ වීරවරියකි. විටෙක නව පරපුරක් තනන්නට මග කියා දුන් ඇය නවකතා, පරිවර්තන, ළමා සාහිත්‍ය, කෙටි කතා හා යොවුන් සාහිත්‍යය මෙන්ම චරිතාපදාන ග්‍රන්ථ 125 කට අධික ප්‍රමාණයක් රචනා කරමින් යුග යුග විචාර ප්‍රතිචාරවලට බඳුන් වන්නා වූ දැවැන්ත සමාජ මෙහෙවරක නිරතවූ මහා සාහිත්‍යවේදිනියක ද වූවාය. එම මෙහෙවරෙහි සුවිශේෂී බව නම් සිය දිවි ගමනේ අසූ දෙවැනි අවසන් සැතපුමේ සිටියදීත් ඇය තම සාහිත්‍ය කලා මෙහෙවරෙහි අඛණ්ඩව නිරත වීමට තරම් චිත්ත ධෛර්යයකින් යුක්තව සිටීමයි.
පෙර සඳහන් කළ පරිදි ඇය වීරවරියක් වන්නේ 2004 දෙසැම්බර් 26 සිදුවූ බිහිසුණු සුනාමි විපතින් දිවි ගලවා ගැනීම නිසා හෝ කොවිඩ්-19 මාරක වසංගතයට ගොදුරුව ඉන් දිවි ගලවා ගැනීම නිසාම පමණක් නොවේ. ලොව පුරා අසාධාරණයට ලක්ව, මහත් විවාදාපන්න අයුරින් එවැනි වාරණයන්ට, අසාධාරණ බාධා කිරීම්වලට, ලක්වී දුක් පීඩාවන්ට මුහුණ දුන් කාන්තා චරිත ඇසුරින් ලියැවුණු සත්‍ය කතා පුවත් අභියෝග රැසක් මැද සිංහල පාඨකයා හමුවට පරිවර්තන කෘති ලෙස රැගෙන ඒම නිසාම ‘අනුල ද සිල්වා‘ වීරවරියක වන්නීය.
ශ්‍රී ලංකාවේදී තහනම් කිරීමට නොහැකි වූ ‘දෙවියන්ගේ අඩවිය’ ඔබට මතකද? ලොව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇති කළ Not Without My Daughter කෘතියේ සිංහල පරිවර්තනය ‘දෙවියන්ගේ අඩවිය’ නමින් 1999 දී එළිදැක්වුණේ ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වාගේ පරිවර්තනයක් හා සූරිය ප්‍රකාශනයක් වශයෙනි. එවකට කිසිදු සිංහල පරිවර්තන කෘතියකට නොලද අන්දමේ ප්‍රචාරයක් හා පාඨක ඉල්ලීම් ‘දෙවියන්ගේ අඩවියට’ ලැබුණේ එය ඉරානයේ තහනම් ලැයිස්තුවට අයත් සාහිත්‍ය කෘතියක් වූ බැවිනි.
එසේම එය ඉතිහාසගත වූයේ සිංහලෙන් පළවූ පරිවර්තන කෘති අතුරින් ජාත්‍යන්තර බලපෑමට ලක්වූ පළමු කෘතිය වශයෙනි. තානාපති අංශවල බලපෑම් මත මෙය ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට ගත්තා වූ වෑයම පරාජයට පත්වීම නිසා එදා තහනමට ලක්වූ කෘතියක් සිංහලෙන් කියැවීමට තරම් අපේ පාඨකයන් වාසනාවන්ත විය. අනුල ද සිල්වා ප්‍රවීණ සාහිත්‍යවේදිනිය කෙටි කලක් නිරතවූ ගුරු වෘත්තියට සමුදී ලේක්හවුස් ආයතනයට එක්වන්නේ 1960 දශකයේ මුල් භාගයේදීය. ඒ ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ කතුවරයාගේ ‘මිහිර’ පුවත්පතේ සේවයට එක්වෙමිනි. වසර ගණනාවක සේවයෙන් අනතුරුව ඇය එහි කතු පදවියට ද පත් වූවාය. එපමණක් නොව ඇය තරුණි, සිරිකත, වනිතා විත්ති, යෞවන වැනි පුවත්පත් සහ සඟරාවල නිදහස් ලේඛිකාවක්, කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදිනියක්, උප කර්තෘවරියක්, විශේෂාංග කර්තෘවරියක් සහ ප්‍රධාන කර්තෘවරියක් වශයෙන්ද කටයුතු කළාය. එසේම ජාතික තරුණ සේවා සභාවේ මුල් යුගයේ ප්‍රමුඛ පෙළේ නිලධාරිනියක් ලෙසද සේවය කළාය.
ඇයගේ පළමු නවකතාව වූ ‘උන්මත්තකයෝ’ පළවන්නේ 1964 දීය. එතැන් පටන් අහස් මාලිගා (1967), ඉරහඳ නැති ලොව, පින්මද ගැහැණු, යසෝදරීගේ සංග්‍රාමය, සූකර වස්තුව, මල් මඳ බිසෝලා, පාදයඩකුට පෙම් බැඳ, වංකගිරි අසපුව, අසම්මතය, සාන්තුවරයා හා යමපල්ලා, මහමෙරක් උසට, රතු වසන්තය, මංජේශ්වරී, පාතාල ප්‍රේමය, පාරා වළල්ල, මහ මුහුද මමය, කැරැල්ලේ දියණිය, ගල් වරුෂා, කඳුළ හා සිනහව, මයා බන්ධන, ආවර්ජනා, උත්තම ගැහැනු, අපි මහලු වයසේ (2020), සුළං කිරිල්ලී (2021) වැනි නවකතා රාශියක් රචනා කළාය.
1991 දී ‘නව වසර’ කෘතිය සිංහල පරිවර්තනයක් ලෙස එළිදක්වමින් ආරම්භ කරන පරිවර්තන කාර්යයෙන් පසු ‘කටු කුරුළු හඬ’ (1997), ‘දිළිසෙන පිහාටු’ (1998), ‘දෙවියන්ගේ අඩවිය’, ‘තුන්වැනි බිරිඳ’, ‘කෝනා’, ‘රතු සෙබළිය’, ‘කළු ගැහැනියගේ සිහිනය’, ‘අත්තටු මැවිලා’, ‘තිත්ත කෝපි’, ‘කඳුකර මාවත’, ‘හිරු කිරණ’, ‘ලොලිතාගේ පෙම්වත්තු’, ‘අම්මා සහ නිල් කබාය’, ‘අවසන් ලියුම’, ‘දඹතැන්න’, ‘ශුද්ධ ජලය’, ‘රාජ උරුමය’, ‘පිළිකා වාට්ටුව’, ‘හඬන මුහුද’, ‘හොර බැළලිය’, ‘මායාව’, ‘තිබ්බත’, ‘දියණිය’, ‘තලෙළු පැහැය’, ‘ආදරය බලා ඉඳී’, ‘විලාසිනිය’, ‘ආදරය සමුගනී’, ‘දිදුළන කඳුළැලි’, ‘කඳුළු දෝණී’, ‘සිරගත කුමරිය’, ‘පවුලක ගින්දර’, ‘සමනල හාදුව’, ‘මග සොයා ගිය ගමන’, ‘සරණාගත’, ‘අළු සිහිනය’, ‘වියරුව’, ‘සුළඟ හා වැස්ස’, ‘සෙබළියගේ දූත ගමන’, ‘සොරාගත් නිරුවත’, ‘සුදු පිරුවට’, ‘උන්මාදය’, ‘කහ කුරුලු කූඩුව’, ‘ආයුබෝවන්’, ‘මම තස්ලිමා’, ‘රතු මායිම’, ‘ගල්ලෙනක දෝංකාරය’, ‘යුද්ධය හා අම්මා’, ‘නිහඬ ආදරය’, ‘අම්බර’, ‘ලී පහුර’, ‘මා දං කෙල්ල’, ‘මාතුබී මමයි’, ‘දුව නැතිව මං’, ‘හිතුවක්කාර කෙල්ල’, ‘මැණික් ගල්’, ‘උඩු යටිකුරු’, ‘දූවිලි මල’, ‘හිරිඔතප්’, ‘ආදරණීය වියරුව’, ‘පෙරාගත් මල් පැණි’ වැනි ලෝ ප්‍රකට කෘති රාශියක් ඇය අතින් සිංහලට පරිවර්තනය විය.
‘යුග අභියෝග’ (1969), ‘කැලණි ගඟ ගලා බසී’ (1993), ‘මරණයක පසුවදන’ (2005), ‘නළඟන හා බිරිඳ’ (2007) ඇයගේ කෙටිකතා ඇතුළත් කෘති කීපයකි.
‘අපි යාළු’ (1987), ‘මල් ළමයා’ (1988), ‘සුවඳ රෝස’ (1995), ‘සුනිමල්’, ‘සිරිමල්ගේ වාසනාව’, ‘වෙරළ දිගේ අපි ආවා’, ‘ඉතිහාස පොතේ රස කතන්දර’, ‘සුන්දර නවාතැන’, ‘නන්ද හා සරණ’, ‘රාමා හා දිනූ’ (යොවුන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන), ‘පාරු කෙල්ල’, ‘ඔටිසම්’ හා ‘හිස් තැනක සිට’ ඇය අතින් ලියැවුණු යොවුන් පරපුුර වෙනුවෙන් පළ වූ සාහිත්‍ය කෘති ය.
තම වෘත්තීය ජීවිතය මුල්කරගෙන ලියූ ‘බේරෙ ගෙදර සිට’ (2001) කෘතිය හා ඇය සීයාට උපහාර පුදමින් කළ ‘බුද්ධදත්ත නාහිමි’ (2002), ‘ඡායාවක ඡායා’ (2007) ඇය අතින් රචිත චරිතාපදානයන් වේ.
2004 දී ඇය ජීවත්වූයේ මෝදර කාක දූව ජාතික නිවාස සංකීර්ණයේ නිවසක ය. මුහුදු වෙරළාසන්නයේ පිහිටි ඒ නිවාසවලට සුනාමියෙන් බරපතල හානි සිදු විය. ඇය දිවිගලවා ගත්තේ ද අනූනමයෙනි. එය ඇය පුවත්පත්වලට මෙසේ කීවාය:
“2004 සුනාමියෙන් මගේ පොත්පත් ඔක්කොම විනාශ වුණා. එදා මගේ ගෙදරට සුනාමි මුහුදු රළ පහර එනකොට මට මගේ පොත්පත් බේර ගන්න වෙලාවක් තිබුණේ නෑ. මාවත් ගහගෙන යන්න ඔන්න මෙන්න තිබියදී ජල මට්ටම මගේ බෙල්ල ගාවින් නතර වුණා. ඒ වෙලාවේ මා දුටුවා මගේ අත්පිටපත් කීපයක් සාලයේ මේසයක් මත තියෙනවා. මං හනික ඒ අත්පිටපත් ටික මේස රෙද්දේම දවටලා උඩ තට්ටුවට විසි කළා. ඒ ටික විතරයි, බේර ගන්න පුළුවන් වුණේ. පොත් තුන්දහසකට වැඩිය තිබ්බ පොත් එකතුව එදා සුනාමියට සම්පූර්ණයෙන් ම ගහ ගෙන ගියා.” ඇය කීවාය.
අනුල, ඔබේ කුඩා සිරුර තුළ අපට දුටුවේ දැවැන්ත මනුෂ්‍යයෙකි. මේ තරම් නිර්මාණ සමුදායක් බිහිකරන්නට යෝධයකුට මිස අන් කිසිවකුට කළ නොහැකියි. ඔබ අප ජාතියට දායාද කළ අති විශාල නිර්මාණ සමුච්චය වෙනුවෙන් අප ඔබට ණය ගැතිය. ඔබට සුබ ගමන්!
0 Comments