HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෲඩියා සිලනිකා:ආන්දෝලනාත්මක ඉපැරණි ගස අතුරුදහන්!

ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර එම ශාකය ඉවත් කිරිමට ගත් උත්සාහය මහත් අන්දෝලනයකට තුඩු දුන්නා. කෙසේ වෙතත් ජුලි 10 වැනිදා පැමිණි කණ්ඩායමක් මෙම ශාකයේ අතු කඩා දමා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් සම්පුර්ණයෙන් ම උගුල්ලා රැගෙන ගිය බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පණු කරඳ ශාකය 

මේ ශාකය සොයා ගැනීම හා බේරා ගන්න කළ අරගලය ගැන ‘මල් කැකුළු’වලින් ඒ දවස්වල දැනුවත් කළා ඔබට මතක ඇති. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු කියනවාලු 

 ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු මෙරටට ආවේණික අති දුර්ලභ පණු කරඳ ගස ‘හඳුනා නොගත් පිරිසක්’ විසින් පණු කරඳ ගස ගලවා ඉවත් කිරිම සම්බන්ධව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ශාකය ඉවත් කිරිම ගැන විමර්ශනයක් සිදු කරන්නට අවසර ඉල්ලා ගම්පහ වන අඩවි කාර්යාලය අධිකරණ නියෝගයක් ලබා ගෙන තියෙනවා. මෙසේ අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ගම්පහ අතිරේක දිසා වන නිලධාරි මහී වර්ණප්‍රිය ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව යයි ගම්පහ වන අඩවි නිලධාරි ඒ.ජේ පුෂ්පකුමාර කියනවා. මෙම ශාකය පිහිටා ඇති කලාපය වන සංරක්ෂණ කලාපයක් නොවුන ද පණු කරඳ ශාකයේ විශේෂත්වය සලකා සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊට මැදිහත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. 

කෲඩියා සිලනිකා (පණු කරඳ) ගස ඉවත් කිරීමට පෙර පැවති අයුරු.

"ගහ ඇත්තටම හයිවේ එකට අදාළව නේ තියෙන්නේ. එතකොට ඒක විශේෂ ගහක් විදියට තමයි හඳුනගෙන තිබුනේ. දැනට මේ ප්‍රදේශයේ තවත් ඒ ගස් හම්බ වෙලා තියෙනවා. එතකොට මේක බැකෝ දාලා ගලවලා අරන් ගියේ වෙනත් ස්ථානයක හිටවන්න ද, කොහොමද ගෙනිච්චේ කියාල මට දැනුම්දීමක් නම් නැහැ." 

පණු කරඳ ගස විනාශ කර ඉවත් කරන ලද්දේ කවුරු විසින් ද යන්න මේ තාක් අනාවරණ වී නැති අතර විනාශ කරන ලද ගසෙහි මුල ඇතුලු කොටස් අතුරුදහන් වෙලා!

"බැකෝ එකක් ඇවිල්ලා අතු ටික ඉස්සෙල්ලා කැඩුවා, ඊට පස්සේ ටිකක් ලොකු වාහනයක් ආවා ඒකේ දිග අඬු දෙකක් වගේ තිබුනා, ඒකෙන් මුල ගලෝලා බැකෝ එක ගෙනාපු වාහනයටම දාගෙන ගියා." යැයි සිදුවීම දුටු ප්‍රදේශවාසියකු මාධ්‍යය වෙත පවසා තිබුණා.

පණු කරඳ ශාකය ඉවත් කර අධිවේගී මාර්ගය සෑදීමට උත්සාහ කළ 2021 වසරේ පෙබරවාරි මාසයේ දී එම ගස බේරා ගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් විසින් ගස සසුන් ගත කිරීමට ද කටයුතු කරනු ලැබුවා. 

"බෞද්ධයන් හැටියට කල්පනා කළොත් ශ්‍රී මහා බෝධිය තමයි ඓතිහාසික බෝ ගස, ලංකාවේ හා ලෝකයේ තවත් බෝ ගස් තියෙන්න පුලුවන් හැබැයි අපි ශ්‍රී මහා බෝධිය කොයි වෙලාවකවත් කපලා විනාශ කරන්නේ නැහැනේ. එතකොට මේ ශාකය තමයි 1861 හොයාගෙන මේ දක්වා ආරක්ෂා කරගෙන යන එකම ශාකය හැටියට සලකන්නේ." යැයි ශාකය සසුන් ගත කරමින් එම පෙරමුණේ විධායක සභික පුජ්‍ය තංගල්ලේ සාරද හිමියෝ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. 

“ජූලි 10 වැනිදා සවස 3ට විතර පිරිසක් ආවා.  බැකෝ එකක් හා බුල්ඩෝසරයක් එක්ක. ‍බැකෝ එකෙන් අතු කඩා දැම්මා. බුල්ඩෝසරයෙන් ගස උගුල්ලා බැකෝ එක ගෙනා ලොරියටම දමා ගත්තා. අවට පරිසරය සමතලා කර දැම්මා. විනාඩි අටක්වත් ගියේ නෑ, ඒ අය යන්නත් ගියා.” සිද්ධිය ඇසින් දුටු තවත් අයකු කියනවා. ගස ඉවත් කිරීමට පැමිණි පිරිස අතර ලාංකිකයන් මෙන්ම විදේශීය ජාතිකයින් ද සිට ඇති අතර ඒ ප්‍රදේශවාසියා කියන්නේ ඔවුන් චීන ජාතිකයින් බවයි. 

ශාකය ඉවත් කිරිමෙන් පසු ඒ ස්ථානය පස් දමා වසා ශාකයක් තිබු බව 
සොයා ගතනො හැකි ලෙසට වෙනස් කර ඇති අයුරු.

ශාකය ඉවත් කිරිමෙන් අනතුරුව එම ස්ථානය පස් දමා වසා ශාකයක් තිබු බවට සොයා ගත නොහැකි ලෙසට වෙනස් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියනවා. 

රතු දත්ත පොතටත් ඇතුළත් වෙලා! 

කෲඩියා සිලනිකා ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වෙනවා. මෙම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) දක්වා තියෙන්නේ ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙසයි. 

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් ලෙස නම් කර තිබෙන පණු කරඳ ශාකය 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමට අත්‍යාසන්න තත්වයේ (Critically Endangered) පසුවන ශාකයක්. ලැබුණ තොරතුරක් මත 2019 වසරේ දී මෙම ශාකය ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් මුලින් ම හඳුනා ගෙන ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ පරිසරවේදියායි. මෙසේ හඳුනාගත් පසු එය හරියටම තහවුරු කර ගන්න මල් පිපෙනකම් ඉන්න සිද්ධ වුණා. 

2021 වසරේ දී මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීමට පණු කරඳ ශාකය ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගත් උත්සාහය එවක ගම්පහ වන අඩවි නිලධාරිනිය දේවානි ජයතිලක, ප්‍රදේශ වාසීන් හා පරිසරවේදීන්ගේ උත්සාහයෙන් නතර වුණා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ මෙම ශාකය ඉවත් නොකර අධිවේගී මාර්ගය ඉදිකරන ලෙසයි. 

"මේ ගහ ඉවත් කරන්න එනකොට ඔවුන් විද්‍යාඥයන්ට කියලා තව ගස් හයක් හතක් හොයාගෙන තියෙනවා. නමුත් එයින් විද්‍යාත්මකව ගත්තාම ඒ ගහේ තියෙන වඳ විමේ තර්ජිත තත්වයට කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ඒ නිසා ශාක විශේෂයක් විදියට පණු කරඳ ශාකයේ පැවැත්ම තහවුරු වුණ තත්වයක් තවමත් ලංකාවේ නැහැ." යි පරිසරවේදී ජගත් ගුණවර්ධන කියනවා. 

ප:ලි: ජූලි 11 වැනිදා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ගමනාගමන හා මහා මාර්ග ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන කීවේ ගස ඉවත් කළේ කැබිනට් තීරණයක් අනුව බවයි. ගස එසේ තියෙන්න හැර අධිවේගී මාර්ගය උඩින් ගියොත් වැඩිපුර බිලියන 16ක් වැය වන බවත්, හරවා ගියහොත් 15ක් වැය වන බවත්, තවත් බලා සිටියොත් ප්‍රමාද ගාස්තු වශයෙන් බිලියන 5ක් එය ඉදිකරන චීන සමාගමට ගෙවිය යුතු බැවින් ගස ඉවත් කරනවා හැරෙන්න වෙන් විකල්පයක් නැති බවයි ඔහු කියන්නේ.

Post a Comment

0 Comments