HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැන නොකී කතාවක්!

වසර 120ක් තිස්සේ ලක්දිව පුරා එකසේ ජනප්‍රියව පැවතුණු "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග එම ගීතය පිළිබඳ අලුත් කතාබහක් මතුවී තියෙනවා. 1903 වර්ෂයේදී වේදිකා ගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශුරින්ගේ ‘සිරිසඟබෝ’ නාට්‍යය සමග ජනතාව අතරට ආ මේ ගීතය තාමත් එදා මෙන්ම ජනප්‍රියයි. මෙතරම් ජනප්‍රිය ගීයක් මේ තරම් කාලයක් ජන හද තුළ රැව්පිළිරැව් දුන් ගීයක් තවත් නම් ඇත්තේ නැහැ. මේ ගීතයේ ජනප්‍රිය භාවයේ රහස මීට යොදා ගත් සුවිශේෂ තනුවයි. මෙහි තනුව නිර්මාණය කර ඇත්තේ විශ්වනාත් ලව්ජී නම් භාරතීය සංගීතඥයා විසිනුයි. ඔහු පහාඩි රාගය ඇසුරෙන් මෙහි තනුව නිර්මාණය කර ඇති අතර ඊට වචන යෙදීම සිදු කර ඇත්තේ ජෝන් ද සිල්වා විසිනුයි. 

‘සිරිසඟබෝ’ නාට්‍යයේ ජවනිකාවක් සහ එහි රචක නීතීඥ ජෝන් ද සිල්වා

‘සිරිසඟබෝ’ නෘත්‍යයේ ජවනිකාවක එන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ නම් මේ ගීතය ගයන්නේ ‘සිරිසඟබෝ’ නාටකයෙහි දැක්වෙන පරිදි, මහියංගණයේ සිට පැමිණෙන, සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමාරයන් තිදෙනායි. ඔවුන් ඒ අවස්ථාවේ දී මේ ගීතයෙහි ඇති (අන්තරා) කොටස් තුන පිළිවෙළින් ගයනවා. 

මෙම නූර්ති ගීය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙනතුරු උත්සව සහ වෙනත් අවස්ථාවලදී පොදු ගීතයක් ලෙස ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන තිබෙනවා. ජාතික වින්දනයට සහ චින්තනයට ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, " දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කර තියෙනවා. 

“ඔය ගීතය කවදාවත් නොමැරෙන ගීතයක්. ඉතින් මේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කරපු එක, දැනට නෘත්‍ය ගී ගායනා කරපු සහ ඒවා දැනට උගන්වන කලාකරුවෙක් ලෙස මට හරිම සතුටක් දැනෙනවා." විශාරද එඩ්වඩ් ජයකොඩි කියනවා. 

"1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන නාට්‍ය කණ්ඩායමක් තමයි නෘත්‍ය රංග සම්ප්‍රදාය පළමුවෙන් මෙරටට රැගෙන එන්නේ. ඔවුන්ගේ පළමු උත්සාහය වුනේ රුවල් නැවකින් එංගලන්තයට ගොස් මේ නාට්‍ය සම්ප්‍රදාය එහෙදි රඟ දක්වන්න. නමුත් එංගලන්තය වැනි දීර්ඝ මුහුදු ගමනකදී මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ ආපදාවලට එරෙහිව කරන පෙරහුරුවක් විදිහට තමයි ඒ කණ්ඩායම ඉන්දියාවට ආසන්නම රට වෙන ලංකාවට එන්නේ." 

"ඒගොල්ලෝ පාර්සි භාෂාව කතාකරන නාට්‍ය කණ්ඩායමක්. පළමු වරට රඟ දක්වපු නාට්‍ය තමයි 'ඉන්දර් සභා' ඒ කියන්නේ දේව සභාව කියන නාට්‍යය. ඒකේ ප්‍රධාන නළුවා බොහොම රූප සම්පන්න කෙනෙක්. එයාගේ නම තමයි බලිවාලා කියන්නේ." 

"මේ නාට්‍ය කණ්ඩායම ඉතිහාසයේ නම් තුනකින් හඳුන්වනවා. බලිවාලා රූමත් නළුවා නිසා බලිවාලා නාට්‍ය කණ්ඩායම විදිහටත්, පළමුවට රඟ දක්වපු ‘ඉන්දර් සභා’ කියන නාට්‍යයේ නම නිසා ඉන්දර් සභා නාට්‍ය කණ්ඩායම කියලා වගේම ඔවුන් නාට්‍ය පෙන්වූ භාෂාව වූ පාර්සි භාෂාව නිසා පාර්සි නාට්‍ය කණ්ඩායම කියලත් මේ අයව එකල හඳුන්වා තිබෙනවා. මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම නාට්‍ය කණ්ඩායමයි." 

මේ අය ඇවිල්ලා මුලින්ම පිටකොටුවේ වර්තමානයේ කොළඹ වරාය ඉදිරිපිට තිබූ 'චාමර්ස් ධාන්‍යාගාරයේ' දි තමයි පළමු නාට්‍යය රඟ දක්වලා තියෙන්නේ. මේ නාට්‍යයේ තිබුණු විචිත්‍ර බවත්, සංගීතයත් නිසා එය ඉතා ඉක්මනින් මෙරට ජන හද ඇද ගත්තා පමණක් නොව මෙරට රසිකාමී ජනතාව අතර මේ නෘත්‍ය රංග සම්ප්‍රදායත් ඉතාමත් ජනප්‍රිය වුණා. 

සිංහල නුර්ති රංග සම්ප්‍රදායේ පුරෝගාමීන් ලෙස අමතක කළ නොහැකි නම් ගණනාවක්ම තියෙනවා. නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රාරම්භකයා තමයි දොන් බස්තියන් ජයවීර බණ්ඩාර. ඔහු නාඩගම් රචකයෙක් වගේම ආරම්භක නෘත්‍ය රචකයෙක් විදිහටයි සැලකෙන්නේ. ඊට පස්සේ එනවා මහා දැවැන්තයන් දෙන්නෙක්. ඒ දෙන්නම නීතිඥවරුන්. ඔවුන් තමයි, නීතිඥ ජෝන් ද සිල්වා හා නීතිඥ චාල්ස් ඩයස් යන අය. ඔවුන් මේ නූර්ති කලාවට විශාල දායකත්වයක් දුන්නා. තියෙනවා. ඒ නීතිඥ චාල්ස් ඩයස් ගේ, මාමා තමයි, ටවර් රඟහලේ අයිතිකරු හෙන්රික් සෙනවිරත්න. 

වර්තමානයේ දී ' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා' ගීතය සඳහා භාවිත වන්නේ මුල් තනුව නොවන බවත්, වෙනස් එකක් බවත් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහයන් කියනවා. 

" නිවැරදි තනුව ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තියෙනවා. එය මුලින්ම ගායනා කරලා තියෙන්නේ එච්.ඩබ්ලිව්. රූපසිංහ හෙවත් රූපසිංහ මාස්ටර්. දැන් ඒකෙ පොඩ්ඩක් තනුව වෙනස්. දැනට වර්තමානයේ භාවිතා වන්නේ වැරදි තනුවක්. ඔරිජනල් තනුව අහන්න ඕනේ නම් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ගුවන් විදුලි සංස්ථාවේ තියෙන තැටිය අහන්න ඕනෑ. මේ ගීතය ඉතාමත් වැරදි විදිහට භාවිත වුණා. වරක් ලෝරන්ස් කියලා නමක් තියෙන කෙනෙක් බටහිර උරුවට මේ ගීතය ගායනා කළා. අන්තිමේදී ගොඩක් අය කිව්වා මේක බටහිර ගීතයක් කියලා. ඒ වගේ ගොඩක් විකෘතිවලටත් ගීතය භාජනය වුණා." යයි වික්‍රමසිංහයන් කියනවා. 

"මේ ගීතය බටහිරට ආරට කියන්නත් පුළුවන්, හින්දුස්තාන් විදිහට කියන්නත් පුළුවන්, දේශීය විදිහටත් කියන්න පුළුවන් අතිශය ලස්සන තනුවක් තියෙන ගීතයක් මේක." යනුවෙන් වික්‍රමසිංහයන් වැඩිදුරටත් කියනවා. 

"මේක අපේ දැනට තියෙන පැරණිම තනුවක්, වර්තමානයේ මංගල උත්සවවලදී මංගල යුවළ පෝරුවෙන් බැහැලා කේක් කපන්න ගියාම මුලින්ම පටන් ගන්න කියලා ඥාතීන් ඉල්ලන්නේ දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනයයි. හැබැයි ඒකට හේතුව ඥාතීන් දන්නෙත් නැහැ. හේතුව තමයි දිර්ඝායුෂ. ලංකාවේ තියෙන දිර්ඝායුෂ ගීතය නිසයි මේක වාදනය කරන්න කියන්නේ. දැන් ඕනෑම රංග ශාලාවක් විවෘත කරන්න යද්දී පෙන්වන්න කියන්නේ මනමේ නාට්‍යය. ඒ ඇයි? දිර්ඝායුෂ. මනමාල යුවළට දිර්ඝායුෂ පතන්න මේ ගීතය භාවිත කරනවා, සමාජ උත්සවවලදී එහෙම." වික්‍රමසිංහයන් අවසාන වශයෙන් කීවා. 

Post a Comment

0 Comments