HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඩ සිය වසක් තිස්සේ ගීතයෙන් විස්කම් පාන ‘රත්න ශ්‍රී’

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වැනි ජන්ම දිනය හා 50 වසරක නිර්මාණ දිවියත් නිමිති කොට ගෙන ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේ පැවැත්විණ. ඒ අරමුණු කොට ගෙන ඔහුගේ ගීත නිර්මාණ භාවිතය ගැන විශේෂ ලිපියක් 2023 ජූනි 6 වැනි දා ලංකාදීප’ පත්‍රයේ වීමංසා සංග්‍රහයේ පළ විය. මහේෂ් ක්‍රිෂාන්ත ලියූ ඒ ලිපිය ඉතා ප්‍රශස්ත එකකි. ඒ නිසා ‘මල් කැකුළු’ පාඨකයන් වෙනුවෙන් එය මෙසේ උපුටා දැක්වීමට අදහස් කෙළෙමු. කවදත් මෙවැනි හරවත් ලිපි පාඨකයා වෙත ගෙනෙන වීමංසා සාහිත්‍ය සංග්‍රහයේ සංස්කාරක ගාමිණී කන්දෙපොළ සහෘදයා ද මෙහිදී අපේ පැසසුමට ලක් වෙයි. 

සුභාවිත ගීතයේ රත්න ශ්‍රී ලකුණ 

හොඳම ගේය පද රචකයා හොඳම කවියෙකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, ආනන්ද සමරකෝන්, මඩවල රත්නායක, විමල් අභයසුන්දර, ඩෝල්ටන් අල්විස් ආදී ගේය පද රචකයන්ගේ නිර්මාණ නිරීක්ෂණයෙන් මේ සත්‍යය වටහා ගැනීම දුෂ්කර නොවේ. සිංහල කවියට සාපේක්ෂව බලන විට අපට අනාදිමත් කාලයක සිට පැවැත එන සංගීත කලාවක් තිබුණු බවට සාක්ෂි නැත. එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ බලපෑම එයට ලැබුණු බවට තර්ක විතර්ක බොහෝ ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත්තේ සිංහල ගීත සාහිත්‍යයේ පියා මහගම සේකර බවත්, මී මුත්තා රවීන්ද්‍රනාත් තාගෝර් බවත්ය. 

රවීන්ද්‍රනාත් තාගෝර්, රවී ශංකර් වැනි සංගීතඥයන් බිහි වූයේ ජීවිතයම සංගීතය කරගත් නිසාම නොවේ. ශාස්ත්‍රීයව හා විද්‍යාත්මකව සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කළ බැවිණි. තාගෝර් තුමන්ගේ ලංකාගමනයෙන් ලත් උත්තේජනයෙන් ලංකාවෙන් ඉන්දියාවට සංගීතය හැදෑරීමට ගිය බොහෝ දෙනා කළේ එය මතුපිටින් ස්පර්ශ කර මෙහි පැමිණ රැකියාවක් කිරීමය. 

එසේ නොමැතිව දේශීය සංගීතය සම්ප්‍රදායක් මෙරට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කළෝ විරල වූහ. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැන යළි යළිත් කතාබහ කිරීමට සිදුවන්නේ එවන් පසුබිමකය. එකල ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත ආදීන් ඔසවා තැබූ දේශීය සංගීතය ඒ පමණින්, ඇතැම් විට ඊටත් වඩා උසස් මට්ටමකින් ශාස්ත්‍රීය හා විද්‍යානුකූලව පෝෂණය කරමින් පවත්වා ගෙන ඒමේ ගෞරවය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට හිමිවිය යුතුමය. 

භාරතයේ ලක්නව් භාත්ඛාණ්ඩ සංගීත විද්‍යා පීඨයේ මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රතන්ජංකර් වැනි සංගීතවේදීන්ගේ ගෞරවයට පත් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ ගායන ප්‍රතිභාවෙන් ද සංගීත ස්වර සුසංයෝජනයෙන් ද ප්‍රමුඛ වූහ. ඔහු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කව් ගීවලට සාධාරණය ඉෂ්ඨ කළහ.මානවසිංහ කොළඹ කවිය අනුමත නොකළ කොළඹ කවියෙකි.  කවිය ගීත මාධුර්යයෙන් පෝෂණය කළේ ඔහුය. 

පසුකාලීනව එච්. ඇම්. කුඩලිගම ආදී කවීන්ගේ නිර්මාණවල ගීතාත්මක ලක්ෂණ ගැබ්ව තිබුණි. මානවසිංහ සෙසු කවීන්ට වඩා කවියට ගීතාත්මක ලක්ෂණ එකතු කළේය. ඔහුගේ කවිවල දක්නට ලැබුණු සුගායනීය ලක්ෂණ නිසා ඒ කවි සංගීතය ඉල්ලා සිටි බැවින් අමරදේවයන්ට ඒවා ගායනා කිරීමට පහසු වූයේය. මානවසිංහගේ ‘කෝමළ රේඛාවේ’ එන කවි, ගීත ද කවි ද යන්න හඳුනා ගැනීම දුෂ්කර වී ඇත්තේ එම නිසාය. පණ්ඩිත් අමරදේව ගයන ‘මහ බෝ වන්නම’ ඊට හොඳ නිදසුනකි. 

මානවසිංහයන්ගෙන් පසුව සිංහල ගීතයෙහි කඩ ඉමක් සලකුණු කළේ මහගම සේකර ය. ඔහුගේ පැමිණීමට ද මානවසිංහගේ ගීත සාහිත්‍යය බලපෑවේය. එහෙත් මහගම සේකරගේ බොහෝ කවි හා ගීත අතර පැහැදිලි වෙනසක් ඇත. සේකරගේ බොහෝ කවි ගීත ලෙස ගායනය කළ නොහැකි රචනාය. සේකරගේ කවි පොත්වල ගීත රචනා කිහිපයක් ද ඇත. 1970 රචිත ‘බෝඩිම’ කාව්‍ය සංග්‍රහයෙහි ඇති ‘රත්නදීප’ (පි. 41), ‘බොල් පොළවට’ (පි.43), ‘ඔබේ නමින් සෑය බඳිමි’ (පි.49),’සත් කුළුපව් වළලු මතින්’ (පි. 53) ආදී නිර්මාණ දැක්විය හැකිය. 

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

අද්‍යතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි කවියත් ගීතයත් අතර හුවමාරුව ඇතිකර ගත් කවීන් දෙදෙනා නම් සේකර සහ රත්න ශ්‍රී විජේසිංහ යැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ කියති. 

සේකර තමන් ලියූ රචනා ගීත බවට පරිවර්තනය නොකළ අතර රත්න ශ්‍රී මුලින් කවි පොත්වලට ලියූ කාව්‍ය රචනා පසුව සංස්කරණය කිරීමෙන් ගීත බවට පෙරළා ගීත පොත්වලට ඇතුළත් කර ඇත. 1985දී රචිත ‘වස්සානේ’ කාව්‍ය සංග්‍රහයෙහි ‘වංකගිරියට මාරුවීම’ නම් වූ කවිය ‘මගෙ බිසව්නේ අසාපන්’ නැමැති ගීතය බවට පරිවර්තනය කර ඇත. 

“මගේ බිසව්නේ අසාපන් 
නුඹ මන්ද්‍රි දේවි නොවුණේ 
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි”

රත්නශ්‍රීගේ මේ ගීතවලින් පෙනී යන්නේ මහගම සේකරටත් වඩා මුල් කාලයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ආභාසයට නතුවූ බවය. එහෙත් පසු කාලයේ දී ඔහු කවියත්, ගීතයත් යන කලා මාධ්‍ය දෙකම හඳුනාගෙන නිර්මාණකරණයෙහි යෙදුණු බවක් පෙනෙතත්, ඇතැම් විචාරකයෝ කවියත් ගීතයත් නොහඳුනන අනුකාරක පරම්පරාවක් බිහි වූයේ රත්නශ්‍රීගෙන් පසුව යැයි ඔහුට චෝදනා කළහ. 

එසේ අධි චෝදනාවලට ලක්වුව ද කාව්‍යයේ ශක්තිය මැඬගෙන ගීතය මතුවූ අවස්ථාවල ඔවුහු කවිය ද ගීතය ද වෙන් කරගෙන දෙ අංශයම පෝෂණය කළහ. ගීතය ශාස්ත්‍රීය සාහිත්‍යාංගයක් වීමත් සමග ඔවුහූ කවිය අත හැර නොදැමූහ. කවි පොත් කිහිපයකට ද ගීත පොත් බොහොමයකට ද සම්මාන හිමිකර ගැනීමෙන් ඒ බැව් පෙනේ. 

කලක් මහගම සේකර-අමරදේව සුසංයෝගයෙන් පොහොණි කළ ගීත කලාව රත්න ශ්‍රී-ගුණදාස කපුගේ සුසංයෝගයේ ප්‍රවර්ධනය අගේ කළ යුත්තකි. පණ්ඩිත් අමරදේව උත්තර භාරතීය සංගීතය යොදාගෙන මෙරටේ ජන සංගීතය ප්‍රවර්ධනය කිරීමට සමත් වූයේ මහගම සේකරයන්ගේ සුභාවිත ගී පදමාලා යොදා ගැනීමෙනි. මහගම සේකර පණ්ඩිත් අමරදේවයන්ට රචනා කළ ප්‍රථම ගීතය වෙත අවධානය යොමු කරමු. ‍ 

‘මළ ඉර බසිනා හැන්දෑයාමේ
ඔබගෙන් සමු ගන්නම් 
අඳුරට ඉඩ දී අඳුරෙහි සැඟවී 
ඔබගෙන් වෙන් වී මම යන්නම් 

මේ සුභාවිත ගේය පද මාලාව මහගම සේකර හැටේ දශකයේ දී ගුවන් විදුලියේ මධුවන්ති වැඩසටහනට රචනා කළ නිර්මාණයකි. මෙසුගීතය අමරදේවයන් විසින් ගායනා කරන්නට යෙදීමත් සමග සේකර-අමරදේව ඇසුර තව තවත් වර්ධනය වන්නට වීම සිංහල ගීත සාහිත්‍යයේ හා සංගීතයේ පෝෂණයට සෘජුවම ඉවහල් වූ බව කිවයුතු නැත. 

සේකර තරම් අමරදේවයන්ට පසුකාලීනව විදග්ධ ගීත රචනා කළ අන් ගීත පද මාලා කරුවකු ගැන කීමට අපි නොදනිමු. සේකර-අමරදේව සුසංයෝගය සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි එක්තරා කඩඉමක් සලකුණු කරනුයේ ද එබැවිනි. මේ ආදේශය මත පිහිටා රත්න ශ්‍රී විජේසිංහ-ගුණදාස කපුගේ සුසංයෝගය ද සිංහල ගීත සාහිත්‍යයේ අලුත් සලකුණකි. 

මහගම සේකරගේ ගේය පද රචනාවලට ගී තනු නිර්මාණය ද ගායන ප්‍රතිභාව ද අමරදේවයන්ගෙන් ලැබුණේ යම් සේද රත්න ශ්‍රී විජේසිංහගේ බොහෝ ගේය පද මාලාවලට සංගීතයෙන් ද ගායනයෙන් ද දායක වූයේ ගුණදාස කපුගේය. රත්න ශ්‍රී 1982 දී පුවත්පතකට ලියා යැවූ ‘වංකගිරියට මාරු වීම’ නම් පද්‍ය රචනාව එහි පළ විය. එය කියවා රසවිඳි ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් සොඳුරු මිනිසා කවිය කපුගේට දුන්නේය. 

කපුගේ පද මාලාව සංගීතවත් කර ගායනා කරන තෙක් රත්න ශ්‍රී එය දැන සිටියේ නැත. රත්න ශ්‍රී හා කපුගේ ඇසුර ඇති වන්නේ එයින් පසුවය. 1982 දී ‘කාලයේ රාවය’ නම් ප්‍රසංගය සඳහා කපුගේ සූදානම් වෙමින් සිටියේය. කපුගේ ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය වූ එයට සහභාගි වන්නැයි රත්න ශ්‍රීටද ඇරයුම් කළේය. රත්න ශ්‍රී අනුරාධපුරයට ගොස් ජීවිතේ ප්‍රථම වරට කපුගේ නම් සොඳුරු කලාකරුවා හමුවිය. ඔහු රත්න ශ්‍රී ‘වීදියේ බුදු හිමි’ ස්වර රටා ගොඩ නංවා ගායනා කළේය. ‍ 

“සොයා නොගොසින දමා නගරය 
ගයා හිස රමණීය වන ගැබ 
භයානක සොර සතුරු බිය පිරි 
වීදියේ වැඩ සිටියි හිමි ඔබ” 

ආනන්ද සමරකෝන්, චන්ද්‍රරත්න මානවසිංහ, සුනිල් සාන්ත වැනි රචකයන් බුද්ධාලම්බන ප්‍රීතිය දනවන ගේය කාව්‍ය රචනා නිර්මාණය කරද්දී රත්න ශ්‍රී ‘වීදියේ බුදු රුව’ ඔස්සේ නිරීක්ෂණය කරන්නට යෙදුණේ සමාජ මිනිසාගේ දුක් සෝ සුසුම්ය. ඔහුගේ සමාජ ගීතයේ තිඹිරිගෙය ‘වීදියේ බුදු රුව’ මතින් දිස් වූයේ අනුරාධපුර ‘කාලයේ රාවය’ ප්‍රසංගයේ දී කපුගේ මියුරු හඬිනි. 

ගීතයක් සම්පූර්ණ වීමට නම් එක් විය යුතු කරුණු හයක් ගැන ශාරංග දේවයෝ සංගීත රත්නාකරයෙහි ලා මෙසේ පෙන්වා දෙති. 

“සුස්වරං සරසං චෛව- සරාගංච මධුරාක්ෂරම් 
සාලංකාර සප්‍රමාණං-ෂඩ් විධ ගීත ලක්ෂණම්” 

 ඒ ශ්ලෝකයට අනුව සුගීතයක් සම්පූර්ණ වීමට එක්විය යුතු ප්‍රධාන කරුණු හය මෙසේය:

මනාකොට ස්වර පිහිටීම. 
රසවත් වීම. 
රාගාත්මක වීම. 
මිහිරි අකුරින් යුතු වීම. 
 අලංකාරවත් වීම.
ප්‍රමාණය. 

යන මොවුහු ෂඩ් විධ ගීත ලක්ෂණයෝ වෙති. (නිෂාදි 27 පිටුව.) ගීතයක් ලිවීමේ දී සංගීත රත්නාකරය පෙන්වා දුන් මේ ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් ගීත ලියුවෝ අප අතර විරල වෙති. රත්න ශ්‍රී විජේසිංහයෝ බොහෝ ගීත රචනා කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇති බැව් ‘ප්‍රථම ප්‍රේමය’ රචනයෙන් පෙනෙයි. 

“නින්ද නැති රැයේ ‍
සඳ කඳුළු මීදුමේ 
හැංගිලා හඬන්නෙ ඇයිද 
ප්‍රථම ප්‍රේමයේ” 

 මේ ගීතයේ ප්‍රේමණීය හැඟීම් උද්දීප්තියට පත් කෙරෙන පද සංකල්පනාවට ඖචිත්‍යයෙන් යෙදෙන අකුරු වඩන පද රටා සුපරීක්ෂාවෙන්ම තෝරාගෙන ඇති නිසා සංගීතරත්නාකරය පෙන්වා දෙන කාරණා හයට අනුකූලවෙයි. ඒ නිසා ම මේ ගේය කාව්‍ය රචනය ළයාන්විත විරිතකින් සුගායනීය භාවයට පත් වී ඇත. 

ගුණදාස කපුගේ සූරීන්ගේ සංගීත ස්වර රචනයටත් මධුර ගායනයටත් පහසුවන්නේ ගේය කාව්‍ය රචනයේ ආකෘතියෙහි ඇති රාගාත්මක ස්වභාවයයි. පද මාලාව මියුරු ස්වරයෙන් අලංකරණය කර ඇති නිසා කපුගේගේ ශ්‍රැතිඥානයට ද ප්‍රමාණ වෙයි. අනෙක් අතට කපුගේ ගේ නාද මාලාව රත්න ශ්‍රී ගේ පද මාලාව සමග මුසු වූ කල ශ්‍රාවකයාගේ භාවේන්ද්‍රියෙහි ප්‍රබල කම්පනයක් ඇති කරයි. ඒ තරමට ම විප්‍රලම්භ ශෘංගාරය ප්‍රබලව දැනෙයි. ප්‍ර‍ථම ප්‍රේමය බිඳී ගිය සෙයකි. ඒ වෙනුවෙන් කඳුළු මීදුමකි. ඒ නිදි නැති රැයෙහි හඬන්නේ හැංගිලාය. මොන තරම් ලස්සන රූපක ගොඩනැංවීමක් ද? තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ යන කාව්‍යෝක්තිය කෙතරම් ප්‍රබල ද? 

ගීතවත් බව ගීතයෙහි විශිෂ්ටතම අංගයයි. එයින් ගීතය වඩාත් හෘදය කාන්ත කළ හැකි ගීතයෙන් නිරූපිත රසභාව දියුණු තියුණු හදවත් ඇද බැඳ ගෙන සිටිනුයේ ගීතතාවෙන් පිරිපුන් පමණටය. රාගය, ස්වරය, ශ්‍රැතිය, විරිත, යතිය, එළිය, පද, අකුරු, වචන, තාලය, ලය, සමය, රසය, අර්ථය, තානය, වර්ණය, ගමකය, අලංකාරය, ආලාපය, වැයුම, ගැයුම, කටහඬ, ලළනය, උච්චාරණය ද යන මේ අංග එකකට එකක් අඩු වැඩියක් නැතිව හරි පදමට, සම බරව සංයෝග වූ විට ගීතතාව මතුවන විට බවට හොඳම නිදසුනකි, 

භාවය අර්ථය, තානය, වර්ණය, ගමකය, අලංකාරය, ආලාපය, වැයුම, ගැයුම, කටහඬ, ලළනය, උච්චාරණයද යන මේ අංග එකකට එකක් අඩු වැඩියක් නැතිව හරි පදමට සම බරව සංයෝග වූ විට ගීතතාව මතුවන (නිෂාදී 27 පිටුව) බවට හොඳම නිදසුනකි, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වෙල්ලස්සේ ගීතය. 

“බිම්බරක් සෙනග ගැවසුණ 
චන්ද්‍ර සූර්යයා ඉපැදුණ 
ස්වර්ණ භූමියේ මනරම් 
මාලිගාව කෝ.....”

මේ ගේය පද රචනයේ අන්තර්ගතය විරෝධාකල්පයකි; හටනකි. බටහිර බලපෑම නිසා ඌවවෙල්ලස්සට පැමිණි බහු ජාතික සමාගම් පැලවත්තේ ගොවීන්ගේ ගම්බිම් මංකොල්ල කෑමේ පුවත විෂය කර ගෙන මේ ගේය පද මාලාව රචනා කර ඇත. රත්න ශ්‍රී මේ සුගීතයේ පැදි විරිත සබරගමු ජනකවි අතර ප්‍රචලිත සමන් දේව වර්ණනාවේ එන මේ කවිය ඇසුරෙන් ලබා ගෙන ඇත. 

“හෙළ මුදුනින් බැස්ස කලට පෙනේවී උළු මාලිගාව 
රෑ දහවල් නින්ද නැතිව රන්කොත් බබළන සොබාව 
බිම්බරකට සෙනග ඇවිත් සෑදුව උළු මාලිගාව 
මුළු රටටම පාරට්ටුයි සබරගමුවේ මාලිගාව” 

රත්න ශ්‍රී ගේ පැදි විරිතට මෙම ජන කවියේ ආලෝකය ලබා ගත්තා සේම කපුගේ නිර්මිත සංගීතය (නාද රටාව) පරංගි හටනේ මතු සඳහන් කවි දෙකෙහි ඇසුර ලබා ඇති බැව් පෙනේ. 

“යුද්දෙටත් ඇවිත් සිදු පිටනැව් නැගිලා - පරංගි 
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා 
අන්දමත් හොඳයි කිසි බිසි සී ගාලා - කොළඹදි 
කම්පලක් නැතත් සෙනගත් මරවාලා 

"ලත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු 
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා 
කත් ගෙරිත් මසුත් උන් ළැම පණ ගන්ටා - එතනදි 
තැත් කිසිත් ජයක් යුද කෙරුමෙන් උන්ටා” 

ගුණදාස කපුගේ සංගීත නාද රටා මැවීවේ දී පූර්වෝක්ත හටන් කවි ද්විත්වයේ නාද රටාව මගින් ලබන අනුප්‍රාණය ‘වෙල්ලස්ස ගීතයේ’ අගය වඩාලයි. 

“කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන්රුවන් කරඬු කොයි 
වෑ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්” 

කවර සාහිත්‍ය කලා සම්ප්‍රදායකින් වුවද ආභාසය නිර්මාණකරුවකුට නරක දෙයක් නොවේ. ඔහු විවිධ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබා විශිෂ්ට ගීත සාහිත්‍යයක් ජාතියට දායාද කළේය. ඒ නිසාම ‘හොඳම ගීත ලියන්නෝ හොඳම කිවිහුය’ යන්නට රත්න ශ්‍රී ගේ පූර්වෝක්ති සුගීත සාක්ෂි සපයනු ඇත. රත්න ශ්‍රී මේ භද්‍ර කල්පයට පහළ වූ අති දුර්ලභ ගණයේ කවියකු ද ගේය කාව්‍ය රචකයකු ද වන්නේ ඔහුගේ නිර්මාණයන්හි පවතින විශිෂ්ටතාව හේතු කොට ගෙනය. 

චන්ද්‍රරත්න මානවසිංහ මහගම සේකර යන යුග පුරුෂයන්ගෙන් උරුම වූ කව් ගී දැහැන පුබුදුවා සරසවි ඉමෙහි කව් නළු ගී පබද කළ රත්න ශ්‍රී වි‍ජේසිංහගේ සරසවි බැලුමැ’ස ඉඳුනිල් කැඩපතක් සේ බබළන මේ ගී ලකුණු වත්මන් පරපුරට මනා ආදර්ශයකි. රත්න ශ්‍රී-කපුගේ සුසංයෝගයේ ‘සෙනසුරුට පෙම් බඳින දෝනී’, ‘සිටු කුමාරියෝ’, ‘දෙවෙන්දරා සං ගේ සමුදීම’, ‘සිංහල සින්දු කියන කිරිල්ලී’, ‘සක්වා ලිහිණි’, ‘මාළුවෝ’, ‘මා පිය මහේෂිකාවෝ යන ගී උල්පත අනාගත පරම්පරාවට සුභාවිත ගීතය දෙසට හැරෙන්නට සලකුණුය. 

 - මහේෂ් ක්‍රිෂාන්ත 

Post a Comment

0 Comments