HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙනසුරු සෞර ග්‍රහමණ්ඩලයේ රජ වෙයි!

සෞර ග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් අතර යෝධ ග්‍රහයා ලෙස සැලකුණු බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයා පරදවා පරිවාර ග්‍රහයන් අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පසුගියදා අංක එකට පත් වුණා. මෙතෙක් වැඩිම චන්ද්‍රයන් පිරිසක්, එනම් පරිවාර චන්ද්‍රයන් 95ක්, සමග පිරිවරා ගෙන පසුගිය පෙබරවාරිය තෙක් රජ කරමින් සිටි ගුරු දෙවැනි තැනට පත් වුණා. ඒ සෙනසුරුට පරිවාර චන්ද්‍රයන් 117ක් සිටින බව අන්තර්ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඊට අමතරව සෙනසුරුට කුඩා චන්ද්‍රයන් ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයකුත් ඉන්නවා යැයි ඔවුන් තවදුරටත් කියනවා. 

සෞර ග්‍රහමණ්ඩලයේ චන්ද්‍රයන් 117ක් සිටින සෙනසුරුගේ 2021 අගෝස්තුවේදී 
ගන්නා ලද ඡායාරූපයක්.

අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය තමයි, කක්ෂගත වස්තූන් පිළිබඳ අවසාන තීන්දුව දෙන්නේ. පසුගිය පෙබරවාරියේ කළ මේ සොයා ගැනීම ඔවුන් තහවුරු කළේ පසුගිය සතියේයි. ඒ අනුව එතෙක් සෙනසුරුට තිබූ චන්ද්‍රයන් ගණනට තවත් 28ක් එක්ක කිරීමට ඔවුන් අවසර දුන්නා. ඒ අනුව සෙනසුරුට දැන් නිල වශයෙන් චන්ද්‍රයන් 117ක් ඉන්නවා. 

සෞර ග්‍රහමණ්ඩලයේ සිටින යෝධ ග්‍රහයන් වන, ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් ඇති මේ ශනි හා ගුරු ග්‍රහයන් අතර චන්ද්‍රයන් වැඩි කර ගැනීමේ තරඟයක් තියෙනවා. ඔවුන් හිරු වටා කක්ෂගත යන ලොකු ග්‍රහක වස්තූන් තමන්ට සමීපව යන විට අල්ලා ඇද ගෙන තම කක්ෂයක වටා යාමට ඉඩ සලස්වනවා. මේ ග්‍රහක වස්තූන් සැබෑ චන්ද්‍රයන් ලෙස සැලකීමට නම් ඒවා වසර ගණනාවක් තිස්සේ ඒ ග්‍රහයන් වටා නිශ්චිතව කක්ෂකගතව යායුතු වෙනවා. ඒ නිසා මේ චන්ද්‍රයන් වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. 

සෙනසුරුගේ ලොකුම චන්ද්‍රයන් වන ටයිටන් (වමේ) හා රීයා (දකුණේ). 
ටයිටන් දෙවැනි වන්නේ බෘහස්පතිගේ ගැනිමීඩ් චන්ද්‍රයාට විතරයි.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා විශ්ව විද්‍යාලය මේ වන විට සෙනසුරු වටා යන නව චන්ද්‍රයන් 62ක් සිටින බව සොයා ගෙන ඇතත් එයින් සෙනසුරුගේ චන්ද්‍රයන් ලෙස අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය විසින් දැනට පිළිගෙන ඇත්තේ 28ක් පමණයි. 

පසුගිය පෙබරවාරියේ නව චන්ද්‍රයන් 12ක් එක්වීමත් සමග බෘහස්පති සෞර ග්‍රහමණ්ඩලයේ රජා බවට පත් වුණා. දැන් ඒ තැන සෙනසුරුට හිමිවෙලයි 
තියෙන්නෙ. මේ බෘහස්පතී හා එහි ලොකු චන්ද්‍රයන් දෙදෙනා.

චන්ද්‍රයකු සේ සැලකෙන්නේ ග්‍රහයකු වටා කක්ෂයක යන ස්වභාවික ග්‍රහ වස්තුවකටයි. මේ චන්ද්‍රයන් ප්‍රමාණයෙන්, සංයුතියෙන් හා ග්‍රහයාට ඇති දුර අනුව වෙනස් වෙනවා. මේ චන්ද්‍රයන්ගෙනුත් කිසියම් බලපෑමක් ඒ ග්‍රහයන්ටත් තියෙනවා. හරියට පෘථිවියේ චන්ද්‍රයා උදම් රළ පාලනය කරනවා වාගේ. 

සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින් සිකුරුට හා බුදට චන්ද්‍රයන් නැහැ. පෘථිවියට එක් චන්දුයකු හා අඟහරුට චන්ද්‍රයන් දෙදෙනකු ඉන්නවා. අනෙක් ග්‍රහයන් අතරින් යුරේනස්ට 27ක් හා නෙප්චූන්ට 14ක් චන්ද්‍රයන් ඉන්නවා. 

බ්‍රිටිෂ් කොලම්බියා විශ්ව විද්‍යාලය විසින් චන්ද්‍රයන් 62ක් සොයා ගැනීමත් 
සමග සෙ‍නසුරු ඉදිරියට ආවා.

කෙසේ වෙතත් ඇතැම් තාරකා විද්‍යාඥයන් ප්‍රශ්න කරන්නේ බෘහස්පතී ග්‍රහයාගේ යෝධ චන්ද්‍රයා වූ ගැනිමීඩ් සමඟ බලන විට සාපේක්ෂකව කුඩා චන්ද්‍රයන් පොකුරු චන්ද්‍රයන් ලෙස සැලකීම සාධාරණ ද යන්න ගැනයි. 

අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ ක්ෂුද්‍ර ග්‍රහක මධ්‍යස්ථානයේ සේවයෙන් විශ්‍රාම ගත් ගෙරත් විලියම්ස් කියන්නේ ඒවා ස්ථිර වශයෙන් ම ශනිගේ චන්ද්‍රයන් බවයි. දැනට රෝම ඉලක්කම්වලින් නම් කර ඇති ඒවාට ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රවාදවල එන දෙවිවරුන්ගේ නම් තැබීම ටිකක් ප්‍රමාද වෙනවා. සෙනසුරු චන්ද්‍රයන්ට සාමාන්‍යයෙන් නම් තබන්නේ නෝර්වේ දෙවිවරුන්ගේ නම් අනුව යමිනුයි. 

අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විශේෂඥයකු වූ බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් රොතරි කියන්නේ මේවා ගවේෂණය කරන්නේ පෘථිවියේ විවිධ තැන්වල සවි කර ඇති බලසම්පන්න දුරේක්ෂවලින් හා අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂවලින් වන නිසාත්, ලොව පුරා විසිර සිටින තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයන් රැසක් ඒ දත්ත සපයන නිසාත් අවසානයේ ඔවුන් නිල වශයෙන් තහවුරු කරන ඒවා අපට පිළිගැනීමට සිදුවෙනවා කියලයි. ඒ වාගේ ම සෙනසුරුගේ හා බෘහස්පතීගේ අලුත් චන්ද්‍රයන් නිතරම සොයා ගන්නා බවත් ඔහු කියනවා. මේවා බොහොමයක් කලින් හිරු වටා ගිය ග්‍රාහකයි. යුරෝපා හා එන්සෙලඩස් වැනි විචිත්‍ර චන්ද්‍රයන් නෙමෙයි. ඔහු තව දුරටත් කියනවා. 

මේ පිළිබඳව බ්‍රිටිෂ් කොලම්බියා විශ්ව විද්‍යාලයේ සිටිමින් මේ අධ්‍යයනයට නායකත්වය දුන්නේ තායිවානයේ තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව පිළිබඳ සිනිකා උසස් අධ්‍යාපන ආයතනයේ ආචාර්ය එඩ්වඩ් ඈෂ්ටන් කියන්නේ, “මේ චන්ද්‍රයන් හසුකර ගැනීමේදී මා කුඩා කල කළ තිත් යා කිරීමේ ක්‍රීඩාවෙන් ලත් වින්දනයට සමාන වින්දනයක් ලැබුවා. මේ චන්ද්‍රයන් ගමන් කළ පථය හරියට තීරණය කිරීමට ඒ චන්ද්‍රයන් දුටු තැන් යා කිරීමට අපට සිදුවුණා.” කියායි. 

මේ අධ්‍යයනයේ දී හෙළි වූ තවත් දෙයක් නම් සෙනසුරු වළලු වසර මිලියන 400කට වඩා පැරණි නැති බවයි. මීට වසර බිලියන 4කට වඩා පැරණි සෙනසුරු ග්‍රහයාට වළලු ලැබුණේ බොහෝම පසු කාලයක බවත් මේ චන්ද්‍රයන් ආකර්ෂණය කර ගන්නා ආකාරයට කොස්මික් ධූලි හා කුඩා ග්‍රහක අංශු වලින් තමා මේ සෙනසුරු වළලු සෑදී ඇත්තේ. එය 2017 දී නාසා ආයතනය විසින් සිය මෙහෙයුම අවසානයේ දී සිතා මතා ග්‍රහයා හැපී විනාශ වෙන්නට සැලැස්වූ කැසිනි අභ්‍යවකාශ යානය නැංවූ කොස්මික් ධූලි වලාව අනුව යමින් නෙසුරු වළලු නිර්මාණය කරන්නටත් එහි කාලය තීරණය කරන්නත් විද්‍යාඥයන් සමත් වුණා. 

සෙනසුරු ගැන මේ ටිකත් දැන ගන්න! 

සෞර ග්‍රහමණ්ඩලයේ සෙනසුරු සිටින්නේ හිරුගේ සිට 6 වන ග්‍රහයා ලෙසයි. විශාලත්වයෙන් එය දෙවැනි වන්නේ බෘහස්පතීට පමණයි. එහි ඇති දීප්තිමත් වළලු නිසා එය ‘සෞර ග්‍රහමණ්ඩලයේ මැණික’ ලෙස හැඳින්වෙනවා. සෞර ග්‍රහමණ්ඩලයේ වළලු ඇති එකම ග්‍රහයා එය නොවූවත් එහි තරම් දීප්තිමත් වළලු වෙනත් කිසිම ග්‍රහයකුට නැහැ. 

බෘහස්පතී ග්‍රහයා මෙන් ම සෙනසුරු ග්‍රහයාත් දැවැන්ත වායු ග්‍රහයන් හැටියටයි සැලකෙන්නේ. ඒවා සමන්විත වන්නේ වැඩිපුර හයිඩ්‍රජන් හා හීලියම් සමග බැර ලෝහ මූල දුව්‍ය ප්‍රමාණයකුත් තියෙනවා. එහි හරය ‍ඒ ග්‍රහලෝකයේ අරයෙන් සියයට 60ක් දක්වා විහිදෙනවා. එය ග්‍රහයාගේ අනිත් කොටසට සමානව වායු ද්‍රව්‍ය, ද්‍රව ලෝහ, පාෂාණ හා හිම ආදී මිශ්‍රණයකින් යුක්තයි. 

පියවි ඇසින් දැකිය හැකි පෘථිවි‍යේ සිට වැඩියෙන් ම ඈතින් පිහිටි ග්‍රහයා සෙනසුරුයි. ඒ නිසා ඉතා පුරාණයේ සිටම සෙනසුරු මිනිසාට වඩාත් හුරු ග්‍රහයාද වෙනවා. සෙනසුරුට ඒ නම තබා ඇත්තේ කෘෂිකර්මය හා ධනසම්පත්වලට අධිපති රෝම දෙවියා අනුව යමිනුයි. ඒ දෙවියාගේ පුතා ජුපිටර් නිසයි, බෘහස්පතීට ඒ නම ලැබුණේ. 

සෙනසුරු ගැන නාසා නිකුත් කළ වීඩියෝව පහතින්. 

සෙනසුරු ග්‍රහයා වාසයට සුදුසු එකක් නොවුවත් එහි බොහෝ චන්ද්‍රයන්ගේ තත්වය එහෙම නැහැ. එහි ටයිටන් හා එන්සෙලඩස් වැනි චන්ද්‍රයන් අභ්‍යන්තරයෙහි සාගර පවා තියෙනවා. සමහර විට ඒවායෙහි ජීවය තියෙන්න පුලුවන්. 

සෙනසුරුට හිරුගේ සිට ඇති දුර කි.මී. බිලියන 1.434ක්. වරක් හිරු වටා කක්ෂයෙහි ගමන් කිරීමට වසර 29ක් ගත වෙනවා. එහි මතුපිට ක්ෂේත්‍ර ඵලය වර්ග කි.මී. 42.7කි. අරය කි.මී. 58,232කි. ස්කන්ධය 5.683 × 10^26 kg (95.16 M⊕) 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments